Skip to main content

84 අත්‍ථස්සචාර ජාතකය

තවද එක් සමයෙක්හි සංසාර සාගරයට පසුරක් බඳුවූ තිලෝගුරු බුදුරජානන්වහන්සේ දෙව්රම්වෙහෙර වසනසේක් කාරණ දැනීමෙහි සමත්‍ර්‍ථවූ එක් කුලපුත්‍රයක්හු අරභයා මේ ජාතකය වදාළසේක.

සැවැත් නුවර එක් මහ සම්පත් ඇති සිටානකෙණෙකුන්ගේ පුත්‍රයෙක් සත්ඇවිරිද්දෙහිම නුවණැත්තේය, කාරණා කාරණා දැන්මෙහි සමත්‍ර්‍ථය, එක් දවසක් ඒ කුලපුත්‍රයා පියානන් සමීපයට ගොස් අභිවෘධියට උපායවූ ප්‍රශ්නය විචාළේය, ඒ සිටානෝ ඒ ප්‍රශ්න දැනගත නුහුනුවාහුය. ඉක්බිත්තෙන් ඒ සිටානන්ට මෙසේවූ සිතිවිල්ලෙක් විය. මේ ප්‍රශ්නය ඉතා සූක්‍ෂමය, සර්‍වඥයන්වහන්සේ හැර අනික් කෙණෙක් උඩින් භවාග්‍රය හා යටින් අවීචියෙන් පිරිහුනාවූ මේ ලෝකයෙහි මේ ප්‍රශ්නය කියන්නට සමත්‍ර්‍ථ කෙණෙක් නැතැය’යි සිටානෝ පුත්‍රයා කැඳවාගෙණ බොහෝ සුවඳ මල් ආදිය ගෙන්වාගෙණ ජෙතවනයට ගොස් සර්‍වඥයන්වහන්සේට පූජා කොට වැඳ එකත්පස්ව හිඳ බුදුරජානන් වහන්සේට මෙසේ දැන්වූය, ස්වාමීනී මේ කුමාරයා නුවණැත්තේය, කාරණා කාරණා දැන්මෙහි සමත්‍ර්‍ථය, මේ තෙමේ මා අතින් අභීවෘධියට කාරණා වූ ප්‍රශ්නයක් විචාළේය, මම ඒ ප්‍රශ්නය දැනගතනොහී බුදුරජානන්වහන්සේ සමීපයට ආමී, ස්වාමීනී බුදුරජානන්වහන්ස මට ඒ ප්‍රශ්නය වදාළසේක්වීනම් යහපත් වන්නේය’’යි කීයේය.

එකල්හි සර්‍වඥයන්වහන්සේ වදාරණසේක් ’’ උපාසකය පෙරත් මේ කුමාරයා මා අතින් මේ ප්‍රශ්නය විචාළේය, මමත් ඕහට කීමි. එසමයෙහි මේ තෙමේ ඒ ප්‍රශ්නය දන්නේය, දැන් වූකලී අන්‍යභන්‍යෙනුත් සැඟවුනු බැවින් නොසලකන්නේය’’ යි වදාරා ඔහු විසින් ආරාධිතවූ සර්‍වඥයන්වහන්සේ ඉකුත්වත් දක්වා වදාළසේක.

