469 සරභමිග ජාතකය

සර්වඥයන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩවසන සේක් තමන් වහන්සේ කොටින් විචාළ ප්‍රශ්නයක් සැරියුත් තෙරුන් විසින් විස්තර වශයෙන් ප්‍රකාශ කිරීමක් අරභයා මේ ජාතකය වදාළ සේක.

ඒ කෙසේද යත්,

සර්වඥයන් වහන්සේ සත්වන වස තව්තිසා දිව්‍ය ලෝකයෙහි වාසය කොට මාතෘ දිව්‍ය රාජයන්ට තුන්මසක් අභිධර්මය දේශනා කර වස් පවරා සංකස්ස නගරාද්වාරයට වැඩිය සේක් එහි වැඩ සිටි තම ශ්‍රාවකයන් දැක සැරියුත් තෙරණුවෝ මහත් වූ ප්‍රඥාවෙන් යුක්තය මා හැර මුන් හා සමාන වූ නුවණැති කෙනෙක් තුන්ලෝකයෙහිම නැත. එබැවින් මුන්ගේ ඥාණ ගුණය ලොවට ප්‍රකාශ කරමියි සිතා පළමු පෘථග්ජනයන්ට විෂය වූ ප්‍රශ්න විචාළ සේක.
ඒ පෘථග්ජනයෝම විසඳුහ. මෙසේ ක්‍රමයෙන් සෝතාපන්න සකෘදාගාමි- අනාගාමි සහ මහශ්‍රාවක යන මොවුන්ට විෂය වන ප්‍රශ්න විචාළ සේක. ඒ ඒ ප්‍රශ්න ඒ ඒ තත්වයට පත් ශ්‍රාවකයන් විසින් විසඳු ඉක්බිති සැරියුත් තෙරුන් වහන්සේට විෂය වූ ප්‍රශ්න විචාළ සේක. ඒ පැන තෙරුන් වහන්සේ විසඳූ සේක. සෙසු තැනැත්තෝ නොදත් සෙක. මහාජනයා බුදුන් සමඟ ප්‍රශ්න දක්‍ෂ ලෙස විසඳන මුන් වහන්සේ කවර කෙනෙකුන් වහන්සේදැයි විචාරා දම් සෙනෙවි සැරියුත් තෙරුන් වහන්සේ යයි අසා දැන ප්‍රඥාවක මහිම යයි ප්‍රසංසා කළහ. එතැන් පටන් දෙව් මිනිසුන් අතර සැරියුත් තෙරුන්ගේ ප්‍රඥා ගුණය ප්‍රසිද්ධ විය. මේ ගැන දිනක් දම් සභා මණ්ඩපයෙහි කථාවක් උපන් කල්හි මහණෙනි, පෙරත් සැරියුත් තෙරණුවෝ කෙටින් කියන ලද වචනයෙහි ඇර්ථ විස්තර වශයෙන් කීවෝ වේදැයි ඉකුත්වත වදාළ සේක.

