442 ඝත ජාතකය - IFBC Organization | Dhamma

තවද ශාක්‍ය කුල කල්පදෘ මවූ තිලෝගුරු බුදුරජානන්වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවසන සමයෙහි පුත්‍රයෙකු මළ පියෙකු අරභයා මේ ජාතකය වදාරන ලදි.

ඒ කෙසේද යත්,

මෙහි වර්තමාන කථාව මට්ටකුණ්ඩලී ජාතකයෙහි විස්තර වශයෙන් පෙනෙන්නේය මෙහි වනාහි පෙර උත්තමයෝත් කී අවවාදයෙහි පුත්‍ර සෙනෙහය ඇත්තෝ පවා සෝක සන්හිදුවා උන්නෝ වේදැයි වදාරා ඒ කෙසේදැයි ආරාධ්තවූ සර්වඥයන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළසේක

යටගිය දවස උත්තරාපථයෙහි කංසභෝග නම් රට අසිතජ නම් නුවර මහා කංසනම් රජ්ජුරුකෙණෙකුන් රාජ්ජය කරණ සමයෙහි රජ්ජුරුවන්ගේ කංසය උපකංසයයි පුත්තු දෙන්නෙක් ඇත්තාහ. දේවගර්භා නම් දියනි කෙණෙක් ඇත්තාහ. ඒ දියනියන් උපන්ගමනෙම නැකැත් කියන්නාවූ බමුණෙක් ලක්ෂණ දැක කියන්නාහූ මේ කුමාරි නිසා මේ රාජවංශය නස්නේය. දැන්ම නසාපුවොත් යහපතැයි කීහ. එවිට රජ්ජුරුවෝ මේ මාගේ දුවනියන් රාජ්ජයට පැමිණිකල නසතත් වචනත් ඌම දනිති මම නොදනිමි සෙනෙහයෙන් ඒ කස්ථ මහා මාලිගාවක් කරවා අඣ වෙනහු නම් කොල්ලා නන්දගෝපාල නම් කොල්ල හා දෙන්නා අත්පා මෙහෙකරන්නට සැලැස්වූහ. එවිට කල්යාමකින් මහාකංස රජ්ජුරුවෝ මළහ. උන්ගේ වැඩිමහළු පුත්‍රවූ කංස නම් කුමාරයෝ රාජ්ජයට පැමිණ තමන්ගේ මලනු වන් යුවරජතනතුරෙහි තබා පළමු බ්‍රාහ්මණයන් නැගනියන් නිසා රාජවංශය නසති කිවාදැන දැනත් නැගනියන්කෙරෙහි සෙනෙහයෙන් නොනැසුනාහ. ඉක්බිති උත්තරා මධුරා නම් නුවර මහාසාගර නම් රජ්ජුරුවෝ රාජ්ජ්‍ය කරණ සමයෙහි ඒ රජ්ජුරුවන්ගේ සාගරය උපසාගරයයි දරුවෝ දෙදෙනක් ඇත්තාහ. මහා සාගර නම් රජ්ජුරුවන් මළපසු සාගරනම් කුමාරයෝ රාජ්‍යයට පැමිණි තමන් මළනුවන් උපසාගර නම් රාජකුමාරයන්ට යුවරජතනතුරු පැමිණ උපසාගර නම් කුමාරයෝ තමන්ගේ බෑනන් වහන්සේගේ අන්තඃපුරයට වැරද ගියහ. සාගර නම් රජ්ජුරුවෝ තමන්ගේ අන්තඃපුරයට මලනුවන් වැරදගිය ගමනේ ළුහුබඳවාගත්හ, උපසාගර කුමාරයෝ අසිතජ නම් නුවරට ගොසින් එකසථමහා මාලිගාව දැක මේ කාගේ මාලිගාවෙක්දැයි විචාළගමනේ දේවගර්භ නම් බිසවුන් විසින් ඉඳිනා එකමාලි ගාවයයි අසා නම ඇසු පමනෙම්ම ප්‍රතිබද්ධ වූ සිත් ඇති නන්ද ගෝපාල නම් කෙල්ල සමීපයට ගොස් කථාකොට බිසවුන් ළඹවා ගත්තාහ. රාජ කුමාරයෝ දේව ගර්භා නම් බිසවුන් හා ප්‍රතිබද්ධව එක් උනායෙන් දරුගර්භයෙක් ඇති විය. එපවත් රජ්ජුරුවන් හා යුව රජ්ජුරුවෝ අසා නැගනියන් කෙරේ සෙනෙහයෙන් උන්ට උත්තර නොකියා පිරිමිපුතෙක් උපනිම් නම් මරම්හ ගෑනුදුවක් වී නම් නොනසන්ට යයි කියා උප සාගර කුමාරයන්ට සෙනෙවිරන් ධුරය දී තමන්ට සේවාකම් කරන්ට සලස්වා නැගනියන් උන්ට පාවා දුන්නාහ. දේවගර්භා නම් බිසව් නොබෝකලකින් දුවනි කෙණෙකුන් වැදුහ. රජ්ජුරුවෝ දෙන්න අසා සමාධිව අංජන දේවියයි නමකුත් තබා ගෝවර්ධන නම් නමකුත් දුන්නාහ.

