529 උම්මග්ග ජාතකය - IFBC Organization | Dhamma

අප සම්මා සම්බුදු රජාණන් වහන්සේ ජේතවන නම් උයනෙහි දවස් යවන සේක් ප්‍රඥා පාරමිතාව අරභයා මේ ජාතකය වඳාළසේක.
දිනක් දම්සභා මණ්ඩපයෙහි රැස්වූ භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ වඩනා පෙරමඟ බල බලා ධර්මාසන පිරිවරා වැඩ හිඳ සර්වඥයන් වහන්සේ ප්‍රඥාවෙන් අධම පුරුෂයන් දමනය කළ නියාව කෙතරම් විශ්ම ජනකදැයි කථාවක් උපන් කලට එහි වැඩි බුදුරජාණන් වහන්සේ මහණෙනි බුදුහු නුවණැත්තෝ වූයේ දැන් මතු නොවෙයි පෙරත් නුවණැත්තෝවේදැයි මේ ජාතකය වදාල සේක.

යටගිය දවස මියුළු නුවර වේදේහ රජ්ජුරුවෝ රාජ්‍ය කරන කල්හි උන්ට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන සේනකය, පුක්කුසය, කාවින්‍දය, දෙවින්‍දය යන පණ්ඩිතවරු සතරදෙනෙක් වූහ. එසමයෙහි බෝධිසත්වයන් වහන්සේ මව්කුස පිළිසිඳ ගන්නා දවස වේදේහ රජ්ජුරුවෝ මෙබඳු ස්වප්නයක් දුටහ. කෙසේද යත්? සතර පවුරු කොන නාඹ තල් කඳන් සා ගිනිකඳන් සතරක් පවුරේ උසට නැගී දිලිසෙන්නේය. ඒ සතරට මැද කදෝ පැණියකු සා ගිනි පුපුරක් නැගිලා එම ඇසිල්ලෙහිම සතරකොන ගිනි කඳ සතරෙහි ආලෝකය මැඩගෙන බඹලොව උසට එළිය පතුරුවමින් දිළිසෙන්නේය. සියළු දෙවි මිනිසුන් සහිත ලෝ වැස්සෝ ගඳින් මලින් පූජා කෙරෙමින් ඒ ගිනිදැල් ඇතුලේම වැද ඇවිදින්නාහුය. උන්ගේ රෝමකූප මාත්‍රයකුදු හුණු නොවන්නේය.

වේදේහ රජ්ජුරුවෝ මේ සීනය දුටු වේලේ පටන් මරණභයින් භය පත්ව නොනිදා පහන් කොට උදෑසන සේනකාදී පණ්ඩිතවරු සතරදෙනා ගෙන්වා සිහිනය දැන්වූ විට සේනක පණ්ඩිතයෝ දේවයන් වහන්ස, නොබව මැනව, මේ මංගල සීනයකි. එයින් ඔබට වැඩක්ම වන්නේය. අප සතරදෙනාගේ නුවණ යට කොට ඔබ වහන්සේට පස්වන පණ්ඩිත කෙනෙක් උපදනාහ. අප සතරදෙනා සතර කොන නැගි ගිනිකඳු සතරක් වැන්නම්හ. මධ්‍යයෙහි ගිනි කඳ මෙන් පස්වන පණ්ඩිතයෝ උපදනාහ. ඒ පණ්ඩිතයෝ අසමවූ නුවණැත්තාහයි දැන්වූහ. දැන් කොයි දැයි රජ්ජුරුවන් කී කල්හි දේවයන් වහන්ස අද උන්ගේ මව්කුස පිළිසිඳ ගැන්ම හෝ මව්කුසින් බිහිවීම හෝ වන්නේය. තමන්ගේ ශාස්ත්‍ර බලයෙන් සීනයෙහි අත්‍ර්‍ථ රජ්ජුරුවන්ට කීහ.

රජ්ජුරුවෝ එදා පටන් එය සිහි කරමින් උන්හ. මියුළු නුවර නැගෙනහිර යවමැඳුම් ගම සිරිවර්ධන නම් සිටාණන්ගේ බිසවවූ සුමනා දේවී කුස මහ බෝසතාණන් වහන්සේ රජ්ජුරුවන් සීනය දුටු වේලෙහිම තව්තිසා දෙව්ලොවින් චුතව පිළිසිඳ ගත් සේක. අනිකුත් දිව්‍ය පුත්‍රයෝ දහසක් ඒ දෙව්ලොවින් චුතව එගම වැඩිමහළු සිටුවරුන්ගේ ගෙවල පිළිසිඳ ගත්හ. සුමනා දෙවිය දසමස් ඇවෑමෙන් රන්වන් පුතණු කෙනෙකුන් වැදූය. ඒ ඇසිල්ලෙහිම සක්දෙව් රජ නොපෙණෙන ශරීර ඇතිව පැමිණ බෝධිසත්වයන් අත රන්වන් සඳුන් ගැටයක් තබලා ගියහ. බෝසතාණෝ ඒ සඳුන් ගැටය මිටින් ගත්සේක. මෑණියන්දෑ පුතණුවන් අත තිබූ සඳුන් ගැටය දැක පුතණ්ඩ තොප අත කුමක්දැයි ඇසීය. මෑණියනි මහ ඖෂධයකැයි කියා දිව සඳුන්ගැටය මෑණියන් අත තබා මේ ඖෂධය ඇරගෙන යම් රෝගයකින් පීඩිත කෙනෙකුට දෙනු මැනවයි වදාළසේක. ඈ ඉතා සතුටුව සිටාණන්ට කීය. ඒ සිටාණන්ට සත් අවුරුද්දක් මුළුල්ලෙහි වේදනා ගෙන දෙන ඉසරුජාවෙක් ඇත. ඔහු ඉතා සතුටුව මේ කුමාරයා මහෞෂධයක් ගෙන ආහ. උපන් ඇසිල්ලෙහි මෑණියන් හා කථා කළේය. මෙබඳු පින් ඇත්තහු විසින් දුන් මේ බෙහෙත මහත් බල ඇත්තේ යයි සිතා ඒ බෙහෙත අතට ගෙන මඳක් ගලගා නළල ගැල්වූහ. සත් වර්ෂයක් දුක් විඳි එම වේදනාව නෙළුම් පතට වන් දියත්තක් මෙන් පහව ගියේය. මේ ඖෂධය ගැන දැනගත් බොහෝ රෝගීහු දිනපතාම පැමිණෙන්ට වූහ. සිටාණෝ සඳුන් ගැටය ගලගා වතුරට කලතා ස්වල්පය බැගින්දී සුවපත් කළහ. නම් තබන දවසෙහි මහෞෂධයක් රැගෙන උපන් හෙයින් මහෞෂධ කුමාරයෝ යයි නම් තැබූහ. අනිත් සිටාණන්ගේ ගෙවල්වල එදිනම උපන් කුමාරවරු දහසටද සිටාණෝ කුමාර පළඳනා හා සහ කිරිමවුන් යැවූහ. කුමාරවරුන් දහස සරසා දිනපතා මහ බෝසතාණන් ළඟට ගෙනෙන්නාහ. උන් හා කෙළිමින් කල් යැවූ සත්හැවිරිදි කුමාරයා ඝණ රන් පිළිමයක් මෙන් මනාරූප ඇතිවූ සේක.

එක් දවසක් උන් කෙළිමින් සිටියදී නොකල් වැස්සක් ඇති විය. බෝසතාණන් වහන්සේ දුවගොස් ගේකට වන්සේක. සෙසු කුමාරවරු පසුපස්සේ දුවන්නාහු ඔවුනොවුන් පය පැකිල වැටී තුවාල ලද්දෝය. බෝසතාණන් වහන්සේ මෙතන කෙළිනට ගෙයක් කළයුතුය. එවිට අවු වැසි පීඩා නොවිද ක්‍රීඩා කළහැක. එබැවින් තොපි හැම එක එක මැස්ස බැගින් ගෙනවයි නියම කළහ. උනුන් එලෙසම කළහ. බෝධිසත්වයන් වහන්සේ වඩුවකු ගෙන්වා මෙතන ගෙයක් කරවයි විධානය කොට තමාට උවමනා පරිද්දෙන් රෑන් ගස්වා ගෙය බෙදාලූය. ඒ ශාලාවෙහි එක් තැනක දුප්පතුන් වසන තැනය. දුප්පත් ගැහැණුන් වදන තිඹිරි ගෙයය. ආගන්තුක බමුණන් වසන තැනය. මහණ බමුණන් වසන තැනය. මෙපරිද්දෙන් පිටතින් දොරකඩ තබා ශාලාව විධාන කොට කරවූසේක. ඒ ශාලාතොමෝ සුධර්‍මා නම් ශාලාව හා සමාන වූවාය. එපමණක්ද නොව පැන් පොකුණු මල් පලතුරු උයන් සක්මළු ආදියෙන්ද යුක්ත විය. බෝසතාණන්ගේ මේ ක්‍රියාව ලොව පතල විය. බොහෝ මිනිස්සු එහි රැස්වී තමා පිළිබඳවූ දුක් ගැනවිලි කියා පාන්නාහ. බෝසතාණන් වහන්සේ ඔවුන්ගේ යුක්ති අයුක්ති විචාරමින් බුදුන් ලොව පහළ වූ කල්හි මෙන් පතළ වූ සේක

හෙවර කරන්නකු යැවීය. රජ්ජුරුවෝ එපවත් අසා ප්‍රීතියට පත් වූයේ සේනක පණ්ඩිතයන් ගෙන්වා එපවත් උන්ට කියා කිමෙක්ද? සබඳ ඒ මහෞෂධ පණ්ඩිතයන් ගෙන්න මෝ දැයි විචාළහ. ගුණමකුවූ ඒ සේනකයා දේවයෙනි ගෙවල් ආදිය කරවූ තරමින් පණ්ඩිතයෙක් නොවෙයි. ඒ ඉතා ස්වල්ප දෙයකියි කීහ. වේදේහ රජ්ජුරුවෝත් ඒත් එක් කාරණයෙකැයි මුවෙන් නොබැන ඒ ගම හිඳ එම පණ්ඩිතයන් ගැන තවත් පරීක්ෂා කරවයි අමාත්‍යයන්ට පණිවිඩ යැවූහ. ඔහු එගම වාසය කරමින් මහෞෂධ පණ්ඩිතයන් වහන්සේ මතු

එසමයෙහි වේදේහ රජ්ජුරුවෝ සීනය දැකීමෙන් සත් අවුරුද්දක් ගතවූ පසු එහි සඳහන් පරිදි ඒ පණ්ඩිතයෝ කොහිදැයි සිහිකර උන් වසනතැන් දනුවයි සතර වාසලින් ඇමතියන් සතර දෙනෙකු යැවූහ. නැගෙනහිර වාසලින් නික්මුණු අමාත්‍ය තෙම නැගෙනහිර යව මැඳුම් ගමට ගොස් බෝධිසත්වයන් වහන්සේ විසින් කරවන ලද ශාලාදිය දැක මේ කාගේ නිර්මාණයක්දැයි එගම මිනිසුන්ගෙන් අසා සත් හැවිරිදි මහෞෂධ පණ්ඩිතයන්ගේ විධානයෙන් කරන ලද්දෙකැයි අසා මොහු නම් රජ්ජුරුවෝ සීනෙන් දුටු පස්වන පණ්ඩිත රත්නයමයයි සනිටුහන් කොට ගෙන මෙවැනි මෙවැනි පණ්ඩිත රත්නයක් ලද්දෙමු. ඔහු ගෙනෙම්ද නොගෙනෙම්දැයි අසා රජ්ජුරුවන් වෙත මෙ

විමසූ ප්‍රශ්න සංක්‍ෂෙපයෙන් මෙසේය.

මංසං ගොණො ගණ්ඨි සුත්තං පුත්තං ගොල රථෙනච

දණ්ඩා සීසං අහිචෙව කුක්කුටො මණි විජායනං

ඔදනං වාලුකංචාපි තළාතුය්‍යාන මථ ගද්‍රභොමණි

මාංශ ප්‍රශ්ණය
දිනක් කුමාරවරු ක්‍රීඩා කරමින් උන් කල්හි එක් උකුස්සෙක් මස් වැදැල්ලක් ගෙන අහසින් ගියේය. කුමාරවරු උකුස්සා ලුහු බැඳගෙන දුවන්නාහු ගල් ආදිය පය පැකිල වැටී පීඩාවට පත්වූහ. මහෞෂධ පණ්ඩිතයන් වහන්සේ මේ මස් වැදැල්ල බිම හෙළා පියවම්දැයි අසා යහපතියි කුමාරවරු කී කල්හි එසේ නම් බලවයි උඩ නොබලා පවනට බඳු වේගයෙන් දිව උකුස්සාගේ ඡායාව මැඩගෙන අත්පුඩි ගසා මහත්සේ නාද කළසේක. ඒ නාදය උකුස්සාගේ ලෙන් ඇනී පිටින් නැංගාසේ වූයේය.

උකුස්සා භය පත්ව මස් වැදැල්ල හෙළීය. බෝසතාණන් වහන්සේ එය වැටෙන ඡායාව දැක බිමට වැටිය නොදී අල්වා ගත්සේක. ඒ ආශ්චර්යය දුටු බොහෝ දෙනා ඔල්වරසන් දුන්හ. මේ කාරණය ඇමතියන් අතින් දැනගත් වේදේහ රජ්ජුරුවෝ සේනක පණ්ඩිතයෙනි මහෞෂධ පණ්ඩිතයන් ගෙන්නමෝදැයි විචාළහ. උන් මේ නුවරට ආ තැන් පටන් අපට වන්නේ මහත් අලාභයකැයි සිතා තමා ගුණමකු බැවින් දේවයන් වහන්ස මේ අල්ප දෙයකි. තව බලමුයි කීහ.

ගොන්ප්‍රශ්ණය
යව මැඳුම්ගම වසන පුරුෂයෙක් අතවැසි කල්හි සී සාමියි අසල් ගමකින් ගොන්බානක් මිලට ගෙන අවුත් තමාගේ ගෙයිම ලග්ගවා දෙවන දවස තණ කවන පිණිස ගෙන ගොස් විඩාවට පත්ව ගසක් මුල හිඳගෙන නිදන්ට වන. ඒ ඇසිල්ලෙන් එක් සොරෙක් ගොන් බාන ගෙන පැන ගියේය. ඒ පුරුෂයා පිබිඳ ගොනා නොදැක ඔබ මොබ බලා ගොන්බාන ගෙනයන සොරා දැක වහා දිව ගොස් මාගේ ගොන් කොහේ ගෙනයාදැයි ඇසීය. සොරා කියන්නේ මාගේ ගොන් මා කැමති තැනකට ගෙනයමියි කීය. උන් දෙන්නාගේ කලහය අසා බොහෝ දෙනා රැස්වූහ. පණ්ඩිතයන් වහන්සේ ඒ ශබ්දය අසා දෙන්නාම ගෙන්වා ඔවුන්දෙන්නාගේ බස් අසා මම තොපට යුක්තිය දැහැමින් විනිශ්චය කොට දෙමි. මා කීවක් පිළිගන්නෙහිදැයි අසා එසේ යයි කී කල්හි සොරා ගෙන්වා තෝ මේ ගොනුන් කුමක් කවා පොවා වැඩීදැයි විචාළ කල්හි සොරා කියන්නේ උළුකැන් පොවා තල සහ උඳු කවන ලදැයි කීය. ඉක්බිති ගොන් අයිතිකරු කැඳවා තෝ කුමක් කවන ලදැයි විචාල කල්හි ස්වාමීනී තණම කවන ලදැයි කීය. පණ්ඩිතයන් වහන්සේ දෙන්නාගේ බස් අසා පුවඟු කොළ ගෙන්වා කොටා පැන් කලතා ගොනුන්ට පෙවූ සේක. ගොනුනු තණ වැමෑරූහ. පණ්ඩිතයන් වහන්සේ බොහෝ දෙනාට බලවයි කියා සොරා අමතා වරදකරුද නිවැරදි කරුදැයි අසා වරදකරු යයි කී කල්හි මින් මතු එසේ නොකරවයි අවවැද කොට යැවූහ. එහි සිටි පුරුෂයෝ සොරාට අතින් පයින් තලා එලවා දැමූහ. අමාත්‍යයා එපවත් අසා රජ්ජුරුවන්ට දැන්වූහ. රජ්ජුරුවෝ සේනකයන් අතින් විචාරා ඔහු අකමැති වූ බැවින් නිහඬවූහ.

අමාත්‍යයෝ රජ්ජුරුවන්ට කියා යවන නියාවද රජ්ජුරුවෝ සේනකයන් අතින් විචාරන නියාවද සේනකයන් වලකන නියාවද හැම පැණෙහිම මෙලෙසින් දතයුතුයි.

