Skip to main content

545 සිහ කොත්ථුක ජාතකය

බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙ වැඩ වාසය කරන සේක්. කෝකාලිකයන් ඇරබ මේ ජාතකය දේශනා කොට වදාළ සේක. එක් දවසක් අන් බහුශ්‍රැතයන් ධර්ම දේශන කරන කල්හි නූගත් කෝකාලික තෙමෙත් ධර්ම දේශනා කරන කැමැත්තෙන් විය. භික්‍ෂූන් අතින් ඒ සියල්ල දැන වදාල බුදුරජාණන් වහන්සේ මහණෙනි, කෝකාලික තෙමේ අද පමණක් නම් කටහඩින් ප්‍රකට වූයේ නොවේ. පෙරත් කටහඩින් ප්‍රසිද්ධ වූයේ යැයි වදාරා අතීතය ගෙන හැර දැක් වූ සේක.

පෙර බඹදත් රජු බරණැස් නුවර රාජ්‍ය කරවන කල්හි බොසතාණන් වහන්සේ හිමවතැ සිංහයෙක් ව ඉපිද එක් සිවල් දෙනක් හා සංවාසයෙහි යෙදී එක් ප්‍රත්‍රයෙක් ලැබීය. ඒ පුත්‍රයා ඇඟිලි වලින්ද, නිය වලින්ද, කෙසුරෙන්ද, වර්ණයෙන්ද, ලක්‍ෂණයෙන්ද පියාට සමානය. ශබ්දයෙන් මවට සමානය. ඉක්බිති දවසක් වැසි වැස අවසන් වූ කල සිංහයන් නාද කරමින් සිංහ ක්‍රීඩා කරන විට මේ තෙමේද සිංහයන් අතර නාද කරනු කැමතිව සිවල් හඩින් නාද කළේය. ඉක්බිති සිංහයෝ ඔහුගේ හඩ අසා නිශ්ශබ්ද වූහ. ඔහුගේ හඩ ඇසූ බෝසතුන්ගේ අන් ස්වජාති පුත්‍රයෙක් පියාණෙනි, මේ සිංහයා වර්ණ දියෙන් අප හා සමානය. මේ කවරෙක්දැයි විචාළේය.

එය අසා බොසත්තෙම දරුව, මේ නුඹගේ සහෝදරයා සිවලියකගේ පුත්‍රයෙකි. මොහු රූපයෙන් අපට සමානය. ශබ්දයෙන් මවට සමාන යැයි කියා සිවලියගේ පුතා අමතා, දරුව මෙතැන් පටන් නුඹ මෙහි වාසය කරන්නේ නිහඩව වසව. ඉදින් නැවත නාද කරන්නෙහි නම් නුඹගේ හිවල් බව දැන ගන්නේ යැයි අවවාද කළේය.

බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශණාව ගෙන හැර දක්වා ජාතකය නිමවා වදාළ සේක. ඒ කල්හි හිවලා අද කෝකාලියා විය. සිංහ පුත්‍රයා රාහුල කුමරුය. සිංහ රජාණෝ බුදුරජාණන් වහන්සේය.

 

 

උපුටා ගැනීම – www.jathakakatha.lk

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.