Skip to main content

535 ‍දෙවතා පඤහ ජාතකය

මේ ජාතකයද උම්මග්ග ජාතකයෙහි එන්නේය.

රජ්ජුරුවෝ පණ්ඩිතයන් වහන්සේව රාජාසනයෙහි වඩා හිඳුවා තුමූ මිටි අස්නෙක හිඳ පණ්ඩිතයෙනිෟ සේසතෙහි වසන දෙව්දුව මාගෙන් පැන සතරක් විචාළීය. සේනකාදීන්ටද නොවැටහින. ඒ කියවයි ආරාධනා කළහ. එදවස් මහ බෝසතාණන් වහන්සේ සැට යොදුන් රත් ගල මුදුනෙහි සිංහනාද කරන අභීත කේශර සිංහයකුසේ දේවයනි, සේසතෙහි වසන දේවතාවා වේවයි චාතුර්මභාරාජිකාදීවූ සදිව්‍ය ලෝකයෙහි දේවතාවෝ වෙත්වයි, සොළොස් බඹ තෙලෙහි බඹහු වෙත්වයි, යම්කිසි කෙනෙකුන් විසින් විචාරණ ලද්දාවූ පැන නියුණු මුවහත් ඇති කඩුවකින් ඇඹුල මල් මිටියක් කපා වගුරුවන බල ඇති පිරිමියෙක් හු මෙන් මාගේ නිර්මල නුවණ නමැති කඩුවෙන් පිරිසිඳ කීයම්, කිව දේවයෙනි, දෙව් දූ විචාළ පැනයයි සර්වඥ ප්‍රචාරණයක් පරිද්දෙන් වදාළ සේක. (එදවස් මහබෝසතාණෝ සිව්නේ නොදත්තෝ නම් කෙසේද? මතු ලොව්තුරා බුදුව සියලු සතුන් සිත සැක දුරුකොට ධර්ම සිංහනාද කිරීමට මෙම දෘෂ්ටාන්ත නොවේද? වැලිකෙලියෙහි එතෙක් පැන විසඳු ඒ මහතාණන් වහන්සේට දැන් එක දේවතාවකු විචාළ පැනයක් විසඳීම් නම් කවර අරුමයක්ද? ඉක්බිති රජ්ජුරුවෝ දේවතා දුව විචාළ එලෙසම කියන්නාහු:

“භන්ති හන්‍ථෙභි පාදෙහි මුඛඤ්ච පරිසුම්භති“භන්ති හන්‍ථෙභි පාදෙහි මුඛඤ්ච පරිසුම්භති

සවෙරාජා පියො හොති කං තෙත මභිපස්සසි”

යනුවෙන් දක්වන ලද පළමුවන පැනය කීහ.

මහ බෝසතාණන් වහන්සේට ගාථාව අසමින්ම ආකාශයේ නිගාලු පුන් සඳ මඬලක් මෙන් අර්ථවබෝධය විය. ඉක්බිති බෝධිසත්වයන් වහන්සේ අසව දේවයෙනි වදාරා“යම් වෙලෙක්හි මෑණියන්ගේ ඇකයෙහි හොත්තාවූ ළඳරු කුමාරයා කිරි බී බඩ පුරාගෙන සතුටුව මැණියන් හා සමඟ කෙළනේ තමාගේ ළා හෝ පළු පත් සේ මොළකැටි අතින් මැනියනව මරන්නේද, ඉසකේ ඇඳ කඩන්නේද, මිටින් මැණියන් මුණ අන්නේද, එවෙළෙහි වගුළ සඳ රැසින් ඔද වැටි කිරිමුහුද සේ සෙනහයෙන් ඔදවැඩියාවූ සිත් ඇති මැණියෝ පුතණු වන්ට“සෙරගේ පුත, මා කුමට මරන්නේදැයි”යනාදි සෙනහවශයෙන් කියා සෙතහ ධාරාගන්නට අසමර්ථව දරුවන් ලෙහි හොවා සිප ගනිති, මෙසේ ඔරහිඳතමන් මරා කෙළනා වේලෙහි මැණියන්ට දරුවෝ ආදී ඇති ප්‍රේමයට වඩා ලාම ප්‍රිය වන්නාහ, පියාණන්ටත් එසේම ප්‍රිය වෙති” මෙසේ නහොමඬ්‍යයෙහි සූර්‍යය මණ්ඩලය ඔසවා පන්නාහුමෙන් ප්‍රශ්නය පහළ කොට වදාළසේක. ඒ ප්‍රශ්න විසර්ජනය අසා දේවතා දූ දළපුඬු සේසත් විවරයෙන් මෑත්ව අර්ධ ශරිරකේ දක්වා “ප්‍රශ්නය වදාළ නියාව ඉතා යහපතැයි”මිහිරි කටහඩින් ශබ්ද පවත්වා සත්රුවන් කරඬුවක් දිව මල් දිවසුවඳින් පූරා මහබෝසතාණන් වහන්සේට පූජාකොට සැගවී ගියාය.

