Skip to main content

515 සෝණනන්ද ජාතකය

ජාතිකාන්තාරාදීන් සත්වයන් එතරකොට නිර්වාණ ක්‍ෂෙමභුමියට පමුණුවනහෙයින් ශාස්ත්‍රු නම්වූ දේවාතිදේව සමන්තභද්‍ර ශාක්‍යසිංහ කරුණානිධාන සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසනසේක් මේ සෝණනන්ද ජාතකය දුප්පත් මව්පිය දෙදෙනෙක් හට උපස්ථාන කරණ භික්ෂූන් වහන්සේ කෙනෙකුන් අරභයා වදාළසේක.

මෙහි වර්ථමාන කථාව සමාජාතකයෙහි පෙණෙන්නේය එකල සෙසු භික්ෂූන් වහන්සේ ඒ නමට මහණ තෝ නෛර්යාණිකවූ බුද්ධශාසනයෙහි මහණව සැදැහැයෙන් දෙනලද සිව්පසයගෙන ගිහින් පෝෂ්‍ය කරන්ට කාරනා කිම්දැයි දොඩානොකැමති පරිද්දෙන් බුදුන් සමීපයට කැඳවාගෙණ ගොස් දක්වා ස්වාමිනි මේ මහණ ගිහින් පෝෂ්‍ය කෙරෙමින් වෙසෙසින් දැන්වුසේක. ඒ අසා සර්වඥයන් වහන්සේ මහණෙනි මේ භික්ෂූහට නොදඩවා පුරාතනයෙහි නුවණැත්තෝ මුළුදඹදිවට පැමිණියාවු රාජ්‍යශ්‍රිහැර මව්පියන් පෝෂ්‍ය කෙරෙමින් වාසයකළාහු වේදැයි වදාරා ඒ භික්ෂූන් වහන්සේ විසින් ආරාධිතවූ තිලෝගුරු සර්වඥයන් වහන්සේ විසින් අතීතකාලයෙහි පැවති කථාන්තරය පාංශුප්‍රතිචඡන්න ජාතිරංගමාණික්‍යයක් ගෙනහැර දක්වන්නාක් පරිද්දෙන් වදාරණසේක්,

මහණෙනි,
යටගිය දවස බාරනාශිතොම බ්‍රහ්මවර්ධන නම් නුවරෙක් විය එහි මනෝජ නම් රජජුරු කෙණෙක් දාන ප්‍රියවචන අර්ථචරියා සමානාත්මතාය යන චතුස්සංග්‍රහ වස්තුවෙන් ජනරඤජනය කරන්නාහුය එනුවර අසු කෙළක් ධන ඇති එක්තරා බ්‍රාහ්මණ මහාසාරකුලයෙක දරුකෙණෙකුන් නැති බැමිණියකගේ කුසපිළිසිඳගෙණ ප්‍රසූතවූහ. උපන්නාවු ඒ බෝධිසත්වයන්ට මව්පියෝ සෝණක කුමාරයෝයයි නම් තුබූහ. ඔහු පියවරනගා ඇවිදිනා කල්හි අනික් බ්‍රාහ්මණයෙක් බඹලොවින් අවුත් බැමිණිය කුස උපන්නාහුය. ඔවුන්ට නම් තබන දවස් නන්දකුමාරයෝයයි නම් තිබූහ. දෙදෙනා වැඩිවිය පැමිණ වෙදත්‍රයෙහි පරාප්‍රාප්තව රූපශ්‍රියෙන් අග්‍රප්‍රාප්තවුවන් දැක බමුණානෝ බෝධිසත්වයන් ගෘහවාස බන්ධනෙයන් බදුම්හයි සිතා බැමිණියට එපවත් කිහ. ි

ඒ අසා බ්‍රහ්මණි සතුටුව එපවත් සොණක කුමාරයන්ට කිවුය. ඒ අසා බෝධිසත්වයෝ මෑණියන් වහන්ස මට ගෘහවාසයෙන් කම්නැත, නුඹ වහන්සේලාට මා ජිවත්වනතෙක් අත්පා මෙහෙකොට ඉක්බිති හිමාලය වනයට ගොස් මහණවෙමියි කීහ.

දෙමව්පිය දෙදෙන මොහු බාලකලම පඤකාමගුණයෙහි ආලයහැර තපසට යනු කැමැත්තාහ මේ අවස්ථානට පැමිනියාවු අපි කැලමවෙද එසේ හෙයින් දරුවෙනි අපගේ ඇවෑමෙන් පැවිදිවෙන්පසු දැන්ම එක්වලා මහණ වම්හයි කථාකොට එපවත් රජ්ජුරුවන්ට කියා සියළු ධන ධාන්‍යාදී සමෘද්ධිය ශ්‍රමණ බ්‍රාහ්මණ දුගීමගී යාචකයන් විෂයෙහි දාන පරිත්‍යාගකොට සියලු දැසි දස් පරිවාර නිදස් කොට බන්ධු වර්ගයාට දුනමනා සම්පත් බෙදාදී බමුණානෝය බැමිණිදේවිය බෝධිසත්වයෝය නන්දකුමාරයෝයයි යන සතරදෙනම බ්‍රහ්ම වර්ධන නම් නුවරින් පිටත්ව හිමාලය වන ප්‍රදේශයෙහි පස්පියුමෙන් විරාජමානවු මස්කැස්බැන් විසින් ගැවසීගත්තාවු මනාවු තීරාන්තර ඇති විලක් ඇසුරුකොට පුෂ්පපල පල්ලවයෙන් සඤජන්නවු සජුනා පනා තාලහින්තාල උක් පුවක් එල්කෙහෙල් ඈ තරුවරහාණ කීර්ණ රම්‍යවු වනප්‍රදේශයෙහි අසපුවක්කොට ගෙන තාපස ප්‍රව්‍රජ්‍යාවෙන් පැවිදිව එහිවාසය කළාහුය.

එකල බෝධිසත්වයන් හා මලනුවෝ දෙදෙනා උසෑසන නැගීසිට පන්සල හා මළුව හැමදා කසලදමා උණුදිය සිහිල්දිය ගෙනහැර දෙමව්පියන්ට දැවටී දඬු මුව දෝවනාදිය දී වලින් මධුර වූ පලාඵලගෙන උන් අනුභව කරවා උනුදිය සිහිල් දිය තබා, ඉස්සෝධා , නාවා ඉසකෙස් අවුලකඩා වියලමින් පිට මඩිමින් මව්පිය දෙදෙනහට උපස්ථාන කරන්නාහ.

මෙලෙසින් කලක් ගියසඳ බෝධිසත්වයන්ගේ මල්නන්ද පණ්ඩිතයෝ තමන් ගේ පලාඵල දෙමව්පියන් අනුභව කරවා රකිමියි සිතා ඊයේ පෙරවි දවස් ගෙනතැනින්ම ලද යම් පලාඵලයක් පළමුකොට ගෙනවුත් අනුභව කරවති ඔවුන් අනුභවකොට මුවසෝධා අටසිල් සමාදන් වන්නාහ.

