503 පණ්ඩනාග ජාතකය

සද්ධර්ම රාජයාණන් වහන්සේ ජේතවනාරාමයේ වැඩ වසන සේක්. දෙව්දත් තෙරුන් පොළව ගිලීම අරභයා දේශනා කළ සේක.

ඒ කෙසේද යත්,

දිනක් දම් සභාවේ රැස් වූ භික්‍ෂූන් විසින් දෙව්දත් තෙරුන්ගේ නුගුණ කියමින් උන් කලට එහි වැඩි බුදුරජාණන් වහන්සේ මහණෙනි, බොරු කීමෙහි පොළවට වන්නේ දැන් පමණක් නොවෙයි. පෙරත් බොරු කියා පොලව පළාගෙන ගියේ වේදැ යි ඉකුත් වත පෙන් වූ සේක.

ඉහත බරණැස බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙක් රාජ්‍ය කරන කල්හි පන්සියයක් වෙළඳහුනැව් නැගී යාත්‍රා කරන්නාහු. සත්වෙනි දවස් ගොඩ නොපෙනෙන කල්හි කුණාටුවකට අසු වී නැව බිදුනේ් ඒ් වෙළඳුන්ගෙන් එක්කෙනෙකු හැර සෙස්සෝ මසුන්ට ගොදුරු වූහ. ඉතුරු වූ තැනැත්තා දිය වේගයෙන් පාවී අවුත් කණ්ඩිය පට්ටන නම් තොටට පැමිණියේ ඇඳුම් නැතිව නග්නව එගම සිඟන්නට වන්නේය. එගම මනුෂ්‍යයෝ මොහු දැක මේ තාපස තෙම උසස් ගුණ ඇත්තේය. යටත් පිරිසයෙන් පිළිත් නොහදනේ්ය. මහත් පින් කෙතකි. සතුටුව මධුරාන්නපාන පිළිගන්වති. එතෙම ජීවත් වීමට මඟක් පෑදුනෝයයි සතුටුව පිළි දුන්නත් නොපිළිගෙන දායකයක් විසින් කරවා දුන් පන්සලෙහි කණ්ඩියාවේල යන නමින් ප්‍රසිද්ධව වසන්නේය.
එකල එක් නාග රාජයෙකුත් ගුරුළු රජෙකුත් මුන්ට උපස්ථානයට එති. දිනක් ගුරුළු රජ තෙම ඔහු අමතා තාපසයන් වහන්ස අපගේ නෑයෝ නයින් අල්වම්හයි බොහෝ දෙනා මුහුදට බැස නසිති. නයින් අල්ලන උපාය නොදනුම්හ. එහි යම් රහසක් ඇත. ඔබ නා රජ සමඟ කථා කොට ඒ රහස දැනගනුවයි කීයේය. ඒ තාපස තෙම එය පිළිගෙන ගුරුළු රජහු වැඳ අවසර ගෙන ගිය කල්හි නා රජු පැමිණි වේලේ සබඳ නා රජ්ජුරුවනි, ගුරුළු පිරිස තොපහැම අල්වනු පිණිසයයි ගොස් බොහෝ දෙන නසිති. එහි රහස කුමක්දැයි විචාළේය. නා රජ වහන්ස ඒ අපගේ නොකියයුතු රහසකි. එය අපි සැලකළේ නම් අපගේ හා කුලයේ නයින්ට මරණය අප විසින් ලඟා කර ගත්තා සරිය. එබැවින් නොකියමි. කියා නැවත විචාරන්නේ කිමෙක් ද? වහන්ස අප අතින් මේ රහස විචාරා අන් කෙනෙකුට කියන අදහසෙක් ඇද්දැයි විචාරා එසේ නැත. මාගේ අදහසින් විචාරමියි කී කල්හි නා රජ්ජුරුවෝ ටිකක්වේලා ඉඳ නා භවනයටම ගියේය.