ගැටහු පලදනාවේ විනිශ්චය
එක් ගැහැනියක් නා නා වර්‍ණ හුයින් ගැට ගසන ලද ගැටහු පළඳනාවක් කරින් ගලවා කඩ මත්තේ තබා පණ්ඩිතයන් වහන්සේ විසින් කරවන ලද පොකුණෙන් නහන්නට වන. අනික් ලදැරියක් ඒ දැක ලෝභ උපදවා එය ගෙන මෑණියෙනි මේ ඉතා හොබනේය. කවර කෙනෙකුන් විසින් කරන ලද්දේද? මමද මෙවැනි පළදනාවක් කෙරෙමි කර පැලඳ මඳක් බලම්දැයි විචාරා යහපතැයි කී කල්හි එය පැලඳගෙන පැන ගියාය. පළඳනාව ඇති තැනැත්තී වහා ගොඩ නැගී ඈ ලුහුබැඳ ගොස් අරගල කළාය. පණ්ඩිතයන් වහන්සේ ඒ ගෑණුන් දෙන්නාගේ ශබ්දය අසා උන් දෙන්නා ගෙන්නා පළමුකොට සොර තැනැත්තිය අතින්, තී මේ පළඳනාව පළදිනෙහි කවර සුවඳක් ගැල්වීදැයි විචාළ සේක. ඒ මම නිතර සර්‍ව සංහාරකම් සුවඳක් ගල්වමියි කීවාය. ඉක්බිති පළඳනාව ඇති තැනැත්තිය විචාළ කල්හි ස්වාමීනී මා දුක් පත්මි. මා නිතර පුවඟු මලෙහි සුවඳ පොවමියි කීවාය. පණ්ඩිතයන් වහන්සේ පැන් තලියක් ගෙන්වා පළඳනාව එහි දමා ඖෂධ පිළිබඳ දක්‍ෂයෙකු ගෙන්වා මේ තලියෙහි පැන් සිඹ කිනම් සුවඳදැයි කියවයි වඳාළසේක. ඔහු ඒ පැන් සිඹ පුවඟූ මලෙහි සුවඳ නියාව දැන ගාථාවකින් සර්‍වසංහාරක සුවඳෙක් මෙහි කොයින්ද? පුවඟු මලෙහි සුවඳ හමන්නේය. බෝසතාණන් වහන්සේ බොහෝ දෙනා අමතා මේ දැරිය කීවේ බොරුවකි. ඈ සෙරය. මැහැළිය කීවේ සැබවයි කියා සෙර ලියට අවවාද කොට යැවූ සේක.
හූවැටියේ විනිශචය
කපුහේනක් රක්නා එක් ස්ත්‍රීයක් කපුකැට නූල් ඔතා හූ වැටිය ඉන තබා ගෙන ගමට එන්නී ඉහත කී පොකුණෙන් නහමියි සිතා ලින්කඩ මත්තේ හූ වැටිය තබා නහන්නට වූවා අනික් ස්ත්‍රීයක් එය ගෙන නැගී ගියාය. සෙස්ස පෙර මෙනි. බෝසතාණන් වහන්සේ සෙර අමතා මේ හූ වැටිය කුමක ඔතා තිබේදැයි විචාළ සේක. ඈ කියන්නී කපු ඇටයක් ඇතුළේ ලා වට කෙළෙමියි කීය. එය අයිති තැනැත්තිය කියන්නී ස්වාමීනි, එය තිඹිරි ඇටයක් ඇතුළේ ලා වට කෙළෙමියි කීය. දෙදෙනාගේ බස් අසා හූ වැටිය ගලවා ඇතුළේ තිබුන තිඹිරි ඇටය දැක පළමු කී තැනැත්තී සෙර බව ගිවිස්වා අවවාද කොට යැවූසේක.
පුත්‍ර ප්‍රශ්නය
එක් ස්ත්‍රියක් තම පුතු නහවා පොකුණ ලඟ තබා තොමෝ නහන්නට දියට බට කල්හි යකින්නක් ගැහැණු වෙසකින් අවුත් ආදරය කොට දරුවා වඩාගෙන මේ දරුවාට කිරි පොවම්දැයි අසා යහපතැයි කී කල්හි මදක් කිරිපොවා වඩාගෙන පලා ගියාය. මෑණියෝ දරුවා නොදැක ඈ පස්සේ එලවා ගොස් අල්ලාගෙන කළහ කරන්නට වූවාය. බෝසතාණන් වහන්සේ උන් දෙන්නා ගෙන්වා කුමණ ඩබරයක්දැයි අසා ඇස් පිය නොමරන බැවින්ද රක්ත වර්ණවූ ඇස් ඇති බැවින්ද මේ යකින්නෙකැයි දැන මා කී යුක්තියක සිටිවු දැයි විචාරා එසේ යයි කී කල්හි බිම ඉරක් අඳවා ඉරමැඳ දරුවා තබා යකින්න ලවාදෑතද මෑණියන් ලවා දෙපයද අල්වා දෙදෙනා ඇද ගනුව. දරුවා ඇදගත් එකකුටැයි වදාළ සේක. දෙන්නාම දරුවා අඳින්නට වන්හ. එයින් වේදනාවට පත් දරුවා අඬන්නට විය. මෑණියෝ තම ලය පැළුන කලක් මෙන් සෝකයට පැමිණ ඇදීම නැවැත්වූවාය. යකින්න වේදනා කිසිත් නොතැකුවාය. බලාසිටි පිරිස පණ්ඩිතයන් වහන්ස වැදුවන්ගේ ලයනේද මොළොක් වන්නේ? මේ දරුවා අතහැර ඇත්තේ නියම මවයයි කීහ. පණ්ඩිතයන් වහන්සේ එසේය පින්වත්නි, මේ සෙර යකින්නක, දරුවන් කන පිණිස ගතැයි වදාරා ඈට අවවාද කොට පන්සිල්හි පිහිටුවා යැවූ සේක.
කාලගෝල ප්‍රශ්නය
මිටි හෙයින් ගෝල යයි කියාද කළුපැහැ හෙයින් කාළ යයිකියාද (කාළගෝල යයි) නම් ඇති මිනිසෙක් සත් අවුරුද්දක් දාසකම් කොට අඹුවක් ලද්දේය. ඕ නමින් දික්තල නමි. කාලගෝලයා දිනක් අඹුව බනවා සොඳුර දෙමව්පියන් බලා පියම්හ. කැවුම් පෙවුම් ඉඳිකොට ලවයි කීහ. මව්පියන්ගෙන් කවර කාය්‍ර්‍යයෙක්දැයි ඈ දෙවරක්ම එය ප්‍රතික්‍ෂෙප කළාය. තුන්වෙනි වාරයෙහි ගිවිස්වා ගෙන කැවුම් පෙවුම් ආදිය ඇරගෙන අඹුව හා මගට පිළිපන්නේ අතර මග පැතිර දියයන ඔයක් දැක ගැඹුර නොගැඹුර නොදත් බැවින් එතර යා ගත නොහැකිව ගංතෙර නතරවූහ. ඒ වේලාවට දික්පිටියා යන නමක් ඇති දුක්පත් පුරුෂයෙක් ඒ අසලින් යන්නේ උන් සිටි තැනට එනවා දැක කාලගෝලයා අමතා යහළු මේ ගඟ ගැඹුරුදැයි ඇසීය. කාලගෝළයා ගඟට භයබව දැනගත් දික්පිටියා මුසා කියන්නේ මේ ඉතා ගැඹුරුය. කිඹුලන් හා දැති මෝරන් ගහණය. නමුත් උන් අප හා පුරුදුකම් ඇතැයි කීය. එවිට කාලගෝලයා එසේ වී නම් අපවත් එතෙර කරවයි කන බොන දෑ ඔහුට දුන්හ. සබඳ කවුරුන් පළමුකොට ගෙන යම්දැයි විචාලේය. එවිට කාලගෝලයා කියන්නේ මාගේ සොඳුර පළමුකොට ගෙනයව මම පසුව එමියි කීය. පුරුෂයා යහපතැයි දික්තල කර හිඳුවාගෙන කැවිලි මල්ලත් ගෙන ගඟට බැස හිඳ හිඳ ගැඹුරු බව දක්වමින් ගියේය. කාලගෝලයා මෙතෙක් සිටියේ උස පුරුෂයාවත් මෙහි පොවනා බව පෙනේ. ඉතා ගැඹුරුය. මා යන්නේ කෙසේදැයි ලතවෙමින් උන්නේය. දික්පිටියා ගඟ මැදදී දික්තල අමතා සොඳූර මම තිට සුරසැප දෙමින් රැක ගනිමි. ඒ අඟුටුමිට්ටාගෙන් වෙන්වී එවයි කීය. දික්තල කියන්නී ස්වාමීනි ඉඳින් මා අත්නොහරින්නෙහි වීනම් එන්නෙමියි කාලගෝලයා බලා සිටියදීම කැවුම් කකා යන්ට වන්හ. කාලගෝලයා උන්දෙන්නා යන්නා දැක කෝපයෙන් මියෙම්වා, රැකෙම්වායි ගඟට පැන නොගැඹුරු බව දැන ඔහු පස්සේ දුව ගොස් කොළ දුෂ්ටය මාගේ අඹුව කොහි ගෙනයේදැයි විචාළේය. දික්පිටියා කියන්නේ අඟුටුමිටිය තට අඹුවෝ කොයින්ද? මේ අඹුවෝ මගේ යයි කියමින් කර අල්ලා හෙලීය. බෝසතාණන් වහන්සේ මේ අරගලය අසා ඔවුන් කැඳවා දික්පිටියා බණවා නම කුමක්දැයි විචාළ සේක. දික්පිටියා නමි’යි කීය. තගේ අඹුවගේ නම කුමක්දැයි විචාළසේක. ඇගේ නම නොදන්නේ අනික් නමක් කීය. තගේ අඹුවගේ දෙමව්පියන්ගේ නම් කුමක්දැයි අසා ඒවාද කිය නොහැකි වූයේ ඉක්බිති ඔහු පිටත්කර කාලගෝලයා ගෙන්වා ඈ පිළිබඳ නම් ගම් අසා සියළු තොරතුරු නිවැරදිව සඳහන් වූ හෙයින් දික්තල ගෙන්වා තිගේ ස්වාමියා කවුදැයි විචාරා කාළගොලයාට ඈ පාවාදී දික්පිටියාට අවවාදකොට යැවූසේක
රථ ප්‍රශ්නය
එක් පුරුෂයෙක් රථයක ඉද මුහුණ සොදන පිණිස නික්මුණේය. ඒ ඇසිල්ලෙහි සක්දෙව්රජ මහෞෂධ පණ්ඩිතයන්ගේ ප්‍රඥානුභාවය ප්‍රකාශ කෙරෙමියි සිතා මිනිස් වෙසින් අවුත් රථයෙහි පසුකඩ අල්වා ගෙන යන්නාහුය. රථයෙහි උන් පුරුෂයා තොප කුමක් නිසා අවුදැයි විචාරා නුඹ දෑ සමීපයහි සිටිනා නිසා ආමියි කී විට යහපතැයි ගිවිස රථයෙන් බැස ශරීරකෘත්‍ය පිණිස ගියේය. එකෙනෙහි ශක්‍රයා රථයට පැන නැගී වහවහා රථය පදවන්නාහ. රථය ඇති පුරුෂයා එය ගෙන යන්නා දැක යුහුව ගොස් සිටුව මේ මාගේ රථය කොයි ගෙනයන්නෙහිදැයි විචාළකල්හි ඔහු හා සමඟ කලහ කෙරෙමින් ශාලාව දොරකඩට පැමිණියේය. බෝධිසත්වයන් වහන්සේ උන්දෙන්නා බලා බය නැති බැවින්ද ඇස් නොමරන බැවින්ද ශක්‍රයායයි දැන රථ හිමියා අනිකායයි තේරුම්ගෙන මේ කලහය විචාරමියි සිතා මාගේ යුක්තියක සිටිව්දැයි විචාරා සිටුම්හයි කී කල්හි මම රථය පදවමි. තොප දෙන්නාම රථය පස්සෙන් එව. රථය ඇති තැනැත්තේ නොහරනේය. අනිත් තැනැත්තේ හරනේයයි කියා තමන්ගේ පුරුෂයෙකුට රථය පදවයි වදාළසේක. ඒ යුහුව රථය පදවන්ට වන. ඔහු දෙන්නත් පස්සෙන් අල්ලාගෙන යන්නාහ. රථය හිමියා මදක් දුර ගියේ විඩාවට පත්විය. ශක්‍රයා රථය සමග දිව්වේය. බෝධිසත්වයන් වහන්සේ රථය නවතා මිනිසුන් කැඳවා මේ පුරුෂයා මදක් ගොස් නතරවිය. රථය සමග දිවූ මොහුගේ ශරීරයෙහි ඩා බිඳුවකුත් නැත. භයකුත් නැත. ඇස්පිය නොහෙලන්නේය. මේ තෙම සක්දෙව් රජයයි වදාළසේක. සක්දෙව්රජාණෝත් තමාගේ දිව්‍යාත්මභාවයෙන් සිට බෝධිසත්වයන්ගේ ප්‍රඥාව ගැන ප්‍රශංසා කොට ගියහ. පණ්ඩිතයන්ගේ නුවණ පරීක්ෂාකිරීමට නතර කළ ඇමතියන් අතින් මේ බව දැනගත් වේදේහ රජ්ජුරුවෝ සේනකයන් අතින් විමසා අකමැති වූයෙන් නිහඬ විය.
කිහිරි දණ්ඩෙන් විමසු ප්‍රශ්නය
දිනක් පණ්ඩිතයන් විමසම්හයි වියතක පමණ කිහිරි දණ්ඩක් ගෙන ලියවා සකස්කොට නැගෙනහිර යවමැඳුම්ගම වසන පුරුෂයෝ නුවණැත්තෝල මේ දණ්ඩෙහි අගමුල දැනගෙන එව ඉදින් නොදනිත්නම් දහසක් දඩයයි කියා යැවූහ. ගම්වැස්සෝ රැස්ව එහි අග මුල දැනගත නොහෙන්නාහු සිරිවර්ධන සිටුපුත් මහෞෂධ පණ්ඩිතයෝ මෙය දැනගන්නාහ උන් කැඳවාගෙන එවයි කියා ගෙන්වා පුත මේ කිහිරි දණ්ඩෙහි අග මුල දැනගන්ට අපි නොපොහොසතුම්හ. තොපට හැකිදැයි විචාළහ. ඒ ඇසූ පණ්ඩිතයන් වහන්සේ පියාණෙනි රජ්ජුරුවන්ට මේ කිහිරි දණ්ඩෙහි අගින් හෝ මුලින් ප්‍රයෝජනයක් නැත. මා විමසනු පිණිස එවන ලද්දේ වන්නේයයි සිතා ගෙනව මම පොහොසත්මි’යි එය ගෙන්වා අතින් ගෙන මේ අගමුල යයි දැනත් බොහෝ දෙන සිත් ගන්නා පිණිස පැන් තලියක් ගෙන්වා කිහිරි දණ්ඩ මැදින් නූලක් බැඳ නූලෙහි අග අල්වා ගෙන කිහිරි දණ්ඩ දිය පිට තබාලූසේක. මුල බර බැවින් පළමුකොට දියේ ගිලින. ඉක්බිත්තෙන් ගසේ මුල බරවේද? අගබර වේදැයි? පිරිස අමතා විමසා මුලබරවේයයි කී කල්හි එසේ වී නම් පළමුකොට ගිලුණ අත මුලයයි වදාළසේක. ගම්වැස්සෝ එය රජ්ජුරුවන්ට කියා යවූහ. රජ්ජුරුවෝ මහෞෂධ පණ්ඩිතයන් එය විමසූ බව අසා සතුටුව කිමෙක්ද? සේනකය ඔහු ගෙන්වමෝදැයි විචාළහ. ඉවසුව මැනව දේවයන් වහන්ස අනික් උපායකින් විමසම්හයි නැවතූහ.
ගැහැණු හිසකින් හා පිරිමි හිසකින් වමසු ප්‍රශ්නය
ගැහැණියකගේද පිරිමියකුගේද හිස් දෙකක් ගෙන්වා මේ ගෑණු හිසය. මේ පිරිමි හිසය දනිත්වයි නොදන්නාහුනම් දහසක් දඩයයි පණ්ඩිතයන් වසන නැගෙනහිර යව මැඳුම්ගම් වැස්සන්ට යැවූහ. ගම්වැස්සෝ එහි විභාග නොදත්තාහු හිස්දෙක ගෙන පණ්ඩිතයන් අතින් විචාළහ. උන්වහන්සේ හිස්දෙක දුටු වහාම ඒ හිස මේ මේයයි දත් නමුදු ගම්වැස්සන් අමතා පිරිමි හිස්කබල මත මැස්ම වක්නොව කෙළින් යන්නේය. ගැහැණු හිසේ මැස්ම වක්ව යන්නේය. කරකැවී යන්නේය. මේ කාරණයෙන් මේ පිරිමි හිසය. මේ ගැහැණු හිසයයි තෝරා දී යවූහ. රජ්ජුරුවෝ විචාළ නියාවද සේනක පණ්ඩිතයන් වැලකූ නියාවද පෙරසේමය.

සර්පයන් දෙදෙනාගෙන් විමසූ ප්‍රශ්නය
නයෙකු හා සැපින්නකු ගෙන්වාගෙන මේ සර්‍පයාය මේ සැපින්නයයි දනිත්වායි නොදන්නාහු නම් දහසක් දඩයයි පෙරසේම යවූහ. ගම්වැස්සෝ එය ගෙන ගොස් පණ්ඩිතයන් වහන්සේ අතින් දැනගත් සේක. සර්‍පයාගේ නගුට මහත්වන්නේය සැපින්නගේ නගුට සිහින් සර්‍පයාගේ හිස මහත්ය. දිගය ඇස්වටය. මහත්ය. පෙණය හාත්පසින් සම්පූර්ණ වන්නේය. සැපින්නගේ හිස දිගය. ඇස් කුඩාව පෙනෙන්නේය. පෙණය එක් දිසාවකින් කැපුවාසේ අර්‍ධව තිබෙන්නේය. මේ සලකුණෙන් මේ සර්පයාය. මෝ සැපින්නයයි වඳාළ සේක. සෙස්ස යට කියන ලද්දාවූ ක්‍රමය මැය.
කුකුළා ගෙන් විමසූ ප්‍රශ්නය
දිනක් සර්‍වාංගයෙන් ධවලවූ පය අං ඇති ඉස මොල්ලියක් ඇති කාලත්‍රය නොයික්මවා හඬන්නාවූ ගොනකු එවත්වයි යව මැඳුම්ගම වැස්සන්ට පෙරසේම කියා යවූහ. ගම්වැස්සෝ පණ්ඩිතයන් වහන්සේගෙන් විචාළහ. පණ්ඩිතයන් වහන්සේ රජ්ජුරුවෝ තොප අතින් හැළිකුකුළකු ගෙන්වතියි වදාරා පය පොරකටු ඇති බැවින් පය අං ඇත්තේවෙයි. ඉසමල් ඇති බැවින් ඉස මොල්ලියක් ඇත්තේවෙයි. හුස්ව, දීර්‍ඝ, ජලුත යන තුන්කාලයට උච්චාරණ ශූධකොට හඬනගන හෙයින් කාලත්‍රය නොයික්මවා හඬන්නේවෙයි. එබැවින් මෙබඳු කුකුළකු යවවයි වදාළසේක.
මැණිකකින් විමසු ප්‍රශ්නය
විසින් කුස රජ්ජුරුවන්ට දුන් මැණික අටතැනකින් වක්වූයේය. ඒ අටවක් මැණිකෙහි ශක්‍රයන් ඇමුණූ පුරාතන හුය (නූල) දිරාගොස් කැඩී ගියේය. පරණ හුය හැරපියා අළුත් හුයක් අවුණා ලන්නට කිසිවෙක් නොපොහොසත්ය. දිරාගිය හුය හැරපියා අළුත් ලණුවක් ලත්මැයි කියා නැගෙනහිර යවමැදුම්ගම් වැස්සන්ට යවූහ. ගම්වැස්සෝ එය ගෙන ගොස් පණ්ඩිතයන් වහන්සේට පෑවාහ. පණ්ඩිතයන් වහන්සේ ඔවුන් විධානයකොට මී පැණි ටිකක් ගෙන්වා මැණික දෙකලවර සිදුරුවල මී ගල්වා පලස්හුයින් නූලක් අඹරා මැණිකේ සිදුරට ඔබා කුහුඹුවන් නික්මෙන බිලයක තබාලූ සේක. කුහුඹුවෝ මීයෙහි ගඳින් මැණිකෙහි දිරාගිය පරණහුය කාගෙන පලස්හුය ඩැහැගෙන යටින් අදනාහු අනිත් ඇලයෙන් පිටත්කොට පීහ. පණ්ඩිතයන් වහන්සේ මැණිකේ ලණුව ඇවිණීගිය බැව් දැනගෙන රජ්ජුරුවන්ට දෙවයි කියා යැවූහ.

විජයාන ප්‍රශ්නය
දිනක් රජ්ජුරුවන්ගේ මඟුල් ගොනුට උඳු බොහෝකොට කවා බඩ මහත් කොට හම සකස් කොට සර්‍වාංගයෙහි තෙල් ගල්වා මේ රජ්ජුරුවන්ගේ මඟුල් ගොනාය පිහිටි දරුගැබ් ඇත්තේය. මොහු වදවාපියා පැටවා සමඟ ගෙන එවයි දඩ නියම කොට යව මැදුම්ගමට යවූහ. ගම්වැස්සෝ ගම්වැස්සෝ මේ ගොනු දරුවන් වදන්නේ කෙසේදැයි ගොස් පණ්ඩිතයන් වහන්සේ අතින් විචාළහ. උන්වහන්සේ මෙය සමාන පැනයකින් විසඳිය යුතුයයි හිතා කථාකිරීමෙහි දක්‍ෂ පුරුෂයෙකු කැඳවා පින්වත් පුරුෂය තොප හිසකේ පිට මැද හෙලාගෙන මහා විලාප කියකියා රජවාසලටයව. සෙස්සවුන් විචාරන ලදුයෙහි කිසිවක් නොකියා රජ්ජුරුවන් ලඟට ගොස් දේවයන් වහන්ස මාපියාණෝ වදාගත නොහී විලිපහරනේ අදට සත්දවසය. මට පිළිසරණ වුව මැනව වදන උපායෙක් වදාළ මැනවයි කියා රජ්ජුරුවන් විසින් කිමෙක්ද? තා නන් දොඩයිද ඒ කාරණයෙක් නොවෙයි. පිරිමින් වදන්නාහු නැතැයි කී කල්හි දේවයන් වහන්ස එසේ වී නම් නැගෙනහිර යවමැදුම් ගම් වැස්සෝ කෙසේ මගුල් ගොනා වද වද්දැයි විචාරවයි වදාළසේක. රජ්ජුරුවෝ සමාන ප්‍රශ්නය කා විසින් සිතන ලදදැයි විචාරා මහෞෂධ පණ්ඩිතයන් විසින් යයි අසා සතුටුවූහ.

පැසිබතින් විමසු ප්‍රශ්නය

දිනක් අට කාරණයකින් සමන්විත වූ පැසිබතක් අපට පිස එවත්වයි නැගෙන හිරි යවමැදුම්ගම් වැස්සන්ට කියා යවූහ. අටකාරණයෙන් යුත් පැසිබත නම් සාලිනුත් නොපිසුව මැනව දියෙනුත් නොපිසුව මැනව සැලියෙනුත් නොපිසුව මැනව ගින්නෙනුත් නොපිසුව මැනව දර උදුනක ලාත් නොපිසුව මැනව මෙසේ වූ පැසිබත ගැහැණියක අතත්, පිරිමියෙකු අතත් නො එවුව මැනව මගෙකත් නො එවුව මැනව මේ අට කාරණයෙන් යුත් පැසිබත නො එවතහොත් දහසක් දඩයයි කියා යවූහ. පණ්ඩිතයන් වහන්සේ එය විසඳා දක්වන්නේ නො සාල් නම් සුන්සාල් ගෙන නොදිය. පිණිදිය ගෙන නොසැළීය නම් අනිත් බඳුනක් ගෙන නො උදුන නම් අළුත් කණු ගසා නො ගිණි නම් පියවි ගිණිහැර දණ්ඩෙන් හෙළු ගිනි ගෙන නො දර නම් පරඩලා ගෙන පැසිබත පිසවා අළුත් බදනක ලා අස්ඔබා නො ගෑණු නොපිරිමියෙකු නම් නපුංසකයෙකු ඉස තබාලා නො මඟ නම් මාවත හැර අඩි පාරකින් රජ්ජුරුවන්ට යවයි කී සේක. රජ්ජුරුවෝ ඒ බලා ප්‍රීතිමත්වූහ.
වැලියොතින් විමසු ප්‍රශ්නය
තව දිනක් රජ්ජුරුවන් විමසනු පිණිස එම ගම්වැස්සන්ට අස්නක් යවන්නාහු රජ්ජුරුවෝ ඔංචිලි පදිනා කැමැත්තෝය. පරණ වැලි යොත කැඩී ගියේය. එක් වැලි යොතක් අඹරා එවත්වයි දඩ නියම කොට යැවූහ. පණ්ඩිතයන් වහන්සේ ඒ පැනයත් සමාන පැණයකින් විසඳිය යුතුයයි සිතා ගම්වැස්යෙනි නොබියවයි කතාවෙහි දක්‍ෂ පුරුෂයන් තුන්දෙනෙකු කැඳවා යව ගොස් රජ්ජුරුවන්ට කියව දේවයන් වහන්ස ඒ වැලි යොතෙහි පමණ නොදන්නාහ. පරණ වැලි යොතින් රියනක පමණ රන් කෑල්ලක් එව්ව මැනව. ඒ බලා ඊට සමාන යොතත් අඹරන්නාහයි කියව. ඉදින් තොපට රජ්ජුරුවෝ අපගේ ගෙයි වැලි යොතක් නම් කිසිකලෙකත් නොවූ විරූහයි කියත් නම් එවිට රජ්ජුරුවන් වහන්ස ඉදින් එසේ වීනම් නැගෙනහිර යවමැදුම් ගම් වැස්සෝ කෙසේ වැලියොතක් අඹරා එවත්දැයි කියාලවයි යවූසේක. ඒ පුරුෂයෝ මහ බොසතාණන් වහන්සේ වදාළ ලෙසම කළහ. රජ්ජුරුවෝ ඒ අසා ඒ පිළිතුරු මහෞෂධ පණ්ඩිතයන් අතින් එවන ලද්දකැයි දැන සතුටුවූහ.
පොකුණකින් විමසු ප්‍රශ්නය
දවසක් රජ්ජුරුවෝ දිය කෙළිනා කැමැත්තෝය. පස් පියුමෙන් ගැවසීගත් පොකුණක් එවත්වයි කියා යවූහ. එයද සමාන ප්‍රශ්නයකින් විසඳිය යුතුයයි සිතා මුඛරී මිනිසුන් කීපදෙනෙකු කැඳවා තෙපි දිය කෙළ ඇස් ඔලිද ඇට සේ රතුකොට තෙත් ඉසකේ ඇතිව තෙත රෙඳි පිළි හැඳ මඩ වැකුණු ශරීර ඇතිව වියදඩු කැටිවි මහත් කැට මුගුරු ගත් අත් ඇතිව රජගෙට ගොස් රජ්ජුරුවන් වැඳ දේවයන් වහන්ස නුඹ වහන්සේගේ නියමය පරිදි යවමැදුම්ගම් වැස්සන් වූ අපි ඔබතුමාට දිය කෙළිනා පිණිස පස් පියුමෙන් සැදුම්ලත් පොකුණක් ඇරගෙන ආම්හ. ඒ පොකුණ මෙතෙක් කල් වනයේ තිබූ බැවින් මේ වනයටම පලා ගියාය. අපි පසුපස එලවා ගොස් කැට මුගුරු වලින් ගැසුවත් නවතා ගත නොහැකිවිය. නුඹ වහන්සේ මීට පෙර වනයෙන් ගෙන එන ලද පොකුණක් එව්ව මැනව ඒ පොකුණ හා අපගේ පොකුණ එක්කොට යොදා ගෙනෙම්හයි කීය. රජ්ජුරුවන් විසින් කිසිකලෙකත් මා විසින් පොකුණක් නොගෙනාවෙමියි කී කල්හි එසේවීනම් දේවයන් වහන්ස නැගෙනහිරි යවමැදුම් ගම් වැස්සෝ පොකුණක් ඔබ වහන්සේට කෙසේ එවත්දැයි කියවයි කී සේක. උනුත් එසේම කළහ. රජ්ජුරුවෝ ඒ මිනිසුන් අතින් එය අසා ප්‍රීතියට පත්වූහ.

