වදිමි සිදුහත් ... (The character for Buddha ) Archives - IFBC Organization | Dhamma

01. මගෙ හිත කියෙව්වෙ යශෝධරා විතරයි …

Posted by | වදිමි සිදුහත් ... (The character for Buddha ) | No Comments
සිදුහත් තවුසා උරුවේල නදිය අසබඩ රමණීය වැලිතලාව මත මොහොතක්‌ නතර විය. වනස්‌පති රුක්‌ පෙළ අතරින් ඇදී එන මඳ පවනෙහි සිහින් කුරුලු සරද අපමණ වනමල් සුගන්ධයද සිදුහත්ගේ සිරුරටද නැහැයටද හදටද දැනුණි. නිසල නදිය යාන්තම් රළ නංවා බැස යමින් තිබුණි. හිරු අවරට යන්නට තවත් හෝරාවක්‌ පමණ විය. සැඳැ අහස ළා වර්ණ ගැන්වූ සිතුවමක්‌ සේ සෝබාමත්ව දිලුණි. වන වදුලෙන් හෙමින් පා ඔසවමින් බියෙන් හා කුතුහලෙන් මෙන් ඇදෙන සිව්පා සත්තු රාත්‍රි දිගුවිරාමයට කලින් පැන් සනහමින් උන්හ.

මේ වැලිතලාව මත පා ගැටුණු මොහොතෙහි සිටම සිදුහත්ගේ සිතට පෙර නොවූ විරූ වීතරාගී සුඛාස්‌වාදයක්‌ දැනෙන්නටද විය. කිඹුල්වත්පුර මොනතරම් කෙළිලොල් උත්සව තිබුණිද? පරිවාර දනන් කැටුව මැදියම් රැයක්‌ වනතුරුද ගෙවූ ඒ ජීවිතය කෙළිලොල් වුවද සිදුහත් තුළ ඉතිරි වූයේ කලකිරීමක්‌ පමණි. දුලබ සුරාවද සුලබ නුරා ළඳුන්ද ඔහුට ප්‍රිය නොවීය. ජීවිතය සොයා යන කිසිවක්‌ ඒ කිසිම තැනක නොවූ වග ඔහුට ස්‌ථීරවම හැඟුණි. Read More

2. අර නිරාහාරව වැටිල හිටිය සෘෂීන්වහන්සේ ද මේ … !

Posted by | වදිමි සිදුහත් ... (The character for Buddha ) | No Comments
නේරංජරා නදී තෙර මනස්‌කාන්ත දසුන දෙස අනිමිස ලෝචනයෙන්ම මොහොතක්‌ බලා සිටි සිදුහත් තුළ සුපහන් සිතිවිලි වැඩෙන්නට ද විය. තමන් සා අවුරුද්දක්‌ දිවි ගෙවූ උරුවේලා දනව්වෙහි දුර්ගේශ්වරි ලෙණ අවට සමඟ බලන කල නේරංජරාව හරිත වන තීරයකි. උරුවේලා දනව්ව විටෙක ගිනියම් වැල්ලෙන් යුතු කතරක්‌ සේද වෙයි. දැඩි හිරු රැස්‌ පතිත වන කල්හි ඒ වැලිතලාව මත පය නගන්නට පවා අසීරුය. එහෙත් ගිනියම් අව්වේ ඒ වාලුකා තලයෙහි වැතිර සිරුරට දුන් පීඩා සිදුහත්ට සිහිවිය. සිදුහත්ගේ සුමුදු පා ඝන කබොල්ලක්‌ සේ දැඩිවන තරමටම ඒ වැල්ලෙහි ඔබ මොබ ඇවිද තිබුණි. තමන් අනුගමනය කළ උග්‍ර තපසද එහි ආනිසංසද විසින් ඇතැම් දිනක තමන් දුබලව හෝරා දෙක තුනක්‌ වැදහොත් අයුරුද සිදුහත් මෙනෙහි කළේය. එහෙත් ඒ කිසිදු දුකට කිරියකින් පීඩාවක්‌ විනා ඥන ගවේෂණයක්‌ කළ නොහැකි බවද හේ ඒකාන්ත වශයෙන්ම පසක්‌ කර ගත්තේය.

