Skip to main content

517 මහා හංස ජාතකය

ඓහලෞක්ක පාරලෞකිකාර්ථයෙන් අනුශාසනා කොට සියළු සත්වයන් ස්වර්ග මෝක්ෂ සම්පතට පමුණුවන හෙයින් ශාස්තෲ නම්වු සර්වඥරාජොත්තමයානන් වහන්සේ බිම්සර රජ්ජුරුවන් විසින් කරවා පිළිගන්වන ලද වේළුවනාරාමයෙහි දවස්යවා වදාරණසේක. ආනන්ද මහතෙරුන් වහන්සේ විසින් බුදුන් උදෙසාම ජිවිත පරිත්‍යාග කිරීම අර්ථොත්පත්තිය කොට මේ මහා හංස ජාතක ධර්මදේශනාව වදාළසේක.

මෙහි වර්ථමාන කථාව යට චුල්ල හංස ජාතකයෙහි කථාව හා සදෘශ වන්නේය. මේ ජාතකයෙහි අතීත කථාව ගෙනහැර දක්වන්නාහු සර්වඥයන් වහන්සේ,
එඹා මහණෙනි යටගිය දවස බරණැස් නුවර සෙය්‍යංසක නම් බරණැස් රජ්ජුරුවන්ගේ ඛේමා නම් අගමෙහෙසුන් බිසෝකෙණෙක් වූය. එකල්හි පුරණලද බෝධිසම්භාර ඇති මහබෝධිසත්වයෝ හංස ජාතියෙහි ඉපිද අනු දහසක් හංසයන් පිරිවරා චිත්‍රකූට පර්වතයෙහි වසන්නාහ. ඉක්බිති එක් දවසක් ඛේමා නම් බිසව් අළුයම් රාත්‍රියෙහි ස්වප්නයක් දක්නාහු රන්වන් හංසයෝ දෙදෙනක් අවුත් සිංහාසන මස්තකයෙහි හිඳ මිහිරිවූ කටහඬින් බණ කියති තුමුත් සාධුකාරදිදි බණ අසමින් ඉන්දදීම රාත්‍රිය ඉකුත්විය හංසයෝ බණකථාව කියා සන්ධි නොගලපා සී මැදුරු කවුළුවෙන් පිටත්ව නික්මුණාහුය. එකල බිසව් හංසයන් අල්ලවයි කියමින් මහත් වේගයෙන් දැත දික්කොට පුබුදිමින් දෑත දික්කොටගෙණ නැගීසිටියාහ. බිසවුන්ගේ මෙබස් අසා පරිවාරස්ත්‍රීහු හංසයෝ කොයිද කොයිදැයි කියා මදක්වෙහෙසුය. එවෙලෙහි බිසවු මාදුටුයේ ස්වප්නයෙන් වේදැයි සිතා ඒකාන්තයෙන්ම මා නැත්තක් නොදකිමි. මේ ලෝකයෙහි රන්වන් හංසයෝ ඇත්තාහුය. ඉදින් මම සවර්ණ හංසයන්ගෙන් බණ අසන්නා කැමැත්තෙමි. රජ්ජුරුවන් වහන්සේට දැන්වීනම් අප විසින් රන්වන් හංසකෙණෙකුන් දුටු විරූ නැත තිරිසන් වු හංසයොත් මනුෂ්‍යයන්ට දැනෙන ලෙස කථාවක් කෙරෙද්ද මේ ඇත්තෙක් නොවෙයි කියා මා කිවා සරුවක් නොකරණසේක. රන්වන් හංසයන්ගෙන් බණ අසන දොලෙක් උපනැයි කියන්නම් යම්කිසි උපදෙසකින් පරීක්‍ෂාකොට ගෙන්වන සේක. එකල්හි මාගේ මනෝරථය සිද්ධවන්නේයයි ස්වප්න දුටුවෙලෙහි පටන් බිසවුන් කිසිවක් නොකියා ගිලන් ආකාර දක්වා මා විචාල කෙනෙකුන්ට ලෙඩ නියාව කියවයි නියෝගකොට පරිවාර ස්ත්‍රීන්ට නියෝගකොට ලෙඩවි වැදහොත්තීය.

රජ්ජුරුවෝ සිංහාසනයේ උන්නාහු රාජසේවයට එනවෙලෙහි බිසවුන් නොදැක ඛේමා දේවි කොයිදැයි විචාරා ලෙඩහයි යනු අසා යුහුව උනස්නෙන් නැගී බිසවුන් සැතපුණු ගබඩ වට ගොස් යහණෙහි එක් ඇලයෙක ඉඳ අතින් පිට පිරිමදිමින් බිසවුනි කෙසේවු අපාසුවෙක්දැයි විචාළාහ

එකල බිසව් දේවයන් වහන්ස මට අනික් අපාසුවෙක් නැත දොලෙක් උපනැයි කිවුය. ඒ අසා රජ්ජුරුවෝ සමාධිව බිසවුනි යමක් කැමැත්තාහු නම් ඇසිල්ලකින් ගෙන්වාදිලමි කීහ.
එකල බිසවු කැම්පිම් ආදි කිසිවක් නිසා උපන් දොලෙක් නොවෙයි නගනලද සේසත් යට පනවන ලද සිංහාසන මස්තකයෙහි හිඳ බණකිය්නාවු ස්වර්ණ හංස රජ්ජුරුකෙනෙකුන්ට සුවඳින් මලින් පූජාකොට සාධුකාරදිදි බණ අසන්නා කැමැත්තෙමි ඉඳින් බණ අසන්නට ලදින්නම් යහපත නොලදිත් නම් මාගේ ජිවිතය තිබෙන නොසිතුව මැනවැයි කීහ.

එකල්හි රජ්ජුරුවෝ ඉදින් මනුෂ්‍යලෝකයෙහි ඇත්නම් ලබව නොලබමියි සෝක නොකරවයි බිසවුන් අස්වසා ශ්‍රියහන් ගෙන් පිටත්ව අමත්‍යයන් හා සමග මන්ත්‍රණය කරන්නාවූ එඹා අමාත්‍යයෙනි ඛෙමා නම් බිසවුන් රන්වන් හංසයකුගෙන් බණ අසන්නට ලදින්නම් ජිවත්වෙමි නොලදින් නම් රැකියා නොඑමි කියති. කිමෙක්ද රන්වන් හංසයෝත් ඇද්දැයි විචාළාහ. එකල අමාත්‍යයන් විසින් දේවයන් වහන්ස හිමාලය වනයෙහි චිත්‍රකූට පර්වතය ඇසුරු කොට රන්වන් හංසයෝ වෙසෙති මුඛ පරම්පරාවෙන් කියා එබස විචාරත් දනිමියි කීවාහ

එකල රජ්ජුරුවෝ ඒ හංසයන් අල්වන්ට නිසි උපදෙසක් දනිද්දැයි විචාරා නොදනිමුය කී හෙයින් එකල්හි නුවණැති බමුණන් ගෙන්වාගෙණ රන්වන් හංසයන් චිත්‍රකූට පර්වතයෙහි වාසය කෙරෙති ඇසුම්හයි උන් අල්වා ගෙන්වා ගන්නා උපදෙසක් දනුදැයි විචාළාහ. එකල බ්‍රාහ්මණයෝ මහරජ මිනිසුන් යවා ගෙන්වාගනුම්හයි ආයාස නොගත මැනවැයි උපදෙසයකින් හංසයන් මෙනුවර ආසන්නයට ගෙන්වාගෙන ක්‍රමයෙන් අල්වාගනුම්හයි කීහ.

කවර උපදෙසක්දැයි විචාළ මහරජ නුවරට උතුරුදිග තුන්ගව්වක් පමණ දිග පලල ඇති ඛේමා නම් විලක් ඇතිකොට දියපුරවා නොයෙක් ධන්‍ය ජාතීන් ඇතිකොට පංචචණී පද්මයෙන් සජ්ජිතකරවා නුවනැති එක් වැද්දක් හට පාවාදී මනුෂ්‍ය නෙනෙකුන් විල ආසන්නයට ආනොදි උදෑසන සවස විලසතර කොනෙයෙහි සිට කේමා නම් විලට සියළු පක්‍ෂින් ඇවිදින් කැමති සැටියේ ගොචර ග්‍රහණයකොට වාසය කළයුතුය. කිසි කෙනෙකුන්ගෙන් උපද්‍රව නොවන්නේයයි ඝෝෂාකරවුවමැනව එසේකල්හි නොයෙක් පක්ෂිහු රැස්වෙති එරන්වන් හන්සයොත් පරම්පරාශ්‍රූතියෙන් එවිල නිර්භය නියාව අසා සැකනැතිව එන්නාහුය. එකල හංසයන් මලින් බැඳ ගෙන්ාවගත මැනවැයි කීහ.

එබස් අසා රජ්ජුරුවෝ බමුණන් කිතෙනම කියන ලද ප්‍රමාණ ඇති විලක් කරවා නොයෙක් ගොචරයක් සමුර්ධිකොට දක්‍ෂවු වැද්දන් හට පාවාදී දහසින් බඳ පියල්ලක් දී ඔහු සනොතාෂකොට තෝ මෙතැන්පටන් තාගේ ක්‍රියාවෙහි ඇවිද දුක්නොවිද තොපගේ අඹු දරුවන්ට උවමනා බත් පිලි ආදීවු රැකීමත් මට භාරය නොපමාව තෝ ඛේමා නම් විල රකිමින් මනුෂ්‍යකෙනෙකුන් ලංවියනොදී ඒ ඒ ස්ථානයෙහි ඛෙමා නම් විලට ආ පක්‍ෂි කෙනෙකුන්ට කිසි භයෙක් නැත්තේයයි ඝෝෂා කෙරෙමින් ඒ ස්ථානයෙහි වාසයකොට ආ පක්‍ෂි කෙණෙකුන් ඇත්නම් මට කියාලව රන්වන් හංසයන් ආනිසාද කී දවස් තට බොහෝ සම්පත් දෙමියි අස්වසා ඛේමා නම් ිවල වැද්දහුට පාවාදුන්හ.

