473 උද්දාල ජාතකය

තිලෝගුරු බුදු රජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන සේක් වංචාසහගත භික්‍ෂුවක් අරභයා මේ ජාතකය වදාළ සේක.

ඒ භික්ෂුව සිව්පසය නිසා තුන් වැදෑරුම් වූ කුහකගුණ පුරන්නේ ය. මේ ගැන දිනක් දම්සභා මණ්ඩපයෙහි උපන් කථාවක් අරභයා එහි වැඩි බුදුරජාණන් වහන්සේ භික්ෂූන් අමතා මහණෙනි, පෙරත් ඔහුගේ පවත් එසේම වේදැයි ඉකුත් වත වදාළ සේක.

ඒ කෙසේද යත්,

පෙර බරණැස බ්‍රහ්මදත්ත නම් රජකෙනෙක් රාජ්‍ය කරන කල්හි එරජුට ඉතා පණ්ඩිත ව්‍යක්ත පුරෝහිතයෙක් සිටියේය. ඔහු දිනක් උයන් කෙළියට ගියේ මනා රූපත් වෛශ්‍යාවක් දැන ඈ සමඟ එරහැන්ද ගසක් යටදී ලෝකාස්වාද රතියෙහි යෙදුනේ ය. මේ නියායෙන් දින දෙකතුනක් කල් යැවූයේ ඈට දරුගැබක් ඇති විය. ඒ බව දැන ස්වාමීනී, මට දරු ගැබක් පිහිටි කල කෙසේ වූ නමක් තබම්දැයි විචාළී ය. පුරෝහිත බමුණා වෛශ්‍යාවන්ට උපන් දරුවන්ට කුලගොත් අනුව නම් තැබිය නොහැකැයි සිතා එරහැන්ද ගසට වාතගත වෘක්‍ෂයයි කියන හෙයින් මේ ගස යටදී ගැබ්ගත් දරුවාට උද්දාල යයි නම්තබවයි කියා ඇඟිල්ලෙහි වූ පේරැස් මුද්ද දී දුවක් නම් මෙය විකුණා පෝෂ්‍ය කරව. පුතෙක් නම් වැඩිවිය පැමිණි පසු මා ලඟට එවන්නැයි නියම කොට යැවීය.
ඈ නොබෝ දිනකින් පුතණු කෙනෙකුන් වදා උද්දාල යන නම තබා වැඩිවිය පැමිණි පසු ශිල්ප ශාස්ත්‍ර උගන්වා පේරැස් මුදුව දී තොපගේ පියා අසවල් පුරෝහිත බමුණායයි හඳුන්වා දී යැව්වාය. ඔහු ප්‍රඥාවෙන් අග්‍රව පිරිවර තාපසයන් පන්සියයක් ඇතිව ක්‍රමයෙන් පියා සිටන නුවරට පැමිණ එම රජ උයනෙහි රඳා නිදා උදය ගම දොරකට සිඟාවන්හ.

මනුෂ්‍යයෝ බොහෝ දන් දුන්හ. උද්දාල තාපසයෝ පැමිණි ජනයාහට අනුමෙවෙනි දම්දෙසති. මොහුගේ පණ්ඩිත බව මුළු නුවරව පැතිරගියේ රජතුමා ද පුරෝහිත බමුණා සමඟ උයනට අවුදින් තැන තැන හිඳ කුහක තපස්කම් කරන්නා වූ ඔහුන් දැක පැහැදී මොහු අපාය භයින් මිදී ගියෝවනැයි සතුටුව උද්දාල තපස්වීන් කරා ගොස් පිළිසඳර කථා කොට එකත්පසව හිඳ සතුටු සිතින් පුරෝහිතයන් සමඟ කථා කරන්නේ පුරෝහිතයෙනි, ඒකාන්තයෙන් මොවුන් සසර දුකින් ගැලවෙන්නාහයි කීහ. එපවත් අසා පුරෝහිත බමුණා මේ රජ අස්ථානයෙහි ප්‍රසාදයට පත් විය. මෙහිද නිහඬවීම යුක්ති නොවෙයි සිතා රජතුමෙනි ත්‍රිවේදය හැදෑරිමෙන් සසර දුකෙන් ගැලවිය නොහැක. සසරින් ගැලවීමට නම් මේ මිත්‍යා තපස් හැර පංචාභිඥා අෂ්ටසමාපත්ති ගුණයන් පුරුදු කළහු නම් සසරින් එතෙර විය හැකියි කීහ. උද්දාල තාපසයෝ මේ අසා රජතුමා අප කෙරෙහි පැහැදුනමුත් මේ බමුණා ඒ වලකාලීය. මොහු සමඟ කථාකර බලමියි පුරෝහිත බමුණා අමතා ආචාරිනි, මේ හදාරණ ලද වේද ශාස්ත්‍රයෙන් ප්‍රයොජනයක් නොවේයයි ඔබ කියන්නෙහිදැයි ඇසීය.
එවිට පුරෝහිත බමුණා තපස්වීනි, එසේ නොකියමි. වේද ශාස්ත්‍රයෝ නිෂ්පල නොවන්නේ ය. ඒ වේද ශාස්ත්‍රය කරන කොටගෙන මෙලොව කිර්තියට හා යසසට පැමිණෙන්නාහුය.
එනමුත් ශීල සංයමය හා නොවරදවා දැන කරන කසින පරිකර්මාදී භාවනා මනස්කාරයෙන් ඇතිව ඉක්මුණා වූ සත්වතෙම නිවන් පුරයට පැමිණෙන්නේ යයි කීහ. එපවත් අසා උද්දාල තාපසයෝ සිතන්නාහු මොහු සමඟ කථාකොට ජයගත නොහැක්ක. දරුවෝයයි කී කල ඔවුන් ස්නේහ නොකරන්නාහු යමෙක් නැත. එබැවින් මුන්ගේ දරුනියාව කියමියි පේරැස් මුදුව පෙන්වා එරහැන්ද සෙවනැල්ලේදි තොප නිසා උපන් මම තොපගේ කුලවංශය පාලනය කරන්ට යෝග්‍ය වූ පුත්‍රයෙක්මියි කීහ. එවිට පුරෝහිත බමුණා ඔහුට බ්‍රාහ්මණ ධර්මය කියා අවවාද කොට තවුස්වෙස් අස්කොට උපපුරෝහිත තනතුරෙහි තබා අනෙක් හොර තවුසන් පන්සියයට කඩු පලිහ දී රාජ්‍ය සේවයෙහි යොදවා ගත්හ.

එකල උද්දාල නම් දැන් මේ මහණය. රජ්ජුරුවෝ නම් ආනන්ද ස්ථරවිරයෝ ය. පුරෝහිත බමුණා වුයේ බුදුරජාණන් වහන්සේය.

 

 

උපුටා ගැනීම – www.jathakakatha.lk

474 මහිස ජාතකය
472 මහා උක්කුස ජාතකය

Leave a Reply

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.