523 සාම ජාතකය

තිලෝගුරු බුදුරජාණන් වහන්සේ මව්පියන්ට උවටැන් කරන එක් භික්‍ෂුවක් අරභය මේ ජාතකය වදාළ සේක.

සැවැත් නුවර අසූ කෙළක් ධනය ඇති එක් සිටු පුත්‍රකේ මව්පියන්ට අතිශයින් ප්‍රිය කරන්නේ ඒ දෙදෙනාට අවශ්‍ය උවටැන් සියල්ලක්ම තමා අතින් ඉටු කරන්නේය. හේ දිනක් බුදුන් හමුවට ගොස් බණ අසා මහණවනු කැමතිව ඉතා දුකසේ මව්පියන්ගෙන් අවසර ලබගෙන පැවිදිව ආරණ්‍යසේනාසනය පැමිණ දොළොස් අවුරුද්දක් උත්සාහ කොටත් කිසියම් ගුණ විශේෂයක් උපදවාගත නොහැකි විය.

උන්වහන්සේ මහණ වූ තැන් පටන් මව්පියන් දෙදෙනා ක්‍රමයෙන් දුක්පත් බවට පැමිණියාහුය. වස්තුව එකිනෙකා අත්කර ගත්හ. දැසිදස් ආදීහු මුතුමැණික් ආදී දේ රැගෙන පළා ගියහ. මෑත භාගයෙහි පැන් බිඳකුදු ලබා ගැනීමට තරම් කිසිවෙගෙන් සහායක් නොලැබ කිලිටි කඩමාලු හැඳ කබල් ගත් අත් ඇතිව සිඟා කා අවිඳින්නාහුය.

එකල එක් භික්‍ෂුවක් සැවත ජේතවනාරාමයෙන් පිටත්ව ක්‍රමයෙන් ගොස් ආරණ්‍යවාසී භික්‍ෂූව සිටිනා පන්සලට වැඩිසේක. එහිදී තම දෙමව්පියන්ගේ දුක්ඛිත තත්වය දැනගත් එම භික්‍ෂුව මට මේ මහණ කම්න් කම්නැත. මාර්ගයක් හෝ ඵලයක් ලබා ගැනීමට තවමත් නොහැකි විය. මම ගිහි වී මව්පියන් ආරක්‍ෂා කර ගනිමියි එතැනින් පිටත්ව සැවැත් නුවරට පැමිණ ජේතවනාරාමය අසලදී බුදුන් දැක යමියි සිතා එහි ගොස් බුදුරජාණන් වහන්සේ මාතුපෝසක සූත්‍රයෙන් දෙසු ධර්මය අසා මට ගිහි නොවී මෙසේ පැවිදිව සිටම මව්පියන් රක්‍ෂා කෙරෙමියි සිතා දෙවන දවස් උදෑසනම හිස්අතින් නොයායුතු ෙහෙයින් හුළුකැද ගෙන මව්පියන් පළමු විසූ ගෙදරට ගිය සේක. ඒ වෙලාවට මම්පියෝ කැඳ සිඟා ඇවිද ගොස් වෙහෙසී ඒ අසල වැටී උන්නාහුය. ඔවුන් දැක ළඟට ගොස් මව්පියන් දෙදෙන අස්වසා කැඳ අනුභව කරවා පිඩුසිඟා ගොස් ආහාරරද වළඳවා එක්තැනක හිඳුවා එතැන් පටන් පෝෂ්‍ය කෙරෙති. වස්ත්‍රද සොයා දෙන සේක. මේ බව දැනගත් භික්‍ෂූන් වහන්සේලා ඒ බව බුදුරජාණන් වහන්සේට දැන්වූහ. බුදුරජාණන් වහන්සේ ඒ භික්‍ෂුව ගෙන්වා සැබෑදැයි ගෙන්වා ඒ ක්‍රියාව වර්ණනාකර තුන් විටක් සාදුකාර දී තෙපි මා ගියාහු මාර්ගයේ ගියාහුයයි දක්වා මේ පිළිබඳ ඉකුත්වත වදාළ සේක.