මෙසේම දෙවන දිනයෙහිද විචාරා දැන ගත නොහැකිවූයේ තුන්වෙනි දින පැමිණි නා රජ්ජුරුවන් අමතා කිමෙක්ද? නා රජතුමනි, මෙතරම් සුළු දෙයක් තෙදිනක් විචාරාත් දැනගත නොහැකි වූයේ අප කෙරෙහි ආදරය මදනිසා නේදැයි ඇසීය. නා රජ තෙම කියනුයේ තාපසයෙනි, නෙකීවේ අනාදරයකින් නොවේ. ඔබ යම් ප්‍රමාදයකින් කිසියම් කෙනෙකුන්ට කීයේ නම් නපුරැයි සිතා නොකියමියි කීයේය. නා රජ්ජුරුවනි, තොප කියලූ රහස් දෙයක් තොපට වඩා තවත් ඔබ්බෙහි කීමට තරම් නිසි විෂ්වාස කෙනෙක් නැත. සැක නොකොය කියවයි කීයේය. එවිට නා රජ තෙම තාපසයෙනි, මේ රහස රකීවයි කියා විස්තර කරන්නේ අප හැම මහත් ගල්ගිල බරව වැද සිටින්නෙමු. ගුරුළුන් ආ කල කට ඇර දත් නියවමින් උන්ට දෂ්ට කරන්නට පනින්නෙමු. උන් අපගේ හිස් ඩැහැගෙන උඩට නැගෙන්නට උත්සාහ කෙරෙති. බරව වැදහොත් අපව සොලවන්නට දඟලන කල්හි මුහුදු දියට හසු වී මිය යන්නාහ.

මෙලෙසින් බොහෝ ගුරුළුන් නසිති. ඉදින් අප හැම වැදහොත් කල්හි වලිගයෙන් අල්වාගෙන ඔසවා ඉස පහත් කොට බඩ තිබූ ගල් කටින් එලා සැහැල්ලු කොට යන්තම් උන්ගෙන් ගැලවිය නොහැක්කැයි මේ රහස දුස්සීල වූ මේ තාපසයන්ට කීය. මෙසේ කියා නා රජු ගිය කල්හි ගුරුළු රජ්ජුරුවෝ ඇවිත් තවුසා වැඳ රහස ඔහු අතින් අසා දැන සිතනුයේ නා රජහු විසින් කළ දේ ඉතා නුසුදුසුය. තමන්ගේ නෑයන් නස්නා රහස අනුන්ට නොකිය යුතු වන්නේය.
මේ රහස හෙළි කිරීම දෝෂය ඔහුටම අඟවමියි වහා ගොස් පණ්ඩර නම් නා රජහු අල්වා වලිගයෙන් අල්ලා ඉස යටිකුරු කොට ගල් බිම හෙලව හෙලවා අහසට පැන නැංගේය. නාරජතෙම එල්ලෙමින් සිතන්නේ මම්ම මට භය උපදවා ගතිමි. ඒ දුස්සිලයා තපසෙකැයි, ජනයා විසින් පුදන ලද එකෙකැයි, ඉන්‍දිය දමනය කරන ලද එකෙකැයි, ඔහු කෙරෙහි සැක නොකොට මේ රහස පිට කොට ටික වේලාවකින් එහි අනර්ථය පැමිණියේය.