රජ්ජුරුවෝද මහබෝසතාණන් වහන්සේට ගඳින් මලින් පූජාකොට දෙවන පැනයට ආරාධනා කොට කියව දේවයෙනියි වදාළ කල්හි:-

“අකේකාසතී යථා කාමං ආගමඤ්ව න ඉච්ඡති

සවෙ රාජ, පියො හොති කං තෙන මභිපස්සසි”

යන ගාථාවෙන් දෙවන පැනයට කීහ.

ඉක්බිති රජ්ජුරුවන්ට බෝසතාණන්වහන්සේ “රජ්ජුරුවෙනි, කකුල් දඩ ගොසින් කී දේ කටලන්නට සමර්ථ සත් හැවිරිදි පුතණුවන්ට කෙතට යව සල්පිලට යව කියා ‛ඉදින් මට මේ කැවුම් දුන්නේවීනම්යෙමි’යි කියන්නා එසේද පුතණ්ඩ, යි උන් කැමති කැමති කැවුම ඉදිකොට දුන්කල්හි ඒ කැවුම් කාලා තොපි සහිල් සෙවනේ ගෙයි හිඳුව, මම තොපට පිටත ඇවිද මෙහෙවර කෙරෙම්දැයි කියා හස්ත විකාර මුඪ විකාරාදි නොයෙක් උසුළු පපා කී මෙහෙවරට නොගොසින් සිටිනා පුතණුවන්ට මැනිතොමෝ කිපී මරන්නට දණ්ඩක් හැරගෙන මා සන්තක දෙය කාලා කුඹුරේ කුරුල්ලන් පමණ පලවාපියන්නවත් නොයෙදැයි භයගැන්වූ කල වේගයෙන් දිවගත් පුතණුවන් ලුහුබැඳ අල්වාගන්නට අසමර්ථව සෝනට යේවයි බිල්ලට යේවයි සොරු තා කඩ කඩ කොට කපා පියත්වයි යනාදීන් කියා කැමති පරිද්දෙන් කට හෙලන පමණක් හැවිලි අවන්ති යමක් මුඛයෙන් බෙනේ නම් සිඟිත්තකුත් දරුවන්ටවන්නා නොකැමත්තීය, ඒ කුමරා දවස මුළුල්ලෙහි කොල්ලන් හා එක්ව කෙළපියා සවස ගෙට වදනට නොපොහොසත් වූයේ නෑයන්ගේ ගෙට යන්නේය. මැණියෝද දරුවෝ දැන් එත් දෝහෝ දැන් එත්දෝයි පෙරමගබලා හිඳ සවස් වනතුරු නොඑන්නා දැක මා උරණ හෙයින් ගෙට එන්නට භය ඇතිව නොඑතියි සිත ශොකයෙන් පූරාගෙන කදුළු පිරුණු මුහුණින් යුක්තව නෑයන්ගේ ගෙවල් බලන්නාහු පුතණුවන් දැක වඩාගෙන සිප සනහා පියා දෑතින් තරකොට අල්වාගෙන පුත, මා කී බසුත් සිත තබද්දැයි ආදී ඇති ප්‍රෙමයටත් වඩාලා ප්‍රේම උපදන්නාහ, මෙසේ දේවයනි, දරුවෝ මෑනියන්ට කසීකලෙකත වඩාලාම පියවන්නාහයි දෙවන පැනය විසඳා වදාළ සේක. දේවතා දූ පෙර පරිදිදෙන්ම සාධුකාර දී පූජා කළාය.

