528 විදුර ජාතකය - IFBC Organization | Dhamma

සද්ධර්ම රාජයන් වහන්සේ ජේතවනාරාමයෙහි වාසය කරන සේක් පෙහෙවස් විසූ උපාසකවරුන් අරඹයා මේ ජාතකය වදාළසේක.

යටගිය දවස බරණැස රාජ්‍යය කළ බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙක් තම පුත්‍රයාට යුවරජ තනතුර දී ඔහුගේ යස පිරිවර දැක මා මරා රාජ්‍යය පැහැර ගනිද්දෝ යන බියෙන් පුත තෙපි රටින් පිටව ගොස් මාගේ ඇවෑමෙන් පැමිණ රාජ්‍යය භාර ගනුවයි කීහ. කුමාරයෝ පියා වැඳ සමුගෙන නුවරින් නික්ම යමුනා ගංගාවටත් මුහුදටත් අතර පන්සලක් කොට ගෙන වන මුල් ඵලාපල අනුභව කරමින් වාසය කරන්නාහ. එසමයෙහි නාග භවනෙහි තම වල්ලභයා මළ එක් නාග මානවිකාවක් අන් අයගේ සම්පත් බලා දොම්නස්ව නාග භවනින් නික්ම මුහුදු වෙරළෙහි ඇවිදින්නී කුමාරයාගේ පියවර සටහන් දැක ඒ අනුව පන්සලට පැමිණියාය. එකල්හි කුමාරයෝ පලවැල සඳහා ගොස්ය. ඈ පන්සලට වැද තවුස් පිරිකර ආදිය දැක සිතන්නී මේ තාපසයෙක් වසන තැනකි. මොහු සැදැහැයෙන් පැවිදි වූ කෙනෙක්ද? නොහොත් රටින් නගන ලදුව පැවිදි වූ කෙනෙක්දැයි පරික්‍ෂා කරමි. ඉදින් සැදැහැයෙන් පැවිදි වූයේ නම් මා විසින් සරසන ලද යහන නොඉවසති. පඤ්චකාමයෙහි ඇළුනෝ වීනම් සැදැහැයෙන් මහණනුවු නම් මාගේ යහනෙහි සැතපෙති.

එවිට ඔහු මට ස්වාමිකර මෙහිම වෙසෙමි සිතා නාග භවනින් දිව මල් දිව සුවඳ ගෙනවුත් මල් යහන් සරසා පන්සල මුළුල්ලෙහි සුවඳ විසුරුවා මනා කොට සරසා නාග භවනයට ගියාය. සවස පැමිණි රාජ කුමාරයෝ මේ ක්‍රියාව දැක සැදැහැයෙන් පැවිදි නොවූ නිසා ප්‍රීතියට පත්ව ඒ යහනේ කාමයෙන් මත්ව සැතපී දෙවෙනි දවස් නැගී සිට පන්සල නොමැද වනයට ගියහ. එකෙනෙහි නාග මානවිකාව අවුත් යහනේ මලානිකවූ මල් දැක ඉතා ප්‍රීතියට පත්ව එදිනද යහනත් අසපුවත් සරසා සක්මනෙහි මල් විසුරුව ගියාය. කුමාරයා එදිනද යහනෙහි සැතපී සිට පසුවදා නැගිට මේ කවරෙකුගේ ක්‍රියාවක්ද දකිමියි සැඟවී සිට එදිනද ඈමල් ගෙන වුත් යහන සරසන්නට වන් කල්හි රූපත් ඈ දැකීමෙන් ඈ පිළිබඳ සිත් ඇතිව වහා ගොස් තී කවුදැයි විමසා ඔවුනොවුන්ගේ තොරතුරු අසා දැන දෙදෙනාම එක් හිත්ව එහිම නතරවූහ. නාගමානවිකාව තමාගේ බලයෙන් එහි මා හැඟි ගෙයක් මවා යහන් පනවා දිව්‍යමය වූ ආහාර පාන වර්ග අනුභව කරමින් ප්‍රීතියෙන් කල් යවන්නාහ.

ටික කලක් අවෑමෙන් නාගමානවිකාව කුමාර කෙනෙකුන් වැදුවාය. ඔහු නමින් සාගර බ්‍රහ්මදත්තයෝ වූ අතර ඊට පසුව ලැබුන කුමාරිකාව සමුද්‍රජාවෝ යන නමින් ප්‍රකට විය.
එක් දිනක් බරණැස් නුවර වසන එක් වනචරයෙක් ඒ අසලින් යන්නේ කුමාරයන් දැක හැඳින කථාකොට ඔබතුමා මෙහි වසන නියාව රජ්ජුරුවන්ට දන්වමියි කියා නුවරට ගියේය. එකල්හි රජ්ජුරුවෝ කාලක්‍රියා කළහ. දින හතක් ඇවෑමෙන් රාජ්‍යයට කුමාරයන් වසන තැනක් සොයන්නේ වනචරකයා අතින් දැන ඔහුට සත්කාර කොට පෙළහරින් කුමාරයා වසන තැනට ගොස් රාජ්‍යය පිඵිපැද්ද මැනවයි කීහ. කුමාරයෝ නාගමානවිකාවගෙන් ඒ පිළිබඳ අදහස් විමසීය. ඈ කියන්නී ස්වාමීනී අපි උග්‍රවූ විස තේජස් ඇත්තෝ වෙමු. මොහොතින් කිපෙනසුළු වම්හ. සැපතෙහි රොෂය නම් ඉතා බැරෑරුම් දෙයක. මම ඉදින් කිසිවක් දැකවත් අසාවත් කිපී බැලින්නම් පරඩලා මිටක් මෙන් සියල්ලෝම සුණු විසුණුව විසිරයෙති. මේ කාරණයෙන් මට යාමට නොපිළිවනැයි කිව. කුමාරයෝ දෙවෙනි දවසත් යාඥා කොට කියා කැමතිකරවා ගත නොහැකි විය. ඈ කියන්නී මම කිසි සේක් නොයමි. මේ පුත්‍රයෝ නාග කුමාරයෝ නොවෙති. තොප නිසා උපන්හෙයින් මනුෂ්‍ය ජාති ඇත්තාහ. මා කෙරෙහි ආදරය ඇත්නම් මොවුන් ප්‍රේමයෙන් තනව. මේ දරුවෝ දිය බිජුවටින් උපන්හ. එබැවින් ඉතා සියුමැළියෝය. මාර්‍ගයෙහි ගෙනයනකළ අවු සුළං නොවදිනසේ ඔරුවක් තනා පැන් පුරවා මේ දරුවන් එහි ලා නුවරට ගෙනගොස් එහි පැන් පොකුණු කරවා ජලක්‍රීඩාවට නිතරම යොදවවයි කීවාය. මෙසේ කියා කුමාරයන්ට වැද පැදකුණු කොට දරුවන් සිඹ සනසා අඩා වැලප එතනින් අතුරුදහන්ව නාග භවනයට ගියාය. කුමාරයෝද අඩා වැලප අමාත්‍යයන් සමඟ පෙළහරින් නුවරට ගොස් රාජ්‍ය භාරගත්හ. නාග මානවිකාව කී පරිදි දිය ඔරුවක් රථයක සවිකොට කුමර කුමරියන් දෙදෙනා නුවරට ගෙනවුත් ඔවුන් සඳහා අලංකාර පැන් පොකුණු කරවා දුන්හ. ඉක්බිත්තෙන් එක් දිනක් පොකුණට සොරොව්වවෙන් පැන් ගන්නා කල්හි ඒ සමඟ කැස්බෙක්ද ඇතුළුව නික්මෙන්ට නිසි මගක් නොදැක පොකුණු පත්ලේ වැදහෙව දරුවන් කෙළනා කල්හි දියෙන් උඩට හිස මෑත් කොට දරුවන් දෙස බලා නැවත ගිලී ගියේය. ඒ දරුවෝ කැස්බා දැක භයින් ත්‍රස්තව පියාණන් සමීපයට දුව ගොස් එක් යක්‍ෂයෙක් අප භය ගන්වන්නේයයි කීහ. එවිට රජ්ජුරුවෝ ඔහු අල්ලවයි රාජපුරුෂයන්ට නියම කළහ. ඔවුන් දැලක් දමා ඉබ්බා අල්ලා ගෙනවුත් රජ්ජුරුවන්ට දැක්වුහ. කුමර කුමරියන් භයට පත්ව කෑ ගසන්නට වූහ. රජ්ජුරුවෝ ඉබ්බා ගෙන ගොස් වධදී මරවයි නියම කළහ. එතැන්හි සමහර කෙනෙක් මේ රාජද්‍රෝහියා වනයක ලා මොහොලින් කොටා දමවයි කීහ. සමහරෙක් මොහු තුන් පාකයකින් පිස කන්ට වටනේයයි කීහ. තවත් සමහරෙක් අඟුරෙහි පලහා කන්ට වටනේයයි කීහ. සමහර කෙනෙක් ඉදිබු කබලින්ම පලහා කන්ට වටනේයයි කීහ. එවිට උදකභිරුක නම් අමාත්‍යයෙක් කියන්නේ මොහු යමුනා ගංගාවෙහි මහා දිය බෑවුමකට දමන්නට වටනේය. එවිට මහත් විනාශයට පැමිණෙන්නේය. මොහුට මීට වඩා වධයක් නැත යයි කීහ. එවිට කැස්බා ඇමති බස් අසා හිස එලියට ගෙන කියන්නේ පින්වත මා විසින් තට කෙසේ වු අපරාධයක් කරන ලද්ද? මෙබඳු දුකක් මට නියම කෙරෙහිද? පළමු කී සියළු වධ ඉවසා ගෙන සිටියත් ඔබ කී වධයනම් ඉවසිය නොහැකැයි කීය. එවිට රජ්ජුරුවෝ මොහු නොකැමැති වධයම දිය යුතුයයි කියා යමුනා ගංගාවෙහි දිය වැටුවමට දැම්මවුය.

