496 පඤ්ච පණ්ඩිත ජාතකය

මෙම ජාතකය සවිස්තරව උම්මග්ග ජාතකයෙහි එන්නේ ය.

නැවත සේනකාදී සතරදෙන යශසට පත් මහෞෂධ පණ්ඩිතයන් කෙරෙහි ඊෂ්‍ර්‍යාකොට ඔහුට කුමක් කරමෝදැයි කුමන්ත්‍රණය කළහ. ඉක්බිති සේනකයෝ අනිත් තුන්දෙනා අමතා කියන්නාහු රජ්ජුරුවන් කෙරෙහි ඔහු බිඳුවා පියන්ට මා උපායක් කියමි. අපි සිව්දෙන ඔහු සමීපයට ගොස් “රහස් නම් කාට කිවහොත් යහපත්දැයි” විචාරම්හ. ඔහු මහා මන්ත්‍රී හෙයින් “කිසිවෙක් හට රහස් කිව නොහැක්කැයි” ඉදින් කීයේ වීනම් එය රජ්ජුරුවන්ට කියා ඔහු බිඳුවමුයි කතිකාකොට සිංහ රජකු සමීපයට යන ජරාවට පත් සිවලුන් සතර දෙනෙකු පරිද්දෙන් පණ්ඩිතයන් සමීපයට ගොස් පණ්ඩිතයෙනි පුරුෂයා විසින් පළමු කොට කුමක් කටයුතුදැයි විචාළහ. සත්‍ය භාවයෙහි පිහිටිය යුතු යයි වදාළ සේක. එහි පිහිටිය උන් විසින් කුමක් කටයුතුදැයි විචාළහ.
වස්තුව සෙවිය යුතුදැයි වදාළසේක. වස්තුව උපයාගෙන කුමක් කටයුතුදැයි පිළිවිස්සාහ. මන්ත්‍රණ උගත යුතුයයි වදාළ සේක. පසු කුමක් කටයුතුදැයි විචාළ ගමනේ තමාසිත රහස් කටයුතු අනුන්ට නොකිය යුතුයයි වදාළසේක. ඔවුන් සතරදෙන යහපත පණ්ඩිතයෙනි යි සතුටුව රජ්ජුරුවන් සමීපයට ගොස් දේවයන් වහන්ස මහෞෂධ පණ්ඩිතයෝ ඔබ වහන්සේට විරුද්ධව සිටිනේයයි කීහ. රජ්ජුරුවෝ මම තොපගේ බස් නොඅදහමි. උන් මට විරුද්ධ නොවේයයි නොගිවිස්සාහ. දේවයන් වහන්ස අප කී බස් නො අදහනසේක් වී නම් උන් මෙහි ආකල “තමා සිත උපන් රහස කාට කියයුතුදැයි උන්ගෙන් විචාළ මැනව. ඉදින් ඔබ වහන්සේට විරුද්ධ නොවෙත් නම් අසවලුන්ට කිව යුතුයයි කියති. ඉදින් ද්‍රෝහී වෙත්නම් කිසිවක් හට නොකිව යුතුය. මනදොළ පිරුණ කල කියයුතුහයි කියති. එවිට අප අදහාගෙන සැක හළ මැනවයි කීහ. රජ්ජුරුවෝ යහපතැයි උන් ගිවිස පසුදින රාජසභාව රැස්වූකල රජ්ජුරුවෝ උන් අමතා මම ප්‍රශ්නයක් අසමි. නින්දා කටයුතු හෝ ප්‍රශංසා කටයුතු රහසක් කාට කිව යුතුදැයි විචාළහ. එවිට සේනකයෝ රජ්ජුරුවන් මුහුණ බලා දේවයන් වහන්ස නුඹවහන්සේම ආදිකොට වදාළ මැනව ඔබ වහන්සේගේ අදහස් බලා පණ්ඩිතවරු පස්දෙනාත් කියන්නාහයි කීහ.

