465 කාලිංගබෝධි ජාතකය

සුගතයන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ වාසය කරන සේක්. අනද තෙරුන් විසින් කරන ලද මහත් වූ බෝධි පූජාවක් අරභයා මේ ජාතකය වදාළ සේක.

ඒ කෙසේද යත්,

භාග්‍යවතුන් වහන්සේ සැවැතින් නික්ම ජනපද චාරිකාවෙහි යෙදුන දිනක බොහෝ උපාසක උපාසිකාවෝ පුද පූජා ගෙන බුද්ධ වන්දනාව සඳහා දෙව්රමට ආවාහු. බුදුන් නොදැක ශෝකීව ඒ පුද පූජා පිදිය යුතු අන් තැනක් නැත්තෙන් විහාරය සමීපයෙහි රැස් කොට තබා ගියහ. අනේපිඬු සිටු ආදීහු ඒ දුටුවෝ බුදුන් වහන්නේ පිටත වැඩි විට උන් වහන්සේ සිහිකොට පුදනු සඳහා පූජා වස්තුවක් ඉල්ලා ගන්ට සිතූහ. නැවත භාග්‍යවතුන් වහන්සේ පෙරලා ජේතවනයට වැඩි විට ඔවුහු රැස්ව පූජා වස්තුවක් ඉල්ලීමෙහි ආනන්ද තෙරුන් මෙහෙයූහ. ඒ තෙරණුවෝ ගොස් පූජා වස්තු කවරේදැයි විචාර බුදුන් වෙනුවට පූජ්‍ය දැයක් ඉල්ලූහ. ආනන්ද ශාරීරික උද්දේසික පාරිභෝගික යයි පූජ්‍ය වස්තු තිදෙනෙකි. ඉන් ශාරීරික ධාතු පූජාව බුද්ධ පරිනිර්වාණයෙන් පසු වන්නේය.
උද්දේසික පූජාව නම් ධර්මයට බුද්ධ ප්‍රතිමාදියට වෙයි. පාරිභෝගික ධාතු පූජා නම් පරභෝග කළ පාත්‍ර චීවරාදියට ද බුද්ධත්වයේ පිටදුන් බෝධි වෘක්ෂයට ද කරන සත්කාරයයි. එබැවින් ජය ශ්‍රී මහා බෝධියෙන් ඵලයක් ගෙන්වා මේ ජේතවනාරාමයෙහි රෝපිත කරවා ඊට සත්කාර කරතොත් ඒ මට කළ සත්කාර හා සමයයි වදාළ සේක. කොසොල් රජ ආදී හට අනද තෙරණුවෝ මෙපවත් දන්වා ජේතවන දොරටුව සමීපයෙහි වළක් කණවා ජයසිරි මහා බෝ රුකින් ඵලයක් ගෙනවුත් දෙන්ට මුගලන් තෙරුන් අයදූහ. මුගලන් තෙරණුවෝ තමන් එය බෝ රුකින් ගෙනෙන සැටි සියල්ලට පෙනෙන සේ ඉටා එකෙනෙහි සෘධියෙන් ගොස් උරුවේලායෙහි ජයශ්‍රී මහා බෝ සමීපයට වැද එහි නටුයෙන් ගැලවී එන ඵලයක් බිම වැටිය නොදී සිවුරු පටින් පිළිගෙන එකෙනෙහිම අවුත් ඒ අනද තෙරුන්ට දුන්හ. කොසොල් රජතුමා එය රන් කරඬුවකින් ගෙන වළ තෙවරක් පැද කුණු කොට අනේපිඬු සිටු අතට දුන්නේය. සිටුහු ඝන රන් තලියක සුවඳ කළල් පුරවා තලිය පතුල සිදුරු කොට වළ මැද තබා එහි බෝ පැළය සිටුවූහ.

මෙය අනඳ තෙරුන්ගේ නියෝගයෙන් සිටුවන ලද බැවින්ද මහජනයාගේ සිත ආනන්දය ඇති කරමින් වැඩුන හෙයින්ද ආනන්ද බෝධි නම්වි. දිනක් අනද තෙරුන්ගේ අයදනින් භාග්‍යවතුන් වහන්සේ ඒ බෝ රුක මුල රෑ තුන් යම්හි සමාපත්ති සුඛයෙන් වැඩහුන් සේක. මෙසේ ආනන්ද බෝධිය පාරිභෝගික චෛත්‍යයෙක් විය.

