Skip to main content

436 මහාධර්මපාල ජාතකය

තවද ශාක්‍යකුලාලෝකවූ තිලෝගුරු බුදුරජානන් වහන්සේ කිඹුල්වත් නුවර නිග්‍රෝධාරාමයෙහි වැඩවසන සමයෙහි සුද්ධෝදන රජ්ජුරුවෝ අදහානොගත් දෙයක් අරභයා මේ ජාතකය දක්වන ලදි.

ඒ කෙසේද යත්,

සර්වඥයන් වහන්සේ විසිදහසක් රහතන් වහන්සේ පිරිවරා විථියෙහි සිඟා වඩනා ගමනේ සුද්ධෝදන රජ්ජුරුවෝ අසා සර්වඥයන් වහන්සේත් විසිදහසක් රහතන් වහන්සේත් පවරා රජගෙට ගෙණෙගොසින් කැඳ වළඳවා ඉක්බිතිවූ ගමනේ බත් වළඳනතුරු සර්වඥයන් වහන්සේ හා සුද්ධෝදන රජ්ජුරුවෝ කථාකරමින් උන්නාහු ස්වාමිනි නුඹ වහන්සේ දුෂ්කර ක්‍රියා පුරණ අවස්ථාවෙහි එක් දවසක් දාවල් මා වැදහෙව නිදන ලද දේවතා දුවක් ඇවිත් මට කියන්නී සිද්ධාර්ථ කුමාරයෝ දුෂ්කර ක්‍රියා භූමියෙහි මළෝයයි අවුත් මට කිව එවිට මම සිද්ධාර්ථ කුමාරයෝ බුදුව කාලක්‍රියා කළෝද නුබුදුව කාලක්‍රියා කළෝදැයි විචාළෙමි. නුබුදුව කාලක්‍රියාකළෝයයි දේවතා දුව කී නියාව අසා එසේ වීනම් බුදුව විනා කාලක්‍රියා කළෝයයි දේවතා දුව කී නියාව අසා එසේ වීනම් බුදුව විනා කාලක්‍රියා නොකෙරති අදහා නොගත් තෙමියි රජ්ජුරුවෝ කීහ. සර්වඥයන් වහන්සේ වදාරණසේක් රජ්ජුරුවෙනි මේ ජාතියේ තබා පළමු ධර්මපාල ජාතකයෙහි දිසාපාමොක් ආචාරින් සමීපයට ශාස්ත්‍ර උගන්ට ගිය ගමනේ මා මළැයි කියා එළු ඇටයක් ගෙණෑවිත් දිසාපාමොක් ආචාරීන් තොපට පෑ ගමනේ දක්වා අදහා නොගත්තෝ වේදැයි වදාරා ඒ කෙසේදැයි සුද්ධෝදන මහරජ්ජුරුවන් විසින් ආරාධිත සර්වඥයන් වහන්සේ ඉකුත් වත් දක්වා වදාළසේක.

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරු කෙණෙකුන් රාජ්ජය කරණ සමයෙහි ධර්මපාල නම් ගමෙක ධර්මපාල නම් බ්‍රාහ්මණයෙක් ඇත. ඒ ගමට ධර්මපාල නාමය කෙසේවිදයත් ඒ ගම ඉඳිනා ධර්මපාල නම් බ්‍රාහ්මණයා පටන් උන්ගේ නෑදැයන්ද ගෙයි වහල් ඇතුළුවූ අය පටන්වම පොහොයෙන් පොහොයට අටසිල්ද දවස්පතා පංචශිලයද දස පින් කිරියවත්ද කරන්නාහ. එසේහෙයින් ඒ කියන ගමටත් බ්‍රාහ්මණ කුලයටත් නම ධර්මපාල යයි සැලසින. එසමයෙහි බෝධිසත්වයෝ එකියන ධර්ම පාලයානන් බිරින්දගේ කුස පිළිසිඳ ඉපද වැඩිවිය පැමිණෙියාහ. වැඩිමාළු ධර්මපාල බ්‍රාහ්මණයෝ තමන්ගේ පුතනුවන් ධර්පාල කුමාරයන්ට ශාස්ත්‍ර උගන්න්ට දිසාපාමොක් ආචාරීන් සමිපයට යවන්නාහූ මසුරන් දහසක් දී යවුහ. එකියන ධර්මපාල කුමාර තක්සලා නුවරට ගොස් දිසාපාමොක් ආචාරීන් සමීපයට ගොස් මසුරන් දහස දීලා ශිල්ප උගන්නා කෑැත්තෝ පන්සියයක් අතවැස්සෝ තුමුට ආචාරීවන නියාවට ශාස්ත්‍ර උගන්නාහ. එසමයෙහි දිසාපාමොක් ආචාරීන්ගේ පුතනු කෙණෙකුන් මළහ. උන් මළ සෝකයෙන් දිසාපාමොක් ආචාරීන් හා පන්සියයක් අතවැස්සන් ආදීවූ අය අඬා ආදාහනකොට අතවැස්සෝ කථාකොට උන්නාහු ආචාරන්වහන්සේගේ බාලතරුණවූ පුත්‍රයා මළේයයි කියා උන්තෙනට ධර්මපාලකුමාරයෝ අවුත් කියන්නාහු බාල මනුෂ්‍යයෝත් මියෙත් ද ඒ කෙසේවූ දෙයෙක් දැයි කීයේය. එවිට සෙසු කුමාරයෝ කියන්නාහු ඇයි ධර්මපාල කුමාරයෙනි මරණයට බාලයයි වැඩිමාළුයයි නොපැමිණේද මරණ තමා කරා එන නියාව නොදනිදැයි කියා ධර්මපාල කුමාරයෝ කියන්නාහු මරණ පැමිණෙන නියාව දනිමි මේ බාල අවස්ථාවෙහි අපගෙන් මියන්නෝ නැතැයි කීහ. මේ නියාව අතවැසි පන්සියය දිසාපාමොක් ආචාරීන්ට කීහ.