එවැදිත් එතැන්පටන් රජ්ජුරුවෝ කී සැටියේ පිළි පැදත් විල රකිනේය. එතැන්පටන් ඛේමා නම් විල රකිනහෙයින් වැද්දහුත් ඒ නමින් ප්‍රසිද්ධ විය. එතැන් පටන් අනෙකප්‍රකාරවූ පක්‍ෂි සමූහයා එවිලට අවුත් ගොචර අනුභවකොට තමන් තමන්ගේ වාසස්ථානයට ගොස් ගෝචර සම්පන්නවු ඛේමා නම් විල නිරුපද්‍රවයයි වර්ණනාකොට කියන්නාහ.මෙසේ පැවති පරම්පරා ඝෝෂාව අසා පළමුවෙන් තෘණ හංසයො අවුය. උන්ගෙන් අසා පාඩු වර්ණ හංසයෝ අවුය. උන්ගේ කීමෙන් රන්සිරියෙලහි පැහැසමානවූ රන්වන් හන්සයො අවුය. උන්ගේ කීමෙන් රන්සිරිලෙහි පැහැසමානවූ රන්වන් හන්සයො අවුය. උන්ගේ බසින් සෙවත හංසයෝ අවුය. උන්ගේ ඝෝෂායෙන් පාක හංසයෝ අවුය උන් ආ ඉක්බිති ඛෙමා නම් වැදි රජ්ජුරුවන් කරා ගොස් දේවයන් වහන්ස පංචවර්ණ හංසයෝ අවුත් විල ගොදුරු අනුභව කෙරෙති පාක හංසයන් කී බැසින් අනික් කීප දවසකින් සවර්ණ හංසයෝ එති එහෙයින් සැක නොකළ මැනවැයි කීයේය.

ඒ අසා රජ්ජුරුවෝ අනික් කිසි මිනිස්කෙනෙකුන් එවිල සමීපයට නොයායුතුය. ඉදින් ගිය කෙනෙකු ඇත්නම් අත්පාකම් නොහොත් ගෙවල් කොල්ලකෑම් ආදී ව්‍යවසනයට පැමිණෙන්නේයයි බෙරලුහෙයින් කිසි මනුෂ්‍ය කෙනෙකුන්ගෙ සංචාරයෙක් නැත්තේය.

චිත්‍රකූටයට ආසන්නයෙහි රන්ගල් ගුහාවෙක පාක හංසයෝ වෙසෙති ඔවුත් මහත්වු කායබල ඇත්තාහ. ධ්‍රුතරාෂ්ට්‍ර නම් හංසයන් හා ඔවුන්ගේ ශරීර වර්ණය විවරෙක් වෙනස ඇත්තෝය. එහෙයින් පාක හංසරජ්ජුරුවන්ගේ දියණිකෙනෙක් රන්වන් පෑ ඇත්තාහ. එසේහෙයින් මාගේ දියනියෝ ධ්‍රතරාෂ්ට්‍ර හංස රජ්ජුරුවන් වහන්සේටම සුදුස්සහයි උන්ට පාද පරිචාරිකා කොටගෙන දෙකුලෙහි හංසයෝ ඔවුනොවුන්ට ඉතා විස්වාසීව ඉඳිනාහුය.

ඉක්බිති එක් දවසක් බෝධිසත්වයන්ගේ පරිවාර හංසයෝ පාක හංසයන්ට තෙපි හැම මෙතෙක් දවස් කොයි ගොසින් ගොදුරු අනුභව කළාහු දැයි විචාළාහ. ඒ අසා පාක හංස රජ්ජුරුවන්ගේ සේවක හංසයෝ බරණැස් නුවරට නුදුරුතෙන ඛෙමා නම් විල ගොදුරු ඉතා සුලභය. ඊගොස් ගොදුරු අනුභවකොට ආම්හ. එවග තෙපි හැම කොයි ඇවිදුද එවිල ඉතා සිත්කළුය හංසචක්‍රවාකසාරසාදී නොයෙක් පක්‍ෂින් විසින් ගැවසීගත්තේය. පංචවර්ණ පද්මයෙන් හා නොයෙක් ධ්‍යානජාතියෙන් සමෘද්ධිය පඤවර්ණි හංසයන් විසින් මකරන්‍දග්‍රහණය කොට සන්තෝෂයෙන් කුල්නාලද්දේයයි සතරකොන සිට නිරන්තරයෙන් පවත්නා අභය ඝෝෂා ඇත්තේයයි එසේහෙයින් එවිල සමීපයට ලංවෙනකෙනෙක් නැත අනික් උපද්‍රවයෙක් කැලම නැත්තේය යනාදීන් එවිල ඇති ගුණ වර්ණනාකොට කීහ.

ඒ හංසයෝ තමන් ඇසු ප්‍රවෘත්තිය සුමුඛ නම් හංස සේනාධිපතීන්ට කිවුය. ඔහු එපවත් හංස රජ්ජුරුවන්ට කිවුය. ඒ අසා සවර්ණ හංස රජ්ජුරුවෝ මනුෂ්‍යයෝ නම් බොහෝ මායම් හා උපාය දන්නාහුය. මෙතෙක් කල් මෙනම් විලෙක් නැත්තේය, කාරණයක් නිසා අමුතුව ඇතිකරණලද ඒකාන්තයෙන් අප හැම අල්වාගන්නා පිණිස කරණ ලද්දේවනැයි සිතා එම්බා සුමුඛයෙනි එවිල නම් උදක් සැඳැහැයෙන් කළදෙයක් නොවන්නේය. මනුෂ්‍යයෝ නම් තීක්ෂණ මන්ත්‍රීව උපායක් දන්නාහ. එසේහෙයින් එවිලට ගොසින් ගොදුරු අනුභව කරම්හයි නොසිතව තොප හැම මෙතෙක් දවස් ගොදුරු අනුභව කරණ තෙනටම ආලය කරවයි කීහ.

එතැන් පටන් සව්රණහංසයෝ ඛේමා නම් විලට ගොස් ගොදුරු කන්නා කැමැත්තම්හයි දෙතුන්වැනිවත් සුමුඛ නම් සේනාධිපතීන්ට කිවුය. උයිත් හංසයන් එවිලට යනුකැමතිව දෙතුන්වැනිව පෙරැත්ත කියන නියාව බෝධිසත්වයන්ට කීහ.

එකල මහාබෝධිසත්වයෝ මාගේ බන්ධුහු මා නිසා පීඩා නොවි ඉදිත්වයි හැමදෙනාම තත්පරවු පසු යහපත නික්වෙත්වයි අනුදහසක් හංසයන් පිරිවරා එවිලට ගොස් ගොදුරු අනුභව කොට හංස ක්‍රීඩා කෙළ නැවත චිත්‍රකූට පර්වතයටම ගියාහ.

ඛේමා නම් වැදිත් ඒ සවර්ණ හංසයන් ගොදුරු අනුභව කොට ගිය කල්හි එපවත් රජ්ජුරුවන්ට කියේය. ඒ අසා සතුටුව රජ්ජුරුවෝ සබඳ ඛෙමය හංසයන් එකකු හෝ දෙන්නකු අල්වාගනිත්නම් තට බොහෝ සම්පත් දෙමි කියා කී බසට සතුටුව පඬුරුදී වැද්දහු නික්මවුහ. එවැදිත් සතුටුව විලට ගොස් ත ලියක ඉඳ හංසයන් ගොදුරු අනුභව කරණ තැන් පරික්ෂා කරන්නේ බෝධිසත්වයෝ ගොදුරු අනුභව කිරීමෙහි ස්වභාවයෙන්ම ලොල් බවක් නැත්තාහුය. එහෙයින් මහාබෝධිසත්වයෝත් ගෙපිළිවෙලින් සිඟා සපදානචාරිකාංගය පුරණ භික්ෂූ කෙනකුන් වහන්සේ මෙන් විලට බැසපු තැන් පටන් පන්තියෙන් ඇල් අනුභවකිරීමෙන් යෙති සෙසු හංසයෝ ඇතමෑත ඇවිද කන්නාහ. මූ ඒ දැක ලොළුප්පවාරයක් නැතිව හැමදවස්ම පන්තියෙන්ම කාගෙනයෙති මුන් බදාගත හැක්කැයි සිතා දෙවෙනි දවස් හංසයන් විලට නෙඑනතුරුම තාලියෙන් එතනට ගොස් නුදුරුතන්හි හංසයන්ගේ ඊම සැල සිදුරෙන් බලාගෙන උන්නේය. එකල්හි මහාබෝධිසත්වයෝ අනුදහසක් හංසයන් පිරිවරා ඊයේ දවස් ගොදුරු අනුභව කළ සීමාවට බැස ගොදුරු කන්ට පටන්ගත්හ

එකල්හි සැලසිදුරෙන් බලාගෙන උන් වැදිපුත්‍රතෙම රූපයෙන් අග්‍රප්‍රාප්ත බෝධිසත්වයන් දැක මේ හංසරජ්ජුරුවෝ බන්ධුගැලක් සා පමණ මහත ඇත්තාහ. රන්වන්වු පෑයෙන් හා කරවටකොට රන් රේඛා තුනක් පිට ඔස්සේ තුනක් ඇතුළුවූ රන් ගිරින් පරික්‍ෂිප්තවූ මහබෝධිසත්වයෝ රන් පලස් හුයින් කරණලද සැලෙක් තුබූ රන් පිඩවල්ලක්සේ ඉතා බබලන්නාහු මේ කාරණයෙන් මුන් හංසයන්ට රජ්ජුරුවන්වුවමැනව මුන්ම අල්වමි සිතූයේය.