යටගිය දවස බරණැස් පිලියක් නම් රජ කෙනෙක් රාජ්‍ය කරන සමයෙහි බරණැසට නුදුරු ගංඟාවෙක් විය. ඒ ගඟ එතෙර සහ මෙතෙර පන්සියයක් බැගින ගෙවල් ඇති වැදි ගම් දෙකක් වූහ. ඒ ගම් දෙකෙහි ප්‍රධානියෝ දෙදෙනාගේ කතිකාව අනුව එක් ප්‍රධානියෙකුගේ දූකුල නමි කුමාරයන් අනෙක් ප්‍රධානියාගේ පරිකා නම් කුමාරිය සමඟ ආවාහ විවාහ කර දුන්හ. ඒ දෙදෙනා බඹ ලොවින් චුතව පැමිණ උපන් හෙයින් කාම අදහස් ඔවුන් තුල නොවීය. එබැවින් ඔවුන් දෙදෙනා අඹු සැමියන් මෙන් එක් නොවී වාසය කළහ. ප්‍රාණවධ ආදිය ද නොකෙරති. එවාට හවුල්ද නොවෙති. කල්යෑමේදී ඔවුන් දෙදෙනා මව්පියන්ගෙන් අවසර ගෙන මිගසම්මත නම් ගඟ අද්දරට ගොස් ශක්‍රයා විසින් මවා දෙන ලද තවුස් පිරිකර ගෙන මහණව එම පන්සලෙහිම මෛත්‍රී භාවනාව කෙරෙමින් විසූහ. ඔවුන්ගේ අපස්ථානයට නිතර එන ශක්‍රයෝ ඒ දෙදෙනාගේම ඇස් අන්ධ වීමට අන්තරායක් දැක දූකුල පණ්ඩිතයන් කරා එළඹ ස්වාමීනි, නුඹ වහන්සේලාට එක් අන්තරායෙක් පෙනෙයි. එබැවින් මතු රක්නා පිණිස පුත්‍රයෙක් ලබන්ට වටනේය. එසේ හෙයින් ලෝකධර්මය සේවනය කළ මැනවැයි කීහ. දූකුල පණ්ඩිතයන් වහන්සේ එය ඉතා පිළිකුල් කොට ප්‍රතික්‍ෂෙප කළ කල්හි එසේ නම් පාරිකාවන් මල්වර වූ කල අතින් නාභිය පිරිමැද්ද මැනවයි කීහ. තාපසයෝ මැනවයි එය ඉවසා එසේ කොට දසමස් අවෑමෙන් බිසව පුතෙකු වැදුවාය. ස්වර්නයකට බඳු රූ දරන හෙයින් ඒ කුමාරයාට සාම කුමාරයෝ යයි නම් තැබූහ. මෑනියෝද පර්වත අතරේ වෙසෙන කින්නරාඞගනාවෝද ඒ කුමාරයන්ට කිරි මව් කම් කෙරෙති.

