453 භද්දසාල ජාතකය - IFBC Organization | Dhamma

තවද හුදු ක්‍ෂාන්තියෙන් මවාලු රුවක් වැනිවු සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි ඤාතිසංග්‍රහයක් අරභයා මේ ජාතකය දක්වන ලදි.

ඒ කෙසේද යත්,

එක්සමයෙක්හි අනේපිඬු මහ සිටාණන්ගේ ගෙයි භික්ෂූන් වහන්සේ පන්සියයක් දෙනා වහන්සේටත් විශාඛාවන්ගේ ගෙයි පන්සියයක් දෙනා වහන්සේටත් නිරන්තරයෙන් දන්දෙන්නාහු කෝසල රජ්ජුරුවෝ එපවත් අසා භික්ෂූන් පන්සියයක් දෙනා පවරා නිරන්තයෙන් දන්දෙන්නාහ. දන්දෙන පමණක් විනා විස්වාස ඇදහිලි ඇතිව නොදෙන්නාහ. භික්ෂූන් වහන්සේත් දන් පිළිගෙණ කුළුපග උපාසක වරුන්ගේ ගේවලින් අනේපිඬු මහ සිටානන්ගේ ගෙට ගොසින් හෝ විශාඛාවන්ගේ ගෙට ගොසින් වළඳා එනසේක. එක්දවසක් කොසොල් රජ්ජුරුවෝ මිහිරි දෙයක් දැක භික්ෂූන් වහන්සේ කෙණෙකුන් නොදැක එපවත් රජ්ජුරුවන්ට කීහ. ඇයි භික්ෂුන් වහන්සේ මාගේ දානශාලා වේදි නොවළඳා වහළුවරුන් වහන්සේ ඔබ්බේදී වළඳන්ට කාරණා කිම්දැයි කියා ජේතවනාරාමයට ගොස් සර්වඥයන් වහන්සේ අතින් විචාරන්නාහු ස්වාමිනි භික්ෂූන් වහන්සේ මාගේ ගෙයි නොවළඳන්ට කාරණා කිම්දැයි කීහ. එවිට සර්වඥයන් වහන්සේ වදාරණසේක් මහරජ විස්වාස නැත්තෙන් නොවළඳන්නේයයි කීහ. එවිට රජ්ජුරුවෝ කියන්නාහු භික්ෂුන් වහන්සේ විස්වාස ඇත්තේ කවුරුන් කෙරෙහිදැයි විචාළාහ. සර්වඥයන් වහන්සේ වදාරණසේක් මහරජ බන්ධූන් කෙරෙහි විස්වාස ඇත්තාහ. ඇදහිලි ඇති උපාසකවරුන් කෙරෙහි විස්වාස ඇත්තාහ. සෝවාන්වු කෙණෙකුන් කෙරෙහි විස්වාස ඇත්තාහයි වදාළසේක.
එබස් අසා කෝසල රජ්ජුරුවෝ කියන්නාහු මම ශාක්‍යවංශයෙහි රාජකුමාරියකු ගෙණායේ වීනම් බුදුන්ට නැවුනුසෙයින් භික්ෂූන් වහන්සේ මා කෙරෙහි විස්වාසවනසේකැයි සිතා ශාක්‍යවංශයෙහි රජදරුවන්ට තමන්ගේ ශාක්‍යවංශය හා විස්වාසවන්ට අභිප්‍රාය ඇත්තෙම් ශාක්‍යරාජකුමාරිකාවක එවුවමැනවැයි පත් ලියා දුතයන් අත යවුහ. ශාක්‍ය රජ දරුවෝ එර් පත් අසා අප ඉඳිාන් කෝසල රජ්ජුරුවන්ගේ සීමාවේය. එසේහෙයින් රාජකුමාරිකාවක පාවා නුදුනමෝය නමුත් දෝෂය, පාවා දුනුමෝ නුමුත් ජාති භින්නවන හෙයින් එයිත් කටයුතු නොවෙයි. කුමක්කරමෝදැයි වික්‍ෂේපව උන්නාහු එවිට මහානාම නම් ශාක්‍ය රජ්ජුරුවෝ කියන්නාහු මුසුප්පුනොව ඊට උපායෙක් ඇත. මාගේ කණිමුණ්ඩ නම් කෙල්ලක් ඇත මටම දා වාසභඛත්තියා නම් දුවක් ඇත්තීය. ඈ මට දා දුවහෙයින් අනික් සැකයෙක් නැත පෑ පාවා දෙමිහයි කථාකොට කෝසල රජ්ජුරුවන්ගෙන් ආ දුතයන්ට කියන්නාහු රජ්ජුරුවන් වහන්සේගෙන් අප හා විස්වසවූව මැනවැයි කියා ආකල රාජ කුමාරිකාවක් පාවා දුනමැනව පාවාදෙන්ට කුමන අමුත්තක්දැයි රාජකුමාරිකාවක් ගෙණවයි කිහ.

