537 දක රක්ඛස ජාතකය - IFBC Organization | Dhamma

ඉහත සඳහන් උම්මග්ග ජාතකයේ එන දියරකුසු පැණය බලා මේ ජාතකය දත යුත්තේය.

පඤ්චාලචණ්ඩි දේවිය වේදේහ රජ්ජුරුවන්ට ප්‍රියව වසන්නී දෙවන අවුරුද්දේ පුතණු කෙනෙකුන් වැදූය. ඒ කුමාරයන් වැඩී දස අවුරුදු කල වේදේහ රජ්ජුරුවෝ සවර්‍ගස්ථ වූහ. පණ්ඩිතයන් වහන්සේ ඒ කුමාරයන් රාජ්‍යයෙහි පිහිටුවා දේවයන් වහන්ස මම නුඹවහන්සේගේ මුතුන් රජ්ජුරුවන් සමීපයට යෙමියි වඳාළසේක. කුමාරයෝ මා බාල තැනැත්තාවූ ඇරපියා නොයව මම තොප පිය තනතුරේ තබා රකිමි. නොයවමි’යි කීය. පඤ්චාලචණ්ඩි බිසවද පණ්ඩිතයෙනි මම වේදේහ රජුට පාවාදුන්නේත් දෙරජුන්ගේ වෛරය හරවා සමගි කළේත් නුඹවහන්සේමය. එහි ගියකල අපට කිසි පිහිටෙක් නැත. මෙහිම රඳාපියා සියළු සම්පත් වළදාපී මැනවයි කීහ. එවිට පණ්ඩිතයන් වහන්සේ එසේය මා එන ගමනේ වේදේහ රජ්ජුරුවෝ මළ කල මා එන්නෙමියි බ්‍රහ්මදත්ත රජ්ජුරුවන්ට ප්‍රතිඥාදී ආවෙමි. එබැවින් රඳන්ට නොපිළිවෙනැයි කියා මියුළු නුවර බොහෝ දෙනාගේ බැගෑහඬ අසන්නේ අමරා දේවින්ද සහජාත යෝධයින්ද කැටිව නික්මුණු සේක් පඤ්චාලනුවරට පැමිණිසේක. බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝද මහා පෙළහරින් අවුත් පිළිගෙන ඉදිනට මා හැගි මාළිගාවක් දුන්හ. වැටුපක් නොදුන්හ. නමුත් පණ්ඩිතයෝ කළමනා රාජ සේවය පමානොකොට කරන සේක.

එසමයෙහි ඉතා නුවණැති කීමෙහි දක්ෂ ඉතා ධර්මිෂ්ට “භෙරි” නම් වූ පරිබ්‍රාජිකා කෙනෙකුන්දෑ රජගෙයිදී වළදා මඟුල් උයන ඉඳිනා සේක. පණ්ඩිතයන් වහන්සේ උන් කිසි දිනක දැක නැත. ඔවුනොවුන් ගැන දෙදෙනාම පිටතින් දන්නාහ. නන්දා දේවිත් උමගින් සොරා ගෙන ගිය දින පටන් මහෞෂධ පණ්ඩිතයන් කෙරෙහි හටගත් වෛරයෙන් පසුවන්නී තම වල්ලභ ස්ත්‍රීන් පස්දෙනෙකුට කියන්නාහු තෙපි හැම මහෞෂධ පණ්ඩිතයාගේ අපරාධයක් පරීක්ෂාකොට රජ්ජුරුවන්ට කියා බිඳවා පියවයි කීහ. ඔව්හු පස්දෙන මහතාණන්ගේ වරදක් රහසින් සොයමින් ඇවිදිනාහ.