Read More

3. මැද මරඟන රැඟුම් – නිසලය මුනිඳු මනරම් …

Posted by | වදිමි සිදුහත් ... (The character for Buddha ) | No Comments
රිදී වලා දුහුල් සළු අතරින් පෙරී ගලන වෙසක්‌ සඳ කැන් නේරංජරා නදිය අසබඩ වැලි තලා මත විසිර තිබුණේ සිදුහත් තවුසාණන් යන මඟ අතුල පාවඩයක්‌ සේය. නිහඬ වන පෙත පිස ඇදෙන මඳ නල නේක වර්ණ මල් සුවඳින් යුතු විය. වැලිතලා අතරින් සෙමින් ගලා යන නදියෙහි ශාන්ත රිද්මය සිදුහත්ට ඇසිණි. ඒ සොබා දහමේ විසිතුර ඔහු සිතට සුවදායක විය. සිදුහත් එක්‌වරම නතර වූයේ තමා අබියසට එමින් සිටි මිනිස්‌ ප්‍රාණියකුගේ හඬ ඇසුණු හෙයිනි.

“ඔබ කිසියම් දේවතාවෙක්‌ වී නම් එක්‌වරම මට නොපෙනී යන්නෙහිය. එබඳු දෙයක්‌ සිදු නොවීය. එහෙත් ඔබගේ විලාසය මා තුළ කුහුලක්‌ දනවයි. ඔබගේ ශාන්ත රුව මා නෙත බඳියි. කියනු මැනවි ඔබ කිනම් කෙනෙක්‌දැයි කියා.” Read More

4. සහම්පති මහා බ්‍රහ්ම රාජයා සුදොවුන් මාළිගාවේ… !

Posted by | වදිමි සිදුහත් ... (The character for Buddha ) | No Comments
නේරංජරා නදී නිම්නය අසබඩ වෙසක්‌ පුන්
පෝදා රැය මුළුල්ලේ ඒ සා බිහිසුණු මාර සංග්‍රාමයක්‌ පැවතුණේ වී තමුදු හාත්පස එබඳු කුදු ලකුණකුදු නොදිස්‌විය. දස බිම්බරක්‌ මරු සෙනඟ ප්‍රචණ්‌ඩ කණාටු මවමින්ද අග්නිජාලා දල්වමින්ද කැළඹූ මිහිපල් තෙම ශාන්තව නිවී සැනසී තිබුණේ බුද්ධත්වයෙහි ආශ්චර්ය මෙබඳු යෑයි පාන්නාක්‌ මෙනි. ළාහිරු තුරු හිස්‌ අතරින් පෙරී හාත්පස පිනි මුතු බබළවමින් තිබුණි. වැලිතලා අතරින් ගලායන රිදී නදිය ඇස නිවයි. නේක වර්ණ ගන්ධ පුෂ්ප සුළං වැල් ඇදෙයි. මියුරු කුරුලු ගී කන් පිනවයි. සොබා දහම වසන්ත සැණකෙළියට සැරසිලි කළ සෙයකි. දෙව්බඹ සාදු නද හිස්‌ අහස ගිගුම් දෙයි.
සිදුහත් ගෞතමයෝ සමාධි සුවයෙන්ම නිසසලව වැඩ උන්හ. සොබා දහමද මහී කාන්තා තෙමේද මේසා පූජාවන් දක්‌වා උපහාර වන්දනා කරද්දීත් ඒ කිසිවකින් උද්දාමයක්‌ හෝ කවරාකාර අමුතු හැඟීම් මාත්‍රයක්‌ හෝ ගෞතම බුදුන් වහන්සේ තුළ නම් නොවීය. බුදු මහිම නම් එයමය. දෙව්, බඹ, මිනිස්‌ යනාදී කවර බලයකටද කිසි විටෙක සම කළ නොහැක්‌කා වූද අසමසම, අසාමාන්‍ය වූ බුදු මහිමය නම් ආශ්චර්යයක්‌ම වීය.