දියට වැටුන කැස්බා එක්වරම නාග භවනයට ගියේය. ඔහු දුටු ධ්‍රතරාෂ්ට නා රජ්ජුරුවන්ගේ පුත්‍ර නාගමානවකයෝ මොහු වහා අල්ලවයි කීහ. එවිට කැස්බා සිතන්නේ බරණැස් රජ්ජුරුවන් අතින් බොරු බිය පෙන්නා බේරී ආ නමුත් මේ පරුෂ වූ නයින් අතින් බේරීමක් නොවන්නේ යයි බොරුවක් ගොතා කියන්නේ මම චිත්‍රසූල නම් කැස්බෙක්මි. බරණැස් රජ්ජුරුවන්ගේ දූතයෙක්මි. ධ්‍රතරාෂ්ට නම් නා රජ්ජුරුවන් සමීපයට මෙහෙවර සඳහා ආමි. අපගේ රජතුමාගේ දූ කුමරිය නා රජ්ජුරුවන්ට දෙනු කැමතිව ඒ බව දැන්වීමට මා එවු සේක. නා රජ්ජුරුවන්ට මා දක්වවයි කීය. නාග මානවකයෝ සතුටුව එහි කැඳවාගෙන ගියහ. රජතුමා ඔහු දැක නොසතුටු සිත් ඇතිව ලාමක ශරීර ඇති මෙබඳු සතත්වයෝ දූත මෙහෙවර කරන්නට අසමත්‍ර්‍ථයෝ යයි කීහ. එවිට කැස්බා කිමෙක්ද? රජතුමනි දූතයෝ තල් ගස් පොල්ගස් සේ උස් විය යුතුද? ශරීරයේ පමණින් නොව ගියතැන කාය්‍ර්‍ය සිද්ධ කිරීමට හැකිනම් ප්‍රමාණවත් නොවේද? තවද රජතුමනි අපගේ රජ්ජුරුවන්ට බොහෝ දූතයෝ වන්නාහ. ගොඩ දූත මෙහෙවර මනුෂ්‍යයෝ කෙරෙති. අවකාශයෙහි දූත මෙහෙවර පක්‍ෂීහු කෙරෙති. දියෙහි දූත මෙහෙවර මම කෙරෙමි. එබැවින් මට නින්දා පරිභව නොකරවයි කීය. එවිට නා රජ්ජුරුවෝ තා කුමක් නිසා පැමිණියෙහිදැයි විචාළ සඳ නා රජතුමනි අපගේ රජ්ජුරුවන් වහන්සේ මුළු දඹදිව රජ දරුවන් වහන්සේලා සමග මිත්‍රධර්‍මය ඇත්තාහ. එවැනි සම්බන්ධයක් තවම නැත්තේ ඔබ වහන්සේ සමඟ පමණකි. එබැවින් ඒ රජතුමාගේ සමුද්‍රජාවෝ නම් රාජ කන්‍යාව ඔබ වහන්සේට පාවාදීමෙන් මිත්‍රවීමට අදහස ඇත. එබැවින් මා සමග පිරිස එවා ඒ කුමාරිකාවන් වහන්සේ පාවාගත මැනව. එවිට නා රජතුමා සතුටුව කැස්බාට සත්කාර කොට දවස් නියම කොට ගෙන එවයි සතර දෙනෙකු පිටත් කර යවූහ. එකල්හි කැස්බා යමුණාවටත් බරණැස් නුවරටත් අතරේ එක් පියුම් විලක් දැක උපායකින් පලා යෙමියි සිතා කියන්නේ පින්වත් නාග මානවකයිනි අප රජ්ජුරුවන්ගේ දූදරුවෝ මම ගිය කළ අපට ඇඹුල ඉපුල නෙළුම් මල් දෙවයි ඉල්ලන සේක. එබැවින් මම ඒවා කඩාගනු කැමැත්තෙමි. මම එහි යමි. මම ඒමට පෙර තෙපි රජ්ජුරුවන් සමීපයට යව. එතැන්හි මා දක්නමෝ වේ දැයි කිවුය. නාග මානවකයෝ ඔහුගේ කීම පිළිගෙන රජුජුරුවන් සමීපයට ගිය අතර විලෙහි සැඟවින. රජතුමා නාග මානවකයන් සතුටින් පිළිගෙන කුමක් නිසා කොහි සිට අවුදැයි විචාලහ. රජතුමනි අප නා ලොව සිට නා රජ්ජුරුවන්ට ඔබගේ දූ කුමරිය සරණ ගිවිස්වා ගැනීම සඳහා පැමිණියෙමියි කීහ. එවිට රජ්ජුරුවෝ අපි කිසි කලක නයින් හා විවාහයක් කළ විරූ නැත. අපි මනුෂ්‍ය ජාති ඇතිව සිට තිරිසනුන් හා සමඟ කෙසේ විවාහ බන්ධන කරමෝදැයි කීහ. එ ඇසූ නාගමානවකයෝ රජතුමනි ඉතින් නුසුදුසු නම් කුමක් නිසා ඒ සඳහා විචාරා චිත්‍රසූල නම් කැස්බා අප රජ්ජුරුවන් සමීපයට එවු සේක්ද? එසේ එවා දැන් අපේ රජ්ජුරුවන්ට පරිභව කරන නුඹවහන්සේට කළමනා කටයුතු අපි දනුම්හ. අපි නයි නියාව නොදක්නා සේක්දැයි රජ්ජුරුවන් භය ගැන්වූහ. එවිට රජ්ජුරුවෝ මානවකයිනි මම තොපගේ රජ්ජුරුවන්ට පරිභව නොකරමි. මහත් සම්පත් විඳින තේජස් ඇති ඔහු නාලොව නයින්ට නායකයහ. කෙසේවුවද සර්‍පයෙක් හෙයින් මාගේ දියණියන් නුසුදුසුය. මණ්ඩුක භක්‍ෂණය කරන්නා වු සර්‍පයින්ට මාගේ සමුද්‍රජාවෝ සුදුසු නොවෙතියි කීහ.