සෝණපණ්ඩිතයෝ දුරගොසින් මියුරු පලාඵලගෙනෙති එකල මව්පිය දෙදෙන සෝණ පණ්ඩිතයෙනි තොපගේ මලනුවෝ පලාඵලගෙනවුත් දුන්නාහ. ඒ අනුභවකොට පෙහෙව සැතපීගතුම්හයි ප්‍රතික්‍ෂේප කරන්නාහ. එපරිද්දෙන්ම නන්ද පණ්ඩිතයෝ දුටු පලා ඵල ගෙණවුත් පළමුකොට වලඳවතියි බෝධිසත්වයන්ගෙනා පලාඵල අනුභවනොකරති මෙසේ කීප දවසක්ම අනුභව නොකිරීමෙන් නිෂ්ප්‍රයෝනවිය එකල බෝධිසත්වයෝ සිතන්නාහු මාගේ දෙමව්පියන් ඉතා සිව්මැලි බැවින් නන්දපණ්ඩිතයන් විසින් තමන් අසුවූ නොවිලිකුන් පලාඵලයන් ගෙනහැමට පළමුකොට අනුභවකරවති මු දිගටම මෙලෙස කෙරෙත්නම් මෙතන මුන් වහන්සේලා බොහෝ කලක් ජිවත්වන්ට කාරණා නොවන්නේයයි සිතා නන්දයෙනි මෙතැන්පටන් පලාඵලගෙනාකල මා එනතෙක් බලව අපි දෙදෙනාම එක්ව සිට අනුභව කරවම්හයි මලනුවන්ට කීහ.

බෝධිසත්වයන් විසින් එලෙසකීයන ලද්දාවු නන්දපණ්ඩිතයෝ තමන්ටම කුශල් කැමතිව බෝධිසත්වයන් කී බස් නොපිළිගත්හ. එසඳ නන්දයෝ මා කීවා නොගිවිස අකාරියමකෙරෙතියි එසේහෙයින් මොහු මෙයින් නෙරපා දෙමව්පියන්ට උපස්ථාන කෙරෙමියි සිතා නන්දයෙනි තොපි නොකීකරුව නුවණැත්තන් කී බස් නොගිවිසුව මම තොපට වැඩිසිටියෙම් එහෙයින් දෙමපියන්ගේ කාරිය මට භාරය මම්ම මොවුන් පෝෂ්‍යකෙරෙමියි තොපි මෙහි වාසය නොකර අන්තැනකටයවයි අසුරු ගැසූහ. එසඳ නන්දපණ්ඩිතයෝ බෑණන් විසින් නෙරණලදුව ඇසිල්ලකුත් රඳානොහී බෑණන් වැඳ අවසර ඉල්වා ගෙණ ගොස් මව්පියන්ට මෙපවත් කියා තමන්ගේ පන්සලට වැද කිසුණු භාවනාකොට එම දවස්ම පඤදාභිඤා අෂ්ටසමාපත්ති අපදවාගෙන ප්‍රිතිවාක්‍ය පවත්වා ඉදින් මම රුවන්වැලි ගෙණවුත් බෑණන් වහන්සේගේ පන්සල් මළුවෙහි අතුට ක්‍ෂමා කරවාගන්ට සමාර්ථයෙමි නොහොත් අනොතත්ත විලින් දියගෙනහැරදී ක්‍ෂමා කරවාගණිතත් තිස්සෙමි එයින් මට සුදුසු නොවන්නේය. ඉදින් බෑනන් වහන්සේගේ ගුණ සකල ලොකයෙහි පැතිත චන්ද්‍ර සූර්යයන් පරිද්දෙන් ප්‍රකාශවන සේකැයි සිතා ඒ නන්දපණ්ඩිතයෝ එක්‍ෂණයෙහිම ධ්‍යාන භාවනාවෙන් ආකාශයෙන් ගොස් බ්‍රහ්මවර්ධන නම් නුවර මනොජ රජ්ජුරුවන්ගේ රාජාංගණය බැස එකතාපසකෙණෙක් දක්නාකැමතිව අවුයයි රජ්ජුරුවන්ට කියා යවුහ.

ඒ අසා රජ්ජුරුවෝ තපස්වීවරයන්ට මා දැකීමෙන් ප්‍රයෝජන කිම්ද අහරනිසා ආකෙණෙක් වනැයි සිතා බත් යවුහ. ඒ නොගන්නාහෙයින් සාල් පිළි වෙන වෙන යවා කිසිවකුත් නොගන්නාහෙයින් කුමක් නිසා අවුදැයි මිනිස් කෙනෙකුන් යවා විචාරා රජ්ජුරුවන්ට සේවය පිණිස ආමියනු අසා මට සෙවය කරන්නෝ බොහෝය තමන්ගේ තපසම රක්ෂාකෙරෙත්වයි කියා යවුහ. ඉක්බිති නන්දපණ්ඩිතයෝ රජ්ජුරුවෝ කැමැත්තෝ නම් සකල ජම්බුද්වීපයෙහි රාජ්ජය ඇරදීලන්ට සමාර්ථවෙමියි කියා යවුය.

එබස් අසා රජ්ජුරුවෝ තාපසවරහු නම් නුවණැත්තෝය ඊට නිසි උපායක් දනිත් නම් යහපත් වේදැයි සිතා ඔහු කැඳවාගෙත්වා ආසනයෙක්හි හිඳුවා වැඳපුදා ආගන්තුග සත්කාරකොට පිළිසඳර කථාකෙරෙමින් මුළුදඹදිව රාජජ්‍ය ඇරදෙන්ට පිළිවනැයි කීසේක්දැයි විචාළෝය. එසේය මහරජ පිලිවනැයි කිසඳ කෙසේ ඇරගෙනදෙනසේක්දැයි සිතා ඔහු කැඳවා ගෙන්වා විචාරා මහරජ කිසිකෙනෙකුන්ගෙන් ඇට ලේ මැස්සක බොන විවරලේ පොදකුත් නොසොල්වා තොපගෙන් කහවනුවක් විචාරවත් හානියක් නොකොට මාගේ සෘද්ධ්‍යනු භාවයෙන් ඇරදෙමියි කැමැතහොත් ප්‍රපඤව නොකොට දැන්ම නික්මෙවයි කීහ. එබස් ගිවිස රජ්ජුරුවෝ සිව්රඟ සෙනඟ පිරිවරා නන්දපණ්ඩිතයන් පෙරදැරිකොට නික්මුනාහුය ඉදින් සේනාව ග්‍රීස්මයෙන් පීඩිත නම් නන්ද පණ්ඩිතයෝ තමන්ගේ ආනුභාවයෙන් සිතලච්ඡයව කරන්නාහුය ඉදින් වැසි වසීනම් වට නොදෙන්නාහ, මහ කටු කනු ආදිය තමන්ගේ සෘද්ධානුභාවයෙන් දුරුකොට හෙරිතලයක් මෙන් සමකොට තුබූ ආකාශයෙහි පත්කඩ සමඅතුට ගෙපලක් බැඳහිඳගෙන පලමුව නික්මෙන්නාහුය. මෙලෙස සේනාව හැරගෙන කොසොල් රටට ගොස් නුවරට නුදුරුතන්හි කඳවුරු බැඳ හිඳ යුද්ධ හෝ කරව නොහොත් අපවාසයෙහි පවතුවයි අසුන් යවුහ.