ක්‍රමයෙන් කෙළ ඇවිඳිනා වේලේ සිවුපා සතුන් හා මිතුරුව වනයේ ඇවිදිනා වේලේ සිව්පා සතුන් හා මිතුරුව වනයේ ඇවිද කල් යවන්නාහ. මෙසේ සොළොස් හැවිරිදි වූ කල සාම කුමාරයන් තවුස් වෙස් ගන්වා පන්සලේ නවතා මව්පියන් දෙදෙනා වනයට ගොස් පළවැල ගෙනවුත් රක්‍ෂාකරන්නාහ. දිනක් මව්පියන් දෙදෙනා පලවැල සදහා වනයට ගියාහු අකල් මේඝයක් හට ගත්තෙන් ඒ දෙදෙන ගසක් මුල තුඹසක් පිට සැකනැතිව සිටි කල්හි ඔවුන් ඇගින් තෙමී බට ඩාදිය බින්දු ඒ හුඹස් කට ඔත් නා රජුගේ නාසා පුටයේ වැගුරුනේය. එයින් කිපුණු නා රජු විෂධූමයක් යවා ඒ දෙදෙනාගේ ඇස් සතරම අන්‍ධ කළේය. ඔවුන් දෙඅත් අල්වාලෙන හඩා වැලප සවස් වනතෙක් පන්සලට යා ගත නොහැකි වූයේ ඔබිමොබ සක්මන් කරමින් කල් යැවූහ. සවස් වන තෙක් සිටි සාම කුමාරයෝ තම මව්පියන්ගේ ප්‍රමාදය දැක පෙරමගට ගොස් බලා ඇස් අන්‍ධ වූ මව්පියන් ඈත එනවා දැක ඉතා දුකින් දික් ලීයක් අල්වා ගන්නට සලස්වා තුඹය සමීපටය කැඳවා ගොස් කරුණු පරීක්‍ෂා කර බලා තතු පහදා ගෙන අඩා වැළප එකවරම සිනාසුනේය. ඒ දෙදෙනා කුමාරයා සිනාසෙනු අසා ඊට කාරණා විචාළහ. ඔබ දෙදෙනා වහන්සේට මෙතැන් පටන් උවටැන් කිරීමේ භාග්‍ය මම ලද්දෙමි. එබැවින් සිනාසුනෙමියි දන්වා එතැනින් මව්පියන් දෙදෙනා පන්සලට කැඳවා ගොස් එතැන් පටන් සියළුම උවටැන් කරමින් කිසි දුකක් නොදී පෝෂ්‍ය කරන්නාහ.

එකල බරණැස් නුවැර රජ මුව දජයමෙහි යන්නේ මගසම්මත නම් ගඟ දැක එහි බැස නා ගිම් නිවා ඒ අවට බලනුයේ එ පන්සල සිට ගඟට එන මුවන්ගේ පා සලකුණු දැක දුන්න තරයේ ඇද විෂ පෙවූ ඊයක් අතින් ගෙන සැගවී සිට මුවන් පිරිවරා ගෙන පැන් ගෙන ඒමට ගඟට එන සාම කුමාරයන් දැක මීට පෙර කිසි දිනක මෙබදු රූපයක් නොදුටුවිරූ හෙයින් කවුරුන් බවත් නොදැක මොහු විද ඔබලත් වූ කල විචාරා ගනිමි සිතා උරපුරා ඇද විෂ පෙවූ හීය යැවීය. එය කුමරාගේ වම් ඇලයෙන් ඇතුල් වී දකුණු ඇලයෙන් පිටවී බිම සැඟවුණේය.

එකල්හි කැටුව සිටි මුවෝ මරණ භයින් තැතිගෙන පැන දිවූහ. ඒ ශරපහර ලත් සාමකුමාරයෝ බිම වැටෙන වේලෙත් මව්පියන් සිටින දිශාව බලා එදෙසට හිස නමා රන් පිළිමයක් මෙන් වැල්ලේ මදහොත්තේ මදක් සිහිඑලවාගෙන විදි කෙනෙකු නොදැක කියන්නේ උපන් තැන් පටන් මේ දක්වා අඛණ්ඩ අෂ්ටාඞගසීලය රක්‍ෂා කොට දසපින් කිරියවත් පුරා මෙත් වඩා දවස් යවන හෙයින් මට මේ වෙනෙහි සතුරුව ඉන්නා කෙනෙකුන් නැත. එසේ වූ මාගේ මිනී මසින් ප්‍රයෝජනයකුත් නැතිව නිවැරදිව වූ මා විදලා කුමට සැඟවුණුද? යනාදින් කියන නොයෙක් බැගෑ තෙපුල් අසා සැඟවී සිටි පිළියක් රජ කොටුපතින් එලිබැස සාමයන් ලඟව ගොස් සියළු තොරතුරු අසා ඉවසා ගත නොහැකි ශෝකයෙන් යුතුව මව්පියන් කැඳවා ගෙනු එනු සඳහා පන්සල බලා පිටත් වී ගියහ. ඒ වේලාවේම සාම කුමාරයන්ගේ නෙත් පියවී අතපය විසිරී අවමඞගල්‍ය වේශයෙන් ඇතිවිය. ඒ සාමයන්ට සත්වැනි ජාතියෙහි මවු වූ බහුසොදරී නම් දෙව් දුවක් වැදහොත් සාම කුමාරයන් දැක වහා එහි පැමිණ රජහට භය ගන්වා මොහුගේ දෙමාපියන් මෙතැන් පටන් රකුවයි රජහට භාරකොට සාමයන් රැකවල් ලා ගෙන සිටියදී පිළියක් රජ පැන් කලයද ගෙන පාසටහන් අනුව පන්සල සොයා ගියහ. අඳ මව්පිය දෙදෙන පිටතින් එන පා හඩ අසා සාමයන් නොවන බව දැන කවුරුන්දැයි විචාරා පිළියක් රජ යයි කී කල්හි තෙල පන්සල හිද මිහිරි පලවැල වලඳවයි කී විට එය පසුව හැක්කේ යයි සාම නුමාරයන්ට සිදු වූ අනතුර කියන්නාම අඩා රජ්ජුරුවන්ගේ පා මුල ඇද පෙරළී කුමාරයාගේ ගුණ කියමින් වැලපෙන්නට වූහ.

