506 තෙසකුන ජාතකය - IFBC Organization | Dhamma

බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේ වැඩ වාසය කරන සේ්ක්. කොසොල් රජ්ජුරුවන්ට අවවාද වශයෙන් වදාරන ලදි.

දිනක් බණ අසනු පිණිස විහාරයට ගිය කොසොල් රජුජුරුවන් අමතා මහරජතුමනි, මහ රජදරුවන් විසින් දසරාජ ධර්මයෙන් රාජ්‍ය කටයුතු වන්නේය. රජ්ජුරුවෝ අධර්මකාරී වූවාහු නම් රාජපුරුෂයෝද අධර්මික වන්නාහයි අවවාද කොට පෙර අබුඬොත්පාද කාලවල පවා රජදරුවෝ නුවණැතියන්ගේ අවවාදයෙහි පිහිටා රාජ්‍යය කොට දෙව්ලොව ගියෝ වේදැයි ඉකුත්වත් වදාළ සේක.

යටගිය දවස බරණැස රාජ්‍යය කල බ්‍රහ්මදත්ත රජතුමා දේවතාරාධනය කොටත් දරු කෙනෙක් නොලදින් දිනක් උයන් කෙළියට ගොස් සල් ගසක් උඩ පක්‍ෂීන් කැදැල්ලක් දැක පුරුසයෙකු ගස උඩට නංවා බලා බිජුවට තුනක් ඇති නියාව දැන ඒ කුමන බිජුවට දැයි වැද්දන් ගෙන්වා විමසා එකක් බකමූණූ බිජුවක්ය, එකක් ගිරා බිජුවක්ය, එකක් සැළලිහිණි බිජුවක් යයි අසා මොහු මාගේ දරුවෝ වන්නාහයි ඒ තුනම අමාත්‍යයන්ට තුන්දෙනෙකුට පාවාදී මා දරුවෝ මේ බිජුවට වලින් උපන් කල්හි මට කියවයි නියම කළහ. ඒ අමාත්‍යයෝද ඒ බිජුවට මනා කොට රැක බකමුහුණු පැටවා උපන් කල ස්ත්‍රී, පුරුෂ බව වැද්දන් ගෙන්වා විමසා බලා රජ්ජුරවන් සමීපයට ගොස් රජතුමනි, ඔබට පුතෙක් උපන්හයි කීය. ඒ අසා රජ්ජුරුවෝ බොහෝ සතුටට පත්ව බොහෝ වස්තුව දී මනා කොට රකුවයි නියමකොට යැවූහ.

වෙස්සන්තර කුමාරයෝ යයි නමක්ද තැබූහ. දෙවනුව උපන් සැළලිහිණි පැටවා බලා ස්ත්‍රී බව අසා කුණ්ඩලී යන නමද තෙවනුව උපන් ගිරා පුත්‍රයාට ජම්බුක යන නමද තබා ඒ ඒ තන්හිම මනා සේ ආරක්‍ෂා ඇතිව ඇතිදැඩි කරන්නාහ. මාගේ පුතණුවෝය. මාගේ දියණියෝය අමතන්නාහ. අමාත්‍යයෝ බොහෝ විට රජ්ජුරුවන්ට සිනාසෙන්නාහ. රජ්ජුරුවෝ දිනක් සිතන්නාහු මේ අමාත්‍යයෝ මාගේ දරුවන්ගේ තරම නොදනිති. මුන්ගේ ප්‍රඥා මහිමය දක්වමියි සිතා එක් ඇමතියෙකු කැඳවා එම්බල ඇමතිය, තෝ වෙස්සන්තර නම් මාගේ දරුවන් සමීපයට ගොස් ඔබගේ පියාණන් වහන්සේ, ඔබ අතින් ප්‍රශ්ණයක් විචාරනු කැමති සේක.
කවර දවසක පැමිණිය යුතු දැයි දැනගෙන එවයි කියා යැවූහ. ඒ අමාත්‍යයාද ඒ බව ගොස් වෙස්සන්තර කුමාරයාණන්ට දැන්වීය. වෙස්සන්තර කුමාරයා එය අසා තමා අතින් ප්‍රශ්න විචාරනු පිණිස මෙහි එන සේක. එතුමා ආ කල සත්කාර කල යුත්තේ ය. එබැවින් උන්ට කවර දා එන්ට කියමෝදැයි අසා අදට සත්වන දිනය හොඳ යයි සම්මත කොට කියා යැවූහ. රජතුමා නුවර බෙර පියවිකරවා චතුරංගනී සේනාව සමඟ තම පුත්‍ර වෙස්සන්තර නම් පක්‍ෂියා වසන තැනට ගියහ.

