472 මහා උක්කුස ජාතකය - IFBC Organization | Dhamma

සද්ධර්ම රාජයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සේක් මිත්‍රගන්ත නම් උපාසකයකු අරභයා මේ ජාතකය වදාළ සේක.

ඒ කෙසේද යත්,
සැවැත් නුවර සම්පත්තියෙන් පිරී ගිය එක් කුල පුත්‍රයෙක් කුල දුවක් පාවා ගෙන කිසි කටයුත්තකට පිහිටවන්නට සුදුසු මිත්‍රයෙක් විචාර නැතැයි කී කල ඇගේ අවවාද අනුව ක්‍රමයෙනි් සතර වාසල් රකින දොරටු පාලයාගේ පටන් මහ රජ්ජුරුවන් දක්වා ද අසූ මහා සව්වන් වහන්සේ පටන් සර්වඥයන් වහන්සේ දක්වා ද මිත්‍රවී ලෞකික ලෝකෝත්තර සම්පත් ලබාගත්තේය. මේ කරුණ ගැන දම් සභා මණ්ඩපයෙහි උපන කතාවක් අරභයා මහණෙනි, පෙර තිරිසන් යෝනියෙහි පවාඉපිද මෑගේ බසින් බොහෝ මිත්‍රව පුත්‍ර සෝකයෙන් මිදුනේ වේදැයි ඉකුත් වත වදාළ සේක.

යටගිය දවස බරණැස බ්‍රහ්ම දත්ත නම් රජ කෙනෙක් රාජ්‍ය කරන කල්හී දඩයමින් ජීවත් වන මිනිසුන් වසන එක් ගමක නුදුරින් මහා සයංජාත විලෙක් විය. ඒ විලට දකුණු පසින් එක් උකුසෙක් ද බස්නාහිර පැත්තෙන් එක් උකුසු දෙනක් ද උතුරින් සංහ රාජයෙක් ද දකුණින් කර සුදු තඹ වලින් ලිහිණි රජෙක් ද විල මැද ඇති දූපතෙහි කැස්බෙක් ද වාසය කරන්නා හ. දිනක් උකුස්සා උකුසු ධේනුව සමග සරණ විචාළේය. ඈ උකුස්සා අතින් මිත්‍රයෙක් ඇත්දැයි විචාරා නැතැයි කී කළ එසේ නම් සබඳ අපට යම් බියක් උපන් විට ඉන් ගලවා පියන්ව සමත් මිත්‍රයකු ලැබීම මැනවයි කියා ඒ අවට වාසය කරන ඉහත කී සතුන් තිදෙනා හා මිත්‍රව ඒ අසළ ඇති කොළොන් ගසෙක කැදැල්ලක් බැඳ වාසය කරන්නාහු දරු පැටවුන් දෙදෙනෙකු ලද්දා හ.
දිනක් දඩයමේ ගිය මිනිසුන් සමූහයක් ඇවිද කිසිවක් නොලැබ හිස් අතින් ආපසු විල අසලින් යන්නේ කුඩ මසුන්වත් අල්ලා ගෙන යමු යයි කථා කොට එහි නතර වී රාත්‍රී ගිණි ගොඩක් මොලවා ගත්හ. ඒ දුම් ඉහළ ගොස් උකුසු පැටවුන් කෑ ගසන්නට වන් හ. ඒ ඇසූ මිනිස්සු තෙල පක්‍ෂීන් මරා පුළුස්සා අනුභව කොට බඩගිනි නිවා ගනිමු යයි කරණ කථා ඇසුන උකුසු දෙ මේ මිනිස්සු මාගේ පැටවුන් මරා කනු කැමැත්තාහ. ඒ බව වහා ගොස් අපගේ මිත්‍ර ලිහිණි රජ්ජුරුවන්ට දන්වා එවයි උකුස්සා අමතා කීවාය. උකුස්සා ගොස් වැඳ නමස්කාර කොට ඉතා බැගෑපත්ව තමන්ට දඩයම් කරුවන්ගෙන් පැමිණෙන්නට යන විපත කියා වහා පිහිට වන ලෙස අයැද සිටියේය. ලිහිණි රජ්ජුරුවෝ වහා පැමිණ ඒ මිනිස්සු හුළු එළි බැඳ ගහට නගින අයුරු බලා සිට මුදුනට ළඟාවන කල්හී අසල විලෙන් පියාපත් තෙමාගෙන මුඛයෙන් ද පැන් ගෙන පියාඹා ගොස් හුළු එළියට ඉලය ඉස නිවා දමන්නාහ.
මිනිස්සු නැවත බිමට බැස හුළු එළි දල්වා ගෙන ගසට නගින්නාහ. නැවත ද පෙර සේම නිවාපීහ. මෙසේ මධ්‍යම රාත්‍රිය ද ඉක්ම ගියේ ලිහිණි රජ්ජුරුවන්ගේ යට බඩේ මයිල් දා ගියේය. ඇස් රතුවන් විය. මේ බව දුටු උකුසු ධේනුව ලිහිණි රජ්ජුරුවන්ට ස්තුති කොට ඔහු වයා උකුස්සා අමතා කැස්බෑ ළඟට ගොස් මේ කාරණය දන්වා තමාට පිහිටක් වන ලෙස ඔහු කැඳවාගෙන එන්නැයි කියා යැවීය. උකුස්සා ගොස් කැස්බෑ අමතා මේ උවදුර දන්වා මෙයින් ගැලවුව මැනවයි කීය.