ඒ අසා කොසොල් රජ්ජුරුවෝ කිපී මමත් රජෙක් නොවේදැයි සියළු සේනාව සන්නද්ධ කරවාගෙන යුද්ධයට වැද උභයසේනාව යුද්ධකරන්ට පටන් ගත්කල්හි නන්දපණ්ඩිතයෝ තමන්ගේ ආනුභාවයෙන් පත්කඩ සම්මහත්කොට මධ්‍යයේ අල්වාගෙන දෙපක්ෂයේ විදී ඊ දඬු කිසිකෙනෙකුන් ඇඟටත් වැද නොගන්නා සැටියේ නැවතුහ.

දෙසෙනාවෙහි ඊ දඬු නිමාගියකල්හි දෙපක්ෂයේ ඇත්තෝම ඔවු නොවුන් කෙරෙහි භයින් අත්සීන් මසකට හැක්කක් නැතිව සිටියාහුය. එසඳ නන්දපණ්ඩිතයෝ නොබව මහරජ යනාදින් මනොජ රජ්ජුරුවන් අස්වසා කෙසොල් රජ්ජුරුවන් කරා ගොස් මහරජ නොබව තොපට කිසිභයෙක් උපද්‍රවයෙක් නැත්තේය. තොපගේ රාජ්ජය තොපටවන්නේය මනොජ රජ්ජුරුවන්ට මිත්‍රව වසගීවවයි කිවුය. එබස් අසා කොසොල් රජ්ජුරුවෝ යහපතැයි පිළිගත්හ. ඉක්බිති කොසොල් රජ්ජුරුවෝ නන්දපණ්ඩිතයන් කැඳවා ගෙන මනෝජ රජ්ජුරුවන් කරාගොස් මහරජ කොසොල් රජ්ජුරුවන් තමන් වසඟත්වයෙහි පවත්වාගෙන ඒ රාජ්ජය උන්ටම පාවාදී දෙසෙනඟ පිරිවරා අඟුරට හැරගෙන මගධරටයයි මෙලෙසින් සියළු ජම්බුද්වීපයෙහි රජදරුවන් සත් අවුරුදු සත්මස් සත්දවසකින් තමන්ගේ වයසට පමුණුවාගෙන එක් සියයක් රජදරවන් පිරිවරා බ්‍රහ්මවර්ධන නුවරට අවුත් ජයපාණය අනුභවකොට ජය ක්‍රීඩාවට පටන්ගත්හ. එකල නන්දපණ්ඩිතයෝ රජ්ජුරුවන් වහන්සේට උත්සව ක්‍රීඩාවට සතියක් අවසරදී තුමූ උතුරුකරු දිවයිනටගොස් අහර සිඟාගෙන අනුභව කරමින් හිමාලයෙහි රන්ගල්ගුහාවක විසූහ.

ඒ සත්වන දවස් මනොරජ්ජුරුවෝ තමන්ගේ මහත්වු ඓෙශ්චර්ය විභූතියම දැක මේ ආශ්චර්යය මාගේ මව්පිය කිසිවක්හු විසින් දෙන ලද්දේ නොවෙයි නන්දපණ්ඩිතයන් නිසාම පැමිණියේය. එසේවු උන්වහන්සේ නොදකින මගේ සත් දවසෙක මෙසේ මහත් යසසක් පමුණුවාලු සබඳ පණ්ඩිතයන් වහන්සේ කොයිදැයි සිහිකළාහ.

ඒ තාපසයාත් රජ්ජුරුවන් සිහිකළ නියාව දැක හිමාලයෙන් අවුත් රජ්ජුරුවන්ගේ ඉදිරියෙහි සිටියහ. එකල්හි රජ්ජුරුවෝ මම මුන් වහන්සේ දෙවතාවාන කෙනෙකුන් බවත් නොදනිමි ඉදින් මනුෂ්‍යයාන කෙනෙකුන් වී නම් සියළු ජම්බුද්වීපයෙහි රාජ්‍යයමුන්ට දෙමියි නොහොත් දෙවතාන කෙනෙක්ද නොහොත් ගාන්ධර්වනිකායෙහි උපන්සේක්ද නොහොත් සක්දෙවි රජෙක්ද නොහොත් මනුෂ්‍යයානකෙනෙක්ද මෙබදූවු සාද්ධා්‍යානුභාව ඇති නුඹ වහන්සේ කවුරුණැයි දනිමෝදැයි විචාළාහ. ඒ අසා නන්දපණ්ඩිතයෝ මහ රජ මම දෙවියෙකුත් නොවෙමි ගාන්ධර්වනිකායෙහි උපන් දිව්‍යපුත්‍රයෙකුත් නොවෙමි සෘද්ධ්‍යානුභාව ඇති මනුෂ්‍යයෙක්මි කීහ.

එබස් අසා රජ්ජුරුවෝ තපස්වීන් වහන්ස මහා මේඝනගා වස්නා කල්හි වැසි වලකමින් ඉතා දරුණුවූ අවුසුලන් පහරණ කල්හි සෙවන කිරීමෙන්ද ශත්‍රු සේනාව මධ්‍යයෙහි අනෙන්‍යන්‍යශර වර්ෂාව නිවාරණ කිරීමෙන්ද සියළු ධන ධාන්‍ය වස්ත්‍රාභරණාදීන් සමෘද්ධවු රාජ්ජ්‍යශ්‍රිය හැරදීමෙන්ද එක් සියයක් රජ දරුවන් අපට පිරිවර කරදීමෙන්ද කාරණාලද උපකාරයට සතුටුවූ හස්ති වාහනය සර්වාභරණ විභූෂිතවු භාව භාව ලීලාකටක්‍ෂ විලාශ ඇති නාටක ස්ත්‍රීහු සුරභිවන සුන්දර පවර ප්‍රාසාදයන් දැයි සියළු විභූතියද නොහොත් අඟුරට හෝ මගධ රට හෝ අස්සකරට හො ්අවන්තිරට හෝ රාජ්ජයයෙන් භාගයෙක් හෝ දෙමි මෙයින් කැමති දෙයක් වදාළ මැනවැයි නොහොත් රාජ්ජ්‍ය ශ්‍රී හෝ කළ මැනව කඩුපලාගඟෙන නුඹ වහන්සේ ලඟ මම සේවය කොට සිටිමියි කීහ.

එබස් අසා නන්දපණ්ඩිතයෝ මහරජ මට රාජ්‍ය ශ්‍රීයෙන් හෝ ජනපදයෙන් හෝ නුවරකින් හෝ සම්පත්තීයකින් හෝ ප්‍රයෝජන නැත්තේය. ඉදින් මා කෙරෙහි මෛත්‍රීයක් ඇත්නම් මා කී දෙයක් කර කවරේදැයි යතහොත් අපගේ කිසියම් අපරාධයක් නිසා මෙහි නොවසවයි කොපකොට නෙරපූසේක. අපගේ බෑණන් වහන්සේ එතැන්පටන් ගෙන පූර්වාචාරීවු ඒ මව්පියන්ට අත්පා මෙහෙවර කිරීමෙන් කුශලසඤචය කරණ කල්හි සෝණපණ්ඩිත නම් මාගේ බෑණන් වහන්සේ තොපගේ ආඥාපවත්නා මෙරට වනප්‍රදේශයෙක්හි මාගේ මව්පිය දෙදෙනා වහන්සේ පන්සලෙක්හි වාසය කරණසේක. ඔවුන් වහන්සේලාට අත්පා මෙහෙවර කිරීමෙන් පින්කොට ගන්ට අවසරයක් නොලදීන් බමිතොප පිටිවහල්කොටගෙන තොපගේ පරැත්තයෙන් මා බෑණන් වහන්සේ ක්‍ෂමාකරවාගන්නා කැමැත්තෙමි ඊට සහායවයි කීහ.