එකල හංසරජ්ජුරුවෝත් යපෙන විවර ගොදුරු කා දිය කෙළිනා කළ හංස සමූහයා පිරිවරණ ලදුව චිත්‍රකූට පර්වතයට ගියාහ. මේ නියායෙන් සත් දවසක් ගොදුරු අනුභව කළාහ. සත්වෙනි දවස් වැදිපුත්‍රතෙම කළුගස් හීලයෙන්ද ලනුවක් අඹරා උගුළු මලක්කොට සෙට හංසරජ්ජුරුවෝ අසවල් තෙනට බස්නාහුයයි තත්වයෙන් දැන දිය ඇතුලෙහි උගුළුමල එබූයේය. දෙවැනි දවස හංසරජ්ජුරුවෝ ඇවිදින් බස්නාවු මල ඇතුලෙහි පය ඔබාගෙන බටහ.

එකල්හි බෝධිසත්වයන්ගේ පය යහපතකින් වෙලාගත් පරිද්දෙන් මල බැඳි ඇසිර ගියේය. එසඳ මල කඩාගනිමියි වෙග උපදවා ගසා ඇදලූයේය. රන්වන් සම ඉපිට ගියේය. දෙවැනිවත් රත්වු මාංස කැඩිගියේය. තුන් වෙනිව නහර කැඩි වෙන්ව ගියේය. සතරවැනිව මලගසලා ඇද්දහොත් පය කැඩී යන හෙයින් රජව සිටුයවුන් විසින් අසථානයේ ජිවත නසාගැන්ම කටයුතු නොවෙයි සිතා මලකැඩීමට උත්සාහ නොකොට දුටුවක් දකිමියි වැදහුන්නාහුයුය. බලවත්වු දුක්ඛ වේදනා උපන්නේය. එකල්හි මහ බෝධිසත්වයෝ ඉඳින් මම පඬරාවයෙන් බැගෑපත්ව හැඬිම් නම් මාගේ බන්ධුවර්ගයෙහි හංසයෝ භයින් ත්‍රස්තව ගොදුරු අනුභවනොකොට සාකුසිත් ගොස් විඩාව සමුද්‍රයෙහි ගොස් වැටියන්නාහුයයි සිතා බන්ධුසෙනහයෙන් දුක්ඛ වේදනාව ඉවසා උගුල ලීය. මැඩ ඔබාගෙන ගොදුරුකන කෙනෙකුන්මෙන් ඉඳ හංසයන් ගොචර ග්‍රහණයකොට දියකෙලිනට පටන්ගත්කල්හි මහත්වු ශබ්දයෙන් බංරාව පැවැත්වුහ. ඒ භයානක ශබ්දය අසා සියලු හංසයෝම තුන් මුල්ලක්ව ආකාශයෙහි නික්මුණාහ. සුමුඛ නම් සේනාධිපති මේ භය කවරකෙනෙකුන්ට පැමිණිදෝහෝයි මහත්වු වේගයෙන් තුමු තුන්මුලෙහි හංසයන් බලා මහබෝධිසත්වයන් නොදැක ඒ කාන්තයෙන් මේ භය හංස රජ්ජුරුවන් වහන්සේට උපන්නේවනැයි ආපස්සෙහි අවුත් බැඳිපියා උන් බෝධිසත්වයන් දැක මහරජ භය නොකළමැනව මාගේ ජිවිතය දීපියා වි නමුත් නුඹ වහන්සේ ගලවමි කියා අස්වසමින් සමීපයට බැස මඩ පිට වැඩහුන්හ. එකල්හි මහබෝධිසත්වයෝ මෙතෙක් හංසයන් බලායාදී උදාකලව මම ලඟට ආ වැද්දහු ආ වේලෙහිත් හැරපියා නොයේදොහෝ යෙද්දෝහෝයි පරික්‍ෂා කරනු පිණිස රන්වන්වු ශරීරයක් හා සොඳ මුහුණක් ඇති සුමුඛයෙනි සියළු හංසයන් භයින් ත්‍රස්තව ඉස් ළූ ළූ අත පලායාදි තොපි උදකලාව පාසවසඟවු මා සමීපයෙහි කුමට ඉඳුද එහෙයින් සතුරන් අතට අසුව ගියාවු මාගේ සහායෙක් පිටිවහලෙක් ඇතැයි නොසිතා සතුරන්ගෙන් ගැලවි සිටි තොපි ව්‍යර්ථයේ නොනැසී මෙතනින් වහා පලායවයි කීහ.

එබස් අසා සුමුඛයෝ හංස රජ්ජුරුවන් වහන්සේ මාගේ තරම් නොදැන අනුප්පියභාණි මිත්‍රයෙකැයි නොසිතනසේක. සෙනහ පක්‍ෂපාත බව මුන් වහන්සේට දන්වමි සිතා හංසරජ්ජුරුවන් වහන්ස මියතත් රැකෙතත් එක්ව විනා දුකට පැමිණි නුඹ වහන්සේ හැරපියා යෙති නොසිතා මිත්‍රද්‍රෝහීවු අසත්පුරුෂයන් හා මා සරිනොකළ මැනවැයි මම වනාහි ඛල්‍යාවස්ථාවෙහි පටන් එක්ව වැඩි යහළුව සිත්සේ වාසයකොට බන්ධු සත්වයකුත් ඇතිව සියළු හංස සේනාවට සෙනෙවිරත් ධුරය කෙරෙමින් සිට නුඹ වහන්සේ තනිව සතුරන්ට පාවාදිලා නෑයන් මධ්‍යයෙටගොස් හංස රජ්ජුරුවන් වහන්සේ කොයිදැයි විචාළ කල කුමක් කියම්ද එසේ හෙයින් නුඹ වහන්සේ කම්මපාසායෙන් බැඳුනුසේක. මම සෙනෙහෙපායෙන් බද්ධවිමි. මියතත් රැකෙතත් එක්ව විනා තනිව යන්නේ නැතැයි කියා ද්‍රඪවූ මිත්‍රත්වය ප්‍රකාශ කළාහ.

මෙසේ හංස සේනාධිපතීන් අභිතනාදයක් පැවැත්වු කල්හි හංස රජ්ජුරුවෝ කියන්නාහු එඹා සුමුඛයෙනි තොපට සාමීව අතිවිස්වාසීවූ මං දුකේහිදි අත් නොහැර නම් එසේකිරීම උත්තමයන්ගේ ගුනයෙක තොප දැක දැක ඉන්නාවු මට කිසි භයෙක් නැත්තේය. එසේද වි නමුත් මෙබඳු මැසනයට පැමිණ ගිය මාගේ ජිවිතය තොප විසින් ගලවාගත නොහැක්කේය. අප දෙදෙනාගේ වියෝගයෙන් දුක්ඛයට පැමිණ බන්ධුන්ගේ සෝක නිවමින් වහා නික්මෙව යනාදි කථාකරණ කල්හි විල් කෙලවර සිටි වැදි හංසයන් තුන් මුලක්ව ආකාශයෙන් නික්මුණාවුන් දැක කිමෙක්දෝහෝයි මල දිසාව බැලූයේ උගුල යටෙහි බැඳි එල්ලෙන්නාවු බෝධිසත්වයන් දැක බලවත්වු සතුටුව කැසපට තරයේ ගන්වාගෙන මුගුරක්ගත් අත් ඇතිව කල්පාන්ත වහ්නියක් මෙන් මැඩගෙන විළුඹෙන් නික්මුණු මඩකැටි ගොස් ඉදිරියෙහි ඉදිරියෙහි වැටෙන පරිද්දෙන් මේගයෙන් දිවෙමින් ගොස් හංසයාට ආසන්න විය.