ඉක්බිති බිසවුන්ගේ ගර්භයෙක් ඇතිවිය. නන්ද ගෝපාල නම් කෙල්ලගේ බඩත් දරුගර්භයක් ඇතිවිය. දස එකඩ මසකින් රාජ කුමාර කෙණෙකුන් වැදුහ. නන්දගෝපාල නම් කෙලින් දියනි කෙණෙකුන් වැදුහ. ඒ බිසව් එවිට තමන් වැදු පුතනුවන් රජදරුවෝ දෙදෙන ගෙණ නසාපියති සිතා නන්දගෝපාල නම් කෙල්ල වැදු දුවනියන් තමන්ලඟ ලාගෙණ තමාවැදු රාජ කුමාරයන් කෙල්ල ලඟලා ගත්හ. මේ නියායෙන් බිසව් රාජකුමාරයන් දසදෙදෙනකු වදා කෙල්ල ලඟලා වැඩුහ. කෙල්ල වැදු දුන් දසදෙනා තමන් ලඟලා වැඩුහ. ඒ කියන රාජකුමාරයන් දසදෙනාගෙන් පළමුවන කුමාරයෝ වාසුදේවය, බලදේවය, චන්ද්‍රදේවය, සුර්යදේවය, යඥදේවය, වරුණදේවය, අර්ජුන දේවය, පර්ජුනය, ඝතපණ්ඩිතය, අංකුරයයි යන රාජ කුමාරවරු දසදෙනා වැඩිවිය පැමිණ නුවර කොල්ලකාගෙණ ඇවිදිනාහ. රජුජුරුවෝ එපවත් අසා කෙල්ල ගෙන්වා තොපගේ දරුවන් දසදෙනා නුවර කොල්ලකා ගෙණ ඇවිදිති තොපගේ දරුවන් ඉක්මවා ගණුවයි කීහ. කෙළි කීප මුරයක් අවවාද කීවත් නොහික්ම, නොයෙක් අලාභ කරන්න්ාහ. රජ්ජුරුවෝ නන්ද ගෝපාල නම් කෙල්ල දෙවැනිවර ගෙන්වා තොපගේ දරුවන් ඉක්මවාගණුවයි කී කල්හි එවිට කෙළි ජිවිතදානය ඉල්වාගෙණ කියන්නී මා වැදු දසදෙන බිසවුන් වහන්සේ ලඟය.උන් වහන්සේ දසබෑ රාජ කුමාරයන් වහන්සේ මේ මොලකම්කොටගෙණ ඇවිදිනාසේකැයි කෙළිකිව, රජදරුවෝ දෙදෙනභයින් ත්‍රස්තව අමාත්‍යවරුන් ගෙන්වා එඹල දසබෑ රාජකුමාරවරු එක්ව, අලෝහල කෙරෙති කවර උපායකින්වත් උන් හැම මරන්ට උවමැනවයි රජ්ජුරුවෝ කීය.

