Skip to main content
Category

සොළොස්මස්ථාන… (Solosmasthana)

මිරිසවැටි මහා සෑ රදුන් ( Mirisawati Sthupa)

By අසිරිමත් අනුරාධපුරය ( Glorious Anuradhapura), පුරාණ වෙහෙර විහාර ... ( Ancient temples), සොළොස්මස්ථාන... (Solosmasthana) No Comments

ලංකා රාජ්‍ය එක් සේසත් කළ දුටුගැමුණු රජතුමා රාජවංශ කතාවේ ඔටුණු පලන් රජ වරු අතර විශිෂ්ටයෙකි. පූජාවලිය පවසන්නේ මේ මහා නරපතිඳුන් ලෝක ශාසනයට මවක බවයි. මහා වංශයට සහ පූජාවලියට අනුව දුටු ගැමුණු රජතුමා (ක්‍රි.පූ. 161–137) තම වසර 24 ක රාජ්‍ය කාලය තුළ විහාර අනූනවයක් කළ බව කියැවෙයි.

එවන් වූ මහී පාලකයාණන් විසින් කළ ප්‍රථම ස්තූපය මිරිසවැටිය චෛත්‍ය නිසා මෙය සුවිශේෂී ස්මාරකයකි. අටමස්ථානයෙන් එකක් වූ මිරිසවැටි චෛත්‍ය අනුරාධපුර ශුද්ධ භූමියේ තිසා වැවටත් අභය වැවටත් අතර ශ්‍රී මහා බෝධීන් වහන්සේට නුදුරින් පිහිටා තිබේ.

සොලීන්ට යටත්ව තිබූ අප මාතෘ භූමිය එක්සේසත් කළ දුටුගැමුණු රජතුමාගේ රාජභිෂේකයෙන් සත් දිනකට පසුව ඇරැඹුණු විහාර කර්මාන්තය නිමා කිරීමට වසර තුනක පමණ කාලයක් ගත වී තිබේ. එය සිදු වී ඇත්තේ බුද්ධ වර්ෂ 385 දී පමණ ය.

කුඩා කල තම දෙමාපියන්ට වූ පොරොන්දුවක් පරිදි සංඝයා වහන්සේට නොදී රජතුමා කිසිවක් අනුභව නොකළේ ය. එහෙත් පෙර දිනක අමතක වීමකින් භික්‍ෂූන්ට නොදී මිරිස් වැටියක් (මෙය මිරිස් ව්‍යාංජනයක් විය හැක) අනුභව කළ නිසා තම හෘද සාක්‍ෂිය විසින් ම පමුණුවා ගත් දඬුවමට වන්දි ගෙවීමට රජතුමා මිරිසවැටිය චෛත්‍ය කළ බව ඉතිහාස ග්‍රන්ථයන්ට අනුව සනාථ කර ගත හැක.

Read More

රුවන් වැලි මහ සෑරදුන් ( Ruwanwali maha seya)

By අසිරිමත් අනුරාධපුරය ( Glorious Anuradhapura), පුරාණ වෙහෙර විහාර ... ( Ancient temples), සොළොස්මස්ථාන... (Solosmasthana) No Comments

ලාංකේය බිමේ ඇති මහා සෑය ‘රුවන්වැලි’ මහා සෑයයි. මෙය ලංකාවේ ඇති අතිශයින්ම සම්මානනීය දාගැබ බව විවාදයකින් තොරව පිළිගැනෙන සත්‍යයකි.

පුරා වසර 75 ක් පමණ අප මාතෘභූමිය විවිධ දේශපාලන අර්බුදයන්ට භාජනය වී තිබූ අවධිය නිම කරවමින් මේ බිම එක්සේසත් කළ දුටුගැමුණු මහ රජතුමා එතැන් පටන් තම රාජ්‍ය සමය කැප කළේ විශේෂයෙන් බුදු සසුනේ චිරස්ථිතිය උදෙසා ය.