කැස්බෑ ඒ අසා උකුස්සා අස්වසා එහි යාමට සූදානම් වන අතර ඊට නුදුරින් සිටිය කැස්බාගේ පුතණුවෝ පියාණන් වහන්ස වෙහෙස නොවුව මැනවි යයි කියද්දී ඔහු වලකා මාගේ මිත්‍රයන් සඳහා මමම යා යුතු යැයි කියා එම විලෙහි පතුලට ගොස් ඉස සහා සෙවෙල් ඇඟ ගල්වාගෙන අවුත් එම ගිණිගොඩ නිවා වැද හොත්තේ ය. එවිට මිනිස්සු මේ මහා කැස්බෑ දැන කුරුළු පැටවුන්ගෙන් කම් නැත. මේ කැස්බෑ මරා කමු යයි කියා සෙවෙල් මඩ ආදිය නිසා පෙරළාගත නොහී දුනු ආදියෙහි වූ වරලනු කඩා බැඳ අලිවනා කල්හි මහා බලැති කැස්පා ඔවුන් හා සමග පොකුණු දියටම ගියේය. ඒ මිනිස්සු මාංශ ලෝභයෙන් කැස්බා අත නොහැරියේ දියඹට ම ගියේය. නැවත ඔවුන් ක්‍ෂුධා පිපාස බලවත්ව අවුත් ගිනි දල්වා ගසට නැගෙන්නට උත්සහ කළහ.
මෙය දුටු උකුසු ධේනුව තම මිත්‍ර සිංහ රජ්ජුරුවන් සමීපයට ගොස් උපකාර වන ලෙස දන්වන මෙන් කියා උකුස්සා යැවිවාය. තම මිත්‍රයාගේ ඉල්ලීම පරිද ඔවුන් පැමිණි දුකින් වහා මුදවා ගැනීමට සිංහ රජ්ජුරුවෝ කැමතිව ඒ මිනිසුන් සිටින සමීපයට පැමිණ තුන්යලක් නාද කොට ඉදිරියට ආහ. එකල්හි මනුෂ්‍යයෝ සිංහ රජ්ජුරුවන් දැක මරණ භයින් ඉස් ලූ ලූ අත දිව ගත්හ. සිංහ රජ්ජුරුවෝ ගස මුලට පැමිණ කිසිවෙකු නොදැක උන්නේය. එවිට ලිහිණි රජ්ජුරුවෝ ද කැස්බා ද පැමිණ වැඳ සිටියහ. සිංහ රජ්ජුරුවෝ ඒ හැමදෙනා එක් කොට මිත්‍ර ධර්මයෙහි අනුසස් ප්‍රකාශ කොට තවත් මිත්‍ර බව තහවුරු වන සේ අවවාද කොට ගියහ.

ඒ සමයෙහි උකුසු දෙමහල්ලෝ නම් දැන් මිත්තගත්තයන් හා ප්‍රජාපතීය. මහා කැස්බා නම් මුගලන් තෙරුන් වූ අතර කැස්බා ගේ පුත්‍රයෝ නම් රාහුල කුමාරයෝ ය. ලිහිණි රජ වූයේ සැරියුත් තෙරුන්ය. සිංහ රජ්ජුරුවෝ නම් බුදුරජාණන් වහන්සේය.

 

 
උපුටා ගැනීම – www.jathakakatha.lk

473 උද්දාල ජාතකය
471 චන්දකින්නර ජාතකය

Leave a Reply

Your email address will not be published.

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.