95 මහා සුදර්‍ශන ජාතකය

තවද මුළුලොවට පතළාවූ ආඥා ඇති තිලෝගුරු සම්මාසම්බුදුරජානන්වහන්සේ කුසිනාරානුවර මලලරාජෙන්ද්‍ර ශාලවනොiානයෙහි යුග්ම ශාලාභ්‍යනතරයෙහි පරිනිර්වාන මංචකයෙහි සැතපුනුසේක්. අනඳ මහතෙරුන්වහන්සේ අරභයා මේ ජාතකය වදාළසේක.

ශාසතෘවූ බුදුරජානන්වහන්සේ දෙව්රම්වෙහෙර වසනසේක්. සැරියුත් මහතෙරුන්වහන්සේ ඉල්මස මැදිපොහොයෙහි නාලක නම් ගම තමන් වහන්සේ උපන් ගර්භයෙහිම පිරිනිවන් පෑ වදාළසේක. මුගලන් මහතෙරුන් වහන්සේද ඉල්මස කළුවර පොහොයෙහි පිරිනිවන් පෑසේක. බුදුහු කුසිනාරා නුවරට ගොස් මම පිරිනිවන්පාමියි අනුක්‍රමයෙන් දනව් සැරිසරා වඩනාසේක. කුසිනාරානුවරට වැඩ මල්ලරජ්ජුරුවන්ගේ මඟුල් උයනෙහි උයනමැද යුග්මශාලානතරයෙහි උතුරුදිගට ඉසලා ඇතුළුයහනෙහි නැගී නොසිටිනා සෙය්‍යාවෙන් සැතපුණුසේක. ඉක්බිති ඒ සැතපුණු සර්වඥයන්වහන්සේට අනඳ මහතෙරුන්වහන්සේ දන්වනසේක්. භාග්‍යවතුන්වහන්ස මේ නුවර පිරිනිවන් පෑ නොවදාළ මැනව, ජලාශ්‍රයක් නැතිහෙයින් නිරූදකවූ රළුනුවර පිරිනිවන් නොපෑව මැනව, රජගහනුවර සැවැත්නුවර ආදිවූ එක්තරා මහා නුවරක පිරිනිවන් පෑව මැනවැයි ආරාධනා කළසේක. සර්වඥයන්වහන්සේද අනඳ මහතෙරුන්වහන්සේට වදාරණසේක්. ආනන්ද ස්ථවිරයිනි එසේ නොකියව, කුඩා නුවරෙහි කියාද අතුනුවරයයි කියාද මේ කුසිනාරානුවරට කියන්ට සුදුසු නොවන්නේය, ආනන්ද ස්ථවිරය යටගිය දවස මහා සුදර්ශන නම් සක්විතිරජව උපන් සමයෙහි මෙම නුවර මම වාසය කෙළෙමි, එම්බා ආනන්ද ස්ථවිරයෙනි පෙර මෙම නුවර දොළොස් යොදුන් රුවන් පව්රෙන් පිළිකෙව්කරණලද වීයයි වදාරා නිශ්ශබ්ද වූසේක. එකල්හි ආනන්ද මහතෙරුන්වහන්සේ විසින් ආරාධිතවු සර්වඥයන්වහන්සේ ඉකුත්වත් ගෙණහැර දක්වා වදාරණසේක්. මහා සුදර්ශන සූත්‍රදේශනාව ගෙණහැර දක්වා වදාළසේක.

හේ කෙසේදැයි යතහොත්,

එහි විස්තර මහා සුදර්ශන සූත්‍රයෙන් දතයුතුවන්නේය. එකල්හි මහා සුදර්ශන නම් සක්විතිරජව තමන් වසන ධර්ම නම් ප්‍රාසාදයෙන් පාතබැස ප්‍රාසාදයට නුදුරුව සත්රුවන්මයවූ තල්වනයෙහි පණවනලද කැප අස්නෙක්හි ඉඳ දකුණැලයෙන් නැඟී නොසිටිනා සෙය්‍යාවෙන් මරණමඤචකයෙහි වැදහොත්තාවූ සක්විති රජ්ජුරුවන්ට අගමෙහෙසුන්වූ සුභද්‍රානම් බිසව කියන්නී. දේවයිනි සුවාසූ දහසක් නුවරින් පිරිවරණලදුව මේ කුසාවතී නම් රාජධානියෙහි ඇළුම්කොට වදාලමැනවයි ඒ සුභද්‍රා නම් බිසවුන් කීකල්හි මහාසුදසුන් සක්විති රජතෙමේ බිසවුන්ට මෙසේ කීය, දේවීනි එසේ නොකියව තවද මේ සියළු රජ ඉසුරෙහි අපෙක්‍ෂාවක් නොකළමැනව, ඇල්මක් නොකළමැනවැයි මෙසේ අනුශාසනා කරවයි කියා කීහ. එබස් අසා බිසව්ද සුවාසූදහසක් පමණ ස්ත්‍රීහූද හඬාවැලපීහ. එබස් ඇසූ අමාත්‍යයෝද සියළු නුවර වැස්සෝදරජ්ජුරුවන් කීබස් අසා සහනයකොට ගත නොහී අඬාවැලපීහ. සුදසුන් නම් මහරජ්ජුරුවෝද බොහෝදෙනාගේ අරගළ අසා කිසිකෙණෙකුන් හඬා අරගළ නොකරවයි සියල්ලවුන් නවතා සුභද්‍රා නම් බිසවුන් කැඳවා එම්බා දේවීනි නොහඬව නොහඬව තල බීජ මාත්‍රෘවකුත් සියළු සංස්කාර ධර්‍මයන්ගේ එකාකාර පැවැත්මක් නැති හෙයින් නිතශ දෙයක් නැතැයි කියා ” අනිච්චාවත සංඛාරා” යනාදී ගාථාවෙන් බිසවුන්ට බණ කියා ඒ මහා සුදසුන් රජ්ජුරුවන් අමෘතමහා නිර්‍වණය දැක්වීමෙන් දේශනාව කුළුගන්වා සෙසු බොහෝ ජනයාටද දන්දෙවයි සිල් රක්‍ෂාකරවයි පෙහෙවස් රක්‍ෂාකරවයි අවවාද කොට චුතිප්‍රතිසන්‍ධි වශයෙන් දිව්‍යලෝකයෙහි උපන්නාහ. ශාස්තෘවූ සම්මා සම්බුදුරජානන්වහන්සේ මේ ජාතක ධර්‍මදේශනාව ගෙණහැර දක්වා වදාරා ජාතකය පූර්‍වපරසන්‍ධිගළපා වදාළසේක.

එසමයෙහි ස්වාසූදහසක් ස්ත්‍රීන්ට නායකවූ සුභද්‍රාදෙවීහුනම් දැන් මෙකල්හි රාහුලමාතාවෝය, එකල්හි පරිනායකරත්නය නම් මෙකල්හි රාහුල ස්ථවිරයෝය, සෙසු පිරිස් නම් මෙකල්හි බුදුපිරිස් වන්නාහ. එසමයෙහි මහාසුදසුන් සක්විති නම් බුදුවූ මම්ම වේදැයි තමන්වහන්සේ දක්වා වදාළ සේක.

 

 

උපුටා ගැනීම – www.jathakakatha.lk

96 තෙල පත්ත ජාතකය
94 ලොමහංස ජාතකය

Leave a Reply

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.