දුටුගැමුණු රජතුමාට අවශ්‍ය වූයේ ලංකාවේ විශාලතම දාගැබ ඉදිකිරීමට ය. එහෙත් රජතුමාගේ ජීවිත කාලයටම එය සාදා නිම කිරීමට නොහැකි වන බව දත් මහරහතන් වහන්සේලා එහි සැලැස්ම එම ප්‍රමාණයට වඩා කුඩා කිරීමට උපදෙස් දුන් බව කියැවෙයි.

එවකට ලක්බිමේ විශාලම සෑය එය වූ බැවින් රුවන්වැලි සෑය මහා සෑය නම් විය. ඊට පසුව රුවන්වැලි සෑයට වඩා විශාල ස්තූපයන් ඉදි වුවද මෙහි ඇති විශිෂ්ටත්වය අභිභවා යාමට වෙනත් කිසිදු ස්තූපයක් සමත් වී නැත. අදත් ලක්බිමේ ඇති මහා සෑය නමින් කිරළු දරන්නේ රුවන්වැලි සෑයමය.

මිහිඳු මහරහතන් වහන්සේ අටමස්ථානය හඳුන්වා දීමේ දී සත්වැනි ස්ථානය වශයෙන් මෙම මහා සෑය පිහිටුවන තැන හඳුන්වා දුන් බව කියැවෙයි. දේවානම්පියතිස්ස රජතුමා මේ පිළිබඳව විමසීමේ දී මිහිඳු මහ රහතන් වහන්සේ වදාළේ මෙතැන ‘ස්වර්ණමාලී’ මහා සෑය නමින් ස්තූපයක් ඔබගේ මුණුපුරකු විසින් අනාගතයේ කරවන බවයි. එම පුවත ගල් ටැඹක ලියා එම ස්ථානයේ පිහිට වූ බව වංශකතාවල සඳහන් වේ.

Read More

ථූපාරාම චෛත්‍ය රාජයන් වහන්සේ (Thuparama Sthupa)

By අසිරිමත් අනුරාධපුරය ( Glorious Anuradhapura), පුරාණ වෙහෙර විහාර ... ( Ancient temples), සොළොස්මස්ථාන... (Solosmasthana) One Comment