එකල වේගයෙන් එන්නාවු වැද්දහු දැක සුමුඛ නම් හංසසේනාධිපති හංස රජ්ජුරුවන් වහන්ස වැදි එන්නේය නුඹ වහන්සේ භයනොකල මැන වැයි අස්වසා කියමින් අමෝරාගෙණ එන මුගුරන් හංසරජ්ජුරුවන් වහන්සේට ගසාපී නම් නපුරුයි යන විශ්වාසය ප්‍රකාශ කෙරෙමින් පිටිපස්සේ උන් තැනැත්තෝ බෝධිසත්වයන් ඉදිරියෙහි සිට මාගේ ඥානණවිවරීන් නුඹ වහන්සේ ගැලවෙනි නියාවන් උත්සාහ කරන්නෙමි මාගේ උත්සාහයෙන්ම වහා ගැලවෙන සේක. එහෙයින් භයපත් නොකොට වැද්දහුන මැනවැයි බෝධිසත්වයන් අස්වසා වැද්දහු ලඟට අභිමුඛව ගොස් මිහිරිවු මනුෂ්‍ය භාෂාව විහිදුවා සබඳ තෝ කිනම්දැයි විචාරා රන්වන් හංසයෙනි ඛෙමයයි කියන්නේ මටයයි කි හෙයින් එකල සුමුඛයෝ යහලු ඛෙමා තා විසින් එබු මලෙහි එසේ මෙසේ ලඝු හංසයෙකු බැඳුනයි නොසිතව අනුදහසක් හංසයන්ට රජවූ ධ්‍රුතරාෂ්ට්‍ර හංස රජ්ජුරුවන් වහන්සේය නුවනින්ද ගුණයෙන්ද සමන්විත සේක. බොහෝ දෙනාට උපකාරීව සිටිහෙයින් මරාපියපුතු නොවනසේක. ඉඳින් තෝ මුන් වහන්සේගේ පියාපත් ඇරගන්නා කැමැත්තෙහි වීනම් මාගේ ඇඟපත් උදුරායන්වයි ඉඳින් සම් මස් නහර ඇට ආදීන් කිසිවක් ගන්නා කැමැත්තෙහි වී නම් මාගේ ඇඟින්ම හැරගනුව ඉඳින් ක්‍රිඩාහංසයින් කරනු කැමැත්තෙහි වීනම් මාම සලසාගනුව. නොමරා විකොට සම්පත් ලබනු කැමැත්තෙහි වීනම් මා විකොටපියා හැරගනුව ජාතිගොත්‍ර කුලවර්ණස්ථානාදියෙන් මම සරි හෙයින් තොපට කිසි අලාභයෙක් නොවන්නේය. එහෙයින් ගුණ නුවණින් යුක්තවු හංසරජ්ජුරුවන් වහන්සේ නොමරා හැරපු නම් මෙලෝ පරලෝ දෙක්හි බොහෝ වැඩ වන්නේය. ඉඳින් මැරුයේ විනම් නරකාදි සතර අපායට පැමිණ බොහෝ දුක්විඳිනෙහියයි යනාදින් මිහිරිවු කථා කියා වැද්දහුගේ සිත මොලොක් කොට නැවත බෝධිසත්වයන් දිසාවට නැමි ස්වාමිනි ඉතිකින් භය නොකළ මැනවැයි අස්වසා කීහ.

සුමුඛ නම් හංස සේනාධිපතින් විසින් කියන ලද සුභ සිතවු බණ කථාව අසා සනොතාෂයෙන් ලොමභාෂිත් ගමනයට පැමිණ සුර්ය දිව්‍ය පුත්‍රයාට නමස්කාර කරණ කෙණෙකුන් පරිද්දෙන් බලවත් ආදර ගෞරවයෙන් දොහෝත් මුදුනෙහි බැඳි තිරිසන්ව උපන් කෙනෙකුන් මනුෂ්‍යභාෂාවන් මිහිරිකොට මෙසේ කථාකරණ කෙණෙකුන්මෙන් උපන්ජාතියට මා දුටුවිරුත් නැත්තේය. ඇසූවිරුත් නැති සබඳ මෙතෙක් හංසයන් මුලුල්ලම ඇරපියාදීත් උදකලාව ඉඳ ජිවිත පරිත්‍යාග කෙරෙමින් කියන්ට මේ හංස රජ්ජුරුවෝ තොපට කෙසේවු බන්ධුත්වයක් ඇත්තාහුදැයි වැදි පුත්‍රයා විචාළේය.

එබස් අසා සුමුඛ නම් හංසසේනාධිපති මේ වැද්දහුගේ සිත මොලොක්වුයේය. දැන් වන හී මොළොක්කොට ගන්නා පිණිස මාගේ ගුණය ප්‍රකාශ කෙරෙමියි සිතා එම්බල වැදිපුත්‍රය මේ හංසරජ්ජුරුවන් වහන්සේ මා ඇතුළුවූ සියලු හංස සමූහයාට රාජයෙක එසේම මට ස්වාමිව සිටියාවු උන් වහන්සේට උදකලාව වැසනයට පැමිණියාදී අපසේවු ස්වාමි පක්‍ෂපාත උත්තමයෝ ඇර නොයන්නාහ. එසේ හෙයින් මම උන් වහන්සේ සමීපයෙහි රඳා එක්ව දකිනා දෙයක් විනා තනිව ගැලවියන්ට නොසිතමි කීහ.

එසඳ උන් වහන්සේ විසින් කියන ලද ධම්මාන්චිතවු කථාවන් අසා සන්තෝෂයෙන් ලොමහෂිත්ගමණයට පැමිණියාවු වැදි ඉඳින් මම මෙබඳුවු සිලාචාර ගුණ ඇති හංසරජ්ජුරුවන් මැරීන් නම් සතර අපායෙන් ගැලවියා නොහෙමි රජ්ජුරුවන් වහන්සේ බදාගත් හංසයා ඇරපුවේ ඇයිදැයි කිපී මට කැමැත්තක් කරණසේක්වයි මම හංස රජ්ජුරුවන් සුමුඛ නම් හංසයා ඇරපුවේ ඇයිදැයි කිපි මට කැමැත්තක් කරණසේක්වයි මම හංසරජ්ජුරුවන් සුමුඛ නම් හංස සේනාධිපතින්ට සතුටු පඬූරුකොට අරිමියි සිතා ස්වාභාවවූ මිත්‍රධර්මයන් රකිනා උතුම්වු ගුණ ඇති සුමුඛ නම් සේනාධිපතිනි යම්බදු තෙපි ස්වාමිව සිටි හංස රජ්ජුරුවන් නිසා ජිවිතය දෙමි කිවුද ඒ ගුණයෙහි සන්තුෂ්ටවු මම දෙදෙනාම බන්ධුනයෙන් හරිමි කඳූළුහුනු මුහුණින් අඬන්නාවු බන්ධුන් සන්තුෂ්ටි කෙරෙමින් දෙදෙනාම වහා නික්මවෙයි කියා මොළොක්වු සිතින් මහබෝධිසත්වයන් කරාගොස් උගුල ලිය නමා මඩමත්තේ බෝධිසත්වයන් ඉඳවා උගුල ලිය මුදාහැර දැතින් වඩාගෙණ විලින් ගොඩ නැගි අළුත අටගත් සුවපහස් ඇති ඊතණ මත්තෙහි හිඳුවා බැඳිගිය මල බාල දරුකෙනෙකුන්ගේ කනමැලියම් බැඳිගියාවු ලනුවක් අදනා සෙනහ මැනිකෙනෙකුන්මෙන් සෙමෙන් මලපුඩු ගලවා හැර බලවත්වු හිත සිතින් විලින් පැන් ගෙනවුත් ලේ සෝධා හැර නැවත පය අතින් පිරිමැද ලුයේය. එක්‍ෂණයෙහි වැද්දහුගේ මෛත්‍රීන් හා බෝධිසත්වයන්ගේ පාරමිතා බලයෙන් සම් මස් නහර ගැලපී පය වණය සුවව නොබැදුනු පට හා සරිව ගියේය.

එකල මහා බෝධිසත්වයෝ පය නොබැඳුනු වෙලෙහි පරිද්දෙන් නිදුක්ව උන්හ.

එසඳ සුමුඛ නම් සේනාධිපතීන් තමන් හංසරජ්ජුරුවන් සැපයට පැමිණ නියාව දැන බලවත්වු සනොතාෂයෙන් පිනා මේ වැදිපුත්‍රහු විසින් අපට බොහෝ උපකාර කරණ ලද අප විසින් උපකාර කරණවුන්ට කළකිසි සංග්‍රහයක් නැත්තේය. ඉදින් මෙතෙම රජ යුවරජ ඇමතිකෙනෙකුන්ට දෙන පිණිස අප ඇල්විනම් ඔවුන්ගෙන් බොහෝ සම්පත් ලබන්නේය. නොහොත් තමා නිසා ඇල්විනම් විකොට පියාත් ලබන්නේය. එසේ හෙයින් වැද්දාට උපකාර කරණු කැමතිව මේ කාරණය විචාරන්නාවු හංස සේනාධිපති එම්බල වැදිපුත්‍රය තාගේ අභිප්‍රායෙන්ම හංසයන් බදනපිණිස මල එබි නම් තොප විසින් දුන් අභයදානය සැපසේ පිළිගනුම්හ. ඉඳින් අනුන්ගේ කීමෙන් බැඳුයෙහි වී නම් දැන් තොප විසින් ඇරපුකල අප බදාදෙම්හයි කියා අනුන්ගෙන් විඳපු යම් ප්‍රයෝජනයෙක් ඇත්නම් ඒ සියල්ල තොප නය වේදැයි කීහ.

එබස් ඇසූ වැදිපුත්‍රතෙම සුමුඛයෙනි මාගේ ප්‍රයෝජනයක් තකා බැඳුයෙමි නොවෙමි බරණැස් නුවර රජ්ජුරුවන් වහන්සේගේ අගමෙහෙසුන් බිසවුන් වහන්සේ රන්වන් හංසයන්ගෙන් බණ අසන්ට දොලක් අටගත්සේක. එනිසා මට බොහෝ ප්‍රසාදදී හංසයන් එකකු හෝ දෙන්නකු හෝ බදාගෙන එවයි කළ රාජසම්මතයෙන් බැඳිමියි කීයේය.