එකල්හි නාගමානවකයෝ එතැන්හිදීම නාසාවාතයෙන් රජ්ජුරුවන් මරා දමනු කැමතිවත් දූත මෙහෙවරක පැමිණ එසේ කිරීම නුසුදුසු යයි සිතා එතැන්හිම පොළෝ කිමිද නා ලොවට වැද නා රජ්ජුරුවන්ට බරණැස් රජ්ජුරුවන්ගේ අදහස් දෙගුණ තෙගුණ කොට කියා පාමින් කෝපවත් කළහ. එකල්හි නා රජ්ජුරුවෝ සියළු නාගයින්ට රැස්වන්ට විධානය කොට උන් පැමිණ දේවයන් වහන්ස කුමක් කරමෝද කවරක්හු විෂ වාතයෙන් භෂ්මකර මෝදැයි විචාළ කළ සමුද්‍රජාවන් කෙරෙහි සිත් ඇති නිසා එසේ කරනු අකමැතිව තොපි හැම බරණැස් නුවරට ගොසින් මහත්වූ ශරීර මවා ගෙන රජ මාළිඟාවේත් අවශේෂ ගෙවලත් පොකුණුවලත් වීථිවලත් වෘක්‍ෂවලත් තොරණෙහිත් ඇඳ පුටු මේස යාන වාහනවලත් ෂූ ෂූ යන ශබ්ද පවත් වමින් මහත් කොට පෙනගැබ ඇති කොට ගෙන සිටුව. බාල, මහළු, ගර්භනී යන අයට සහ සමුද්‍රජාවන්ටද තොපව නොදක්වව. මමත් ධවලවූ මහත් නාග ශරීරයක් මවා ගෙන කසී පුරය සත් දරණපටකින් වටලාගෙන මහත් පෙණ ගර්භයකින් නුවර වසා ගෙන ඒකාන්ධකාර කොට කශීපුර වාසීන්ට භය උපදවමින් වැද හොවමියි කීහ. එබස් ඇසු සියළුම නාගයෝ රක්ත, නීල, ශෙවතාදී නොයෙක් පැහැ ඇති නාග වෙස් මවා ගෙන මධ්‍යම රාත්‍රී වේලෙහි නුවරට වැද රජ්ජුරුවන් විසින් කියන ලද ක්‍රමයට සිටගත්හ. කලින් රජ මාළිගාවට පැමිණි නාගමානවකයෝ සතර දෙන බරණැස් රජ්ජුරුවන්ගේ ශ්‍රී යහනෙහි පා සතර වෙලාගෙන රජතුමාගේ හිසට තුඩින් ඇණ ඇණ ෂූ ෂූ ගාමින් සිටියාහ. තවද පාන්වූ කල්හි නුවරවාසීහු භයින් ත්‍රස්තව නා රජ්ජුරුවෙනි කුමක් නිසා අප හැමට පීඩා කරවුදැයි කිවුය. එවිට නාගයෝ තොපගේ රජ්ජුරුවන්ගේ දියණියන් අපේ නා රජ්ජුරුවන්ට දෙනබවට දූතයන් යවා නැවත නොහැකි යයි නා රජ්ජුරුවන් වහන්සේට අක්‍රොෂ පරිභව කළසේක. ඉදින් අපේ නා රජ්ජුරුවන්ට ඒ දියණියන් දුන් සේක් වීනම් අපි තොපි හැරපියම්හ. නැත්නම් තොප හැමගේ ජීවිත නැතිවන්නමෝ වේදකීහ. එවිට නුවර වැස්සෝ එක්වී මාළිගා දොරට ගොස් නා රජ්ජුරුවන්ට රාජ දියණියන් දුන මැනවයි එක පැහැර ඇඬූහ. ඒ නාග මානවකයෝ සතර දෙනත් දුනමැනව. දුනමැනවයි රජ්ජුරුවන්ගේ හිසට තම තුඩින් පහර දුන්හ. එවිට බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝ කරගත හැකි දෙයක් නොවුයේ නා රජ්ජුරුවන්ට මාගේ දියණියන් දෙමියි තුන් විටක් කීහ. එබස් අසා නා රජ්ජුරුවෝ ගව්වක් තැන් පසු බැස දිව්‍ය පුරයක් මෙන් නුවරක් මවා ඒ නුවර සිට දියණියන් එව්ව මැනවයි පඬුරු යවූහ. රජ්ජුරුවෝ පඬුරු ගෙන තෙපි යව දියණියන් අමාත්‍යයන් අතට පාවාදී එවමියි නාග මානවතයන් යවා දියණියන් කැඳවා මාළිඟාවේ උඩුමහල් තලයට ගොස් කවුළුව හැර ඈතින් ඇති අලංකාර පුරය පෙන්වා දියණිය තෙපි එනුවර රජ්ජුරුවන්ට අග මෙහෙසුන්වව නුවරද ලඟ බැවින් නිතර ඒමටද පිළිවන. තෙපි ඒ නුවරට යා යුතුයයි වහාම සරසවා අමාත්‍යයන්ට පාවාදී යවුය. අමාත්‍යයෝ ඈ කැටුව ගොස් නා රජ්ජුරුවන්ට භාරදී බොහෝ සතුටු පඬුරුද භාරගෙන පෙරළා ආහ. එකෙනෙහි නාග මානවිකාවෝ කුරුන් කුරුන් වෙස් ගෙන මිනිස් පරිචාරිකාවන් මෙන් කුමාරිකාව පිරිවරා ගත්හ. ඈ දිව යහනේ හොත් පමණින් දිව පහස් විද නිදන්නට පටන් ගත්හ.

එකල්හි නා රජ්ජුරුවෝ එතැන්හිම අන්තර්‍ධානව සමුද්‍රජාවන් ගෙන නාග භවනයට ගියහ. ටික වේලාවකින් ඈ පිබිද සරසන ලද දිව යහනත් අන්‍ය වු රන් රිදී මැණික්මය වූ ප්‍රසාසාදියත් උද්‍යාන පුස්කරණිත් දැක පරිවාර ස්ත්‍රීන් අතින් මේ කුමන පුරයක් දැයි විචාළාය. පරිවාර ස්ත්‍රීහු කියන්නෝ දේවීන් වහන්ස මේ ඔබගේ ස්වාමි පුත්‍රයන් සන්තක නුවර වන්නේය. මද පිනැති සත්වයෝ මෙබඳු සම්පත් නොලබති. ඔබ වහන්සේ මහ පින් ඇති බැවින් මේ සා මහත් සම්පත් ලබන ලදැයි කීහ. නා රජ්ජුරුවෝත් පන්සියයක් යොදුන් පමණවූ නාග භවනයෙහි බෙර ලවන්නාහු යමෙක් සමුද්‍රජාවන්ට සර්‍පවේශයක් දැක්වූයේ වීනම් ඔහුට රාජාඥා වන්නේයයි නියම කළහ. සමුද්‍රජාවෝ ඒ මනුෂ්‍ය ලෝකය යන සඥාවෙන් නා රජ්ජුරුවන් සමඟ සතුටුව ප්‍රීතියෙන් විසූහ. මෑත භාගයෙහි ඈ නා රජ්ජුරුවන්ට දාව පුතනු කෙනෙකුන් වැදූහ. ඒ කුමාරයා ප්‍රිය දැකුම්කළු හෙයින් ඔහුට සුදර්ශන යයි නම් තැබූහ. දෙවන වර උපන් පුත්‍රයා දන්ත නම් වූ අතර තෙවෙනි පුත්‍රයාට සුභග යයි නම් තැබූහ. හතරවන වරට උපන් කුමාරයා අරිඨ නම් විය. මෙසේ පුතුන් සතර දෙනෙකුන් වදාත් නාගභවනය නියාව ඈ නොදත්හ. දිනක් අරීඨ කුමාරයන්ට නාග මානවිකාවෝ කියන්නේ තොපගේ මෑණියෝ මනුෂ්‍ය ස්ත්‍රීය. නාගමානවිකාවක් නොවෙයි කීහ. එබස් ඇසූ කුමාරයෝ පරීක්ෂා කරමියි සිතා දිනක් කිරිබොමින් ඉඳ සර්ප වේෂයක් මවා නගුටින් මෑණියන්ගේ පිටිපතුලට ඇනලූය. එවිට මෑණියෝ ඔහුගේ සර්ප ශරීරය දැක භයින් ත්‍රස්තව මහත් හඬින් කෑ ගසා ඔහු බිමට දැමීය. කුමාරයන්ගේ ඇසක් කණ විය. නා රජ්ජුරුවෝ වහා පැමිණ හේතුව විමසා කුමාරයාව ජීවිතක්‍ෂයට පමුණුවයි විධාන කළහ. එවිට කුමාරිකාවෝ දේවයන්වහන්ස පුතණුවන්ගේ ඇසක් නිය ඇනී අන්ධ වී ගියේය. උන්ට ක්ෂමා වුව මැනවයි කිවුය. රජතුමා ඉවසූය. ඒ දවස මේ නාග භවන බව කුමාරිකාව දත් අතර කුමාරයා කණාරීඨ නමින් ප්‍රකට විය. ක්‍රමයෙන් වැඩිවිය පැමිණ විඥබවට පත් කුමාරවරු සතරදෙනාට පිය රජ්ජුරුවෝ යොදුන් සියය බැගින් වෙන්කර ඒවායේ රාජ්‍ය භාරදුන්හ. දන්ත කුමාරයෝ වනාහි අපේ බෝධිසත්වයන් වහන්සේය. නාග භවනයෙහි උපන්නාවූ ප්‍රශ්නයෙක් ඇත්නම් උන්වහන්සේම විසඳන සේක. පිය රජ්ජුරුවන් සමඟ විරූපාක්‍ෂ නම් වරම් මහ රජ්ජුරුවන් සමීපයටත් උපස්ථානයට යන්නාහ. ඒ රජ්ජුරුවන් සමීපයෙහි උපන් ප්‍රශ්නද විසඳන්නාහ. දිනක් වරම් මහ රජ්ජුරුවෝ නාග පර්‍ශත් සමඟ ත්‍රයතිංශත් දිව්‍යලෝකයට ගොස් සක්දෙව් රජ්ජුරුවන් පිරිවරා උන් කල්හි දෙවියන් අතරෙහි ප්‍රශ්නයෙක් උපන්නේය. ඒ ප්‍රශ්නය විසඳන්ට එකද සදත්‍ර්‍ථයෙක් නුවුයේය. දන්ත කුමාරයන් උතුම් පය්‍ර්‍යංකයෙහි හිඳ එය විසඳා ශක්‍ර දේවේන්ද්‍රයන්ගෙන් දිව සුවඳ මල් වලින් පූජා ලත් සේක. එසේම ශක්‍ර දේවේන්ද්‍රයෝ බෝසතුන් අමතා දන්තයෙනි තෙපි පොළව හා සමාන වූ ප්‍රඥාවෙන් යුක්තවන බැවින් මෙතැන් පටන් භූරිදත්ත කුමාරයෝයයි මහ බෝසතුන්ට නම් තැබූහ. එතැන් පටන් නිතර දිව්‍යලෝකයට යන බෝසතුන් ශක්‍ර සම්පත් දැක දිව්‍ය ලෝකාත්පත්තියෙහි ආශාකොට මට මේ වණ්ඩුක භක්‍ෂණය කරන්නාවූ ආත්ම භාවයෙන් ප්‍රයෝජන කිම්දැයි මව්පියන්ගෙන් අවසර ගෙන නාග භවනයෙහි ශූන්‍ය විමානයක හිඳ පෙහෙවස් රක්‍ෂා කරන්නාහ. එනමුත් එහි නිතර එළඹෙන නාටිකාංගනාවන් නිසා සිල් ආරක්‍ෂා කරනු නොහැකිව එතැනින් නික්මී තම බිසව අමතා සොඳුර මම මිනිස් ලොවට ගොස් යමුනා ගඟ අද්දර මහ නුග ගස යට ඇති තුඹස මත්තේ දරණවැල ලා ගෙන භාවනා කරමි. දස දිනෙන් දස දිනට එන්නෙමියි දන්වා නගුලිසක් පමණ ශරීරයක් මවා ගෙන යමෙක් මාගේ සම් මස් නහර ඇට ලේ කැමැත්තේ වී නම් ගනීවයි ඉටාගෙන පෙහෙවස් රක්‍ෂාකළහ. දස දිනකට වරක් නාග කන්‍යාවෝ තූය්‍ර්‍ය භාණ්ඩ රැගෙන පෙළහරින් පැමිණ බෝසතුන් කැටුව නාග භවනයට යන්නාහ.

