(44) සැම හිත සුව පිණිස හිඳ සැනසෙමු ද? - IFBC Organization | Dhamma

මහ නායක හාමුදුරුවනේ, අපට නිතර බාධා කරදර ඇති කරන කරදරකාරයකු වෙතින් නිදහස් විය හැකිද?

ඔබ කිව්වා වගේ, සමහරවිට ඇතමෙක් “ මොහු මගේ පරම හතුරාය. එබැවින් වහා මොහුගෙන් නිදහස් විය යුතුය” සිතා තමා විසින් හෝ වෙනත් කෙනෙකු ලවා හෝ එම සතුරා තලා පෙලා හෝ නිදහස අපේක්‍ෂා කරනවා. නමුත් මෙයින් සිදුවන්නේ, එම සතුරුකම තවත් වැඩිකර ගැනීමකුයි. ඒ වගේම කෝපය, ද්වේෂය හා පශ්චාත්තාපය තර කර ගැනීමකුයි.

එනම්, තමන් එලෙස සතුරෙකුයි සැලකූ තැනැත්තා සසරෙහි වැඩි වාර ගණනක් හමුවීමට පාර කැපීමක් වගේ ක්‍රියාවකුයි. කොපමණ වාර ගණනක් මෙසේ තලා පෙලා දැමුවත් ඉතා තාවකාලික අනතුරුදායක සතුටක් ලැබීමක් හැර එයින් ලැබෙන ඵලයක් හෝ සැබෑ නිදහසක් ඇත්තේ නැහැ.

බලපුළුවන්කම තිබියදී ඉන් නිසි ප්‍රයෝජන නොගැනීම අනුවණකමක් නොවෙයි ද?

තමන්ගේ ශක්තීන් හා හැකියාවන් සෙස්සන් පාගා දැමීමට හෝ නැසීමට හෝ යොදා ගැනීම තමාට ලද අනුහසට අපහාස කිරීමක්. ශක්තිය මහිමය යනු විශ්ව සාධාරණ දෙයක්. එය තමන් අතට වැඩිපුර එකතුවීම නිසා අයුතු ලෙස ක්‍රියා කිරීමට යාමෙන් සිදුවන්නේ, තමාගේ වල තමා විසින්ම කපා ගැනීමකුයි. ඇතැම්විට, ඉතා සුළු හේතුවක් නිසා මරා දැමූ තැනැත්තකු භූතාත්මයක ඉපදී සිටියත් එහි ඇති ශක්ති පමණින් හෝ යළි පෙරළා පළිගැනීමට යොමු වෙනවා. මිනියක් මරා සැඟවී සිටිය නොහැක්කේ ඒ නිසායි.

කොතරම්ම රහසිගතව කළ ඉතා සූක්‍ෂම අන්දමේ ඝාතනයන් පවා එය සැලසුම් කළ කාලයටත් වඩා ඉක්මනින් අනාවරණය වන අවස්ථා ගැන අනන්තවත් දිනපතා වාර්තා වෙනවා. එක තැනක හුදකලාවේ සිදුවන දේවල් පවා තවත් බොහෝ තැන්වලට දැනෙන විශ්ව සන්නිවේදනයක් ක්‍රියාත්මකව පවතිනවා. කර්මය කියන්නේත්, එම විශ්ව සන්නිවේදනයේ ම කොටසක්. මෙම විශ්ව ධර්මතා රටාව අප නිවැරදිව හඳුනා ගැනීම වටිනවා.

ධර්මතාවල පොදු බව

ඒ වුණත්, සමානව විශ්ව ධර්මතා බලපැවැත්වෙන්නේ නැහැ නේද?

මං ඕකට කෙටි නිදසුනක් සපයන්නම්. දිනක් අපේ ගෞතම බුදුහාමුදුරුවෝ රජගහ නුවර මහ සඟරුවන සමඟින් පා ගමනින් වඩින එක් අවස්ථාවකදී උන්වහන්සේගේ වම් ශ්‍රීපාදය පෙරට නොතබා බලා සිටියා. එවර ආනන්ද තෙරුන් විසින් ඊට හේතු කාරණා විමසනු ලැබුවා. එවිට බුදුරදුන් මෙසේ දේශනා කොට වදාළා,

“ආනන්දයෙනි, මේ අප සක්මන් කරන මඟෙහි දියකඩිති අතරින් වේගයෙන් ගමන් කරන රන්වන් පැහැති මේ කඩිසර විසල් කුහුඹු රැළ මීට පෙර සිටි සක්විති රජවරු පිරිසක්ය.”

ඒ අනුව, සක්විති රජවරුන්ටත් එබඳු ඉරණමක් අත්වූවා නම් ඔබ අප ගැන තව කවර කථාද ? ‘ ධම්ම පදයේ’ ලෝක වග්ගයේ එන “ පථව්‍යා ඒකරජ්ජේන …” යන අවසන් ( 178 වෙනි ) ගාථාවෙන් ද අවධාරණය කර ඇත්තේ, මුළු ලොවටම රජවීමටත්, දෙව්ලොව යාමටත්, මුළු ලොව බලවත්කම ලැබීමටත් වඩා සෝවාන් ඵලයෙහි පිහිටීම උතුම් බවයි.

අවෛරයෙන් වෛරය සන්සිඳීම

පළිගැනීමේ අදීන බව කියාපාන කථා පුවත් බුදු දහමේ විස්තර වෙනවාද?