එකල හංස සේනාධිපති සබඳ එසේකල අප අරින්ට කටයුතු නොවෙයි යම් කෙනෙකුන්ට සේවකව සිටියානම් උන්ටම ගෙනගොස් පාවාදෙව ඒ රජ්ජුරුවෝම අභිප්‍රාවක් කෙරෙති, එසේහෙයින් සැකනොකොට ඔබම ගෙනයවයි කීහ. එකල වැදි හංසරජ්ජුරුවන් වහන්ස රජ දරුවන්ගේ දැකීම යහපතැයි නොසිතු මැනව ඉසුරු ව සිටියෝ නම් නුඹ වහන්සේලා දැක කෙළි හංසකොට රඳවා ගනිති මරවාපියා මස් හෝ අනුභව කරපියති. එසේ හෙයින් රජ දරුවන් දැකීමෙහි උත්සාහ නොකළ මැනවැයි කීහ.

එකල සුමුඛ නම් හංස සේනාධිපති එම්බා වැද්දානෙනි තොපසේවු තද රුක්‍ෂකෙනෙකුන් පවා බණ කථාකිරීමෙන් මොලොක්කොට ගතිමි විශිෂ්ටවූ පින් හා නුවණ ඇති රජ දරුවන් මොලොක්කරවා ගැන්ම මට ආශ්චර්යය නොවන්නේය. රජ දරුවෝ නම් නුවන ඇත්තාහ. සුභාසිත වචනයෙහි ඵල ඇති නියාව දනිති ඒ කාරණය හේතුකොටගෙනම රජ්ජුරුවන් කරාම අප ගෙනයන වෙලෙහිත් බැඳලා නොහෙන ගොසින් හංසරජ්ජුරුවන් වහන්සේට මැදිරියක් ඉදිකොට ඵලපියුමෙන් සදා මට කුඩා මැදිරියක් කොට ඵල රත්පියුමෙන් සදා මැදිරියෙක කදෙහි බැඳ අප දෙදෙනා එහි හිඳුවාගෙන හංස රජ්ජුරුවන් වහන්සේ ඉදිරිකොට උස්කොට මා උන් මැදිරිය පසුකොට මදක් මිටිකොටගෙන ගොස් ඒ රජ්ජුරුවන්ට පාවාලවයි කීහ.

එබස් අසා වැදිපුත්‍රතෙම මේ සුමුඛ නම් හංසයාණෝ රජ්ජුරුවන් වහන්සේ දැක මට බොහෝ සම්පත් දෙනුකැමැත්තෝවනැයි බලවත් සන්තෝෂයට පැමිණ කි සැටියේම කදෙක්හි සලසාගෙන රජ්ජුරුවන් සමීපයට නික්මුනේය. මෙසේ ගෙණයන්ට වන්කලහි හංසරජ්ජුරුවන්වු පාක හංස රජ්ජුරුවන්ගේ දියනියන් තමන්ගේ භාර්යාවවූ හංසධේනුව සිහිකොට කෙලශ වසඟවු සෝකයෙන් පිඩිතව එඹාසුමුඛයෙනි අපට පැමිණ මේ දුක්ඛයන්ටත් වඩා ලක්ෂණාන්විතවු ඌරුචන්දයක් ඇති ස්වර්ණපත්‍රයෙන් සඤජන්න හෙයින් සුහෙමායයි කියනලද හංසධෙුනුතොම අපට පැමිණිමේ දුක්ඛය අසා සමුද්‍රයෙහි වැටිගිය සාමිපුත්‍රයා කෙරෙහි සෝකයෙන් වෙරළඔස්සේ අඬා ඇවිදිනා කොස්ලිහිනියක පරිද්දෙන් අඬාමිය කියන මේ දුක්ඛය මා සහනයකළ නොහෙන්නේයයි කීහ.

ඒ අසා සුමුඛයෝ මේ හංස රජ්ජුරුවන් වහන්සේ අනුන්ට අවවාද අනුශාසනා කරන්ට කිසිවසිටිසේක් ස්ත්‍රියක නිසා කෙලශවසඟව දියෙන් ගිනි නැගී කලක් පරිද්දෙන් වැටගොස් ගොයම් කන කලක් පරිද්දෙන් නන්දොඩන සේක. එබඳූවු මුන් වහන්සේ මාගේ බලයෙන් අස්වසමි සිතා අවවාද කරන්නේ සියලු හංස සමූහයාට ගණ ශාස්තෘවු ගුණ ඇති හැමසත්වයන්ටම ප්‍රධානව සිටි නුඹ වහන්සේ එක හංසධෙුනුවක නිසා සෝක කිරීම නුවනැත්තවුන්ට තරම් නොවන්නේය. තවද මහරජ ස්ත්‍රී ජාතිහු නම් සුවඳ බඩුතනා තිබු සල්පිලෙක්හිද අමෙධ්‍ය පිරුණු භූමියෙක් හිත්නොතෝරා පවතිනා පවනක් පරිද්දෙන් අඹ දඹ ආදීන් ඵලහරිත ගසක්යට උන් බාලදරුකෙනෙක් අමුවිලකුන් ඵලමෙය අතට අසුවුදෙයක්ම ගෙන නොතෝරායම්සේ අනුභවතෙරෙද්ද ඇස්නැති අන්ධයෙක් ආහාරයක්ගෙන අභිමුඛයෙහි තිබූ කල්හි යහපත නපුරැයි නොතෝරා රසතෘෂ්ණායෙන් බැඳි අතට අසුවූ දෙයක්ම අනුභවකොරෙද්ද එපරිද්දෙන් මාතුගාමයෝත් කෙලශවසඟව පුරුෂකෙණෙකුන් කැමැතිවූ නම් පොහොසත්හුද දුප්පත්හුද හින ජාතිහුද උත්තම ජාතිහුද විශිෂ්ටවූ රූපශ්‍රි ඇත්තාහුද බලන්ට අප්‍රිය විරූපවුද යම්සත්වකෙනෙකුන් දැක නොතෝරා භජනය කරණ පාපී ගුණ ඇත්තාහ.

තවද මහරජ මේ ස්ත්‍රී ජාතීහු නම් සියල්ලවුන්ට සාධාරණ බැවින් සුරාපාන සාලාවක් වැන්නහ. සියලු පුරුෂයන් වඤාකොටපියන හෙයින් ඉන්ද්‍ර ජාලාවක් වැන්නහ. දුරසිට බැලුවන්ට අත් අල්වාගත හැකි වස්තුවක්සේ පෙනී සමීපස්ථවුයේ කිසිවක් නැත්තාහු මිරිගු ජලයක් මෙන් කිසිස්වාභාවි ගුණය නැත්තාහ. තමන් වසඟවු කෙනෙකුන්ට හැමවෙලෙහිම සෝක හා කාස්සවා සාදීවු රෝගයෙන් උපදවන හෙයින් අමුනුෂ්‍ය කෙණෙකුන් වැනියාහ. මාත්‍යු මාරයා විසින් පුරුෂයන් තමා සමීපයට බෙදාගෙන එන පිණිස ගෙයි ගෙයි තබන ලද පා සබ්න්‍ධනයක් වැනියහ. එසේවු ස්ත්‍රීන් කෙරෙහි යම් පුරුෂයෙක් සක්තව මමය මාගේ යයි සිතානම් එතෙම මනුෂ්‍යයන්ගෙන් අධම වන්නේය. එසේ හෙයින් කාරණ කාරණා දන්නවු නුඹ වහන්සේ මේසා දුක්කට පැමිණ ගියවෙලෙහි ඉන්ගැලවියන්ට නිසි උපදේශයක් නොසිතා නුවණ මදකෙණෙකුන් සේ ස්ත්‍රියක නිසා සෝක කරණ සේක. මේ නුඹ වහන්සේ කරණ කාරිය රා බී මත්ව අඬා වියරූහුනු රා සොඬක්හු කියන දෙයක්සේ විනා නුඹ වහනසේ වැනි උතුම් ගුණ ඇතියවුන්ට මේ අවස්ථාවෙහි මෙබඳු බස්කීම තරම් නොවන්නේයයි රැහැනිව කීයේය.