එසමයෙහි බරණැස් නුවරවාසී සොමදත්ත නම් බමුණෙකු පුත්‍රයා සමඟ දිනක් දඩයමේ යන්නේ කිසිවක් නොලැබ හිස් අතින් එන අතරමග මුවෙකු දැක මහත් ප්‍රීතියට පත්ව විද සම ගසා මස්කඳ බැඳගෙන එන්නේ හිරු හස්තයට ගිය හෙයින් න්‍යග්‍රොධ වෘක්‍ෂයකට නැගී වැද හොත්තාහ. අළුයම් වේලෙහි මිහිරි හඬක් ඇසී අවදිවී බැලූ ඔවුන්ට ගී කියමින් නටන නාග කන්‍යාවන් හා ඒ මැද ශක්‍රදෙවෙන්ද්‍ර ලීලාවෙන් බබල බබලා සිටින බෝසතුන් පෙනී මහා ගසින් බැස ඒ ස්ථානයට ගියේය. බමුණාව දුටු නාගමානවිකාවෝ මොහොතින් පොළව කිමිද නාග භවනයට ගියාහුය. බෝධිසත්‍වයෝ තනිවිය. බමුණා එතුමන් සමීපයට ගොස් බබලමින් සිටින තොප කවුද? නටමින් සිට නැතිවී ගිය ස්ත්‍රීහු කවුරුද? තත්වූ පරිදි කියවයි කීහ. එවිට බෝසතාණෝ සත්‍යම කිවයුතුයයි සිතා කියන්නාහු මම මහත් සෘධ්‍යානුභාව ඇති උග්‍ර තේජසින් යුතු නාග රාජයෙක්මි. ඉදින් මම කිපී පොළවේ මහදළ වැදගත් පමණින් සියලු ජනපදය භස්මවන්නේය. මාගේ මෑණියෝ සමුද්‍රජානම් බිසවය. ධ්‍රතරාෂ්ට නා රජ්ජුරුවෝ පියතුමාය. මේ ආදී වශයෙන් තමා පිළිබඳ තොරතුරු කියා සිතන්නේ මේ චණ්ඩ පුරුෂයා අහිගුණ්ඨිකයන් හට කියා මාගේ ශීලයට අන්තරායක් කරතහොත් නොමැනවි. මොහු නාගභවනයට ගෙන ගොස් මහත් සම්පත් දීමෙන් සීලය බොහෝ කලක් පැවැත් වූයේ නම් ඉතා යහපතැයි සිතා නාග භවනය ගැන වර්ණනාකොට ඔවුන් දෙදෙනාවම කැටුව නාග භවනයට ගියහ. ඔවුන් දෙදෙනාට නාග භවනයෙහිදී දිව්‍ය ආත්ම පහළ වූයේය. සාරසියයක් නාග කන්‍යාවන් පිරිවරාගෙන මහත් දිව්‍ය සම්පත් විඳිමින් වර්‍ෂයක් පමණ කල්ගත විය.

සොමදත්තයාගේ පිය වූ නේසාද බමුණාට එහි විසීමට තරම් පිණක් නැත්තේ ඔහුට ඒ දිව්‍ය සම්පත් නරකයක්මෙන් වැටහී පුත්‍රයා ලඟට ගොස් දරුව උකටලී නොව මෙහි වසන්නේ කෙසේද? දැන් තොපගේ මෑණියන් සහ මල් බෑයන් නොදුටු බැවින් ශෝක ඇත්තෙමි. වහාම මනුෂ්‍ය ලෝකයට යමුයයි බලවත් සේ ඇවිටිලි කොටත් කැමති කරවා ගත නොහැකි වූයේ උපායකින් පැණයමි සිතා බෝසතු සමීපයට ගොස් මම මනුෂ්‍ය ලෝකයට ගොස් නෑදෑයින් දැක පැවිදිව මහණ දම් පුරමියි අවසර ඉල්වා ගෙන නා රජුන් විසින් දුන් බොහෝ සම්පත් ඇතිව රෝ දුක් වලින් තොරව සුඛිත මුදිත විය හැකිමහා බලසම්පන්න නාග මානික්‍ය රත්නයද ප්‍රතික්‍ෂෙප කොට නාග මානවකයන්ගේ මාර්ගයෙන් බරණැස් නුවරට ලඟා වී අතරමග පොකුණක් දැක නාම්හයි ඇඳ සිටි දිව්‍යභරණ සහ දිව්‍ය වස්ත්‍ර ගලවා තබා දියට බැස නාන්නට පටන් ගත්හ. එකෙනෙහිම ඒ දිව්‍ය වස්ත්‍රාභරණ අන්තර්ධාන වී ගියේය. නාගභවනයට යන දින ඇද සිටි කළු දැලි රෙදි ඒ දෙදෙනාගේ හින වැලද ගත්තේය. වැදි වෙසින් සිටියාහ. එවිට සෝමදත්තයා පියාණෙනි නුඹ වහන්සේ විසින් අප නසන ලද්දමෝ වේදැයි හඬා වැලපෙන්නට පටන්ගත්හ. එවිට පියා පුත වනයේ මුවන් ඇත්නම් මරා ජීවත්වෙමුයි කියා පුතු අස්වසා ගෙදරගොස් මුවන් මරා ජීවත් වුහ. එසමයෙහි එක් දිනක් මහ ගරුඬ පක්ෂියෙක් මුහුදු දිය දෙබෑකොට නාගරාජයා අල්වා ගෙන හිමාල වන ප්‍රදේශයෙහි එක් තාපසයෙක් භාවනා කරන පන්සල කෙළවර ඇති මහා නුගගසක් මත්තෙන් යන්නේ නාගයා නුගගස වෙලා ගත්තේය. ගරුඬ පක්ෂියා ඔහු නුගගස වෙලා ගත් බව නොදැන වේගයෙන් ගිය බැවින් නුග වෘක්‍ෂයද ඉගිලී ගියේය. නා රජ්ජුරුවන් දික් හිඹුල් වනයට ගොස් නාගයාගේ බඩ පලා රුධිරය පානය කොට ශරීරය සමුද්‍රය මස්තකයෙහි හෙළුයේය. නුග ගසද නාගයා සමඟ මුහුදට වැටෙන්නේ මහත් ශබ්දයක් ඇති වූ හෙයින් මේ කිම්දැයි බලන්නේ නුග ගසක් වැටෙන බව දැක මේ කිමෙක් දැයි සිතා තාපසයන් වහන්සේ භාවනා කරන තැන නුග ගසයයි දැන මා විසින් බොහෝ අකුසල් සිදුකර ගන්නා ලද්දේම යයි සැක ඉපිද වහාම මානවක වේශයක් මවා ගෙන තාපසයන් සමීපයට අවුත් ස්වාමීනී එක් ගුරුළුවෙක් නාගයෙක් ඩැහැගෙන යන්නේ ඔබතුමාගේ සක්මන් කෙළවර වූ නුගගසද නාගයාගේ නගුටේ දැවටී ගැලවී ගියේය. ඉන් ඒ නාගයනට පාපයක් සිදුවේදැයි විමසීය. මානවකය ඔහු නොදැන කළ වරදට පාපයක් නැත. ඔහුගේ එබඳු චේතනාවක් නොවීයයි කීය. ඒ අසා සතුටට පත් ගරුඬ රාජයා ස්වාමීනී ඒ ගුරුළු රාජයා මම වෙමි. ඔබතුමා කෙරෙහි පැහැදුනෙමි. නුඹ වහන්සේ වනයෙහි වසන බැවින් සර්පයන් ඇල්වීමෙහි සුදුසු ආලම්භන නම් මන්ත්‍රයක් දෙන්නෙමි කියා තාපසයන්ගේ නොකැමැත්තෙන් මන්ත්‍රයද ඖෂධ කීපයක්ද කියා ගියේය.