එවිට අමාත්‍යවරු කියන්නා රජ්ජුරුවන් වහන්ස අන්මානෙක ඇල්ලිය නොහැක්ක. දසබෑ රාජකුමාරවරුන් වහන්සේ මල්ලවයෙහි දක්‍ෂයෝය, ඒසේ හෙයින් මල්ලව බලම්හයි කියා ඇතුලට ගෙන්වාගෙණ අල්වා මරතොත් විනා බැරියයි කීහ. රජ්ජුරුවෝ අකංඩය කණය අද්දවා ධජපතාකත් බඳවා අකඩය සරසා දසබෑරාජකුමාරවරුන්ට මල්ලව අල්වන්ට එවයි කියා යැවුහ. රාජ කුමාරවරුන් යහපතැයි විථියට ගොසින් ඒ ඒ වර්ණ පිළි ඇඳගෙණ වෑපාර විථියෙන් සිලිදු සුවඳ ආදීවූ දෙය ලවාගෙණ මාලාකාරයන් සමීපයට ගොසින් මල්වට ආදිවූදෙය උදුරා පැලඳගෙණ අත්පොලසන් දී කෙකි මල්ලනවා නුවර මල්ලන්වා සිටියාය, මූට මාගේ අතින් අල්වා ඵලම්දැයි සිතා ඇත්හලට ගොසින් ඇතුන් බඳිනා කඹයක් ගෙණවුත් කඹය අල්වා දමා ඉඟ බැඳ මධ්‍යයෙන් බැඳ ලනුව දෙපිල අල්වා ගල්විතත් කරකවන්නාසේ ඉසවට සිසාරා පොළොව අපුලා කණයමින් එපිට ජීවිතක්ෂයට පැමිණියේය. දෙවනිව මුෂ්ටි මල්ලව අවුත් අත්පොලසන් දෙමින් බලදේවයන් හා කැටිව ගාධට සිට ගමනේ එවිට බලදේවයෝ මුෂ්ටි අල්වාගෙණ ඒ ඒ තැන ඇට සුනුවිසුනු කෙරෙමින් අල්වන ගමනේ මම මල්ලවයෙක් නොවෙමි කියදී තා මල්ලව වේවායි නොවේවායි කියමින් සුනුවිසුනු කරණගමනේ ප්‍රාණය යන අවස්ථාවේ මුෂ්ටි මල්ලවයා ප්‍රාර්ථනා කරන්නේ මූ උපන් සම්මජාතියක නසම්මැයි වෛර බැඳ ජීවිතක්ෂයට පැමිණි කාලමත්ති නම් වනයෙහි යක්ෂව ඉපද ගියේය. එවිට කංසනම් රජ්ජුරුවෝ මුන් දසබෑයන් මල්ලව යන් ලවා මරාගත නුහුනුම්හයි යම් උපායකින් මරවමියි අමාත්‍යයන්ට විධාන කළහ. වාසුදේව නම් රාජ කුමාරයෝ තමන් අත පාරවලල්ලෙන් ගැසුගමනේ කින්සනම් රජ්ජුරුවන් හා උපකංස නම් යුවරජ්ජුරුවන් හා දෙදෙනාගේ ඉස්දෙක පාරවලල්ලෙන්ම කැපි ජීවිතක්ෂයට පැමිණියේය. නුවරවාසී භයින් ත්‍රස්තවූහ. භයනොගණුවයි කීවා අස්වසා රාජ්‍යයට හිමිව එයින් නික්ම අයෝධ්‍යපුරයට වැද කාලසේන නම් රජ්ජුරුවන් ජිවිතක්ෂයට පමුණුවා ඒ නුවරත් ඇරගෙණ එයින් නික්ම සේනාවත් ඇරගෙණ වාරවති නුවරට ගියාහ.