ධම්ම පදයේත්, ජාතක කථා පොතේත්, ත්‍රිපිටකයේත් එබඳු කථා අනන්තවත් විස්තර වෙනවා. දැන් ධම්ම පදයේ ආරම්භක ‘ යමක වග්ගයේ’ 05 වෙනි ගාථාවම ඊට හොඳ උදාහරණයක්. බුදුහාමුදුරුවෝ ජේතවනාරාමයේදී කාලි යක්‍ෂණිය අරභයායි මේ ගාථාව දේශනා කොට වදාළේ,

නහී වේරේන වේරානී – සම්මන්තීධ කුදාචනං
අවේරේන ච සම්මන්තී – ඒස ධම්මෝ සනත්තනෝ

මෙහි තේරුම, මේ ලෝකයේ කවදාවත් වෛර කිරීමෙන් වෛරය සන්සිඳෙන්නේ නැහැ. වෛර නොකිරීමෙන් පමණමයි, එය සන්සිඳී යන්නේ. මෙය පෙර සිටම පවතින ස්වභාවයක්.

ධම්මපදට්ඨ කථාවේ කාලයක්ඛිණී වත්ථුවේ, කාල යකිණ්ණි බුදුරදුන්ගෙන් බණ අසා මේ තත්ත්වය අවබෝධ කර ගත් පසුව සැම හිත සුව පිණිසම හැසිරුණු අයුරු විස්තර කෙරෙනවා.

කාලි යකිණ්ණියගේ කථාව

හොඳයි, කාලි යකිණ්ණිගේ කථා පුවතේ පසුබිම කෙබඳු ද ?

ඔව්, දැන් ඉතාම කෙටියෙන්ම විස්තර කරනවා නම් ඉතා ඈත භවයකදී කාලි යකිණ්ණි කිකිළියකව ඉපද සිටියදී ඇය හා ඇගේ බිත්තර මෙන්ම කුකුළු පැටවුන් එම මිනිස් මව බළලෙකුව ඉපිද කා දැමුවා. එම වෛරයෙන් ඊට පසු ආත්මයේදී එම කිකිළිය – දිවි දෙනකත්, බැළලිය මුව දෙනකත් ව උපන්නා. ඒ අනුව, පෙර බැළලිය කිකිළිය හා ඇගේ බිත්තර පැටවුන් කා දැමූ පරිදිම දිවි දෙනත් මුවදෙන හා ඇගේ මුව පැටව් වරින් වර කා දමනු ලැබුවා. ඉනික්බිතිව තමයි එම දිවිදෙන මිනිස් මවකත් සහ මුවදෙන කාල යකිණ්ණිය ලෙසත් මෙලෙස බුදුන් දවස උපත ලබා පූර්ව වෛරය තවත් දුර දිග යාමට ගොස් බුදුරදුන් සන්සිඳ වූවේ.

පළි නොගෙන පිළි ගනිමු

එහෙමනම්, පරම සතුරෙකුගෙන් නිදහස් වීමට හැකි හොඳම ක්‍රමය කුමක් ද?

ඒ සඳහා ඇති හොඳම සහ එකම සරල ක්‍රමය නම් සතුරු බව නැති කිරීමයි. සතුරු නැති කිරීම වෙනුවට සතුරු බව නැති කිරීමෙන් සහනය ඇති වෙනවා. කාලි යකිණ්ණි ගැටුම වගේ සසරේ කවදාක හෝ මේ සතුරු බව දුරලිය යුතුව තිබෙනවා. ඔය සතුරුකම් තවත් කල්පයක බුදු කෙනෙකු පහළවී විසඳනකම් එපමණ දුරක් රැගෙන යා යුතු නැහැ. ඉතා කාරුණිකව ඔබේ සතුරාගේ අසරණකම් සසර දුක් මෙනෙහි කළවිට ඔබට ඔහු හෝ ඇය ගැන ඇති වන්නේ සතුරුකමටත් වඩා මිතුරුකමක්. එවිට ඔබට වන චිත්ත පීඩා, ගැටීම් පසුතැවීම් නොදැනිම ක්‍රමිකව පහ වී යාමට පටන් ගන්නවා. එමගින් පෙර පැවති වෛරී හැඟීම් වෙනුවට මෛත්‍රී සිතුවිලි මතු වී ඔබේ ජීවිතය සුවපත් වෙනවා.

මෙලෙස ක්‍රියා කිරීමෙන් මේ සසර ගමන විශ්ව ධර්මතාවෙන් ඉඩ ලැබෙන උපරිම ප්‍රමාණයට සැපවත්ව ගත කළ හැකියි. ලෙඩවීම හා මහලුවීම ආදී අනිවාර්ය දුක් පීඩාවන් මේ සසර සැරිසරන්නකුට අයත් දේ ලෙස පිළිගත යුතුව තිබෙනවා. එම දුක් හැරුණුකොට සෙසු සියලු අංශයන් සතුටුදායක තත්වයකින් පවත්වා ගෙන යාමට මීට පෙර අප විස්තර කළ සංවරයෙන් හා පරිත්‍යාගයෙන් ගොඩනැඟෙන ධම්මචරියාව ( යහපත් දිවි පෙවෙත) උපකාර වෙනවා. එසේ ජීවත් වන තැනැත්තාට, මරණය ද විශේෂ දෙයක් ලෙස සැලකීමට හේතුවක් වෙන්නේ නැහැ. මරණය ද හෙට උදෑසනත් බලාපොරොත්තුවෙන් නින්දට යාමක් ලෙස සැලකීමට ඔබට පුළුවන්කම ලැබෙනවා.

(45) මරණින් මතු ජීවිතය
(43) සත්වයාගේ උපත විපත සහ පැවැත්ම

Leave a Reply

Your email address will not be published.

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.