එවිට දුතයෝ සිතන්නාහු ශාක්‍යයෝ නම් මහා මායම් දන්නාහ. කෙල්ලකගේ දුවක් පාවාදුන්නු නුමුත් කාරණා නොවෙයි සිතා කියන්නාහු අපට පාවාදෙන්නාහු රාජ කුමාරිකාවන් හා අප දැක්කදී කැව මැනව එසේ වී නම් පාවාගෙණ යම්හයි කීහ. රජ්ජුරුවෝ එබසට සැකව උන්නාහ. එවිටත් මහානාම රජ්ජුරුවෝ තොපි ඇම සැක නොකරව මම ඊට උපායක් දනිමි මා බත්කන්ට සරසා උන්විට වාසභඛත්තියාවන් මාගේ දුවනියන් ගෙණෙවයි කියමි ඒ වෙලාවට සවර්ණාභරණයෙන් සරහා බත්කන්ට උන් වෙලාවටත් බත් පිඩක් අනා පළමුකොට අනුභව කොට තොපි බත්කවයි කියමි. එවිට ප්‍රත්‍යන්ත රටකින් ගෙණා පතක මේ පත බලා බදාළමැනවැයි ස්වාමිනි කියා ඒ පත මා අතට දී ලව මම ඒ පත බල බලා ඉදිමි එතකොට මූ බත්කා පියති එකල දුතයන්ට සැකනැතැයි කියා සනිටුහන්කොට දුතයන්ට කියන්නාහු මාගේ දරුවන් හා කැටිව කන්නට කුමන අමුත්තෙක්ද යහපත වෙල්ල සරහවයි කියා වේල්ල සරහවා බත් කන්නට ඉඳ මාගේ දුවනියන් වාසභඛත්තියාවන් ගෙණෙවයි කීහ. ඒ වෙලෙහි සර්වාභරණයෙන් සරහා වේල්ල ලඟ සිටවුහ. මහානාම රජ්ජුරුවෝත් දියනියෙනි බත්කන්ට ඉඳූවයි කියා බත්කන්ට උන්කල තුමු පළමුකොට බත්පිටක් කටතුබූහ. ඒ වෙලෙහි පළමුකී පරිද්දෙන් ප්‍රත්‍යන්ත ජනපදයෙන් ගෙණා පතෙක මේ පත බලාවදාළ මැනැවයි කියා මහානාම රජ්ජුරුවන් අතට දුන්හ.රජ්ජුරුවෝත් ඒ පත බල බලා අම්ම නුඹ බත්කන්නෙහි කිය කියා උන්හ. කුමාරිකාවන් පියානන් පළමු කොට බත්කෑහෙයින් තුමු බත්කා නිමවුහ. මහානාම රජ්ජුරුවෝත් බත් කා නිමවන තුරු පත බල බලා උන්නාහ. දුතයෝත් මහානාම රජ්ජුරුවන් අතත් කටත් බත් ගැවී තිබෙන හෙයින් බත් කෑවිට නැගිසිට හෙයිනුත් දැනගත නුහුනුවාහ, කැටුවම බත් කැවුය. රාජකුමාරිකාව නියාවට අමුතු නැතැයි සැකනැතිවුහ.
මහානාම රජ්ජුරුවෝත් දුවනියන්ට දුනමනා බොහෝ දෑසිදස් පරිවාරද රන්රුවන් ආදී වස්ත්‍රාභරණද යන සියල්ලම දී මාගේ දුවු වාසභඛත්තියාවන් ගෙණවයි පාවාදුන්හ. අමාත්‍යයෝද රාජ කුමාරිකාවගෙණ ඉතාම උභයකුලපරිශුද්ධවූහයි කියා රජගෙට ගොස් රජ්ජුරුවන්ට පාවාදුන්හ. රජ්ජුරුවෝත් ඒ කුමාරිකාවන් රුවත් රැසක් මත්තෙහි සිටුවා අභිෂේකජලය වත් කොට අගමෙහෙසුන් තනතුරෙහි තුබූහ. බිසවුන් රජ්ජුරුවන්ට ප්‍රියව වාසය කරන්නාහ. නොබොකලකින් පුතනුකෙණෙකුන් වැදුහ. ඒ වෙලෙහි කෝසල රජ්ජුරුවෝ අමාත්‍යයකු කැඳවා කියන්නාහු මේ කුමාරයන්ගේ මුතුන්වූ මහානාම රජ්ජුරුවන්ගේ කිඹුල්වත්නුවරට ගොසින් උන් වහන්සේගේ පුතනුකෙනෙකුන් වැදුසේක. උන් වහන්සේට නුඹ වහන්සේගේ රාජ වංශයෙහි තිබිය යුතු නමෙක්වේද එවමැනවැයි විචාරා එවුසේකැයි කීහ. එවිට බිසව් කියන්නාවු වාසභඛත්තියායෝ රජ්ජුරුවන් වහන්සේට ආදිම ප්‍රිය වල්ලභයහ. දැන් දිවුනක් වල්ලභ වන්නීය ඉතා යහපතැයි කිහ. එවිට අමාත්‍යයෝ බිසවුන් වල්ලභවන්නීයයි කී බස් විඩුඪභයයි කීවාසේ අසා සැවැත්නුවරට ගොස් කෝසල රජ්ජුරුවන්ට කියන්නේ ස්වාමිනි බිසවුන් වහන්සේ විඩුඪභ කුමාරයෝයයි නම් තබන්ට කිසේකැයි කීහ. එවිට කෝසල රජ්ජුරුවෝ ඒ වංශයෙහි තිබී ආ නමෙකැයි සිතා විඩුඪභ කුමාරයෝයයි නම් තුබූහ. ඒ කුමාරයෝත් රජපෙරහරින් වැඩෙන්නාහ. තෙසු බිසෝවරුන්ගේ රාජකුමාරවරු ඇත්තාහ. උන්ට උන්ගේ මුතුන් මිත්තන්ගේ රාජ්ජයෙන් කෙළිනා ඇත් අස් රුව ආදීවු කෙළින්ට නිසිදෑ එවන්නාහ. රාජකුමාරවරු ඒ ඇරගෙණ කෙළිනාහ.