ඒ නුවර එක් දිසාවෙක ගංඟාවය. එක් දිසාවෙක පර්වතය, එක් දිසාවෙක සමුද්‍රය, ඒ නුවර ගන්ට යම් සතුරුකෙණෙක් අවුනම් ඒ නුවර පවුරුපිට යක්ෂණියෙක් සිට කොටළුවේෂයෙන් අඬළූගමනේම නුවරත් පැති ආකාශයට හෝ පැණ නැගී සමුද්‍ර මධ්‍යයෙහි හෝ ගොසින් සිටින්නේය.එසේ හෙයින් සතුරු කෙණෙකුන් විසින් ඒ නුවර ගතනොහැක්කැයි කීප මුරයෙක උත්සාහකොටත් චාරවතී නුවරට අරගතනොහි පලාගොස් එපවත් කණ්හදීපායන තපසයන්ට කීහ. එවිට තාපසයෝ ඒ නුවර ඇරගන්ට උපාය පරීක්ෂාකොට කී ගමනේ යහපතැයි කියා දසබෑයෝ ගොසින් කොටළුවාට කියන්නාහු තොපි නොහඬව මේ නුවර ඇරගන්ටයයි කීහ.කොටළු කියන්නේ මා නොහඬන්ට බැරිය. මම උපායක් කියාලම් මිනිස් පමණක් උස යානාරාසන සතරයක් ඉදිකරවා වාසල් සතරේ පිටත බිම ඉදුවා එලිපතුවල කඹලාලා බදවන්නාවු නුවර නොයෙයි මේ නියාවට නුවර ඇරගෙණ ඒ නුවර ඉඳ තෙසැට දාසක් රාජධානි සාදා දසබෑයෝ දස කොටසක් බෙදා රාජ්‍යය කරන්නාවූ ඒ අවධියෙහි මනුෂ්‍යන්ට විසිදාසක් අවුරුද්දට ආයුෂ ඇතිවිය. දැහැමෙන් සෙමෙන් රාජ්‍යය කරණ සමයෙහි අපගේ බුහුනනියන් වහන්සේට කොටසක් දුන්නේ නැත උන්ටත් කොටසක් දෙන්ට උවමැනවැයි කියා එකොළොස් කොටසක් කොට බෙදා දෙමිහයි කීහ. එවිට බාල අංකුර රජ්ජුරුවෝ කියන්නාහු මාගේ කොටස දෙමි නුඹ වහන්සේලාගේ රාජ්‍යයේ වෙළඳාම් ආදීවු දෙයක් කොට රැකෙම් සුංගම් චිවරක් ඇරෙන්නා පමණකැයි කීයා අරවාගෙණ ඒ නියාවට සලස්වා තමන්ගේ බෙත්මරට අංජන දේවීන්ට සලස්වා අංකුර රජ වෙළෙදාමෙන් වැඩෙයි වාසුදේව රජහුගේ කුමාරකෙණෙක් මළහ. උන් මල සෝකයෙන් නොකා නොබි මහත්වූ සෝකයෙන් ඉදිනාහ. සන්හිඳූවාලන කෙණෙක් නැති හෙයින් ඝතනම් පණ්ඩිතයෝ ඒ සෝක සන්හිඳූවමි සිතා තුමූ අපස්මාර උනුකෙණෙකුන්මෙන් වියරුවෙස්ගෙණ ආකාශය බලාමට සාවෙකුදෙන්ට කිය කියා මුරගානේය. එවිට රෝහිනි නම් අමාත්‍යයා වාසු දේවනම් රජ්ජුරුවන් සමීපයට ගොස් කියන්නේ රජ්ජුරුවන් වහන්ස නුඹ වහන්සේගේ මලනුවෝ වියරුවැටි ඒ ඒ තැනවිථියේ ඇවිදිති කීයේය.