ඒ අසා රජ්ජුරුවෝ තමන් කෙළෙස් වසඟ හෙයින් යම්ස්ත්‍රීයක් පතිව්‍රතා ධර්‍මය රක්‍ෂා කරන්නීද පුරුෂයාගේ අදහස් දනීද එසේවූ තමාගේ අඹුවට සියළුම රහස් පැවසිය යුතුයයි කීහ. ඉක්බිති සේනකයෝ රජතුමනි දුක සැප දෙකෙහි පිහිටවන මිත්‍රයාට රහස් කිව යුතුහයි පැවසූහ. කාවින්‍දයෝද යම් පුත්‍රයෙක් අනුජාතව හැසිරේද අලාමකවූ නුවණ ඇත්තේද එවැනි පුතුට රහස කිවයුත්තේයයි කීහ. දේවින්‍දයෝද රජතුමනි හිතකාමී වූ තම මෑණියන්ට රහස් කිවයුතුයයි කීහ. ඉක්බිති මහෞෂධ පණ්ඩිතයන් වහන්සේ රජ්ජුරුවෙනි රහස් දෙය නම් නින්දා කටයුතුවත් කිම? ප්‍රශංසා කටයුතුවත් කිම? සැඟවීමම උතුම්ය. රහස් ප්‍රකාශ කිරීම නුවණැත්තන් විසින් ප්‍රශස්ත නොවන්නේය. තමා සිතූදෙය මුදුන් නොපැමිණියේ වීනම් නුවණැති තෙම ඒ තාක්කල්ම කිසිකෙනෙකුන්ට ප්‍රකාශ නොකරන්නේය. එය මුදුන් පැමිණියේ වීනම් එය සභා මධ්‍යයෙහි සැකහැර කියන්නේයයි ප්‍රකාශ කළහ. රජ්ජුරුවෝ මෙය අසා නොසතුටුව සේනකයන්ගේ මුහුණ බැලූහ. එවිට පණ්ඩිතයන් වහන්සේ උන් දෙන්නාගේ ක්‍රියාව දැකලා මුන් සතර දෙනාම මුසා කියා මා කෙරෙහි රජ්ජුරුවන් බිඳුවාපී වන්හ. වහා මෙතැනින් නැගී යාම සුදුසු යයි සිතා රජ්ජුරුවන් වැඳ අවසර ගෙන පලාගොස් සේනකාදීන්ගේ කුමන්ත්‍රණ ගැන පරීක්ෂාකාරී වන්නේ උන් නිතර කථාකරමින් සිටිනා මහ ඔරු කඳක් දැක ඒ යට සැඟවී සිට උන්ගේ රහස් දැනගත යුතුයයි සම්මත කරගත්හ.

ඒ අතර සේනකයෝද රජ්ජුරුවන් අමතා දේවයන් වහන්ස දැන් අප කීවා සැබෑදැයි විමසීය. රජතුමා භයින් ත්‍රස්තව ඉදින් කුමක් කරමෝදැයි විචාළහ. කල් නොයවාම රහසින් මරවාපීම යහපතැයි සේනකයෝ කීහ. සේනකයෙනි තොප විනා අනිකෙක් නැත. මිත්‍රයන් සමග ගොස් ඔහු රාජසේවයට එනවිට මේ කඩුවෙන් කපා මරාදමවයි තමන්ගේ මගුල් කඩුව සේනකයන්ට දුන්හ. උන් සතරදෙනා ගොස් ඔරුකඳ මත්තේ සිට කථාකරන්නාහු සේනක පඬිතුමනි ඔබගේ රහස් යහළුවාට කිවයුතුයයි වදාළේ මන්දැයි කීහ. සබඳ පණ්ඩිතවරුනි මේ රහස රජතුමා දැනගතහොත් අපගේ දිවි නොරැකෙයි. නමුත් මේ ඔරුවයට මහෞෂධ පණ්ඩිතයෝ සැඟවී ඇද්දැයි ඔරු කඳට නිය පිටින් ගැසීය. සේනක පණ්ඩිතයෙනි මහෞෂධ පණ්ඩිතයෝ මහත් සම්පත් ඇත්තෙක. මේ අපවිත්‍ර තැන කුමට ලගීද?ඔබගේ රහස සැක හැර කියවයි කීහ. එවිට සේනකයෝ මම දිනක් මගුල් සල් උයනේදී අසවල වෛශ්‍යාදූ සමඟ මෛථුන සේවනය කොට ඇගේ පළඳනා ලෝභයෙන් ඈ මරා ඇගේ රෙදිකඩින් ඒ ඔතාගෙන අපගේ ගෙයි ගබඩාවක මුව අංකොක්කේ එල්වාලීමි. මේ දක්වා කිසිවක් ඉන් අලෙවි කළේ නැත. පරණවනතුරු බලා ඉදිමි. මේ රාජඅපරාධය මාගේ යහළුවකුට කීමි. ඌ කිසිවෙකුට නොකී විරූය. මේ කාරණයෙන් යහළුවාට රහස් කිවයුතු බව කීමියි කීහ.