එකල්හි බරණැස් නුවර එක් දිළිඳු බමුණෙක් බොහෝ ණය මුදලින් පිරීගියේ වනයට වැද මියයමියි සිතා ක්‍රමයෙන් යන්නේ ඒ තපස්වීන්ගේ පන්සලට වැද තාපසයන්ගේ අත්පා මෙහෙවර කොට සිත් දිනා ගෙන මා හැගි ආලම්භන මන්ත්‍රයද රැගෙන මට ජීවත් වීමට සුදුසු උපායක් ලදිමියි සතුටුව වනයෙන් නික්ම යමුනා ගංතෙරට පැමිණ ඒ මන්ත්‍රය කියමින් යන්නේය. එවිට නාගමානවිකාවෝ පැමිණ බෝසතුන් පිරිවරාගෙන උවටැන් කොට නාගමාණික්‍ය ඒ අසල වැලිතලා මත්තෙහි තබා ක්‍රීඩා කරමින් උන්හ. බමුණාද මන්ත්‍රය පුරවමින් එතනට පැමිණියේය. ඔවුන් සියල්ලෝම ඒ හඬ අසා මේ ගරුඬ රාජයක්හු විය යුතුයයි භයින් ත්‍රස්තව නාගභවනයට වන්හ. බමුණා එය ගෙන පලා ගියහ.

දිනක් සෝමදත්තයා පියා සමඟ දඩයමේ යන්නේ බමුණා අත තිබුණ මැණික දැක පුත මේ මැණික භූරිදත්ත රජ්ජුරුවන් වහන්සේ අපට දුන් මැණික සේ පෙනෙයි. මේ බමුණාට මෙහි ඇති නුගුණ කියා මොහු වඤ්චා කොට එය ගනුම්හයි කීහ. එවිට පුත්‍රයා පියාණෙනි නුඹ වහන්සේට නා රජ්ජුරුවන් වහන්සේ එය දුන්විට ප්‍රතික්‍ෂෙප කොට දැන් බමුණා වඤ්චාකරන්නේයයි කියා නිහඬ විය. නෙසාද බමුණා මැණික ඇති බමුණා ළඟට ගොස් ඒ මැණික ලබාගත් අයුරු අසා ඒ කෙරෙහි ලොබ කොට කියන්නේ මේ මැණිකට යමෙක් සම්භාවනා නොකරන්නේ නම් විනාශයට පැමිණෙන්නේය. අපගේ ගෙයි නම් බොහෝ මැණික් ඇත. එහෙයින් මේ මැණිකට කළ යුතු උපචාර විධි දනුම්හ. මම තට මැණික් සියයක් දෙමි. මේ මැණික මට දෙවයි කීය. එවිට ආලම්බනයා කියන්නේ එය වස්තුවකට නොවිකුණමි. මහා තේජස් බල ඇති නාගයෙක් ඇති තැනක් කියන්නාහුට තෑගි දෙමැයි කියා ඉදිරියටත් කරුණු විමසු නෙසාද බමුණට තමා ළග ඇති ආලම්භන මන්ත්‍රය ගැනද තොරතුරු පැවසීය. නෙසාද බමුණා සිතන්නේ මොහුට භූරිදත්ත නා රජ්ජුරුවන්ව දක්වා මැණික ගනිමියි සිතා පුත්‍රයාගේද අදහස් විමසීය. එවිට සෝමදත්ත බමුණා පියාණෙනි තමාට කරන ලද උපකාර අමතක කොට මෙවැනි මිත්‍රද්‍රෝහී ක්‍රියාවක් කිරීම බලවත් අකුසලයකි. නරකාදියෙහි උපදවන මෙවැනි දේ කරන තොපවැනි පියෙකු සමඟ ජීවත් වීමද ඉතා නොවටනේයයි දෙවියන්ට ඇසෙන සේ මහ හඬින් පවසා හිමාලය වනයට ගොස් පැවිදිව ධ්‍යාන වඩා බඹ ලොව ගියහ. නෙසාද බ්‍රාහ්මණයා ටික වේලාවක් සිට ආලම්භනයා සමීපයට ගොස් තෝ සැක නොකරව තට භූරිදත්ත නා රජ්ජුරුවන් දක්වමි ඔහු කැඳවාගෙන ගොස් නුදුරු තැනක සිටගෙන තුඹස මත්තේ වැඳහොත් නා රජ්ජුරුවන් දැක අත් දික් කොට එම්බල බමුණ තෙල මහා නාරජ්ජුරුවන් අල්වාගෙන මැණික මට දීපියවයි කීය. නා රජ්ජුරුවන්වහන්සේ ඒ ශබ්දය අසා හිස ඔසවා බලා ඔවුන් දෙදෙනාගේ අදහස් දැක මාගේ සීලයට අනතුරක් කරන්නේයයි සිතා මම දැන් කිපියේනම් මාගේ ශීලය චණ්ඩ වන්නේය. මුන් දෙදෙනා දෙස කිපී බැලුයේනම් සුණු විසුණු වී යන්නේය. එය මාගේ ශීලයට බාධාවකියි නිහඩව දරණවැල අස්සේ හිස තබා ගෙන වැද හොත්තේය. ආලම්භනයා නා රජ්ජුරුවන් දැක ඉතා සතුටට පත්ව කිසිවක් නොසිතා මැණික නෙසාද බමුණා අතට දැමුයේය. ඒ මැණික ඔහු අතින් ගිලිහි බිමට වැටුනේය. ඒ මොහොතින්ම එය පොළවට වැද නාග භවනයට ගියේය. වැදි බමුණාට මැණිකත් පුත්‍රරත්නයත් නා රජ්ජුරුවන් වහන්සේ හා වූ මිත්‍ර ධර්‍මයත් යන තුනින්ම පිරිහී සිතන්නේ පුත්‍රයාගේ බස් නොගිවිස විනාශ භාවයට පත්වූයයි හඬමින් තම ගෙට ගියෙය්. ආලම්භකයාත් දිව්‍ය ඖෂධ ටිකක් අනුභව කොට මන්ත්‍රය පුරවා නා රජ්ජුරුවන් කරා ගොස් හිස මිරිකා මුව දල්වා ඖෂධ ස්වල්පයක් විකා කටට කෙළ වත් කළාය. සිල්වත් නා රජ්ජුරුවෝ ශීලභේද භයින් ඇස දල්වාත් නොබැලූහ. අහිගුණ්ඨිකයා නාගරාජයා අල්ලා තලා පෙලා බිම හොවා ඇට පොඩි කොට වැලින් පෙට්ටියක් වියා එහි ලන්නට පටන්ගත. ශරීරය මහත් බැවින් ඒ පෙට්ටියේ නොවදනේය. එකල විළුඹින් තෙරපා දමා පෙට්ටිය කර තබා ගෙන ගම මාධ්‍යයට ගොස් සෙනඟ රැස්කොට නොයෙක් අයුරින් නා රජ්ජුරුවන් නටවා බොහෝ තෑගි බෝග ලබා ගත්හ. මේ නා රජුන්ගේ පෙන මැවීම, ලොකු කුඩා වීම, නාසා පුටයෙන් දුම් කඳන් යැවීම ආදී ප්‍රාතිහාය්‍ර්‍ය දුටු මනුෂ්‍යයෝ කඳුළු ධාරා වගුරවන්ට වූහ. එගමින් බොහෝ වස්තුව ලත් අහිගුණ්ඨිකයා නා රජුන් කැටුව තවත් වස්තුව ලබමියි එනුවර රජ්ජුරුවන් සමීපයට ගොස් එපවත් කීහ. රජතුමා සෙට දින නාගයා කෙළවයි මහජනයා රැස්කරවූයේය. එදින රාත්‍රී බෝසතුන්ගේ මෑණියෝ ස්වප්නයෙන් “රත් ඇස් ඇති කළු වූ පුරුෂයෙකු කඩුවක් ගෙන තමන් අත කපා ලේ පෙර පෙරා ගෙන යන්නා” දැක මේ නම් පුත්‍ර භූරිදත්ත කුමාරයා උදෙසාම දකින ලද්දකැයි සිතා බොහෝ ශෝකවී කඳුලු වගුරවමින් මාසයක් ඉක්මී ඉක්බිති තමා හමුවට ආ සුදර්ශන පුතු අමතා තමා දුටු සීනය දක්වා ඔවුන් සමඟ බෝසතුන් වසන මාළිගාවට ගියහ.