වෙස්සන්තර කුමාරයා තමා පෝෂ්‍ය කරන අමාත්‍යයන් ලවා රජ්ජුරුවන් ප්‍රධාන හැමට සත්කාර කරවූහ. රජතුමා සිංහාරූඩව වෙස්සන්තර පක්‍ෂියා රන් පුටුවක හිඳුවා පිරිස මධ්‍යයෙහි පක්‍ෂියා අමතා වෙස්සන්තර නම් පක්‍ෂියාණෙනි, රාජ්‍ය කරන්නා වූ රජ දරුවන් විසින් කවර කෘත්‍යයන් මනාකොට කරන ලද්දේ උතුම්ද එය තත්වූ පරිද්දෙන් කියවයි කීහ. එවිට වෙස්සන්තර කුමාරයෝ එය නොවිසඳා පළමු කොට පියරජ්ජුරුවන්ගේ ප්‍රමාදය ගැන චෝදනා කරන්නාහු, පියාණන් වහන්ස, බොහෝ කලක් නුවර වාසින්ට අනුශාසනා කරන සේක්. නුවර වැස්සන් විසින් රජ්ජුරුවෝ තිරිසනුන්ට පුතා යයි ව්‍යවහාර කෙරෙතියි කියා අපහාස කරන කල්හිත් තොප සමිපයෙහි මම වැනි නුවණැතියෙකු සිටියදීත් ප්‍රශ්න විචාරා ඔවුන්ගේ විමතිය දුරු කිරීමට ප්‍රමාදවීම නොහොබියයි දොස් කියා පියරජතුමනි, රජදරුවන් විසින් රාජ ධර්මයන් තුන්දෙනෙකු කෙරෙහි පිහිටිය යුත්තේය. පළමු කොට බොරු නොකිය යුත්තේය. බොරුකීම හේතු කොට ගෙන එම රාජ්‍යයෙහි තණ වෘක්‍ෂ ලතාදියෙහි ඕජා නැති වන්නේය. භූමියෙහි ඕජාව සත් රියනක් පහත බසින්නේය.

එකල සත්වයන් අනුභව කරන තෙල්, මී, සකුරා, ආදී ඕජාවද හීන වන්නේය.ඕජාව රහිත ආහාර ගන්නා සත්වයන්ට බොහෝ ව්‍යාධි ඇත්වන්නාහ. වස්තුව හීනව රජදරුවෝ දිළිඳු වන්නාහ. එබැවින් ජීවිතය සඳහාවත් බොරු නොකියයුතු වන්නේය. සැබෑ වූ බසු මධුර වූ රස ඇත්තේය. එබැවිනි රසායනයක් වන්නේය. මුසාවාදය දෙවන ආත්මයෙහි නරකයෙහි උපත ලබා දෙන්නේය. තවද පියාණනි, රජදරුවන් විසින් කෝපය වැළකිය යුත්තේය. ක්‍ෂාන්තියෙන්ද, මෛත්‍රීයෙන්ද, දයාවෙන්ද යුක්තව එකම පුතෙකු ඇති මවක මෙන් ප්‍රියදර්ශනයෙන් ලෝ වැස්සන්ට අනුශාසනා කටයුතු වන්නේය. එසේම රජදරුවන් විසින් ක්‍රීඩාශීලී නොවිය යුතුය. එහි ගැලී වාසය කිරීමෙන් රාජ්‍ය පාලනව දුර්වල වන්නේය. අප්‍රමාදව රාජ්‍යයහි කටයුතු කරවයි කීය.