එබස් අසා රජ්ජුරුවෝ නන්දපණ්ඩිතයන් වහන්සේට සියළු ජම්බුද්විපයේ රාජ්ජ්‍යය දෙමි කී මම මෙවිවර කටයුත්තක් කුමකැයි නොකෙරෙම්ද කොතෙක් දෙනා විවර කැඳවාගෙන යමෝදැයි විචාළාහ. එකල නන්ද පණ්ඩිතයෝ මහරජ තොප එක්සියයක් රජ දරුවන් හා එපමණවු බ්‍රාහ්මණයන් හා ගෘිහපතීන් විවරක් පමණයයි කීහ.

එකල්හි රජ්ජුරුවෝ ඈත් අස්රිය පාබල සෙනෙහයයි කියන ලද චතුරංගිනි සේනාව සන්නද්ධව කොට ධජපතාක තම්මැට තිසාන ආදීය හා ඛ්‍යාද භෝiාදී මාර්ගෝපකරණ දරුවන් හා සූවිසි අක්‍ෂොහිණියක් සේනාව විසින් පිරිවරණ ලදුව නන්ද පණ්ඩිතයන් පෙරදැරිකොට නුවරින් නික්මුණාහ.

එසඳ නන්දපණ්ඩිතයෝ තමන්ගේ ආනුභාවයෙන් නුවරෙහි පටන් ආශ්‍රම පදය දක්වා අටඉස්බක් පමණ පලලින් මග කණු කටු ආදිය පහකොට තනා සරහා පිලියෙලකොට ආකාශයෙහි පත්කඩ සමඅතුට එහිවැඩහිඳ සරහණ ලද ඇතුට නැගී යන්නාවු රජවරුන් හා ධර්මාන්විත කථාකෙරෙමින් සියල්ල මුන්ටම ශිතොෂ්ණාදී පිඩාවක් වැද්දනොදි ක්‍රමයෙන් කතරමග ගෙවා ගොස් ආශ්‍රම පදයට වදනා දවස් සොණපණ්ඩිතයෝ මාගේ මලනුවන් මා ලගින් ගියේ මෙවකට සත් අවුරුදු සත්වස් සත් දවසකැයි සිහිකොට මෙවකට ඌ කොතන වෙසෙත්දෝහෝයි දිවසින් බලා එක්සියයක් රජ දරුවන් හා සූවිසි ආකොෂභිණියක් සෙනාව විසින් පිරිවරණ ලද මනෝජ රජ්ජුරුවන් මට පැරැත්තයට කැඳවාගෙන එන්නාහුයයි දැක ඔවුන් හැම විසින් මාගේ මලනු වන්ගේ නොයෙක් පෙළහර හා ආනුභාව දක්නාලද මෙතෙනට අවුත් මාගේ කිසිවිශෙෂයක් නුදුටුවහොත් මාගේ විශ්වාභාව විශේෂය දැක මේ සොර තාපසයා තමාගේ කිසි ආනුභාවයක් නැතිව තිබැදි මහානුභාව සම්පන්න්වූ අපගේ තපස්වීන් හා සමගත් පඨාකෙරෙක්ලයි මා කෙරෙහි සිත නපුරුකොටගෙන නින්දාකොට අපායට ගියාහු නම් නපුරැයි සිතා මොවුන්ට පළමුකොට සෘද්ධි ප්‍රර්තිහාර්යක් දක්වාලිය යුතුයයි සිනා කද හැරගෙන අනොත්තවිලින් පැන් ගෙනෙන්ට යන බඳුවන තමන්ගේ කරසරියේ සතුරඟුලක් තැන සිස්කෙරෙහි රඳවාලා කැටිව යන සැටියේ අධිෂ්ඨානකොට රජ්ජුරුවන්ගේ ඉදිරියෙහි ආකාශයෙන් නික්මුණාහුය. එසඳනන්දපණ්ඩිතයෝ එන්නාවු බෑණන් වහන්සේ දැක ඉදිරියෙහි සිටියනොහි උන්තැනින් අන්තර්ධානාව හිමාලය වනයට ගියාහුය.

එසඳ මනොජ රජ්ජුරුවෝ ආකාශයෙන් එන සෝන පණ්ඩිතයන් දැක කොළොක් දඬෙන් කරණ ලද කද කරවැද නොගන්නා පරිද්දෙන් ආකාශයෙහි රඳවාගෙන එන්නාවු තොපි කොයිසිට කොයියන්නාවු කවුරුදැයි විචාළෝය. එබස් අසා බෝධිසත්වයෝ මහරජ ශිලව්‍රත සමාදානයෙන් යුක්තව තාපසවෙසධාරීවූ මට සෝණපණ්ඩිතයෝයයි කියති තොපගේ විජිතවූ මෙවෙනෙහි මධුර වනමුල් වනඵලාදීන්ගෙන වයොවෘද්ධවු මව්පිය දෙදෙනාහට රෑ දවල් නොපමාව ඔවුන් මට ගත් දුක් සිහිකොට එනයින් මිදි කුශල පුරා ගන්නා පිණිස පෝෂ්‍යකෙරෙමි කීහ.

එබස් අසා සෝණපණ්ඩිතයන් හා මිත්‍රසන්ථව කරණු කැමතිව කෞශික ගොත්‍ර ඇති සෝණපණ්ඩිතයන් වහන්ස නුඹ වහන්සේගේ ආශ්‍රමයට යන්නා කැමැත්ත අපට මග කියාළුව මැනවැයි කීහ.

ඉක්බිති මහාබෝධිසත්වයෝ පියවර සටහන් ඇති මංහසරක් මවා එඹා මහරජ තෙල මංහසරින් ගියකල යම්තෙනෙක්හි මේඝකුටයන් හා සමානවු ඝනවනචඡයා ඇති කොබෝලීල පොල මිලිල මිලිල අඹ දඹ නා පනා කෙහෙල් පුවඟු නෙරළු මුහුළුආදී පුෂ්පජාති ඵල එල්ලවයෙන් සඤජන්නවු තරු වරගණාකීර්ණ වනඝටයෙක් ඇද්ද. එතැන්හි කෞශික නම්වු පියානන් වහන්සේ ඉඳ තපස්කරණසේක් එතෙම මාගේ තපෝවනය වන්නේයයි රජ්ජුරුවන්ට මංසලකුනු කියා සෝණ පණ්ඩිතයෝ යුහුව අනොතත්ත විලට ගොස් ඇරගෙන පලමුකොට පන්සලට අවුත් සපු දුනුකේ සිනිද්ද පොලොල් මල් ආදීන් සුවඳ ගෙන්වා තැන්පත්කොට තබා ගෙය මළුව හැමද පන්සල්දොර පියානන්ට උස්පුටුවකුත් ඊට පසුකොට මෑණියන්ට මිටිපුටුවකුත් පනවා පන්සලට වැද පියානන් වහන්ස එක්සියයක් රජ දරුවෝ මහ පිරිවරින් යුක්තව අප දක්නා පිණිස එන්නාහ ඔබ වහන්සේ එලියේ වැඩ උනමැනවැයි කීවාහුය. ඒ අසා කෞශික තාපසයෝ පන්සලින් පිටත්ව පනවන ලද අස්නෙහිඳ මෑණියෝ මිටි අස්නෙ හිඳ උන්නාහුය.