එබැවින් කිසිවෙකුට රහස් එළිනොකොට යුත්තේමය. දැන් එය වරදවා වටහාගත් කල්හි බලා කුමක් කළ හැක්කේ දැයි මේ ආදීන් කියා අඩා අන් පිහිටක් නොලදින් ඕ හටම යාක්‍ඳා කරනුයේ ගරුඩ රජ්ජුරුවනි, මාගේ විමානහෙි ඇති සියළුම වස්තුකාම ක්ලේශකාමයෙන් මම අද තොරවූම්හ. ඒ සැප අදින් පසු නොලැබෙයි. එසේ වුවත් සබඳ ගරුඩ රාජයාණෙනි, මාගේ ප්‍රිණය තවත් ඇති හෙයින් නෑයන්ට පිහිට වෙන්ට කල්වේදැයි කියා ගාථා අටක් කිය කියා ඇඩූහ.
එකල්හි ගුරුළු රජ තෙම නා රජ්ජුරුවන්ගේ ඇඩීම වැලපීම අසා තොප විසින් රැක්ක යුතු රහස ඒ අලජ්ජි හොර තවුසාට කියා දැන් කුමට තැවේදැයි නින්දා කරනුයේ නා රජ්ජුරුවනි, අපි තිදෙනාගෙන් කාට නින්දා කරව්ද? වරද කාගේදැයි සිතව්ද? තාපසයන් උපායෙන් රහස විචාරාගත් හෙයින් ඌගේ දෝෂත් නැත. මා සතුරුව සිටි හෙයින් මාගේ දෝෂත් නැත. රහසකි තොපගේම දෝෂය. තොපිම තොපිට අවැඩ කර ගත්තේය. අපි ඊට කලමනා කිමෙක්දැයි කීයේය.

ඒ අසා නා රජ තෙම කියන්නේ ගරුඩාණෙනි, ඒ තාපස තෙම සිල්වත් බව හඟවා වසන්නේය. එබැවින් රහස සැක නැතිව කියාපීමි. දැන් වූයේ විනාශයකැයි නින්දා කළේය. නා රජතුමනි, මෙලොව උතුමන්ගේ වෙස්ගෙන ඉන්නා උතුමෝද උතුමන්ගේ වෙස් ගෙන ඉන්නා අධමයෝද ඇත. එබැවින් විමසා බලා නින්දා කටයුතුය. මෙතෙම බොරු තපසේ සිටි නමුත් අනුන් ධර්මය කියන්නේය. එබැවින් ඔහුට නින්දා නොකර තොපිම නින්දා කර ගනුව. ඌ උපායෙන් රහස විචාළේය. නා රජතුමනි, මවුපියන්ට වඩා උසස් නෑයෙක් නැත. එසේ වූ දෙමව්පිය දෙදෙනාගෙනුත් රහස් එළිවෙයි. පියකරුව හුන් බිරිඳටත් රහස් නොකිය යුතු වන්නේය. එසේ වූ රහස් මේ අචෙලකයාට විශ්වාස කොට කීමේ වරදම විය. නා රජතුමනි, සිත ඇති රහස නිධානයක් මෙන් රැක්ක යුතුය. ස්ත්‍රීන්ටද මිතුරන්ටද රහස් නොකිය යුතුයි.

නා රජතුමනි, යම් සත්ව කෙනෙක් සඟවන ලද රහස් ඇත්තේද නොහරණ ලද බස ඇත්තේද ස්ථිර බුද්ධිය ඇත්තේද එසේ වූ සත්වයා කෙරෙන් මනුෂ්‍යයන් දුරුවන්නාක් මෙන් යයි කීයේය. එකල්හි පණිඩර නම් නා රජ තෙමේ කියන්නේ ගුරුළු රජතුමනි, ඔහු සැබෑ මහණෙකැයි උපන් විෂ්වාසය නිසා රහස් නොසැලවීමි. එයින්ම අර්ථයත් ධර්මයත් නැසුනේ යයි කියා තමාගේ ජීවිත දානය ඉල්ලන්නේ බිළිඳු දරු කෙනෙකුන්ව සිඹ සනහා ආදරය කරන්නාක් මෙන් නොව මා අල්වාගෙන හිංසාවක් නොකොට අවවාද කළේද එසේ වූ පක්‍ෂිරාජයාණනි, මට ජීවිත දානව දේවයි කීයේය. නා රජතුමනි, තොප මට දරු වූ බැවින් මේ භයින් තොප මුදවමියි කියා අහසින් බැස බිම හිඳුවා මෙතැන් පටන් සියළු භයක් නොවන පරිද්දෙන් අරක්ගෙන ආරක්‍ෂා කෙරමියි කියා නාග භවනයට යවා තෙමේ ගුරුළු භවනයට ගියේය.
දිනක් ගුරුළුරජ නා රජු විමසමියි සිතා නාගභවනයට ගොසින් පියාසර කෙළේය. ඒ දුටු නා රජ තෙම මා අල්වන්ට ගුරුළුරජ තෙම ආවනැයි සිතා බඹදහස් ගණනක් දිග ආත්ම භාවයක් මවා ගෙන බොහෝ ගල් සහ වැලි ගිල බරව දරණ ගසා ඒ මතුයෙහි මහත් පෙණගැබක් මවාගෙන ගුරුළු රජ්ජුරුවන් භය ගන්වනාකාරයෙන් දක්වා සිටියේය. ඒ දැක ගුරුළු රජ තෙම කියනුයේ බිජුවටින් උපන් සතුරු වූ තොප හා පළමු සමඟි ගිවිසුමක් කළහ. දැන් තොපි දිවදළ සොල්වමින් භයගන්වා වැද හොත්තේය.