විඩුඪය කුමාරයෝ මෑනියන්ට කියන්නාහු මැනියන් වහන්ස නුඹ වහන්සේගේ මෑනියන් පියානන් නැද්ද මට පඬුරක් නේවන්ට කාරණා නිම්දැයි කීහ. බිසව් කියන්නාහු පුත තොපගේ මුතුන් මිත්තෝනම් ශාක්‍යවංශයේ රජදරුවෝය උන් වහන්සේලාගේ නුවර මෙතනට ප්‍රත්‍යන්තව තිබෙයි එසේ හෙයින් දසවිට මිනිසුන් එවන්ට දුරුහෙයින් නේවන්නේයයි කීහ. ඒ අසා විඩුඪභ කුමාරයෝ කියන්නාහු එසේ විනම් මෑනියන් වහන්ස මම මාගේ මුතුන් මිත්තන් දකින්ට යෙමි කීහ. ඊට බිසව් කියන්නාහු දැන් ගොසින් කවර ප්‍රයෝජනද පසුව යවයි ඒ කුමාරයෝත් තත්පරව යෙමි කීහ. බිසව් යහපත යවයි කියා ශාක්‍ය රජ්ජුරුවන්ට පත් ලියා පළමුකොට මිනිසෙකු අත යයන්නාහු ස්වාමිනි මම ආදවස් කිසි අවසරයක් නොපෑ සැපසේ වාසය කෙළෙමි. මේ කුමාරයෝ නුඹ වහන්සේලා දකිණා පිණිස ඔබ සැපසේ වාසය කෙළෙමි මේ කුමාරයෝ නුඹ වහන්සේලා දකිණා පිණිස ඔබ එන්නාහ. මාගෙන් කිසි තොරතුරකුත් උන්ට නොනැගුව මැනවැයි පත් යැවුහ. ශාක්‍ය රජ දරුවෝත් වැඩිමාළු රජ්ජුරුවොන් විනා බාල කුමාරවරුන් මෙතන රැඳුනු කල උන්ට ආදර සම්භාවනා කළමැනවයි ඒ නියාවට වැඩිමාළු රජදරුවන් විනා බාල කුමාරවරුන් එකහිම පිටිසර ගම්වලට යවා රජදරුවෝ අධිකරණ ශාලාවෙහි රඑක්ව උන්නාහ, විඩුඪභ කුමාරයෝත් පියානන්ගෙන් අවසර ඉල්වා ගෙණ බොහෝ සේනාවාහනයෙන් කිඹුල්වත් නුවරට ගොස් රජදරුවන් උන්නාවු ශාලාවට වන්හ. රජ දරුවෝත් විඩුඪභ කුමාරයන් දැක මුන් වහන්සේ තොපගේ මුත්තනුවන් වහන්සේයයි පෑවාහ.
විඩුඪභ කුමාරයෝත් වසට කැඩෙනතුරු වැඳ එකත්පස්ව සිට තමන්ට ආදර සම්භාවනාකරණ කෙණෙකුන් නොදැක කියන්නාහු ඇයි ස්වාමිනි නුඹ වහන්සේගේ බාල කුමාරවරු නැද්දැයි විචාළාහ. එවෙලෙහි මහානාම රජ්ජුරුවෝ කියන්නාහු කුමාරයෙනි බාල කුමාරවරු ඈත තොප එන්නාට පළමුවෙන් පිටිසර පළාගියෝයයි කියා අස්වලා උන්කැටිව ආවාවු පිරිසට හා පරිවාර ජනයාට බත්වියදම් ආදීවු දෙයද රාජකුමාරයන්ට දුනමනා පඬුරු පාක්කුඩම් යන සියල්ලම අඩුවක් නැතිව දෙවා රාජ කුමාරයන් යවුහ. රාජ කුමාරයෝත් කිසිසැකයක් නොසිත රජ්ජුරුවන් කරා ගියාහ. උන් හා කැටිව ආ සේවායෙක් ඒ ශාලාවේ අයුධයක් තබා ගියේය. ආයුධය ගෙණයන්නට ඌ එන වෙලාවට එක්කෙල්ලක් විඩුඪභ කුමාරයන් උන් පෝරුව කිරිපැණින් සඳූන් පැණින් සෝදන්නීය. අප හා සරි කෙල්ලකගේ පුතා උන් පෝරුව අපි සෝදම්හයි කිය කියා පෝරුව සෝදන්නීය. ඒ සේවකයා ඈ කියන්නාවු බස් අසා තී කියන්නේ කිම්දැයි විචාරා තොරතුරු මුළුල්ලම ඈ අතින් විචාරාගෙණ මෙපවත් සැවැත්නුවර මුළුල්ලේම ප්‍රකාශ කළේය. එපවත් කෝසල රජ්ජුරුවෝ අසා බිසවුන්ට තිබූ තරමුත් ඇරගෙණ කුමාරයන් ටත් පරිවාර තරමට පඩිවියදම් තිබූහ.

කෝසල රජ්ජුරුවෝ එක් දවසක් ජේතවනාරාමයට ගොස් සර්වඥයන් වහන්සේ වැඳ එකත්පස්ව ඉඳ කියන්නාහු ස්වාමිනි ශාක්‍ය රජදරුවන් ලඟට රාජ කුමාරිකාවක් ඉල්වා යවා අපට තමන්ගේ කෙල්ලකගේ දුවක් එවුයයි කියා විඩුඪභ කුමාරයන් මෑනියනුත් සිටි තරමින් පිරිහෙලා පරිවාර තරමට පඩි තරමුත් තිබු නියාව කීහ. ඒ වෙලෙහි සර්වඥයන් වහන්ස් වදාරණ සේක් මහරජ ශාක්‍ය රජ්ජුරුවන් කෙළෙත් කටයුතු නොවෙයි, එසේදවුවත් මහරජ පෙර රජදරුවෝ මණ්ඩශාල නම් කෙල්ලක සිටි තරමින් පිරිහෙලා නැවත අගමෙහෙසුන් තනතුරු දුන්නෝ වේදැයි වදාරා ඒ කෙසේදැයි ආරාධිතවූ සර්වඥයන් වහන්සේ මණ්ඩශාල ජාතකය ගෙණහැර දක්වා වදාර මහරජ මේ වාසභඛත්තියාවන්ගේ මෑනියන් කෙල්ල පමණක් විනා මුන් තමුන් දා මහනාම රජ්ජුරුවන්මය, විඩුඪභ කුමාරයන් උපන්නේ තොපටය. එසේහෙයින් මවුපක්‍ෂය විනා පියපක්ෂය රාජවංශය, එසේ හෙයින් අඩුවක් නැතැයි රජ්ජුරුවන්ට කියා වාසභඛත්තියාවනුත් විඩුඪභ කුමාරයනුත් දෙන්නාම පළමු සිටි ස්ථානාන්තරයෙහි පිහිටුවා වදාළසේක. විඩුඪභ කුමාරයෝ සිතන්නාහු හා උන් පෝරුව මමත් සෝදවමි සිතා ශාක්‍ය රජදරුවන් කෙරෙහි වෛර බැන්දාහ. ඒ කෝසල රජ්ජුරුවන්ගේ බන්ධුල සේනාධිපතියයි යන සෙනවිරත් කෙණෙකුන් ඇත්තාහ.. උන්ගේ බන්ධුලමල්ලිකා දේවියයි යන ඹිරින්දක් ඇත්තාහ. උන් වඳ හෙයින් බන්ධුල සේනාධිපති තෙම වඳ තැනැත්තන් මාගේ ගෙයි ඉඳිනට කාරණා කිම්දැයි තොපි තොපගේ දෙමව්පියන්ගේ ගමට යවයි කිය. බන්ධුල මල්ලිකාවොත් යහපතැයි කියා දෙමව්පියන්ගේ ගමට යන්නාහු සර්වඥයන් වහන්සේ දැක වැඳ පුදා අවසර ඉල්වා ගෙණ යෙමියි ජේතවනාරාමයට ගොස් සර්වඥයන් වහන්සේ වැඳ එකත්පස්ව සිටියාහ. සර්වඥයන් වහන්සේ ඇයි මල්ලිකා දේවිනි කොයි යව්දැයි විචාළසේක.