දිසාපාමොක් ආචාරින්ට එපවත් අසා ධර්මපාල කුමාරයන් ගෙන්වා සැබෑද තොපගේ වර්ගයේ මාළුව විනා බාල අවස්ථාවෙහි මියෙන්නෝ නැත්තේදැයි විචාළේය. එවිට ධර්මපාල කුමාර කියන්නාහු එසේය ආචාරීන් වහන්ස අපගේ වර්ගයේ මාළුව විනා බාලේ අවස්ථාවෙහි නොමියති කී කල්හි ඒසේ වීනම් ඒ පරීක්ෂා කරන්ට උවමැනවැයි සිතා දිසාපාමොක් ආචාරී මළාවූ එළුවකුගේ ඇටයක් සෝධා අතවැසියා අත පිසුඹිතලා ධර්මපාල බ්‍රාහ්මණයානන්ගේ ගමට ගොස් වැඩි මාළු බ්‍රාහ්මණයානන්ගේ ගෙය කොයිදැයි විචාරා ගෙට අවුත් ආචාරීන්ට ඉඳින්ට අසුන් පණවා හිඳ කථාකොට කොට උන්නාහ. ඒ වෙලෙහි දිසාපාමොක් ආචාරී ධර්මපාල බ්‍රහ්මණයන්ට කියන්නාහු තොපගේ පුතනුවෝ යහපත්ව ශාස්ත්‍රය හා ත්‍රිවේදයත් ඉගෙණ උන් අවස්ථාවට එක් තරා ව්‍යාධියකින් මළාහයි කීහ. එවිට වැඩිමාළු ධර්මපාල බ්‍රාහ්මණයෝ අතින් අතපැහැර සිනාසී කියන්නාහු අපගේ දරුවෝත් බාල අවස්ථාවේ මියෙද්ද ඒ කෙසේවූ දෙයක්දැයි කීහ. දිසාපාමොක් ආචාරී දෙවෙනිව ධර්මපාලයෙනි තොපි මා කීවා අදහානෙගණුද මේ තොපගේ පුතනුවන්ගේ ඇටනොවේද මේ දකත් අදහා නොගණුදැයි කීහ. එවිට ධර්මපාල බ්‍රාහ්මණයෝ කියන්නාහු මේ එළුවකුගේ ඇට හෝ බල්ලෙකුගේ ඇට හෝ වේද අපගේ දරුවෝත් මියෙත්දැයි ධර්මපාලයන් හා උන්ගේ නෑයන් හා ගෙයිවාල් ආදී හැම සිනාසුනාහ.

එවිට දිසාපාමොක් ආචාරීන් තොපගේ දරුවන් නෑයන් බාල අවස්ථාවෙහි නොමියන්ට කාරණා කවරේදැයි විචාරන්නාහු කුමන උපායෙක්ද කුමන බ්‍රහ්මචර්යාවෙක්ද කුමන කාරණයක් නිසාද බ්‍රහ්මණය තොපගේ දරුවන් නොමියෙන්නේයයි විචාළේය. ඊට කාරණා කියන ධර්මපාල බ්‍රහ්මණයෝ කියන්නාහු දස කුශල ධර්ම කරම්හ. කෙළිපණිසත් බොරු නොකියම්හ. දස අකුශල පථයන් නොකරම්හ. එක්කෙණෙකුන් නපුරැයි කියන දෙයකුත් නොකරම්හ. එසේ හෙයින් අපගේ වංශයෙහි බාල අවස්ථාවෙහි නොමියන්නාහ. තවද අපි දන්දෙන අවස්ථාවෙහිත් සන්තෝෂ වම්හ. දන්දෙමින් සිටත් සන්තෝෂවෙමින. දන්දී ඉක්බිති සන්තෝෂවම්හ. දන්දී පශ්චාත්තාපයට නොපැමිණෙන හෙයින් අපගේ වංශයෙහි නොමියන්නාහ, තවද ශ්‍රමණ බ්‍රාහ්මණයන් කෙරෙහිද වන්දිභට්ටයන් කෙරෙහිද දුගී මගී යාචකයන් කෙරෙහිද සමසිතින් දන්දෙම්හ. එසේ හෙයින් අපගේ වංශයෙහි බාල අවස්ථාවෙහි නොමියන්නාහ. තවද අපගේ බිරින්ද හැර ඹබ්බේ ස්ත්‍රියකට ආලය නොකරම්හ. අපගේ බිරින්දත් ඹබ්බේ පුරුෂකෙණෙකුන් කෙරෙහි ආලය නොකරන්නාහ. අපි වනාහි ඔබ්බේ ස්ත්‍රින්ට බඹවස් රකිණා සරියම්හ. ඔබ්බේ ස්ත්‍රි අපට මවුන් හා සරියෝය. එසේහෙයින් අපගේ වංශයෙහි බාල අවස්ථාවෙහි නොමියන්නාහ.