උයනින් විමසු ප්‍රශ්නය
නැවත දිනක් උයන් කෙළි කෙළිනා කැමැත්තම්හ. අපගේ උයන පරනව ගියේය. නැගෙනහිර යවමැදුම්ගම් වැස්සෝ චම්පකාශොක වකුල තිලකාදී පුෂ්පයන්ගෙන් පිරුණ අළුත් උයනක් එවත්වයි කියා යවූහ. පණ්ඩිතයන් වහන්සේ මෙයද සමාන පැනයකින් විසඳිය යුතුයයි මුඛරී මිනිසුන් කැඳවා පෙරපොකුණට කියා යවූ පරිද්දෙන්ම කියා යවූ සේක. එවරද රජතුමා සතුටට පත්ව සෙනකයන් අමතා අමතා පණ්ඩිතයන් ගෙන්වා ගනුමෝදැයි විචාළහ. ඔහු ඊෂ්‍ර්‍යා සහගත වූයේ මෙපමණකින්ම පණ්ඩිත නම්නොවෙති. පසුව හැකියයි කීය. එබස් ඇසූ රජ්ජුරුවෝ මහෞෂධ පණ්ඩිතයෝ තුමූ වැලි කෙළියේ පටන් විසඳු මාංශ ආදී ප්‍රශ්න සතින්ම මා සිත් ගත්තාහ. උන්ගේ ප්‍රශ්න විසර්ජනය බුදු කෙනෙකුන්ගේ විලාසයම ඇත්තේය. සේනකයා උන් ගෙන්වීමට ඉඩ නොදෙයි. සේනකයාගෙන් මට කාය්‍ර්‍ය කිම්ද? පණ්ඩිතයන් ගෙනෙමියි මහත් පෙරහරින් යුක්තව පණ්ඩිතයන් වහන්සේ වසන නැගෙනගිරි යවමැදුම්ගමට නික්මුණාහ. එහිදී රජ්ජුරුවන් නැගීගිය මගුලසුගේ පය පැකිලී වලක වැටී බිඳී ගියේය. රජ්ජුරුවෝ එතනම සිට නැවතී නුවරට වන්නාහ. ඉක්බිත්තෙන් එසේ හැරී ආ වේදේහ රජ්ජුරුවෝ සමීපයට සේනක පණ්ඩිතයන් එළඹ දේවයන් වහන්ස පණ්ඩිතයන් ගෙන එන්නට යව මැදුම්ගමට වැඩිසේක්දැයි විචාළහ. එසේය පණ්ඩිතයෙනියිෟ රජ්ජුරුවෝ කීහ. දේවයන් වහන්ස මම තවත් ප්‍රමාද වුව මැනවයි කියද්දීත් ඉක්බිතිව ගොස් මගුලසුගේ පය බිදී ගියෝ වේදැයි කීහ. රජ්ජුරුවෝ එබස් අසා නිහඬව සිට නැවත දිනක් සේනකයන් අමතා සේනක පණ්ඩිතයෙනි දැන් මහෞෂධ පණ්ඩිතයන් ගෙන්නමෝදැයි විචාළහ. එසේනම් දේවයන් වහන්ස නුඹ වහන්සේ නොගොස් පණ්ඩිතයෙනි තොපගේ සමීපයට එන්නාවූ අපගේ මගුලසුන් පය බිදී ගියේය අශ්වතරයෙකු හෝ ශේෂ්ඨතරයෙකු එවත්වයි දූතයෙකු යැව්ව මැනව. ඉදින් අශ්වතරයකු එවත්නම් තුමූම එන්නාහ. ශේෂ්ඨතරයකු එවත්නම් පියාණන් එවන්නාහ. මෙය අපට ප්‍රශ්නයෙක්ද වන්නේමයයි කීහ. රජ්ජුරුවෝ යහපතැයි එලෙසම යවූහ.
ගදභ ප්‍රශ්නය
මහෞෂධ පණ්ඩිතයන් වහන්සේ ඒ බස් අසා රජ්ජුරුවෝ මාද පියාණන් වහන්සේ ද දක්නා කැමැත්තෝයයි සිතා පියාණන් අමතා එපවත් ඔහුට සැල කොට නුඹවහන්සේ පළමුකොට සිටුවරුන් දහසක් පිරිවරා වැඩිය මැනව. රජ්ජුරුවෝ ඔබතුමා සමග පිළිසඳර කතාකොට සුදුසු අස්නක් බලා හිඳුවයි කියති. ඔබවහන්සේ එසේ කළ මැනව. මමද ඒ වේලෙහි එමි. රජ්ජුරුවෝ මටද සුදුසු අස්නක් බලා හිඳුවයි කියති. එවිට මම නුඹ වහන්සේගේ මූණ බලමි. ඒ සළකුනෙන් හුනස්නෙන් නැගී පුත මහෞෂධ පණ්ඩිතයෙනි මේ අස්නේ හිටුවයි වදාළ මැනවි. එසේ කල්හි එක් පැනයෙක් අපට වන්නේ යයි වදාළසේක.

සිටාණෝ යහපතැයි ගිවිස පුතණුවන් කී සැටියේම ගොස් එපරිද්දෙන්ම රජ්ජුරුවන් සමීපයෙහි උන්නාහ. මහෞෂධ පණ්ඩිතයන් වහන්සේ සර්‍වාලංකාරයෙන් සැරසී කුමාරවරුන් දහසක් පිරිවරන ලදුව උතුම් රථයක හිඳ නුවරට වදනා සේක් අගල පිට තන කන එක් කොටළුවෙකු දැක ශක්තිමත් තරුණ පුරුෂයන් අමතා මේ කොටළුවා අල්වා ගෙන ශබ්ද නොනගින සේ මුඛය බැඳගෙන නොපෙන්නාගෙන එවයි වදාළසේක. පුරුෂයෝද එලෙසම කළහ. පණ්ඩිතයන් වහන්සේ ශක්‍රදේවේන්ද්‍ර ලීලාවෙන් නුවරට වන්සේක. කලින් පැතිරී ඇති කීර්තිය නිසා නුවර වැස්සෝ පණ්ඩිතයන් වහන්සේ දෙස බලබලා ස්තුති කළහ. පණ්ඩිතයොද රජවාසලට ගොස් දොරටුපාලයන් අත දන්වා යවා දහසක් කුමරුවන් සමග රජු සමීපයට ගොස් සිටිසේක. රජ්ජුරුවෝද ඔහු සමඟ මිහිරි කතාකොට පණ්ඩිතයෙනි සුදුසු අස්නක් බලා හිඳුවයි කීහ. පණ්ඩිතයන් වහන්සේ පියාණන් දෑ මූණ බැලූසේක. එවිට පියාණෝ අස්නෙන් නැගී පණ්ඩිතයෙනි මේ අස්නේ සිටුවයි කීහ. පණ්ඩිතයන් වහන්සේ පියා උන් අස්නෙහි වැඩ උන්සේක. එවිටම ඒ අසලම සිටි සේනක, පුක්කුස, කාවින්‍ද, දෙවින්‍ද පණ්ඩිතවරු සතර දෙනාද සෙසු නුවණැත්තහුද අත්ලෙන් අත්ල ගසා මහත් කොට සිනාසී මේ නුවණ නැති කෙනෙකි. තම පියා අස්නෙන් නගා තෙමේ අස්නේ හුන්නේය. මොහු නුවණැතියන් කියන්ට යුක්ති නැතැයි පරිභව කළහ. රජ්ජුරුවෝ දුර්මුඛ වූහ. එවිට මහෞෂධ පණ්ඩිතයන් වහන්සේ රජ්ජුරුවන් අමතා කිමෙක්ද? දේවයන් වහන්ස කනස්සළු සේක්ද? එසේය පණ්ඩිතයෙනි පියාණන් අස්නෙන් නඟා උන් හෙයිනැයි කීහ. කිමෙක්ද දේවයන් වහන්ස ඔබවහන්සේ හැම තන්හිම පුතුන්ට වඩා පියෝම උතුම්හයි කියන සේක්දැයි විචාළසේක එසේය පණ්ඩිතයෙනි කීහ. ඉක්බිති පණ්ඩිතයන් වහන්සේ රජ්ජුරුවන් අමතා ඔබ වහන්සේ අපට අශ්වතරයෙකු හෝ ශ්‍රේෂ්ඨතරයෙකු හෝ එවන්නැයි අසුන් යවනලදුදේ වේදැයි කියා හුනස්නෙන් නැගී මානවකයන් බැඳගෙන ආ කොටළුවා ගෙන්වා ගෙන රජ්ජුරුවන්ගේ පාමුල තබාල දේවයන් වහන්ස මේ කොටළුවා කෙතෙක් අගීදැයි විචාළසේක.

රජ්ජුරුවෝ ඉදින් උපකාර ඇත්තේ වී නම් අටමස්සක් අගනේයයි කීහ. මූ නිසා සෛන්‍ධව කුලයෙහි වෙළඹ බඩ උපන් අජාතීය අශ්වයා කෙතෙක් අගීදැයි විචාළසේක. පණ්ඩිතයෙනි අගය නැතැයි කීහ. දේවයන් වහන්ස කුමක් හෙයින් එසේ කියන සේක්ද? ඔබතුමා දැන් හැමතැනම පුතුන්ට වඩා පියෝම උත්තමහයි කියන ලද්දේවේද? ඉදින් එය සැබෑවීනම් ඔබතුමාගේ වාදයෙහි අජානීය අශ්වයාට වඩා කොටළුවා උතුම් වන්නේය. කිමෙක්ද දේවයන් වහන්ස ඔබතුමාගේ පණ්ඩිතවරු මෙපමණකුත් දැනගන්නට අසමර්ථව අත්පුඩි ගසා සිනාසෙන්නාහ. ඔබ පණ්ඩිතවරුන්ගේ නුවණ විශේෂය ආශ්චය්‍ර්‍ය. ඔබතුමා කොයින් මුත් සොයාගත් සේක්දැයි පණ්ඩිතවරු සතරදෙනාට පරිභව කොට රජ්ජුරුවන්ට ගද්‍රභ ප්‍රශ්නයෙහි එම කාරණා ගාථාවකින් කියා දේවයන් වහන්ස පුතුනට වඩා පියාණෝ උතුම්නම් මපියාණන් ඔබතුමාට වැඩ පසස්නා පිණිස ගත මැනව. ඉදින් පියන්ට වඩා පුත්‍රයෝ උත්තමයෝනම් මා ඔබතුමා සමීපයෙහි රඳවාගත මැනවයි වඳාලසේක. රජ්ජුරුවෝ ඇතුළු සියළු රාජ පර්‍ෂද් පණ්ඩිතයන් විසින් ප්‍රශ්නය මනාකොට කියන ලදැයි ඔල්වර හඬ සහ සාධුකාර පැවැත්වූහ. සේනකාදී පණ්ඩිතවරු සතරදෙන දුර්මුඛ වූහ. (මහෞෂධ පණ්ඩිතයන් හා සමාන මව්පිය ගුණදත් අන් උතුමෙක් නැත) එසේ වුවද පියාණන් අස්නෙන් නගා තමා ඒ අස්නේ වැඩඋන්නේ පියාණන්ට අවමානයක් පිණිස නොවන්නේය. රජ්ජුරුවන් විසින් අශ්වතරයෙකුගේ ශ්‍රේෂ්ඨතරයෙකු එවන්නේයයි අසුන් යවන ලද හෙයින් ඒ පැනය විසඳුන පිණිසත් තමන් නුවණැති බව හඟවන පිණිසත් සේනකාදී පණ්ඩිතවරු සතරදෙනාගේ බැබලීම නැතිකරන පිණිසත් මෙසේ කළ බව දතයුතුයි.

මණි ප්‍රශ්නය

රජ්ජුරුවෝ ඉතා සතුටට පත්වම මහෞෂධ පණ්ඩිතයන්ගේ දෙමාපියන්ට බොහෝ සතුටු පඬුරුදී පිටත්කර යවා පණ්ඩිත කුමාරයන් මෙවක් පටන් මාගේ පුතණුවෝ යයි බොහෝ සම්පත් දෙමින් ඇති දැඩි කළහ. දිනක් රජ්ජුරුවෝ පණ්ඩිතයන් විමසනු කැමතිවූහ. නුවර දකුණු වාසලට නුදුරුවූ තන්හි පොකුණුතෙර එක් තල් ගසක් උඩ කවුඩු කැදැල්ලක මාණික්‍ය රත්නයක් ඇත. එහි ඡායාව පොකුණෙහි පෙනෙන්නේය. පොකුණේ මැණිකක් ඇතැයි රජ්ජුරුවන්ට දැන්වූහ. රජ්ජුරුවෝ සේනකයන් ගෙන්වා ඒ මැණික කෙසේ ගනුමෝදැයි විචාරා පැන් ඉස්සවා පියා ගැනීම සුදුසු යයි කී කල්හි එසේත් කොට මැණික නුදුටුවාහ. පොකුණෙහි දිය පිරී ගිය කල්හි නැවතත් මැණික පෙනෙන්නට විය. සේනකයන්ගේ උත්සාහය නැවත නැවතත් ව්‍යර්ථවූයේය.

ඉක්බිත්තෙන් රජ්ජුරුවෝ මහෞෂධ පණ්ඩිතයන් වහන්සේ කැඳවා ඒ මැණික ගත හැකිදැයි විචාළසේක. පණ්ඩිතයන් වහන්සේ රජ්ජුරුවන් වහන්ස බැරිනොවෙයි වැඩිය මැනවයි බොහෝ පිරිස සමග කැඳවා ගෙන ගොස් පොකුණු තෙර සිට මැණික බලන සේක්මි මේ මැණික පොකුණෙහි නොවෙයි. මේ තල් ගහ උඩ වියයුතුයයි දැන දේවයන් වහන්ස පැන්තලියක් ගෙන්වා බැළුව මැනව එහිද මැණික පෙනෙයි. මේ ඇත්තේ ඡායාවක්ය. මැණික වනාහි මේ තල්ගස උඩ කවුඩු කැදැල්ලේය. මිනිසකු නංවා ගත මැනවයි වදාළසේක. රජ්ජුරුවෝ මිනිසකු නංවා මැණික ගෙන බොහෝ ප්‍රීතියට පත්ව සේනක පණ්ඩිතයන්ගේ ක්‍රියාවට ගරහා රජ්ජුරුවන් කරපැළදි රන් ලක්‍ෂයක් වටිනා මුත්හර දී කුමාරවරුන් දහසටද මුතුපට බැගින්දී රාජසේවයට එනවිට ඒවා පැළඳගෙන පැමිණිය යුතුයයි සම්මත කළහ.
කකණ්ට ප්‍රශ්නය
නැවත දිනක් රජ්ජුරුවෝ පණ්ඩිතයන් සමඟ උයනට යන්නේ තොරණේ සිටි එක් බොහොඬෙක් එන්නාවූ රජ්ජුරුවන් දැක වහා බිමට බැස වැදහොත්තේය. ඒ දුටු රජ්ජුරුවෝ පණ්ඩිතයෙනි මේ බොහොඬා කුමක් කෙරේදැයි විචාළහ. දේවයන් වහන්ස නුඹවහන්සේට සේවය කරන්නේයයි වදාළසේක. රජ්ජුරුවෝ එසේවීනම් ඕහට වස්තුවක් දෙමි. කුමක් දියයුතුදැයි විචාළහ. දේවයන් වහන්ස රත්රන් වියැට සමාරක් පමණ වටිනා මස්දීම සුදුසු යයි වදාළසේක. රජ්ජුරුවෝ එසේවිනම් තවත් වැඩිය දෙමියි රත්රන් දෙවියැට සමාරක් අගනා මස් ගෙනහැර දෙවයි කියා එක් පුරුෂයෙකුට නියම කළහ. ඒ පුරුෂයාත් ඒ නියෝගය පරිදි දිනපතා මස් ගෙන බොහොඬාට දෙන්නේය.

ඒ පුරුෂයා එක් දවසක් පොහොය දිනයෙහි රාජසම්මත හෙයින් මස් නොලැබ දෙවියැට සමාරක් පමණවූ රත්රන් මැදින් විද බොහොඩාගේ කරේ බැන්දේය. බොහොඬාට ඒ රත්රන් මාලය නිසා මානයෙක් උපන්නේය. නැවත දිනක් රජ්ජුරුවෝ උයනට ගියහ. ඒ බොහොඬ තෙමේ රජ්ජුරුවන් එන්නවුන් දැක වස්තුව නිසා උපන් මානය කරණකොට ගෙන වේදේහයෙනි වස්තුව ඇත්තේ තොපට පමණක් නොව මමත් වස්තු ඇත්තෙමි. රජ්ජුරුවන් හා සමඟ තමා සම කරන්නේ තොරණ අගින් නොබැස එහිම හිස සලමින් වැදහොත්තේය. ඒ දුටු රජ්ජුරුවෝ මහෞෂධ පණ්ඩිතයෙනි මේ තෙමේ පෙරසේ අද නොබස්නේය. කුමක් හෙයින් මානය ඇතිවීදැයි ගාථාවකින් විචාළහ. පණ්ඩිතයන් වහන්සේ පොහෝ දවස් මස් නැති හෙයින් රාජපුරුෂයා විසින් තමා කරබැඳි රත්රන් දෙවියැට සමාර නිසා මානය ඔහුට වියයුතුයයි දැන එය ගාථාවකින් කියන සේක්. නොලත් විරූ වස්තුව ලදින් මමත් මා පමණ වස්තුව ඇත්තෙමි. වේදේහ රජුනි තොපට වඩා මා අඩු කිමෙක්දැයි ඉක්ම සිතන්නේයයි මේ කකණ්ටක ප්‍රශ්නය විසඳා වදාළසේක. රජ්ජුරුවෝ බොහොඬාට මස් දෙන්නට නියෝග කළ පුරුෂයා ගෙන්වා පණ්ඩිතයන් කීවා සැබෑදැයි විචාළහ. ඒ වූ පරිද්දෙන්ම කීයේය.

කිසිවකුගෙන් නොවිමසා සියල්ල බුදු මුවින් මෙන් බොහොඬාගේ අදහස දන්නා ලදැයි වඩ වඩාත් පැහැද පණ්ඩිතයන්ට සතර වාසල ලබන සුන්වත් අය දුන්හ. බොහොඬා කෙරෙහි කිපුණු රජ්ජුරුවෝ තමන් කළ නියෝගය අත්හළහ. ඒ පණ්ඩිතයන් වහන්සේ එය සුදුසු නොවේයයි නැවතත් නියම කළහ.
සිරිකාලකන්ණි ප්‍රශ්නය
මියුළු නුවර වැසි පිංගුත්තර නම් ළදරුවෙක් තක්සලා නුවරට ගොස් දිසාපාමොක් ආචාරීන් සමීපයෙහි ශිල්ප උගෙන නිමවූයේ, සිරිත් ලෙස ආචාය්‍ර්‍යවරයා තමාගේ දෙවඟනක් බඳු දියණියද කැඳවා ගෙන යවයි ඔහුට පාවා දුන්නාහ. ඔහු නමින් පිංගුත්තර වුවද පින් නැත්තෙක. කාලකණ්ණිය. කුමාරිකාව මහ පිණැත්තීය. ඈ කෙරෙහි සිත නොඇළුන මානවකයා ඈ නුරුස්නේ ආචාරීන්ගේ බස් අකමැත්තෙන් ඉවසා රාත්‍රීයෙහි සකස් කර දුන් මංගල යහනෙහි සැතපීහ. කුමාරිකාව අවුත් ඇඳට නැගෙන්නාහාම මානවකයා ඇඳින් බැස බිම වැදහොත්තේය. කුමාරිකාවද ඇඳින් බැස ඔහු සමීපයට ගිය විට ඔහු එතනින් නැගිට ඇඳට යන්නේය. මෙසේ ඇඳට බිමට යාමෙන් වෙහෙසට පත් කුමාරිය ඇඳෙහිම සැතපුනීය. ඒ කාලකණ්ණියා බිම වැදහොත්තේය. මෙසේ සතියක් ආචාරීන්ගේ නිවසෙහි සතියක් යවා ඈ කෙරෙහි සෙනෙහෙ නැතිවත් ආචාරීන්ගේ බස පැහැර නොහැරිය හැකි බැවින් ඈ තමාගේ නුවරට කැඳවා ගෙන නික්මුණේය. අතර මගදී කිසි කතාබහක් පමණ කුදු නැති මියුළුනුවරට පැමිණියේ පලගත් දිඹුල් ගසක් දැක සාදුකින් පීඩිතවූයේ ගසට නැගීලා දිඹුල් කඩාගෙන කන්නට වන. කුමාරිකාවද සා දුකින් පීඩිත වූයේ මටත් දෙවයි ඇයදීය. ඇයි තිට අත්පා නැද්ද? ගසට නැගී දිඹුල් කඩාගෙන කවයි කීහ. සා දුකට වඩා දුකක් නැති හෙයින් කුමාරිකාවද ගසට නැග දිඹුල් කඩාගෙන කන්නටවන. මානවකයාත් ඈ ගසට නැගී බව දැන වහා ගසින් බැස ගසවට කටු ගසාලා කාලකණ්ණියා කෙරෙන් මිදිනියි කියාලා නුවරටම පැනගියේය. කුමරිය ගසමුල කටු හෙයින් බැසපීයන්ට නොහැකිව උඩම හුන්නීය.

ඉක්බිත්තෙන් රජ්ජුරුවෝ එදවස් උයන්කෙළි කෙළ සවස්වේලේ නුවරටම වදනාහු දිඹුල් ගස උන් කුමාරිකාව දැක ඈ පිළිබඳව සිත් ඇතිව පුරුෂයන් ඇත්ත නැත්ත විචාරා පාවාදුන් ස්වාමියා පලාගිය බව අසා කුමාරිකාව ගඟින් බස්වා ඇතුපිට නංවා ගෙන මාළිගාවට ගෙන ගොස් රුවන් රැසක් පිට සිටුවා අගමෙහෙසුන් කළහ. ඈ රජ්ජුරුවන්ට ප්‍රියය. මන වඩිති. දිඹුල් ගසදී දුටුබැවින් උදුම්බරා දේවිය යි ප්‍රසිද්ධ වූහ.

දිනක් රජ්ජුරුවෝ උයන් කෙළියට යන පිණිස ගම්වැස්සන් ලවා මාර්‍ගය ඉදිකරවූහ. පින්ගූත්තරයාද රාජසම්මත බැවින් මෙහෙවර කරන්නේ කැසපට කවාගෙන උදැල්ලකින් මග නසින්නටවන. මාර්‍ගය සාදා නිමවන්නට පෙර රජ්ජුරුවෝ උදුම්බරා දේවීන් සමග මංගල රථයෙන් උයන් කෙළියට නික්මුණාහ. උදුම්බරා දේවිය මාර්ගය සසිමින් සිටි ඒ කාලකණ්ණියා දැක මෙබඳු සම්පතක් දරාගත නොහැකි වීයයි ඌ දිසාව බලමින් සිනාසුනාහ. රජ්ජුරුවෝ බිසවුන් සිනාසෙනවා දැක කිපී කුමක් නිසා සිනාසෙන්නෙහිදැයි විචාළහ. බිසව ඊට හේතුව ඇතිසැටියෙන් කීවාය. රජ්ජුරුවෝ තී කියන්නේ බොරුය. අනික් පුරුෂයකු දැක තී සිනාසුනේය. තී මරමියි කඩුව කොපුවෙන් ඇදගත්හ. බිසව භයපත්ව දේවයනි යළි පණ්ඩිතවරුන් විචාළ මැනවයි කීහ. රජ්ජුරුවෝ සේනකයන් අතින් විචාළහ. දේවයන් වහන්ස මැගේ බස් නො අදහමියි කවරෙක් නම් මෙබඳු ගැහැණියක් හැරපියා නැගීයේදැයි කීහ. බිසව සේනකයන්ගේ බස් අසා වඩාත් බියවූහ.

ඉක්බිති රජ්ජුරුවෝ සේනකයා කුමක් දනීද? මහෞෂධ පණ්ඩිතයන් විචාරමියි සිතා පණ්ඩිතයන් අමතා ගාථාවකින් විචාරන්නාහු ස්ත්‍රීයක් තොමෝ අධික රූ ඇත්තීද ආචාරශීලී වූද ඈ පුරුෂයෙක් නොකමැත්තේල. තෙපි ඒ අදහව්දැයි විචාළහ. එබස් අසා දේවයිනි මම අදහමි. පුරුෂයා දෛවය නැත්තේ වී නම් ශ්‍රී කාන්තාවද කාලකණ්ණියාද යන මොහු දෙදෙනා මුහුද එතෙර මෙතෙර සේද අහස හා පොළව සේද එක් නොවෙතියි වදාළහ. රජ්ජුරුවෝ ඒ අසා සතුටට පත්ව පණ්ඩිතයෙනි ඉදින් තෙපි අද මෙතන නැත්තාහු නම් අනුවණ සේනකයාගේ බස් අසා මෙබඳු ගැහැණු රුවණක් නොලද්දේ වෙමියි. මසු දහසක් පූජා කළහ. ඉක්බිති බිසව රජ්ජුරුවන් වැඳ ස්වාමීනී මේ පණ්ඩිතයන් නිසා මාගේ දිවි ලද්දේ වෙමි. එබැවින් මොහු මාගේ මලනු තනතුරෙහි තබා ගැනීමට අවසරය දෙනු මැනවි. මොහු හැර කිසි මිහිරි රසයක් අනුභව නොකරමි. කැමති වේලාවක වාසල් දොර හරවා පණ්ඩිතයන්ට මිහිරි රසයක් යවන්නට ලබන වරයක් ගතිමියි වර ලබාගත්හ.