පුක්කුසයෝ තමන් රහස ප්‍රකාශකරන්නාහු එම්බා මගේ කලවයේ අසාධ්‍ය කුෂ්ටයෙක් ඇත. මගේ මලණුවෝ උදෑසනින් ඒ වනය කසටින් සෝදා බේත් ගල්වා බඳනාහ. රජ්ජුරුවෝ මා කෙරෙහි මොලොක් සිතින් මා කැඳවා මගේ කලවයෙහි හිසතබා සැතපෙන්නාහ. මේ නොකටයුතු දෙය දන්නෙහිනම් මා මරාපියන්නාහ. ඒ කාරණය හේතුකොටගෙන රහස් නම් මලණුවන්ට කිවයුතුයයි මා විසින් කියන ලදැයි කීහ. කාවින්‍දයෝද මා වරද අසව් අව පසළොස්වක් දවසේ නරදේව නම් යක්‍ෂයෙක් මා ඇඟට ආරූඪ වන්නේය. ඒ යක්‍ෂයා වැහුන කල්හි මම වියරු බල්ලකු මෙන් හඩමි. මම ඒ බව පුතණුවන්ට කීමි. ඌ ඒ හඬ නො ඇසෙනු පිණිස දොරළග සිට නොයෙක් භාණ්ඩ වාදනය කරන්නාහ. මේ කාරණය නිසා රහස නම් පුතුන්ට කිවයුතුයයි මා කියෙමියි කීහ.

දේවින්ද පණ්ඩිතයෝ යහළුවනි ශ්‍රක්‍රයා විසින් කුසරජ්ුරුවන්ට දුන්නාවූ මාණික්‍ය රත්නය පරම්පරාවෙන් පැවත අවුත් භාණ්ඩාගාරයේ තුබුවා මා විසින් සොරා ඇරගෙන මාගේ මෑණියන්ට දුනිමි. රජගෙට යන වේලේ මෑණියෝ රහසින් එය මට දෙන්නාහ. මම ඒ මැණිකේ ශොභාවෙන් මුහුණ ආලෝකමත් කරගෙන රජගෙට යන්නෙමි. රජ්ජුරුවෝ කා සමඟවත් නොදොඩා මා හා සුව දුක් දොඩන්නාහ. දිනපතා තෑගි දෙන්නාහ. ඉදින් එය සොරාගත් බව කිසිවෙක් දතුනම් මාගේ දිවි නැසෙයි. එබැවින් රහස්කම් මෑණියන්ට කිවයුතු යයි මම කීවෙමියි කීහ. මහෞෂධ පණ්ඩිතයන් වහන්සේ ඔරු කඳයට සිට සියළු දෙනාගේ රහස් සිතේ තබාගත් සේක. උන් හැම කතාකොට පමානොව මහෞෂධයා මැරීමට උදෑසනම එවයි කියා තමතමන්ගේ ගෙවලට ගියාහ. උන්ගියපසු පණ්ඩිතයන් වහන්සේ තමපුරුෂයන්ගේ ආධාරයෙන් එලියට පැමිණ ගෙටගොස් සැතපී ගත්හ.

