🌻 පසුගිය ලිපියෙන්
භාග්‍යවතුන් වහන්සේ රජගහනුවරට පැමිණි පසු කාලයෙහි වටරවුම් සාලාවෙහි රැස්වූ සඟ පිරිස අතර යම් තැනැත්තෙකු වෙනුවෙන් ගගෙහි එතෙර මෙතෙර අටයොදුනක් වූ බිම් පෙදෙසෙහි දියෙහිද ගොඩබිමෙහිද සමකොට වැලි අතුරා මලින් ගැවසී තිබුණේද යොදුනක් පමණ ගංගා ජලයෙහි නන් පැහැති පියුමින් ගැවසුන්ද අකනිටා බවන දක්වා සේසත් පිට සේසත් නැංවීද ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ බලමහිමය පිනිසමයි, හරි පුදුමයි යනුවෙන් මේ අතුරු කතාබහ ඇතිවුනා. භාග්‍යවතුන් වහන්සේ ඒ බව දැන සුගන්ද කුටියෙන් නික්ම ඒ මොහොතට සුදුසු අයුරින් පැමිණ පනවන ලද උතුම් බුදු අසුනෙහි වැඩසිටිය.
එසේ වැඩසිටි භාග්‍යවතුන් වහන්සේ ” මහණෙනි දැන් කිනම් කතාබහක් මෙහි සිදුවුනාද?” යනුවෙන් සඟ පිරිස අමතනු ලැබුවා. සංඝයා වහන්සේලා බුදුන්වහන්සේ ලැබූ ඒ පුදසත්කාර පිළිබඳව සියළු තොරතුරු සැළකර සිටියා. එවිට තථාගතයන් වහන්සේ මෙලෙස ඒ මනරම් අතීත කතා වෘතාන්තය දේශණාකරනු ලැබුවා.
🌻 විසාලා මහනුවරට යනෙන මග දෙපස නා රජවරුන්ගෙන්, දෙවියන්ගෙන් බමුන්ගෙන් ලැබූ පුද සත්කාර වලට හේතු වූ අතීත කුසල කර්මය පෙන්වාදීම.
” මහණෙනි, මේ වෙසෙස් වූ පූජා මාගේ බුදුබලයෙන් පැවැතියේ නොවේ. නාගයන්ගේ දෙවියන්ගේ බඹුන්ගේ බලයෙන්ද නොවේ. එතෙකුදු වුවත් පෙර අපමණ වූ දේ පවරා දෙනු ලැබූ බැවින් ඒ බලයෙනැයි” වදාරනු ලැබුවා. එය අසා සිටි භික්ෂු පිරිස “හිමියනි, ඒ අපමණ දෙන ලද දේ පිළිබදව අපි නොදනිමු. අපට දැනගැනීමට එය වදාරන්නේ නම් මැනවැයි” අයාචනා කර සිටියා. එම ආරාධනය පිළිගත භාග්‍යවතුන් වහන්සේ ඒ අතීත පුවත මෙසේ වදාරනු ලැබුවා.