මෙසේ වෙස්සන්තර පක්‍ෂියා රජ්ජුරුවන්ට සර්වඥ විලාශයෙන් ප්‍රශ්න විසඳූ නියාව දුටු දහස් ගණන් මහ ජනයා සාධුකාර පැවැත්වූහ. රජ්ජුරුවෝ සොම්නසට පැමිණා අමාත්‍යයන් අතින් විසින් විමසා වෙස්සන්තර පක්‍ෂියාට අයකැමි තනතුරෙහි පිහිටවූහ. නැවත රජ්ජුරුවෝ කුණ්ඩලි නමි ලිහිණිය සමීපයට කල් දන්වා යවා සත්වෙනි දින එහි ගොස් සත්කාර විඳ ඈ සවණ පීඨයෙහි හිදුවා ඈ අමතා ලිහිණිය ප්‍රශ්ණයක් විචාරමියි, විසදුව රාජ්‍යය කරනු කැමැත්තාවූ රජදරුවන් විසින් කවර කාරියක් කළ කල උතුම් වේද තත්වූ පරිද්දෙන් කියවයි කීහ. එවිට ලිහිණිය කියන්නී පියාණනි, ඔබවහන්සේ ස්ත්‍රීහු නුවණ මද හෙයින් පරීක්‍ෂා කිරීම වශයෙන් විචාරතියි සිතමි. එබැවින් මම ඔබට සියළු රාජධර්මය පද දෙකකින් කියමියි කියාලා රජතුමනි, පෙර නොලබන ලද ලාභයාගේ ලැබීමය, ලබන ලද ලාභය නෑ සිය නොදී රක්‍ෂා කිරීමය යන දෙක වන්නේය නූපන් ලාභය උපදවා ගැනීමට බැරි නොවන්නේය.
උපන් ලාභය සොර සතුරු ආදීන්ගෙන් නැසීමට නොපමුණුවා රැක ගැනීම බැරෑරුම් වන්නේය. සමහර සත්වයෝ මානයෙන් ප්‍රමාදවූයේ අකුසල ධර්මයන්හි යෙදුනේ කොල්ල කා ඇවිඳින්නේය. එකල්හි ඔහු රජදරුවෝ අල්වා ගෙන මහත් වූ විනාශයට පමුණුවන්නාහ. වස්තුව නිමා ගිය කල්හි දොර දොර සිඟා ඇවිදින්නේය. සමහර සත්ව කෙනෙක් ලාභ සත්කාර උපදවා අප්‍රමාදව සිට කුසල කර්ම වල යෙදී වාසය කරන්නේ වී නම් ඔහුගේ යසස කලාවෙන් කලාවට වැඩෙන සඳ මෙන් අභිවෘද්ධියට පැමිණෙන්නේය. එබැවින් රජතුමනි, ඔබ වහන්සේත් අප්‍රමාදව දැහැමින් රාජ්‍යය කරමින් උපන් යසස් රැක්ක මැනවයි දක්වා ක්‍රෝධයෙහි ආදීනව පෙන්වා මෙසේ ඒ කුණ්ඩලී නම් ලිහිණී තොමෝ රජ්ජුරුවන්ට ධර්මය දේශනා කළාය.

