462 ජවනහංස ජාතකය

සර්වඥයන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ වසන සමයෙහි දල්හධර්ම සූත්‍ර දේශනාව අරභයා මේ ජාතකය දක්වන ලදී.

ඒ කෙසේද යත්,

බුදුරජාණන් වහන්සේ දල්හධර්ම සූත්‍රය වදාළ දෙනෙි දවස දම් සභා මණ්ඩපයෙහි රැස් වූ භික්‍ෂූණ් අතර ඇවැත්නි, බුදුහු තමන් වහන්සේ ගේ බුද්ධ විෂයෙහි සිට සියළු සත්ත්වයන්ගේ ආයු සංස්කාරය ස්වල්ප කොට ප්‍රකාශ කොට වදාරණ සේක්. පෘථග්ජන භික්‍ෂූණ් අතිශයින් සසර බියෙන් බියපත් වන්නාහ. බුද්ධ මහිමයේ හැටි බලවයි කථා කරමින් උන් තැනට වැඩි බුදුරජාණන් වහන්සේ මහණෙනි, පෙරත් හංසයෝනියෙහි ඉපිද ආයුසංස්කාරය ස්වල්ප නියාව දක්වා බරණැස් රජ ප්‍රධාන පිරිසට ධර්ම දේශනා කළේ වේදැයි ඉකුත් වත වදාළ සේක.

එදා බරණැස බ්‍රහ්මදත්ත නම් රජෙක් රාජ්‍ය කරන කල්හි තුන්දහසක් හංසයන් පිරිවරාගත් රාජ හංසයෙක් චිත්‍රකූට පර්වතයෙහි වසන්නාහ. රාජ හංසයා පිරිවර සමග ගොස් දඹදිව එක විලෙක සයංජාත ඇල අනුභව කොට අහසින් චිත්‍රකූට පර්වතයට යන්නාහ. එකල බරණැස් රජ්ජුරුවෝ මේ රාජ හංසයාව දැක මුනුත් මා හා සමාන රජෙක් විය යුතු යැයි ඇමතියන්ට කියා මල් ගඳ විලවුන් ගෙන රාජ හංසයා එන තුරු බලා සිට තූර්ය නාදයෙන් පූජා කළහ. රාජ හංසයා මේ බැව් දැක පිරිවෙර හංසයන් අතින් විචාරන්නාහු රජ්ජුරුවෝ මට මෙබඳු සත්කාරයක් කරන්නේ කුමක් පතාදැයි විචාළා හ. ස්වාමීනී, ඔබ සමග මිත්‍රකම් පතා යැයි කී කල එසේ රජ්ජුරුවන් සමග මිත්‍රබව වේවයි කියා රජ්ජුරුවන් සමග මිත්‍ර ධර්මය පිහිටුවා ගියාහ.
දිනක් රජ්ජුරුවන් උයනට ගිය කල තුමු අනවතත්ත විලට ගොස් එක් පියාපතකින් පැන් හා එක් පියාපතකින් සඳුන සුනු හා ගෙනවිත් රජ්ජුරුවන පැනින් නහවා සඳුන් සුනු ශරීරයෙහි ගල්වා මහජනයා බල බලා සිටිය දී ම සහ පිරිවරින් චිත්‍රකූට පර්වතයට ගිය හ. එතැන්පටන් රජතුමා මාගෙ මිත්‍රයා අද එතියි අද එතියි පෙරමඟ බල බලා හිදින්නා හ. එකල රා හංසයාගේ සොයුරන් වූ හංස පෝතකයෝ දෙදෙනෙක් ඉරු හා සමග දුවම් හයි කතා කොට රාජ හංසයාට අපි ඉරු හා දුවන්නෙමු යැයි කීහ. රාජ හංසයා කියනනාහු දරුවනි, තෙපට ඉරු සමග දිවිය නොහැක. අතරමගදී නැසී යති. එබැවින් නොයවයි එය වැළකූහ. හංස පෝතකයෝදෙවන තුන්වන වරටත යාඥා කලහ. රාජ හංසයා අවසර නොදුන්නේ ය.

