4. සහම්පති මහා බ්‍රහ්ම රාජයා සුදොවුන් මාළිගාවේ… !

නේරංජරා නදී නිම්නය අසබඩ වෙසක්‌ පුන්
පෝදා රැය මුළුල්ලේ ඒ සා බිහිසුණු මාර සංග්‍රාමයක්‌ පැවතුණේ වී තමුදු හාත්පස එබඳු කුදු ලකුණකුදු නොදිස්‌විය. දස බිම්බරක්‌ මරු සෙනඟ ප්‍රචණ්‌ඩ කණාටු මවමින්ද අග්නිජාලා දල්වමින්ද කැළඹූ මිහිපල් තෙම ශාන්තව නිවී සැනසී තිබුණේ බුද්ධත්වයෙහි ආශ්චර්ය මෙබඳු යෑයි පාන්නාක්‌ මෙනි. ළාහිරු තුරු හිස්‌ අතරින් පෙරී හාත්පස පිනි මුතු බබළවමින් තිබුණි. වැලිතලා අතරින් ගලායන රිදී නදිය ඇස නිවයි. නේක වර්ණ ගන්ධ පුෂ්ප සුළං වැල් ඇදෙයි. මියුරු කුරුලු ගී කන් පිනවයි. සොබා දහම වසන්ත සැණකෙළියට සැරසිලි කළ සෙයකි. දෙව්බඹ සාදු නද හිස්‌ අහස ගිගුම් දෙයි.
සිදුහත් ගෞතමයෝ සමාධි සුවයෙන්ම නිසසලව වැඩ උන්හ. සොබා දහමද මහී කාන්තා තෙමේද මේසා පූජාවන් දක්‌වා උපහාර වන්දනා කරද්දීත් ඒ කිසිවකින් උද්දාමයක්‌ හෝ කවරාකාර අමුතු හැඟීම් මාත්‍රයක්‌ හෝ ගෞතම බුදුන් වහන්සේ තුළ නම් නොවීය. බුදු මහිම නම් එයමය. දෙව්, බඹ, මිනිස්‌ යනාදී කවර බලයකටද කිසි විටෙක සම කළ නොහැක්‌කා වූද අසමසම, අසාමාන්‍ය වූ බුදු මහිමය නම් ආශ්චර්යයක්‌ම වීය.

බුදුන් වහන්සේ අනුලෝම ප්‍රතිලෝම වශයෙන් තමන් විසින් සාක්‌ෂාත් කර ගන්නා ලද ඥනබලද බුද්ධිබලද ලෝ දන යහපත උදෙසා යොදා ගත යුතුය යන සද් ෙච්තනාවෙන්ම පසුවූහ. දිබ්බ සෝත, දිබ්බ චක්‌ඛු යනාදී ඥනලෝක විහිදුවමින් සියලු ලෝ ධාතූන් අතැඹුලක්‌ සේ ක්‍ෂණයකින් විමසා බලා ඒ සියල් තතු නන් අයුරින් අනාවරණය කිරීමේ මහාබල තමන් සතු වූ අයුරුද උන්වහන්සේ උපේක්‍ෂාවෙන්ම සිහි කළහ.
මේ ගොරබිමේ සසර දනව්වේ තමන් විසින් නොලබන ලද ආත්ම භාවයක්‌ නොවූ වගද සාරාසංඛ්‍ය කල්ප ලක්‌ෂයක්‌ අධිකව අසමසම පරිත්‍යාග, පාරමිතා සපුරා ලූ වගද එකෙණෙහි උන්වහන්සේගේ සිතට නැගුණි. මහා පුරුෂයකු සේ වීර්යයෙන්ද චිර අධිෂ්ඨානයෙන්ද ඥනාලෝකය සොයා ගිය ගමනක සමාප්තියම ලෝකවාසීන්ට නව ආරම්භයක්‌ වන අයුරු උන්වහන්සේ සිහි කළහ.
