475 සුරුචි ජාතකය

සර්වඥ රාජයන් වහන්සේ සැවැත් නුවර මිගාර නමින් ප්‍රසිද්ධ වූ විහාරයෙහි වැඩවසන සේක් විශාඛාවන් ලබන ලද වර අටක් අරභයා මේ ජාතකය වදාළ සේක.

ඒ කෙසේද යත්,

දිනක් විශාකාවෝ විහාරයට ගොස් බණ අසා දනට ආරාධනා කොට ගෙට වඩමවා මහා දන් දී බුදුන් වැඳ වර අටක් ඉල්ලීය. කවර වර අටක් ද යත් දිවි පමණින් සඟනට වස් වැසි සිවුරු දීම, ආගන්තුත බත් දීම, ගිලන්පස දීම, ගිලනුන්ට උවටැන් කිරීම, ඔවුන්ට වුවමනා බෙහෙත් සපයා දීම, සඟනට නිතර කැඳ අවුලුපත් දීම, මෙහෙණින්ට නානාකඩ දීම සහ ගමික බත් දීම යන වර අට වෙති. බුදුහු විශාකාව කවර අර්ථයක් සඳහා එසේ වර ඉල්ලන්නේදැයි අසා ඈ එහ් අනුසස් කී කලහී තුන් යලක සාධුකාර පවත්වා අට වරය දී වදාළ සේක.දනක දම් සභා මණ්ඩපයෙහි රැස් වූ භික්‍ෂූණ් අතර ඇවැත්නි, විශාකා මහ උපාසිකාව ගෑණු ආ්තමයෙහි සිට බුදුන් අතින් අට වරයක් ලද යැයි ඈගෙ ගුණය ගැන කථා කරමින් උන් තැනට වැඩි බුදුරාණන් වහනසේ මහණෙනි, ඈ පෙරත් මා සමීපයෙහිම වරප්‍රසාද ලද්දී යයි ඉකුත්වත වදාළ සේක.