රජ්ජුරුවෝද මහෞෂධ පණ්ඩිතයන්ගේ ගුණ සිහිකරන්නේ සත්හැවිරිදි කල් පටන් මට යහපතක්ම මිස අවැඩක් නොකළේය. දේවතා දූ විචාළ පැනයෙහි ඔහු නැත්නම් මාගේ ජීවනයද නැත. වෛරී පසමිතුරන්ගෙන් බස්ගෙන මහා නුවණැති පණ්ඩිතයන් මරවයි කඩුව දුනිමි. මා කළේ මහා අයුත්තියෙක. සෙට පටන් ඒ පණ්ඩිත රත්නය මට නැතිවන්නේයයි ලය පැලීයන පරිද්දෙන් ශොක ඉපදවූහ.ඩා වැගුරුනේය. චිත්තාස්වාදයක් නොලද්දාහ. උදුම්බරා දේවියද ඒ යහනේ පසෙකින් උන්නී රජ්ජුරුවන්ගේ වික්‍ෂිප්තභාවය දැක රජ්ජුරුවෙනි මාගෙන් හෝ යමෙකුගෙන් ඔබතුමාට වරදක් උනීද? ඒ මට කියවයිකීහ. රජ්ජුරුවෝ සොඳුර සේනකාදී සතරදෙන පැමිණ මහෞෂධ පණ්ඩිතයෝ මා මරා රාජ්‍ය ගන්ට සිතතියි මට කීහ. මා තත්වය පරීක්ෂා නොකොට එසේ වීනම් ඌ මරාපියවයි මඟුල් කඩුව අතට දීලා පිටත් කළහ. දැන් උන්ට පෙර මාගේ මරණය උනිනම් යහපත්ය. මින්පසු උන් නොදකින බැවින් ශෝක වෙමියි කීහ.

එවිට බිසවුන් වහන්සේද මහෞෂධ පණ්ඩිතයන් කෙරෙහි ව්‍යාජ වෛරයක් පලකොට උපායකින් රජ්ජුරුවන් අස්වසා නින්දට සලස්වා වහා එතනින් පිටව ගොස් තල්පතක සියළු විස්තර ලියා අග්ගලයක් තුළ ලා එය බැඳ නැවුම් සැලියක දමා යෙහෙළිය අතක් රහසින් මහෞෂධ පණ්ඩිතයන්ට යවා වහා පැමිණ රජ්ජුරුවන් සමග සැතපුනාය.

මහෞෂධ පණ්ඩිතයෝ අග්ගලාව තුළවූ ලිපිය බලා තත්වූ පරිදි දැන කළයුතු සියල්ල විමසා සැතපුනහ. සේනකාදී සතරදෙන ඒ රාත්‍රීය වර්‍ෂයක් මෙන් සිතසිතා ගතකොට උදෑසනම කඩුව ගත් අත් ඇතිව වාසල ඇලී රැකසිට පණ්ඩිතයන් වහන්සේ නොදැක රජ්ජුරුවන් සමීපයට ගොස් රජතුමනි මහෞෂධ පණ්ඩිතයන් නොදුටුවෙමුයි කීහ.

මහෞෂධ පණ්ඩිතයෝද හිරු නැගෙන්නාහාම මුළු සත්යොදුන් මියුළු නුවරම වසඟ කොට ඒ ඒ ස්ථානයෙහි රැකවල් තරකොට තබා බොහෝ දෙනා විසින් පිරිවරණ ලදුව සර්‍වාභරණයෙන් සැරසී උතුම් රථයකින් අවුත් රජ්ජුරුවන් වැඳ සිටිසේක. රජ්ජුරුවෝද ඉදින් පණ්ඩිතයෝ මට සතුරුවෙත්නම් මා නොවඳනාහයි සිතා මපුතණුවෝ වහා එවත්වයි වහා කැඳවාගෙන ගොස් අසුන්ගන්වා පුත මහෞෂධ පණ්ඩිතයෙනි ඊයේ සන්ධ්‍යාවෙහි ගියෙහිය. අද හිරු නැගි මෙතෙක් වේලෙන් අවුත් මා දුටුවෙහිය. තොපගේ සිතට කුමන සැකයෙක්වීද කවරෙකු තොපට රජ්ජුරුවන් දැක්මට නොඑවයි බසක් කිව්ද තොප පමාවූ කාරණය කියවයි විචාළහ.