රජ්ජුරුවෝ එබස් අසා සතුටුව ඇමතියන් අතින් විචාරා කුණිඩලී ලිහිණිය භාණ්ඩාගාරික තනතුරෙහි තුබූහ. ඊට නොබෝ දිනකින් ජම්බුක පණ්ඩිතයන් සමීපයට ගොසින් උන් දුන් මහ සම්පත් අනුභව කොට රන් පුටුවක හිදුවා පුත ජම්බුකයෙනි, තොපගේ බෑණන් හා බූණනියන් අතින් රාජධර්මය විචළෙමි. තොප අතිනුත් විචාරමියි. උතුම් රාජධර්ම බලයෙන් කියවයි කියා සෙසු දෙනා අතින් විචාල සැටියේ නොවිචාරා විශේෂ කොට විචාළහ. එවිට ජම්බක පණ්ඩිතයෝ එසේ නම් රජතුමනි, කන් යොමා අසවයි කියා ධර්මයෙන් දේශනාවට පටන් ගත්හ. මේ සත්ව ලෝකයෙහි මහත් වූ අධ්‍යාස ඇති පුරුෂයා කෙරෙහි පක්‍ඳ්චවිධ බලයක් වන්නේය.
එයින් කාය බලය ඉතා මහත් වී නම් ලාමක වන්නේය. මන්ද? අඥාන බල බැවිනි. ඉදින් කාය බල මහත් නමුත් කුඩා කැටකිරිල්ලියගේ ප්‍රඥා බලයෙන් හස්ති රාජයා ජීවිතක්‍ෂය පත්වූයේය. එබැවින් සෑමතැනම කාය බල ප්‍රයෝජන නැත. කාය බලයට වඩා භොග බලයම මහත් වන්නේය. ඒ භොග බලයට වඩා භෙද බවට නොපමුණුවන්නා වූ මන්ත්‍රණ ඇති සෞර වීර්‍යය ඇති සන්හුන්නා වූ අමාත්‍ය මණ්ඩලයා ඇති හළ කියන ලද බලය පූර්ව බලයට වඩා ඉතා වටනේය. බ්‍රහ්ම – වෛශ්‍ය – ක්‍ෂුද්‍ර යන ත්‍රිවිධ කුලයන් ඉක්ම ක්‍ෂත්‍රීය කුලය වශයෙන් ත්‍රිවිධ බලයටම වඩා මහත් වන්නේය. මේ සතර බලයටම වඩා ප්‍රඥා බලය මහත් ශ්‍රේෂ්ඨ වන්නේය. ඒ සත්වයා අභිවෘද්ධියට පැමිණෙන්නේය. පියාණෙනි, නුවණ නැත්තාට සත්ත රත්නයෙන් පිරිපුන් පෘථිවි මණ්ඩලය ලද්දේ වී නමුත් ඉතා පලක් නොවන්නේය.
කිසිවෙකුට ඔහු අසමර්ථ වන්නේය.
උපායෙහි දක්‍ෂ නොවන බැවින් දුක්පත් වන්නේය. යනාදී වශයෙන් මෙසේ ප්‍රඥාවෙහි ගුණ කියා ගාථා දහසකින් අවවාද කොට දෙමාපියන්ට උනටැන් කොට ස්වර්ගමෝක්‍ෂ සමාපත්තියට උත්සාහ කළ මැනව. දරුවන්ට ශිල්ප ශාස්ත්‍රය උගන්වා නිසි වයස පැමිණි විට අවාහ විවාහ කොට දායාද දී යුතුකම් ඉටු කළ මැනව, අගබිසව ඇතුළු අනතඃපුර ස්ත්‍රීන්ව ධර්මයෙහි යෙදවුව මැනව, කළ්‍යාණ මිත්‍රයන් ඇසුරු කොට දෙව්ලොවට පැමිණ සමිපත් අනුභව කළ මැනවයි ආකාශ ගංගාව ගෙනහර පාන පරිද්දෙන් රජ්ජුරුවන්ට ධර්මදේශනා කළහ. දහස් ගණන් ජනයා සාධුකාර නාද පැවැත්වූහ.

ඉන් ප්‍රමුදිතවූ රජතුමා ඇමතියන් අතින් විචාරා සෙනෙවිරත් තනතුරදී සම්මාන කළහ. ඔහු තුන් දෙන රජ්ජුරුවන්ට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළහ. ටික කාලයකට පසුව රජතුමා මිය පරළොව ගිය කල්හි ජම්බුක පණ්ඩිතයනට ලත් රාජ්‍යය තිරිසන් බැවින් ප්‍රතික්‍ෂෙප කොට තොපි හැම අප්‍රමාදව රාජ්‍යය කරවයි මහජනයා ශීලයෙහි පිහිටුවා මෙපරිද්දෙන් වසවයි කියා අධිකරණ ශාස්ත්‍ර රන්පත දෑ හිඟුලෙන් ලියවා රාජ භාණ්ඩාගාරයෙහි ලවා වනයට වන්හ. ජම්බුක පණ්ඩිතයන්ගේ අවවාදය සතළිස් දහසක් අවුරුදු මුළුල්ලෙහි පැවැත්තේය.

එසමයෙහි රජ්ජුරුවෝ නම් දැන් ආනන්ද ස්ථවිරයෝය. කුණ්ඩලී නම් උපුල්වන් මෙහෙණිය වූ අතර වෙස්සන්තර පක්‍ෂියා දැන් සැරියුත් තෙරුන් විය. ජම්බුක පණ්ඩිතයෝ නම් සර්වඥයන් වහන්සේය.

 

 

උපුටා ගැනීම – www.jathakakatha.lk

507 ශරභංග ජාතකය
505 තන්ඩුලනාලි ජාතකය

Leave a Reply

Your email address will not be published.

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.