එකල්හි නා රජ්ජුරුවන්ගේ බිසවු නාගමානවිකාවෝ බෝධිසත්‍වයන් පෙහෙවස් රක්‍ෂා කරන්නා වූ තුඹස මත්තේ නොදැක මෑණියන්ගේ ගෙට යන්ට ඇතැයි සිතා නිසැකව වැද උන්නී මෑණියන්ද මසකින් නා රජුන් නොදුටු බව පැවසීමෙන් පසු ඔවුනොවුන් වැළඳගෙන හඬා වැලප මෑණියෝ කියන්නේ දරුවනි අද රාත්‍රී නා රජ්ජුරුවන් නො දක්නා වූ මම ජීවත් නොවෙමියි කිවුය. එවිට අරිෂ්ට, සුභග, සුදර්ශන යන පුත්‍රයෝ තිදෙනා මෑණියෙනි ශෝක නොවුව මැනවි. දශ රාත්‍රියකින් මෙපිට බෑණන් වහන්සේ ගෙනවුත් දෙන්නෙමැයි කියා අරිෂ්ට නා රජු නපුරු හෙයින් මනුෂ්‍යලෝකයට නොයවා ඔහු දිව්‍ය ලෝකයට යවා සුභගයන් පංචමහා ගංගාවන් බැලීම සඳහා හිමාලවනයට පිටත් කොට තුමූ මනුෂ්‍ය ලෝකයට යනු කැමතිව තාපස වේශයක් මවා ගෙන මෑණියන් වැඳ නික්මුණාහ. බෝධිසත්වයන්ට අච්චිමුඛී නම් ඥාති නැගෙණියක් ඇත. ඈද බෝධිසත්වයන්ට මහත් ස්නේහ ඇත්තී මමද කුඩා මැඩිපැටියකගේ වේශයක් මවා ගෙන ඔබගේ ජටාව අස්සේ වැද හෙව එමියි කියා අවසර ගෙන එසේ වැඳ හොත්තේය. සුදර්‍ශක නා රජ්ජුරුවෝ බෝධිසත්වයන් භාවනා කළ තැන්පටන් ක්‍රමයෙන් බලා යන්නේ එහි තිබූ ලේ වැලි දැක කවරෙකු හෝ අල්වා ගන්නා ලදැයි උපන්නා වූ බලවත් ශෝකයෙන් යුතුව මනුෂ්‍යයන් අතින් විචාරමින් මාළිගා දොරටම ගොස් නා රජ්ජුරුවන් නටවන්නට සූදානම් කොට තිබුන වේදිකාව ලඟටම ගියේය. ඒ වේලාවට රජ්ජුරුවන්ගේ අවසරය පරිදි ආලම්භනයා පෙට්ටිය හැර නා රජ්ජුරුවෙනි කීය. මහ බෝසතාණෝ හිස මෑත් කොට තමාට උවදුරු ඇති වන ගරුඬයන් හෝ ලැජ්ජා ඇති වීමට නෑයින් හෝ ඇද්දැයි බලන්නේ නෑයන් අතර සුදර්‍ශන සහෝදරයන් දැක දෑස කඳුළු පුරවාගෙන පෙට්ටියෙන් බැස ඔහු ළඟට ඒ තාපස නා රජ්ජුරුවන්ගේ පතුල්පිට හිස තබාගෙන අඬා වැලප පෙරළා ගොස් පෙට්ටියට වන්හ. ආලම්භනයා මේදැක නා රජ්ජුරුවන් විසින් තාපසයන්ට දෂ්ට කරන්නට ඇතැයි සිතා වහා ලඟට ගොස් කිමෙක්ද? තපස්වීනි තොප දෂ්ට කළෝද? එසේ නම් මම විෂබාමි බිය නොවවයි කිවුය. එවිට සුදර්ශන තපස්වී ආලම්බනය තාගේ නා රජ්ජුරුවෝ මට දෂ්ට කරන්නට අසමත්ය. ලෝකයේ සර්පයන් අල්ලා කෙළවා තා වැනි ඇවිදිනා වූ යම්තාක් අහිගුණ්ටික බ්‍රාහ්මණ කෙනෙක් ඇත්නම් මම උන් හැමට ශ්‍රේෂ්ට වෙමි.

එවිට ආලම්බනයා ඔහු ගැන නොදැන කිපී තාපස වේශයෙන් ආ තොපි කොහිසිට ආවෙහිද? නුවණ නැති වියරු වූවෙක්ද? මෙහි සිටින පිරිස මා ගැන නොකිපෙත්වා? මම මොහුට නා රජ්ජුරුවන් ලවා දෂ්ට කරවමි. මාගේ දෝෂයෙක් නැතැයි කීහ. එවිට සුදර්ශන නා රජ්ජුරුවෝ ඔහුට කියන්නාහු ආලම්බනය තෝ මා නා රජ්ජුරුවන් ලවා දෂ්ට කරවුයේ නම් මම මාගේ මැඬිපැටියා ලවා තට දෂ්ට කරවමි. මේ පිරිස මා කීවා අසා අපගේ යුද්ධයට පන්දහස බැගින් ඔට්ටු තැබිය යුතුය. පැරදී ගිය කෙනෙක් දිනුම්කරුට පන්දහස දිය යුතු යයි කීහ. එවිට ආලම්භනයා කියන්නේ තාපසයෙනි මම වූ කලී ප්‍රසිද්ධ ප්‍රභූව සිටිමි. තා වනාහි දිළිදුය. එබැවින් තට ඇප කවුරුදැයි කීහ. එවිට සුදර්ශන නා රජ්ජුරුවෝ මාළිගාවට ඇතුළුව මයිලණුවන්වූ සාගර බ්‍රහ්මදත්ත රජු සමීපයට ගොස් මහ රජතුමනි මා කීවා අසා පන්දහසක් වස්තුව මට ඇපවුව මැනවැයි කිවුය. එවිට රජ්ජුරුවෝ සිතන්නෝ මේ තාපසයෝ බොහෝ වස්තුව මාගෙන් ඉල්ලති. මට කුමණ වැඩෙක්දැයි සිතා තපස්වීනි තොප අතින් මා පියාණන් වහන්සේ ගත් ණයක් ඇද්ද? නැත්නම් මා ගත් ණයෙක් ඇද්දැයි ඇසුහ. එබස් අසා සුදර්ශන නා රජ්ජුරුවෝ ආලම්භනයා අතර ඇතිවූ ඔට්ටුව පිළිබඳව දන්වා මහා රාජාංගනයට වැඩ මට අපගේ යුද්ධය බලවයි කීහ. එවිට බරණැස් රජ්ජුරුවෝ තාපසයන් කැටුව නික්මුණාහ. රජ්ජුරුවන් දුටු ආලම්භනයා සිතන්නේ මොහු ගිය ඇසිල්ලෙහිම රජ්ජුරුවන් කැඳවා ගෙන අවුය. එබැවින් මොහු රාජ කුළුපග කෙනෙකුන් විය යුතුයයි සිතා කියන්නේ තාපසයෙනි ඔබ විෂ විද්‍යාවෙන් අග්‍ර කොට සලකමි. නමුත් මාගේ මේ නා රජ්ජුරුවන් දියබරියකු කොට නොසිතවයි කීය. එවිට තාපසයෝ ආලම්බනය මමත් විෂ විද්‍යාවෙන් තා මැඩ නොපවත්වමි. නමුත් තා මේ විෂ නැත්තාවු නා රජ්ජුරුවන් ගෙන ලෝ වැස්සන් මුලා කොට ඇවිදින්නෙහිය. මේ නා රජ්ජුරුවන් විෂ නැති නියාව මා දන්නා සේ මේ ලෝවැස්සන් දනිත්නම් තොපට අක්සුණු පමණකුත් නොලැබෙන්නේ යයි කීහ. එබසට කිපුණු ආලම්බනයා තාපසය මෙතරම් උග්‍ර තේජස් ඇති නා රජ්ජුරුවන්ට නින්දා නොකරව. උන් සමීපයට ගොස් විෂ ඇති නැති නියාව බලව. ඉදින් තා නිර්භීතව ගියෙහි නම් ඇසිල්ලකින් තා අළු මිටක් මෙන් කරතියි කීහ.