උන් දෙදෙන රජා හංසයාට නොකියාම ඉරු සමග දුවම්හයි කියා ඉරු පායන්ට පළමුකොට ගොස් යුගඳුරු මුදුනෙහි උන්හ. රාජ හංසයා උන නොදැක සොයා එහි ගිය බැව් දැන මුන් දෙදෙනා මෙයින් විනාශයට පැමිණෙති. උන්ට ජීවිත දානය දිය යුතු යැයි සිතා තමන් ද එහි ගොස් තොපි නිසා මම ද පැමිණියෙමියි හිරු මඬල නැගි කල්හි උන් දෙදෙනා දුවන්ට පටන් ගත් විට තමා ද උන් සමග දුවන්නට විය. උන් දෙදෙනාගේන බාල මලණුවෝ පෙවරුයෙන් බාගයක් දුව ආසන්නව ගියහ. පියාපත් සන්ධිවල ගිනි නගින්නාක් මෙන් විය. ඔහු රාජ හංසයා අමතා ස්වාමීනී බෑණන් වහන්ස, දිවගත නොහෙමියි කීහ. එසඳ රාජ හංසයා මළන්ඩ තොපි භය නොගනුවයි චිත්‍රකූට පර්වතයට ගෙනගොස් තබා හිරු කරා පැමිණි දෙවන මළනුවන් සමග දිවූහ. ඒ මළනුවෝ ද මධ්‍යහ්නය දක්වා දිවීමෙන් දාහ වැදෙමින් එහා දිවීමට අසමත් බැව් රාජ හංසයාට දැන්වීය.
ඔහුව ද පෙරසේම චිත්‍රකූට පර්වතයට ගෙන ගොස් තැබූහ. එකෙනෙහි ඉරු මුදුනට නැංගේය.
එවිට රාජ හංසයා මාගේ බලය පරීක්‍ෂා කෙරෙමියි සිතා එක් වරම දූව යුඟදුරු මුදුනේ සිට එයින් නැඟ ඉරු කරා පැමිණ වරෙක ඉරුට පෙරටුව ද වරෙක ඉරුට පස්ව ද දිව සිතන්නේ ඉරු සමග දිවීම ව්‍යර්ථ වන්නේය. නුනුවණින් උපදවා ගත් ජවයක් වන්නේය. මේ ජවයෙන් ප්‍රයෝජන කිම් ද? බරණැස් නුවරට ගොස් මාගේ මිත්‍ර රජ්ජුරුවන්ට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කර එමියි සිතා හිරු හා දිවන ගමන් වළකා බරණැස් නුවරට පැමිණ රජ මාලිගාවේ රජ්ජුරුවන් විසින් පණවන ලද රන් පුටුවේ වාඩි වී රජතුමා විසින් කරන සත්කාර ඉවසා පිළිසඳර කථා කොට කොයි සිට අවුදැයි විචාළ ගමනේ ඉරු සමග දිව් ගමන විස්තර කොට කීහ. ඉක්බිති රජ්ජුරුවෝ රාජ හංසයාට කියන්නේ හංස රජ්ජුරුවෙනි, ඉරු හා සමග දිවූවේ ද දක්වාලවයි කීහ.
රජ්ජුරුවෙනි ඒ වේග දක්වන්නට නොපිළවන.
හංස රාජය එසේ නම් ඒ හා සමාන සුළු වේගයක් දැක්වුව මැනව. යහපත මහරජ. දෘශ්‍ය මාත්‍රයක් පෙන්වමියි අක්‍ෂණවේදී ධනුර්දරයන් රැස් කරවා රාජ හංසයා ඒ ධනුර්දරයන්ගෙන් ඉතා සමත් සතර දෙනෙකු තෝරා ගෙන රාජංගනයේ ගල් කුළුනක් සිටුවා තමන් කර මිණි ගෙඩියක් බඳවා ගෙන ගල් කුළුන මතුයෙහි හිඳ ධනුර්දරයන් සතර දෙනාව ඒ ළඟට කැඳවා තෙපි සතර දෙන සතර දිශාවට එකවරම ඊතල සතරක් විඳිනු මැනවි. මම ඒ ඊ දඬු සතර බිම වැටීමට පෙර ඇරගෙන විත් තොප සතර දෙනා පාමුල තබමි. මාගේ නියාව මිණි ගෙඩියේ නාදයෙන් දැන ගනුව. මම තොපට නොපෙනෙන්නෙමියි කියා ඔවුන් ලවා ඊ විද්දවා ඒ සැනින් එය ගෙනවුත් දී රජ්ජුරුවන් අමතා මාගේ වේගය දුටුවෙහි දැයි අසා මහරජ, මාගේ මේ වේගය උත්තමත් මධ්‍යමත් නොවේ. ඉතා ස්වල්ප වූ වේගයක. අපගේ ස්වභාව වේගය මීට වඩා සීඝ්‍ර වන්නේ ය.
එවිට රජතුමා හංස රජතුමනි, තොපගේ වේගයට වඩා සීඝ්‍ර වූ තවත් වේගයක් ඇත් ද? රජතුමනි, ඒසේ ය. අපගේ අධික වේගයට වඩා සිය දහස් ගුණයකින් මේ සත්ත්වයාගේ ආයු සංස්කාරය වහා ගෙවෙන්නේය.
බිඳෙන්නේ ය. විනාශයට යන්නේ නිරෝධ වශයෙන් රූප ධර්මයන්ගේ භේදය දැක්වූහ. රජතුමා මෙය අසා මරණ භය පත්ව සිහි එළවා ගත නොහී බිම වැටී උන්නා හ. මහජනයා තැති ගෙන රජ්ජුරුවන්ගේ මුහුණට පැන් ඉස සිහි එළවූහ. ඉක්බිති හංස රාජයා ඔවුන් අමතා තෙපි බය නොවව්. මරණානුස්මෘතිය වඩව්. දශකුශල කර්මයෙහි හැසිරෙව්. දානාදී පින් කරව් යැයි අවවාද කළේය. රජතුමා එබස් අසා හංස රජ්ජුරුවෙනි, ඔබ වැනි වූ නුවණැති ආචාරී කෙනෙකුගෙන් වෙන්ව විසිය නොහැක. චිත්‍රකූට පර්වතයට නොගොස් මෙහිම නවතුවයි රජ මාලිගාවේම නවත්වාගෙන හංසරාජයාගේ අවවාද අනුශාසනා පරිදි රාජ්‍ය කෙළේය. හංස රාජයා ටික දිනක් ධර්ම දේශනා කොට චිත්‍රකූට පර්වතයට ගියේ ය.

එසමයෙහි රජ්ජුරුවෝ නම් දැන් ආනන්ද ස්ථවිරයේය. මළණුවෝ මුගලන් තෙරුන් වූ අතර සැරියුත තෙරුන් වූයේ මැදි මළනුවෝ වූහ. සෙසු හංස සමූහයා නම් දැන් බුදු පිරිසය. ජවන හංස රා වූයේ බුදුරජාණන් වහන්සේය.

 

 

උපුටා ගැනීම – www.jathakakatha.lk

463 චුල්ලනාරද ජාතකය
461 ඵන්දන ජාතකය
IFBC Home Page