මල්ලිකාදේවි කියන්නාහු ස්වාමිනි බන්ධුලසේනාධිපති මිඩියට දරුවන් නැතැයි කියා මිඩියාගේ දෙමව්පියන්ගේ ගමට යන්ට කිවුය. මිඩිය ගමට යන තැනැත්තී ස්වාමින් දැක වැදපුදා අවසර ඉල්වාගෙණ යන පිණිස ආමි කීහ. සර්වඥයන් වහන්සේ වදාරණ සේක් මල්ලිකාදේවිනි දරුවන් නිසාවිනම් ගමට නොගොස් තොපගේ ගෙට ආපස්සේ යවයි වදාළසේක. මල්ලිකාදේවිත් යහපතැයි තමන්ගේ ගෙට ගියහ. බන්ධුල සේනාධිපති තොප ආයේ ඇයිදැයි විචාරා සර්වඥයන් වහන්සේ දරුවන් නිසා විනම් ගමට නොගොස් ගෙට යවයි කි හෙයින් ආමි කීහ. බන්ධුල සේනාධිපති සර්වඥයන් වහන්සේ විසින් කාරණයක් දක්නාලද්දේයයි කියේය. බන්ධුල මල්ලිකාවෝ නොබෝ කලකින් දරුගැබ ලැබ උපන් දොළ ඇතිව මට දොළෙක් ඇත්තේයයි දැන්වුවාහ. බන්ධුලයෝ කවර දොළොක්දැයි කී කල්හි ස්වාමිනි විශාලා නුවරහි ගණ බන්ධනයෙන් රජකම් කරණ රජකුලයන්ගේ ස්නානය කරණ මගුල් පොකුණට බැස ස්නානය කොට බොන පැන් පානය කරණ කැමැත්තෙමි කීවාය. බන්ධුල සේනාධිපති මේ මට බැරි දෙයක්දැයි දහසක් නගණ දුන්න ඇරගෙණ රථයට පැනනැගී මල්ලිකා දේවිනුත් රථයට නංවා විශාලා නුවරට ගොස් ලිච්ඡවි රජ්ජුරුවන්ගේ වාසල්හි පඩියේ රථය ගසා නුවරට වන්හ. මලල සේනාධිපතින් හා කෝසල රජ්ජුරුවන් හා එක්ව ශිල්ප උගන්නාවු ඇස් අන්ධව ඉදිනා මහාළි නම් ලිච්ඡවි රජ්ජුරුකෙණෙකුන් ඇත්තාහ.
ඒ රජ්ජුරුවෝ නුවර වාසලක ඉදිනාහ. රථය අඬ අසා බන්ධුලසේනාධිපති මේ නුවරට අවුය ලිච්ඡවි රජ්ජුරුවන්ට බොහෝ අනර්ථ වන්නේයයි සිතුහ. බන්ධුල සේනාධිපතින් නුවරට වැද උයනට ගොස් කඩුපත වෙවුල්වා උයන රැකවල් සිටවුන් භයගන්වා ගිය ගිය අත පළවා ලෝදැල් හීරැස්ස රැසක් පොළුගසන්නාසේ සිඳහෙලා පොකුණට බැස මල්ලිකාදේවින් ඉස්සෝධා නහවා පැන්පොවා රථයට නංවා රථය පැදගෙණ නුවරින් පිටත්ව නික්මුණාහ.උයන රැකවල සිටියෝ රපවත් ලිච්ඡවි රජ්ජුරුවන්ට කීහ. ලිච්ඡවි රජ්ජුරුවෝ කිපී සන්නාහ සන්නද්ධව රථ පන්සියයක්ට පැන නැගී බන්ධුලසේනාධිපතින් ලුහුබඳවා අල්වම්හයි නික්මුණාහ. මහලී නම් රජ්ජුරුවෝ එපවත් අසා රාජකුමාරවරුනි බන්ධුලසේනාධිපතින් තොප හැම විසින් අල්වාගත හැකිකෙණෙක් නොවෙයි පස්සේ නොයවයි කීහ. රාජ කුමාරවරුන් තනි බන්ධුලසේනාධිපතියා අපට කුමක් කොට ගතභේද අප පන්සියයක් නොවේදැයි කියා රාජමානයෙන් බන්ධුලයා නැගී සුරුබුහුටි කමිනුත් පස්සේ නික්මුණාහ. එවිට මහාලිනම් ලිච්ඡවි රජ්ජුරුවෝ කියන්නාහු තොපි හැම නොනැවති යනපසු බන්ධුලයා නැගී රථය පොළොව ගිලියේ පෙණෙයි. ඒ දැක නොයවයි කීහ. නොනැවත යනපසු ඉදින් ඔබ්බට ගියානම් අකුණක් ගැසු අඬසේ ඇසෙයි එවිට නොයවයි ඉන් ඔබ්ට ගියානම් රථහිස්වල සිදුරු දුටුවිට රඳයවයි කී. රාජ කුමාරවරුන් අස අසාම නොනැවත නික්මුණාහ. මල්ලිකාදේවි පස්සේ එන්නාවු රථ දැක ස්වාමිනි රථ පන්සියයක් පස්සේ එති කීහ.