දම්සභා මණ්ඩපයෙහි රැස්වූ භික්ෂුන් අතර ආනන්ද ස්ථවිරයෝ සර්වඥයන් වහන්සේ ජීවත්ව සිටියදීම බෝධි පූජාවක් කළේ යැයි කතාවක් උපන් කල්හි එහි වැඩි බුදු රජාණන් වහන්සේ මහණෙනි පෙරත් ආනන්ද ස්ථවිරයෝ පිරිවර සහිතව සතර මහාද්වීපයෙහි මනුෂ්‍යයන් ගෙන්වා ගද දුන් මල් පහන් ගෙන බෝ මැඩ බෝධි පූජාවක් කරවූවෝ වේදැයි ඉකුත් වත වදාළ සේක.

යටගිය දවස කලිඟු රට දන්ත නුවර රාජ්‍ය කළ කලිඟු රජ්ජුරුවන්ට මහා කාලිංඝ, චුල්ල කාලිංඝ නමින් පුත්‍රයෝ දෙදෙනෙක් වූහ. පියාගේ ඇවෑමෙන් මහා කාලිංඝ කුමාරයා රාජ්‍ය කරන බවත් චුල්ල කාලිංඝ කුමාරයා සෘෂි ප්‍රවෘජ්‍යාවෙන් පැවැදිව භික්ෂාටනයෙන් කල් යවන අතර ඔහුට දාව උපදින පුතණුවෝ අනාගතයේ දී කාලිංග චක්‍රවර්තීව රාජ්‍ය කෙරෙතියි නිමිති පාඨකයෝ කීහ. මෑත භාගයෙහි පියාගේ ඇවෑමෙන් මහා කාලිංඝ කුමාරයෝ රාජ්‍යයට ද මළනුවෝ යුව රජ තනතුරටද පැමිණියාහ. යුව රජ්ජුරුවෝ තමාගේ පුත්‍රයා චක්‍රවර්තී රාජ්‍යයට පැමිණියේ යැයි ඉතා ප්‍රීතියෙන් පුත්‍රයා නිසා ආඩම්බරව පසුවන දුටු රජතුමා එය ඉවසා ගත නොහී යුව රජ්ජුරුවන්ව අල්ලා ගෙන එවයි වැඩෙහි හැසිරෙන එක් ඇමතියෙකුට නියෝග කළහ. ඒ ඇමති ගොස් යුව රජ්ජුරුවන්ට මේ බව දන්වා ඔබතුමා මේ නුවරින් නික්ම ගොස් ජීවිතය රැකගත මැනැවැයි කීය. යුව රජ්ජුරුවෝ පේරැස් මුද්දත් සියුම් වූ පලසත් මඟුල් කඩුවත් තුනම ඒ ඇමති හට පෙන්වා මේ සංඥාවෙන් මාගේ පුතණුවන්ට රාජ්‍යය පාවා දෙවයි කියා වලට වැද ගංතෙරක පන්සලක් කොට ගෙන පැවිදිව වාසය කළහ. එකල මධු රට සාගල නුවර මධුරජ්ජුරුවන්ගේ දියණියගේ ලක්‍ෂණ බැල නිමිති පාඨකයෝ මේ කුමාරිකාව පැවිදිව සිඟා ජීවත් වන්නීය.