එක් දවසක් පරිබ්‍රාජිකාවන් දෑ රජගෙයි වළදා එන අතරමග පණ්ඩිතයන් වහන්සේ දැක “මේ පණ්ඩිතයෝ නුවණැත්තෝල හස්ත මුද්‍රාවෙන් ප්‍රශ්නයක් විචාරමියි සිතා පණ්ඩිතයන් මුහුණ බලා “අතක් විදහා පෑ සේක. ඒ කුමක් නිසාද යත් රජ්ජුරුවෝ තොප රටින් මෙරටට ගෙන්වාගෙන අත පුරා සම්පත් දී පියා සුවසේ රකිත්දැයි නොරකිත්දැයි සිතින් සිතාය. පණ්ඩිතයන් වහන්සේ ප්‍රඥා නැමැති දිවැසින් ඒ දැක තමන් වහන්සේ මිට හකුළුවා පෑසේක. කුමක්කී නිසාදයත්? මා සමීපයට එවයි මාගේ රටින් ගෙන්වා කලින් දුන් තෑගි විනා මට කිසිවක් දැන් නොදෙන්නාහයි සිතින් සිතා ඒ විසඳුනියාය දෙවනු පරිබ්‍රාජිකාව තමාගේ හිස පිරිමැඩ ලූ සේක. ඉන් කුමක් හැඟවීදයත්? ඉදින් උකටලී වූනම් අපසේ මහණව නොගනුදැයි හැඟවූ නියාය. එවිට පණ්ඩිතයන් වහන්සේ තමා විසින් රකිනා බඩවල් බොහෝ යයි හැගවීම සඳහා තමබඩ පිරිමැඩලූසේක.

නන්දා දේවියගේ වල්ලභ ස්ත්‍රීහු නිතර පණ්ඩිතයන් වහන්සේ ගැන පරීක්ෂා කාරීව උන්නාහු මේ දෙදෙනාගේ ක්‍රියා දැක රජ්ජුරුවන් සමීපයට ගොස් දේවයන් වහන්ස මහෞෂධ පණ්ඩිතයෝ පරිබ්‍රාජිකාවන් හා එක්ව ඔබ වහන්සේ සතු රාජ්‍යය ප්‍රෘත්‍ර්‍ථනා කරන්නාහයි වරදවා කියා බඳුවාපීහ. ඒ ඇසූ රජ්ජුරුවෝ පණ්ඩිතයන් විසින් මා කෙරේ වඑදනට නොපිළිවන. මේ දෙය පරිබ්‍රාජිකාවන් අතින් විචාරා දැනපියමි’යි සිතා දෙවන දින දන් වැළදීමට ආ කල්හි කිමෙක්ද? පණ්ඩිතයන් දුටුද? උන් හා කළ කථාබස් ඇත්දැයි කීහ. මහරජ උන්හා බසින් කී දෙයක් නැත. හස්තමුද්‍රාවෙන් ප්‍රශ්නයක් විචාරම්හ. අප විචාළ ප්‍රශ්න අප සිත්වූ පරිද්දෙන් විසඳුහයි ඒ වූ නියායෙන් වදාළසේක. මහරජ ඔහු නුවණැත්තෝය. උන් හා සමාන කෙනෙක් මුළු දඹදිව නැත්තාහයි වර්‍ණණාකළසේක. උන්වහන්සේ ගිය ඉක්බිති පැමිණි පණ්ඩිතයන් වහන්සේද පරිබ්‍රාජිකාවන් දෑ කී පරිද්දෙන්ම කී සේක.

ඒ ඇසූ රජ්ජුරුවෝ මහත් සොම්නසට පැමිණ තවතවත් පැහැද දසදහසක් යොදුන් දඹදිව මුළුල්ලට නායක කොට සෙනෙවිරත් ධූරය දී මේ රාජ්‍යය මුළුල්ලෙහි පණ්ඩිතයන් කීවක්ම කළ යුතුයයි විධානය කොට පාවා දුන්හ. පණ්ඩිතයන් වහන්සේගේ ගෙට සියළු සම්පත් මහමුහුදට වඩ බාදිය සේ ප්‍රමාණාතික්‍රාන්තව ගියේය. රජහු තමාට යසස් දුන් ඉක්බිති පණ්ඩිතයන් වහන්සේ සිතන්නේ මට මේ සා මහත් තනතුරක් දී මහත් යසසෙහි පිහිටුවාලූහ. රජදරුවෝ යමෙක් කෙරෙහි වෛරවූ නම් පෙරවරු යසස්දී පස්වරු නසන්නාහ. දැන් මටත් මහත් සම්පත් දීපීහ. රජ්ජුරුවන් මා කෙරෙහි ඉත සිතින් මේ සම්පත් දුන් සේක්ද? අහිත සිතින් දුන් සේක්දැයි කල් නොයවා දැනගතිමි’යි සිතා මල් සහ ගිලන්පසද රැගෙන පරිබ්‍රාජිකාවන් වසන පන්සලටගොසින් ස්වාමීනී නුඹවහන්සේ මාගේ ගුණ කීතැන් පටන් රජ්ජුරුවෝ මට මහත් සම්පත් දුන්හ. ඒ මා කෙරෙහි සම සිතින් දුන් සේක්ද නොදනිමි. රජහු මා කෙරෙහි ඇති සමගි ගුණය තත්වූ පරිදි දැනපිය මැනවයි කීසේක.