මහින්ද ස්ථවිරයන් වහන්සේ බුදුන් වැඳීම සඳහා සර්වඥ ධාතුන් නිධන් කළ චෛත්‍යයක අවශ්‍යතාව දේවානම් පියතිස්ස රජුට පෙන්වා දුන්හ. ඒ අනුව රජුගේ ඉල්ලීම පරිදි ඉන්දියාවට වැඩම කළ සුමන සාමණේරයෝ අශෝක අධිරජයා හමුව බුදුන් වහන්සේගේ දකුණු අකු ධාතුව ද තවත් ධාතුන් වහන්සේලා ද ලබා ගෙන ලක්දිවට සැපත් වූහ. රජතුමා අකු ධාතුන් වහන්සේ මංගල හස්තියා පිට මහ පෙරහරින් වැඩමවාගෙන යද්දී හස්තියා එක තැනක නතර වී නොසෙල් වී සිටියේය. මහින්ද ස්ථවිරයන් වහන්සේගේ උපදෙස් මත අභය වැවෙන් පස් ගෙන්වා එතැන ඇතාගේ උසට සෑයක් බැඳි රජතෙමේ ඇතු පිටින් ධාතුන් වහන්සේ වැඩමවා එහි නිධන් කොට ලක්දිව ප්‍රථම ස්තූපය සෑදවීය. වර්තමාන ථූපාරාමය එයයි. ස්ථූප හා ආරාම සංකීර්ණය එක්ව පිහිටා තිබීම නිසා ථූපාරාම නාමය ව්‍යාවහාර වූ බවට ද මතයකි. දැනුදු නටබුන් සහිතව අක්කර 3 ½ ක පමණ ප්‍රදේශයක් වසා පැතිර ඇති ථූපාරාම භූමිය බුදුන් වහන්සේගේ පාදස්පර්ශයෙන් පාරිශුද්ධ වූ ස්ථානයකි. බුදු දහම ලක්දිවට හඳුන්වා දීමෙන් පසු ඉදි වූ ප්‍රථම ථූපය ථූපාරාමය වීම එහි ඇති විශේෂත්වයයි. ලජ්ජිතිස්ස රජු (ක්‍රි. පූ. 119-109) ස්ථූපයට ශෛලමය කඤ්චුකයක් පුද කළ අතර වසභ රජු (ක්‍රි. ව. 66-110) වටදාගෙය සාදා දුන්නේය. ධාතුසේන රජු මෙන්ම දෙවන අග්‍රබෝධි රජු ද ථූපයෙහි අලුත්වැඩියා කටයුතු සඳහා උර දී කටයුතු කළ රජවරුන් දෙදෙනෙකි. පළමුවන දාඨෝපතිස්ස රජු හේවායින්ට මුදල් ගෙවීමට නොහැකිව සිටියේය. ඔහු ඒ සඳහා කළේ ථූපාරාමයෙහි ධාතු ගර්භය බිඳීමය. එසේ වුව (ක්‍රි. ව. 650-659) අතර රජ කළ දෙවන කාශ්‍යප රජු ස්ථූපය නැවත ප්‍රකෘතිමත් කළේය. මේ අයුරින් මානවම්ම, දෙවන මිහිඳු, දෙවන දප්පුල, දෙවන සේන, දෙවන උදය, සිව්වන මහින්ද ආදී රජවරුන් ද ථූපය පිළිසකර කරමින් ද, අලුත් අංග එක් කරමින් ද මහත් සේවාවන් කළ බව අමතක නොකළ යුතුය. දෙවන දප්පුල රජුගේ කාලයේ දී මෙහි පැමිණි පාණ්ඩ්‍යයන් විසින් ථූපාරාමය මංකොල්ල කන ලද අතර දහවන සියවස අවසානයේ දී මෙහි ආ සොළීහු සමස්ථ විහාරයම කොල්ල කෑහ. එසේ වුවද භාග්‍යයකට මෙන් දොලොස්වන සියවසේ රජකම් කළ මහා පරාක්‍රමබාහු නරපතියා එය නැවතත් යථා තත්වයට ගෙන ආවේය. Read More

අභයගිරිය චෛත්‍යරාජයන් වහන්සේ ( Abhayagiri Sthupa )

By අසිරිමත් අනුරාධපුරය ( Glorious Anuradhapura), පුරාණ වෙහෙර විහාර ... ( Ancient temples), සොළොස්මස්ථාන... (Solosmasthana) No Comments

අභයගිරි චෛත්‍ය රාජයාණන් වහන්සේ පිහිටියේ අනුරාධපුර ශුද්ධ භූමියේය. ථූපාරාමයට හෝ ඇතුළු නුවරට උතුරින් පිහිටා ඇති හෙයින් මෙය උත්තර මහා චෛත්‍යය වශයෙන් ද හඳුන්වනු ලබයි.

ඉතිහාසය පිරික්සීමේදී, ප්‍රථම නිකාය භේදයට තුඩු දුන්, සිද්ධි දාමය සමඟ අභයගිරි විහාරයේ නාමය ඈඳී තිබෙයි. එහෙත් එම විලෝමය, අභයගිරි විහාර සංකීර්ණයේ හෝ අද අප කතා කරන අභයගිරි මහා ස්තූපයේ ගරු ගාම්භීරත්වයට කිසිසේත් අවතක්සේරුවක් නොවනු ඇත.