Read More

05. වෙළෙඳ දෙබෑයෝ බුදුන්ට විලඳ පූජා කරති …

Posted by | වදිමි සිදුහත් ... (The character for Buddha ) | No Comments
නේරංජරා නදී තෙර අසල සොබාදහමේ නිරාමිස සතුට විඳිමින් සිටි ගෞතම බුදුන් වහන්සේට තවත් සති කීපයක්‌ එහි විසීමේ සිතක්‌ පහළ විය. උරුවේලා දනව්වත්, වැලි තලා අතරින් ඇදී යන නදියත් තමන් වහන්සේට බුදුබව ලබාගන්නට උපකාර වූ බෝමැඬ හා දිවා විහරණය කළ වන පෙතත් පිළිබඳව බුදුන්වහන්සේට ඇති වූයේ කෘතවේදී සිතිවිලිය. බුද්ධානුභාවයෙන් ලද ලෝක ඥනයෙන් අතීතාවර්ජනයක යෙදුණු උන්වහන්සේ අනුලෝම ප්‍රතිලෝම වශයෙන් සත්ත්වයන්ගේ පැවැත්ම හා ලෝක ධර්මය පිළිබඳවද සිහි කරන්නට විය.
අවිද්‍යාව නිසා සංස්‌කාරද සංස්‌කාරවලින් විඤ්ඤාණයද එහි පල වශයෙන් නාමරූපද, ඉනික්‌බිතිව ආයතන, ස්‌පර්ශ, වේදනා තණ්‌හා, උපාදාන, භව, උපත යනාදී වශයෙන් නොබිඳ පවත්නා හුය පොටෙහි ස්‌වරූපයද උන්වන්සේ මෙනෙහි කරන්නට වූ සේක. එවේලෙහි මේ ගාම්භීර ධර්මය කා හට දේශනා කරම්ද යන සිතිවිල්ලද පැන නැගිණි. ඒ සඳහා ප්‍රඥවන්තයෝ ලොව නොසිටිත් නම් මගේ සියලු ව්‍යායාමයන් නිෂ්ඵල වන්නේ නොවේ දැයි උන්වහන්සේ කල්පනා කරන්නට ද විය. එසැණින්ම මහාබ්‍රහ්මයා උන්වහන්සේ අබියස පෙනී සිට පින්වත් භාග්‍යවතුන් වහන්ස, ඒකාන්තයෙන්ම ඔබ වහන්සේගේ අධිෂ්ඨානය පරිදිම සදහම් දෙසමින් ලෝවැඩ සඳහා සියලු කටයුතු සම්පාදනය වී ඇතැයි පවසා අතුරුදන් විය.

Read More

06. දෙවි බඹුන්ගේ සාදු නද මැද මංගල සදහම් ස්‌වරය නැගෙයි … !