ඵළක ප්‍රශ්නය
එක් දවසක් රජ්ජුරුවෝ එක් එළුවකු හා බල්ලකු හිතමිත්‍රකමින් වාසය කරනවා සී මැඳුරු කවුළුවෙන් දුටහ. දිනක් එළුවා ඇත්හළ තුලට ගොස් ඇතුන්ට ලාලූ තණ අනුභව කොට ඇත්හලයාගෙන් පිට අවුරා පහරක් ලබාගෙන වේදනාවෙන් මිරිකි මිරිකී ගොස් රජගෙයි අගුවේ වැද හොත්තේය. එදවස්ම බල්ලාත් මුළුතැන්ගෙට ගොස් මාංශ අනුභව කොට අරක්කැමියාගෙන් පහර කා වේදනාව විදිමින් එන්නේ කෙඳිරිගාමින් පසුවන තම මිත්‍ර එළුවා දැක සබඳ දැන් ඉතින් කෙසේ ජීවත්වමෝදැයි කීහ. එළුවා කියන්නේ මිත්‍රය තොප තණ නොකන බැවින් තොප ගැන සැකයෙක් නැත. ඇත්හළට ගොස් එහි හැසිර අවසරයක් බලා තණ කට්ටයක් රැගෙන එව. මා ගැනද සැක නොකරන බැවින් මමද මුළුතැන්ගෙයි හැසිර අවසරයක් බලා මස් කැටියක් රැගෙන එන්නෙමි. එය තොපට අනුභව කරත හැක. මේ නියායෙන් අපි දෙදෙනා ජීවත්වන්නමෝවේදැයි කීහ. උන් දෙදෙනා මෙසේ සැපසේ වෙසෙති.

රජ්ජුරුවෝ උන්දෙන්නාගේ මිත්‍ර ධර්‍මය දැක මා විසින් නොදුටු විරූ කාරණයක් දුටුවෙමි. මොහු දෙන්නා ඔවුනොවුන්ට පස මිතුරුවත් එකට වාසය කරති. මේ කාරණය අලලා පැනයක් ගොතා පණ්ඩිතවරු පස්දෙනාගෙන් අසා ඒ නොදත් කෙනෙකුන් රටින් යවන්නෙමි. දත් කෙනෙකුන්ට උපකාර කරන්නෙමි. අද වේලා මදව ගියේය. සෙට සේවයට ආකල විචාරන්නෙමියි සිතූහ. දෙවන දින සේවයට අවුත් උන් කල්හි ගාථාවකින් මේ සත්ව ලෝකයෙහි කිසි විශ්වාසයෙක් නැති පසමිතුරු වූ දෙදෙනෙක් සබඳවූහ. මිත්‍ර ධර්‍මය පවත්වමින් ඇවිදිනාහ. එයට කරුණු කිමෙක්දැයි කීහ. අද පෙරවරු වේලෙහි මේ පැනය නොවිසඳන්නහු නම් තොප හැම දෙනම රටින් නෙරපන්නෙමි. නුවණ නැත්තවුන්ගෙන් මට ප්‍රයෝජණ නැතැ”යි කීහ. සේනකයෝ මුල් අසුනෙහි හුන්හ. මහෞෂධ පණ්ඩිතයෝ කෙළවර අසුනෙහි වැඩ උන්සේක. උන්වහන්සේ ඒ පැනය පරීක්‍ෂා කෙරෙමින් අත්‍ර්‍ථනොදැන “මේ රජතෙමේ බොළඳ ගුණ ඇත්තේය. මේ පැනය සිතා ගෙන දැනගන්ට නොපොහොසත. ඔහු විසින් කිසිවක් දක්නා ලදැයි සිතා එක දවසකට අවසර ලබන්නෙම් වීනම් මේ පැනය දැනගනිමි යි සිතූසේක.

සේනකාදී පණ්ඩිතවරු සතරදෙන අඳුරු ගබඩාවකට වන්නවුන් මෙන් කිසිවක් නුදුටුවහ. එබැවින් රජ්ජුරුවන් වැඳ එක්දිනයකට අවසර ලබාගෙන ගියාහ. මහෞෂධ පණ්ඩිතයෝද හුනස්නෙන් නැගී උදුම්බරා දේවීන් සමීපයට ගොස් දේවීන්වහන්ස අද හෝ ඊයේ රජ්ජුරුවෝ බොහෝ වේලාවක් කොතැන සිටියෝ”දැයි විචාළසේක.

සේනකාදී පණ්ඩිතවරු සතරදෙන අඳුරු ගබඩාවකට වන්නවුන් මෙන් කිසිවක් නුදුටුවහ. එබැවින් රජ්ජුරුවන් වැඳ එක් දිනයකට අවසර ලබාගෙන ගියාහ. මහෞෂධ පණ්ඩිතයෝද හුනස්නෙන් නැගී උදුම්බරා දේවීන් සමීපයට ගොස් දේවීන්වහන්ස අද හෝ ඊයේ රජ්ජුරුවෝ බොහෝ වේලාවක් කොතැන සිටියෝ” දැයි විචාළසේක.

මලණ්ඩ සී මැදුරු කවුළුවෙන් පිටත බලමින් සක්මන් කළහයි බිසව කීහ. ඉක්බිති පණ්ඩිතයන් වහන්සේ රජ්ජුරුවන් මේ දිසාවේ කිසිවක් දක්නාලද වන්නේයයි සිතා ඒ ස්ථානයට ගොස් පිටත බලා එළුවාගේ හා බල්ලාගේ ක්‍රියාව දැක මේ දෙදෙනා ගැනම මේ පැනය සලකන ලදැයි සනිටුහන් කොට ගෙන ගෙට වැඩිසේක. පුක්කුසාදී වූ අනික් තුන්දෙනාට ප්‍රශ්නය විසඳා ගත නොහැකිව එක්ව පැනය නොවිසඳු කල්හි රජ්ජුරුවෝ කිපෙති. කුමක් කරමෝද? අපට වර්ෂයක් සිතුවත් මෙහි අදහස නොවැටහෙයි. මහෞෂධ පඬිතුමා මෙය සත සහශ්‍ර ගුණයෙන් සිතා නිමවා ඇත. උන් සමීපයට යම්හයි එහි ගොසින් එකත්පස්ව සිට පණ්ඩිතයෙනිෟ නුඹවහන්සේ විසින් පැනය විසඳන ලදදැයි විචාළහ.

උන්වහන්සේ මා පැනය නොවිඳනකල්හි භුවනත්‍රයේ අනික් කවරෙක් විසඳන්නේද? එසේය පැනය සිතන ලදැයි වදාළසේක. අනික් පණ්ඩිතවරු සතරදෙන එසේවීනම් අපටත් වදාළ මැනවයි කීහ. මහාකරුණා ගුණයෙන් යුතු මහතාණෝ” ඉදින් මම මුන් සතරදෙනාට පැනය නොකියෙන්නම් රජ්ජුරුවෝ මේ ජඩ කොල්ලන් සතර දෙනාවම රටින් නෙරපනාහ. මට සත්රුවනින් පුදන්නාහ. එය මාගේ කරුණාවට තරම් නොවේයයි උන් කෙරෙහි කරුණාවෙන් උන් මිටි අසුන්වල හිඳුවා තමා දෙසට දොහොත් මුදුන්දී වැඳගෙන ඉන්නා ලෙස නියමකොට රජ්ජුරුවන් දුටු නියාව නොහඟවා රජ්ජුරුවන් විචාළකල මෙසේ කියවයි ගාථාසතරක් උගන්වා එහි අත්‍ර්‍ථය නොවුගන්වා යවූසේක.

දෙවන දින රාජ සභාවේදී සේනකයෝ දේවයන් වහන්ස මා පැනය නොදන්නා කළ අනික් කවරෙක් දනීදැයි වැඳුවන් ඉදිරියෙහි කොළඹු ලන්නාසේ මහෞෂධ පණ්ඩිතයන් හමුවෙහි තමාගේ වියත්කම අඟවා කලින් ඉගෙන ගත් ගාථාව කීහ.

ඒ ගාථාවේ අදහස නම්:- ප්‍රසිද්ධ අමාත්‍ය පුත්‍රාදීන්ට එළුමස් ප්‍රියය. ඔවුහු බළුමස් අනුභව නොකරන්නාහ. එසේවූ බල්ලාගේ හා එළුවාගේ සමගි සංඛ්‍යාත විශ්වාස වී” ගාථාව කී මුත් සේනකයෝ අත්‍ර්‍ථය නොදන්නාහ. රජ්ජුරුවෝ අත්‍ර්‍ථය තේරුම්ගෙන පුක්කුසයන් අතින් විචාළහ. ඔහුද කටමැත දොඩා කටපාඩම් කරගත් ගාථාවකීහ.

එහි අදහස:- අසුපිට ඇතිරීම සඳහා එළුසම් ගන්නාහ. බල්ලන්ගේ සම් නොගන්නාහ. එසේ වුවද එළුවාගේ සහ බල්ලාගේ විශ්වාසය වී ඔහුද අත්‍ර්‍ථය නොදත් නමුත් රජ්ජුරුවෝ එයද තේරුම්ගෙන කාවින්‍ද පණ්ඩිතයන් අතින් විචාළහ. උයිත් තමා උගත් ධර්‍මය නොදත් ගාථාව කීහ. ඒ ගාථාවේ අදහස මෙසේ දතයුතුයි:- එළුතෙමේ ඇඹරී ඇති අංඇත්තේය. බල්ලාට අං නැත්තේය. එළුතෙමේ තණ හා කොළ කන්නේය. බළුමස් නොකන්නේය. බළුතෙම සාවුන් හා බළලුන් කන්නේය. එසේද වුවත් එළුවාගේ හා බල්ලාගේ විශ්වාසය වී”මෙසේ සෙනකාදී සතරදෙන තමන් උගත් ගාථා පමණක් කී කල්හි රජ්ජුරුවෝ අත්‍ර්‍ථ දත් හෙයින් නොවිමසා පස්වැනි වූ අසරණ සරණ මහෞෂධ පණ්ඩිතයන් අතින් විචාළහ. උන්වහන්සේ එසේ නම් ඇසුව මැනවයි සිංහනාද කොට තත්වූ පරිදි ගාථා දෙකකින් කීසේක. “සතර පයෙහි අටකුරෙක් ඇති එළුතෙමේ මස්ගන්නා වේලෙහි කිසි කෙනෙකුන්ට නොපෙනී මේ බල්ලාට මස් ගෙනෙන්නේය. මේ බල්ලාද එළුවාට තණ ගෙනෙන්නේය. මොවුන් දෙදෙනාගේ පෙරළිය ජන ප්‍රධාන වූ වේදේහ රජතෙමේ ප්‍රසාදයෙහි සිටියේ දිටීයයි වදාළසේක. රජ්ජුරුවෝ සතර දෙනා ගැනම පැහැදී ගාථා දෙකකින් ඔවුන්ට ප්‍රශංසාකොට අජානීය අශ්වයින් යෙදූ අලංකාර රථයක් සමඟ සියළු සැපතින් සමෘද්ධ වූ ගම්වරය බැගින්ද දෙවූහ.
සිරිමන්ද ප්‍රශ්නය
උදුම්බරාදේවී වනාහි සේනකාදී පණ්ඩිතවරු සතරදෙනම මහෞෂධ පණ්ඩිතයන් නිසා ප්‍රශ්නය දත් බව දැන රජ්ජුරුවන්ට එය සැළකොට දේවයන් වහන්ස ඒ සේනකාදී සතරදෙන කුමක් දනිද්ද මහෞෂධ පණ්ඩිතයෝ වනාහි මේ අඥානයෝ සිව්දෙන නොනසිත්වයි සිතා පැනය ඉගැන්වූහ. නුඹවහන්සේ හැම දෙනාටම සමසේ උපකාර කළ සේක. ඒ අයුක්තියයි කීහ. රජ්ජුරුවෝ තමන් නිසා පැනය දත්බව නොකීවූයයි මහෞෂධ පණ්ඩිතයන් කෙරෙහි වඩාත් පැහැදී වඩා උපකාරයක් කරනු කැමතිව මපුතනුවන්ගෙන් එක් පැනයක් විචාරා මහත් සත්කාර කරන්නෙමියි සිතූහ.මෙසේ සිතා සිරිමන්‍ද ප්‍රශ්නය ගොතාගෙන දිනක් පණ්ඩිතවරුන් සේවයට ආ කල්හි සේනක පණ්ඩිතයෙනි පැනයක් විචාරමි. කියව. “නුවණ ඇති සම්පත් නැති, පිරිවර සම්පත් ඇති නුවණ නැති” මුන් දෙන්නා අතරෙන් නුවණැත්තෝ කවුරුන් උතුමැයි කියද්ද? වහාම කියවයි කීහ. එවිට සේනකයන් මහරජ්ජුරුවනි ඒකාන්තයෙන් නුවණැත්තෝද නුවණ නැත්තෝද ශිල්ප දත් නොදත් අයද උතුම් ජාති ඇත්තාහුද සම්පත් ඇති තැනැත්තහුට යටත්වන්නාහ. මේ කාරණය දැන කියමි. නුවණැති තැනැත්තේ යටත්මය. සම්පත් ඇති තැනැත්තේ උතුමැයි කීහ.

රජ්ජුරුවෝ සේනකයාගේ බස් අසා සෙසු තිදෙනා අතින් නොවිමසා කෙළවර උන් මහෞෂධ පණ්ඩිතයන් අතින් විචාළහ. එවිට පණ්ඩිතයන් වහන්සේ දේවයන් වහන්සි කිසි ලාභ සම්පත්තියක් ලදින් උතුම්යයි සිතන්නාවූ අඥානතෙමේ පස්පව් කරන්නේය. ඔහු ඉසුරු මදයෙන් පව්කොට නරකාදියෙහි උපදනේය. නුවණ නැති හෙයින් මෙලොවද පරාජයක් ගන්නේය. මේ කාරණය දැක මම නුවණැත්තේම උතුම්යයි වදාළසේක.

එවිට රජ්ජුරුවෝ සේනකයන් මුහුණ බලා ආචාය්‍ර්‍යයෙනි මහෞෂධ පණ්ඩිතයෝ ළදරුවෝය. උන්ගේ කටින් තවම කිරි සුවඳ හමන්නේය. මේ බාල දරුවෝ කුමක් දනිද්දැයි ගාථාවකින් කියා මේ නුවණතෙමේ භොගසම්පත් සිද්ධ නොකරන්නේය. ඊට හේතු කවරේද? දෙතොළින් බස්නා කෙළධාරා ඇති රූප සම්පත්තියක් නැති ධන සම්පත්තියෙන් යුතුව සුවවිඳිනා මේ ගොරිමන්‍ද නම් සිටුහු ශ්‍රී කාන්තා සෙවුනිය. දේවයන් වහන්ස බලා වදාළ මැනව මේ කාරණය දැක නුවණැතිවත් ඉසුරුමත් තෙමේ උතුමැයි මම කියමියි කීහ.

ඒ ගොරිමන්ද සිටාණෝ ඒ මියුළු නුවරම අසූකෙළක් සම්පත් ඇති සිටාණ කෙනෙකි. විරූපය දූ පුතුන්ද නැත්තාහ. ශිල්ප නොදත්හ. කථා කරන කල්හි ඒ සිටාණන්ගේ දෙතොළින් කෙළධාරාවන් වැගිරෙන්නේය. දෙපසින් සිටින සියළු ආභරණයෙන් සරසුන රූපත් ස්ත්‍රීන් දෙදෙනෙක් නිලුපුල් මලින් ඒ කෙළ පිස වීථියට දමන්නාහ. රා සොඩහුද රා හලට යන්නාහු කෙළ පිසදැමූ මල්ගෙන සෝදා පැළඳගෙන රා හලට වදනාහ. ගොරිමන්‍ද සිටාණෝ මෙබඳු සම්පත් ඇත්තාහයි සේනකයෝ මෙය ශාක්ෂි කොට කීහ.

එවිට මහෞෂධ පණ්ඩිතයෝ දේවයන් වහන්ස සේනකයෝ කුමක් දනිද්ද? බත්හුළු ඇහිඳ කන කපුටුවකු වැන්න. තමාපිට හෙන පහර නොබලා කිරිබොන්නට වන් බල්ලකු වැන්න. මෙලොව විදින සම්පතම බලයි නුවණැත්තේ සුවයක් ලදින් එහිම ඇළුනේ කුසල කර්මයෙහි පවා වන්නේය. දුකින් වඩනා ලද්දේ විශේෂයෙන්ම මුලාබවට පත් වන්නේය. එබැවින් නුවණැත්තේම උතුමැයි මම කියමි කීහ.

එබස් ඇසූ සේනකයෝ දේවයන් වහන්ස මූ කුමක් දනීද? ඵලසම්පන්නවූ ගසටම පක්‍ෂීහුම එළබෙන්නාහ. එපරිද්දෙන්ම බොහෝ වස්තුව ඇති පුරුෂයා බොහෝ දෙන තමන්ට වැඩ පිණිස සෙව්නාහ. මේ කාරණය දැක ධනවත් තැනැත්තේම උතුමැයි කියමියිකීහ.

එසඳ මහෞෂධ පණ්ඩිතයෝ රජතුමනි “පවත්වන ලද අනසක ඇති නුවණ නැත්තේ උතුම් නොවෙයි. කුමක් හෙයින්දයත්? ජනයාට දුක්දී වස්තුව ලබන්නේය. ඒ හේතුවෙන් නරකාදියෙහි යමපල්ලෝ ඔවුන්ව හඬව හඬවා වද දෙන්නාහ. මෙයින් ඉසුරුවත් වූවත් නුවණ නැත්තේ උතුම් නොවෙයි යයි කියමියි වදාළසේක.

ඒ ඇසූ සේනකයෝ රජ්ජුරුවන් වහන්ස ඇල දොළ කඳුරැලි ආදී කිසි ජලාශ කෙනෙක් ගලාගොස් ගඟට අඬාබසිත්ද ඒ හැම දෙනම තමාගේ පෙර නම් හරනාහ. ගංගා ජලය මුහුද හා එක්වීමෙන් ගංගා යන නම අත්හැර මුහුද යන නම ලබන්නේද? එපරිද්දෙන් ලො වැස්සෝ තුමූ සම්පත් ඇත්තවුන්ම පිහිටකොට ඇත්තාහ.

සේනකයෝ “අසනුමැනව දේවයන් වහන්ස යමෙක් ඉසුරුමත් නම් ඒ පුරුෂතෙම මහපිරිස් පිරිවරා අධිකරණයෙහි හිඳ යමක් කියන්නේ නම් තේජස්වී හෙයින් සභා මධ්‍යයෙහි ඔහුගේ බසම නැගෙන්නේය. ඉසුරුමත් නොවූ ප්‍රඥාවන්තයාට එසේ නොකොට හැක්ක. එසේ හෙයින් ශ්‍රීමත් තැනැත්තේම උතුමැයි කියමි. මහෞෂධ පණ්ඩිතයන් වහන්සේ රජතුමනි මද නුවණැති බාලතෙමේ අනුන් නිසාවත් තමා නිසාවත් බොරු බෙනෙයි නම් හේ සභා මැද නින්දාත් ලබයි. පරලොව අපාය ගාමීද වෙයි. මේ කාරණයෙන් නුවණැත්තේම උතුම් වෙයි.

සේනකයෝ, මහරජුනි වී නැළියක් පමණවත් නැති වෙලාවෙන් වෙලාවට දුකසේ ජීවත්වන පොළව සමාන නුවණැත්තේ සභා මාධ්‍යයේ ඉඳ ඉදින් යමක් කියානම් ඔහුගේ වචනයට සභාව නො නැගෙන්නේය. යමෙක් ඉසුරුමත් නම් ඔහු ඉදිරියේ නුවණැත්තේ කදෝ පැණියකු මෙන් වන්නේය. ඉසුරුමතාම ශ්‍රේෂ්ඨ යයි කියමි.

එවිට මහෞෂධ පණ්ඩිතයන් වහන්සේ වදාරණසේක් රජතුමනි නුවණ මඳ තැනැත්තහු දිරාගිය හැවයක් හරන සර්‍පයකු මෙන් තමා කරා එන ග්‍රී තොමෝ හරනීය. ඊට කාරණා කිමෙක්ද? යතහොත් ප්‍රථම කල්පයෙහි අකුසල් නම් කළු හෝ සුදු බව නොදන්නා මිනිසුන්ට ආයු බොහෝ සමයෙහි දඹදිව චේතිය නම් රජෙක් ඇතිවූහ. උන්ගේ ශරීරයෙන් සුවඳ හමන්නේය. මුඛයෙන් මහනෙල් මල් සුවඳ විහිදෙන්නේය. ආකාශයෙහි පලක් බැඳගෙන ඉඳිනට සෘද්ධි ඇත්තාහ. කාමාවචර දෙවියෝ සතර දෙනෙක් රැකවල්ගෙන සිටිනාහ. දසදහසක් යොදුන් දඹදිවට අගරජ කරන්නාහ. එසේවූ චේතිය රජ්ජුරුවන් කී බොරුවෙන් ශරීරයෙන් හා මුඛයෙන් දුර්‍ගන්‍ධ හමන්නට වන රැකවලෙහි යෙදුන දෙවියෝ නැගී ගියාහ. සෘධි නැතිවිය. ජීවමාන ශරීරයෙන් පොළව විවරව අවීචියෙන් ගිනිදැල් අවුත් නරකයට ඇදගෙන ගියහ. මේ කාරණයෙන්ම නුවණ නැති තැනැත්තේ උතුම් නොවෙයි කියමි.

එසඳ සේනකයෝ, දේවයන් වහන්ස නුවණින් තීරණය කළ යුතුවූ කාරණයෙහිම සැක උපන් කල සේනකාදී පණ්ඩිතවරුන් කැඳවයි ඔබවහන්සේ සක්දෙව් රජහු මෙන් මහත් සම්පතින් සිටිනා සේක. ඉදින් නුවණැත්තහු උතුම් වුවහොත් ඔබවහන්සේ අපට යටත් වුවමනාවේද? එසේ නොවන හෙයින් පරිවාර සම්පත් ඇති තැනැත්තේම උතුමැයි කියමියි කීහ.

රජතුමා ඇමතූ මහෞෂධ පණ්ඩිතයන් වහන්සේ දේවයන් වහන්ස මේ අනුවණ සේනකයා කුමක් දනීද? ඇසුව මැනව නුවණින් විසඳිය යුතු යමක් උපන් කල්හි නුවණ නැති ඉසුරුමත් තැනැත්තේ නුවණ ඇත්තහුට ගැත්තකුමෙන් පවත්නේය. නුවණැත්තේ සියුම්වූ යුක්තිය සැකහැර කියාද එබඳු කාරණයෙනුදු නුවණැති තැනැත්තේ මුළාවට පැමිණෙන්නේය. මේ කාරණය දැක නුවණැත්තේම උතුම්ය. සම්පත් ඇති නුවණ නැති තැනැත්තේ උතුම් නොවේයයි වඳාළ සේක.