ඉහත මිථිලා නම් නුවර සූරුචි නම් රජ කෙනෙක් රාජ්‍ය කරන කල්හි ඔහුගෙ පුත්‍ර සූරුචි කුමාරයෝ වැඩිවිය පැමිණ ශිල්ප හැදෑරීමට ගොස් සිටිය දී බ්‍රහ්මදත්ත රජුගේ බ්‍රහ්මදතත කුමාරයා සමග එහිදී මිත්‍ර වී ඉගෙනීම අවසානයේ දී දෙදෙනාම ඔවුනොවුනගේ නුවරවල් වලට යන් පිණිස පිටත් වූයේ තම මිත්‍ර ධර්මය මතු නොසිදී පවතිනු සඳහා කුමාරයෝ දෙදෙනා නමින් උපදින දියණියන සහ පුතණූවන් ආවාහ විවාහ කරමු යැයි කතිකා කොට ගෙන තම නුවර වලට ගොස් පියවරුන් ගේ ඇවෑමෙන් රාජ්‍ය කරන්නාහු සුරුචි මහ රජ්ජුරුවන්ට පුතණු කෙනෙකුන් උපන්නාහුය. උන්ට ද එම නම තැබූහ. බ්‍රහ්මදත්ත රජ්ජුරුවන්ට දියණියක උපන්නී ඇයට සුමේධ දේවී යැයි නම් තැබූහ. සුරුචි කුමාරයෝ වැඩිවිය පැමිණි කල්හි බ්‍රහ්මදතත රජ්ජුරුවන්ට පත් යවා සුමේධා කුමරියගෙන් හා අග මෙහෙසුන් කොට රාභිෂේකයට පත් කිරීමෙන පසු සූරුචි රජ්ජුරුවෝ යන නමින් ප්‍රසිද්ධ ව දැහැමින රාජ්‍ය කරමින් විසූහ.
ඒ බිසව දස දහසක අවුරුදු වසන්නේ දරුවෙක් නොලද්දීය. නුවර වැස්සෝ නිතර රාජාංගනයට පැමිණ රජ පෙළපත නස්නේය. දරුවෙක් වහා ලබා දෙවයි මුර ගාන්නේය. රජතුමා තම බිසව කැඳවා දරුවන් ප්‍රාර්ථනා කරවයි කීහ. බිසව පොහෝ දින පෙහෙවස් ඉටා ගෙන ශ්‍රී යහන් ගබඩාවට පැමිණ තම ශීලය සිහිපත් කරමින් උන්නාය. ඇගේ ශීල තේජස දුටු සක්දෙව් රජ ඈ පුතුන් බලාපොරොත්තු වන බැව් දැක මහා පින්වත් දරු කෙනෙකුන්ට දෙන්ට වුවමනාවයි සිතා නලකාර දෙවිපුතුන් අමතා ඇගේ කුසේ පිළිසිඳෙන ලෙස දන්වා ඔහුගේ ප්‍රතිඥා ගෙන තෙමේ ඍෂි වෙසකින් රජ උයනට ගොස් ආකාශයෙහි සක්මන් කරමින් පුත්රුවන කාට වුවමනාදැයි අසා උයනේ සිටි දොළොස් දහසක් බිසෝවරු එකවිට අත් ඔසවා අපට වුවමනා වූ කල්හි තොපගේ ශීලය කවරේ දැයි සිල්වත් කෙනෙකුට දෙමියි කියා සුමේධ දේවියගේ හැර අපලේ ශීලයක් නැතැයි කී කල්හි ශක්‍රයා ඈ වසන සිව් මැදුරු කවුලුව සමීපයෙහි අහසෙහි සිට තොපගේ ශීල ගුණය කුමක්දැයි විමසා හිත, කය, වචනය යන තිදොරින් කිසිම අකුසලයක් නොකෙළෙමි. මේ රජහුගේ මව්පිය දෙදෙනාට අත් පා මෙහෙවර කෙළෙමි.
නිති පන්සිල් ආරක්‍ෂා කෙළෙමි. මේ සත්‍ය වචනයෙකි. මේ ශීල ගුණය කරණකොට ගෙන මට දරු සම්පතක් ලබා දේවා. මා කී එකක්වත් අසත්‍ය නම් මාගේ හිස සත්කඩ පැලේවායි කීවාය. ශක්‍රයා මෙය අසා ඉතා සතුටට පත්ව තොප කෙරෙහි මම පැහැදුනෙමි. තොපගේ රාජවංශය ගෙනයාමට සමත් දීර්ඝායුක්‍ෂ පුත් රුවනක් දෙමියි පුත්‍ර වරප්‍රසාද දී තමා ශක්‍රයා බැව් දන්වා ප්‍රසංශා කොට ගියහ. නලාකාර දිව්‍යපුත්‍රයෝ අලුයම් වේලෙහි දෙව් ලොවින් චුතව ඒ බිසව් කුස පිළිසිඳ ගත්තේය. මේ නලාකාර දිව්‍ය පුත්‍රයා වනාහී පෙර අත් බැව්හි බරණැස් නුවර ඉපිද තම පුත්‍රයා සමග පසේ බුදු කෙනෙකුන්ට පන්සලක් සහ සක්මනක් කොට දී වස් වසවා තුන් මසක් වුවටැන් කොට සිවුරු පිළිගන්වා යැවූහ. මෙසේ සත් පසේ බුදු කෙනෙකුන් වහන්සේ ඒ පන්සල වස් වසවා තුන් සිවුරු පුදා දෙව් ලොව ගොස් ඉපදුන මහා පින්වතෙකි.