ඉක්බිත්තෙන් තාපසයෝ ආලම්බනය මේ නා රජ්ජුරුවන්ගේ විෂ පණුවකුගේ තරම්වත් නැත. මේ අච්චිමුඛී නම් මැඬි පැටියා උග්‍ර විෂ ඇත්තීය. ඇය ලවා තා දෂ්ට කරවමි. මෝ තොමෝ ධ්‍රතරාෂ්ඨ නා රජ්ජුරුවන්ගේ දුවවූ මාගේ නැගණියෝය. මොහොතින් උග්‍ර විෂ පෙන්වමියි කියා මැඩියා අමතා මාගේ අත්ලට එවයි අතදිගු කොට පෑවේය. එවිට මැඩි පැටියා තුන්විටක් මැඩි හඬ නිකුත්කොට මහජනයා බලා සිටියදී තාපසයන්ගේ ජටා මඩුල්ලෙන් එලියට පැමිණ අත්ලට අවුත් විෂ බින්දු තුනක් තපස්වීන්ගේ අත්ලෙහි හෙළා නැවත ජටාව තුළට වන. එවිට තාපසයෝ ඒ විෂ අනිත් අතට ගෙන මුළු ජනපදයමද මේ ජනපදය විශේෂයෙන්මද නසන්නේයයි තුන් විටක් කීහ. ූන්ගේ ශබ්දය දොළොස් යොදුනක් ඈත විහිදී ගියේය. එවිට බරණැස් රජ්ජුරුවෝ කුමක් නිසා ජනපදය නසී දැයි විචාළේය. තාපසයෝ කියන්නේ මහ රජ්ජුරුවන් වහන්ස මේ විෂය ඉසිපිය හැකි තැනක් නොදක්මියි කීය. දරුව පොළව මහත ඒ මේ පොළවෙහි ඉසිපියවයි කී කල්හි නොපිලිවන මහරජ ඉදින් මම මේ විෂ බිමට දැමීම් නම් බිම ඇති තෘෂ්ණලතා ඒකාන්තයෙන් වියලී යන්නාහයි කීය. එසේ නම් දරුව අහසට දමවයි කී කල්හි මහරජතුමණි ඉදින් මේ විෂය අහසට දැමීම් නම් සත් අවුරුද්දක් මුළුල්ලෙහි වැසිනැති වන්නේයයි කීහ. එසේ නම් විෂ දියෙහි ඉසිපියවයි කී කල්හි දියෙහි ඉසපීනම් සියළුම ප්‍රාණීන් වඳවී යන්නාහ. එබැවින් නොපිළිවනැයි කී විට එසේනම් දරුව තෙපිම සුදුසුතැනක් දනුවයි කී කල්හි එසේ නම් මහරජ මේ ස්ථානයෙහි පිළිවෙලින් වල් තුනක් කැනවුව මැනවයි කියා වල් කනවා මාධ්‍යයේ වළ භෛෂද්‍යායෙන් සම්පූර්ණ පුරවා දෙවෙනි වල ගොම වලින් පුරවා තුන්වෙනි වල බෙහෙත් වලින් පුරවා විෂ බින්දු මාධ්‍යයේ වැළලූය. එකෙනෙහි දුම නැගී ගිනි දැල් උඩ නැංගේය. ඒ ගිනි කඳ ගොස් ගොමවළ වැද ඖෂධ නිමවා නිවී ගියේය. ආලම්බනයා ඒ වලට නුදුරු තැන සිටියේ ඒ විෂ උෂ්ණය වැදගෙන සකල ශරීරයෙහි සම ඉපිල ගියේය. ඒ තෙම සුදුකබර ඇත්තෙකු මෙන් වී මරණ භයින් භයපත්ව නා රජ්ජුරුවන් හරිමියි කියා තුන්විටක් කෑ ගැසීය. ඒ හඬ අසා භූරිදත්ත නා රජ්ජුරුවෝ පෙට්ටියෙන් එළියට නික්ම සර්‍වාභරණයෙන් සැරසුණාවූ දිව්‍යාත්මභාවය මවාගෙන ශක්‍රදේවේන්ද්‍ර ලීලාවෙන් පෙනී සිටියහ. සුදර්ශනයෝත් අච්චිමුඛීත් එතැන්ම සිටියහ. එවිට සුදර්ශනයෝ බරණැස් රජ්ජුරුවන්ට අප හඳුනන්නේ දැයි අසා සමුද්‍රජාවන්ගෙන් පුතුන් නියාව විස්තර කොට කිවුය. එවිට බරණැස් රජ්ජුරුවෝ ඔවුන් තුන්දෙනා වැලඳ ගෙන සිඹ සනහා අඬා වැලප උඩු මහල් තලයට ගොස් භූරිදත්ත නා රජ්ජුරුවන් අමතා පුත මෙතරම් තේජස් ඇති තොපව ආලම්බනයා කෙසේ අල්ලා ගත්තෙහිදැයි විචාල සද නා රජ්ජුරුවෝ සියළු විස්තර කොට බරණැස් රජ්ජුරුවන්ට ධර්‍මදේශනා කොට නාගලෝකයට යෑම සඳහා සමුගත්හ. එවිට බරණැස් රජ්ජුරුවෝ මමද නැගණියන් දකිනු කැමැත්තෙමි. ඇගේ පියා වු කසී රජ්ජුරුවෝ ඈ නැති සොවින් පීඩිතව රාජ්‍යය හැර වල් වැදී පැවිදිව අසවල් වන ලැහැබේ වසන සේකැයි කීහ. එවිට සුදර්ශනයෝ, මයිපණුවන් වහන්ස අපගේ මෑණියන් වහන්සේ ඔබවහන්සේවත් මුත්තනුවන් වහන්සේවත් දක්නා කැමති සේක. එබැවින් අපි මෑණියන් කැටුව මුත්තණුවන්ගේ පන්සලට එන්නෙමි. ඔබද එතනට වැඩිය මැනවයි කියා පිටත්ව ඔවුන් තුන්දෙනා පොළව කිමිද නාගභවනයට ගියහ. භූරිදත්ත නා රජ්ජුරුවන් මසක් මුළුල්ලෙහි බොහෝ පීඩා විදි බැවින් ගිලන්ව වැද හොත්තාහුය. සැප දුක් බැලීමට එන නා රජුන්ගේ ප්‍රමාණයෙක් නැත. දිව්‍යලෝකයට ගිය කණාරීඨයෝ භූරිදත්ත නා රජ්ජුරුවන් නොදැක නාගභවනයට අවුය. සුභගයෝත් හිමාලවනය පරීක්ෂාකර පෙරලා අතරමග එමින් සිටියහ. එකල්හි නෙසාද බ්‍රාහ්මණයා කුෂ්ඨ රෝගයෙන් පීඩිත වූ ආලම ධනයා දැක සිතන්නේ නා රජ්ජුරුවන්ට පීඩා කොට මොහු කුෂ්ට රෝගයෙන් විරූපී විය.

මටද බොහෝ උපකාරකළ ඒ නා රජ්ජුරුවන්ව මොහුට පෙන්වීමෙන් මමද බොහෝ අකුසල් සිදුකර ගතිමි. මේ පාපය මා කරා ඒමට පෙර යමුනා ගංගාවට ගොස් පව් සෝදා හරිමියි කියා වහා එහි ගොස් දියෙහි ගිලිගිලී තමාකළ වරද කියමින් උන්නේය. ඒ අසලින් ගිය සුමුගයෝ ඔහුගේ වචන අසා මෙතරම් උපකාර කළ මාගේ සහෝදරයාට මොහු කළ අපරාධයට පළිගනිමියි දියයටින් අවුත් ඔහුගේ කකුල් නගුටින් වෙලා දියඹට ඇද හුස්ම හිරවීමට ප්‍රථම නැවත බුරුල් කොට නැවත නැවතත් යටට අදිමින් පීඩා කළහ. වරක් හිස උඩට ආ ඔහු කියන්නේ පව් සෝදා දමා පියා සැනසෙමියි ආ මා කවර සත්තවයෙක් අනුභව කරන්නට අල්වා ගත්දැයි බැගෑපත්ව කීය. එවිට සුභගයෝ නේසාද බමුණ මම වනාහි මුළු බරණැස් නුවරම සත්වයින්ට භය ඉපිදවූ මහ තේජස් ඇති ධ්‍රතරාෂ්ඨ නම් නා රජ්ජුරුවන්ගේ පුත්‍ර සුභග නා රජ වෙමියි කීය. එවිට නේසාදයා සිතන්නේ මොහු භූරිදත්ත නා රජ්ජුරුවන්ගේ බෑයෝය. එබැවින් මට අද ගැලවීමක් නොවන්නේයයි මුන්ගේ දෙමව්පියන්ගේ ගුණ කියා හිත මොළොක් කොට ජීවිතය ලබා ගන්නෙමියි සිතා මව්පියන් වර්ණනා කොට මෙබඳු ශ්‍රේෂ්ඨ දරු මුණුපුරුව සිටියාවූ කෙනෙක් මා වැනි දාසයකු දියෙහි ගිල්වා මරන්ට සුදුසු නොවේයයි ජීවිත දානය ඉල්වූයේය. එවිට සුභගයෝ දුෂ්ට බමුණ තෝ මා වංචාකොට මිදෙමියි නොසිතව තාගේ දිවි නොදෙමියි භූරිදත්ත නා රජ්ජුරුවන්ගේ මාර්ගයෙන් නාග භවනයෙහි විදි සම්පත් සිහි කරවා තා කළ මිත්‍රද්‍රෝහී කර්මය දැන් තොට පල දෙවන්නෙමියි කීය. එවිට නේසාදයා මොහු උපායකින් රවටා ගැලවෙමියි සිතා ඔහු අමතා නා රජතුමෙනි ත්‍රිවේදය දත් දක්‍ෂිනාර්ඝ වු බ්‍රාහ්මණයන් මැරීමෙන් තොපට නරකය අත් වන්නේය. එබැවින් එසේ නොකරනු මැනවයි කීය. එවිට සුභගයෝ සැකයට පත්ව මොහු නාග භවනයට ගෙන ගොස් බෑයන් අතින් විචාරා මෝහට කලමනා දෙය දන්නෙම් වේදැයි බොටුයෙන් අල්ලා ගෙන භූරිදත්ත රජ්ජුරුවන් වසන මාළිගා දොරට ගෙන ගියහ.