එවිට බන්ධුල සේනාධිපතීන් බිරින්ද අතට අසුගේ රෑන දී දාසක් නගාලන දුන්නට දන එබූහ. එවිට රථය රථ නාභිය අතට අසුගේ රෑන දාසක් නගාලන දුන්නට දන එබුහ. එවිට රථය රථ නාභිය දක්වා පොළොව ගිලිනා ඒ දැකත් නොරඳා යන්නාහ. එවිට දුන්නගෙණ අත දුනුදිය පොළාපුහ. එද අකුණක් ගැසූ අඬයේ ඇසින. ඒ අසාත් නොරඳා යන්නාහ. ඒ වෙලෙහි හීයක් අතටගෙණ ඇද මැඩ විද්දාහ. ඒ රථහිස් පන්සියයක් රජදරුවන් පන්සියයද විදගෙණ පොළොව ගිලින. ඒ දැකත් නොරදා යන්නාහ. ඒ රථහිස්වල සිදුරු දැකත් නොරඳා යන්නාහ. ඒ වෙලෙහි බන්ධුලසේනාධිපති කියන්නාහු තොපි ඇමදෙනම මලවුන් මා පස්සේ එන්නේ ඇයිදැයි කීහ. එවිට රාජකුමාරවරු කියන්නාහු මලවුන් මෙසේ සිටිනෝදැයි කීහ. එවිට බන්ධුල සේනාධිපති කියන්නාහු තොපි ඇම දෙනාට පස්සේ රථයේ එන රජ්ජුරුවන් සන්නාහය මුදා උනාපියවයි කීහ. එවිට යහපතැයි උනාපුහ. ඒ රජ්ජුරුවෝ සන්නාහය ඉනුවහා සමඟ වැටී හුන්හ. බන්ධුල සේනාධිපති කියන්නාහු තෙපි ඇමදෙනම තෙලසේම නුවරට ගොසින් අඹු දරුවන්ට කාරිය කටයුතු කියා තමාගේ යාන්පිට ඉඳ සන්නාහය උනාපුව මැනවැයි කීහ. උනාපුවිටම රජදරුවෝ පන්සියයම මළහ. බන්ධුල සේනාධිපති සැවැත්නුවරටම ගියාම. මල්ලිකාදේවි සොළොස්වාරයෙක දෙන්න දෙන්නා නියායෙන් දෙතිස් දෙනෙකු වැදූහ. ඒ පුත්තු දෙතිස්දෙනම ලයෙන්ද රුවින්ද උසමහතියෙන්ද පියානන් හා සම බල ඇත්තාහ. බන්ධුල සේනාධිපති දරුවන් දෙතිස්දෙනාට දාස සාද නියායෙන් සේවායන් ආණ්ඩු කර දුන්නාහ. බන්ධුල සේනාධිපතින් හා පුත්තු දෙතිස්දෙනා හා සේනාව රාජසේවයට ගිය කල රාජාංගනය උන්ට අවසර වන්නේය.

මේ නියායෙන් දවස් අරණා කල්හි එක් දවසක් බන්ධුලසේනාධිපතින් රාජසේවය එන කල්හි ඒ වෙලාවට එක් මිනිසෙක් තමා හිමි වස්තුවක් අහිමිකොට අත්ලස් කා අධිකරණ නායකයන් කළ අන්‍යායයි ඉස තබා ගෙණ මොරගා බන්ධුල සේනාධිපතින්ගේ පාපිට අඬාහින, බන්ධුල සේනාධිපතින් යහපත විත්ති පසිඳූවාලමි කියා ආපස්සේ අවුත් අධිකරණ ශාලාවේ හිඳ යුක්තිය විචාර හිමි තැනැත්තවුටම හිමි කළාහ. එතන සිටියාවු බොහෝ දෙනාම යුක්තිය පසුනනියාව ඉතා යහපතැයි සාධුකරා දුන්නාහ. කෝසල රජ්ජුරුවෝ මේ අරගලයත් විචාරා මෙපවත් අසා අද පටන් තෙපි අධිකරණ විචාරවයි බන්ධුල සේනාධිපතින්ට සැලැස්වුහ. එතැන් පටන් බන්ධුල සේනාධිපතිම යුක්ති විචාරන්නාහ. පළමු අධිකරණ විචාළ අමාත්‍යයෝ තමන් ලවන අත්සල් නැතිහෙයින් බන්ධුල සේනාධිපතින් කෙරෙහි වෛර බැඳ රජ්ජුරුවන්ට කියන්නාහු බන්ධුලසේනාධිපතිහු නුඹ වහන්සේගේ රාජ්‍යය ප්‍රාර්ථනාකරන්නාහයි නිරන්තරයෙන් කියා බන්දුල සේනාධිපතින් කෙරෙහි රජ්ජුරුවන් බිඳවාපුහ. රජ්ජුරුවෝත් බන්ධුල සේනාධිපතියා නික්ම අල්වා මරාගත හැකි එකෙක් නොවෙයි උපායකින් මරන්ට උවමැනවැයි කියා තමන්ගේ යොධයන් කැඳවා කියන්නාහු තෙපි ඇම පිටිනුවරට ගොස් සොරුන් ගම් පහරණුවා බඳූකොට ගම්පැහැර සැඟවි ඉඳූව. මම බන්ධුල සේනාධිපතින් හා දරුදෙතිසත් ඔහුගේ පිරිවරත් එවාලමි තෙපි ඇම සැඟවි ඉඳ උන් අල්වා මරාපියවයි කීහ. යෝධයෝත් යහපතැයි ගිවිස ගොසින් පිටිසර ගමක් පැහැරපුහ. එපවත් රජ්ජුරුවන්ට කීහ. රජ්ජුරුවෝත් බන්ධුල සේනාධිපතීන් කැඳවා කියන්නාහු පිටිසර ගමක් සොරුන් පැහැරපුවා ඇසූම්හ. එබැවින් තොපිත් තොපගේ දරුවෝත් පිරිසත් ගොසින් එරට සොරුන් ගෙන් උපන් භය සන්හිඳූවා එවයි කියා යවුහ. බන්ධුල සේනාධිපතින් යහපතැයි ගිවිස දරුවන් දෙතිසත් කැඳවාගෙණ පසල්ගමට ගියාහ. සොරුන් බන්ධුල සේනාධිපතීන් එති කියා අසා වල් නැංගාහ. බන්ධුල සේනාධිපතී එගම මිනිසුන් සෙමෙහි තබා සැවැත්නුවරට නික්මුණාහ. ඒ යෝධයෝත් වලින් එලි බැස බන්ධුල සේනාධිපතින් දරුවන් දෙතිස්දෙනත් අල්වා මැරූහයි නියාව කියා මල්ලිකා දේවින්ට අස්නක් යවුහ. මල්ලිකාදේවි ඒ වෙලාවට සැරියුත් මුගලන් දෙදෙනා වහන්සේ ඇතුළුවූ පන්සියයක් දෙනාවහන්සේ ගෙයි වඩා හිඳූවා දන් දෙන්නාහ. එක් කෙල්ලක් එළඟිතෙල් කළයක් ගෙන යන තැනැත්තී බිඳපුහ. සැරියුත් ස්වාමි මල්ලිකා දේවිනි නස්නා සුළුදෙය නස්සේනය. තොපි ඊට කනස්සළු නොවවයි වදාළසේක. ඒ වෙලෙහි මල්ලිකා දේවි ස්වාමිනි මාගේ මේ තෙල් කළයට මුසුප්පු වන්නේද මේ මාගේ ස්වාමි පුත්‍රයානන් හා දරුවන් දෙතිස් දෙනාද මරාපු නියාවට ගෙණා පත නොවේදැයි ඉන තබාගත් පත පෑවීමට පවා මුසුප්පුනුවු මම තෙල් කළයට මුසුප්පු වෙම්දැයි කීහ.