ඉක්බිති මහාබෝධිසත්වයෝ පියවර සටහන් ඇති මංහසරක් මවා එඹා මහරජ තෙල මංහසරින් ගියකල යම්තෙනෙක්හි මේඝකුටයන් හා සමානවු ඝනවනචඡයා ඇති කොබෝලීල පොල මිලිල මිලිල අඹ දඹ නා පනා කෙහෙල් පුවඟු නෙරළු මුහුළුආදී පුෂ්පජාති ඵල එල්ලවයෙන් සඤජන්නවු තරු වරගණාකීර්ණ වනඝටයෙක් ඇද්ද. එතැන්හි කෞශික නම්වු පියානන් වහන්සේ ඉඳ තපස්කරණසේක් එතෙම මාගේ තපෝවනය වන්නේයයි රජ්ජුරුවන්ට මංසලකුනු කියා සෝණ පණ්ඩිතයෝ යුහුව අනොතත්ත විලට ගොස් ඇරගෙන පලමුකොට පන්සලට අවුත් සපු දුනුකේ සිනිද්ද පොලොල් මල් ආදීන් සුවඳ ගෙන්වා තැන්පත්කොට තබා ගෙය මළුව හැමද පන්සල්දොර පියානන්ට උස්පුටුවකුත් ඊට පසුකොට මෑණියන්ට මිටිපුටුවකුත් පනවා පන්සලට වැද පියානන් වහන්ස එක්සියයක් රජ දරුවෝ මහ පිරිවරින් යුක්තව අප දක්නා පිණිස එන්නාහ ඔබ වහන්සේ එලියේ වැඩ උනමැනවැයි කීවාහුය. ඒ අසා කෞශික තාපසයෝ පන්සලින් පිටත්ව පනවන ලද අස්නෙහිඳ මෑණියෝ මිටි අස්නෙ හිඳ උන්නාහුය.

ඉක්බිති බෝධිසත්වයෝද මිටි අස්නෙහි එකත්පස්ව උන්හ එකල නන්ද පණ්ඩිතයොත් බෑණන් ගියපසු මනොජ රජ්ජුරුවන් ප්‍රධාන වූ එක්සියක් රජ දරුවන් කරා අවුත් ආශ්‍රමයට නුදුරුතැනෙක්හි සේනාව සන්නිවෙසකොට රැඳවුහ.

ඉක්බිති මනෝජ රජ්ජුරුවෝ පැන්සනහා සර්වාලංකාරයෙන් සැරහී රජ දරුවන් පිරිවරණ ලදූව නන්ද පණ්ඩිතයන් කැඳවාගෙන සෝණපණ්ඩිතයන් ක්‍ෂමා කරවනු පිණිස මහත් ශ්‍රි සෞභාග්‍යයෙන් යුක්තව ආශ්‍රමයට ගියාහ.

එසඳ මහබෝධිසත්වයන්ගේ පියානන් වහන්සේ රජ දරුවන් පිරිවරණ ලදුව ශක්‍රදේවේන්ද්‍ර විලාශයෙන් එන්නාවු මනොජ රජ්ජුරුවන් දැක පඤචංගිකතුර්ය මිහිඟුබෙර තූර්යයන් දහසක් කළාහ ආදීවු නොයෙක් ඝෝෂාවන් පවත්වා ඝනපලල් මේඝකූටයක්මෙන් විනිර්ගිත විiුල්ලතා සශ්‍රිකවූ තරුණාකීර්සම් ප්‍රතාපයක්මෙන් විරාජමානවු නලල්පට ආදී නානාභරණයෙන් සැඳි පැදී දුනු ඉයවුරෙහි සන්නද්ධව උදුනෙහි බහාතබනලද නාමජාමෙබානද ස්වර්ණණයට බඳූවු සොභා ඇති සගල ගරුරැස්කමෙන් තේජස් දීප්තිමත්වු මුඛ සොභාවෙන් විරාජ මානවූ නගන ලද ධවලාධපත්‍ර ඡායාවෙන් දුරුකරණ සූර්ය කාන්ති ඇති උභය පාර්ශවයෙහි විහිදුවන ලද චාමිකර වාරුවමාරයන් ඇති විසිතුරු සන්නාහයෙන් සරහන ලද සෛනධව සමාරූඪව නගන ලද ධවලාතපත්‍ර ඇති නොයෙක් රජ දරුවන් පිරිවරණ ලදුව අකමප්‍යසවභාව ඇති මහාසමුද්‍රයෙහි තරංඟ පරම්පරාවෙන් පරිද්දෙන් අපමණ වූ චතුරංගිනි සේනාව විසින් පිරිවරණ ලදුව අනුනවූ ශ්‍රී විභූතියෙන් යුක්තව එන්නාවු මූ කවරෙක්දැයි විචාළාහ.

එසඳ මහාබෝධිසත්වයෝ පියානන් වහන්ස එක්සියයක් රජ දරුවන් පිරිවරා සූවිසි අක්‍ෂොහිණියක් පමණ සේනාව පිරිවරණ ලදුව අසුරයන් පිරිවැරූ සුරෙන්ද්‍රයා විලාශයෙන් මුළු දඹදිවට අධිපති රාජන්වු මනෝජ රජ්ජුරුවෝ මාගේ මලනුවන් නන්ද කුමාරයන්ගේ කීමෙන් මා ක්‍ෂමා කරවන පැරැත්තයට එන්නාහුයයි කිවුය එකල තාපසයන් මෙලෙස ඔවු නොවුන් කථාකරමින් ඉන්දදී මනෝජ රජ්ජුරුවන් ප්‍රධානවු එක් සියක් රජ දරුවෝ සෘෂිවරයන් කරාගොස් නමස්කාර කොට සිටියාහ.

ඉක්බිති මනෝරජ්ජුරුවෝ සෘෂිවරුන් පසඟ පිහිටුවා වැඳ එකත් පස්ව ඉඳ කිමෙක්ද තපස්වීන් වහන්ස නුඹ වහන්සේලාට සැපද රොගවැසන නැද්ද වනමුල ඵල ඵලාදිය ඇවිලි ආහාරය සුලභද මෙවනයෙහි වාසය කරන්නාවු නුඹවහන්සේලාට මැසි මදුරු ආදීවු නයි පොලොන් සිංහ ගව වලස් ආදී දුෂ්ට සත්වයන්ගෙන් පීඩානැද්දැයි යනාදීන් සුවදුක් විචාළාහ.