එකල මහ බෝධිසත්වයෝ බලවත්ව ස්ත්‍රි වසඟවු සිත් ඇති හෙයින් මෙතෙක් කාරණා කීවත් ඒ නොඅසාම එඹා සුමුඛයෙනි මාතෘගාමයන්ගේ ගුණ තොපට නොදැනෙන්නේය. නුවනැත්තෝ දන්නාහ. එසේහෙයින් ස්ත්‍රී ජාතීහු නම් ප්‍රථාම කල්පයේ පහළවන්නාවු සත්වයන්ට පළමුව ස්ත්‍රී ලිගු පහළවුහෙයින් ප්‍රධානවු ගුණ ඇතියහ. තවද යම් ක්‍රීඩාවිනොදයෙක් ඇත්නම් ඒ හා කාම ගුණ රතිය යනාදි මේ සියල්ලත් උන් කෙරෙහි පිහිටියේය. තවද බුද්ධප්‍රත්‍යෙක බුද්ධ ආර්යය ශ්‍රාවක චක්‍රවර්ති ආදී දරු බිජුවටෙක් පහළවෙනම් උන් ගේ කුස ඉපිද වැඩිවිය පැමිණෙන්නේය. එසේහෙයින් මෙතෙක් ගුණ ප්‍රයෝජන ඇති මාතුගාමයන් ලදින් කවර නුවනැති සත්වයෙක් තමාගේ ජිවිතය හරණේවිනමුත් උන් කෙරෙහි කලනොකිරෙන්නේය. එහෙයින් සුමුඛයෙනි සෙස්සෝ මතුනොවෙයි තොපත් ස්ත්‍රී වසඟව ඇවිදිනා නියාව මමත් දනිමි. දැන් තොපට බය පැමිණි වෙලෙහි ඒ අභිප්‍රියා ඇරිගියේද යම්කිසි සත්වකෙනෙක් ජිවිත සංස්යවන්ට නිසිවූ සායකට පැමිණියා නමුත් ස්ත්‍රීන් කෙරෙහි පිළිබඳවු සිත් ඇති සියලු දුක් සහනය කරන්නාහ. එහෙයින් ඉසුරුව සිටියෝ නොකටයුත්තෙහි අභිප්‍රාය වී නම් ඒ කරන්නා කැමැත්තහ. එහෙයින් රජ දරුවන් ආදී අඩ්ඪන්‍කෙනෙක් තමන්ට පැමිණ ආපදාවක් දුරුකොට ලන්ට නිසිවු මන්ත්‍රීවු ඉන් මිත්‍රකෙනෙකුන් තමන්ගේ තනතුරු හා සරිකොට තබා රකිනාහුය. එහෙයින් සුමුඛයෙනි තොපිත් මා විසින් ඉසුරෙහි පිහිටුවනු ලදුව ඒ කාරණයෙන් රජ්ජුරුවන්ගේ අරක්කැමියෝ අප මාංශය පිණිස මරම්හයි යම්සේ නොකියත්නම් එපරිද්දෙන් උත්සාහ කරවා දැන් අපට පැමිණ නාරිය විදගිය උනගසක් ඵල ජාතිය හා එක්ව නැසෙන්නාසේ තෙපිත් නොනසී මාත් නොනසව කුමක්නිසාදැයි යතහොත් වැද්දහූ විසින් මලින් ගලවා කැමති සැටියේ චිත්‍රකූට පර්වතයට පලායවයි මා හා සමඟ ඇරපියන ලදුවත් පලානොගොසින් රජ්ජුරුවන් දකිනා කැමැත්තම්හයි තොපිම නැවත බන්ධනයට පැමිණියාවු හෙයින් මේ භය තොප නිසා පැමිණෙන්නේය. ඉතිකින් මේ බන්ධුනයන් යම්සේ ගැලවියමෝ නම් නිසි උත්සාහ කරතොත් විනා ස්ත්‍රීන්ගේ ගුණ කියමි කට නොසොල්වව යනාදින් අවවාද කිහ.

මාතුගාමයන්ගේ ගුණ කියා සුමුඛයන් කිසි උත්තරයක් කියනොහී කරබා වික්‍ෂෙපවූ නියාව දැන උන්ගේ සිත් ගන්නා කැමතිව මහබෝධිසත්වයෝ සබඳ සුමුඛයෙනි තොපි මා මලෙහි බැඳිගිය වේලෙහි මාගේ උත්සාහයෙන් ගලවාලමි සැකනොසිතව මැනවැයි කීවා නොවේද දැනුත් තොපගේ උත්සාහයෙන් ගැලවෙතොත් විනා මාගේ සමර්ථයෙන් ගැලවීයෙතියි නොසිතා අප දෙන්නාගේ ජිවිතය රැකීමෙහි උත්සාහකරවා යනාදින් මොලොක් බස්කීමෙන් සතුටුකළහ. එකල්හි සුමුඛයෝ මේ හංස රජ්ජුරුවන් වහන්සේ මරණට ඉතාභය ඇතිසේක. රජ්ජුරුවන් දැක බසක් කියා පියන විවරට අවසර ලදින් නම් ගලවාගැන්ම මට කුමන අරුමයෙක්ද එසේහෙයින් අස්වසමි පක්‍ෂිරාජයානන් වහන්සේ භයනොගත මැනව දන්නා යම් උත්සාහයෙකින් ගලවාගැන්ම මට භාරයයි කියා මරණ සෝක දුරුකෙළේය.

මෙසේ ඒ හංසයන් දෙදෙනා පක්‍ෂින්ගේ භාෂාවෙන් කරණ කථා කිසිවකුත් නොදැනම කඳෙහි හිඳුවාගෙන ගොස් බරණැස් නුවරට වැද්දහුවන් කල්හි රන්වන් හංසයන් දකිමින් විස්මයටපත්ව දොහොත් මුදුනෙහි බැඳ ප්‍රියවූ කථා කෙරෙමින් පිරිවරාගත් මහජනයා එක්ව රජගෙයි වාසලට පැමිණ ධ්‍රුතරා්ෂ්ට්‍ර හංස රජ්ජුරුවන් හැරගෙන ඛේමා නම් වැදි වාසල සිටියේයයි දන්වාලවයි කී හෙයින් දොරටුපාලයා ගොස් එපවත් රජ්ජුරුවන්ට දැන්විය. එසඳ රජ්ජුරුවෝ බස් අසමින් වහාගෙනෙවයි නියොග කොට අමාත්‍යමණ්ඩලයා විසින් පිරිවරණලදුව නගන ලද ධවලාතප්ත්‍ර ඇති රාජායන මස්තකයෙහි උන්නාහ. ඛේමා නම් වැද හංසයන් කඳින් ඇරගෙන මතුමාල්තලයට නැංගාහු දැක රන්වන් හංසයන් බලා මාගේ මනෝරථය සමුර්ධිව ගියේයයි වැද්දහු කෙරේ සමාධිවූ රජ්ජුරුවෝ අමාත්‍යයක්හට මොහු සරහා ගෙනවයි විධානකළහ. ඒ නියෝගලත් ඇමති වැද්දහු කැඳවාගෙන ගොස් දැලි රවුළු අනදම්තිබා සරහා ඉස්සෝධා නහවා චන්දන කුංකුම ආදීවු සුවඳ ගල්වා වස්ත්‍රාභරණාදීන් සරහා රජ්ජුරුවන් දක්වාලුයේය. එකල්හි රජ්ජුරුවෝ වැද්දහුට අවුරුද්දෙන් ලක්ෂයක් බැගින් නිමනගම්වර දොළාසක්ද මංගල අශ්වයන් යොදනලද සියලු රථාලංකාරයෙන් සැරහුනු රථායානක්ද සියලු ගෘහෝපකරණයන් සමුර්ධිවූ ගෙයක් හා දැසි දස් පරිවාර ආදී බොහෝ සම්පත් දුන්හ.

බලවත් අභිප්‍රායෙන් දක්නා කැමතිව ගෙන්වාගත් හංසයන් හා කථා නොකොට ම තුෂට රුෂ්ට දෙක්හි සංග්‍රහ නිග්‍රහය එක්‍ෂෙණයෙහි කිරීම රජ්ජුරුවන්ගේ ස්වභාව ගුණයක් හෙයින් මේසා ලාභයක් මට පැමිණියේ වැද්දහු නිසායයි වස්තුයෙන් පළමුකොට ඔහු සන්තුෂ්ට කළහ.

එකල වැදිපුත්‍රතෙම සමාධිව දෙවයන් වහන්ස මා විසින් එසේ මෙසේවු හංසයෙකු බඳුගෙන ආවයි නොසිතුව මැනව. මූ අනුදහසක් හංසයන්ට නයකවු ධ්‍රුතරාෂ්ට නම් හංස රජ්ජුරුවෝය, මූ උන්ගේ සුමුඛ නම් හංස සේනාධිපතියයි වෙන වෙනම තරම් කීයේය. එබස් අසා සතුටු රජ්ජුරුවෝ එඹා ඛේමායෙනි අනුදහසක් පමණ හංසයන්ගෙන් මධ්‍යවර්තීව ඇවිදිනා හෙයින් බලවත්වු ආරක්ෂා ඇතිව උත්තමවූ හංස රජ්ජුරුවන් කරා මලක් ඇරගෙන හංස සමූහයා කරා මැද වැද කෙසේ බදාගතිදැයි විචාළාහ.

එබස් අසා වැදි පුත්‍රතෙම දසවසක් මුළුල්ලෙහි ගොචරභූමිය බලා ඇවිදිනා මම උතුම්වූ ගුණ ඇති හෙයින් හැමදවස්ම එකතෙනට බැස පන්තියෙන් ගොදුරු අනුභව කොටයන හංස රජ්ජුරුවන් වහන්සේගේ ගමණ දැක සත්වෙනි දවස් ඒ අසරෙහි මළඹබා බදාගතිමියි කීයේය. එබස් ඇසූරජ්ජුරුවෝ මෙතෙම දොරකඩ සිට කියා එන්නෙත් ධ්‍රුතරාෂ්ට්‍ර හංස රජ්ජුරුවන් ගෙනාමියි කියාඑවිය දැන් බැදු සැටිය කියන තැනැත්තෝ මේ හංස රජ්ජුරුවෙන් බැඳු නියාව කියන්නේයයි එඹා වැද්දනෙනි තොප ගෙනාසේ හංසයන් දෙන්නේකුය කියන්නේ එක්කෙනකුන්ගේ කාරියය කිමෙක්ද අන්ද මන්ද කියයිද නොහොත් මට එකක්හුදී අනික්තෙනකට අනිකා දෙනුකැමැතිව කියන්නෙහි දැයි විචාළාහ.