පරිබ්‍රාජිකාවද යහපතැයි ගිවිස දෙවන දවස් රජගෙට ගොස් දියරකුසු පැනයයි එක් ප්‍රශ්නයක් ගොතා වළදා අන්තයෙහි මහරජ රහස් කථාවක් කියනු කැමැත්තම්හ. විසඳනු මැනව’යි කියා ගාථාවකින් ප්‍රශ්නය විචාළසේක.

එහි අදහස කෙසේදයත්?

තොපගේ වැදූ මෑණියන්ද නන්දා දේවියද සහෝදර තීක්‍ෂණ මන්ත්‍රී කුමාරයෝද යහළු ධනුශෙඛර කුමාරයෝද අග්‍රපුරෝහිත කේවට්ට බ්‍රාහ්මණයෝද මහෞෂධ පණ්ඩිතයෝද තෙපිද යන සත් දෙනා මහාසමුද්‍රයෙහි එක් නැවකින් යන කල්හි උදක රාක්‍ෂසයෙක් මිනිස් බිල්ලක් සොයා ඇවිදින්නේ තොපගේ නැව දැක මුහුදු දිය දෙබෑකොට අවුත් මහරජ මේ තොප හා කැටිව නැවෙන් යන සදෙනා පිළිවෙලින් දුනහොත් මුත් නැව නාරිමි’යි කීනම් ඒ සදෙනාගෙන් කවුරු පළමුව දෙව්ද? දෙවැනි තුන්වැනිව කවුරු කවුරුන් බිලිදී ඒ ජල රකුසා අතින් ගැලවෙම්දැයි විචාළහ.

ඒ අසා රජ්ජුරුවෝ තමන් සිත වඤ්චානැතිව අදහස්වූ පරිද්දෙන් කියන්නාහු ස්වාමීනී ප්‍රථමයෙන් ජලරකුසාට මෑණියන්ව බිළිදෙමි. දෙවැනිව නන්දා දේවිය, තුන්වනුව මගේ මළනුවන්වද, සතර වැන්ව යහළුවාවද, පස්වැනිව කේවට්ටයාවද දී තවත් ඉල්ලානම් මහෞෂධ පණ්ඩිතයන්ව පිටිපස්සට දමා එම්බල මා කාපියව’යි ඒ රාක්‍ෂසයාගේ දල්වාවූ කටට පැන බිළිවෙමි. මා ඇසින් බල බලා සිටියදී මගේ පණ්ඩිතයන් නොදෙම්හයි කීය. ඒ අසා ගොස් දෙවන දින පරිබ්‍රාජිකාව රාජාංගනයට පැමිණ රාජසභාව පිරිවරා ගෙන සිටින රජුන් හමුවට ගොස් ලද විශේෂ අසුනක හිඳ රජ්ජුරුවන් අමතා මහරජ දියරකුසා තොප අල්වාගත්කල වැදූ මෑණියන් පටන් තොප සදෙනා පිළිවෙලින් බිලිදී පණ්ඩිතයන් රකිමියි කිව. බැලූකල මහෞෂධ පණ්ඩිතයන් තරම් තොපට සතුරෙක් නැත. තොපගේ මෑණියෝ තොපට බොහෝ උපකාරී වූ සේක. එසේවූ මෑණියන් කුමක් පිණිස ප්‍රථමයෙන් බිළිදෙව්දැයි විචාළසේක.

මහෞෂධ පණ්ඩිතයන්ගේ ගුණ ලෝකයේ ඉරහඳ සේ ප්‍රකට කරනු සඳහා සභා මාධ්‍යයෙහි පරිබ්‍රාජිකාව විසින් රජ්ජුරුවන් සමග මේ වාදය කරන බව දතයුත්තේය. එවිට රජ්ජුරුවෝ මාගේ මෑණියන් දෑගේ ගුණ බොහෝ බව දනිමි. ඔබ දන්නා ගුණයට වඩා මා දන්නා නුගුණ බොහෝය. ඒ හැම කියන්නට නොපිළිවන. යම්තම් දෙයක් කියමි. අසා වඳාළ මැනව