රජ්ජුරුවෝද පූජාකොට තුන්වන පැනයට ආරාධනාකොට කියව දේවයනි, වදාළකල්හි:-

“අබ්භක්ඛාති අභුතෙත අලිකෙන අභිසාරයෙ

සවෙ රාජ, පියො හොති කං තෙන මහිපස්සසි”

යන ගාථාවෙන් තුන්වන පැනය කීහ.

ඉක්ඉිති මහබෝසතාණන් වහන්සේ දේවයනි, යම් වේලෙක අඹු සැමි දෙමහල්ලෝ රහසිගතව ලෝකස්වාද රතියෙන් කෙළනාවූ ඔවුනොවුන්ට තොප මා කෙරෙහි මඳකුත් ප්‍රෙමයක් නැත, තොපගේ සිත බැහැරයයි මෙසේ ඔවුනොවුන්ට නැත්තක් කියද්ද, බොරුවෙන් චෝදනා කෙරෙද්ද, එවේලෙහි ඔහු දෙමහල්ලෝ ඔහුනොවුන්ට අධිකව ප්‍රිය වන්නාහයි මෙසේ මේ ප්‍රශ්ණයේ අර්ථ දනුවයි තුන්වල පැනය වදාළසේක. දේවතා දූ පෙරසේම පූජාකළාය.

රජ්ජුරුවෝද පූජාකොට අනික් පැනයට ආරාධනාකොට කියව දෙවයෙනි, වාළ කල්හි:-

“හරං අන්නඤව පානඤව වත්‍ථසෙනාසනානිච

අඤ්ඤදත්‍ථු හරාසන්තා

තෙ චෙ පියොහොන්ති රාජ, කං තෙන මභිපසස්සි”

යන ගාථාවෙන් සතරවන පැනය කීහ.

ඉක්බිත්තෙන් රජ්ජුරුවන්ට දේවයෙනි, මේ පැනය තෙමේ ධර්ම්ෂ්ඨ වූ ශ්‍රමණ බ්‍රාහ්මණයන් සඳහාය, ඔවුන් තමන්ගේ ගෙදොර සිඟා සිටි කල්හි තමන් විසින් පිළිගන්වන ලද ආහාරදිය පිළිගෙනයන්නාවූද, ගොස් වළදන් නාද දැක අපම සිඟන්නාහ, අපම සන්තකවූ ආහාරාදිය ගෙනයන්නාහ. ගොස් අනුභවකරන්නාහයි ඒ ශ්‍රමණ බ්‍රාහ්මණාදීන් සැදෑහැති උපාසක කුලයෝ තමන් දෙන ලද්දාවූ සතරපසය පැනය වදාළ කල්හි දේවතා දූ පෙරපරිද්දෙන් පූජා කොට සාධුකාරදී සත්රුවන් පිරූ රුවන් කරඬුවක් ගනුව පණ්ඩිතයෙනි, යි මහබෝසතාණන් වහන්සේ ගේ ශ්‍රී පාදමූලයෙහි පූජාකළාය, රජ්ජුරුවෝද පැහැද සෙනෙවිරත් තනතුරු දුන්හ. එතැන් පටන් කොට මහබෝසතාණන් වහන්සේගේ යශස මහත්වූයේය.

පණ්ඩිතයන් වහන්සේ අභීත කෙශර සිංහ පෝතකයෙකු සේ රජ්ජුරුවන් අමතා දේවයිනි යි ගාථාසතරේ අදහස් සර්‍වඥ විලාසයෙන් පහදා දී සියළු දෙනාවම මහත් ප්‍රසාදයට පත් කොට දේවතා දුවගෙන් සතර වරම දිවමල් පිරවූ සත්රුවන් කරඬුව බැගින්ද රජ්ජුරුවන්ගෙන් නොයෙක් පූජාද ලැබ මහත් යසසට පත්වූහ.

 

 
උපුටා ගැනීම – www.jathakakatha.lk

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.