එබස් අසා කෞශික තාපසයෝ මහරජ්ජුරුවෙනි අපට බලවත් ලෙඩ දුක් නැත්තේය, වනමුල් වන ඵලාහාරයනසුලභව තවද මහරජ මැසි මදුරු දුක්ද සිංහ වග වලසුන්ගෙන් පීඩ දුකකුත් නැත්තේය. තවද මහරජ මේතපොවනයෙහි බොහෝවාකාලයක් මුළුල්ලෙහි වාසය කරන්නාවු අපට කිසි පීඩාවකුත් නැත්තේයයි කියා මහරජ තොපගේ ඊම යහපත් ගමනෙක් වේවයි මේ තපෝ වනයට පැමිණියාවු තොපසියල්ලන් විසින් සත්කාර කටයුතු බැවින් ප්‍රධානයම්හ මේ තපොවනයෙහි යමකින් තොපට ප්‍රයෝජනයෙක් ඇත්නම් තොපගේ අභිප්‍රාය අපට කියව තවද මහරජ දඬුවැල්බෑ මී හා සමානවූ මධුර රස ඇති රන්වන් තිඹිරියකටු එරමිණිය යනාදීවූ යහපත් ඵලාඵල යෙන්ද අනොතත්ත විලින් ගෙනවිත් සුවඳ නවා සිහිල්බස්වනලද මිහිරිපැන්ද යන මෙයින් කැමති අනුභව කරවයි යනාදීන් ආගන්තුක සාද කළාහ.

ඒ අසා රජ්ජුරුවෝ තපස්වීන් වහන්ස නුඹ වහන්සේ විසින් අපට අර්ථි සත්කාර පිණිස දුන් ඵලාඵල ආදියෙක් ඇත්නම් ඒ සියල්ල අප විසින් පිලිගන්නාලද නන්ද පණ්ඩිතයන් වහන්සේ යම් කටයුත්තක් කියනසේක් වීනම් ඒ වචනයත් ඇසුව අපි ඇමදෙනමෙන් අන් කිසිකාරියක් නැතිව නන්ද පණ්ඩිතයන් වහන්සේගේ කීමෙන් සොණ පණ්ඩිතයන්ට පැරැත්ත කියා ක්‍ෂමා කරවන පිණිස අම්හයි කීහ.

රජ්ජුරුවෝ එකල සකිසඳ නන්දපණ්ඩිතයෝ උනස්නෙන් නැගී සිට දෙමව්පියන්ටද සෝණ පණ්ඩිතයන්ටද නමස්කාර කොට රැස්වු පිරිස අභිමුඛව අධිකරණ රාජයන්වූ මනොජ රජ්ජුරුවන් ප්‍රධානව මේ එසියක් රජ දරුවන් හා බ්‍රහ්මණ ග්‍රහපතියන් ඇතුළුවූ මේ සියළු පර්ෂිත්ද අනිකුත් මේ වනයෙහි ඇත්තාවු සියළු දෙවියෝද මා කියන්නක් අසත්වයි දෙවියන්ට බන්ධාඤජලීව සෝණපණ්ඩිතයන් වහන්ස මම නුඹ වහන්සේට මල්ව සිටි හෙයින් දක්‍ෂිණ බාහුව සමානයෙමි එසේ හෙයින් මා කළ අපරාධ ක්‍ෂමා කළ මැනව බෑණන් වහන්ස විර්ය ඇති නුඹ වහන්සේ කුශලාක්‍ෂෙත්‍ර මව්පිය දෙදෙනාට උපස්ථාන කොට කුසල් රැස්කරණු කැමතිවූ මානොවැලකුව මැනව බැණන් වහන්ස දෙමව් පියන්ට උපස්ථාන කිරීම නම් නුවණැත්තන් විසින් උතුමැයි ප්‍රතිසංසාකරණ ලද ඒ කුශලය නුඹ වහන්සේ විසින් බොහෝ දවසක් කරණලද මෙතැන් පටන් ගෙන මටත් උපස්ථාන කරන්නට අවසර දීමෙන් සුරලොව සැපමටත් බෙදාදුන මැනවැයි කියා යාච්ඤා කළාහ.

මෙ ලෙස නන්දපණ්ඩිතයන් විසින් කී කල්හි මහාබෝධිසත්වයන් වහන්සේත් මුන් විසින් කීබස් ඇමදෙනා විසින් ඇසුවා ඇත්තේවේද මුන්ගේ කීමෙන් මට පැරැත්තයට ආ හැමදෙනාම මා කියන්නක් ඇසුව මැනවැයි පර්ෂිදට අභිමුඛව මහරජ කුලයෙහි බාල වෘද්ධ දුප්පත් පොහොසත් සියළු සත්වයන්ගේ පෝෂ්‍යය එකුලයෙහි වැඩි සිටි කෙනෙකුන්ට භාර වන්නේය. මේ ලෙස නොකොට ඒ ස්වභාව ධර්මය පිරිහෙලන්නාවු වර්ගීග ජ්‍යෙෂ්ඨ සත්වතෙම නරකාදී සතර අපායට පැමිණෙන්නේය.

තවද මහරජ යම් සත්වයෙක් මව්පිය බන්ධුන් ආදී වර්ග ජ්‍යෙෂ්ඨත්වයන්ට අත්පා මෙහෙවර කිරීම් ආදීන් උපස්ථාන කොට රැක්කේවිනම් එසේවු සත්ව තෙම මරණින් මත්තෙහි නරකාදී අපායට නොගොස් සුගතියට පැමිණෙන්නේයයි වදාළහ.

තවද මහරජ මැණියෝය පියාණෝය බූනණියෝය යන මේ සියල්ලෝම නැයෝයයි යන මේ හැමදෙනම ඒ ඒ වර්ගයාට ජොෂ්ඨනැත්තන්ට භාර වන්නාහ යම්සේ නැවෙක්හි බොහෝ බඩු පටවාගෙන සමුද්‍රයෙහි යාත්‍රාකරණ කල බඩු හා මනුෂ්‍යයන් ඇතුළුවූ සියල්ලම නොනසා අභිමතාර්ථයට ගෙන යාම නැවියාට භාරවේද එපරිද්දෙන්ම මම මේ වංශයට ප්‍රධානයෙමි එසේ හෙයින් මව්පිය දෙදෙනාහට පෝෂ්‍ය කිරීම මට භාරයයි මම්ම රකිමියි යනාදීන් මව්පියන් රැකීමෙහි අනුසස්කීමෙන් ධර්මදේශනා කළාහ.

එබස් ඇසූ හැම රජ්ජුරුවෝම සමාධිව අභිඥානන්ධයෙන් වැහෙන ලද නුවණැස් ඇති අපි ඇම යම්සේ පර්වතාග්‍රයෙහි දීප්තිමත්වු වහනිස්කන්ධය සියළු සතුන්ට ප්‍රකාශ කෙරේද යම්සේ උදය පර්වතයෙහි පළමු සූර්යාලෝකය ඉෂ්ටානිෂ්ටවු සියළු වස්තුන් ප්‍රකාශකෙරේද එපරිද්දෙන් සෝණ පණ්ඩිතයන් වහන්සේගේ ධර්මශ්‍රවණය කොට ජ්‍යෙෂ්ඨ පවායන ක්‍රියායෙහි ඉෂ්ට විපාක ඇත්තේයයි යනාදී මනෝජ රජ්ජුරුවන් ප්‍රධානවු සියළු සත්වයෝ සෝණ පණ්ඩිතයන්ට ස්තුතිකොට කුල්මත් වචනයන් පැවැත්වූහ.