මේ ලෝකයේ පැවැත්ම යම් කලක්‌ වන්නේද ඒ සියලු කල්හිම සත්ත්වයන්ට යහපතක්‌ නොවේ. එහෙත් බුද්ධොත්පාද කාලය තරම් පරම භාග්‍යයක්‌ තවත් වන්නේද? එසේ වුවද එහි හේතු සම්පත් අහිමිවන්නාවූ සත්ත්වයෝද බොහෝය. රස තෘෂ්ණාවෙහි බැඳුණු වාත මෘගයෝ සේම ලෝක වාසී සියලු සත්ත්වයෝද මුළාව, සිහිමඳව දුක්‌ම ගනිති. සුඛය හෙවත් සැපත යනු අත්හැරීම විනා වැළඳ ගැනීම නොවන වග පුහුදුන් සත්ත්වයෝ නොදනිති. චතුරාර්ය සත්‍යය හා ආර්ය අෂ්ටාංගික මාර්ගය ලෝක සත්ත්වයාට පහදාදීම බුද්ධ මාර්ගය බවද බුදුහු සිහි කළහ. ඒ ගැඹුරු ධර්ම මාර්ගයෙහි ලෝ සතුන් යෙදවීම වුවද පහසු නැත. මනුෂ්‍ය වර්ගයාට විවිධ අරමුණුය. ඉන්ද්‍රිය ප්‍රීනනයෙහි ලොල් වන්නාහූ එයින් පුමුදිත වෙති. එය ග්‍රාම්‍ය, නීරස ධර්මතා සේ නො ගනිති. හේතු ප්‍රත්‍ය පිරිසිඳ දත නොහැක්‌කාවූ ඔවුන්ට සංස්‌කාර නිරෝධය හෝ යළි උපත දුරලීම හෝ දුෂ්කරමය. ඔවුහු රාගයට විනා විරාගයට ළං නොවෙති. එහෙයින්ම නිරෝධ මාර්ග හෙවත් නිර්වාණයද දුරස්‌ථ වනු ඇත. එහෙත් මේ ධර්මතා ලොවට පහදා දීම මාගේ පරමරමණීය අභිලාෂයම වන්නේයෑයි උන්වහන්සේ අධිෂ්ඨාන කර ගත්හ.
මානව වර්ගයාගේ සනාතන විමුක්‌තිය සඳහා තමන් වහන්සේගේ අසමසම සංසාර චාරිකාව යොමු වූ වග විනා ඒ උදෙසා ලද දුක්‌ඛ, වේදනා කෙබඳුදැයි කිසිකලෙක ඔවුන්ට පහදා දිය නොහැකි වගද, එබඳු ක්‍රියාමාර්ගවලින් ඔවුන්ට සෙතක්‌ නොසැලසෙන වගද බුදුහු දත්හ. එසේ වුවද බුද්ධත්වය යනු අතිශය විරල වූ මනුෂ්‍යයන් අතර අසාමාන්‍ය මනුෂ්‍යයකුට පමණක්‌ ලද හැක්‌කාවූද විස්‌මිත බුද්ධිමය බලයක්‌ බව ඔවුන්ට පහදාදීම වටිනා බවද බුදුන් වහන්සේට සිතුණි. අනතුරු විපත් සහිත ලෝකයක ජන ජීවිතය සුපුෂ්පිත කරවීමේ මාර්ගය පසක්‌ කරගත් බුදුන් වහන්සේට ස්‌වකීය ආසන්න අතීතය එක්‌වරම සිහි විය.
“මමද මුළාව සිත, කය හා ඉන්ද්‍රිය දමනය සඳහා සිරුරට අප්‍රමාණ වධ දුනිමි. අත්තන්තප හෙවත් ශාරීරික හා මානසික වධ වේදනාවෙහි බිහිසුණුම අන්තයට මම ගියෙමි. එහෙත් එය අවැඩයෑයි නොසරුයෑයි මා පසක්‌ කරද්දී මා සමඟ සිටි පස්‌වග මිතුරෝ මා හැර ගියහ. එහෙත් මේ මොහොතේදී පවා තමන් බුදුවරු යෑයි හඬ නගා කියන්නාහු සිටිති. ඒ ඉහතකී දුක්‌ඛ චර්යාවන්හි නිරත වූවෝය. මම ඒ මග හැර රජස්‌ රහිත වූද සියුම් වූද බුදු ඇස ලදිමි. එහෙයින්ම අමරණීය වන්නෙමි.”
සැබැවින්ම සිදුහත් ගෞතමයන් වහන්සේ මේ මිහිපිටද මේ සියලු සක්‌වල මුළුල්ලේද ඇති දුෂ්කරම සත්‍යය පසක්‌ කළ සේක. කිසියම් රන්කරුවකු තමන් අතට ලැබෙන අශුද්ධ ගණ රන් සූක්‌ෂම ලෙස ගිනි රශ්මියෙන් දවා ඒ අශුද්ධ කොටස්‌ ඉවත් කර රන් ශුද්ධ කෙරේද එලෙසම බුදුහු සියලු අශුද්ධ, අපද්‍රව්‍ය ඉවත් කර පරම පිවිතුරු නිර්වාණය මතු කළහ. එකල්හි බුදුසිත තුළ මෙබඳු උදානද නැගිණි.