Posted by | වදිමි සිදුහත් ... (The character for Buddha ) | No Comments
උරුවේලා දනව්වේ සිට ඉසිපතනයට දෙසැත්තෑ ගව්වක්‌ පමණ දුර විය. සිදුහත් ගෞතමයෝ මේ සා දුරක්‌ ඇවිද යත් නම් එය නොමැනවැයි සිතූ මහා බ්‍රහ්මයා දිව්‍ය රථයක්‌ ද සමග උන්වහන්සේගේ අබිමුව ප්‍රාදුර්භූත විය. එහෙත් උන්වහන්සේ ඒ දෙස නොබලා තුෂ්ණිම්භූතවම සිටි හෙයින්, උන්වහන්සේ ඒ ගමන් පහසුව නො ඉවසන බව බඹහු නිශ්චිතවම දැන ගත්හ. සැබැවින්ම උන්වහන්සේට ඒ ගමන ප්‍රශ්නයක්‌ නොවීය. මෙලොව කිසිදු ප්‍රාණියකුට දරා ගත නොහැකි තරම් දුෂ්කර ක්‍රියාවන්හි නිරත වූ තමන් වහන්සේට ගව් සිය ගණනක්‌ වුවද කිසිදු අපහසුවකින් තොරව පියමං කළ හැකි බව බුදුහු දනිති. එවේලෙහි උන්වහන්සේට සිහිපත් වූයේ දෙව් බඹුන් සහිත ලොවම බලා සිටින ප්‍රථම ධර්ම දේශනාව කා උදෙසා පැවැත්වීම උචිත ද යන්නය. එකෙණෙහිම උන්වහන්සේට ආලාරකාලාම තවුසා සිහිවිය. තමන්ට ඔවුන්ගේ ඇසුරෙන් ලැබුණු ප්‍රතිලාභයක්‌ නො වුවද සත්‍යය ගවේෂණයෙහි ගාම්භීරත්වය පිළිබඳ නො පැහැදිලි ආලෝකයක්‌ දල්වාලීමට ආලාරකාලාම තවුසාගෙන් අනුබලයක්‌ වූ බව බුදුහු සිහිපත් කළහ. ලෞකික සුඛ විහරණයෙන් මිදුණු වීතරාගී මාවතක්‌ ඔස්‌සේ තමන්ගේ සත්‍යාවබෝධය සිදු කළ යුතුය යන අධිෂ්ඨානය ද ඇති වූයේ ඔවුන් ඇසුරෙන් බවද උන්වහන්සේට සිහි විය.

Read More

07. නාටිකාවන්ගේ විප්‍රකාර මැද යස මාලිගය හැර යයි!

Posted by | වදිමි සිදුහත් ... (The character for Buddha ) | No Comments

ඇසල සඳ බැස ගිය අහස්‌ කුස පාලුව මකන්නට මෙන් තරු පොකුරු එල්ලා තිබුණි. ඇදෙන සුළං වැල් සමඟ සිහින් සීතලක්‌ මුසු විය. ග්‍රීෂ්ම කාලයේ අවසාන දින කීපයෙන් පසු එළඹෙන වැසි සමය සොබා දම් දිනිතියට නිසැක අස්‌වැසිල්ලකි. වැහි බිඳුවක සීතල අපේක්‍ෂාවන් තුරු සුසුම් ලන්නාක්‌ මෙනි. සිදුහත් ගෞතමයන්ටද සිදු වෙමින් තිබෙන කාලගුණ විපර්යාසය මනාව දැනෙන්නට විය. වර්ෂාවේ ශාන්තිය මිහිකතට ආශිර්වාදයක්‌ බව උන්වහන්සේ සිහි කළේය. ලියගොමුමලින් පුබුදු කරමින් තුරු පෙළ මවන නෙත්කලු දසුන් මිහිමත සිටින සියලු සතුන්ට නව ජීවයක්‌ කවන්නාක්‌ මෙනි. එවේලෙහි බුදුන් වහන්සේගේ සිත තුළ මෙවන් සිතිවිලි ධාරාවක්‌ නැගුණි.

