Skip to main content

464 දුත ජාතකය

ධර්ම රාජයන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩවසන සමයෙහි තමන්ගේ ප්‍රඥාව අරභයා මේ ජාතකය වදාළ සේක.

ඒ කෙසේද යත්,

දිනක් දම්සභා මණ්ඩපයෙහි බුද්ධ ප්‍රඥාවෙහි මහිමතාවය ගැන භික්ෂූන් අතර කථාවක් උපන් කල්හි එහි වැඩි බුදුරජාණන් වහන්සේ මහණෙනි ප්‍රඥාවෙන් උතුම් වූයේ දැන් මතු නොවේ. පෙරත් එසේම වූයේ වේදැයි ඉකුත් වත වදාළ සේක.

යටගිය දවස බරණැස බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙක් රාජ්‍යය කරන කල්හි එනුවර රන් හිඟ විය. එකල කසීරට එක් බමුණු මානවකයෙක් තක්සලා නුවරට ගොස් ශිල්ප නිමවා ආචාරීන් වහන්සේට ගුරු පූජාවට වස්තු ගෙනමියි කියා නික්ම ගොස් තැන තැන ඇවිද මැණික් සතරක් ලැබ එන්නේ අතරමඟ ගඟකින් එතෙර වනු සඳහා ඔරුවක නැංඟාහ. ගඟ මැද දී ඔරුව පෙරළී ඒ මැණික් දියෙහි වැටී ගියේය. බමණු මානවකයා සිතන්නේ ජනපදයෙහි මැණික් දුර්ලභ වන්නේය. නැවත ආචාරීන්ට ගුරු පූජා සෙවීම දුෂ්කර වන්නේය. මේ ගංගා තීරයෙහි උපවාස කොට උපායකින් රජ්ජුරුවන්ගෙන් වස්තුව ලබා ගෙන ගොස් ගුරු පූජා කරමියි අධිෂ්ඨාන කොට උතුරු සළුව බිම හෙලා ඒ මත්තේ හොත්තේය. මේ මනවකයාය දුටු අසල්වාසීහු මෙහි පැමිණ එසේ වැතිර සිටීමට හේතුව විමසූහ. ඒ කිසිවක් කතා නොකළේය. මෙසේ අවට ජනපද වාසීහු ප්‍රභූහුද ඇමතිවරු ද පැමිණිය මුත් පෙර මෙන්ම නිශ්ශබ්ද විය. මේ බව ඇමතිවරුන් අතින් දැනගත් රජතුමා බියපත්ව වහාම ඔහු ළඟට පැමිණ බමුණාණෙනි කුමක්හෙයින් නිරාහාරව උනුදැයි විචාළහ.

එවිට බමුණු මානවකයා රජතුමනි ඉඳින් ඔබට දුකක් උපන්නේ වී නම් ඒ දුකින් මුදවා ගැනීමට නොහැක්කෙකු හට එය නොකිය යුත්තේය. එයට දැහැමින් පිහිට වන සත්ත්වයාටම ඒ දුක කිය යුත්තේය. තවද රජතුමනි කැනහිලන් පක්ෂීන් ආදීහූ තිරිසනුන්ගේ බස් සැබවයි අදහාගත නොහැක්කේය. මේ ලෝකයේ ටික කලක් මිතුරු වාසය කළා වූ සත්ත්වයෝ පසුව සතුරු වෙති. සතුරෝ මිතුරු වෙති. මේ ආදී වචනයෙන් ධර්ම දේශනා කොට ගුරු පූජාවට වස්තු ලබා ගත් ක්‍රමයක් එය ගඟේ ගිලුණු බවක් දන්වා රජතුමනි මා සමීපයට මෙතෙක් ආ පුරුෂයෝ මේ දුකින් මුදාලන්නට අසමර්ථයෝ යයි දැන උන්ට මෙපවත් නොකීමි. ඔබ වහන්සේ වූකලී මට පිහිට වීමට සමත් බව දන්වා හෙයින් කීමියි දැන්වීය. රජතුමා ඒ බ්‍රාහ්මණ මානවකයන්ගේ ධර්ම කථාවෙන් ප්‍රමුදිත වූයේ ඔහු සනසා බොහෝ වටිනා මැණික් තුදුසක් දුන්හ. බ්‍රාහ්මණ මානවකයා ඒවා ගෙන ගොස් ආචාරීන්ට පුදා බොහෝ පින්කම් කළහ.

එසමයෙහි රජ්ජුරුවෝ නම් දැන් ආනන්ද ස්ථවිරයෝය. ආචාරීන් නම් සැරියුත් තෙරුන්ය. බ්‍රාහ්මණ මානවකව උපන්නේ බුදුරජාණන් වහන්සේය.

 

 

උපුටා ගැනීම – www.jathakakatha.lk

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.