තවද එසේවූ ස්ත්‍රීන්ගේ බසින් වැදූ දරුවෝත් නුවණින් ප්‍රාප්තව ත්‍රිවේදයෙහි නිපුණවන්නාහ. එසේ හෙයින් අපගේ වංශය බාල අවස්ථාවෙහි නොමියෙන්නාහ. තවද අපගේ මව්පිය නැඳි මයිලන් බෑ බුත් දු දරු යනාදි සියල්ලෝම ධර්මයෙහිම පරලොවට බා හැසිරී වාසය කරම්හ. එසේහෙයින් අපගේ වංශයෙහි බාල අවස්ථාවෙහි නොමියන්නාහ. තවද අපගේ සේවකයෝද බැලමෙහෙකරන්නෝද කුලියට මෙහෙකරන්නෝද යනාදී සියල්ලෝම පරලොව අදහා ධර්මයෙහි හැසිර වාසය කරන්නාහ එසේ හෙයින් අපගේ වංශයෙහි මාල අවස්ථාවෙහි නොමියන්නාහ. තවද අර්ථය දක්වන සර්වඥයන් වහන්සේ වදාරණසේක් මහරජ යම් කෙණෙක් ධර්මය රැකිත්ද ඒ ධර්මය පෙලා උන් දෙලොවම රකිණේමය. මේ ධර්මය අනිසංසයම මිලකලත් දුගතියට නොගොසින් සුගතියට යන්නාහ. තවද බ්‍රාහ්මණයා කියන්නේ ධර්මය රකිනා තැනැත්තවුන් ධර්මය පෙරලා රකිණේමිය, ඊට කාරණා කෙසේද සත් මහත් වරුෂාවට ඡත්‍රයක් සේය. ඔහුට ප්‍රතිෂ්ඨාවේද එමෙන් පුතිෂ්ඨාවෙයි, එසේ හෙයින් මාගේ පුත්වූ ධර්මපාල කුමාරයෝත් ධර්මයෙහි පිහිටියාව. එසේ හෙයින් මේ ඇටය අනික්කෙණෙකුන්ගේ ඇටයක මාගේ දරුවෝ සැපසේ උන්නාහ. මේ අපගේ චාරිත්‍රය සම්බුද්ධ පරමාර්ථයෙන් ආයේයයි කීයේය. එවිට දිසාපාමොක් ආචාරීන් ආගමනේ ලාභ ලදිමි සිතා තොපගේ පුත්හු සැපසේ උන්නාහ. මම තොප විමසන පිණිස ළුළ ඇටය ගෙණායේය. ඊට ක්‍ෂමා කරවයි කියා ක්‍ෂමා කරවාගෙණ මේ තොප දවස් අරණා සැලැස්මව පත ලියවාගෙණ එතන කීප දවසක් රඳා දිසාපාමොක් ආචාරී තමන් වසන තක්සලා නුවරට ගොස් ධර්මපාල කුමාරයන් නොනිමි අකුරුකරවා මහත්වූ පෙරහරින් උන්ගේ නුවරට එව්වාහයි වදාරා මේ මහ ධර්මපාල ජාතකය දක්වා චතුස්සත්‍ය ප්‍රකාශකොට වදාළසේක. මේ ධර්ම අවසානයෙහි සුද්ධෝදන රජ්ජුරුවෝ අනාගාමිඵලයෙහි පිහිටිසේක.

එසමයෙහි ධර්මපාල කුමාරයන්ගේ දෙමාපියෝ දෙන්නානම් මේ සමයෙහි සුද්ධෝදන රජ්ජුරුවන් හා මහා මායා දේවිය එසමයෙහි දිසාපාමොක් ආචාරී නම් දැන් ශාරීපුත්ත ස්ථවිරය. පන්සියයක් අතවැස්සෝ නම් දැන් මේ බුදුපිරිසය. එසමයෙහි ධර්මපාල කුමාරයෝ නම් බුදුවූ මම්ම වේදැයි තමන් වහන්සේ දක්වා වදාළසේක.

 

 

උපුටා ගැනීම – www.jathakakatha.lk

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.