මේ ඇසූ සේනකයෝ කොටුවෙහි පැටවූ විකා නිමවූ මීයෙකුමෙන් උගත් උත්තර නිමවා පියා කියාගතයුතු දෙයක් නොමැත්තේ කරබා ගෙන කොඳුර කොඳුරා සිතිවිල්ලේ උන්නේය. එදින සේනකයෝ අනික් උත්තරයක් ගෙනහැර කිවුනම් ගාථා දහසකින්වත් මේ උම්මග ජාතකය නොනිමෙන්නේය. ඉක්බිති මහෞෂධ පණ්ඩිතයන් වහන්සේ ප්‍රඥාවම වර්ණනා කොට වඳාළසේක. එයින් ප්‍රමුදිත වූ රජතුමා ප්‍රශංසා කොට ගෙරි දහසක්ද සරසන ලද හස්ති රාජයෙක් සහ අජානීය අශ්වයන් යෙදූ රථ දහසක්ද ලක්‍ෂය බැගින් අය ලැබෙන නියම්ගම් සොළොසක්ද දෙවූහ.
ඡන්ත පත ප්‍රශ්නය

එතැන් පටන් මහෞෂධ පණ්ඩිතයන්ගේ යසස කිරිමුහුද පරිද්දෙන් මහත් වූයේය. උදුම්බරා දේවිය පණ්ඩිතයන්ගේ දුක සැප නිතර විචාරන්නී සොළොස් හැවිරිදිවූ කල මාගේ මළණුවෝ වැඩිමළුව සිටගත. යශසත් මහත. උන්ට සමාන කුලයකින් සරණපාවා දෙන්ට සුදුසුයයි සිතූ එපවත් රජ්ජුරුවන්ට දැන්වූහ. රජ්ජුරුවොද සොම්නස්ව යහපත සොඳුර එපවත් උන්ට කියවයි කීහ. එය දැනගත් පණ්ඩිතයන් වහන්සේ “අනුන් පාවාදෙන කුමාරිකාවක් කිසිසේත් මට අභිප්‍රාය නොවන්නීය. එහෙයින් මමම පළමුකොට සොයා ගනිමියි සිතා දේවීන් වහන්ස කීප දවසක් රජ්ජුරුවන් වහන්සේට මා අසවල් කාර්යයට ගියයි නොකිව මැනව කුමාරිකාවත් පරීක්‍ෂාකොට ඔබ වහන්සේට දන්වා ලමියි කීහ. එසේ පවසා එක්තරා වේශයකින් සන්නාලි උපකරණ ගෙන හුදකලාව උතුරු වාසල් දොරින් නික්ම උතුරු යවමැදුම් ගමට වැඩිසේක.

එගම දුප්පත්ව සිටි පුරාතන සිටුකුලයෙක “අමරාදේවී” නම් රූපත් මහා පිනැති දුවක් වූවාය. ඈ එදවස හුළුකැන් පිසගෙන පියාණන් සානතැනට යන්නී පණ්ඩිතයන් වඩනා මගට පිළිපන්හ. පණ්ඩිතයන් වහන්සේ ඒ කුමාරිකාව දැක “මෝ තොමෝ මට බිරින්දට සුදුසුයයි සිතූසේක. අමරා දේවියද පණ්ඩිතයන් දැකලා ඉදින් මෙබඳු පුරුෂයෙක් ඇත්නම් වස්තු රැස්කරන්ට පිළිවනැයි සිතූහ. ඉක්බිති පණ්ඩිතයන් වහන්සේ මැගේ සැමියන් ඇති නැති බව නොදනිමි. එපවත් හස්ත මුද්‍රායෙන් විචාරමි. ඉදින් මෙ නුවණැත්තී විනම් එය දැන ගන්නීයයි සිතා දුර සිටම “ඇඟිලි හකුළුවා මිට හළසේක”. ඈත් මේ පුරුෂයා මාගෙන් සැමියන් ඇත්ත, නැත්ත විචාරන්නේයයි දැන “අත්ල විදහාලූහ” පණ්ඩිතයන් වහන්සේ ඈ සරණ නූනබව දැන සමීපයට ගොස් සොඳුර තෙපි කිනම්මු දැයි විචාළේය. ස්වාමීනී ගිය දවස වේවයි දැන් වේවයි මතු දවස වේවයි මුළු ලෝකයෙහි යම් නමෙක් ඇත්නම් මම ඒ නමි”යි කීහ. ඇගේ නම අමරා” බව දැනගත් පණ්ඩිතයන් වහන්සේ සොඳුර කවුරුන්ට කැඳගෙන යව්දැයි විචාළහ. පූර්‍ව දේවතාවන්ට යයි කීහ. පූර්‍ව දේවතාවෝ නම් මව්පියෝය. තොපගේ සිටාණෝ කුමක් කෙරෙත්දැයි විචාළහ. එකක් දෙකක් කෙරෙතියි කීහ. එකක් දෙකක් කිරීම නම් සී සෑමය. තොපගේ පියාණෝ කොතනක සාත්දැයි විචාළසේක. යම් තැනකට එක්වරක් ගිය කෙනෙක් නොඑද්ද එතැනයයි කීහ. එසේ තැන නම් සොහොනය. සාන්නේ සොහොනක් සමීපයේය. සොඳුර අදම එව්දැයි විචාළසේක. ඉදින් ආවොත් නොඑමි. නාවොත් එමි. කීහ පියා ගඟකින් එතර සාති. ගඟදිය ආවොත් නො එන නියාව කී බව තේරුම්ගෙන එසේදැයි විමසීය. එසේයයි කීහ. ඉක්බිති අමරාදේවී හුළුකැන් පූව මැන. ස්වාමීනි පැවරූහ. පණ්ඩිතයන් වහන්සේ ප්‍රථමයෙන් කළ ආරාධනාව නොඉවසීම අවමඟුලැයි සිතා යහපත බොමියි වඳාලසේක. අමරා දේවිය කැඳ සැලිය ඉසින් බා තැබූහ. පණ්ඩිතයන් වහන්සේ ඉදින් මණ්ඩය නොදෙව අතට පැන් නොදීම කැඳ අතට දිනි නම් මෙතැනම හැරපියා යෙමි’යි සිතූසේක. ඈ මණ්ඩයෙන් පැන් ගෙන අතට දීලා සිස් මණ්ඩය අත නොතබා බිම තබා සැළියේ කැඳ අල්ලා හුළු කැනින් මණ්ඩය පුරාලූහ. ඒ කැඳෙහි හුළු මඳ වූයේය. පණ්ඩිතයන් වහන්සේ කිමෙක්ද? සොඳුර හුළුකැන් ඉතාම බොල්වනැයි වදාළසේක. පැන් නොලද්දේය. ස්වාමීනියි කීහ. තොපගේ කුඹුර පූදිනා අහදිය නොලද්දයි සිතමියි වදාරා හුළු කැන් සියල්ලම පානය කොට අත කට සෝදා

සොඳුර තොපගේ ගෙට මග කියවයි වදාළසේක. අමරාදේවිය යහපතැයි, ගෙට මග කියන්නී “මේ මග ඔස්සේ ගොස් ඇතුළු ගමට වන්කළ යම් තැනක අත්සුණු තබා විකුණන සල්පිලක්ද ඉන් ඔබ්බට ගියකල යම් අතකින් අනුභව කරත්ද ඒ අත මග යන්ට කියමි. ඒ යව මැඳුම්ගම අපගේ දෙමාපියන්ගේ ගෙට මඟය. මා හඟවා කීමග දැන වදාළ මැනවයි” කීහ.
ස්ත්‍රි ප්‍රශ්නය
මෙසේ අමරා දේවිය පණ්ඩිතයන් වහන්සේට මග කියාලා පියාට හුළුකැන් ගෙනගියාය. පණ්ඩිතයන් වහන්සේ ඇගේ ගෙට වැඩ මෑණියන් පෙන්නූ අසුනක හිඳ පුතණ්ඩ හුළු කැඳක් පූව මැනවයි දුන් බදුන ප්‍රතික්‍ෂෙප කොට මෑණියෙනි අපගේ නැගණියෝ අමරාදේවී මගදී කැදිත්තක් පෙවූහයි වදාළසේක. මෑණියෝ මේ මාගේ දියණියන් නිසා ආ කෙනෙකැයි සිතූය. පණ්ඩිතයන් වහන්සේ උන් දුක්පත් නියාව දන්නාහුද මෑණියෙනි මම සන්නාලියෙක්මි. ගෙත්තම් කටයුතුවූ කිසිවක් ඇද්දැයි විචාරා පුතණ්ඩ මැසිය යුතුදේ ඇතත් ඊට ගෙවිය යුතු මිලයෙක් නැතැයි කී කළ මෑණියෙනි මිලෙන් කම්නැත. ගෙනෙවයි වදාරා ඒ සියල්ල තමාගේ පුණ්‍ය බලයෙන් මොහොතකින් නිමවාදී මෑණියෙනි වීථියක් පාසා අඩගා පියවයි වදාරා ගම ඇත්තන් ගෙනා සියළු කඩින් සන්නාලි මේවර කොට එක දවසින් මසු දහසක් ලත්සේක. මෑණියෝ දාවල් බත් පිස කවා පුතණ්ඩ රෑට සාල් කෙතෙක් ගරම්දැයි විචාරා ගෙදර සියළු දෙනාටම බත් පිසුව මැනවයි වදාරා රාත්‍රියෙහිද රස මස වුලෙන් යුතුව බත් අනුභව කොට අමරා දේවීන් විමසන සේක්. කීපදවසක් එහිම විසූසේක.

දිනක් උන් විමසන සේක් අමරාදේවීනි හාල් මනාවක් ගෙන ඉන් මට කැඳත් බතුත් අවුලු පතුත් පිසවයි කීහ. ඈත් එක සාල් මනාවෙන් මෙතෙක් දෑ කෙසේ පිසම්දැයි” නොකියා යහපතැයි ඒ බස ගිවිස සහල් පැස මුල්සහලින් බත්ද කඩ සහලින් කැඳද සුන්සාලින් කැවුම් ආදී අවුලුපත්ද පිස පණ්ඩිතයන් වහන්සේට අවුලු සහිත කැඳ දුන්හ. කැඳ ටිකක් මුඛයට ගත් පමණින්ම සියළු රස නහර වැල් පිනා ගිය නමුත් ඈ විමසනු පිණිසම සොඳුර තොප පිසමන් නොදන්නා කළ කුමක් නිසා මාගේ සහල් නසාපුදැයි කියා කාරා දමාපීසේක. අමරා දේවීත් නොකිපී කැඳ යහපත් නොවීනම් කැවුම් කෑව මැනවයි ඒ අතට දුන්හ. ඒ මුඛයට ගත් පමණින් රස නහර වැල් පිනා ගියේය. මුලින් කී අයුරු එයද කාරා දැමූසේක. ඊටත් නොකිපී එසේ වීනම් බත් අනුභව කළ මැනවයි කියා බත් අත තැබූහ. ඉන් ආලෝපයක් මුඛයෙහි තබන්නාම සියළු රස නහර පිනාගිය නමුත් එයද පෙරසේම ප්‍රතික්‍ෂෙපකොට පිසමන් නොදන්නේයයි ගරහා තුන්වගයම එක්කොට ඇගේ ඉස පටන් මුළු ශරීරයෙහි ගල්වා දොර අව්වෙහි සිටින්නට නියම කළසේක. ඈද ඊට මදකුත් නොකිපී යහපත ස්වාමීනිෟයි දොර අව්වෙහි හුන්නාහ. පණ්ඩිතයන් වහන්සේ ඈමන් නැති බව දැන සොඳුර මෙහි එවයි වදාළසේක. දෙවිටක් කැඳවන තුරු නොසිට එක බසින්ම සමීපයට අවුය. පණ්ඩිතයන් වහන්සේ නුවරින් එන විට බුලත් පයියේ සඟවාගෙන ආ මසු දහසක් වටිනා එක් සිහින් සළුවක් තෑගිකොට නා පියා මේ කඩ ඇඳගෙන එවයි වදාරා සන්නාලි කමින් උපයාගත් මසුරන්ද යන මේ සියල්ල අමරා දේවීන්ගේ මව්පියන්ට දීලා ඈද කැටුව තම නුවරට ගොස් තවත් විමසනු සඳහා දොරටුපාලයාගේ ගෙයි හිඳුවා තමාගේ ගෙට ගොස් පිරිමින් දෙදෙනකු කැඳවා අසවල් ගෙයි ගැහැණියක රඳවා ආමි. මේ මසු දහස ඇරගෙන ගොස් ඈ විමසුවයි දහසක් දී යවූසේක. උයිත් එළෙසම කළහ. ඈ මේ මසු දහස මාගේ ස්වාමියාගේ පා දූවිලි පමණකුදු නො අගනේයයි කියා එබස් නොගිස්වාහ. තුන්වන වර දක්වාත් ඈ නොගිවිස්නා හෙයින් සතරවන වාරයෙහි ඈ බලයෙන් ඇදගෙන එවයි විධාන කොට එසේ කරවූහ.

ඈට සැපතෙහි යෙදී සිටි පණ්ඩිතයන්ව හඳුනාගත නොහැකිව මුහුණ බලා වරක් සිනාසී වරක් හඩාපීහ. පණ්ඩිතයන් වහන්සේ ඒ දැක ඊට කාරණා විචාළහ. ඉක්බිති අමරාදේවී ස්වාමීනී ඔබ වහන්සේගේ මුහුණ බලා සිනාසෙන්නෙම් ඔබගේ දිව්‍ය සැපතක් සමාන මේ සම්පත් පෙර පින්කොට ලබන ලද කුසල කර්මයාගේ විපාකය. එබැවින් සිනාසුනෙමි. දැන් වනාහි අනුන් සන්තක බිරියක් ගෙන්වා පරදාර කර්මය කොට මතුනරකයට යන්නාහ. එබැවින් ඔබ කෙරෙහි දයාවෙන් හැඬීමියි කීහ. පණ්ඩිතයන් වහන්සේ ඈ පරීක්ෂා කොට පිරිසිදු අදහස් ඇතිබව දැන එහිම යවා නැවත සන්නාලි වෙස්ගෙන එදා රෑ උන් ලඟට ගොස් සැතපීලා දෙවන දවස් රජගෙට ගොස් උදුම්බරා දේවීන්ට සහ රජ්ජුරුවන්ටද දන්වා මහත් උත්සව ශ්‍රීයෙන් පෙළහර පවත්වා ඈ තම ගෙට කැඳවාගෙනවුත් රජ්ජුරුවන්ට අනුශාසනා කරමින් වාසයකළසේක.

ඛජ්ජෝපන ප්‍රශ්නය
ඉක්බිති එක් දිනක් සේනකයෝ අතින් තුන්දෙනා අමතා පින්වත්නි මහෞෂධ පණ්ඩිතයන්ට උන්ටත් වඩා වියත් අඹුවක් ඇත. උන් කෙරේ රජ්ජුරුවන් කෙසේ හෝ බිඳවාපුව මැනවයි කතිකාකොට නිසි උපායක් යොදන්නේ මම රජ්ජුරුවන්ගේ චූඩා මාණික්‍යය සොරා ගනිමි. පුක්කුසයෙනි තොපි රන්මාලාව ගෙනෙව කාවින්‍දයෙනි තොපි රජුන් පොරවන රන්පලස ගෙනෙව දේවින්දයෙනි තෙපි රන්මිරිවැඩි සඟල ගෙනෙවයි විධානය කොට සතර දෙනම වන්චාවෙන් එසේ කොට රහසින් මහෞෂධ පණ්ඩිතයන්ගේ ගෙට යවමියි කියා මැණික මෝරු කලයක දමා මෙය අනික් කෙනෙකුන්ට නොදී මහෞෂධ පණ්ඩිතයන්ගේ ගෙයි ඉදින් ගනිත්නම් මිළ නොගෙන දීපියා එවයි කියා කෙල්ලක අත යවූහ.

ඒ කෙළි පණ්ඩිතයන්ගේ ගේ දොරකඩම මෝරු ගනුවයි කියමින් දුර නොගොස් සිටින්නීය. ඒ දුටු අමරා දේවිය ඈත නොගොස් මෙහිම සිටින්නී යම් කාරණයක් ඇතැයි දැන කැඳවා එහි තුළවූ මැණික දැක නම්ගොත් විචාරා “අසවල්දින අසවල් දවස සේනක පඩිතුමා තම අසල්වැසි කෙල්ල අත චූඩා මාණික්‍ය පණයම් පිණිස එවුහ”යි පතක ලියවා ගත්හ. එසේම රන් මාලාව සමන් මල් කරඩුවකද පලස පලා පැසකද රන් මිරිවැඩි සඟල පිදුරු කැරැල්ලක් ඇතුළේද දමා නොයෙක් උපක්‍රම ලෙසින් පෙරසේම යවූහ. අමරා දේවියද ඒ සියල්ලම තත්වූ පරිදි සියළු තොරතුරු ලියවා තැබූහ.

ඒ සේනකාදී සතර දෙන රජගෙට ගොස් ඒ ඒ වස්තු කෙරෙහි රජ්ජුරුවන්ගේ සිත යොමුකොට රජතුමනිෟ මේ සියල්ලම මහෞෂධ පණ්ඩිතයන්ගේ ගෙහිය. ඔහු එකී වස්තු පළදිනාහ. ඔබ වහන්සේට සතුරුකම් කරන්නේයයි පණ්ඩිතයන් කෙරෙහි රජ්ජුරුවන් බිදවූහ. එය දැනගත් පණ්ඩිතයන් වහන්සේ රජ්ජුරුවන් හමුවට ගියහ. රජ්ජුරුවෝ පණ්ඩිතයන් කෙරෙහි කිපී නොදනිමි, නුඹ අවුත් කුමක් කෙරේදැයි තමන් දැක්ක නුදුම්හ. පණ්ඩිතයන් වහන්සේ වහා ගෙට අවුත් පලායන්ට සුදුසු කලැයි අමරා දේවීන්ට සලකුණු කියාදී අප්‍රසිද්ධ වේශයෙන් නුවරින් නික්ම දකුණු යවමැදුම්ගමට ගොස් කුඹල්කම් කරමින් වසන සේක. නුවර මුළුල්ලෙහිම මහෞෂධ පණ්ඩිතයෝ පලාගියහයි ඒක කෝලාහල විය.

ඉක්බිති සේනකාදී සතරදෙන කිමෙක්ද අපිත් පණ්ඩිතවරු නොවමෝද එක්වෙමුයයි ඔවුනොවුන් නොදන්නාම අමරා දේවීන්ට පත් යවූහ. ඈද ඒවා බලා අසවල් වේලාවට එන්නැයි වෙන වෙනම ගෙන්වා නොසැලෙන සේ අත පය බැඳ හිස මුඩු කොට පැඳුරු මාළුවල ඔතා බොහෝ හිංසා කොට රජ්ජුරුවන්ට කියා යවා මහෞෂධ පණ්ඩිතයෝ සොර නොවෙති. රාජකීය භාණ්ඩ සොරකම් කළෝ මුන් සතරදෙන යයි කලින් ලියවා ගත් පත් දක්වා බලා වදාළ මැනවයි කියා ගෙට ගොස් ඒ බඩු සතරද සේනකාදී සතර දෙනාවද පාවා දුන්හ.රජ්ජුරුවෝ මහෞෂධ පණ්ඩිතයන් නැගීගිය බැවින් උන්කෙරේ සැකයෙන්ද අනික් මන්ත්‍රී කෙනෙකුන් නැති බැවින්ද සේනකාදී පණ්ඩිතවරු සතරදෙනාට කිසිවක් නොකියා නා පියා තොප තොපගේ ගෙවලට යවයි කීහ.

ඉක්බිත්තෙන් රජ්ජුරුවන්ගේ දළපුඩු සේසත අධිගෘහිත දේවතා දූ පණ්ඩිතයන් ගෙන්වන උපායක් කෙරෙමියි මධ්‍යම රාත්‍රියෙහි දළපුඩු සේසත් සිදුරෙහි සිට අර්‍ධ ශරීරයක් දක්වා

“හන්ති හත්‍ථෙහි පාදෙහි මුඛඤ්ච පරි සුම්භති

සචෙ රාජ පියො හොති කංතෙන මහි පස්සසී”

යනාදී ගාථා සතරකින් ප්‍රශ්න සතරක් රජ්ජුරුවන්ගෙන් විචාළීය. රජ්ජුරුවෝ එකී අර්‍ථ නොදන්නාහු මම නොදනිමි. සේනකාදීන්ගෙන් විචාරමි’යි එක් දවසකට අවසර ගෙන ඒ සතර දෙනාට වහා එවත්වයි අසුන් යවා අපේ හිස් මුඩු බැවින් වීථිදිගේ බස්නට විලි ඇතැයි කී කල්හි පයිසතරක් විද්දවා එය හිසලාගෙන එත්වයි දන්වා යවූහ. (හිස්වැසුම් ඇති වූයේ එතැන් පටන්) පණ්ඩිතවරු සතර දෙන අසුන් ගත්කල දෙව්දුව ඇසූ පැණ සතර ඉදිරිපත් කළහ. උන්ට කිසිවක් කියාගත නොහැකිව දොඩමළුව කරබා ගත්හ.

රජ්ජුරුවෝ දොම්නස්ව එදින රාත්‍රී අර්‍ථ විසඳා ගත නොහැකි බව දෙව්දුවට පැවසූහ. දෙව්දුව සේනකාදීන්ට ගරහා මහෞෂධ පණ්ඩිතයන් ගෙන්වා මේ පැනය උන්ලවා නොකියවූනම් මේ දිලිසෙන යකුලින් ගසා තොපගේ හිස සත්කඩකට බිඳ පියමියි රජ්ජුරුවන් බිය ගන්වා රජතුමනි ගින්නෙන් ප්‍රයෝජන ඇති කල්හි කණමැදිරියන්ගෙන් ප්‍රයෝජන කිම්ද? කිරෙන් ප්‍රයෝජන ඇති කල්හි අඟ මිරිකීමෙන් ඵලයක් වේදැයි ඉදින් තොපගේ පණ රකිනා කැමැත්තෙහි නම් දිලිසෙන මහ ගිනිකඳක් බඳු නුවණින් යුතු මහෞෂධ පණ්ඩිතයන්ගෙන් විචාරා මට අර්‍ථ කියාලව නැතහොත් තොපගේ ජීවිතය නොරඳීයයි කියා යවූහ.
භුරි ප්‍රශ්නය
ඉක්බිති රජ්ජුරුවෝ මරණ භයින් තැතිගෙන අමාත්‍යයන් සතරදෙනෙකු කැඳවා සතර වාසලින් නික්ම ගොස් මහෞෂධ පණ්ඩිතයන් දුටුතැන සත්කාර කොට රථයට නංවා ගෙන එවයි විධානය කොට යවූහ. දකුණු වාසලින් නික්මුණු අමාත්‍යයා වනාහි පණ්ඩිතයන් වහන්සේ කුඹල් කමින් වසන ගමට ගොස් ඔහු දැක සත්කාර කොට ගෙන ගිය පිළිද මසුරන් දහසද අත තැබූයේය. කුඹලාණෝත් මා මෙතෙක් වැඩ ගත්තේ මහෞෂධ පණ්ඩිතයන් අතිනැයි දැන බියට පත්වූහ. පණ්ඩිතයන් වහන්සේ නොබව ආචාය්‍ර්‍යයෙනි තොප අපට බොහෝ උපකාර කෙළෙහියයි අසා මසුරන් දහසද ඔහුට දී මැටි වැකුණ ඇගින්ම රථයේ නැග රජ්ජුරුවන් සමීපයට ගොස් දේවයන් වහන්ස අසවල් ගම කුඹල්කම් කොට ජීවත් වෙමි. ඔබ වහන්සේ කැඳවීමෙන් මැටි වැකුණ ඇගින්ම ආමියි කීහ. රජ්ජුරුවෝ ඉදින් මොහු මට විරුද්ධ නම් සේනාව රැස්කරමින් ඇවිදිති. මූ මට සතුරු නොවෙතියි සිතා වහා ගොස් නහාපියා සර්‍වාලංකාරයෙන් සැරසී එවයි නියම කළහ. පණ්ඩිතයන් වහන්සේ උසස් අන්දමින් ඇඳ පැළඳ සිව්රඟ සෙනග සමග සක්දෙව් රජුමෙන් පැමිණ එකත් පස්ව සිටිසේක. එවිට රජ්ජුරුවන් වහන්සේ පණ්ඩිතයන් අමතා පුත පණ්ඩිතයෙනි තෙපි බොහෝ අර්‍ථ චින්තනයෙහි දක්‍ෂයහ. සිතුවොත් දසදහසක් යොදුන් දඹදිව රජ්ජුරුවන් මරා රාජ්‍ය ගැනීමට පොහොසත්ය. එසේ සිටියදීත් මාමරා පියා රාජ්‍ය නොගන්නේ මන්දැයි විචාළහ.