සසර ගෙය තනන වඩුවාණන් ට
මෙවර නොහැකමය ගේ සාදන් ට
නොතිර මෙකය හැම දොස්‌ දුරලන් ට
පවර බෝ මුලදි වර ලද බුදුවන් ට
ඇලුම් සසර දුරු කළ තුන් සිතිනි
බැලුම් සතට නිබඳව වූ මෙතිනි
පියුම් විලස මතු වූ නිල් දියෙනි
ඉතින් බුදුව නිවනෙමි ඒ සහස්‌ ගිනි
පමා නොවී, ගිය ඇරඹූ ඒ ගමන
නිමා විය මෙලෙස සසරේ සැරුම
අමා රස සදන ලොව්තුරු නිවන
යොමා බලනු දෙන පිවිතුරු සහන
මෙවේලෙහි සහම්පති නම් වූ මහාබ්‍රහ්ම තෙමේද මෙලෙස සිතන්ට විය.
“බුද්ධානුභාවයෙන් සියලු සාගරද සියලු ලෝක ධාතුහුද ප්‍රකම්පිතව ගියහ. සකල දෙව් බඹ ලෝ වාසීහුද පුමුදිතව ගියහ. එසේ වුවද ඒ ආශ්චර්ය මනුලොව සත්හු නොදත්හ. එය නොමැනවි. යටත් පිරිසෙයින් මම ද ඒ තතු මනුලොවට දන්වමියි සිතන්නේ පළමුව ඒ වග සිදුහත් පිය මහරජ සුදොවුන්හට දැන්වීම උචිතයෑයි සනිටුහන් කර ගත්තේය.
මහබඹු යම් තෙදවත්, ඔදවත් පුරුෂයක්‌හු වක්‌ කළ අතක්‌ සැණකින් දික්‌ කෙරේද එලෙසම බඹ ලොවින් චුතව කිඹුල්වත්පුර සුදොවුන් මහරාජ මාළිගාවේ දකුණු වාසල් දොරටුව අබියස සෘෂි වේෂයකින් ප්‍රාදුර්භූතව සිටියේය. මේ විසල් මාළිගයෙහි සියලු රැකවල්ද, ආරක්‍ෂා විධි විධානද මඟහැර මෙලෙස පෙනී සිටි සෘෂීන් වහන්සේ දුටු මාළිගාවේ රැකවලට සිටි රාජපුරුෂයෝද භ්‍රාන්ත වූහ. ඔව්හු සෘෂීන් වහන්සේට නමස්‌කාර කර ඒ පුවත් සැලකිරීමට රජවාසලට දිව ගියහ. සුදොවුන් මහරජුද එවේලෙහි තමන් වෙතට එන රාජපුරුෂයන් දැක කිසිවක්‌ සිතා ගත නොහැකිවම බලා සිටියේය. මේ අමුත්ත කුමක්‌ද යන කුහුලද රජු තුළ වැඩුණි.
“අවසර දේවයන් වහන්ස, අපගේ රාජ්‍ය සේවයෙහි මඳ හෝ ප්‍රමාදයක්‌ නොවුවද ඒ සියලු රැකවල්ද, මුරකාවල්ද දැඩිව තිබියදීත් මාළිගා දොරටුව අබියස සෘෂින් වහන්සේ නමක්‌ වැඩ සිටින්නේය. උන්වහන්සේ කිසිසේත්ම මහ පොළව මතින්, පියවි ගමනින් ආ බවක්‌ නම් නොහැඟේ. අපට අනුකම්පා කර කුමක්‌ කළ යුතුදෝහෝයි උපදෙසක්‌ දුන මැනවි.”
රාජපුරුෂයන්ගේ කතාවෙහි කිසිදු අමුත්තක්‌ද විය නොහැක. මෙවන් ආශ්චර්යයන් දැන් කලක සිටම මෙනුවරද අවටද සිදුවන බවට ආරංචිද අඩු නොවීය. මෙයද ඒකාන්ත වශයෙන්ම එබඳු ආශ්චර්යයක්‌ම යෑයි රජු සිතා ගත්තේය. රජුද කිසිදු අමුත්තක්‌, චකිතයක්‌ නොදක්‌වාම “යව උන්වහන්සේ මෙහි කැඳවා ගෙන එව” කීහ. සුදොවුන් රජු එසේ කියා අවසන් වන්ටත් පෙරම සෘෂි වෙස්‌ ගත් මහබඹු රජු ඉදිරියෙහිද ප්‍රාදුර්භූත විය.
