495 අයෝඝර ජාතකය

සද්ධර්ම රාජයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවාසය කරන සේක්. නෛෂ්ක්‍රම්‍ය පාරමිතාව අරභයි දේශනා කරන ලදි. දිනක් දම්සභා මණ්ඩපයට රැස් වූ භික්ෂූන් සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ සක්විති රජ සැපත් හැර මහාබිනික්මන් කළ සේ ඉතා යහපතැයි වර්ණනා කරමින් උන් අතර එහි වැඩි බුදුරජාණන් වහන්සේ මහණෙනි, දැන් එය පුදුමයක් නොවෙයි.

පෙර නුමූ කළ නුවණෙහි සිටත් සියළුම සැපහැර අභිෂ්ක්‍රමණය කෙළෙමි වේදැයි වදාරා ඉකුත්වත වදාල සේක.

යටගිය දවස බරණැස රාජ්‍යය කළ බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුවන්ගේ බිසව රන්රුවක් සරි පුත්රුවනක් වැදුවාය. ඒ බිසවුන්ට පෙර ආත්මයකදී ස්වාමිපුරුෂයෙක් නිසා වෛර බැඳි ස්ත්‍රියක් පැතුම් බලයෙන් යකින්නියක් වී බලා හිඳ අවසරයක් ලැබ රජගෙට වැද බිසවුන් බලා සිටියදීම කුමාරයා හැරගෙන ලපටි උනගොබයක් කඩාකන පරිද්දෙන් මුරු මුරු යන අනුකරණයෙන් ලේ පෙර පෙරා කා දමා නොයෙක් විකාර පා බිසවුන් බය ගන්වා නික්මුණාය. දෙවන වාරයේද මෙසේම සිදු විය. තුන්වෙනි වරට බිසව ගැබ් ගත් පසු රජ්ජුරුවෝ මහජනයා රැස්කරවා දරුවන් කන යකින්නට මක්කරමෝදැයි විචාළේය. එක් පුරුෂයෙක් බිසවගේ අත්පා වල තල්පත් බඳින්නට කියේය. එක් පුරුෂයෙක් යකඩ ගෙයක් තනා බිසව එහි නතර කරන ලෙස කීය. එබස් ඇසූ රජ්ජුරුවෝ යහපතැයි ගිවිස ඇතුලු නුවර ඉතා අලංකාර අයෝමය මාලිගාවක් නවමසක කර්මාන්තයෙන් පසු නිමකරවූහ.
බිසව නොබෝ දිනකින් පින්වත් පුතකු වැදූහ. ඒ කුමාරයා අයෝමය මාලිගාවෙහි උපන් බැවින් අයෝඝර කුමාරයෝ යන නමින් ප්‍රසිද්ධ විය. පෙර නී යකින්න වෙසමුණු රජහට පැන්ගෙන යන අතර මඟදී විනාශයට පැමිණියාය. කුමාරයා වැඩිවිය පැමිණ ඉගෙන නිමවූ විට පිය රජ්ජුරුවෝ පුත්‍ර කුමාරයා අමතා රාජ්‍යය භාරගන්නා ලෙස නියම කළේය. කුමාරයා පිය රජ්ජුරුවන්ට වැඳ පියාණෙනි මට මේ රාජ්‍යයෙන් කම් නැත. නුවනැතියන් විසින් ප්‍රසංසා කරන ලද තපස් පිණිස සුදුසු පෙදෙසකට යනු කැමැත්තෙමි අවසර දුන මැනවයි කීයේය. කිමද කුමාරය මෙවැනි රජ සම්පත් හැර කුමක් නිසා තපස් කරන්ට යවුද? පියාණෙනි මම අමේධ්‍ය නරකයක් හා සමාන වූ මව්කුස දසඑකඩ මසක් වැස බිහිවී යක්‍ෂ භයින් දොලොස් වර්ෂයක් සිරවී සිටියෙමි. පිට බලාපිය පමණකුත් නොලදිමි. යකින්න අතින් ගැලවුණු පමණින් ජරා මරණ දෙකෙන් මිදුනෙමි නොවෙමි. මරන තෙමේ කිසිවක්හු විසින් ජයගත නොහැක්කේය. රාජ්‍යයෙන් මට කම් නැත.

මහණවන් ෙයමියි පංචකාමසම්පත්තියෙහි ආදීනව නොයෙක් අයුරින් දක්වා දෙමව්පියන් වැඳ තපසට නික්මුණේය. පිය රජ්ජුරුවන් වහන්සේද මටත් මේ රජ සැපතින් කම් නැතැයි සියල්ල හැර දමා නික්මුනේය. ඊට පසු බිසවද අන්තඃපුර ස්ත්‍රීහුද යුවරජ සෙනෙවිරත් ආදීහුද බ්‍රාහ්මණ ගෘහපති ආදීහුද සිටු අනුසිටු ආදී සියල්ලෝමද තම තමා සතු සියළු සම්පත් හැර දමා අයෝඝර කුමරයන් හා කැටිවම නික්මී හිමාල වනයටම ගියාහ.මහත් වූ පිරිස් දොලොස් යොදුනක් තැන් ගැවසී ගත්හ. ඒ සියළු දෙනාම පැවිදි වී ධ්‍යාන වඩා සුගතිගාමී වූහ. එසමයෙහි මව්පිය දෙදෙනා නම් සුද්දෝධන මහාමයා දෙදෙනාය. අයෝඝර පණ්ඩිතයෝ නම් බුදුරජානන් වහන්සේය.

 

 

උපුටා ගැනීම – www.jathakakatha.lk

496 පඤ්ච පණ්ඩිත ජාතකය
494 හත්ථිපාල ජාතකය

Leave a Reply

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.