ඒ අසා වැදිපුත්‍රතෙම දේවයන් වහන්ස මාගේ චිත්ත වික්‍ෂේපයකුත් නැත්තේය. මින් එක් කෙනෙකුන් අනික් තෙනකට දෙන අභිප්‍රායකුත් නැත්තෙමි. එතකුදුවුවත් කරවට සිට පිට ඔස්සේ නික්ම විනිවිද සිට රෙඛාමාත්‍රයකින් සැරහුනු කලඹක්සේ පදවුනාවු මේ හංස රජ්ජුරුවන් මලෙහි බැඳි දුකට පැමිණියා දැක ඉස්ලුලු අත යන හංසයන් හා එක්ව නොගොස් බඬරාවය අසා මුගුරක් ගත් අත් ඇතිව සමීපයට එන්නාවු මා දැකත් මුන් වහන්සේ ඇරපියා නොගොස් මා ඉදිරියට අවුත් මිනිස් කෙනෙකුන් කථා කරණ පරිද්දෙන් මිත්‍රධර්මයේ ගුණ කියා මාගේලය මොලොක්කොටගෙන මේ හංස රජ්ජුරුවන් ගැලවුසේකුත් මෙතනට කැඳවාගෙන ඊමක් කොළොත් මේ සුමුඛ නම් හංස සේනාධිපතීන්ගේ කිමෙනැයි යනාදින් උන්ගේ බොහෝ ගුණ කීයේය.

එබස් ඇසූ රජ්ජුරුවෝ සුමුඛයන්ගෙන් බණ අසනු කැමතිවුවාහුය වැද්දහුට සත්කාර කරණ කලින් ඉරුහස්තයට ගියේය යහපත් ආලෝක පැවැත්වුහ. එකල්හි රජ දරුවෝ බොහෝ රැස්වුහ. ඛේමා නම් බිසවුන් චුල්ල නාකටය මජ්ජිම නාටකය තමන් හා සමාණ ජාති ඇති නාටක ස්ත්‍රීන් හා යන තුන් පක්‍ෂයෙහි කම්මිත්තන් පිරිවරණලදුව අවුත් රජ්ජුරුවන් දකුණු අතින් පාර්ශවයෙහි උන්හ. එකල රජ්ජුරුවෝත් සුමුඛයන් හා කථා කරනු කැමතිව ඇයි සුමුඛයෙනි මිහිරිවු කථා දනිතියි යන තොප මුයෙන් නොබැන ඉදිරියේ අස්ථාන භයින්ද කවර නිසාදැයි විචාළාහ.

එබස් ඇසූ සුමුඛයෝ කසීදේසයට අධිපතිවු මහරජ නුඹ වහන්සේගේ පර්ෂිද් මධ්‍යයට පැමිණ අස්ථාන භයින් බැණ නොනැගෙමි නොවෙමි. මා හා කථාකරවන්ට සුදුසු ප්‍රස්ථාවක් අවසරයක් බලා උනිමි කිවුය. එබස් ඇසු රජ්ජුරුවෝ සුමුඛයන්ගේ බස් බොහෝ කරණු කැමතිව වෙහෙසන්නාවු සුමුඛයෙනි නොබාමි කියන්ට තොපට රකවල්ගෙන සිටි රථසේනාව කොයිදසන්නාහ සන්නද්ධව කඩුපලග හා දුනු දඬුගත් සේනා සමුර්ධියක්වත් රත්‍රන් රිදි මුතු මැණික් ආදී වස්තු සමුර්ධියටත් අප දකිනා නැතිකල නොබමියි කියන්ට කාරණා කින්දැයි විචාළහෙයින් සුමුඛයෝ කියන්නාහු දේවයෙනි අපට රැක වල් දහවල් ආදියකින් මෙවයි ගෙවල් දොරවල් සම්පත් ආදී කිසිවකින් ආකාසචාරිව ඇවිදිනා අප හැමට ඉන් ප්‍රයෝජන නැත්තේය. තවද ධ්‍රුතරාෂ්ට කුල යෙහි හංසයෝ නුවනැත්තාහුයයි ඇසූයේ ඇත. ඒ කාරණය හේතුකොට ගෙණ බණ අසනු කැමතිව අප අල්වාගෙන්වූසේක. අදින් සබවසේ පිහිටි සේක්විනම් කාරණා නිශ්‍රිතවූ බස් කියම්හ. බසවිවරකුත් රැකගත නොහි මාෂාවෘදිවූ නුඹ වහන්සේට සුභාසිතවචනය ඇසීමෙන් ප්‍රයෝජන කින්දැයි කීයේය. එබස් අසා රජ්ජුරුවෝ බොරු කියති අධම ගුණ ඇත්තාහයි කුමක් නිසා මට කිව්දැයි විචාළාහ.

එකල්හි සුමුඛ නම් හංස සේනාධිපතීතෙම එසේ නම් ඇසුව මැනව මහරජ නුඹ වහන්සේ බ්‍රහ්මණයන්ගේ කීමෙන් ඛේමා නම් විලක්කරවා නිරන්තරයෙන් අභය ඝෝෂාකරවුසේක. එහෙයින් සියලු පක්‍ෂි ජාතිය විලට බැස ගොදුරු කා ගිය ස්ථානයෙහි ඉඳ විල නිරුපද්‍රවයයි කියති, ශාතපරම්පරාවෙන් ගෝචර ග්‍රහණය පිණිස පැමිණියාවු අපි පාසබන්‍ධනයට අසුව ගියම්හ. එහෙයින් පලමුකී අභයදානයට මේ බෙරුනොවේද මෙබඳවු බොරුවක් මුල්කොට ඇති ලෝභ තෘෂ්ණා සංඛ්‍යාත පාපකර්මයෙන් යුක්ත සත්වයෝ දිව්‍ය මනුෂ්‍ය සම්පත්තීන් ඉක්ම සහනය කළනොහැක්කාවු නරකාදී අපායෙහි දුකට පැමිණෙන්නාහ යනාදින් කියා පර්ෂිත් මධ්‍යයෙහිම ලජ්ජාකරවුයේය. එකල්හි රජ්ජුරුවෝ එම්බා සුමුඛයෙනි තොප මරා මස් කන පිණිස ගෙන්වුයෙමි නොවෙමි විශිෂ්ටවු නුවණ ඇත්තාමයි අසා සුභාසිතවු මිහිරිකථාවන් අසන පිණිස ගෙන්විමියි කීහ. එබස් අසා සුමුඛයෝ මහරජ අපි මරු කරා ගෙන ගියත් මරුකරා ඇවිත් පැමිණියේ විනමුත් එහි නයක් නැත්තම්හ. බණ අසන්නා කැමතිකෙනෙක් ධර්මකථිකයන් මරාතලා වධබන්ධනකොට නසන්නාහු දැයි එහෙයින් තොප විසින් කාලෙයුක්තියෙක් නෙවෙයි තවද යම් සත්වයෙක් වනාහි සෙමුවන් පැමුවන් මැරීමද පක්‍ෂින් පෑ පක්ෂින් ජාතිනි මැරිමද අභයදානයයි බසින් කියා භය ඉපදවිම්මද යනාදිවු මේ කාරිය කරන්නේ විනම් ඊට වඩිනා අනික් වැරැද්දදෙක් නැත්තේය, මෙබඳූවු සත්ව උභයලෝකාර්ථ සිද්ධියෙන් පිරිහෙන්නේයයි යනාදින් ධර්මදේශනා කළහ.

එබස් අසා සතුටුවු රජ්ජුැරවෝ හංසයන් දෙදෙනා ඉදිනා නියායෙන් විශිෂ්ටවූ ආසන පනවා අනුභවයට නිසි ගොදුරු එලවා යම්සේ මේ සුමුඛ නම් සේනාධිපති හංස රජ්ජුරුවන්ට සැපවේලේ සැපවිඳ දුක් වේලෙ දුක්විඳිමෙන් ජිවිතය හා සමාන යහපත්වුද මනුෂයන්ගෙනුත් මෙබඳුවූ ගුණ ඇති කෙනෙක් ඉසුරුව සිටි සාමින්ගෙන් වැටුප් වියදම් කාරීදිරවාගන්ට නිස්සාහය යනාදීන් ගුණ ඇති කෙනෙක් ඉසුරුව සිටි සාමින්ගෙන් වැටුප් වියදම් කාරිදිරවාගන්ට නිස්සහනය යනාදින් ගුණ කීහෙයින් අමාත්‍යයන් විසින් එක්‍ෂණයෙහි සරහණ ලද රන් කමින් විසිතුරුවු පා අටකින් උපලක්‍ෂිතවූ මෘදුකොමල සිනිඳු පහස් ඇති පිරි සිදු කසීසලුවක් අතුරණලද පුටුයෙහි බෝධිසත්වයෝ උන්හ. දිවිසමින් වලඳනා ලද රන්කමින් විසිතුරු බඳවෙලුයෙක්හි සුමුඛයෝ උන්හ. කසීරට වාසී බොහෝ දෙනා රන්තැටිය අනේකප්‍රාකාරවූ රසයෙන් යුක්තව ආහාර දම් හා විලඳ ශර්කරා පැන් ආදීන් ඵලවා සන්තර්පිත කරවුහ.