සුදොවුන් රජුද සෘෂින් වහන්සේට නමස්‌කාර කර අසුන් පනවා එකත්පස්‌ව සිටියේය. එසේ ගරසරු කර මෙසේ කීහ.
පින්වත් සෘෂිතුමනි, මේ මාළිගාව හාත්පස දැඩි සේ රැකවල් කර ඇත්තේය. ඒ සියලු රැකවල් නොතකා මේ මාළිගා භූමියට ඇතුල්වීමට කිසිදු මිනිස්‌ ප්‍රාණියකුට නම් නොහැක්‌කේය. එහෙයින් ඔබ වහන්සේ ඒකාන්තයෙන්ම මනුෂ්‍යත්වය ඉක්‌මවූ අයෙක්‌ බව හඟිමි. එසේම ඔබ වැනි උතුම් අයෙක්‌ හට මගෙන් උපකාර, අනුග්‍රහ අවශ්‍ය බවක්‌ද නොහැඟේ. ඉදින් මෙලෙස මා සොයා පැමිණීමේ අභිලාෂය කුමක්‌ද?
“මහරජ ඔබ ඉතා බුද්ධිමත් මනුෂ්‍යයෙකි. එසේම ඔබ මෙලොව තබා සියලු සක්‌වල තුළද නොවන්නා වූ භාග්‍යවන්ත රජෙකි. ඔබ තරම් සුපින්වත්, මිනිසකු කොතැනක හෝ නොවන්නේමය. ඔබ වහන්සේගේ සුජාත පුත්‍ර වූ සිදුහත් ගෙවී ගිය වෙසක්‌ පුන් පෝදා බුද්ධත්වයට පත් වූ සේක. එවක්‌ පටන් උන්වහන්සේ ගෞතම නම් බුද්ධ වෙති. කිසිදු මිනිස්‌ ප්‍රාණියකු නොදත්තේ නමුදු පෙර රාත්‍රිය මුළුල්ලෙහි ඒ අසමසම අසාමාන්‍ය බුදුගුණයෙන්ද බුදු තේජසින්ද සකල ලෝ ධාතුවම කම්පා වී ගියේය. මහපොළොව සැලී උන්වහන්සේට පූජා කළේය. දෙව්බඹ සුරයනාදීහු සාදු නද වැසි වැස්‌වූහ. වසවර්ති මරුද උන්ගේ දස බිම්බරක්‌ සේනාවෝද, මාර දුහිතෘහුද පැරද පලා ගියහ. එකවර සියලු අවා ගිනි නිවී ඒ මත සියපත් සුපිපුණි. දෙව් බඹුන් සහිත මෙලොවෙහිද වෙනත් සියලු සක්‌වලද බුදුන් වහන්සේ තරම් ශ්‍රේෂ්ඨයකු, විශිෂ්ටයකු නොමැත්තේය. උන්වහන්සේ අරහත් වන සේක. ශාස්‌තෲ වන සේක. සම්මා සම්බුද්ධ වනසේක. මෙවක්‌ පටන් සියලු ලොව අඳුරු නැසෙයි. මරණය අමරණීය වෙයි. ඒ උතුම් බුදුන් වහන්සේගේ පුවත ඔබට දන්වනු වස්‌ පැමිණි මම සහම්පති නම් මහා බ්‍රහ්මරාජයා වන්නෙමි.
එසේ කියූ මහා බ්‍රහ්මයා ක්‍ෂණයකින් අතුරුදන් වනු රජු දුටුවේය. සුදොවුන් මහරජු තුළද අප්‍රමාණ සොම්නස්‌ සිතිවිලි පහල විය. කුමර වියෙහි සිටම සිදුහත් ගෞතමයන් තුළ වූ අධිෂ්ඨානය එලෙස මුදුන් පමුණුවා ගැනීමට හැකිවීම පිළිබඳවද සුදොවුන් රජු මහත්සේ ප්‍රමෝදයටද පත් විය.

ගාමිණී සුමනසේකර
05. වෙළෙඳ දෙබෑයෝ බුදුන්ට විලඳ පූජා කරති ...
3. මැද මරඟන රැඟුම් - නිසලය මුනිඳු මනරම් ...
IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.