සැරියුත් ස්වාමි සමාධිව උන්ට බණ වදාරා ජේතවනාරාමයට වැඩිසේක. මල්ලිකාදේවින් තමන් යෙහෙලියන් දෙතිස්දෙනා කැඳවා කියන්නාහු එම්බා තොප තොපගේ ස්වාමිපුත්‍රයෝ දෙතිස්දෙනාම රජ්ජුරුවෝ නිස්කාරණයේ නසාපුසේක, තෙපි ඇම මැරපූ රජ්ජුරුවන් කෙරෙහිද විස්කම් කියා බිඳූවුවන් කෙරෙහිද කනස්සල්ලක් නොව, ගිය ජාතියෙහි තම තමා කළ අකුසල් විපාක දින, කිසි වරදනොව මෙබන්දක් වුයේයයි සිතා ඉදින පමණක්විනා කිසිකෙණෙකුන් කෙරේ කණස්සල්ලක් නොව මෛත්‍රි කරවයි අවවාද කීහ. එපවත් නුවරවාසී අසා නිරපරාධ බන්ධුලසේනාධිපති නුඹ වහන්සේ විසින් නිෂ්කාරණයේ මරවා දමන ලදැයි කීහ. රජ්ජුරුවෝත් සැබැව නිරපරාධ බන්ධුලසේනාධිපතීන් හා දරුවන් දෙතිස්දෙනාත් මැරූයේ ඉතාම අයුක්තියයි භයින් බන්ධුල මල්ලිකා දේවින් ඉන්නා ගෙට ආහ. මල්ලිකාදේවින් යෙහෙලියන් දෙතිස් දෙනාත් කැඳවාගෙණ රජ්ජුරුවන් වැඳ සිටියාහ, කෝසල රජ්ජුරුවෝත් කියන්නාහු මල්ලිකා දේවිනි තොපගේ ස්වාමිපුත්‍රවු බන්ධුලසේනාධිපතීන් දරුවන් දෙතිස්දෙනාත් මා විසින් නිස්කාරණයේ මරවණලද තොපි කැමති වරයක් ගණුවයි කීහ. මල්ලිකා දේවි යහපතැයි ස්වාමිනි පසුව දන්වන්නෙමි වේද වැඩ වදාන්නේ යහපතැයි රජ්ජුරුවන් රජගෙට යවා තුමු පසුව දවස් රජගෙට ගොස් ස්වාමිනි අපට කැමති වරයක් ගණුවයි වදාළසේක්වේද අප අපගේ ගම්වලට යන්ට අවසර දෙවා වදාරණසේ මැනවැයි කීහ. රජ්ජුරුවෝත් යහපතැයි අවසර දුන්නාහ. මල්ලිකාදේවිත් යෙහෙලියන් දෙතිස්දෙනාත් උන් උන්ගේ දෙමව්පියන්ගේ ගම්වලට යවා තමුන් තමන්ගේ දෙමව්පියන්ගේ ගමටම ගියාහ,