මුන්ගේ බඩ උපන් කුමාරයෝ චක්‍රවර්තී රාජ්‍යයට පැමිණෙන්නේය කීහ.
ඒ සියළු දඹදිව රජ දරුවෝ එපවත් අසා ඈ ලබා ගැනීමේ අදහසින් එකවිට අවුත් නුවර වටලා ගත්හ. මධුරජ්ජුරුවෝ සිතන්නේ ඉදින් මම දියණිය එක කුමාරයෙකුට පාවා දුනහොත් සෙසු අය කිපෙන්නාහ. එබැවින් ඈ රකිමියි සිතා දියණිය සහ බිසව අප්‍රසිද්ධ වේසයකින් නුවරින් ගෙන ගොස් වලට වැද කාලිංග කුමාරයන්ගේ අසපුවට නුදුරින් උඩුගඟ පන්සලක් කොට ගෙන පැවිදිව තිදෙනම එහි කල් යැවූහ. දෙමව්පියෝ දියණිය පන්සලෙහි රඳවා පලාඵල පිණිස යන්නාහ. ඈ දෙමව්පියන් ගිය කල නොයෙක් මල් ගෙන මාලා ගොතා ගං තෙරවූ අඹ රුකට නැඟී දියට දමන්නාහ. දවසක් මල් මාලයක් පාවී ගොස් ගඟට බැස නාන්නා වූ කලිඟු කුමාරයන්ගේ හිසෙහි දැවටින. කුමාරයෝ මල් පට බලා මෙය තරුණ ස්ත්‍රියකගේ කර්මාන්තයෙකැයි නිශ්චය කොට පරීක්‍ෂා කෙරෙමියි සිතා ක්ලේශ වසඟයෙන් උඩු ගඟට ගොස් ඈ දැක සොඳුර තෙපි කවුරුදැයි විචාළහ. ස්වාමීනී මම මිනිස් ලියක්මියි ඈ කීවාය. මෙසේ ඔවු නොවුන්ගේ සියළු තොරතුරු අසා දැන දෙදෙනාම ක්‍ෂසත්‍රීය වංශයට අයත් බැව් දැන ගසින් බැස එකතු වී දෙමව්පියන් ආකළ සියළු විස්තර කීය. ඔවුන්ද ඉතා සතුටුව කුමාරිකාව රාජ කුමාරයන්ට පාවා දුන්හ. ඈ ටික කලකින් මහ පින් ඇති පුත් රුවණක් වැදුවාය.
ඒ කුමාරයා වැඩිවිය පැමිණ පියාගෙන් සහ මුත්තණුවන් සමීපයෙහි සියළු ශිල්ප ඉගෙන නිම විය. පියා දිනක් ඔහු අමතා තම පේරැස් මුද්ද පළස හා මඟුල් කඩුව අතට දී පුත දන්තපුර නුවර අසවල් වීදියේ අපට හිතවත් එක් ඇමතියෙක් ඇත. ඔහු ලඟට ගොස් මේ ලකුණු පෙන්වා මාගේ පුත්‍ර නියාව කියව. ඔහු තොපව රාජ්‍යයෙහි පිහිට වන්නේය. කුමාරයෝ වැඩිහිටියන් වැද අවසර ගෙන කුසලමය වූ සෘඬියෙන් ගොස් අමාත්‍යාගේ සමීපයට පැමිණ සියළු පුවත් දන්වා ලකුණු දැක්වූහ. ඇමති තෙමේ එපවත් රජ පිරිසට දන්වා ඔහු රාජ්‍යයට පත් කළහ. කාලිංග භාරචාඡ නම් වූ පුරෝහිත බ්‍රාහ්මණයාගෙන් පිළිපැදිය යුතු දසවිධ චක්‍රවර්තිවන් දැන ඒ පිරූහ. ඊට අනතුරුව පැමිණ පසළොස්වක් පොහෝ දිනයෙහි චක්‍රවර්ති රජ කෙනෙකුට නියමිත සප්තවිධ රත්න පහළ විය. ඒ රජජුරුවේ සියළු සක්වළ ගැබ රාජ්‍යය ගෙන මහ පිරිස පිරිවරන ලදුව අති ධවල වූ හස්ති රත්නය පිටින් දෙමව්පියන් සමීපයට ගියාහ. එම හස්ති රාජයා සියළු බුදුවරුන්ට ජය භූමිය වූ බෝ මැඩට මතු භාගයෙන් යන්ට අසමත් විය. රජතුමා කොතෙක් උත්සාහ කළත් ඇත් රජ යන්ට මැළිවිය. එවිට පුරෝහිත බ්‍රාහ්මණයාගෙන් ඊට හේතුව විචාළේය. අහසින් බැස පරීක්‍ෂා කරන්නේ එහි එක පැලෑටියක් වත් නොමැති ධවල වූ රිදී පටක් බඳු වැල්ලෙන් ශෝභාමත් වූ විටින් එදෙසට නැමූන. තෘණතලාදියෙන් හෙමි බෝමැඩ දැක පුරෝහිත බ්‍රහ්මණයා රජ්ජුරුවන් අමතා මහ රජතුමනි සියළු බුදුවරු සකල කෙලශයන් නසන්නා වූ ස්ථානය මෙය වන්නේය. මෙහි මතු පිටින් ශක්‍රයකුට පවා යා නොහැක. දස ලක්‍ෂ සතලිස් දහසක් යොදුන් ඝනකඩ බොල් මහ පොළවට නාභියක් හා සමාන වූ අචල ස්ථානයක් වූ මෙය කප මුලහටගත්තේය. නස්නා කල්හි පසුව නැසෙන්නේය. මේ ස්ථානයට නමස්කාර කට යුත්තේ ය.