යටගිය දවස බරණැස බ්‍රහ්මදත්ත නම් රජකෙනෙක් රාජ්‍යය කරන කල්හි සරභ මෘගයෝනියෙහි උපන් මුව රජෙක් බොහෝ මුවන් පිරිවරා වනයෙහි වසන්නාහ. එකල බරණැස් රජ්ජුරුවෝ පිරිවර සමඟ මුව දඩයමෙහි යන්නාහ වනය වට කොට යමෙක් සිටින තැනින් මුවෙක් පලාගියා නම් ඒ මුවා ඔහු විසින් දියයුතු යැයි නියමයෙක් ඇත. තමා ලඟින් යාමට එන මුවා විද මැරිය යුතුයි. එසේ හෙයින් යම් උපායකින් රජ්ජ්රුවන් වහන්සේ සිටින තැනට මුවා පන්නමියි කථාකොට එන මුවන් එතනින් පලා යෑමට එක් දිනක කටයුතු සැලැස්සූහ. පළමු කොටම සාරභමෘගයා යාමට අවසරයක් බලා රජ්ජුරුවන් සමීපයෙන් දිවගෙන ආයේය. රජතුමා ඊයක් විද්දේ ඒ වැරදුනි සරභ මෘගයෝ ඊ පහර වළක් වන්ට සමර්ථහ. තමා ළඟින් මුවා පැනගිය හයි සෙස්සන්ගේ කවටකම් වලින් පීඩාවට පත් රජතුමා මුන් මාගේ තරම නොදැන නින්දා පරිභව කෙරෙතියි කඩුව පමණක් ගෙන පයින් ම ගොස් සරභ මෘගයා අල්වමියි වේගයෙන් දිව ගත්තාහ.
සරභ මෘගයා තුන් යොදුනක් දිව ගොස් වලට වන්නේ ය. එහි සැට රියනක් පමණ මහත් වූ තිස් රියනක් යෙන් පිරි තනපතින් වැසී ගත් නරාවලෙක් ඇත. සරභ මෘගයා ඒ අසලින් දුවන්නේ එහි දුර්ගන්ධය ආඝ්‍රාණය කොට ඉන් ඉවත්ව හැරී පලාගිය නමුත් ඉවක් නැති රජතුමාව එහි ගිලි ගියේය. පිටුපසින් ආ පාශබ්දය නැති බැවින් හැරී බැලූ සරභමෘගයාට රජතුමාව නරාවලෙහි වැටුන බව දැන තමා මරන්ට ආ සතුරා කෙරෙහි මෙත් වඩා දැන් මා පිහිට විය යුතුයයි සිතා වහා එහි ගොස් දරුවකු ගොඩ ගන්නා පියෙකු මෙන් ඉතා ආරයෙන් එහි බැස තම පිට උඩ සිඳුවා රජතුමාව ගොඩගෙන පිරිස හමුවට ගෙන ගොස් තබා අවවාද දී පංචශීලයෙහි පිහිටුවිය. රජතුමා සරභමෘගයන් පැහැදී රාජ්‍යයෙන් පිදීය. සරඟමෘග රජ්ජුරුවෝ රජතුමනි, ඔබගේ රාජ්‍යයෙන් තිරිසන් වූ අපට කම්නැත. මට සැලකීමට අවශ්‍ය නම් පන්සිල් කඩ නොකොට ආරක්‍ෂා කළ මැනවි.