දේවයන් වහන්ස ඔබ විසින් මට සතුරු වූ සේනකාදී සතරදෙන බස් ගෙන මා මරන්ට නියෝග කරන ලද්දේ වේද එසේ හෙයින් නොආයෙමි’යි රජ්ජුරුවන්ට චෝදනා කරනසේක් ජන ප්‍රධාන වූ දේවයන් වහන්ස ඔබවහන්සේ විසින් ප්‍රඥාසම්පන්නවූ මහෞෂධ පණ්ඩිතයෝ මැරිය යුත්තෝයයි නියෝගකර යම්හෙයකින් ඊයේ මධ්‍යම රාත්‍රී වේලෙහි බිසවුන්ට රහසිගතව කියන ලදද එබදු වූ ඔබවහන්සේගේ රහස් කටයුත්ත මා විසින් අසන ලදැයි වදාළ සේක. රජ්ජුරුවෝ එය කණ වැකුණු ඇසිල්ලෙහිම කිපී බිසවුන් මූණ බැලූහ. රජ්ජුරුවෝ බිසවුන්ට කිපි නියාව දැන පණ්ඩිතයන් වහන්සේ දේවයන් වහන්ස බිසවුන් වහන්සේට කුමට කිපෙනසේක්ද? මම කාලත්‍රයෙහිවූ සියල්ලම දනිමි. ඔබවහන්සේගේ රහස් මට බිසවුන් වහන්සේ විසින් කියන ලද්දේ වේවාෟ සේනකාදී සතරදෙනාගේ රහස් මට කා විසින් කියන ලදද? උන්ගේ රහසුත් දනිම්යයි කියා ඊටපෙර ඔරුකඳ යට සිට අසාගත් උන්ගේ රහස් සියල්ලම පිළිවෙළින් හෙළිකළහ. රජ්ජුරුවන් වහන්සේ උන්වෙන වෙනම ගෙන්වා සැබෑදැයි විචාරා දඟගෙයි ලවාපීහ. උන් සතරදෙනා පණ්ඩිතයන් වහන්සේ මරම්හයි හැම දෙනම හිරගෙට වන්හ. දේවයන් වහන්ස “තමන් සිත උපන් රහස මුදුන් පැමිණෙනතුරා අනුන්ට නොකිය යුතුය”යි කීයේ මේ නිසා යයි කියා සේනකාදීන් රහස් අනුන්ට කීම නිසා විනාශයට පත්වූ නියාව දක්වා ධර්‍මදේශනා කරන්නේ රජතුමනි විශේෂයෙන් රහස් නොකිය යුත්තන් අසා වදාළ මැනව. මේ ලෝකයෙහි ස්ත්‍රීය හදවතක්සේ වෙසේ. නමුත් ගැහැණිටත්, යමෙක් ආමිශයෙන් සිත් ගතයුතුනම් ඔහුටත් යමෙක් සතුරකුව මිතුරකුසේ හැසිරේනම් ඔහුටත් රහස් නොකියන්නේය. රහස් කීමෙන් නිතර තමා ඔහුට දාසයකු මෙන් බියෙන් කල් යැවීමටද නින්දා ඉවසීමටද සිදුවන්නේය. දහවල් රහස් කියනු කැමතිනම් එළිමහණකදීද රාත්‍රී රහස් කියනු කැමති නම් උන්ගේ කණින් බැහැරට නොයනසේද කිවයුතු වන්නේයයි වදාළසේක.

රජ්ජුරුවෝ පණ්ඩිතයන් වහන්සේගේ ධර්‍ම කථාව අසා සේනකාදී සතරදෙන මට විරුද්ධව රාජද්‍රෝහීව නිරපරාධවූ මේ පණ්ඩිතයන් මට ද්‍රෝහියයි මුසා කීවෝයයි කිපී යව කොල මුන් සිව්දෙනා මරමරා නුවරින් පිටතට ගෙනගොස් හුල හිඳුවා හිස්කපා දමාපියවයි නියම කළහ. උන් පිටිතලහයා බැඳ සිය ගණන් පහර ගසගසා මරන්ට ගෙනයන වේලෙහි පණ්ඩිතයන් වහන්සේ දේවයනි මුන් පෙර ඇමතියෝය. ක්‍ෂමාකළ මැනවයි වදාරා උන්ගෙන්වා උන්නිදහස්කොට තමාගේ දාසකමට පවරා දෙද්දීත් එය ප්‍රතික්‍ෂෙප කොට උන්ගේ පෙර තනතුරුමදෙවා මෛත්‍රීය පතුරුවා සතුටුවූහ.

එතැන් පටන් සේනකාදී සතරදෙන දළසුන් සර්‍පයන් මෙන් ප්‍රභූ ශක්තියක් නැතිව පණ්ඩිතයන් වහන්සේට කිසිවක් කියන්ට අසමර්‍ථවූහ.

 

 
උපුටා ගැනීම – www.jathakakatha.lk

497 කිංඡන්ද ජාතකය
495 අයෝඝර ජාතකය

Leave a Reply

IFBC Home Page