ඉක්බිති කෝසල රජ්ජුරුවෝ එකියන බන්ධුලසේනාධිපතීන්ට බෑනාවු දීඝීතායි නම් කෙනෙක් ඇති, උන්ට සෙනෙවිරත් ධුරය දුන්නාහ. ඒ දිඝීතී නම් සෙනෙවිත් තමාගේ මයිලනුවන් නිස්නාරණයේ මැරූසේකැයි රජ්ජුරුවන් කෙරෙහි වෛර බැන්දාහ. එසමයෙහි සර්වඥයන් වහන්සේ වෙළුවනාරාමයෙහි වැඩ වසනසේක. ඒ විහාරය වනාහී ධර්මචේතිය ජාතකයෙහි විස්තර වශයෙන් පෙනෙන්නේය. කෝසල රජ්ජුරුවෝත් සර්වඥයන් වහන්සේ වැඩ හිඳිනා විහාරයට බණ අසන්ට ගියහ. සෙනෙවිරද්දු රජ්ජුරුවන් බණ අස අසා ඉන්දදී සේනාවත් ඇරගෙණ සැවැත්නුවරට ගොස් පඤචකකුධ භාණ්ඩය වඩුඪභ කුමාරයන් අතට දී වාසල් අගුල්ලාගෙණ උන්හ. කෝසල රජ්ජුරුවෝ පිටිපස්ස බැළුවාහු බිසවුන් හා බුලත් කවන තැනැත්තවු විනා කිසි කෙණෙකුන් නොදැක සෙනෙවිරදුන් දුන් නිසාවු දෙයෙකැයි සිතා ඉතකින් මා නුවරට ගොස් කරන්නේ කිම්දැයි මාගේ බෑනන්වු රජ්ජුරුවන් හිඳිනා නුවරට ගොස් සේනාව ඇරගෙණ සටනට යෙමි බෑනනුවන්හි ඳිනා නුවරට යන්ටයයි නික්මුණාහ.
රජ්ජුරුවෝ පිටිපස්ස බැළුවාහු බිසවුන් හා බුලත් කවන තැනැත්තවු විනා කිසිකෙණෙකුන් නොදැක සෙනවිරදුන් නිසාවු දෙයකැයි සිතා ඉතකින් මා නුවරට ගොස් කරන්නේ කිම්දැයි මාගේ බෑනන්වු රජ්ජුරුවන් හිඳිනා නුවරට ගොස් සේනාව ඇරගෙණ සටනට යෙමි බෑනනුවන්හිඳිනා නුවරට යන්ටයයි නික්මුණාහ. රජ්ජුරුවෝ මඟ යමින් සිටියදී රෑව ගියහෙයින් අතරමග ශාලාවක රඳා බුලත් කවන්නහු පළමුකොට යවුහ. රජ්ජුරුවන් ථුලක හෙයිනුත් දුරුමග ගෙවා පයින් ආහෙයිනුත් වටින් සුලං ගසනහෙයිනුත් ඒ ශාලාවෙහි වැදහෙව අලුයම් වෙලාවට ප්‍රාණය නිරුද්ධ විය, බැණා රජ්ජුරුවොත් එතනට ආවාහ. බිසව් රජ්ජුරුවන් පාපිට අඬ අඬා හුන්හ. රජ්ජුරුවෝත් කෝසල රජ්ජුරුවන් ඒ ශාලාවෙහිම ආදාහණ කරවා මුන් වහන්සේ නටපුසු සටනට යන්නෝකාටදැයි තමන්ගේ නුවරට ගියාහ. වඩුඪභ කුමාරයෝත් රාජ්‍යයට පැමිණ ශාක්‍ය රජදරුවන් කෙරේ ඇති කනස්සල්ල සඳහන් කොට කිඹුල්වත්පුයරට ගොසින් මා උන් පොරුව සඳූන් කිරීපැණෙන් සේදු ශාක්‍යයන්ගේ ගෙල ලෙහෙයෙන් ඒ පොරුව සේදුව මැනවැයි කියා සටනට යන්ට සේනාව සරහා නික්මුණාහ.

ඒ වෙලෙහි සර්වඥයන් වහන්සේ එදවස් අළුයම් වෙලෙහි ලොව බලා වදාරණසේක් තමන් වහන්සේගේ ඤාති සමුහයා විනාසයට පැමිණෙන බව දැක වදාරා නැයන්ට සංග්‍රහ කෙරෙමි සිතා එදවස් පුර්වභාගයෙහි පිඬු පිණිස හැසිර විහාරයට වැඩ වළඳා ඉක්බිති ගඳකිළියට වැඩ සිංහ ස්‍යොවෙන් සැතීපි මදක්කල් යවා සවස්වෙලෙහි අහසින් වැඩ කිඹුල්වත් නුවර සමීපයෙහි එක් ඡායාවක් නැත්තාවු වෘක්‍ෂයෙක් මුල වැඩ උන්සේක, එතනට නුදුරු තැන්හි විඩුඪභ රජ්ජුරුවන්ගේ සිමායෙහි යහපත් ඡායාව ඇති මහානිග්‍රොධ වෘක්‍ෂයෙකුදු ඇත්තේය. විඩුඪභ කුමාරයෝත් සර්වඥයන් වහන්ස් දැක ඇයි ස්වාමිනි මේ ඡායාසම්පන්න නුග ගසක් තිබෙද්දී මෙවිට ඡායාවේ ඉදල්ගසමුල වැඩ ඉඳිනේ ඇයිදැයි විචාළාහ. සර්වඥයන් වහන්සේ වදාරණසේක් මහරජ කිඹුල්වතින් හමන්නාවු පවන ඉතා මිහිරියයි වදාළසේක. රජ්ජුරුවෝත් සර්වඥයන් වහන්සේ බන්ධුන් කෙරෙහි කරුණාවෙන් වැඩ හිඳිනා සේකැයි ආපස්සේ නුවරටම ගියාහ. මේ නියායෙන් තුන් වාරයක් අවුත් තුන්වාරයෙක බුදුන් දැක පළා ගියේය. සතරවෙනි වාරයේත් ගමන් සැරහුහ. සර්වඥයන් වහන්සේත් මුන් නොනවත්නා කාරණය කවරේ දොහෝයි පරීක්ෂාකොට පළමු එක් ජාතියෙක සාක්‍යයන් එක්ව වලකට වසගැසුවා දැක බෑණ නොනැගී වැඩ උන්සේක. විඩුඪභ රජ්ජුරුවෝත් කිඹුල්වත් නුවරට ගොසින් ශාක්‍ය රජ්ජුරුවන් එක්හි මරා යටත් පිරිසෙයින් කිරිබොන දරුවන් දක්වාත් මැරූයේය. ධර්මශාලාවේ රැස්වු භික්ෂූන් වහන්සේ සර්වඥයන් වහන්සේ බන්ධුන්කෙරෙහි ඇති කරුණාවක බලවත් නියායයි කිය කියා උන්තෙනට සර්වඥයන් වහන්සේ වැඩ වදාරා මා එන්නාට පූර්ව භාගයෙහි කිනම් කථාවකින් යුක්තව උන්දැයි විචාරා වදාරා එපවත් අසා මහණෙනි දැන් මතු නොවෙයි පෙරත් බන්ධුන් දුකින් ගලවා ගත්තෙමියි වදාරා ඒ කෙසේදැයි ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාල සේක.