නුවර වාසීන් ලවාද පන්සිල් ආරක්‍ෂා කරවනු මැනවයි කියා වනයට වන්හ. රජතුමා මේ කිසිවක් කිසිවෙකුට නොදන්වා දුකෙන් යුතුව පිරිවර සමඟ රජමාලිගායට පැමිණ අද පටන් නුවර වාසීහු පන්සිල් රකිත්වායි අණබෙර යවා ආහාර ගෙන ශ්‍රී යහන් ගබඩාවට වැද නුවණැති පුරුෂයා විසින් වීර්ය හැර නොපියා තමා පටන් ගත් කාර්යයෙහි ඉෂ්ටඵල දකිනතුරු කළ යුත්තේය. මා නරාවලෙහි වැටී ඉන් ගොඩවනු එය එසේ ඉටුවිය. එසේ නමුත් නොසිතු දෙය සිදු වෙයි. සරභමෘගයා මැරීමට මම ගියෙමි. නමුත් නරාවලෙහි වැටුනෙමි. මෙසේ නොයෙක් දේ කියමින් උදන් අනමින් සිටියදී හිරු නැංගේය. පුරෝහිත බ්‍රාහ්මණයා රජ්ජුරුවන්ගේ සුවදුක් බලනු පිණිස උදේ ආවේ මේ සියල්ල අසා සිට තත්වූ පරිද නරාවලේ වැටුන බවත් සරභමෘගයාගේ පිහිටින් ගොඩට පැමිණ අවවාද ලබා පැමිණි බවත් දැන නිය පිටින් දොරට තට්ටු කොට රජතුමාගේ අණින් ගබඩාවට පැමිණ රජතුමනි, ඔබතුමාට ඊයේ සිදු වූ සියල්ල දනිමියි කියා කැඩපතකින් බලා කියන්නාක් මෙන් පෙරදින සිදු වූ සියල්ල රජුන් ඉදිරියේ කීය. එබස් අසා රජතුමා ඉතා පුදුමයට පත්ව මේ බමුණානෝ මා සමඟ ඊයේ මුව දඩයමේ නොගියේ ය. නමුත් සියළු පවත් දනී. බමුණ, මෙපවත් තොපට කීවේ කවරෙක් ද තොපගේ බලය ඉතා බලවත් ය. බුදු කෙනෙක් වැනිය. බමුණා එවිට කියන්නේ රජතුමනි, මම බුදු කෙනෙක් නොවෙමි. ඔබ කී ප්‍රීති වාක්‍ය අසා එහි අර්ථය මට පහන් එළියක් මෙන් බොහෝ කොට වැටහුනේ යයි කියා දහම් දෙසා අවවාද දුන්නේ ය. රජතුමා පැහැදී සැප සම්පත් දී යැවූය. දිනක් රජතුමා විදිමියි සිතා පුරෝහිත බමුණත් කැටිව උයනට ගියහ.
එකල බොහෝ අභිනව දිව්‍ය පිරිස දුටු ශක්‍ර දේවේන්ද්‍රයෝ ඊට කාරණා බලන්නේ සරභමෘගයා විසින් පන්සිල්හි පිහිට වූ රජතුමාගේ නියෝගයෙන් රටවාසීහු පන්සිල් රැක මිය ගොස් දෙව්ලොව උපදින බව දුටහ. නැවත රජතුමා විදින්නට ගියාහ. රජතුමා විදිමියි දුන්න අතට ගත්තේ ශක්‍රයාගේ ආනුභාවයෙන් ඒ අසල සරභමෘග රූපයක් මැවීය. රජතුමා මුවා දැක දුන්න පහත හෙළීය. ඉක්බිති ශක්‍රයා පුරෝහිත බමුණාගේ ශරීරයට ප්‍රවිශ්ටව, රජ්ජුරුවෙනි, සරභමෘග මාංශය රජ්ජුරුවන්ට අග්‍ර භෝජනය ඔබතුමා ඌ නොවිද පසු බැස්සේ මන්දැයි ඇසීය. රජතුමා බමුණ, සරභමෘග මාංශය යහපත් බැව් මම දනිමි. නමුත් මේ මුව රජ්ජුරුවෝ මට කළ උපකාරය අමතක නොවේ යයි කීය.

ශක්‍රයා- රජතුමනි මේ මුවෙක් නොවෙයි. අසරණයන්ට ජ්‍යෙෂ්ඨ වූ ශක්‍රදේවේන්ද්‍රයෝය. එබැවින් තෙපි ශක්‍රයන් මරා එම පදවිය ලබා ගනු මැනවි. තෙපි මූ මාගේ යාළුවෝයයි නොමරන්නෙහිද? තොපගේ පුත්‍ර දාරාවන් සමඟ වෙතරණි නරකයෙහි උපදින්නේ වේදැයි තැතිගැන්වූහ. රජතුමා- බමුණාණනි, අප හැම දෙනෙක් එම නරකයෙහි උපදිතත් ඒ සුළු දෙයකි. මට ජීවිත දානය දුන්නා වූ මේ මුව රජ්ජුරුවන් නොමරමි. මා දැන් මෙතරම් ඓශ්චර්ය විදිනුයේ මේ මුව රජ්ජුරුවන් නිසාවෙනි. මට කළ උපකාරය නිතරම සිහි කරමි.
ඉක්බිති ශක්‍රදේවේන්ද්‍රයෝ පුරෝහිත බමුණාගේ ඇඟෙන් පහව අහස් නැගී රජ්ජුරුවන් අමතා ප්‍රසංසා කොට ධර්ම දේශනා කොට දිව්‍ය ලෝකයටම ගියහ.

එසමයෙහි රජ්ජුරුවෝ නම් දැන් ආනන්ද ස්ථවිරයෝ ය. පුරෝහිත බමුණානම් සැරියුත් තෙරුන් ය. සරභමෘග රාජයා නම් තිලෝගුරු බුදුරජාණන් වහන්සේ ය.

 

 

උපුටා ගැනීම – www.jathakakatha.lk

470 සාලිකෙදාර ජාතකය
468 රෑරැමෘග ජාතකය

Leave a Reply

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.