468 රෑරැමෘග ජාතකය - IFBC Organization | Dhamma

තිලෝගුරු බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමයෙහි වැඩ වසන සෙක් දෙව්දත් තෙරුන් අරභයා මේ ජාතකය වදාළ සේක.

ඒ කෙසේද යත්,

දෙව්දත් තෙරුන් බුදුන් නසන්නට යෙදූ උපක්‍රමයක් ගැන දම්සභා මණ්ඩපයෙහි උපන් කථාවක් අරභයා ඔහු අකෘතඥවූයේ දැන් මතු නොවෙයි. පෙර උන්ට මා ජීවිත දානයදීත් කළගුණ නොසැළකූවෝ වේදැයි ඉකුත්වත් වදාළ සේක.

යටගිය දවස බරණැස බ්‍රහ්මදත්ත නම් රජකෙනෙක් රාජ්‍යය කරන කල්හි කෙළක් ධනය ඇති එක් සිටුවරයෙකුගේ එකම පුත්‍රයා කිසිශිල්ප ශාස්ත්‍රයක් නොඉගෙන දෙමව්පියන්ගේ ඇවෑමෙන් පවිටු මිතුරන් සමඟ දුරාචාරයෙහිහැසිර සියළු ධනය වනසා නයද ගෙන එය දී ගත නොහී සිතන්නේ මට දැන් ජීවත් වීමෙන් කම් නැත මැරෙමියි සිතා නය හිමියන් අමතා තොපගේ නය දෙමි ගඟ අසබඩ මා සතු නිධාන් පෙන්වමියි කැටුව ගොස් මෙතන එක් නිධානයෙක, මෙතැන එක් නිධානයකැයි දක්වමින් ඔවුන් රවටා ගඟට පැන්නේ මහා ජල පහරට අසු වී යටි ගන් බලා යන්නේ මහත් හඬින් හැඬුයේ ය.

ඒ ගඟ අසල අඹ වනයක වාසය කළ රූරුමෘග යෝනියෙහි උපන් රන්වන් මුව පෝතකයෙක් මේ හඬ අසා මා සිටියදී මොහු මරණයට පත්විය යුතු නොවේ යැයි වහා එහි ගොස් ගඟ පීනා ඔහු කරපිට හිඳුවා ගොඩට ගෙනවුත් පලාඵල දී දෙතුන් දිනක් නවතා තම පිට උඩම හිඳුවා බරණැස් නුවරට යට මාර්ගයට ඇරලා පින්වත, මෙහි රන් මුවකු වසන බව වස්තුව නිසා කිසිවෙකුට නොකියවයි කියා යැවීය. ඒ පිළිගත් එම පුරුෂයා බරණැස් නුවරට වන් දින බරණැස් රජ්ජුරුවන්ගේ ඛෙමනම් අගබිසව අළුයම රන්වන් මුවකුගෙන් බණ අසනවා සීනෙන් දැක උදේ ඒ බව රජ්ජුරුවන්ට දන්වා තම ජීවිතය රැකගත යුතු නම් රන්වන් මුවකුගෙන් බණ අසන්නට සලස්සාලවයි ඇයදීය. රජතුමා බිසව අස්වසාලා මේ ලෝකයේ රන්වන් මුවන් ඇති බැව් බමුණන් අතින් දැන රන් මුවෙක් වසන තැනක් කී කෙනෙකුට දහසින් බැඳි පියල්ලක් සමඟ බොහෝ වස්තුව දෙන බැව් කියා යැවූහ. වනයේ සිට එන සිටු පුත්‍රයා මෙය අසා අමාත්‍යයා සමීපයට ගොස් මම එබඳු මුවකු වසන තැන් දනිමියි ඔහු සමඟ රජ්ජුරුවන් ළඟට ගොස් රන්මුවා පිළිබඳ තොරතුරු කීය. රජතුමා බොහෝ සතුටට පත්ව අවි ආයුධ ගත් මහ පිරිසක් සමඟ වනයට ගොස් වට කොට ඝොෂා කෙළේය. මහ පිරිසගේ හඬ ඇසුන රන්මුව පෝතකයා මේ මම අභය දානය දුන් අසත් පුරුෂයා නිසා සිදු වීමට යන විපතකැයි සිතා එළියට පැමිණ පිරිස දැක රජ්ජුරුවන් ලඟින්ම යමියි සිතා පැමිණ දුන්න තමා දෙසට මානා සිටි රජු අමතා රජතුමනි,මා නොමරා ජීවග්‍රහයෙන් අල්වා ගත මැනවයි කීහ. රජතුමා රන්මුව පොතකයාගේ මිහිරි බසින් පැහැද තමා ලඟට ගෙන පිළිසඳර කථා කරමින් සිටිනා අතර රජ්ජුරුවෙනි මාගැන ඔබට කීවෝ කවුරුදැයි විචාළේය.
එවිට ඒ අසල සිටි පුරුෂයා මඳක් ඉවත් වී අහක බලා ගත්තේ ය. රජතුමා තොප ගැන දැන්වූයේ මේ පුරුෂයායයි පෙන්වීය. මුවපොතකයා රජ්ජුරුවෙනි, දියෙහි පාවීයන දණ්ඩක් ගොඩ ගැනීම යහපත් වන්නේය. අසත් පුරුෂයෙකුට පිහිටවීම නොහොබින්නේ යැයි ඔහුව මරණයෙන් මුදාගත් හැටි කීවේය. රජතුමා ඒ අසත් පුරුෂයා ගැන කිපී විදමැරීමට නියම කළේය. මුව පොතකයා රජ්ජුරුවන්ට කියා ඔහුට නැවතත් අභය ලබා දී දීමට පොරොන්දු වූ වස්තුවද ඇතිව ඔහු පිටත් කර යවා රජතුමනි, මාගේ මස් අනුභව කරන සේක් වීනම් මා මරා අනුභව කළ මැනව. මා සමඟ කෙළිනා කැමති නම් එසේ කළ මැනව. ඒ සියල්ල ඔබට අනුකැපව පවතීයයි කීහ. රජතුමා සතුටු සිත් ඇතිව මුව රජ්ජුරුවෙනි, තොපට හිරිහැර කළ ඒ අසත් පුරුෂයාට තොප මෛත්‍රී කළාද එයින් ම තොප ගැන මම පැහැදුනෙමි. තොප නම් බුද්ධාදී මහොත්තමයන් අතුරෙන් කෙනෙක. එබැවින් තොපට මම අභය දෙමි. සෙසු මුව වර්ගයාටත් සියළු සතුන්ටත් අභය දීමට පොරොන්දු වෙමියි කියා මුව රජ්ජුරුවන් ගෙන මාලිගාවට ගොස් බිසව ඇතුලු එම හැමටත් නුවර වැස්සන්ටත් ධර්ම දේශනා කිරීමට සලස්වා තමාද ඔහුගේ අවවාද පරිදි දශරාජ ධර්මයෙහි පිහිටා රාජ්‍යය කළේය.

එසමයෙහි සිටු පුත්‍රයා නම් දෙව්දත් තෙරුන් ය. රජ්ජුරුවෝ නම් ආනන්ද ස්ථවිරයෝ ය. රූරුමුව රජ්ජුරුවෝ නම් බුදු රජාණන් වහන්සේ ය.

 

 
උපුටා ගැනීම – www.jathakakatha.lk

469 සරභමිග ජාතකය
467 තක්කාරී ජාතකය

Leave a Reply

Your email address will not be published.

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.