Skip to main content

530 කකණ්ටක ජාතකය

මෙය ඉහත කී උම්මග්ග ජාතකයෙහි විස්තරව එන්නේය. කටුස්සාගේ කරේ රත්රන් එල්ලීමේදී විසඳු ප්‍රශ්නය බලා දත යුත්තේය

නැවත දිනක් රජ්ජුරුවෝ පණ්ඩිතයන් සමඟ උයනට යන්නේ තොරණේ සිටි එක් බොහොඬෙක් එන්නාවූ රජ්ජුරුවන් දැක වහා බිමට බැස වැදහොත්තේය. ඒ දුටු රජ්ජුරුවෝ පණ්ඩිතයෙනි මේ බොහොඬා කුමක් කෙරේදැයි විචාළහ. දේවයන් වහන්ස නුඹවහන්සේට සේවය කරන්නේයයි වදාළසේක. රජ්ජුරුවෝ එසේවීනම් ඕහට වස්තුවක් දෙමි. කුමක් දියයුතුදැයි විචාළහ. දේවයන් වහන්ස රත්රන් වියැට සමාරක් පමණ වටිනා මස්දීම සුදුසු යයි වදාළසේක. රජ්ජුරුවෝ එසේවිනම් තවත් වැඩිය දෙමියි රත්රන් දෙවියැට සමාරක් අගනා මස් ගෙනහැර දෙවයි කියා එක් පුරුෂයෙකුට නියම කළහ. ඒ පුරුෂයාත් ඒ නියෝගය පරිදි දිනපතා මස් ගෙන බොහොඬාට දෙන්නේය.

ඒ පුරුෂයා එක් දවසක් පොහොය දිනයෙහි රාජසම්මත හෙයින් මස් නොලැබ දෙවියැට සමාරක් පමණවූ රත්රන් මැදින් විද බොහොඩාගේ කරේ බැන්දේය. බොහොඬාට ඒ රත්රන් මාලය නිසා මානයෙක් උපන්නේය. නැවත දිනක් රජ්ජුරුවෝ උයනට ගියහ. ඒ බොහොඬ තෙමේ රජ්ජුරුවන් එන්නවුන් දැක වස්තුව නිසා උපන් මානය කරණකොට ගෙන වේදේහයෙනි වස්තුව ඇත්තේ තොපට පමණක් නොව මමත් වස්තු ඇත්තෙමි. රජ්ජුරුවන් හා සමඟ තමා සම කරන්නේ තොරණ අගින් නොබැස එහිම හිස සලමින් වැදහොත්තේය. ඒ දුටු රජ්ජුරුවෝ මහෞෂධ පණ්ඩිතයෙනි මේ තෙමේ පෙරසේ අද නොබස්නේය. කුමක් හෙයින් මානය ඇතිවීදැයි ගාථාවකින් විචාළහ. පණ්ඩිතයන් වහන්සේ පොහෝ දවස් මස් නැති හෙයින් රාජපුරුෂයා විසින් තමා කරබැඳි රත්රන් දෙවියැට සමාර නිසා මානය ඔහුට වියයුතුයයි දැන එය ගාථාවකින් කියන සේක්. නොලත් විරූ වස්තුව ලදින් මමත් මා පමණ වස්තුව ඇත්තෙමි. වේදේහ රජුනි තොපට වඩා මා අඩු කිමෙක්දැයි ඉක්ම සිතන්නේයයි මේ කකණ්ටක ප්‍රශ්නය විසඳා වදාළසේක. රජ්ජුරුවෝ බොහොඬාට මස් දෙන්නට නියෝග කළ පුරුෂයා ගෙන්වා පණ්ඩිතයන් කීවා සැබෑදැයි විචාළහ. ඒ වූ පරිද්දෙන්ම කීයේය.

කිසිවකුගෙන් නොවිමසා සියල්ල බුදු මුවින් මෙන් බොහොඬාගේ අදහස දන්නා ලදැයි වඩ වඩාත් පැහැද පණ්ඩිතයන්ට සතර වාසල ලබන සුන්වත් අය දුන්හ. බොහොඬා කෙරෙහි කිපුණු රජ්ජුරුවෝ තමන් කළ නියෝගය අත්හළහ. ඒ පණ්ඩිතයන් වහන්සේ එය සුදුසු නොවේයයි නැවතත් නියම කළහ.
උපුටා ගැනීම – www.jathakakatha.lk

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.