ලාංකේය රාජ්‍ය වංශයේ තවත් එක් සුවිශේෂී නාමයක් රැන්දූ ‘වළගම්බා’ නොහොත් වට්ට ගාමිණී අභය රජතුමා (ක්‍රි.පූ. 89 – 77 ) මෙම ස්තූපය කරවා තිබේ. වට්ටගාමිණී අභය කුමරු සද්ධාතිස්ස රජතුමාගේ බාල පුත්‍රයා ය. වළගම්බා රජතුමා ප්‍රථම වරට අභිෂේක ලබන්නේ ක්‍රි.පූ. 103 වසරේදීය. එහෙත් සය මසක ඇවෑමෙන් සොලී ආක්‍රමණයන් සත් දෙනකුගේ බලය හමුවේ සිහසුන බිම තබා පැරද පලා යන්නට ඔහුට සිදුවෙයි. පැරද පලායන රජතුමා දැක එක් නිගන්ඨාරාමයක විසූ ගිරි නම් ජෛනාගමිකයා මහකළු සිංහලයා පලායන බව කෑගසමින් පවසා රජතුමා අවමානයට ලක් කරයි.

ලංකාවේ විවිධ ප්‍රදේශයන්හි සැඟවෙමින් රුහුණේ සිට සේනාවන් රැස්කර සංවිධානය වන වළගම්බා නැවත පෙරළා පැමිණ එවකට අනුරපුරයේ පාලකයාව සිටි අවසන් ද්‍රවිඩ ආක්‍රමණිකයා පරදා අප මාතෘභූමිය නැවත එක් සේසත් කරයි.

Read More

ජේතවන චෛත්‍යරාජයන් වහන්සේ ( Jethawana Sthupa )

By අසිරිමත් අනුරාධපුරය ( Glorious Anuradhapura), පුරාණ වෙහෙර විහාර ... ( Ancient temples), සොළොස්මස්ථාන... (Solosmasthana) No Comments

ලෝකයේ පවතින විශාලත්වයෙන් අගතැන්පත් බෞද්ධ ස්තූපය වූ ජේතවන චෛත්‍ය දෙවැනි වන්නේ ලෝකයේ පුදුම හතෙන් එකක්සේ ගැනෙන මිසරයේ පිරමීඩයන්ට පමණි.

මහසෙන් රජතුමා (ක්‍රි.ව. 276 – 303 ) කරවූ ස්තූපය අඩි 400 ක් පමණ උස් වූ බව කියැවෙයි. එහෙත් 1832 වසරේ මේජර් ස්කිනර් විසින් ඇඳින ලද සැලැස්මට අනුව සෑයේ උස අඩි 244 කි. වලිසිංහ හරිස්චන්ද්‍රයන්ගේ ‘සිතියම් සහිත පුරාවිද්‍යාව‘ පොතේ සඳහන්ව ඇත්තේ දා ගැබේ උස අඩි 249 ක් බවත් වට අඩි ප්‍රමාණය අඩි 1200 ක් බවත් ය. මෙම සුවිසල් ස්තූපය අක්කර 8 ක පමණ භූමි ප්‍රමාණයක් වසා පැතිරී පවති යි.

සෑයේ නිධන් කර ඇති දේ පිළිබඳව මහාවංශයේ සඳහන් නොකළ ද පූජාවලියට අනුව මෙහි නිධන් කර ඇත්තේ බුදුන් වහන්සේගේ පටී ධාතුවයි. අනුරාධපුරයේ ඇති මහා ස්තූපයන් තුනෙන්, එකක් වන ජේතවන චෛත්‍ය ඇත්තේ අනුරාධපුරයේ ජෝතිවනය නම් භූමියේ ය. එමනිසා මෙය ජේතවනාරාමය ලෙස ප්‍රචලිත විය. එහෙත් ශිලා ලේඛනයන්හි හා පැරැණි පොත පතෙහි සඳහන් ව ඇත්තේ දෙනාවෙහෙර – දෙනායකය ආදී නම් වලිනි.