බිසවගේ ගර්භයට දස එකඩ මස් ඇවෑමෙන් පුතනු කෙනෙකු වැදූහ.ඒ කුමාරයන්ට මහාපනාද කුමාරයෝ යැයි නම් තැබූහ. මියුළු බරණැස් දෙරට ඇත්තෝ කුමාරයාට කිරි මිළ යයි එක් එක් කහවනුව රාජාංගනයට දැමූහ. ධන ගොඩෙක් විය. පිය රජ්ජුරුවෝ මහාපනාද කුමාරයා වැඩි විය පැමිණි කල රාජාභිෂේකයට පෙර රම්‍ය වූ ප්‍රාසාදයක් කරවා දෙම්හයි වාස්තු විද්‍යාචාරීවරුන් කැඳවා අපගේ මාලිගාවට නුදුරු තන්හි ප්‍රාසාදයක් කරවයි නියම කළහ. ඔහු ද යහපතැයි සුදුසු බිමක් පරීක්‍ෂා කරන්ට පටන් ගත්හ. ශක්‍ර දේවේන්ද්‍රයෝ එපවත් දැක විශ්වකර්ම දිව්‍ය පුත්‍රයන් කැඳවා මහාපනාද කුමාරයන්ට දිග පළල අඩ අඩ යොදුන් පමණ උසින් පස් විසි යොදුනක් ඇති සියක් මාල ඇති සත් රුවන්මය ප්‍රාසාදයක් මවා එවයි කියා යැවූහ. ඔහු ද වඩු ආචාරී වේශයක් මවා ගෙන පැමිණ බිම බලමින් වඩුවන් බත් කා පියා එවයි යවා තෙමේ රියන් දණ්ඩ ගෙන බිමට ගැසීය. එකෙනෙහි ඉහත කී පරිදි අලංකාර ප්‍රාසාදයෙක් පහළ විය. මහාපනාද කුමාරයන්ට ප්‍රවේශ මඟුල් අභිෂේක මඟුල් එක්වරම සත් අවුරුද්දක් දෙරට වැස්සෝ එක්ව කළහ.
මෙසේ සත් අවුරුද්දක් ඇවෑමෙන් උභය රජුවාසීහු ස්වාමීනී, මඟුල සමාප්ත වන්නේ කවරදාදැයි විචාළා හ. ඉක්බිති රජ්ජුරුවෝ මෙතෙක් මාගේ දරුවා සිනා සෙනවා නොදුටුවෙමි. ඔහු සිනාසුන දිනෙක මඟුල අවසන් කරන්නෙමි. එදින තොප තොපගේ රට රටවලට යවයි කීහ. ඉක්බිති නළුවෝ රැස් වී නව නෘත්‍ය ලක්‍ෂණයෙන් නෘත්‍ය දක්වන්නා හු මහාපනාද රජ්ජුරුවෝ සතුටකට පත් නොවූයේ බොහෝ කාලයක් දිව්‍ය නළුවන්ගේ නැටුම් දැක පුරුදු ඇති හෙයින් මේ නැටුම් අප්‍රිය බැවිනි. එකල ශක්‍ර දේවේන්ද්‍රයන් රජ්ජුරුවේ සිනාසෙවිය නොහී මනුෂ්‍යයන් විඳින වෙහෙස දැක රජ්ජුරුවන් සිනස්වා එවයි දිව්‍ය නළුවකු යැවූහ. ඔහු ගොස් රාජාංගනයෙහි සිට ශරීරයෙහි එක් අංශයක් නැටවීම නම් වූ අර්ථ රංග නෘත්‍යයක් දැක්වීය. අනෙක් අර්ධව නිශ්චලව තිබෙන්නේය. මේ නෘත්‍ය දුටු රජ්ජුරුවෝ මදක් සතුටට පත්ව මදක් සිනා සුනෙන් මඟුල ද සමාප්ත විය. මෙසේ මහාපනාල රජ්ජුරුවෝ අසංඛයක් අවුරුදු දිව්‍ය සම්පත් බඳු රජ සම්පත් අනුභව කොට ආයු කෙළවර ගොස් දෙව්ලොව උපන්නාහුය.

එකල්හී මහාපනාද රජ්ජුරුවෝ නම් දැන් භද්දිය තෙරුන්ය. සුමේධා දේවිය නම් විශාකා මහා උපාසිකාවෝය. ශක්‍ර දිව්‍ය පුත්‍රයා නම් තිලෝගුරු බුදුරජාණන් වහන්සේය.

 

 
උපුටා ගැනීම – www.jathakakatha.lk

476 පංචුපොසථ ජාතකය
474 මහිස ජාතකය

Leave a Reply

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.