(49) අජරාමර ලෝකය - IFBC Organization | Dhamma

අප වෙහෙසී උපයාගත් සම්පත් අපෙන් පසු වෙනත් අය නොමිලයේ භුක්තිවිඳීම ගැන ඇතිවන ඊර්ෂ්‍යාවත් මරණය ගැන බියක් ඇතිවීමට බලපානවා ද?

කෙනෙකුගේ මරණයත් සමඟ ඒ තැනැත්තා සතු කරගෙන සිටි සියලු සම්පත් නිසැකවම ඔහුට අහිමි වී යනවා. ඒක වළක්වන්නට බැහැ. ඊට සුදුසුකම් හා උරුමකම් ඇති කෙනෙකුට හෝ පිරිසකට ඒවායේ අයිතිය හිමි වෙනවා. ඒ පිළිබඳ ඊර්ෂ්‍යා කිරීම ඵලකට නැති දෙයක්. විශ්වයේ ඇති සම්පත් විශ්වයේ හැමටම පොදු වූවක්. ඒවා විවිධ අයුරින් තමන් සතු කර ගත්තාට ඒක තාවකාලික අයිතියක් පමණයි. මෙලොව ඉපදෙන්නේ හිස් අතින් වගේම මෙලොව අතහැර යන්නට වෙන්නේත් බෞතික වශයෙන් හිස් අතින්මයි. මේ විශ්ව ධර්මතාවය අවබෝධ කර ගත්විට එබඳු ඊර්ෂ්‍යාවක් හෝ මරණය ගැන අනිසි බියක් හෝ ඇති වෙන්නේ නැහැ.

සැවැත්නුවර සිටුවර පුවත

ඒ වුණාට, වෙහෙස මහන්සියෙන් උපයා ගත් වස්තුව තමන්ට අයිති දෙයක් නොවී, අනුන් සතු දෙයක් වන්නේ කොහොම ද ?

ඊට හොඳ උදාහරණයක් කියාපාන කථාවස්තුවක් තියෙනවා. බුදුන් දවස සැවැත්නුවර මහා සිටුවරයෙකු සිටියා. ඔහු වෙහෙසී ධනය ඉපයීමට ඉතාම සමත් වුණා. ඉතා වෙහෙසී ලෝභකමින් ධනය එකතු කරගතයුතු සැටි ඔහු සේවකයන්ට ද ඉගැන්නුවා. ඒ, ‘අඳුන් හෙප්පු’ හා ‘ වේ තුඹස’ උදාහරණයට දක්වමිනුයි.

වේයා වරකට ගෙන එන්නේ ඉතා සුළු පස් ප්‍රමාණයකුයි. එහෙත් කලකදී ලොකු වේ තුඹසක් ගොඩ නැගෙනවා. ඊඟාවට ‘අඳුන් හෙප්පුව‘ යනු කාන්තාවන් ඇසේ යටි පිහාට්ට සැරසීම සඳහා කළු ඉරක් ඇදීමට ගන්නා සායම් පිරවූ කුඩා හෙප්පුවයි. එයින් එක් වරකට ගන්නේ, තෙලිතුඩෙහි තවරාගත් ඉතා සුළු සායම් ප්‍රමාණයක් පමණයි. එහෙත් කලකදී එය හිස් වෙනවා.

මේ උදාහරණ දෙකට අනුව, තමන් ද වෙහෙසී ධනස්කන්ධයක් ඉපයූ අන්දමත් ඒවා කිසිවෙකුට උපකාර නොකොට ලෝභකමින් පරිහරණය කරන අන්දමත් සේවකයන්ට නිතර විස්තර කර සිටියා. මෙහෙම කාලයක් ඉඳලා මේ මහා ධන සිටුවරයා වයසට ගිහිල්ලා මිය ගියාට පසු ඔහුගේ පුතා එම සියලු දේපළවල හිමිකාරයා බවට පත්වුණා.

මියගිය පියා ජීවිත කාලය පුරා ධනය ඉපයුවා මිස පින් දහම් කර ගත්තේ නැහැ. කිසිවෙකුට උදව්වක් නොකළ ඔහු මියගොස් අසල පෙදෙසක සිඟමන් යදින දිළිඳු කාන්තාවකගේ කුස තුළ උපන්නා. ඔහු මව් කුසට ආදා සිට ඇයටත් සිඟමන් නොලැබී අගහිඟකම් තවත් වැඩි වුණා.