එකල්හි දොරටුව රකිමින් සිටි කණාරීඨයෝ බොටුව අල්ලගෙන එන බමුණාදැක පෙරමගට ගොස් සුභගයෙනි නොමරව බමුණෝ මහාබ්‍රහ්මයාගේ දරුවෝය. ඉදින් මහබ්‍රහ්මයා දත්තේ නම් කිපී සියළු නාග භවනය නසා පියන්නේයයි තමාත් පෙර අත් බැව්හි බ්‍රාහ්මණයෙක්ව ඉපිද යාග කළ පුරුද්ද නිසා බ්‍රාහ්මණයාගේ ගුණ වර්ණනා කොට මේ ලෝකය කවුරු විසින් මවන ලද්දැයි විචාරා නොදනිමියි කී කල්හි මහා බ්‍රහ්මයා විසින් ලෝකය නිර්මිත කළ අයුරු දක්වන්නේ පළමුකොට බමුණන් ආදී වූ චතුර්‍වර්‍ණයන් මවා ආය්‍ර්‍යවූ බ්‍රාහ්මණයන්ට තෙපි වෙද මන්ත්‍ර හදාරව අන් කිසිවක් නොකරවයිද රජ දරුවන්ට පොළව ජය ගෙන අනුශාසනා කරවයිද වෙළඳුන්ට කෘෂිවණික් ආදිය කරවයිද ශුද්‍රයන්ට ඉහතකී තුන් පක්‍ෂයේ ඇත්තන්ට අත්පා මෙහෙවර කරවයිද සම්මතකොට විධානය කළේය. ඔවුන් අතුරෙන් බ්‍රාහ්මණයන් ශ්‍රේෂ්ඨයහ. එබැවින් බ්‍රාහ්මණයින්ට දන්දීමෙන් වැදීමෙන් පිදීමෙන් සුගතිගාමී වන්නේය.මුචලින්ද, දුදිප, සාගර, අඟු ආදි රජවරු බ්‍රාහ්මණයන්ට පූජා කොට යාග හෝම පවත්වා දිව්‍යලෝකයේ ගිය සැටි විස්තර වශයෙන් දක්වා සුභගය හිමාලය ආදී මහා පර්වත මැවුන හැටි දන්නෙහිදැයි අසා නැතැයි කී කල එසේ නම් අසව පෙර බරණැස් නුවර එක් රජකෙනෙක් බමුණන් අතින් දෙව්ලෝ යන්ට මන් විචාරා දන්දී හිඳීමට ආසන ගල් උළු වලින් බැඳ කරවා දුන්හ. ඒ ආසන පීඨිකාවෝ බමුණන්ගේ ආනුභාවයෙන් වැඩී හිමාලය පර්වතය ගිජ්ඣකූට පර්වතය, සුදර්ශන පර්වතය, නිසභ පර්වතය, කා කනේරු පර්වතය ආදී පර්වත වූහ.

තවද සුභගයෙනි සමුද්‍රය කවර කාරණයකින් ලවන රසයෙන් යුක්තවීද තොප දන්නෙහිදැයි විචාරා නැතැයි කී කල තෙපි බමුණන් මරන්ට මිස මේවා නොදන්නේයයි නින්දා කොට කියන්නේ බමුණෙක් එක් දවසක් පව් සෝදා හරිනු සඳහා ගොඩ සිට මුහුදෙන් පැන්ගෙන තමාගේ ඇඟට දමදමා ජලස්නානය කරන්නේය. ඒ අතර මහ රැළක් අවුත් බමුණාව මුහුදට ගසා ගෙන ගොස් මුහුදු බත් විය. මේ දුටු මහා බ්‍රහ්මයා අතිශයින් කිපුනේ පානය කල නොහැකි වන සේ මුහුදෙහි ජලය ලුණු රස වේවායි අධිෂ්ඨාන කළේයයි තවතවත් බමුණනුත් යාගයත් වර්ණනා කොට කිවුය. ඒ කණාරීඨයන්ගේ සියළු කතා අසා සිටි බොහෝ නාගයෝ මේ කතා සත්‍යමයයි මිත්‍යා දෘෂ්ඨිගත් අයුරු දැක්වූහ. භූරිදත්ත නා රජ්ජුරුවෝද මේ සියල්ල අසමින් ගිලන් ඇඳ මත වැතිරී සිතන්නේ මේ කණාරීඨයෝ මිත්‍යා මාර්ගය වර්ණනා කෙරෙති. එබැවින් උන්ගේ වාදය බිඳ නා පිරිස සම්‍යක් දෘෂ්ටි කෙරෙමියි සිතා යහනින් නැගිට ධර්‍මාසනයෙහි වැඩ හිඳ සියළු පිරිස කැඳවා යාග හෝම, වේද , මන්ත්‍ර කිරීමේ නිසරු බව පෙන්නා කර්මාන්ත කිරීමට ප්‍රයෝජන ගන්නා ගින්න දෙවියෙක් කොට සිතා පුදා දෙව්ලොව යා නොහැකි බව දන්වා ඔවුන්ගේ වැරදි මත දුරුකළ සේක.තවද ධර්‍මදේශනා කරන්නේ මහා බ්‍රහ්මයා මෙලොව මැවූ සේක්නම් ලෝවැස්සන් කුමක් නිසා ප්‍රාණඝාතාදී අකුශල ධර්‍ම හා එක් කොට මැවූ සේක්ද? එසේ නම් ඔහු අධර්මිෂ්ඨයෙකි. සතුන් බිළිදී තමා පිරිසිදු වෙතියි කියති. ඒ වැරදි හැගීමකි. බමුණන්ගේ බස් මුළාවකියි මෙසේ නොයෙක් අයුරින් කණාරීඨයන්ගේ මිථාවාදයන් බිඳ තම මතයෙහි පිහිටවූහ. භූරිදත්ත නා රජුන්ගේ ධර්‍ම කතාව අසා සිටි නාග පිරිස සොම්නසට පැමිණියහ. නෙසාද බමුණාට කිසිදු ගැහැටක් නොකොට මනුෂ්‍ය ලෝකයට ලැවූහ.

සාගර බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝත් පළමු නියම කරගත් පරිදි සිව් සේනාවෙන් යුතුව තපස්වීව සිටි රජ්ජුරුවන් සමීපයට ගියහ. භූරිදත්ත නා රජ්ජුරුවෝද මල්බෑයන් හා දෙමව්පියන් සමඟ තම මුත්තණුවන් හා මයිලණුවන් බැලීමට යමුනා නම් වූ ගංගාවෙන් උඩ නැගී පන්සල බලා ගොස් ඔවුනොවුන් හමුව අඬා වැලප ප්‍රීතිවී නික්ම නැවත නාග භවනයට වන්හ. සමුද්‍රජාවෝ නොබෝ දිනකින් නාග භවනයෙහිදී සවර්ගස්ථ වූහ. භූරිදත්ත නා රජ්ජුරුවෝ දිවි පමණින් සිල් රැක ස්වර්ග ලෝකයෙහි උපන්හ.

එසමයෙහි දෙමවුපියෝ නම් දැන් සුද්ධෝදන රජු හා මහාමායා දේවිය. නේසාද බමුණා නම් දෙව්දත් තෙරුන්ය. සෝමදත්තයෝ නම් ආනන්ද තෙරුන්ය. අච්චිමුඛී නම් උත්පලවර්ණ මහා ස්ථවීරිය. සුදර්ශන, සුභග, කණාරීඨ යන නා රජවරු පිළිවෙලින් සැරියුත්, මුගලන් අගසව් දෙනම හා සුනක්ඛත්ත ලිච්චවී පුත්‍රවිය. භූරිදත්ත නා රජ්ජුරුවෝ නම් බුදුරජාණන් වහන්සේය.

 

 

උපුටා ගැනීම – www.jathakakatha.lk

 

529 උම්මග්ග ජාතකය
527 භුරිදත්ත ජාතකය

Leave a Reply

Your email address will not be published.

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.