එකල්හි හංසරජ්ජුරුවෝ බරණැස් රජ්ජුරුවන්…… ආදර හා සත්කාර දැක පිළිසඳට කථා කරන්නාහු මහ ……තොපගේ රාජ්‍යය ධන ධාන්‍යයෙන් සමුර්ධිවූ අමාත්‍යසේවකා….. පැමිණි කාරියක් තමන්ගේ ජිවිතයට නොසිතා කෙරෙද්ද අගමෙහෙසුන් බිසවු රූපයෞවනාදියෙන් නොනැස්ව දු පුත් දරුවන්ගෙන් සමෘද්ධිව වෙසෙද්ද යාගය ක්‍රියාවක් නැතිව පරීක්ෂා වට දෝෂානුරූප පරිද්දෙන් දුෂ්ට නිග්‍රහ ශිෂ්ට පරිපාලනය කෙරෙමින් දැහැමෙන් සෙමෙන් රාජ්ජයවාසීන් රැක සවර්ගමෝක්ෂ බාධක කටයුත්තෙහි යොදන්නාවු දුර්ජනයන් දුරුකොට මෙලෝ පරලෝ වැඩ පසන්නාවු ශ්‍රමණ බ්‍රාහ්මණාදින්ට උපස්ථාන කරන්නාවුද ධර්මාන්විතවූ වෘත්තියෙන් ජනරඤජනය කරවුදැයි දීර්ඝ දර්ශවඵපත් කාලයෙහි ආයුහංස්කාරාදී සියලු ප්‍රවෘත්තිය අර්ථයයි මෙනෙහිකරවු දරුපාදී ඇල්ම බන්ධනයෙහි සක්තව රාගද්වේශාදීන් වසඟයෙහි නොපැවතෙනහිද පරලො ්සිස්නොකොට භය ඇතිව වාසය කරවුදැයි යනාදින් මහබෝධිසත්වයෝ පිළිසඳර කථාවශයන් රජ්ජුරුවන්ට ධර්මදේශනා කළහ.

ඒ අසා රජ්ජුරුවෝ හංසරජ්ජුරුවන් වහන්ස නුඹ වහන්සේ විසින් විචාරන ලද්දාවූ සියල්ලෙහිම විරෝධයක් නැතිව පවතිමින් සිටියෙමි තවද ශ්‍රමණ බ්‍රහ්මණාදී උත්තමයන් විසයෙහිද දානයද නිරන්තර වශයෙන් පඤචශිලාදිවු සිල්රැකීමය දුගීමගියාචක පුත්‍ර මිත්‍ර කලත්‍ර බන්ධුවර්ගයාදී සියලු සත්වයන්ට උපභෝග පරිභෝගාදි වස්තුදීමය සැලසිත් නැතිව සෘජුවූ පැවතුම් ඇති බවය. තද මසුරුනොවි මොලොක්බවය. පෝයක් පාසා පෙහෙවස් රැකීමය. කිපිසුළු නොවිමය. අනුන්ට හිංසා පීඩා නොකිරීමය සහනසිලී බව සර්වසාධාරණයයි කියන ලද දසරාජ ධර්මයන්ට විරෝධයක් නොකොට මා කෙරෙහිම පිහිටියා දකිමි මේ කාරණය හේතුකොට ගෙණ හැමවෙලෙහිම සතුටුව වාසය කෙරෙමි යනාදින් මහා බෝධිසත්වයන්ට අභිනන්දනය කෙරෙමින් මේ සුමුඛ නම් හංසසේනාධිපති අපගේ සිත් භය නොදැන සභාමධ්‍යයෙහි පරීක්‍ෂානොකොට කිපී දෙඩුය. එතෙම නුවනැත්තවුන්ට තරම් නොවන්නේයයි කීහ.

එබස් ඇසූ සුමුඛයෝ උනස්නෙන් නැගී බැස දෙපියායෙන් ඇදිලිබැඳ මහරජ හංසරජ්ජුරුවන් වහන්සේ මලෙහිවබැඳි දුක් විඳිනා දැක මාගේ සිතට බොහෝ දුක් පැමිණි හෙයින් යුහුසුළුව වරදවාකිම් දරුවන්ගේ වැරදි ඉවසන මව්පියන් මෙන්ද පොළොව පැකිල හුණුවන්ට පොළොවම පිහිටවූවාක්මෙන් නොදැන කීවාවූ අපට ක්‍ෂමා කළ මැනවැයි යාච්ඤා කළහ.

ඉක්බිති ඒ අසා රජ්ජුරුවෝ ප්‍රිය පුත්ර්‍‍යක්හු සනහන්නාවු පෙම්බර මවක පරිද්දෙන් සුමුඛයන් දෝතින් වඩාගෙන සිඹසනහා රන්පුටුයෙහි හිඳුවා එඹා සුමුඛයෙනි තොපගේ සෘජුභාවයෙහි ප්‍රසන්නවු මම තොපට ක්‍ෂමා කෙළෙමෙයි ක්‍ෂමා කොට මහබෝධිසත්වයන්ගේ ධර්මකථාවෙන් හා සුමුඛයන්ගේ සෘජුභාවයෙන් ඇති ප්‍රසන්නව සතුටු ආකාර දක්වමින් හංසරජ්ජුරුවන් වහන්ස මාගේ මේ රාජභවනයෙහිද රාජ්ජයෙහිද යම් රත්‍රන් මුතු මැණික් වස්ත්‍රාභරණ යකඩ ලෝකඩ ආදීවු සියලු …. යුක්තවූ රජ්‍ය ශ්‍රී ධවලතාපකය හා සමඟ පාවාදෙමි අද පටන් ත……… කළ මැනවැයි රාජ්‍යයෙන් …… ……… හංස රජ්ජුරුවෝ බරණැස් රජ්ජුරුවන්ට ජන………………. ඒකාන්තයෙන් තොප විසින් සත්කාර සම්මාන කරණ ……….. දැහැමෙන් ජිවත්වන්නාවු අපට තොපි ආචාරීව එහෙයින්….තොප විසින් අනුශාසනා කරණලද්දාවු අප ඤාතිසමූහයා දක්නා කැමැත්තෙම්හයි කීහ.

මෙලෙස මහාබෝධිසත්වයන්ගේ ධම්ම කථාව අසමින් සිතට ඇති සැක විචාරමින් රාත්‍රියෙහි කල්යවා සතුටුව අවසර දුන්හ.

මහා බෝධිසත්වයෝ පංචශිලයෙහි පිහිටුවා කුසල කරණයෙහි නිෂ්ප්‍රමාදවයි අවවාද අනුශාසනා කොට රජ්ජුරුවන් විසින් රන්තැටියෙන් ඵලවන ලද මහා විලද අනුභවකොට මී පැන් බී සන්තර්පිත වුහ. ඉක්බිති රජ්ජුරුවෝද බියවුද බෝධිසත්වයන් හා සුමුඛයන්ට සුවඳින් මලින් පුජාකොට රජ්ජුරුවෝ බෝධිසත්වයන් කරඬුපියන්නේ හිඳුවාගෙන ඔසවාගත්තාහ. බිසීවුන් සුමුඛ නම් හංස සේනාධිපතින් එපරිද්දෙන් ඔසවාගෙන සිවුමැදුරුකවුළුවේ දොර හැර අරුණෝද්ගමනයෙහි සැපසේ නැගීගිය මැනවැයි කියා ආශිර්වාදකොට ආකාසයෙහි හැරපූහ.

එකල මහාබෝධිසත්වයෝ ආකාශයෙහි සිට දෙවෙනිව රජ්ජුරුවන්ට අනුසාසනා කොට සුමුඛයන් කැඳවාගෙන චිත්‍රකූට පර්වතයට ගියාහුය.
එසඳ අනුදහසක් පමණ ඇති හංස සමූහයා රත්ගල්ගුහායෙන් පිටත මග බලා උන්නාහු ආකාශයෙහි පක්‍ෂප්‍රහාරකොට එන්නාවු බෝධිසත්වයන් හා සුමුඛයන් දැක පෙරගමන් කොට ගොස් පිරිවැරූහ.

එකල සමාධින් කුල්නාද පවත්වන්නාවු හංස සමුහයා විසින් පිරිවරණ ලදුව චිත්‍රකුට පර්වයට ගියාහුය. එපරිද්දෙන් මිත්‍ර ධර්මය අඛන්ඩකොට රක්නා සත්වයන්ගේ සියලු අභිමතාර්ථය මේ හංස රජ්ජුරුවන්ගේ අභිමථාර්ථය සුමුඛයන් නිසා යම්සේ සමුර්ධිවීද එපරිද්දෙන් කල්‍යාණමිත්‍ර සම්පත්තිය හේතුකොට ගෙන සියලු අභිමතාර්ථය සිද්ධවන්නේය. යනාදින් සම්ප්‍රාප්ත පර්ෂිදට මේ අභිත කථාව ගෙනහැර දක්වා වදාරා පූර්වාපර සන්ධිගලපා මේ මහා හංස ජාතකය නිමවා වදාළ සේක.

එකල වැදිපුත්‍රතෙම මෙකළ ඡන්න ස්ථවිරය, බිසවු ඛේමා නම් අග්‍රශ්‍රාවිකාය. සෙය්‍යංසකනම් බරණැස් රජ්ජුරුවෝ සාරිපුත්‍රස්ථවිරය අනුදහසක් හංස පිරිස නම් දැන් බුදු පිරිස් වන්නාහ. සුමුඛයෝ නම් ධර්ම භාණ්ඩාගාරික ආනන්ද ස්ථවිරයෝය. ධ්‍රුතරාෂ්ට්‍ර හංස රජ්ජුරුතෙම නම් තිලෝගුරු සම්‍යක් සම්බුදු රජවු මම්ම වේදැයි තමන් වහන්සේ දක්වා වදාළ සේක.

 

 

උපුටා ගැනීම – www.jathakakatha.lk

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.