අගහිඟකම් මැද ලොකු මහත්වූ මේ සිඟන පුතු දිනක් තනිවම සිඟමනේ යනවිට තමන් පෙර භවයේ අමාරුවෙන් ගොඩනැගූ මනහර විසල් සිටු මැදුර දුටුවා. එම පුරුද්දට තම ගෙදර මෙන් දැනී කෙළින්ම සිටු මැදුර තුළට ගියා. වැරහැලි හැඳගත් දූවිලි තැවරුණු විරූපී වූ මේ හිඟන කොල්ලා දැක බියට පත් වූ සිටු දරුවෝ ‘ පිසාචයෙක් ආවා” කියා කෑකෝ ගහන්නට පටන් ගත්තා. එය අසා වහා දිව ආ ආරක්‍ෂකයෝ හිඟන කොල්ලා අල්ලා තලා පෙළා සිටු මැදුරේ ප්‍රාකාරයෙන් පිටතට දැමුවා. එම අවස්ථාවේ එහි වැඩම කළ අප බුදුරදුන් මේ දිළිඳු හිඟන කොල්ලා වෙන කිසිවෙකුත් නොව, මියගිය මහ සිටාණන්ම බව පවසා එය සනාථ කරනු වස් පෙර භවය සිහිපත් කර පෙර භවයේ වෙනත් කිසිවෙකුට නොදන්වා ධනය සැඟවූ තැන් පෙන්වන ලෙස දැන්වූවා. ඒ අනුව, එහි රැස්ව සිටි අය ඉදිරිපිටම එම තැන් හාරා ධනය ගොඩ ගැනීමෙන් පසු ඔහු පෙර මහසිටාණන්ම බව සියලු දෙනාම පිළිගත්තා.

අස්ථිර ලෝකයේ ස්ථිර ද? 

එතකොට, කිසිවෙකුට කිසිවක් ස්ථිරව අයිති නැති බව කියන මේ කතාව කොයි කාටත් වලංගු වූවක් ද ?

ඔව්, මොහු වේයා අනුගමනය කරමින් මහ තුඹසක් ගොඩනඟන්නා වගේ ධනය ගොඩ ගැසුවා. අඳුන් හෙප්පුව පාඩමට ගනිමින් ධනය කාටත් නොදී ලෝභකමින් රැක්කා. එහෙත් ඔහුට එය අයිති වුණාද ? තමන් අමාරුවෙන් ගොඩනැගූ සිටු මැදුරට අයිතිය කීමට තියා ඇතුළුවීමට පවා ඔහුට අවසරයක් නැහැ. සිටු පියා බව දැන ගත්තද එම ධනය යළි ඔහුට කවුරුන් හෝ අයිතිය පවරයි ද? සිටු පියා මෙන්ම සිටු පුතා ද සේවකයෝ ද සිටු මැදුර එහි ධනය තමන්ගේ යැයි සිතා සිටිය ද සැබවින්ම ඒවා හැමදා තමන් සතු වෙයිද ? නැහැ, විශ්වයේ කිසිවක් කිසිවෙකුටත් අයිති නැහැ. අම්බලමක තාවකාලිකව ලැඟුම් ගෙන ඊට අයිතියක් නැතිව, නැවත පිටවීයන සංචාරකයන් කොයි කාටත් කිසිවක් ස්ථිරව අයිති වෙන්නේ නැහැ.

සුදුස්සාට සුදුසු දේ හිමිවීම

සදාකාලිකව නැතත් තාවකාලිකව හෝ අපට යමක් අයිති කර ගැනීමට හැකියාව තිබෙනවා නේද ?

තාවකාලිකව හෝ යමක් හිමිවීමට නම් ඒ සඳහා කැප කිරීමක් කර තිබිය යුතුයි. එනම්, තමන් අනුන්ට කිසිවක් නොදුන්නොත් තමන්ටත් කිසිවක් ලැබෙන්නේ නැහැ. තමන්ගේ එම සුදුසුකම්වලට අනුව විශ්වයේ ඇති දේවල් භුක්ති විඳීමට පමණක් අයිතියක් හිමි වෙනවා. එනම් හෝටලයක හෝ නිවාඩු නිකේතනයක සූදානම් කර ඇති සැප පහසුකම් වගෙයි. එහි යන ඔබට ඔබේ වත්කමට හා අවශ්‍යතාවයට අනුව එහි ඇති සැප පහසුකම් භුක්ති විඳිය හැකියි. එහෙත් ඒවා අයිති කර ගැනීමට ඔබට හැකියාවක් නැහැ.