තමන් ඉතා වයස්ගතව සිට බොහෝ මණිමේඛලා දාමා දියෙන් සැරසී රාජසභාව රැස්වූ කල ඔබිමොබ හැසිරෙන්නීය. මම ඒ ශබ්දය අසා බොහෝකොට ලජ්ජා වන්නෙමි. අමාත්‍ය සමූහයා ඔවුනොවුන් මුහුණ බලන්නාහ. තවද මුන්දෑගේ ඉඳුල් බත් කන්ට තරම් නොවූ ප්‍රත්‍යන්ත රජ්ජුරුවන්ට මා යැව්වාකොට පත් ලියා යවන කල මාගේ මෑණියන් මහළු නොවනදෑය. සොළොස් හැවිරිදි කෙල්ලන් මීට වඩා සංවර වන්නාහ. රජ්ජුරුවන්ට යවනා පත් හරවා අපට ආකල සභා මාධ්‍යයෙහි ඒ කියවිය නොහැක්කේය. පොළව පැලීයන්නාසේය. මේ වැරදි නිසා මෑණියන්ව දියරකුසාට දෙමියි කීහ

මෑණියන් මේ වරදින් ජලරකුසාට දෙව නන්දා දේවිය බාල අවස්ථාවේ පටන් තොපට මහත් උපකාර ඇත්තීය. කුමක් නිසා බිලි දෙන්නෙහිදැයි විමසීය.

ස්වාමීනි නන්දා දේවිය රහසිගතව ලෝකාස්වාද රතියෙන් සතුටුව මා තමා වසඟයට පමුණුවා මාගේ සෙසු බිසෝවරුන්ට හා උන්ගෙන් උපන් දරුවන්ට මා විසින් ස්නේහයෙන් කරවා පලඳවන ලද නොඉල්වියයුතු පළඳනා මා අතින් ඉල්වයි. මා කාමරාගයෙන් මත්ව ඒ ගනුවයි කීකල අනික් බිසෝවරු සහ දරුවෝ හඬමින් මා සමීපයට අවුත් ශෝක වන්නාහ. මමද පසුතැවිලි වන්නෙමි. ඒ වරදින් ඈ ජලරකුසාට දෙමියි කීහ. මෙසේ ක්‍රමයෙන් මළණුවන්වද ධනුශේඛර කුමාරයන්වද යහළුවාද කේවට්ට බමුණාවද බිලිදීමට ඇති සුදුසුකම් ප්‍රකාශකොට මහෞෂධ පණ්ඩිතයන්ගේ ගුණ කියන්නේ මා තබා දස දහසක් සක්වල දිව්‍ය බ්‍රහ්මයන් හා නාග සුපර්‍ණාදිවූ දෙවියෝද කියා නිමවාලිය නොහැක්කැයි සිතමි. උන් සමාන අන් පණ්ඩිතයෙක් ගිය දවස උපන්නෙත් දැන් ඉපදීත් නැත. මතු උපදින්නෙත් නැතැයි කියා ඉඳිකටු මලින් අහස පාන්නාසේ ගුණ ප්‍රකාශකළහ.

මෙසේ ප්‍රඥාතොමෝ මහත් සෘද්ධි ඇත්තීය ඓෙහ ලෞකික පාර ලෞකික සකලාර්‍ථ සිද්ධිය පිණිස උපකාරී වන්නේයයි පරිබ්‍රාජිකාවන්දෑ පණ්ඩිතයන් වහන්සේගේ ප්‍රඥාගුණය තමන්ගේ නුවණින් දේශනා කොට කුළුගන්වා දියරකුසු පැනයෙන් මේ උම්මග්ග ජාතකය නිමවා වඳාළසේක.

එසමයෙහි පරිබ්‍රාජිකාවන්දෑ දැන් උපුල්වන් මහා ස්ථවීරිය. පියවූ සිරිවර්‍ධන සිටාණෝ සුද්ධෝදන මහ රජ්ජුරුවෝය. මෑණියෝ මහාමායා දේවිය. අමරා දේවීනම් යශෝධරාවය. ගිරවා නම් ආනන්ද ස්ථවිරයෝය. චූලනී බ්‍රහ්මදත්ත රජනම් සාරිපුත්‍ර ස්ථවිරය. මහෞෂධ පණ්ඩිතයෝනම් දැන් ලොව්තුරා ශාන්තිනායක බුදුපියාණෝය.

 

 
උපුටා ගැනීම – www.jathakakatha.lk

538 දහම්සොඬ ජාතකය
536 ඛජ්ජෙිපනක ජාතකය

Leave a Reply

Your email address will not be published.

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.