එපවත් රජ්ජුරුවෝ අසා එවිට ප්‍රත්‍රසෝකය හැරී මාගේ මලනුවෝ කොයිදැයි කියා විථියෙහි ඒ ඒ තැන ඇවිදිති දැක සිපගෙණ කියන්නාහු මලනුවෙනි තොපි කෙසේවූ සාවකුද තොපි වියරුවැටී සාවෙකු දෙවයි කියන්නේ රත්රණින් රිදියෙන් මුත්තෙන් මැණිකෙන් යකඩින් තබකඩින් පබුළුවෙන් සාවෙකුද නොහොත් බැද්දේ ඉඳිනා සාවෙකු දෙන්ටයයි කියා වාසුදේව රජ්ජුරුවෝ විචාළාහ. එවිට බෝධිසත්වයෝ කියන්නාහු මම එසේවූ සාවෙකුට බැද්දේ ඉඳිනා සාවෙකුට වියරුහුනුයෙම් නොවෙමියි, චන්ද්‍රයා මධ්‍යයෙහි තිබෙන සාවාටය උත්සාහ කරන්නේයයි කීහ. එපවත් රජ්ජුරුවෝ අසා මුන් වියරුවැටුනේ සැබැව ජිවිතය නුමුත් අරගත නොහැක සාවාට මුන් උත්සාහකොට වියරු වැටුනේ සැබෑවයි සිතා කියන්නාහු මළනුවෙනි තොපි නුවනැති තැනැත්තන් මෙසේ කියන්නේ කවර නිසාද කෙසේ තෙපි කීවත් චන්ද්‍රයා මධ්‍යයේ තුබූ සාවා ඇරගත නොහැක්කැයි කීහ. ඝත පණ්ඩිතයෝ කියන්නාහු රජ්ජුරුවන් වහන්සේ පෙණෙන්නාවු චන්ද්‍රයා මධ්‍ය යේ තිබු සාවා ඇරගත නියාවට දෙස් නුඹ වහන්සේට කීසේක් වෙද එසේකල පෙණෙන සාවා ඇරගත නොහැකි කල නුඹ වහන්සේගේ මළාවු පුතනුවෝ කෙසේ එද්දැයි උන්නිසා නොකා නොබි සෝකයෙන් ඉන්ට කාරණා කව රේදැයි කීහ. එබස් අසා වාසුදේව රජ්ජුරුවෝ එසේද කී සේක් වෙද මලනු වෙනි මාගේ පුත්‍රශෝකය අරවන නිසා මේ වියරු වෙස්ගෙණ කළ උපායද මාගේ පුත්‍රශෝකය නැමති වහ්නිය බොහෝ තෙල්කල වත්කොට ඇවිලෙන ගින්නට පැන්කල දහස්ගණන් වත්කොට නිවුවාසේ නිවිගියේය. මාගේ පුත්‍රසෝකය නැමති සල්ලයමාගේ හෘදයේ වැදගත් හලනියාව ඉතා යහපතැයි මෙතැන් පටන් මාගේ පුත්‍රශෝකය අරිමිකියා එතැන් පටන් සෝක නොකොට ඝත පණ්ඩිතයන් කී අවවාද සිත තබාගෙණ රාජ්ජය කරන්නාහ. එසමයෙහි දසබෑ රජ්ජුරුවන්ගේ රාජකුමාරවරු එක්ව කෙළි නාහු උනුන් හා කථාකොට කන්හදීපායන තාපසයන් වහන්සේ දිවැස් ඇතිසේකැයි කියා අසන්නේය. ඒ අපට පරික්ෂාකරන්ට උවමැනවැයි ඉන්ම රූ ඇති රාජ කුමාරයකෙණෙකුන් ස්ත්‍රී පළඳනා සරහා බඩපිළිබැඳ දැරි ඇති නියාවට සලස්වාගෙණ ගොසින් කියන්නාහු තාපසයන් වහන්ස නුඹ වහන්සේ දිවැස් ඇතැයි කියා අසන්නේය. මේ කුමාරිකාව දැරි ඇතිය මුන්ගේ බඩදරුවෝ පිරිමිද ගැනුදැයි විචාළේය. එවිට තාපසයෝද මුන්ගේ බඩ කිහිරි ගැටයක් ඇතිව ඒ උන්ගේ බඩින් වැටෙයිදැන රාජකුමාරවරුන්ට කියන්නාහු මුන්ගේ බඩ ගෑනු දරුවන් කිම් පිරිමිදරුවන් කිම් තොපට ඇයි දැයි තාපසයෝ කීහ. එවිට රාජ කුමාරවරු අපට තත්වූ පරිද්දෙන් කියන්ට උවමැනවයි කියන්නාහු තමන්ට මරණ කවරදා පැමිණේදැයි පරීක්ෂා කළාහු එමදා පැමිණෙන නියාව දැක එසේ වීනම් තත්වූ පරිද්දෙන් කියමි සිතා මුන්ගේ බඩ කිහිරි ගැටයක් ඇත. ඒ කිහිරිගැටය සත්දවසකින් වදති ඒ වැදුකල මුන්ගේ රාජවංශයට විනාශ පැමිණේයි ඒ කිහිරි ගැටය වනලා කොටා ධුලිකොට දවා අළුකොට දියෙහි ලා පියවයි තාපසයෝ කිහ.