එවිට පණ්ඩිතයන් වහන්සේ රජතුමනි නුවණැත්තෝ සුව පිණිස පව්කම් නොකරන්නාහ. කුමණ හේතුවක් නිසාවත් අනුන්ට හිංසා පීඩා නොකරන්නාහයි වදාරා තමාටත් පියාටත් මහත් සම්පත් දුන් රජ්ජුරුවන් කෙරෙහි ද්‍රෝහි නොවන බැව් දන්වා පරීක්ෂාකාරීව දශරාජ ධර්‍මයෙන් රාජ්‍ය කරන ලෙස අවවාද කළසේක.
රජ්ජුරුවෝ පණ්ඩිතයන් වහන්සේව රාජාසනයෙහි වඩා හිඳුවා තුමූ මිටි අස්නෙක හිඳ පණ්ඩිතයෙනිෟ සේසතෙහි වසන දෙව්දුව මාගෙන් පැන සතරක් විචාළීය. සේනකාදීන්ටද නොවැටහින. ඒ කියවයි ආරාධනා කළහ. එදවස් මහ බෝසතාණන් වහන්සේ සැට යොදුන් රත් ගල මුදුනෙහි සිංහනාද කරන අභීත කේශර සිංහයකුසේ දේවයනි, සේසතෙහි වසන දේවතාවා වේවයි චාතුර්මභාරාජිකාදීවූ සදිව්‍ය ලෝකයෙහි දේවතාවෝ වෙත්වයි, සොළොස් බඹ තෙලෙහි බඹහු වෙත්වයි, යම්කිසි කෙනෙකුන් විසින් විචාරණ ලද්දාවූ පැන නියුණු මුවහත් ඇති කඩුවකින් ඇඹුල මල් මිටියක් කපා වගුරුවන බල ඇති පිරිමියෙක් හු මෙන් මාගේ නිර්මල නුවණ නමැති කඩුවෙන් පිරිසිඳ කීයම්, කිව දේවයෙනි, දෙව් දූ විචාළ පැනයයි සර්වඥ ප්‍රචාරණයක් පරිද්දෙන් වදාළ සේක. (එදවස් මහබෝසතාණෝ සිව්නේ නොදත්තෝ නම් කෙසේද? මතු ලොව්තුරා බුදුව සියලු සතුන් සිත සැක දුරුකොට ධර්ම සිංහනාද කිරීමට මෙම දෘෂ්ටාන්ත නොවේද? වැලිකෙලියෙහි එතෙක් පැන විසඳු ඒ මහතාණන් වහන්සේට දැන් එක දේවතාවකු විචාළ පැනයක් විසඳීම් නම් කවර අරුමයක්ද? ඉක්බිති රජ්ජුරුවෝ දේවතා දුව විචාළ එලෙසම කියන්නාහු:-

“භන්ති හන්‍ථෙභි පාදෙහි මුඛඤ්ච පරිසුම්භති“භන්ති හන්‍ථෙභි පාදෙහි මුඛඤ්ච පරිසුම්භති

සවෙරාජා පියො හොති කං තෙත මභිපස්සසි”

යනුවෙන් දක්වන ලද පළමුවන පැනය කීහ.

මහ බෝසතාණන් වහන්සේට ගාථාව අසමින්ම ආකාශයේ නිගාලු පුන් සඳ මඬලක් මෙන් අර්ථවබෝධය විය. ඉක්බිති බෝධිසත්වයන් වහන්සේ අසව දේවයෙනි වදාරා“යම් වෙලෙක්හි මෑණියන්ගේ ඇකයෙහි හොත්තාවූ ළඳරු කුමාරයා කිරි බී බඩ පුරාගෙන සතුටුව මැණියන් හා සමඟ කෙළනේ තමාගේ ළා හෝ පළු පත් සේ මොළකැටි අතින් මැනියනව මරන්නේද, ඉසකේ ඇඳ කඩන්නේද, මිටින් මැණියන් මුණ අන්නේද, එවෙළෙහි වගුළ සඳ රැසින් ඔද වැටි කිරිමුහුද සේ සෙනහයෙන් ඔදවැඩියාවූ සිත් ඇති මැණියෝ පුතණු වන්ට“සෙරගේ පුත, මා කුමට මරන්නේදැයි”යනාදි සෙනහවශයෙන් කියා සෙතහ ධාරාගන්නට අසමර්ථව දරුවන් ලෙහි හොවා සිප ගනිති, මෙසේ ඔරහිඳතමන් මරා කෙළනා වේලෙහි මැණියන්ට දරුවෝ ආදී ඇති ප්‍රේමයට වඩා ලාම ප්‍රිය වන්නාහ, පියාණන්ටත් එසේම ප්‍රිය වෙති” මෙසේ නහොමඬ්‍යයෙහි සූර්‍යය මණ්ඩලය ඔසවා පන්නාහුමෙන් ප්‍රශ්නය පහළ කොට වදාළසේක. ඒ ප්‍රශ්න විසර්ජනය අසා දේවතා දූ දළපුඬු සේසත් විවරයෙන් මෑත්ව අර්ධ ශරිරකේ දක්වා “ප්‍රශ්නය වදාළ නියාව ඉතා යහපතැයි”මිහිරි කටහඩින් ශබ්ද පවත්වා සත්රුවන් කරඬුවක් දිව මල් දිවසුවඳින් පූරා මහබෝසතාණන් වහන්සේට පූජාකොට සැගවී ගියාය.

රජ්ජුරුවෝද මහබෝසතාණන් වහන්සේට ගඳින් මලින් පූජාකොට දෙවන පැනයට ආරාධනා කොට කියව දේවයෙනියි වදාළ කල්හි:-

“අකේකාසතී යථා කාමං ආගමඤ්ව න ඉච්ඡති

සවෙ රාජ, පියො හොති කං තෙන මභිපස්සසි”

යන ගාථාවෙන් දෙවන පැනයට කීහ.

ඉක්බිති රජ්ජුරුවන්ට බෝසතාණන්වහන්සේ “රජ්ජුරුවෙනි, කකුල් දඩ ගොසින් කී දේ කටලන්නට සමර්ථ සත් හැවිරිදි පුතණුවන්ට කෙතට යව සල්පිලට යව කියා ‛ඉදින් මට මේ කැවුම් දුන්නේවීනම්යෙමි’යි කියන්නා එසේද පුතණ්ඩ, යි උන් කැමති කැමති කැවුම ඉදිකොට දුන්කල්හි ඒ කැවුම් කාලා තොපි සහිල් සෙවනේ ගෙයි හිඳුව, මම තොපට පිටත ඇවිද මෙහෙවර කෙරෙම්දැයි කියා හස්ත විකාර මුඪ විකාරාදි නොයෙක් උසුළු පපා කී මෙහෙවරට නොගොසින් සිටිනා පුතණුවන්ට මැනිතොමෝ කිපී මරන්නට දණ්ඩක් හැරගෙන මා සන්තක දෙය කාලා කුඹුරේ කුරුල්ලන් පමණ පලවාපියන්නවත් නොයෙදැයි භයගැන්වූ කල වේගයෙන් දිවගත් පුතණුවන් ලුහුබැඳ අල්වාගන්නට අසමර්ථව සෝනට යේවයි බිල්ලට යේවයි සොරු තා කඩ කඩ කොට කපා පියත්වයි යනාදීන් කියා කැමති පරිද්දෙන් කට හෙලන පමණක් හැවිලි අවන්ති යමක් මුඛයෙන් බෙනේ නම් සිඟිත්තකුත් දරුවන්ටවන්නා නොකැමත්තීය, ඒ කුමරා දවස මුළුල්ලෙහි කොල්ලන් හා එක්ව කෙළපියා සවස ගෙට වදනට නොපොහොසත් වූයේ නෑයන්ගේ ගෙට යන්නේය. මැණියෝද දරුවෝ දැන් එත් දෝහෝ දැන් එත්දෝයි පෙරමගබලා හිඳ සවස් වනතුරු නොඑන්නා දැක මා උරණ හෙයින් ගෙට එන්නට භය ඇතිව නොඑතියි සිත ශොකයෙන් පූරාගෙන කදුළු පිරුණු මුහුණින් යුක්තව නෑයන්ගේ ගෙවල් බලන්නාහු පුතණුවන් දැක වඩාගෙන සිප සනහා පියා දෑතින් තරකොට අල්වාගෙන පුත, මා කී බසුත් සිත තබද්දැයි ආදී ඇති ප්‍රෙමයටත් වඩාලා ප්‍රේම උපදන්නාහ, මෙසේ දේවයනි, දරුවෝ මෑනියන්ට කසීකලෙකත වඩාලාම පියවන්නාහයි දෙවන පැනය විසඳා වදාළ සේක. දේවතා දූ පෙර පරිදිදෙන්ම සාධුකාර දී පූජා කළාය.

රජ්ජුරුවෝද පූජාකොට තුන්වන පැනයට ආරාධනාකොට කියව දේවයනි, වදාළකල්හි:-

“අබ්භක්ඛාති අභුතෙත අලිකෙන අභිසාරයෙ

සවෙ රාජ, පියො හොති කං තෙන මහිපස්සසි”

යන ගාථාවෙන් තුන්වන පැනය කීහ.

ඉක්ඉිති මහබෝසතාණන් වහන්සේ දේවයනි, යම් වේලෙක අඹු සැමි දෙමහල්ලෝ රහසිගතව ලෝකස්වාද රතියෙන් කෙළනාවූ ඔවුනොවුන්ට තොප මා කෙරෙහි මඳකුත් ප්‍රෙමයක් නැත, තොපගේ සිත බැහැරයයි මෙසේ ඔවුනොවුන්ට නැත්තක් කියද්ද, බොරුවෙන් චෝදනා කෙරෙද්ද, එවේලෙහි ඔහු දෙමහල්ලෝ ඔහුනොවුන්ට අධිකව ්‍රිය වන්නාහයි මෙසේ මේ ප්‍රශ්ණයේ අර්ථ දනුවයි තුන්වල පැනය වදාළසේක. දේවතා දූ පෙරසේම පූජාකළාය.

රජ්ජුරුවෝද පූජාකොට අනික් පැනයට ආරාධනාකොට කියව දෙවයෙනි, වාළ කල්හි:-

“හරං අන්නඤව පානඤව වත්‍ථසෙනාසනානිච

අඤ්ඤදත්‍ථු හරාසන්තා

තෙ චෙ පියොහොන්ති රාජ, කං තෙන මභිපසස්සි”

යන ගාථාවෙන් සතරවන පැනය කීහ.

ඉක්බිත්තෙන් රජ්ජුරුවන්ට දේවයෙනි, මේ පැනය තෙමේ ධර්ම්ෂ්ඨ වූ ශ්‍රමණ බ්‍රාහ්මණයන් සඳහාය, ඔවුන් තමන්ගේ ගෙදොර සිඟා සිටි කල්හි තමන් විසින් පිළිගන්වන ලද ආහාරදිය පිළිගෙනයන්නාවූද, ගොස් වළදන් නාද දැක අපම සිඟන්නාහ, අපම සන්තකවූ ආහාරාදිය ගෙනයන්නාහ. ගොස් අනුභවකරන්නාහයි ඒ ශ්‍රමණ බ්‍රාහ්මණාදීන් සැදෑහැති උපාසක කුලයෝ තමන් දෙන ලද්දාවූ සතරපසය පැනය වදාළ කල්හි දේවතා දූ පෙරපරිද්දෙන් පූජා කොට සාධුකාරදී සත්රුවන් පිරූ රුවන් කරඬුවක් ගනුව පණ්ඩිතයෙනි, යි මහබෝසතාණන් වහන්සේ ගේ ශ්‍රී පාදමූලයෙහි පූජාකළාය, රජ්ජුරුවෝද පැහැද සෙනෙවිරත් තනතුරු දුන්හ. එතැන් පටන් කොට මහබෝසතාණන් වහන්සේගේ යශස මහත්වූයේය.

පණ්ඩිතයන් වහන්සේ අභීත කෙශර සිංහ පෝතකයෙකු සේ රජ්ජුරුවන් අමතා දේවයිනි යි ගාථාසතරේ අදහස් සර්‍වඥ විලාසයෙන් පහදා දී සියළු දෙනාවම මහත් ප්‍රසාදයට පත් කොට දේවතා දුවගෙන් සතර වරම දිවමල් පිරවූ සත්රුවන් කරඬුව බැගින්ද රජ්ජුරුවන්ගෙන් නොයෙක් පූජාද ලැබ මහත් යශසට පත්වූහ.

පඤ්ච පණ්ඩිත ප්‍රශ්නය
නැවත සේනකාදී සතරදෙන යශසට පත් මහෞෂධ පණ්ඩිතයන් කෙරෙහි ඊෂ්‍ර්‍යාකොට ඔහුට කුමක් කරමෝදැයි කුමන්ත්‍රණය කළහ. ඉක්බිති සේනකයෝ අනිත් තුන්දෙනා අමතා කියන්නාහු රජ්ජුරුවන් කෙරෙහි ඔහු බිඳුවා පියන්ට මා උපායක් කියමි. අපි සිව්දෙන ඔහු සමීපයට ගොස් “රහස් නම් කාට කිවහොත් යහපත්දැයි” විචාරම්හ. ඔහු මහා මන්ත්‍රී හෙයින් “කිසිවෙක් හට රහස් කිව නොහැක්කැයි” ඉදින් කීයේ වීනම් එය රජ්ජුරුවන්ට කියා ඔහු බිඳුවමුයි කතිකාකොට සිංහ රජකු සමීපයට යන ජරාවට පත් සිවලුන් සතර දෙනෙකු පරිද්දෙන් පණ්ඩිතයන් සමීපයට ගොස් පණ්ඩිතයෙනි පුරුෂයා විසින් පළමු කොට කුමක් කටයුතුදැයි විචාළහ. සත්‍ය භාවයෙහි පිහිටිය යුතු යයි වදාළ සේක. එහි පිහිටිය උන් විසින් කුමක් කටයුතුදැයි විචාළහ. වස්තුව සෙවිය යුතුදැයි වදාළසේක. වස්තුව උපයාගෙන කුමක් කටයුතුදැයි පිළිවිස්සාහ. මන්ත්‍රණ උගත යුතුයයි වදාළ සේක. පසු කුමක් කටයුතුදැයි විචාළ ගමනේ තමාසිත රහස් කටයුතු අනුන්ට නොකිය යුතුයයි වදාළසේක.

ඔවුන් සතරදෙන යහපත පණ්ඩිතයෙනි යි සතුටුව රජ්ජුරුවන් සමීපයට ගොස් දේවයන් වහන්ස මහෞෂධ පණ්ඩිතයෝ ඔබ වහන්සේට විරුද්ධව සිටිනේයයි කීහ. රජ්ජුරුවෝ මම තොපගේ බස් නොඅදහමි. උන් මට විරුද්ධ නොවේයයි නොගිවිස්සාහ. දේවයන් වහන්ස අප කී බස් නො අදහනසේක් වී නම් උන් මෙහි ආකල “තමා සිත උපන් රහස කාට කියයුතුදැයි උන්ගෙන් විචාළ මැනව. ඉදින් ඔබ වහන්සේට විරුද්ධ නොවෙත් නම් අසවලුන්ට කිව යුතුයයි කියති. ඉදින් ද්‍රෝහී වෙත්නම් කිසිවක් හට නොකිව යුතුය. මනදොළ පිරුණ කල කියයුතුහයි කියති. එවිට අප අදහාගෙන සැක හළ මැනවයි කීහ. රජ්ජුරුවෝ යහපතැයි උන් ගිවිස පසුදින රාජසභාව රැස්වූකල රජ්ජුරුවෝ උන් අමතා මම ප්‍රශ්නයක් අසමි. නින්දා කටයුතු හෝ ප්‍රශංසා කටයුතු රහසක් කාට කිව යුතුදැයි විචාළහ. එවිට සේනකයෝ රජ්ජුරුවන් මුහුණ බලා දේවයන් වහන්ස නුඹවහන්සේම ආදිකොට වදාළ මැනව ඔබ වහන්සේගේ අදහස් බලා පණ්ඩිතවරු පස්දෙනාත් කියන්නාහයි කීහ.

ඒ අසා රජ්ජුරුවෝ තමන් කෙළෙස් වසඟ හෙයින් යම්ස්ත්‍රීයක් පතිව්‍රතා ධර්‍මය රක්‍ෂා කරන්නීද පුරුෂයාගේ අදහස් දනීද එසේවූ තමාගේ අඹුවට සියළුම රහස් පැවසිය යුතුයයි කීහ. ඉක්බිති සේනකයෝ රජතුමනි දුක සැප දෙකෙහි පිහිටවන මිත්‍රයාට රහස් කිව යුතුහයි පැවසූහ. කාවින්‍දයෝද යම් පුත්‍රයෙක් අනුජාතව හැසිරේද අලාමකවූ නුවණ ඇත්තේද එවැනි පුතුට රහස කිවයුත්තේයයි කීහ. දේවින්‍දයෝද රජතුමනි හිතකාමී වූ තම මෑණියන්ට රහස් කිවයුතුයයි කීහ. ඉක්බිති මහෞෂධ පණ්ඩිතයන් වහන්සේ රජ්ජුරුවෙනි රහස් දෙය නම් නින්දා කටයුතුවත් කිම? ප්‍රශංසා කටයුතුවත් කිම? සැඟවීමම උතුම්ය. රහස් ප්‍රකාශ කිරීම නුවණැත්තන් විසින් ප්‍රශස්ත නොවන්නේය. තමා සිතූදෙය මුදුන් නොපැමිණියේ වීනම් නුවණැති තෙම ඒ තාක්කල්ම කිසිකෙනෙකුන්ට ප්‍රකාශ නොකරන්නේය. එය මුදුන් පැමිණියේ වීනම් එය සභා මධ්‍යයෙහි සැකහැර කියන්නේයයි ප්‍රකාශ කළහ. රජ්ජුරුවෝ මෙය අසා නොසතුටුව සේනකයන්ගේ මුහුණ බැලූහ. එවිට පණ්ඩිතයන් වහන්සේ උන් දෙන්නාගේ ක්‍රියාව දැකලා මුන් සතර දෙනාම මුසා කියා මා කෙරෙහි රජ්ජුරුවන් බිඳුවාපී වන්හ. වහා මෙතැනින් නැගී යාම සුදුසු යයි සිතා රජ්ජුරුවන් වැඳ අවසර ගෙන පලාගොස් සේනකාදීන්ගේ කුමන්ත්‍රණ ගැන පරීක්ෂාකාරී වන්නේ උන් නිතර කථාකරමින් සිටිනා මහ ඔරු කඳක් දැක ඒ යට සැඟවී සිට උන්ගේ රහස් දැනගත යුතුයයි සම්මත කරගත්හ. ඒ අතර සේනකයෝද රජ්ජුරුවන් අමතා දේවයන් වහන්ස දැන් අප කීවා සැබෑදැයි විමසීය. රජතුමා භයින් ත්‍රස්තව ඉදින් කුමක් කරමෝදැයි විචාළහ. කල් නොයවාම රහසින් මරවාපීම යහපතැයි සේනකයෝ කීහ. සේනකයෙනි තොප විනා අනිකෙක් නැත. මිත්‍රයන් සමග ගොස් ඔහු රාජසේවයට එනවිට මේ කඩුවෙන් කපා මරාදමවයි තමන්ගේ මගුල් කඩුව සේනකයන්ට දුන්හ. උන් සතරදෙනා ගොස් ඔරුකඳ මත්තේ සිට කථාකරන්නාහු සේනක පඬිතුමනි ඔබගේ රහස් යහළුවාට කිවයුතුයයි වදාළේ මන්දැයි කීහ. සබඳ පණ්ඩිතවරුනි මේ රහස රජතුමා දැනගතහොත් අපගේ දිවි නොරැකෙයි. නමුත් මේ ඔරුවයට මහෞෂධ පණ්ඩිතයෝ සැඟවී ඇද්දැයි ඔරු කඳට නිය පිටින් ගැසීය. සේනක පණ්ඩිතයෙනි මහෞෂධ පණ්ඩිතයෝ මහත් සම්පත් ඇත්තෙක. මේ අපවිත්‍ර තැන කුමට ලගීද?ඔබගේ රහස සැක හැර කියවයි කීහ. එවිට සේනකයෝ මම දිනක් මගුල් සල් උයනේදී අසවල වෛශ්‍යාදූ සමඟ මෛථුන සේවනය කොට ඇගේ පළඳනා ලෝභයෙන් ඈ මරා ඇගේ රෙදිකඩින් ඒ ඔතාගෙන අපගේ ගෙයි ගබඩාවක මුව අංකොක්කේ එල්වාලීමි. මේ දක්වා කිසිවක් ඉන් අලෙවි කළේ නැත. පරණවනතුරු බලා ඉදිමි. මේ රාජඅපරාධය මාගේ යහළුවකුට කීමි. ඌ කිසිවෙකුට නොකී විරූය. මේ කාරණයෙන් යහළුවාට රහස් කිවයුතු බව කීමියි කීහ.

පුක්කුසයෝ තමන් රහස ප්‍රකාශකරන්නාහු එම්බා මගේ කලවයේ අසාධ්‍ය කුෂ්ටයෙක් ඇත. මගේ මලණුවෝ උදෑසනින් ඒ වනය කසටින් සෝදා බේත් ගල්වා බඳනාහ. රජ්ජුරුවෝ මා කෙරෙහි මොලොක් සිතින් මා කැඳවා මගේ කලවයෙහි හිසතබා සැතපෙන්නාහ. මේ නොකටයුතු දෙය දන්නෙහිනම් මා මරාපියන්නාහ. ඒ කාරණය හේතුකොටගෙන රහස් නම් මලණුවන්ට කිවයුතුයයි මා විසින් කියන ලදැයි කීහ. කාවින්‍දයෝද මා වරද අසව් අව පසළොස්වක් දවසේ නරදේව නම් යක්‍ෂයෙක් මා ඇඟට ආරූඪ වන්නේය. ඒ යක්‍ෂයා වැහුන කල්හි මම වියරු බල්ලකු මෙන් හඩමි. මම ඒ බව පුතණුවන්ට කීමි. ඌ ඒ හඬ නො ඇසෙනු පිණිස දොරළග සිට නොයෙක් භාණ්ඩ වාදනය කරන්නාහ. මේ කාරණය නිසා රහස නම් පුතුන්ට කිවයුතුයයි මා කියෙමියි කීහ.