යටගිය දවස බරණැස්නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්‍යය කරණ කල්හි පුරණ ලද බොධිසම්භාර ඇති අප මහබෝසතානෝ මහා සම්පත් ඇති සිටාන කෙණෙක් වූය. එකල ඒ සිටානන්ගේ පුත්‍රයෙක් සත්හැවිරිදි වයසේදීම ප්‍රඥාවෙන් වැඩ අවැඩ දැන්මෙහි සමත්‍ර්‍ථය, ඒ කුමාර තෙමේ එක් දවසක් පියානන් සමීපයට ගොස් ’ පියානන්වහන්ස වැඩ අවැඩ උපාය නම් කවරේදැ ’’ යි විචාළේය. එකල ඕහට පියානෝ ප්‍රශ්නයක් කියන්නාහු මෙසේ කිවුය, ශරීර ව්‍යාධියෙන් පීඩිත කල්හි නොලද්දාවු ලාභයක් උපදවනටත් ලද්දාවූ ලාභයක් ප්‍රයෝජන විඳින්නටත් අසමත්‍ර්‍ථ වන්නේය, නිරෝගි තැනැත්තේම නූපන්නාවූ ලාභ උපදවන්නටත් උපන්නාවූ ලාභයක් ප්‍රයෝජනය විඳින්නටත් සමත්‍ර්‍ථ වන්නේය, චිත්තක්ලේශයෙන් පීඩිතවූ කල්හි නූපන්නාවූ ධ්‍යානාදී ලාභ නැවත නැවත සමාපත්ති වශයෙන් ප්‍රයෝජන විඳින්ටත් අසමත්‍ර්‍ථ වන්නේය, ඒ අනාරොග්‍යය ඇති තල්හි නොලබන ලද්දාවූ ලාභය නොලබන්නේය, ලබන ලද්දාවූ ලාභය තිරාත්‍ර්‍ථක වන්නේය, නිරෝගී බව ඇති කල්හි නොලබන ලද්දාවූ ලාභය ලැබෙන්නේය, ලබන ලද්දාවූ ලාභය සාත්‍ර්‍ථකවන්නේයයි නිරෝගී බවම උක්කෘෂ්ටවූ ලාභයෙක් නම් වන්නේය, එසේහෙයින් පළමුකොට නිරෝගී බව වෘද්ධියට උපායක, මහා ආචාර ශීලයෙන් යුක්තව ලෝක චාරිත්‍ර දැන්මද දෙවෙනිවූ අභිවෘද්ධියට කාරණයක, ඤාණවෘද්ධිය, වයෝවෘද්ධිය, තපෝවෘද්ධි වූ ගුරුන්ගෙන් අවවාද ඇසීම් තුන්වෙනිවූ අභිවෘද්ධියට කාරණයක, මේ ලෝකයෙහි කාරණා තිශ්‍රීතවූ බහුශ්‍රුතවූ බව සතරවෙනිවූ ලෝවැඩ උපායක, ත්‍රිවිධ දුශ්චරිත ධර්මය දුරුකොට ත්‍රිවිධවූ සුචරිත ධර්මයන්ට අනුව පැවැත්ම පස්වැනිවූ අභිවෘඩියට, චිතතයාගේ මලින නොවන බව නොපසුබට සවැනිවූ අභිවෘඩියට කාරණයක, එසේහෙයින් මොහු සදෙන ලෞකික ලෝකොතතර සඛ්‍යාත අභිවෘඩියම සාදාදීලන්ට සමත්‍ර්‍ථ හෙයින් උතුම් වූ අභිවෘඩිකාරණාවෝ යයි මෙසේ මහබෝසතානෝ පුත්‍රයාට අභිවෘඩියට උපායවූ ප්‍රශ්නය කීවාහුය. ඒ කුමාරතෙම එතැන් පටන් ඒ සවැදෑරුම්වූ අභිවෘඩිකර ධර්‍මයෙහි පැවැත්තේය. බොධිසත්‍වයෝ දානාදී පින්කම් කොට කම්වූ පරිද්දෙන් මිය පරලොව ගියෝය. ශාසතෘවූ බුදුරජානන්වහන්සේ මේ ධර්‍මදෙශනාව ගෙණහැර දක්වා වද්‍රරා අත්‍ථසසවාර ජාතකය නිමවා වදාළසේක.

එසමයෙහි පුත්‍රයා නම් දැන් මේ පුත්‍රයාය, එසමයෙහි ප්‍රශ්න විසර්ජනය කළාවූ මහ සිටානෝ නම් තිලෝගුරු සම්‍යක් සම්බුදුරජවූ මම්ම වේදැයි තමන් වහන්සේ දක්වා වදාළසේක.
උපුටා ගැනීම – www.jathakakatha.lk

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.