ඉක්බිති රජ්ජුවන් ඔවුන් ලවා සැරයටිය අල්වා ගෙන සාම කුමාරයන් වැදහොත් තැනට ගෙන ගොස් තොපගේ පුතණුවන් බලනුවයි අත අල්වා පෑ කල්හි මහත් ශෝකාග්නියෙන් අඩා දෙපා මෑණියන් තුරුල්ලේ ද හිස පියාණන් තුරුල්ලේද තබාගෙන ලෝකපාල දෙවියන්ට යැද ලෙහි අත තබා පණ කඳ සැඟවුණු බව දැන නැවතත් සත්‍ය ක්‍රියා කරන්නාහු. මාගේ පුතණුවෝ උපන් තැන් පටන් ජිවිතාන්තය දක්වා අඛණ්ඩ වූ බ්‍රහ්මචර්යාව රක්‍ෂා කළේ සැබෑවීනම් ඒ සත්‍ය ක්‍රියාවෙන් ද මහණ වූ තැන් පටන් අද දක්වාම නොකඩවා රැකි අෂ්ටාඞග ශීලයේ බලයෙන්ද වහා සුවපත් වේවායි කීහ. එම සත්‍ය ක්‍රියා බලයෙන්ද ඒ වෙනෙහි දෙවියන්ගේ බලයෙන්ද සාම කුමාරයෝ සිහි ලැබ වැදහොත් ඇලයෙන් දෙවන ඇලයට නැමුන කල්හි පියාණන් වහන්සේ්ද එසේ සත්‍ය ක්‍රියා කළහ. එවිට දෙවන ඇලයෙන් නැගී වැදහොත්හ. බහුසොදරී දිව්‍යාඞගනාවගේ සත්‍ය ක්‍රියා බලයෙන් දෙමව්පිය දෙදෙනාගේ ඇස් ලැබීමද සාමයන්ගේ දිවි ලැබීමද දිවිසුරු උදාවීමද මේ තුන් කාරණය එක විට සිදු විය.

එකල්හි පිළියක් රජු නම් දැන් ආනන්ද ස්ථවිරයෝය. දිව්‍ය ස්ත්‍රී නම් උපුල්වන් මහ ස්ථවිරිය. ශක්‍රදේවේන්දායෝ නම් අනුරුද්ධ මහ ස්ථවිරයෝය. පියාණෝ නම් මහා කාශ්‍යප ස්ථවිරයෝය. මෑණියෝ නම් භද්දකාපිලානීය. සාම පණ්ඩිතව උපන්නේ බුදුරජාණන් වහන්සේය.

 

 

උපුටා ගැනීම – www.jathakakatha.lk

524 නිමි ජාතකය
522 මහාජනක ජාතකය

Leave a Reply

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.