දේවින්ද පණ්ඩිතයෝ යහළුවනි ශ්‍රක්‍රයා විසින් කුසරජ්ුරුවන්ට දුන්නාවූ මාණික්‍ය රත්නය පරම්පරාවෙන් පැවත අවුත් භාණ්ඩාගාරයේ තුබුවා මා විසින් සොරා ඇරගෙන මාගේ මෑණියන්ට දුනිමි. රජගෙට යන වේලේ මෑණියෝ රහසින් එය මට දෙන්නාහ. මම ඒ මැණිකේ ශොභාවෙන් මුහුණ ආලෝකමත් කරගෙන රජගෙට යන්නෙමි. රජ්ජුරුවෝ කා සමඟවත් නොදොඩා මා හා සුව දුක් දොඩන්නාහ. දිනපතා තෑගි දෙන්නාහ. ඉදින් එය සොරාගත් බව කිසිවෙක් දතුනම් මාගේ දිවි නැසෙයි. එබැවින් රහස්කම් මෑණියන්ට කිවයුතු යයි මම කීවෙමියි කීහ. මහෞෂධ පණ්ඩිතයන් වහන්සේ ඔරු කඳයට සිට සියළු දෙනාගේ රහස් සිතේ තබාගත් සේක. උන් හැම කතාකොට පමානොව මහෞෂධයා මැරීමට උදෑසනම එවයි කියා තමතමන්ගේ ගෙවලට ගියාහ. උන්ගියපසු පණ්ඩිතයන් වහන්සේ තමපුරුෂයන්ගේ ආධාරයෙන් එලියට පැමිණ ගෙටගොස් සැතපී ගත්හ.

රජ්ජුරුවෝද මහෞෂධ පණ්ඩිතයන්ගේ ගුණ සිහිකරන්නේ සත්හැවිරිදි කල් පටන් මට යහපතක්ම මිස අවැඩක් නොකළේය. දේවතා දූ විචාළ පැනයෙහි ඔහු නැත්නම් මාගේ ජීවනයද නැත. වෛරී පසමිතුරන්ගෙන් බස්ගෙන මහා නුවණැති පණ්ඩිතයන් මරවයි කඩුව දුනිමි. මා කළේ මහා අයුත්තියෙක. සෙට පටන් ඒ පණ්ඩිත රත්නය මට නැතිවන්නේයයි ලය පැලීයන පරිද්දෙන් ශොක ඉපදවූහ.ඩා වැගුරුනේය. චිත්තාස්වාදයක් නොලද්දාහ. උදුම්බරා දේවියද ඒ යහනේ පසෙකින් උන්නී රජ්ජුරුවන්ගේ වික්‍ෂිප්තභාවය දැක රජ්ජුරුවෙනි මාගෙන් හෝ යමෙකුගෙන් ඔබතුමාට වරදක් උනීද? ඒ මට කියවයිකීහ. රජ්ජුරුවෝ සොඳුර සේනකාදී සතරදෙන පැමිණ මහෞෂධ පණ්ඩිතයෝ මා මරා රාජ්‍ය ගන්ට සිතතියි මට කීහ. මා තත්වය පරීක්ෂා නොකොට එසේ වීනම් ඌ මරාපියවයි මඟුල් කඩුව අතට දීලා පිටත් කළහ. දැන් උන්ට පෙර මාගේ මරණය උනිනම් යහපත්ය. මින්පසු උන් නොදකින බැවින් ශෝක වෙමියි කීහ.

එවිට බිසවුන් වහන්සේද මහෞෂධ පණ්ඩිතයන් කෙරෙහි ව්‍යාජ වෛරයක් පලකොට උපායකින් රජ්ජුරුවන් අස්වසා නින්දට සලස්වා වහා එතනින් පිටව ගොස් තල්පතක සියළු විස්තර ලියා අග්ගලයක් තුළ ලා එය බැඳ නැවුම් සැලියක දමා යෙහෙළිය අතක් රහසින් මහෞෂධ පණ්ඩිතයන්ට යවා වහා පැමිණ රජ්ජුරුවන් සමග සැතපුනාය.

මහෞෂධ පණ්ඩිතයෝ අග්ගලාව තුළවූ ලිපිය බලා තත්වූ පරිදි දැන කළයුතු සියල්ල විමසා සැතපුනහ. සේනකාදී සතරදෙන ඒ රාත්‍රීය වර්‍ෂයක් මෙන් සිතසිතා ගතකොට උදෑසනම කඩුව ගත් අත් ඇතිව වාසල ඇලී රැකසිට පණ්ඩිතයන් වහන්සේ නොදැක රජ්ජුරුවන් සමීපයට ගොස් රජතුමනි මහෞෂධ පණ්ඩිතයන් නොදුටුවෙමුයි කීහ.

මහෞෂධ පණ්ඩිතයෝද හිරු නැගෙන්නාහාම මුළු සත්යොදුන් මියුළු නුවරම වසඟ කොට ඒ ඒ ස්ථානයෙහි රැකවල් තරකොට තබා බොහෝ දෙනා විසින් පිරිවරණ ලදුව සර්‍වාභරණයෙන් සැරසී උතුම් රථයකින් අවුත් රජ්ජුරුවන් වැඳ සිටිසේක. රජ්ජුරුවෝද ඉදින් පණ්ඩිතයෝ මට සතුරුවෙත්නම් මා නොවඳනාහයි සිතා මපුතණුවෝ වහා එවත්වයි වහා කැඳවාගෙන ගොස් අසුන්ගන්වා පුත මහෞෂධ පණ්ඩිතයෙනි ඊයේ සන්ධ්‍යාවෙහි ගියෙහිය. අද හිරු නැගි මෙතෙක් වේලෙන් අවුත් මා දුටුවෙහිය. තොපගේ සිතට කුමන සැකයෙක්වීද කවරෙකු තොපට රජ්ජුරුවන් දැක්මට නොඑවයි බසක් කිව්ද තොප පමාවූ කාරණය කියවයි විචාළහ.

දේවයන් වහන්ස ඔබ විසින් මට සතුරු වූ සේනකාදී සතරදෙන බස් ගෙන මා මරන්ට නියෝග කරන ලද්දේ වේද එසේ හෙයින් නොආයෙමි’යි රජ්ජුරුවන්ට චෝදනා කරනසේක් ජන ප්‍රධාන වූ දේවයන් වහන්ස ඔබවහන්සේ විසින් ප්‍රඥාසම්පන්නවූ මහෞෂධ පණ්ඩිතයෝ මැරිය යුත්තෝයයි නියෝගකර යම්හෙයකින් ඊයේ මධ්‍යම රාත්‍රී වේලෙහි බිසවුන්ට රහසිගතව කියන ලදද එබදු වූ ඔබවහන්සේගේ රහස් කටයුත්ත මා විසින් අසන ලදැයි වදාළ සේක. රජ්ජුරුවෝ එය කණ වැකුණු ඇසිල්ලෙහිම කිපී බිසවුන් මූණ බැලූහ. රජ්ජුරුවෝ බිසවුන්ට කිපි නියාව දැන පණ්ඩිතයන් වහන්සේ දේවයන් වහන්ස බිසවුන් වහන්සේට කුමට කිපෙනසේක්ද? මම කාලත්‍රයෙහිවූ සියල්ලම දනිමි. ඔබවහන්සේගේ රහස් මට බිසවුන් වහන්සේ විසින් කියන ලද්දේ වේවාෟ සේනකාදී සතරදෙනාගේ රහස් මට කා විසින් කියන ලදද? උන්ගේ රහසුත් දනිම්යයි කියා ඊටපෙර ඔරුකඳ යට සිට අසාගත් උන්ගේ රහස් සියල්ලම පිළිවෙළින් හෙළිකළහ. රජ්ජුරුවන් වහන්සේ උන්වෙන වෙනම ගෙන්වා සැබෑදැයි විචාරා දඟගෙයි ලවාපීහ. උන් සතරදෙනා පණ්ඩිතයන් වහන්සේ මරම්හයි හැම දෙනම හිරගෙට වන්හ. දේවයන් වහන්ස “තමන් සිත උපන් රහස මුදුන් පැමිණෙනතුරා අනුන්ට නොකිය යුතුය”යි කීයේ මේ නිසා යයි කියා සේනකාදීන් රහස් අනුන්ට කීම නිසා විනාශයට පත්වූ නියාව දක්වා ධර්‍මදේශනා කරන්නේ රජතුමනි විශේෂයෙන් රහස් නොකිය යුත්තන් අසා වදාළ මැනව. මේ ලෝකයෙහි ස්ත්‍රීය හදවතක්සේ වෙසේ. නමුත් ගැහැණිටත්, යමෙක් ආමිශයෙන් සිත් ගතයුතුනම් ඔහුටත් යමෙක් සතුරකුව මිතුරකුසේ හැසිරේනම් ඔහුටත් රහස් නොකියන්නේය. රහස් කීමෙන් නිතර තමා ඔහුට දාසයකු මෙන් බියෙන් කල් යැවීමටද නින්දා ඉවසීමටද සිදුවන්නේය. දහවල් රහස් කියනු කැමතිනම් එළිමහණකදීද රාත්‍රී රහස් කියනු කැමති නම් උන්ගේ කණින් බැහැරට නොයනසේද කිවයුතු වන්නේයයි වදාළසේක.

රජ්ජුරුවෝ පණ්ඩිතයන් වහන්සේගේ ධර්‍ම කථාව අසා සේනකාදී සතරදෙන මට විරුද්ධව රාජද්‍රෝහීව නිරපරාධවූ මේ පණ්ඩිතයන් මට ද්‍රෝහියයි මුසා කීවෝයයි කිපී යව කොල මුන් සිව්දෙනා මරමරා නුවරින් පිටතට ගෙනගොස් හුල හිඳුවා හිස්කපා දමාපියවයි නියම කළහ. උන් පිටිතලහයා බැඳ සිය ගණන් පහර ගසගසා මරන්ට ගෙනයන වේලෙහි පණ්ඩිතයන් වහන්සේ දේවයනි මුන් පෙර ඇමතියෝය. ක්‍ෂමාකළ මැනවයි වදාරා උන්ගෙන්වා උන්නිදහස්කොට තමාගේ දාසකමට පවරා දෙද්දීත් එය ප්‍රතික්‍ෂෙප කොට උන්ගේ පෙර තනතුරුමදෙවා මෛත්‍රීය පතුරුවා සතුටුවූහ. එතැන් පටන් සේනකාදී සතරදෙන දළසුන් සර්‍පයන් මෙන් ප්‍රභූ ශක්තියක් නැතිව පණ්ඩිතයන් වහන්සේට කිසිවක් කියන්ට අසමර්‍ථවූහ.

මහා උම්මග්ග කණ්ඩය
එතැන් පටන් පණ්ඩිතයන් වහන්සේම රජ්ජුරුවන්ට අර්‍ථයෙන් ධර්‍මයෙන් අනුශාසනා කරන්නේ සතුරු භයින් ආරක්‍ෂාවනු පිණිස මියුළු නුවර වටා අටළොස් රියන් පමණ උස මහා ප්‍රාකාරයක් බඳවා වැව් පොකුණු දිය අඟල් තනවා නුවර සශ්‍රීක කළසේක. අවට රාජධානිවල රජවරුන්ට මැණික් ආභරණ ආදී වටිනා තෑගි බෝග යැවීමෙන් ඔවුන් සිත්ගත්හ.

මහෞෂධ පණ්ඩිතයන් වහන්සේට මහා නුවණැති ගිරා පෝතකයෙක් වූහ. දිනක් උන් අමතා සබඳෟ ගොස් දඹදිව මුළුල්ලෙහි ඇවිද ඒ ඒ රට පුවත් දැනගෙන එවයි කියා විළඳ කවා මී පැණි පොවා තෙල් ගල්වා දෙපියාපත් මැඩ ගිරාපෝතකයා නැගෙනහිර සී මැදුරු කවුළුව සමීපයෙහි සිට හලසේක. ගිරාපෝතකයෝද ඒ ඒ රට ක්‍රමයෙන් ගොස් පරීක්‍ෂාකොට කම්පිල්ලරට උත්තර පඤ්චාල නුවරට පැමිණියහ. එහි රජ කරන චූලනී බ්‍රහ්මදත්ත රජුට කේවට්ට නම් බමුණෙක් ඇත. ඌ තුමූ නුවණැත්තාහ. වියත්හ. දිනක් ඔහු තම රජ්ජුරුවන් සියළු දඹදිවට අගරජ කළහොත් තමාගේ යසස වැඩිවෙන්නේයයි සිතා රජ්ජුරුවන්ව රහසින් උයනට කැඳවාගෙන ගොස් වටේ රැකවල් තබා මඟුල් සල්වට උන්හ. ගිරා පෝතකයෝද මේ කරුණ දැක වැදගත් රහසෙකැයි සිතා එම ගසේ කොළ අතරේ සැඟවී ගත්හ. කේවට්ටයා රජ්ජුරුවන් අමතා දේවයන් වහන්සෟ මේ සතර කන් මන්ත්‍රයකි. අනික් කනකට නොයා යුත්තේය. ඉදින් ඔබ මා කීවා කරන සේක් වීනම් ඔබව මුළු දඹදිවට අගරජ කරලමි’යි කීහ. රජ්ජුරුවෝද දැඩි ලෝභකමින් යුක්තවූයේ එසේ කරමියි කීහ. දේවයන් වහන්සෟ අපි සේනාව රැස්කොට කුඩා නුවරක් වට කොට ගනුම්හ. මම ගොස් එහි රජ්ජුරුවන්ට දේවයිනිෟ තොප හා සටන් කිරීමෙන් කම්නැත. තොපගේ රාජ්‍යය තොපටම වන්නේය. සටන් කළෝනම් තොපත් සේනාවත් විනාශයට යන්නේය. එබැවින් අපට යටත් වේව’යි කියමි. මෙසේ එකසියයක් රාජධානිම අත්පත් කොටගෙන අපගේ නුවරට සියළුම රජවරුන් කැඳවා ජය පානය කරම්හයි රා වලට විෂ යොදා දී උන් හැමදෙනාවම විනාශයට පමුණුවා ගඟට දමා එකසියයක් රාජධානිවල රාජ්‍යය අත්පත් කොට ගෙන අගරජ වනසේකැයි කීහ.රජ්ජුරුවෝ යහපත කල්නොයවා නික්මුන මැනවයි කියා එතැනින් නැගී සිටිත්ම ගිරාපෝතකයා කේවට්ට බමුණාගේ හිසට වර්චස් පිඬක් හෙළා කට ඇරගෙන මේ කුමක්දැයි උඩ බලන කල්හි කටටද එසේම වර්චස් කොට කේවට්ටය සතර කන් මන්ත්‍රණය සය කණකට ගියේය. නැවත සිය දහස් කණකට යන්නේය කියා ක්‍රීං යන හඬින් පලාගොස් මහෞෂධ පණ්ඩිතයන්ගේ දසරුවෙහි බැස උන්හ.

ඒ ගිරවාගේ මෙබඳු සිරිතෙක් ඇත. කිසි තැනකින් ගෙනෙන පණිවුඩයක් පණ්ඩිතයන්ට පමණක් කිවයුතුනම් උන්වහන්සේගේ දසරුවට බස්නාහ. අමරා දේවීන් ඇසුවමනා නම් ඇකයෙහි හිඳනාහ. බොහෝ දෙන ඇසුව මනානම් බිමට බස්නාහ.

ඉක්බිති ගිරාපෝතකයෝ පණ්ඩිතයන් අමතා තමා ඇසූ සියළු තොරතුරු සැළකළහ. මහෞෂධ පණ්ඩිතයෝ ගිරා පෝතකයාට සත්කාරකොට “කේවට්ටයා මා මහෞෂධ පණ්ඩිත බව නොදනිතියි සිතමි. ඔහුගේ මන්ත්‍රණය මුදුන් පැමිණිය නොදෙමියි සිතා ඇතුළු නුවර හුන් සියළු දිළිඳුන් පිට නුවරට යවා ධනවතුන් ඇතුළු නුවර නවත්වා බොහෝධනය රැස්කරවූ සේක.

චූලනී බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝද කේවට්ටයාගේ බසින් මහෞෂධ පණ්ඩිතයන් අනුශාසනා කරන වේදේහ රජ්ජුරුවන්ගේ රාජ්‍යය හැර අනිත් සියළුම රාජ්‍යවල් තමා අතට පත්කර ගත්හ. බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝ හත්අවුරුදු හත්මස් හත් දවසකින් සෙසු දඹදිව රාජ්‍ය ගෙන කේවට්ට බමුණු අමතා ආචාය්‍ර්‍යයෙනිෟ වේදේහ රජ්ජුරුවන්ගේ රාජ්‍යය හැර නොගෙන කුමණ ජය පානයෙක්ද? එයද ගනිමුයි කීහ. දේවයන් වහන්සෟ මහෞෂධ පණ්ඩිතයෝ ඉතා නුවණැතියහ. උපායෙහි දක්‍ෂයහ. එබැවින් කෙසේවත් එය නොකළ හැක්කැයි පසුබැස ගොස් තමාට යටත්වූ රටවල්වල රජදරුවන් සමඟ ජය පානය කොට ඔවුන් මරා දැමීමට කටයුතු පිළියෙළ කරගත්හ. මේ බව තම චර පුරුෂයන් අතින් දැනගත් පණ්ඩිතයන් වහන්සේ තමා හා එකදින උපන් යොධයන් දහස බණවා සබඳිනි චූලනී බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝ උයන සරසවා එක්සියයක් රජ්ජුරුවන් පිරිවරා සුරාපානය අනුභව කරනු කැමැත්තෝල තොප එහි ගොස් කෝලාහලකොට විෂ යෙදූ සුරාභාජන පොඩිකොට අපි වේදේහ රජ්ජුරුවන්ගේ සේනාව වෙමු. අපගේ රජ්ජුරුවන්ට හස්නක් පවානොයැවූ තොපට රාත් පියන්නට නොදෙම්හයි වාසී බෙනෙමින් මහත් අරගල කොට මියුළුනුවර මහෞෂධ පණ්ඩිතයන්ගේ යොධයම්හ. පිළිවන්නම් අල්ලාගනුවයි තොප ගියබව හඟවා එවයි කියා යවූසේක. උන් එසේම කොට ආහ.

චූලනී බ්‍රහ්මදත්ත රජුද එකසියයක් රජදරුවන් මරණ පිණිස ඉදිකළ සුරාපානයට මහෞෂධ පණ්ඩිතයන් බාධා කළේයයි කිපුණාහ. එකසියයක් රජදරුවෝද සේනාවද සුරාපානය නොලද්දම්හයි නොසතුටු වූහ. ඔවුන් හැම දෙන රජ්ජුරුවන් අමතා දේවයන් වහන්ස අපි හැම එක්ව ගොස් මියුළු නුවර වේදේහ රජ්ජුරුවන්ගේ ඉස කඩුවෙන් කපා එය දෙපයින් මැඩගෙනහිඳ ජයපානය බොම්හයි කේවට්ටයාටද එපවත් දන්වා අප හා යම්හ. ආචාය්‍ර්‍යයෙනි’යි කීහ. බමුණානෝ නුවණැති බැවින් එනුවර මහෞෂධ පණ්ඩිතයන් නිසා ගන්ට නොපිළිවන. ගියොත් අපට මහා ලජ්ජාවන්නීය. එබැවින් මම නොකමැත්තෙමියි කීහ. රජ්ජුරුවෝ රාජමානයෙන්ද ඉසුරු මදයෙන්ද මත්ව පහරලත් සර්‍පයකුසේ කෝපයෙන් දිලිහි දිලිහී ඒ මහෞෂධයා කුමක් කරන්නේදැයි කියා එකසියයක් රජවරුන් පිරිවරා නික්මුණාහ. කේවට්ටයෝද රජ්ජුරුවන්ට පටහැනි නොවියයුතු යයි සිතා රජ්ජුරුවන් සමඟ එක්වූහ. ඔවුන් යුද්ධයට එන බව චරපුරුෂයන් අතින් දැනගත් පණ්ඩිතයෝ සියළු ආරක්‍ෂා සංවිධාන යෙදූහ. ඒ ඒ තන්හි බලඇණි හිටවූහ. සතුරන්ගේ පංචාංගික තූය්‍ර්‍යනාදයෙන්ද සිව්රග සෙනගෙහි ගර්ජනාවෙන්ද පොළව පැළී යන පරිද්දෙන් වූයේය. සේනකාදී වූ සතරදෙන මහත් වූ ශබ්දය අසා සී මැදුරු කවුළුවෙන් පිටත බලන්නාහු බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝ ආ බැව් දැන භයින් ත්‍රස්තව ඉතිකින් අපගේ දිවි නැත. බ්‍රහ්මදත්තයා දැන් අපහැමම මරන්නේයයි සේනකාදියන් සමග කථා කරමින් හුන්හ.

මහෞෂධ පණ්ඩිතයන් වහන්සේ චූලනී රජු ආ බව දැන කිසි භයක් නැතිව සිංහයෙකු මෙන් අපේ රජතුමා භයින් දිලිහී ඇත. උන් අස්වසාලුව මැනවයි මතු මාලයට නැගී රජ්ජුරුවන් වැඳ එකත් පස්ව සිටිසේක. රජ්ජුරුවෝ ඔහු දැක ප්‍රීතියට පත්ව මා මේ දුකින් මුදවන්ට මොහු හැර අන් කිසිවෙක් නැතැයි දැන පණ්ඩිතයෙනි එකසියයක් රාජධානියෙහි අටලොස් අක්‍ෂොහණියක් පමණ සේනාව ගෙන ප්‍රඤචාල දේශවාසීවූ චූලනී බ්‍රහ්මදත්ත රජ ආයේය. ඒ වීර වික්‍රමාන්විත සේනාවෙහි පොළව හා සමාන නුවණ ඇති අහස පොළව ගැටලන්ට සමත්වූ පණ්ඩිතවරු දසදෙනෙක් ඇත්තාහ. ඔවුන්ට වඩා අධික ප්‍රඥා ඇති රජ්ජුරුවන්ගේ මෑණියෝ තලතා දේවිය එකොළොස් වැනිව හිඳ සේනාවට අනුශාසනා කරන්නීය. පණ්ඩිතයෙනි තොප හා සමාන නුවණ ඇති කෙනෙක් අපට නැත. නුවණ නම් මෙසේ වූ තැනට නේද? එහෙයින් තෙපිම දනුවයි කීහ.