එවිට කුමාරවරු මේ තාපසයෝ මහකූට තාපසයෝය, පිරිමිත් දරුවන් වදද්යි කියා අතින්පයින් තළා මැරූහ. එවිට දසබෑ රජ්ජුරුවෝ තාපසයන් මැරූ නියාව අසා භයින් ත්‍රස්තව රාජ කුමාරවරුන් ගෙන්වා විචාළගමනේ තාපසයන් කී නියාව තත්වූ පරිද්දෙන් කීහ. රජ්ජුරුවෝ එපවත් අසා රාජ කුමාරවරුන්ට රැකවල්ලවා උන්කලට සත්වෙනි දවසින් ඒ රාජ කුමාර කිහිරි ගැටය වනලාකොට දවා අළුකොට ගඟට දැමුහ. ඒ දැමු අළු ගඟහලින් ගොස් එක් ගල්හස්සෙක සුඟක් වැලි මුසුව රැඳි ගියේය. එතන බේරු පඳූරෙක් ඇතිවුහ.රාජකුමාරවරු නොබෝ දවසකින් ගඟට දියකෙළෙියට ගියාහු දියකෙළිමින් සිට උනුන් හා ඩබරක් වී ඒ ඩබර මහත්විය. ඒ ඩබර රජදරුවෝ එක්ව ගිහාය. ඒ රාජකුමාර වරුන්ගෙන් එක්කෙණෙක් ගඟ අස තිබූ බේරු පඳුර දැක බේරු පඳූරෙන් දඩික් කඩාගත්හ. ඒ කැඩු බේරු පඳූර කිහිරිදණ්ඩ විය. ඒ ඇරගෙණ ගැසූහ. සෙසු රජ දරුවෝත් ඒ බේරු පඳුරෙන් අතුකඩා ගෙණත් කිහිරිදඬවිය, පත්‍ර කඩාගත්තන් කිහිරි දඬවිය. මේ නියායෙන් කිහිරි දඬුගෙණ උනුන් මරා ජිවිතක්ෂයට පැමිණවුහ. ඉන් ගැලවුනාවු වාසුදේව රජ්ජුරුවෝය. බලදේවය, අඤජනදේවිය, පුරෝහිත බ්‍රාහ්මණයාය, යන මේ සතර දෙන රථයකට නැගී නුවර තැනකට යන්නාහු කාලමුත්ති නම් වනයට පැමිණියාහ. බලදේවයන් හා මල්ලව අල්වා මළාවු මුෂ්ටි නම් මල්ලවයා ඒ වනයෙහි රාක්‍ෂසව උපන්නේය. මාගේ සතුරා කවර දවසෙක මරම්දෝහෝයි සිත සිතා උන් තෙනට වාසුදේව රජ්ජුරුවන් නැගී රථය පැමිණියේය. මුෂ්ටි මල්ලව බලදේවයන් දැක මල්ලව වේශයෙන් අවුත් අත් පොලසන්දී මල්ලවයාට සිටියේය. බලදේවයෝ ඔහුදැක මල්ලව අල්වමි රථයෙන් බස්නට වන්කල වාසුදේව රජ්ජුරුවෝ මල්ලව අල්වයි වලක්ව වලක්වා කියදිත් නොවැලක මල්ලව අල්ලන්ට බැසපු කලට රාක්‍ෂසයා බලදේවයන් අල්වාගෙණ උණ කිළිල්ලක්සේ සපාකාපිය, වාසුදේව රජ්ජුරුවන් හා අඤජන දේවින් හා බ්‍රාහ්මණයා හා තුන්දෙන රථයට නැගී අනික් ගමකට ගොස් රජ්ජුරුවෝ තුබූ බැද්දට වැද තුමු ඉනකඩින් ඉසවසාගෙණ තනට වසාගෙණ අඤජන දේවින් හා බමුණාත් බත් පිසගෙන එන නියායෙන් යවුහ.