“විශ්වයේ කවර තැනක හෝ පවතින කිසිම දෙයක් තමාගේ කියා සිතා ගැනීමට කිසිවෙකුට සුදුසුකමක් නැතැයි” බුදුහාමුදුරුවෝ මජ්ඣිම නිකායේ, චූල තණ්හා සංඛය සූත්‍රයෙන් පැහැදිලි කර තිබෙනවා. වර්තමානයේ අප යමක් උපයා තබා ගත්තත් එය හිමි වන්නේ අද අප දරා සිටින නාමයට හා දරා සිටින ශරීරයට යි. මරණයෙන් පසු එම ශරීරය ( මෘත දේහය) යමෙකුට අයිති වේ නම් දේපළ ද හිමිවන්නේ ඔහුට යි.

කෙසේ නමුදු, තමන්ට තාවකාලිකව ලද දේ නැති වෙතැයි, වෙන අය භුක්ති විඳියි යනුවෙන් තැති ගන්නේ ඒවා සදාකාලිකවම තමන්ට අයිති ලෙස සිතූ නිසායි. ලද දෙයින් සතුටු වී ඉතිරි වූ දේ අතහැර සැනසීමෙන් මරණයට මුහුණ දුන්විට මතු ජීවිතය ද සැපවත් කර ගත හැකියි. මෙම ජීවිතයට වඩා සැප සම්පත් මතු ජීවිතයේදී උදා වීමට ජීවන රටාව අනුව වාසනාව ලැබෙනවා.

වටිනාම වස්තුව අත් හැරීම

නෑදෑ හිතවතුන් හා වස්තුව දේපළ ආදිය අතහැරියත්, තමන්ගේ ශරීරයට ඇති තදනන්තර බැඳීම නම් පහසුවෙන් බැහැර කරන්න බැහැ නේද ?

දැන් “නයෙකු පරණ වූ හැවය ගලවා දමා යන්නා සේ යයි” යනුවෙන් හමුවන බෞද්ධ ඉගැන්වීම අනුව කිව යුත්තේ, මෙම ශරීරයත් කොපුවක් වගෙයි. ජීවිත කාලයක් තිස්සේ විවිධ වැඩ සඳහා යොදා ගැනීමෙන් පරණ වී දිරීම් කැඩීම් සහිත වූ ශරීරය පරණ වූ ඇඳුමක් ලෙස දැකිය හැකියි. ඇඟ රැලි වැටී හිස කෙස් සුදුවී මහලුව සිටින කෙනෙකුට මෙය වඩාත් පැහැදිලිව වැටහෙනවා. පරණ වූ දිරා ගිය ඇඳුමකින් පෙනී සිටීමට වඩා අලුත් ඇඳුමකින් පෙනී සිටීම කාට වුවත් රුචි කරන්නක්. පරණ වූ ශරීර හැව ගලවා දමා යාමෙන් සර්පයාට සිදුවූ පාඩුවක් නැත්තාසේ ම, දිරා ගිය පරණ ඇඳුම වෙනුවට අලුත් ඇඳුමක් දරා ගත්තා සේ පරණ වී වැඩට යෝග්‍ය නොවූ රෝගීවු ශරීරය අතහැරීමෙන් අපට ද ඇතිවන පාඩුවක් නැහැ.

ඔබ යම්කිසි වැඩ කොටසක යෙදි ( නිරතවී ) සිටියා නම් ඊළඟ ජීවිතයේදී එතැන් සිට එය ඉදිරියට කර ගෙන යා හැකි වෙනවා. එබැවින් කෙනෙකු මරණය ගැන නොසිතන්නේත්, මතක් වූ විට බිය වන්නේත් සහ හැකි සියලු දෙයම උපරිමයෙන් කොට හෝ මරණය එක දිනයකින් හෝ කල් දමා ගැනීමට උත්සාහ කරන්නේත් විශ්ව ධර්මතා ගැන තේරුම් නොගැනීම නිසායි.

(50) සත්‍යාවබෝධය ලබමු.
(48) අත්හැරීමට ඇති අකැමැත්ත

Leave a Reply

Your email address will not be published.

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.