මිහිඳු මහරහතන් වහන්සේගේ මූලිකත්වයෙන් බිහි වූ මහා විහාර සම්ප්‍රදායට එරෙහි වූ මහසෙන් රජතුමා ලෝවාමහාපාය සහ තවත් පූජනීය වස්තූන් විනාශ කිරීමට තරම් කුරිරු වූයේ මහායාන සම්ප්‍රදායට නතු වූ සංඝමිත්‍ර නම් පාපමිත්‍ර භික්‍ෂූන් වහන්සේගේ බහට මුලා වී එම භික්‍ෂුවගේ උපදෙස් අනුව ය. මෙම සැහැසි ක්‍රියා හමුවේ මුළු රටම කැළඹුණි. රජතුමාගේ කුළුපග මිතුරකු වූ මේඝවර්ණ නම් අමාත්‍යවරයා මලය රටට පලාගොස් සේනා සංවිධානය කර යුද වදින්නට පෙරලා පැමිණියේ රජතුමා කළ මෙම නොපනත්කම් ඉවසීමට නොහැකි වූ නිසාවෙනි.

Read More

සේල චෛත්‍යරාජයන් වහන්සේ ( Sela Sthupa )

By අසිරිමත් අනුරාධපුරය ( Glorious Anuradhapura), සොළොස්මස්ථාන... (Solosmasthana) One Comment

සොළොස්මස්ථානයන්හි පහළොස්වැනි ස්ථානය ලෙස සඳහන්ව ඇත්තේ සේල චෛත්‍යයය. අප මීට ප්‍රථමයෙන් තිස්ස මහා විහාරය පිළිබඳව කතා කළෙමු. එය සොළොස්මස්ථානයන්ගේ අටවන ස්ථානයයි. නවවන ස්ථානයේ සිට දා හතර වැනි පූජනීය ස්ථානයන් පිළිබඳව මීට ප්‍රථමයෙන් අටමස්ථාන යටතේ හඳුනා ගත් නිසා ඊළඟට ඇති ස්ථානය සේල චෛත්‍යය නම් වෙයි.

අද අපේ කථිකාවතට භාජනය වන සේල චෛත්‍යය පිහිටා ඇත්තේ ඓතිහාසික මිහින්තලා පුද බිමෙහිය. ස්ථිර වශයෙන්ම සේල චෛත්‍යය නිර්ණය කිරීමටද ඓතිහාසික සහ පුරාවිද්‍යාත්මක සාධක මත විනිශ්චයකට එළඹීමේ දී ප්‍රශ්නකාරී තත්ත්වයක් පැන නගී.

මෙය නිරාකරණය කර ගැනීම උදෙසා ඉතිහාසගත කරුණු සමඟ වඩාත් නිවැරැදිව එකඟ වීමට පුරාවිද්‍යාත්මක කැණීම් වලින් මතු කරගන්නා ලද සාධකයන් සමඟ එය සසඳා බලා වඩාත් නිවැරැදි තැනකට එළඹීමට අපි උත්සාහ කළෙමු. එතැනදී වඩාත් නිවැරැදි දත්තයන් සපයා ගැනීමට මහාචාර්ය සෙනරත් පරණවිතායන්ගේ ‘පුරාවිදු පරියේෂණ’ නම් පර්යේෂණාත්මක ග්‍රන්ථයේ අඩංගු කරුණු පාදක කර ගැනීමට සිදු විය. එහි සඳහන් වන්නේ මෙසේය.

කුටකණ්ණතිස්ස රජතුමා (ක්‍රි.පූ. 41 – 91 ) චේතියපබ්බතයෙහි තමා විසින්ම පිහිටුවන ලද මහා උපෝසථාගාරයක් ඉදිරිපිට සෙල්මුවා දාගැබක් කරවූ බව මහාවංශයේ (34 වැනි පරිච්ඡේදයෙහි) කියැවෙයි. ඔහු එම භූමියේ බෝධියක් රෝපණය කරවූ බවද සඳහන් කර තිබේ. මිහින්තලේ වට දා ගෙය අසල ඉතා පැරැණියයි සැළකෙන බෝ වෘක්‍ෂයක් අදත් දක්නට ඇත. මෙය කුටකණ්ණතිස්ස රජු රෝපණය කරවූ බෝධියම යැයි කිව නොහැකි බව සැබෑව. එහෙත් එක් බෝ ගසක් මළ කල එතැන තවකක් සිටුවීම සිරිතකි. කෙසේ වෙතත් කුටකණ්ණතිස්ස රජු විසින් සිය ශෛලමය ස්තුපය ඉදි කරනු ලැබූ භූමියේ දාගැබටත් බෝධියටත් අමතරව විශාල උපෝසථාඝරයක් ද පිහිටි හෙයින් එය එතරම් කුඩා බිමක් විය නොහැකිය. වටදාගෙය අද පිහිටා තිබෙනු දක්නට ඇති තලවුව මේ අවශ්‍යතාවය සපුරාලයි. මිහින්තලේ මෙම භූමියේ ඇති වටදාගේ ඇතුළත ඇති දා ගැබ ඓතිහාසික ලියකියවිලිවලත් තුන්වැනි සියවසෙහි ශිලා ලේඛනයේත් සඳහන් සිලාචේතියම විය යුතු යැයි පිළිගත යුතු වේ.