මෙසේ රජ්ජුරුවන් මරණ භයින් යුක්තව කියන බස් අසා “මේ රජ්ජුරුවන්ට මා මුත් අනික් පිළිසරණෙක් නැතැයි සිතා රජ්ජුරුවන් වහන්ස බිය නොවනු මැනවි. කැටක් ගසා එලවන කපුටු රැලක් මෙන්ද ඔවුන් ගෙනා වස්තුවවත් අස්වාමික කරවා නිගණ්ඨ සේනාවක් පරිද්දෙන් හිස් ලූ ලූ අත ලුහු බඳවා පියමි. එය මට භාරය. ඔබතුමා සුවසේ රාජශ්‍රී අනුභව කළමැනවයි කී සේක. මෙසේ කියා මාළිගාවෙන් බැස නුවර බෙරලවා පින්වත්නි තෙපි හැම සතුරෝ වටලා ගත්තෝ වේදැයි නොසිතා මල් ගඳ විලවුන් පැළඳ රා මස් ගනිමින් උත්සවයට පටන් ගනුව බෙර ගසව ගී කියව ඔල්වරසන් අසුරුසන් දෙව ඒවා නැති අයට මාගෙන් දෙමි. මහෞෂධ පණ්ඩිතයෝ නම් මමය. කිසි භයක් නොගනුව මාගේ බලය බලවයි කියා අස්වසා වඳාළ සේක. නුවර ඇතුළෙහි ගී හඬ පිටත සිටි සතුරෝ අසන්නාහ. බ්‍රහ්මදත්ත රජු ඒ හඬ අසා පින්වතුනි මෙතෙක් සතුරු සේනාවක් පැමිණි මුත් කිසි භයක් නැතිව පස්වනක් ප්‍රීතියෙන් යුක්තව සිටින්නාහ. කුමණ පුදුමයෙක් දැයි කීහ.

එවිට චරපුරුෂයෙක් බොරුවක් ගොතා කියන්නේ රජතුමනි මා සොරෙන් ඇතුළු නුවරට ගොස් ඒ ගැන විමසා බැළුවෙමි. වේදේහ රජු කුඩාකළ දසදහසක් යොදුන් දඹදිව රජවරුන් සහ සේනාව අවුත් මාගේ නුවර පිරිවරා සිටි කල්හි සැනකෙළි කෙළිමියි දොළක් උපන. එබැවින් සත් දවසක් උත්සව පවත්වවයි නුවර අණබෙර ලවා තමන් මතු මහලේ ඇමතියන් පිරිවරා ජයපානය බොනසේක්ය. සතුරු සේනාව ආ බවද දන්නා සේකැයි කීහ.

එවිට බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝ තම යෝධයන් අමතා කොල නුවරට ඇතුළුවී හැම සුනුවිසුණු කොට වේදේහ රජුගේ ඉස කපා වහා ගෙනවයි විධානය කළහ. ඒ අසා දුව එන යෝධයන් බිම දමන ලද කලල් වැලි ආදිය නිසා එහි ලිස්සා වැටී මහත් විනාශයට පත්වන්නාහ. සමහර අය ඒ වටේ ඇති මහ දිය අගල්වල පතිතව තම තමාගේ ආයුධ වලින්ම ජීවිතක්‍ෂයට පත්වන්නාහ. මහෞෂධ පණ්ඩිතයන්ගේ යෝධයෝ ඇතුළු නුවර සිට බ්‍රහ්මදත්ත රජ්ජුරුවන්ගේ යෝධයන්ට උසුළු විසුළු කරන්නාහ. උන්ට කිසිවක් කරගත නොහැකිව බ්‍රහ්ම දත්ත රජ්ජුරුවන් අමතා ස්වාමීනී මේ නුවර ගැනීමට නම් සෘද්ධිමත් කෙනෙකුන් අහසින් යවා මිස මිනිසුන්ට නම් සිතන්ටවත් බැරියයි කීහ. එබස් ඇසූ රජ්ජුරුවෝ කේවට්ටයා අමතා ආචාය්‍ර්‍යයෙනි කුමක් කරමෝදැයි කීහ. මහ රජතුමනි නුවරට පැන් ආහාර සහ දර පිටතින් ගෙනෙන්නේය. ඒ වලක්වාලිය යුතුයයි කීහ. නමුත් නුවර තුළම කල්තියා ඒ සියල්ලක් සම්පාදනය කොට තුබූහෙයින් එයින්ද ප්‍රයෝජනයක් නොවීය. එවිට චූලනී රජු ආචාය්‍ර්‍යයෙනි දැන් කළයුත්තෙක් නැත. ආපසු නුවරට යම්හයි කීහ. මහළු වූ කේවට්ට බමුණු කියන්නේ දේවයන් වහන්සෟ මහෞෂධ පණ්ඩිතයන් මහ නුවණැත්තෝය. මමද නුවණැත්තෙමි. ඔහු බාලයෝය. මම ඔහු හමුවී ධර්‍ම යුද්ධයක් කරමියි පතක් ලියා මහෞෂධ පණ්ඩිතයන්ට යැවීය. මහෞෂධ පණ්ඩිතයෝ ඒ පත බලා යහපත බස්නාහිර වාසලින් පිටත ධර්‍ම යුධ මණ්ඩපයට එවයි පතක් යවා දෙවන දවස් වේදේහ රජ්ජුරුවන්ගෙන් අෂ්ට වංක මාණික්‍ය රත්නයද ගෙන එහි ගියසේක. කේවට්ටයෝද මහෞෂධ පණ්ඩිතයන් එනු දැක ඉදිරියට ලංව අපි දෙන්නාම පණ්ඩිතවරු වම්හ. තොප නිසා පැමිණ මෙතෙක් කල් මෙහි ලැග්ගෙමි. අපට අමුතු පඬුරක් පමණවත් නො එවූ විරූයයි කීය. කේවට්ට පණ්ඩිතයෙනි තොපට සුදුසු පඬුරක් සොයන්නෙම් අද ලද්දෙමියි මෙන්න ගනුවයි මහෞෂධ පඬිතුමා එය දිගුකරමින් බැරිවීමකින් මෙන් ඇඟිලි අගින් බිමට හෙලීය. එය ගැනීමට වහා පාත්වූ කේවට්ට බමුණාගේ හිස එසවීමට ඉඩනොදී බෙල්ලෙන් තරයේ අල්වාගත් මහෞෂධයෝ ආචාය්‍ර්‍යයෙනි මම බාලයෙමි. මට නොවඳුව මට නොවඳුවයි නලල වරින්වර බිම උලා නුවණැත්තව තමා අතින් වැදුම්ගන්ට ආවෙහිදැයි බොටුව අල්ලා දමාලූසේක. ඔහු ඈත වීසිවී වැටී වැලි පිස දමදමා පලාගියේය. ඒ දුටු පිරිස හිස්ලූ ලූ අත පැන යමින් අපේ ආචාය්‍ර්‍යතුමා මහෞෂධ පණ්ඩිතයන්ගේ පා වදිනා ලදහ. එබැවින් අපි පැරදුනෙමුයි ඉදිරියට ඒමට බියවූහ. ඒ යන පිරිස දුටු වේදේහ
දියරකුසු පැනය
පඤ්චාලචණ්ඩි දේවිය වේදේහ රජ්ජුරුවන්ට ප්‍රියව වසන්නී දෙවන අවුරුද්දේ පුතණු කෙනෙකුන් වැදූය. ඒ කුමාරයන් වැඩී දස අවුරුදු කල වේදේහ රජ්ජුරුවෝ සවර්‍ගස්ථ වූහ. පණ්ඩිතයන් වහන්සේ ඒ කුමාරයන් රාජ්‍යයෙහි පිහිටුවා දේවයන් වහන්ස මම නුඹවහන්සේගේ මුතුන් රජ්ජුරුවන් සමීපයට යෙමියි වඳාළසේක. කුමාරයෝ මා බාල තැනැත්තාවූ ඇරපියා නොයව මම තොප පිය තනතුරේ තබා රකිමි. නොයවමි’යි කීය. පඤ්චාලචණ්ඩි බිසවද පණ්ඩිතයෙනි මම වේදේහ රජුට පාවාදුන්නේත් දෙරජුන්ගේ වෛරය හරවා සමගි කළේත් නුඹවහන්සේමය. එහි ගියකල අපට කිසි පිහිටෙක් නැත. මෙහිම රඳාපියා සියළු සම්පත් වළදාපී මැනවයි කීහ. එවිට පණ්ඩිතයන් වහන්සේ එසේය මා එන ගමනේ වේදේහ රජ්ජුරුවෝ මළ කල මා එන්නෙමියි බ්‍රහ්මදත්ත රජ්ජුරුවන්ට ප්‍රතිඥාදී ආවෙමි. එබැවින් රඳන්ට නොපිළිවෙනැයි කියා මියුළු නුවර බොහෝ දෙනාගේ බැගෑහඬ අසන්නේ අමරා දේවින්ද සහජාත යෝධයින්ද කැටිව නික්මුණු සේක් පඤ්චාලනුවරට පැමිණිසේක. බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝද මහා පෙළහරින් අවුත් පිළිගෙන ඉදිනට මා හැගි මාළිගාවක් දුන්හ. වැටුපක් නොදුන්හ. නමුත් පණ්ඩිතයෝ කළමනා රාජ සේවය පමානොකොට කරන සේක.

එසමයෙහි ඉතා නුවණැති කීමෙහි දක්ෂ ඉතා ධර්මිෂ්ට “භෙරි” නම් වූ පරිබ්‍රාජිකා කෙනෙකුන්දෑ රජගෙයිදී වළදා මඟුල් උයන ඉඳිනා සේක. පණ්ඩිතයන් වහන්සේ උන් කිසි දිනක දැක නැත. ඔවුනොවුන් ගැන දෙදෙනාම පිටතින් දන්නාහ. නන්දා දේවිත් උමගින් සොරා ගෙන ගිය දින පටන් මහෞෂධ පණ්ඩිතයන් කෙරෙහි හටගත් වෛරයෙන් පසුවන්නී තම වල්ලභ ස්ත්‍රීන් පස්දෙනෙකුට කියන්නාහු තෙපි හැම මහෞෂධ පණ්ඩිතයාගේ අපරාධයක් පරීක්ෂාකොට රජ්ජුරුවන්ට කියා බිඳවා පියවයි කීහ. ඔව්හු පස්දෙන මහතාණන්ගේ වරදක් රහසින් සොයමින් ඇවිදිනාහ.

එක් දවසක් පරිබ්‍රාජිකාවන් දෑ රජගෙයි වළදා එන අතරමග පණ්ඩිතයන් වහන්සේ දැක “මේ පණ්ඩිතයෝ නුවණැත්තෝල හස්ත මුද්‍රාවෙන් ප්‍රශ්නයක් විචාරමියි සිතා පණ්ඩිතයන් මුහුණ බලා “අතක් විදහා පෑ සේක. ඒ කුමක් නිසාද යත් රජ්ජුරුවෝ තොප රටින් මෙරටට ගෙන්වාගෙන අත පුරා සම්පත් දී පියා සුවසේ රකිත්දැයි නොරකිත්දැයි සිතින් සිතාය. පණ්ඩිතයන් වහන්සේ ප්‍රඥා නැමැති දිවැසින් ඒ දැක තමන් වහන්සේ මිට හකුළුවා පෑසේක. කුමක්කී නිසාදයත්? මා සමීපයට එවයි මාගේ රටින් ගෙන්වා කලින් දුන් තෑගි විනා මට කිසිවක් දැන් නොදෙන්නාහයි සිතින් සිතා ඒ විසඳුනියාය දෙවනු පරිබ්‍රාජිකාව තමාගේ හිස පිරිමැඩ ලූ සේක. ඉන් කුමක් හැඟවීදයත්? ඉදින් උකටලී වූනම් අපසේ මහණව නොගනුදැයි හැඟවූ නියාය. එවිට පණ්ඩිතයන් වහන්සේ තමා විසින් රකිනා බඩවල් බොහෝ යයි හැගවීම සඳහා තමබඩ පිරිමැඩලූසේක.

නන්දා දේවියගේ වල්ලභ ස්ත්‍රීහු නිතර පණ්ඩිතයන් වහන්සේ ගැන පරීක්ෂා කාරීව උන්නාහු මේ දෙදෙනාගේ ක්‍රියා දැක රජ්ජුරුවන් සමීපයට ගොස් දේවයන් වහන්ස මහෞෂධ පණ්ඩිතයෝ පරිබ්‍රාජිකාවන් හා එක්ව ඔබ වහන්සේ සතු රාජ්‍යය ප්‍රෘත්‍ර්‍ථනා කරන්නාහයි වරදවා කියා බඳුවාපීහ. ඒ ඇසූ රජ්ජුරුවෝ පණ්ඩිතයන් විසින් මා කෙරේ වඑදනට නොපිළිවන. මේ දෙය පරිබ්‍රාජිකාවන් අතින් විචාරා දැනපියමි’යි සිතා දෙවන දින දන් වැළදීමට ආ කල්හි කිමෙක්ද? පණ්ඩිතයන් දුටුද? උන් හා කළ කථාබස් ඇත්දැයි කීහ. මහරජ උන්හා බසින් කී දෙයක් නැත. හස්තමුද්‍රාවෙන් ප්‍රශ්නයක් විචාරම්හ. අප විචාළ ප්‍රශ්න අප සිත්වූ පරිද්දෙන් විසඳුහයි ඒ වූ නියායෙන් වදාළසේක. මහරජ ඔහු නුවණැත්තෝය. උන් හා සමාන කෙනෙක් මුළු දඹදිව නැත්තාහයි වර්‍ණණාකළසේක. උන්වහන්සේ ගිය ඉක්බිති පැමිණි පණ්ඩිතයන් වහන්සේද පරිබ්‍රාජිකාවන් දෑ කී පරිද්දෙන්ම කී සේක.

ඒ ඇසූ රජ්ජුරුවෝ මහත් සොම්නසට පැමිණ තවතවත් පැහැද දසදහසක් යොදුන් දඹදිව මුළුල්ලට නායක කොට සෙනෙවිරත් ධූරය දී මේ රාජ්‍යය මුළුල්ලෙහි පණ්ඩිතයන් කීවක්ම කළ යුතුයයි විධානය කොට පාවා දුන්හ. පණ්ඩිතයන් වහන්සේගේ ගෙට සියළු සම්පත් මහමුහුදට වඩ බාදිය සේ ප්‍රමාණාතික්‍රාන්තව ගියේය. රජහු තමාට යසස් දුන් ඉක්බිති පණ්ඩිතයන් වහන්සේ සිතන්නේ මට මේ සා මහත් තනතුරක් දී මහත් යසසෙහි පිහිටුවාලූහ. රජදරුවෝ යමෙක් කෙරෙහි වෛරවූ නම් පෙරවරු යසස්දී පස්වරු නසන්නාහ. දැන් මටත් මහත් සම්පත් දීපීහ. රජ්ජුරුවන් මා කෙරෙහි ඉත සිතින් මේ සම්පත් දුන් සේක්ද? අහිත සිතින් දුන් සේක්දැයි කල් නොයවා දැනගතිමි’යි සිතා මල් සහ ගිලන්පසද රැගෙන පරිබ්‍රාජිකාවන් වසන පන්සලටගොසින් ස්වාමීනී නුඹවහන්සේ මාගේ ගුණ කීතැන් පටන් රජ්ජුරුවෝ මට මහත් සම්පත් දුන්හ. ඒ මා කෙරෙහි සම සිතින් දුන් සේක්ද නොදනිමි. රජහු මා කෙරෙහි ඇති සමගි ගුණය තත්වූ පරිදි දැනපිය මැනවයි කීසේක.

පරිබ්‍රාජිකාවද යහපතැයි ගිවිස දෙවන දවස් රජගෙට ගොස් දියරකුසු පැනයයි එක් ප්‍රශ්නයක් ගොතා වළදා අන්තයෙහි මහරජ රහස් කථාවක් කියනු කැමැත්තම්හ. විසඳනු මැනව’යි කියා ගාථාවකින් ප්‍රශ්නය විචාළසේක.

එහි අදහස කෙසේදයත්?

තොපගේ වැදූ මෑණියන්ද නන්දා දේවියද සහෝදර තීක්‍ෂණ මන්ත්‍රී කුමාරයෝද යහළු ධනුශෙඛර කුමාරයෝද අග්‍රපුරෝහිත කේවට්ට බ්‍රාහ්මණයෝද මහෞෂධ පණ්ඩිතයෝද තෙපිද යන සත් දෙනා මහාසමුද්‍රයෙහි එක් නැවකින් යන කල්හි උදක රාක්‍ෂසයෙක් මිනිස් බිල්ලක් සොයා ඇවිදින්නේ තොපගේ නැව දැක මුහුදු දිය දෙබෑකොට අවුත් මහරජ මේ තොප හා කැටිව නැවෙන් යන සදෙනා පිළිවෙලින් දුනහොත් මුත් නැව නාරිමි’යි කීනම් ඒ සදෙනාගෙන් කවුරු පළමුව දෙව්ද? දෙවැනි තුන්වැනිව කවුරු කවුරුන් බිලිදී ඒ ජල රකුසා අතින් ගැලවෙම්දැයි විචාළහ.

ඒ අසා රජ්ජුරුවෝ තමන් සිත වඤ්චානැතිව අදහස්වූ පරිද්දෙන් කියන්නාහු ස්වාමීනී ප්‍රථමයෙන් ජලරකුසාට මෑණියන්ව බිළිදෙමි. දෙවැනිව නන්දා දේවිය, තුන්වනුව මගේ මළනුවන්වද, සතර වැන්ව යහළුවාවද, පස්වැනිව කේවට්ටයාවද දී තවත් ඉල්ලානම් මහෞෂධ පණ්ඩිතයන්ව පිටිපස්සට දමා එම්බල මා කාපියව’යි ඒ රාක්‍ෂසයාගේ දල්වාවූ කටට පැන බිළිවෙමි. මා ඇසින් බල බලා සිටියදී මගේ පණ්ඩිතයන් නොදෙම්හයි කීය. ඒ අසා ගොස් දෙවන දින පරිබ්‍රාජිකාව රාජාංගනයට පැමිණ රාජසභාව පිරිවරා ගෙන සිටින රජුන් හමුවට ගොස් ලද විශේෂ අසුනක හිඳ රජ්ජුරුවන් අමතා මහරජ දියරකුසා තොප අල්වාගත්කල වැදූ මෑණියන් පටන් තොප සදෙනා පිළිවෙලින් බිලිදී පණ්ඩිතයන් රකිමියි කිව. බැලූකල මහෞෂධ පණ්ඩිතයන් තරම් තොපට සතුරෙක් නැත. තොපගේ මෑණියෝ තොපට බොහෝ උපකාරී වූ සේක. එසේවූ මෑණියන් කුමක් පිණිස ප්‍රථමයෙන් බිළිදෙව්දැයි විචාළසේක.

මහෞෂධ පණ්ඩිතයන්ගේ ගුණ ලෝකයේ ඉරහඳ සේ ප්‍රකට කරනු සඳහා සභා මාධ්‍යයෙහි පරිබ්‍රාජිකාව විසින් රජ්ජුරුවන් සමග මේ වාදය කරන බව දතයුත්තේය. එවිට රජ්ජුරුවෝ මාගේ මෑණියන් දෑගේ ගුණ බොහෝ බව දනිමි. ඔබ දන්නා ගුණයට වඩා මා දන්නා නුගුණ බොහෝය. ඒ හැම කියන්නට නොපිළිවන. යම්තම් දෙයක් කියමි. අසා වඳාළ මැනව

තමන් ඉතා වයස්ගතව සිට බොහෝ මණිමේඛලා දාමා දියෙන් සැරසී රාජසභාව රැස්වූ කල ඔබිමොබ හැසිරෙන්නීය. මම ඒ ශබ්දය අසා බොහෝකොට ලජ්ජා වන්නෙමි. අමාත්‍ය සමූහයා ඔවුනොවුන් මුහුණ බලන්නාහ. තවද මුන්දෑගේ ඉඳුල් බත් කන්ට තරම් නොවූ ප්‍රත්‍යන්ත රජ්ජුරුවන්ට මා යැව්වාකොට පත් ලියා යවන කල මාගේ මෑණියන් මහළු නොවනදෑය. සොළොස් හැවිරිදි කෙල්ලන් මීට වඩා සංවර වන්නාහ. රජ්ජුරුවන්ට යවනා පත් හරවා අපට ආකල සභා මාධ්‍යයෙහි ඒ කියවිය නොහැක්කේය. පොළව පැලීයන්නාසේය. මේ වැරදි නිසා මෑණියන්ව දියරකුසාට දෙමියි කීහ

මෑණියන් මේ වරදින් ජලරකුසාට දෙව නන්දා දේවිය බාල අවස්ථාවේ පටන් තොපට මහත් උපකාර ඇත්තීය. කුමක් නිසා බිලි දෙන්නෙහිදැයි විමසීය.

ස්වාමීනි නන්දා දේවිය රහසිගතව ලෝකාස්වාද රතියෙන් සතුටුව මා තමා වසඟයට පමුණුවා මාගේ සෙසු බිසෝවරුන්ට හා උන්ගෙන් උපන් දරුවන්ට මා විසින් ස්නේහයෙන් කරවා පලඳවන ලද නොඉල්වියයුතු පළඳනා මා අතින් ඉල්වයි. මා කාමරාගයෙන් මත්ව ඒ ගනුවයි කීකල අනික් බිසෝවරු සහ දරුවෝ හඬමින් මා සමීපයට අවුත් ශෝක වන්නාහ. මමද පසුතැවිලි වන්නෙමි. ඒ වරදින් ඈ ජලරකුසාට දෙමියි කීහ. මෙසේ ක්‍රමයෙන් මළණුවන්වද ධනුශේඛර කුමාරයන්වද යහළුවාද කේවට්ට බමුණාවද බිලිදීමට ඇති සුදුසුකම් ප්‍රකාශකොට මහෞෂධ පණ්ඩිතයන්ගේ ගුණ කියන්නේ මා තබා දස දහසක් සක්වල දිව්‍ය බ්‍රහ්මයන් හා නාග සුපර්‍ණාදිවූ දෙවියෝද කියා නිමවාලිය නොහැක්කැයි සිතමි. උන් සමාන අන් පණ්ඩිතයෙක් ගිය දවස උපන්නෙත් දැන් ඉපදීත් නැත. මතු උපදින්නෙත් නැතැයි කියා ඉඳිකටු මලින් අහස පාන්නාසේ ගුණ ප්‍රකාශකළහ.

මෙසේ ප්‍රඥාතොමෝ මහත් සෘද්ධි ඇත්තීය ඓෙහ ලෞකික පාර ලෞකික සකලාර්‍ථ සිද්ධිය පිණිස උපකාරී වන්නේයයි පරිබ්‍රාජිකාවන්දෑ පණ්ඩිතයන් වහන්සේගේ ප්‍රඥාගුණය තමන්ගේ නුවණින් දේශනා කොට කුළුගන්වා දියරකුසු පැනයෙන් මේ උම්මග්ග ජාතකය නිමවා වඳාළසේක.

එසමයෙහි පරිබ්‍රාජිකාවන්දෑ දැන් උපුල්වන් මහා ස්ථවීරිය. පියවූ සිරිවර්‍ධන සිටාණෝ සුද්ධෝදන මහ රජ්ජුරුවෝය. මෑණියෝ මහාමායා දේවිය. අමරා දේවීනම් යශෝධරාවය. ගිරවා නම් ආනන්ද ස්ථවිරයෝය. චූලනී බ්‍රහ්මදත්ත රජනම් සාරිපුත්‍ර ස්ථවිරය. මහෞෂධ පණ්ඩිතයෝනම් දැන් ලොව්තුරා ශාන්තිනායක බුදුපියාණෝය.

 

 

උපුටා ගැනීම – www.jathakakatha.lk

530 කකණ්ටක ජාතකය
528 විදුර ජාතකය

Leave a Reply

Your email address will not be published.

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.