මේ උතුම් හස්ති රාජයා වජ්‍රාකුසයෙන් කොටා මෙහෙයතත් මේ බෝධි මංඩලය මත්තෙන් නොයන්නේය. මාගේ කීම සැබෑදැයි බලනු සඳහා මේ උතුම් හස්ති රාජයා විදුරු එබූ අකුස්සෙන් කොටා මෙහෙයා බලනු මැනවයි කීයේය. චක්‍රවර්තී රජ්ජුරුවෝ එබස් අසා පරීක්‍ෂා කර බලනු සඳහා ඇතු මෙහෙයාලූහ. එවිට ඇත් රජ කුඤ්චනාද කොට පසු බැස අහසෙහිම උක්කුටකයෙන් උන්නේය. චක්‍රවර්තී රජ්ජුරුවෝ වීදුරු එබූ අකුස්ස්සෙන් නැවත නැවතත් අනින්ට වන් කල්හි වේදනාව ඉවසා ගත නොහී ඇතු අහසෙහි කළුරිය කෙළේය. රජතුමා ඇතු මළ නියාව නොදැන ඔහු පිටම උන්නේ පුරෝහිත බ්‍රාහ්මණයා රජතුමනි ඔබේ ඇත්රජ නිරුඬව ගියේය. ඔබ කෙතෙක් උත්සාහ කළත් මේ බෝ මැඩ මතුයෙන් යාමට නොහැක. වෙන ඇතෙකු එනසේ සිතුව මැනවයි කීහ. රජ්ජුරුවන්ගේ ආනුභාවයෙන් අනිත් ඇත් රජෙක් අවුත් පිට පෑයේ රජතුමා ඒ ඇතු පිට නැංගේය.
එකෙනෙහි මළ ඇත් රජ බිම පතිත විය.

ඊට පසු රජතුමා වහා බිමට බැස බෝධි මණ්ඩලයේ වූ ප්‍රාතිහාර්යය දැක බ්‍රාහ්මණයාට බොහෝ ප්‍රශංසා කොට බමුණානෙනි තෙපි නම් සියල්ල දත්තා වූ සම්‍යක් සම්බුදු වරයෙක්මයයි ස්තුති කළාහ. බ්‍රාහ්මණයා රජතුමනි අපි ශාස්ත්‍රයෙන් දැන කියන හෙයින් ශ්‍රුත බුද්ධ නම් වම්හ. බුදුවරු තුන් කල්හි වූ සියළු පදර්ථයන් දක්නාහු වෙති. සර්වඥ ඥාණයෙන් සියල්ල දන්න හු වෙති. පඤ්චවිධඥෙය්‍ය මණ්ඩලය කරතලා මලක ආකාරයෙන් දනිතියි බුදුගුණ වර්ණනා කළහ. චක්‍රවර්තී රජතුමා බුදු ගුණයෙහි පැහැද සොම්නස් වී සියලු සක්වල වාසීන් ලවා ගඳ දුම් මල් පහන් ගෙන්වා ගෙන මහ බෝමැඩ සතියක් මුළුල්ලෙහි බෝධිපූජා කරවූහ. සත්රුවන්මය වූ පහන් කනු ප්‍රාකාර කරවූහ. මෙසේ පූජා පවත්වා ගොස් දෙමාපියන් කැඳවා ගෙන තම රාජ්‍යයට ගොස් දානාදී පින්කම් කොට ආයු කෙළවර තව්තිසා දෙව්ලොව උපන්හ.

එසමයෙහි කලිඟු රජ්ජුරුවෝ නම් දැන් මේ ආනන්ද ස්ථවිරයෝය. කාලිංග භාරචාජ පුරෝහිත බ්‍රාහ්මණයා නම් තිලෝගුරු බුදුරජාණනන් වහන්සේය.
උපුටා ගැනීම – www.jathakakatha.lk

466 ආකීර්ති ජාතකය
464 දුත ජාතකය

Leave a Reply

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.