ඒ ගම ජරා වැද්දෙක් දඩයමට ගිය ගමනේ ඌරෙකැයි සිතා තෙබින් ඇතිකලට මිනිසෙකු නියාව දැන භයින් ත්‍රස්තව දිවන්ට වන්කලට නොයව නොබවයි තමන් ලඟට ගොන්වාගෙණ තාගේ නම කිම්දැයි විචාළ ගමනේ ජරා නමැයි කීහ. එවිට රජ්ජුරුවෝ කියන්නාහු එඹල මාගේ ජාතකයෙහිති ජරා නම් එකෙකු අතින් ඇන්මක් කා මියති කීහ. එසේ හෙයින් නොබවයි කීයා රඳ වාගෙණ ඌ ලවාම තෙබ අද්දවා බේත් බඳවාගෙණ උන්කලට අඤජන දේවින් හා බ්‍රාහ්මණ ආයේය. එවිට රජ්ජුරුවෝ කියන්නාහු මට මරණ මෙතනදී නියමයයි එපවත් කියා තෙපි දෙන්න යම් තැනක ඉඳ රැකෙවයි කියා උන් හැම රක්නා විචරට ශාස්ත්‍රයක් උගන්වා යවා තුමු එතනම මළහ. එඹා මහණෙනි මෙතෙක් රජ දරුවන්ගෙන් ගැලවුනේ අඤජන දේවිමය. වදාරා මේ ඝත ජාතකය නිමවා වදාළසේක.

එසමයෙහි රෝහිනි නම් අමාත්‍ය ආනන්ද ස්ථවිරය. එසමයෙහි වාසුදේව නම් රජ ශාරිපුත්‍රස්ථවිරයෝය. එසමයෙහි ඝන පණ්ඩිතයෝව උපන්නෙම් බුදුවූ මම්ම වේදැයි තමන් වහන්සේ දක්වා වදාළ සේක.

 

 
උපුටා ගැනීම – www.jathakakatha.lk

443 මාති පොසක ජාතකය
441 මහාමංගල ජාතකය

Leave a Reply

Your email address will not be published.

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.