මෙතෙක්කල් මුළුල්ලෙහි නන්දපණ්ඩිතයන්ගේ ප්‍රාතිහාර්යය දැක උන් කෙරේ ප්‍රසන්නවූ රජ දරුවන් මෙහබෝධිසත්වයෝ තමන්ගේ නුවණ බලයෙන් තමන්ගේ වසඟයට පමුණුවාගත්සේක. එහෙයින් මුන් වහන්සේ විනා මට අන් පිළිසරණක් නැත්තේය. මුන් වහන්සේට යාච්ඤාව අවසරයක් ලදින්නම් යෙහෙකැයි සිතා දොහොත් මුදුණෙහි බැඳ බෑණන් වහන්ස මෙලෙස මා යාච්ඥා කරමින් සිටියදී නොපිළිගන්නාසේක් වී නම් නුඹ වහන්සේම මව්පිය දෙදෙනාට උපස්ථාන කළ මැනවැයි මම නුඹ වහන්සේට අත්පා මෙහෙවර කරමි සිතා කියා යාච්ඤාකළහ.

මහාබෝධිසත්වයන් කෙරෙහි වෛරයක් වේෂයෙක් නැත්තේය. තවද රූක්‍ෂවූ බස් කීමෙන් මානනිග්‍රහ කෙරෙමියි කිපියාක්මෙන් පැවත නිහතමානිව මලනුවන් විසින් කියන යාච්ඤාව අසා සතුටුව ක්‍ෂමා කෙළෙමි මෙතැන්පටන් උපස්ථාන කරන්ට ලැබෙවයි යනාදීන් කියා මත්තෙහිදු ඔහුගේ ගුණ කියන්නාහු මහාබෝධිසත්වයෝ නන්දපණ්ඩිතයෙනි තොපි ඒකාන්තයෙන් බුද්ධාදී සත්පුරුෂයන් විසින් දේශනා කරණ ලද සද්ධර්මය යහපත්කොට දන්නෙහිය එහෙයින් එහෙයින් උඩකායවාක් ප්‍රසන්නවිමියනාදීන් නන්ද පණ්ඩිතයන් අස්වසා දෙමාපියන් දසාවට නමස්කාර කොට පින්වත්වු නුඹ වහන්සේලාත් මා කියන්නාක් අසා වදාළ මැනව නුඹ වහන්සේලා නිසා කිසිලෙසකිනුත් මට බැරෑරුමෙක් නොවන්නේය. එතකුදු උවත් මා උපස්ථාන කරමින් සිටියදී මේ නන්ද පණ්ඩිතයෝ මෙතෙක් දෙනා පැරැත්තයට ඇරගෙන අවුත් මට යාච්ඤාව නුඹ වහන්සේලාට උපස්ථාන කරන්නට අවසර ඉල්වති අප දෙදෙනාම නුඹ වහන්සේගේ පුත්‍රයම්හ මා විසින් තෙපි එක්කෙනෙක්ම උපස්ථාන කරවයි කිම සුදුසු නොවෙයි අප දෙදෙනාගෙන් කවුරු උපස්ථාන කරන්නට අභිප්‍රායද නන්දයෝ කවුරුන්ට උපස්තාන කෙරෙද්දැයි විචාළාහ.

එකල සෝණපණ්ඩිතයන්ගේ මෑණියෝ හුනස්නෙන් නැගී දරුව සෝණ පණ්ඩිතයෙනි තොපගේ මලනුවෝ බොහෝ දවසක් අපහැම කෙරෙන් වෙන්ව විසූය. එසේද වුවත් බොහෝ කලකින් දුටුවාවූ මුන් කෙරෙහි සෙනඟ ප්‍රකාශ කරන්ටත් තොප පිළිබඳව සිටිහෙයින් නොහැක්කෙමි ඉදින් තොපගේ අභිප්‍රායෙක් ඇත්නම් තොපගේ මලනුවන් ලාංකොටගෙන මුදුනෙහි සිඹසනහන්නා කැමැත්තෙමි කිවුය. එබස් අසා බෝධිසත්වයෝ මෑණියන් වහන්ස මා කනස්සළුවෙතියි නොසිතා නුඹ වහන්සේගේ පුතනුවන් ලංකොටගෙන සනහා සිත ඇති සෝකදුක්ඛයෙක් ඇත්නම් දුරුකළමැනවැයි කිවුය. එසඳ බෝධි සත්වයන්ගේ මැණියෝ නන්දපණ්ඩිතයන් මහජනයා මධ්‍යයෙහි නන්ද පණ්ඩිතයන් ලංකොටගෙන දරුව සෝණපණ්ඩිතයෙනි තොපගේ මලනුවන් බොහෝ කලක් නුදුටු හෙයින් මාගේ ලය ඇසලමස මගපවනින් පහරණ ලද බෝගසක පලුපතක්මෙන් කම්පාවන්නේය යම්කලෙක්හි රාත්‍රියෙහි සීනෙනුත් මේ නන්ද පණ්ඩිතයන් අපගේ ආශ්‍රමයට ආනියාව දැක බලවත්වු සන්තෝෂයට පැමිණිය මෝද ඒ නන්දයෝ දැන් අපගේ ආශ්‍රමයට ඒ කාන්තයෙන් ආහෙයින් අපමණ සන්තෝෂයට පැමිණියෙමි ඉදිරියෙහිත් මේ නන්දයෝ යම්ලෙසකින් වෙන්ව ගියෝ නම් සොකදුක්ඛය දියුණු වන්නේය. මොහු දැක්ම තොපටත් මටත් පියාණන් වහන්සේටත් ප්‍රියය එහෙයින් මෙවක් පටන් නන්දයෝ තොපගෙන් අවසර ලැබෙත්වයි මෙතැන්පටන් තොපි තොපගේ පියානන් වහන්සේට උපස්ථාන කරව නන්දයෝ මට පෝෂ්‍ය කෙරෙත්වයි බෝධිසත්වයන්ට යාච්ඥාකොට කීහ.

ඒ අසා සෝණ පණ්ඩිතයන් වහන්සේ මෑණියන් බස් පිළිගෙන නන්දයෙනි තොප විසින් ප්‍රධානකොඨාසය ලබන ලද මව් නම් දරුවන් ප්‍රාර්ථනාකොට ඉෂ්ට දේවතාවන්ට අයදිමින් කවර සෘතුයෙහි කවරමස කවරනකතක කවරදව සේක. උපන් දරුවෝ දිගාවෙද්ද යනාදීන් නකත්මොහොත් විචාරමින් දුක් විඳිති තවද මෙලෙස සත්පුරුෂාකාරයෙහි නිරතවු පුත්‍රලාභයට කාරණා ඇති නැත්නම් මල්වරගෙන සතරවෙනි වාරයෙහි ගර්භයාගේ පිළිසිඳිම වන්නේය. එලෙස පිහිටි ගර්භෝත්පත්තිය නිසා දොළදුක් උපදනේය. උපන් ඒ දරුදොළ නිසා සුවපත් වන්නේය. දස එකඩ මසක් මුළුල්ලෙහි එදරුගැබ උසුලමින් ගබ පෙරහර කෙරෙමින් වදා කිරිපොවමින් අත්පා කන් නාසා ඇඹීමෙන් සිරුරු පිළියම් කිරීමෙන් ශිතොෂ්ණාදී උපද්‍රව වැද්දනොදි පෝෂ්‍යය කෙරෙමින් මාත්‍රුසන්නකවුවත් යම් ධනයෙක් ඇත්නම් සියල්ල ඔහු සන්තකකොට රැක්මෙන් කවාපොවා වඩා වර්ධනකොට ඉඳිමි සිටිම් ඇවිදිම් පැළඳිම් ආචාර සමාචාරයෙහි හික්මවමින් ඔහු යෞවන අවස්ථාවට පැමිණිකල්හි පරදාරාදී දෝශයෙන් විඳිනා උපද්‍රවයෙන් වලකමින් කිසියම් තැනකට ගියසඳ අවමනාකලට වෙලාවට නුදුටුහොත් අඬා දොඩා වැලප සෝකයෙන් පිඩාවිඳිමින් මේ ආදී නොයෙක් ආයාසයෙන් වඩා වර්ධනකොට දරුපෝෂ්‍යකරන්නාහුය.