Read More

කතරගම කිරිවෙහෙර චෛත්‍යරාජයන් වහන්සේ ( Katharagama Kiriwehera Sthupa )

By පුරාණ වෙහෙර විහාර ... ( Ancient temples), සොළොස්මස්ථාන... (Solosmasthana) One Comment

සොළොස්මස්ථානයේ දහසය වැනි ස්ථානය නොහොත් අවසන් පූජනීය ස්ථානය ලෙස නම් කර ඇත්තේ කතරගම කිරි වෙහෙර ය.

බුදුරජාණන් වහන්සේ අප මාතෘභූමිය වෙත තෙවන වර වැඩි ගමනේ දී කතරගම කිරිවෙහෙර ඉදිකර ඇති ස්ථානයේ ද සමවත් සුවයෙන් වැඩ සිටි නිසා කිරි වෙහෙර ද සොළොස්මස්ථානයන්ගෙන් එකක් වශයෙන් නම් කර තිබේ.

එහෙත් මේ පිළිබඳව සඳහන් වන්නේ ධාතු වංශයේ පමණි. ශ්‍රී මහා බෝධීන් වහන්සේගෙන් පැණ නැගුණු අෂ්ටඵලරුහ බෝධීන් වහන්සේගෙන් එක් නමක් රෝපණය කළ ස්ථානයක් ලෙස කතරගම නම් කර තිබේ. ඒ බව මහාවංශයේ සඳහන් වෙයි. නමුත් බුදුන් වහන්සේ කතරගම වැඩි බවක් එහි සඳහන් නොවේ.

කෙසේ හෝ මේ වන විට කතරගම කිරි වෙහෙර සොළොස්මස්ථානයන්ගෙන් එකක් බවට පත් වී ඇති නිසාත් අෂ්ටඵල රුහ බෝධීන් වහන්සේ නමක් පිහිටි බිමක් නිසාත් මෙය සුවිශේෂී පූජනීය ස්ථානයක් බවට පත්ව තිබේ.

බුදුන් වහන්සේ සපැමිණෙන විට එහි සිටියේ ‘මහාඝෝෂ’ නම් දෙව් රජකු බවද සඳහන් වෙයි. කතරගම දෙවිඳුන් ඇතැම් තැනක ‘මහාසේන’ යන නමින් හැඳින්වෙන බව කියැවෙතත් ‘මහාඝෝෂ’ යනු එතුමන්මදැයි සැකයක් පවතී. එය කෙසේ වෙතත් බෞද්ධ පුරාවෘත්තය හා බැඳුණු කතරගම පුරවරයට ඇත්තේ දීර්ඝ ඉතිහාසයකි.

බුදුන් වහන්සේ සපැමිණ ධර්මය දේශනා කිරීමෙන් පසුව එහි වැසියන් බෞද්ධාගමට අනුගත වූ බවත් ‘කිහිරි වනයේ’ උන්වහන්සේ වැඩ සිටි ස්ථානයේ පසු කලෙක කිහිරි නොහොත් ‘කිරි වෙහෙර’ ඉදි කළ බවත් කියැවෙයි.

Read More

error: Content is protected by www.ifbcnet.org.