යටගිය දවස බරනැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්‍යය කරණ සමයෙහි ඒ රජ්ජුරුවෝ තමන් ගේ වඩුවන් කැඳවා කියන්නාහු තෙසු රජදරුවෝ බොහෝ කප් හිඳූවා මාලිගා නංවා ඉඳිනාහුය. මට එසේ නපුර එක් කපක් හිඳූවා එකසතමහ මාලිගාවක් ඉදිකරන්ට උවමැනවැයි කීහ වඩුවොත් යහපතැයි ඊට නිසි දඬු බලා ඇවිදිනාහු කඳූ මුදුනක ගස් කීපයක් දැක කපා ඒ ලී බාගත නොහැකි හෙයින් එපවත් රජ්ජුරුවන්ට කීහ. රජ්ජුරුවෝත් උත්සහකොට ඒ ලි බාවයි කීහ. ස්වාමින් බැරියයි කිහ. එසේකල ඔබ්බෙක නිසි දඬුපත් ඇත්තෝ කොයිදැයි විචාළාහ. ස්වාමිනි මගුල් උයනේ මගුල් සල්ගස් නිසියයි කීහ. එසේවිනම් අනික් සල් ගසක් සලස්වා ගණුම්හයි පාන්ලා සඳූන් සුවඳ මල් පැණින් පුජාකොට ගසයට මල් වළු එල්වා මන්ත්‍ර කියා කියන්නාහු මේ ගස වසන්නාවු දේවතාවානෙනි රජ්ජුරුවන්ට එකසත්මහා මාලිගාවක් කරවන සඳහා මේ ගස කපම්හ. ඔබ්බකට පළාගිය මැනවැයි කියා ගියාහ. ඒ ගස වසන දේවතාවාත් මේ ගස නැත්නම් මාගේ ජිවිතය ගිය සරියයි අඬ අඬා සිට මා කුමක් කියම් මේ මාගේ ගස ආශ්‍රය උන්නාවු බොහෝ දේවතාවෝත් ඇත. උන්ට බොහෝ අද්දුවන් සැලසෙයි කියා රජ්ජුරුවන් වහන්සේට කියා මාගේ නෑයන්ට වන්නාවු අලාභත් වලකා මාගේ ගසත් කැපියනොදී ගලවා ගණිමි රූ මධ්‍යම වෙලේ රාත්‍රියෙහි රජ්ජුරුවන් වැදහෝනා ශ්‍රී යහන් ගබඩාවට වැද තමන් ගේ දිව්‍යානුභාවයෙන් මාලිගාව ඒකාලෝක කෙරෙමින් සිටියාහ. රජ්ජුරුවෝත් භයින් ත්‍රස්තව නැගීසිට, අඬ අඬා මාගේ ඉස්දොර සිටියාවු තොපි කවුරුදැයි විචාළාහ. දේවතාවා කියන්නේ තොපගේ උයනේ සස්ගස වාසය කරන්නාවු භද්‍රශාලා දිව්‍ය පුත්‍රයා නම් මමයයි කීහ. ඇයි තොපි මේ වෙලේ මෙතනට ආයේ ඇයිදැයි කිහ. මා බොහෝ දවස් උන්නාවූ සල්ගස කුමට කපව්දැයි විචාළාහ. ඇයි තොපි මා එකස්ථමහ මාලිගාවක් ඉදිකරවන නියාව නොදුනද මාලිගාව ඉදිකරණ නිසා කපමි කිහ. මා ඉඳිනා ගස කපාපුවිට මාගේ ප්‍රාණය හා සරියයි කීහ. රජ්ජුරුවෝත් කියන්නාහු මාලිගාව ඉදිකළ කල තොප හා අප හා එක්ව ඉඳූම්හයි කීහ.

එවිට දිව්‍ය පුත්‍රයා කියන්නේ මෙවකට සැට දහසක් අවුරුදු මා මේ සල්ගස වසන්නේය. මට පළමු මේනුවර රජකම් කළ රජදරුවන්ගෙන් මේ ගස මල් පහන් පූජා කළාවු කෙණෙක් විනා ගස කැපු කෙණෙකුන් නැත. තොප තත්පරව මහගස කප්පන පසු තුරු ආදිකොට එකි එකී අත්තක් නියායෙන් කපා පසුව ගස කපවයි කීහ. එසේ කැපුකල මට සැපවනනේයයි කිහ. එවිට රජ්ජුරුවෝ කියන්නාහු එවිට මට කුමක්වේවා මාගේ ප්‍රාණ හා සරියයි කියා දැන් අත්තෙන් අත්ත කපන්ට කියන කාරණා කිම්දැයි අත් පා කන් නාසා ඉස කපන කල සැප කවරේද එකවිටම ඉසකපාපු කල පාසුදා තොප එසේ කියන්ට කාරණා කිම්දැයි කීහ. එවිට දිව්‍යපුත්‍රයා කියන්නේ මට කුමක්වේවා මා නිසා ඒ ගස වට සිටින්නාවු බොහෝ පැලෑටි ගල්වල ඉඳිනා මාගේ බොහෝ බන්ධුහුත් ඇත මට කුමක් වෙතත් උන්ට දුකක් නොවන්නා පමණැයි සිතා මා කියේයයි කීහ. එවිට රජ්ජුරුවෝ තමන්ට වන්තාවු දුකට වඩා තමන්ගේ බන්ධුන්ට වන්නාවු දුකට අඬතියි සමාධිව තොපගේ සල්ගසත් තොපට හලුම්හ. තොපගේ නෑයන්ටත් කිසි ගහටයක් නැතිව ඉඳූවයි රජ්ජුරුවෝ ඒ සල්ගස දිව්‍යපුත්‍රයාටම කළාහ. රජ්ජුරුවෝත් ඒ දිව්‍ය පුත්‍රයානන්ගේ අවවාදයෙහි පිහිටා දසරාජධර්මයෙන් රාජ්‍යයකොට පරලොව ගියහයි වදාරා මේ භද්දසාල ජාතකය නිමවා වදාළසේක.

එසමයෙහි රජ්ජුරුවො නම් ආනන්ද ස්ථවිරයෝය. රජ්ජුරුවන්ට කන්නලව් කිය නෑයන් දුකින් ගලවාගත්තාවු භද්දශාලා දිව්‍ය පුත්‍රයා නම් බුදුවු මම්ම වේදැයි වදාළසේක.

 

 
උපුටා ගැනීම – www.jathakakatha.lk

454 සමුද්දවානි ජාතකය
452 චුල්ලකුණාල ජාතකය

Leave a Reply

Your email address will not be published.

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.