මෙලෙසින් නොයෙක් දුක්ගෙන වර්ධනය කල මවුපියන්ට සත්වයෙක් අත්පා මෙවෙර කිරීමෙන් ආදී පෝෂ්‍යනොකොට අනාචාරීව පවතිද්ද එර් සත්වතෙම නරකාදි සතර අපායට යන්නේය. තවද යම් සත්වයෙක් කෘෂි වනිජජාදින් ධනාර්ජනයකොට දෙමව්පියන්ට උපස්ථාන නොකෙරේද ඔහු සම්පත් වහා නැසෙන්නේය. සුගතියට නොපැමිණෙන්නේය. තවද යම් සත්වයෙක් මවුපියන්ට උපස්තාන කෙරේද එතෙම මෙලොව ජිවත්වනතෙක් සුඛිත මුදිතව සියල්ලන් විසින් නින්දා පරිභවයට නොපැමිණි සැපසේ ජීවත්ව සුගතියට පැමිණෙන්නේය. තවද නන්දයෙනි මේ ලෝකයෙහි යම් සත්වයෙක් ශ්‍රමණ බ්‍රාහ්මණ මවුපිය බෑ බුන් නැදිමයිල් මේ ආදීවු ඒ ඒ සත්ව විශේෂයෙහි ශක්තිවු පරිද්දෙන් බත් පිලි ආදී දිමය කන් කටලුනොවු බසින් යුක්තව බැණ නැගීමය ඔවුන්ගේ පැමිණ ලෙඩදුක් ආදිය සියළු කාරියෙහි උපෙක්‍ෂානොවි බැලීමෙන් වැඩෙහි හැසීරීහය. ඒ ඒ තැන්හි චන්‍දනමානය සම්භාෂණ පෝෂණාදීවු තමා තමාහා සමානකොට තැකීමය යන මේ සතර සංග්‍රහවස්තුවෙන් නොපවතිත්ද ඒ සත්වයාගෙන් මවුපියන්ට කිසි ප්‍රයොජනයෙක් නැත්තේය. මවු පියන් නිසා ඕහට ද වැඩක් නැත්තේය ඔහුට සුගතියාමකුත් නැත්තේය. එහෙයින් මවුපියන්ට උපස්ථාන කරන්නාවු සත්තෙම සියල්ලවුන්ගෙන්ම මෙලොප්‍රසංසාවද පරලෝ සුගතියද ලබන්නේය.

තවද නන්දයෙනි දරුවන් කෙරෙහි අනුකම්පාව ඇති මවුපියෝ ශ්‍රෙෂට හෙයින් ප්‍රධාන හෙයින් බ්‍රාහ්මයා හා සමානයයි කියාද උක්ත ප්‍රකාරහෙයින් පුර්වාචාරියයි කියාද ඉදින් දුරස්ථව උනුන් උන්තැනින් කැඳවා ගෙන්වාගෙණ කරන්නාවු සියළු සම්භාවනාවට යොග්‍යයයි කියාද බුද්ධාදී උත්තමයන් විසින් කියන ලද ඒ කාරණයෙන් ප්‍රාඥිවූ සත්වතෙමේ දෙමව්පියන් ආදීන්ට වැඳිම් පිදීම් අන්නපානාදී වස්ත්‍රාභරණාදීය දීමෙන් ඇඳ පුටු ආදීයදීමෙන් ඇඟ ඉලීම් ඉස්සේදීම් පයසේදීම් තෙල් ගැවීම් ආදී උපස්ථාන කිරීමෙන් නුවණැති සත්වයෝ කුසල් පුරාගෙන මෙලොව ප්‍රසංසාවටද පරලොව සවර්ගොත්පත්තියටද බැමිණෙන්නේයයි යනාදීන් මහබෝධිසත්වයෝ නන්ද පණ්ඩිතයන්ට මහවෙර පෙරලන්නාක්මෙන් මහොත්සාහයෙන් ධර්මදේශනා කළහ. ඒ අසා මනෝජ රජ්ජුරුවන් ප්‍රධානවූ සියලුසත්වයෝ සාධුකාරනාද පවත්වමින් සතුටුවූහ.

එකල මහබෝධිසත්වයෝ එහි සියළු සත්වයන් පන්සිල් පිහිටුවා දානාදී සුචරිතයන් පුරා අප්‍රමාදවවයි අවවාද කොට නික්මුනාහ. එකල මනොජ රජ්ජුරුවන් ප්‍රධාන වූ සියළු රජ පිරිස දශ කුශල ධර්මයෙන් පිහිටා සොණ පණ්ඩිතයන්ගේ අවවාද අනුශාසනා වූ පරිද්දෙන් දිවි පමණින් වාසය කොට මරණින් මත්තෙහි ස්වර්ග පද ප්‍රාප්ත වූහ.

සෝණ නන්ද පණ්ඩිතදෙන ජිවිතාන්තය දක්වා දෙමව්පියන්ට උපස්ථාන කොට ජිවිතාන්තයෙහි බ්‍රහ්මලෝකයෙහි ගොස් උපන්නාහුයයි තිලොගුරු බුදුරජානන් වහන්සේ අතීත කථාව ගෙනහැර දක්වා දෙමව්පියන්ට උපස්ථාන කරන්නාවු ඒ භික්ෂූන් වහන්සේ ප්‍රධාන වු සිව්වනක් පර්ෂිද්ට ධර්මදේශනාකොට මේ සෝණ නන්ද ජාතකය නිමවා වදාළ සේක.

එකල්හි මව්පියන්ට උපස්ථාන කල භික්ෂූන් වහන්සේ සෝවාන් ඵලයෙහි සිහිටිසේක. එකල්හි මව්පියෝ දෙදෙන දැන්මේ සුද්ධෝදන රජ්ජුරුවන් හා මහා මායා දෙව්වුහ. නන්ද පණ්ඩිතයෝ නම් දැන් ආනන්ද ස්ථවිරයෝය. මනෝජ රජ්ජුරුවෝ නම් ශාරිපුත්‍ර ස්ථවිරයෝය. සියක් රජ දරුවෝ නම් අසූමහසව්වන් හා අවශේෂ ස්ථවිරයෝය. සූවිසි අක්‍ෂොහිණියක් සේනාව දැන් බුදු පිරිස් වුහ. එසමයෙහි සෝණ පණ්ඩිතයෝ නම් දැන් ලොවුතුරා බුදුවූ මම්ම වේදැයි තමන් වහන්සේ දක්වා වදාළ සේක.

 

 
උපුටා ගැනීම – www.jathakakatha.lk

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.