මේ භය කොයින් පැමිණියේදැයි විචාළේය. තපස්වීහු කෙරෙන් උපනි භයකි. සතුරු මිතුරු පමණක් විෂ්වාස කළ නොහැක්කේය. ආදී වශයෙන් කථා කරමින් සිට දෙදෙනාම දිව්‍යමානවක වේශයන් මවාගෙන අත්වැල් බැඳගෙන හොර තවුසාගේ පන්සලට ගොස් ගුරුළු රජ පිටත සිට නා රජ්ජුරුවන් තවුසා සමීපයට යැව්වේය. නා රජතෙම ඔහු දැක බොරු කියන සුළු වූ සොර තවුසෙකැයි නින්දා කළේය. ඉක්බිති තවුසා කියනුයේ නා රජ්ජුරුවනි, තොපට වඩා ඒකාන්තයෙන් ගුරුළු රජ්ජුරුවෝ මට ප්‍රීයයෝය. එසේ හෙයින් ඔහු කෙරෙහි ඇළුනු සිතින් මේ පාපකර්මය කෙළෙමියි කීයේය.
එම්බල මෝඩ වූ දුස්සීලය, තපස් කරන අන් අය මෙලොවත් පරලොවත් බලා පෙර අපර දෙපක්‍ෂයම සමකොට දැක වසන්නේය. තෝ වනාහි සිල්වතුන්ගේ වෙස්ගෙන නොසන්සුන්ව මෙලොව සතුන්ට වංචාකොට වෙස්පානා නළුවෙක් මෙන් ජීවිත වන්නෙහි යයි නින්දා කොට සාපලනුයේ බොරු තපස්වීනයෙනි, නිදොස් වූ මට දෝෂ කිරීමෙන් මිත්‍රදෝහී විය. රහස් හෙළි කිරීමෙන් කේළමුත් සිදුවිය. මේ සතළ වචනයෙන් තාගේ හිස සත් කඩකට පැලීයෙත්වා කියා සාප කළේය. මෙසේ නා රජු බල බලා සිටියදීම අචෙලකයාගේ හිස සත්කඩකට පැළුණේය. උන්තැන භූමිය විවර උනේය. පොළෙව යට අවීචි මහ නරකයෙහි වැටුනේය. නා ගුරුළු දෙදෙනා තම තමන්ගේ භවනයටම ගියහ.

එසමයෙහි අචෙලකව උපන්නේ දෙව්දත් තෙරන්ය. නා රජ වූයේ සැරියුත් තෙරුන් වූ අතර ගුරුළු රජව උපන්නේ සර්වඥ රාජෝත්තමයාණන් වහන්සේය.

 

 

උපුටා ගැනීම – www.jathakakatha.lk

504 සම්බුලා ජාතකය
502 මහාකපි ජාතකය

Leave a Reply

IFBC Home Page