“දැන් එළඹෙන්නේ වැසි සමයයි. හාත්පස වන බිම්ද තණ බිම්ද දියවැල්ද එයින් මනාව ප්‍රමුදිත වන්නේය. වැසි වැටෙන බිම ලිහිල්ව මෘදුව පය නගනු නොහැකි තරමට දියාරු වන්නේය. දිය රේඛා වැසි දියෙන් පුළුල්ව ගලා යයි ඇතැම් විටෙක ගඟ දිය උතුරා යන්නටද පටන් ගැනෙයි. මේ සියලු විපර්යාස මැද මිගදාය තුළටම සීමා වූ සති කීපයක්‌ එළඹෙයි. එසේ වුවද බහුජන හිත පිණිස බහුජන සුව පිණිස කෙරෙන සඳහම් චාරිකාවේ සියලු කටයුතු මෙහි සිට සැලසුම් කළ හැකිය. වැසි නිම වන තෙක්‌ මෙහිම වැඩ වැසීම වඩාත් යෝග්‍ය වේ.”

Read More

08. ලියක්‌ පසුපස කුමක්‌ නිසා දුවන්නෙහිද ?

Posted by | වදිමි සිදුහත් ... (The character for Buddha ) | No Comments
යස කුමරුන් මාලිගාවේ නොමැති බව දත් යොවුන් ලියෝ ඉමහත් වික්‍ෂිප්ත භාවයකට පත්වූහ. මේ පුවත මාලිගාවේ පමණක්‌ නොව බරණැස්‌ පුරයම කළඹවන්නක්‌ වන බව ඔව්හු ඉඳුරා දත්හ. කෙනෙක්‌ ගෙවී ගිය රාත්‍රිය මතකයට කැඳවන්නට තැත් කළහ. තවත් කෙනෙක්‌ ලිහිල්ව ගිය සිය කෙස්‌ වැටිය සකසා මුහුල බඳින්නට වූවාය. අඩවන් වූ කවුළු දොරින් හැමූ සුළඟ ද, එවේලේ ඔවුන්ට කරදරයක්‌ සේ විය. දිගු නිහඬතාව බිඳිමින් කතා කළේ යස ගේ ප්‍රියතම යෙහෙළියක වූ අරුණිය.

“මං කිව්වනේ සිටු කුමාරය ඊයේ හරි අමුතුයි කියල. මතකද මං මොනතරම් පෙරැත්ත කළත් මධුවිත තොල ගාන්නෙ නැතුව ප්‍රතික්‍ෂේප කළ හැටි. ඊට පස්‌සෙ මගෙ අතින්ම පිරිනැමුව පලතුරු යුෂ ඔඩමත් පැත්තක තිබ්බ.” Read More

09. තුන් බෑ ජටිලයෝ බුදුන් සරණ යති …

Posted by | වදිමි සිදුහත් ... (The character for Buddha ) | No Comments
ඒ වස්‌සානයේ අවසන් දින කීපයයි. අහස්‌ කුස නිල් වියනක්‌ සේ මනරම්ය. ළා හිරු එළිය ගලා එයි. සිහිල් මඳ නල මුසුව කුරුලු ගී ඇදෙයි. තුරු වදුලු කරළිය මන රඟන රිලා නැටුම් දැක වනමල් සිනාසෙයි. ගොපලු දරුවන් සමග ඇදෙන ගව රැළ අලුත් තණ බිම් සොයති. ගව කුර හඬින් සැලී වෙව්ලුම් ගත් යොවුන් මුව නාම්බකු හාත්පස නිරීක්‍ෂණය කර පිම්මේ වන ගැබට රිංගා ගත්තේය. මුව නාම්බා සිටියේ පෙර දින රැයෙහි පෙම් සටනකින් පරාජිතවය. ඒ යොවුන් මුව දෙනකු බෙදා ගන්නට කළ මාරාන්තික සටනකි.
වේලාසනින්ම පිබිදුණු සිදුහත් ගෞතමයෝ සමාධියෙන් මොහොතක්‌ වැඩ හිඳ ලොව දෙස බලන්නාහු උරුවේලා ජනපදයෙහි සිටින උරුවේල කාශ්‍යප නම් වූ ප්‍රමුඛ ජටිලතෙමේ හමුවන රිසින් එදෙසට ගමන් කරමින් සිටියහ.

Read More

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.