(36) කර්මය හා පුනර්භවය

මහ නායක හාමුදුරුවනේ, අපේ ජීවිතවල සැප දුක පවතින්නේ, අප කළ පින් පව් අනුව ද?

ඔව්. ඒ සඳහා, සසරේ විවිධ ආත්මභාවවලදී අප කළ කී දේ බලපානවා. එහිදී, සිතා මතා කිසියම් ක්‍රියාවක් කළා නම්, එයින් කර්මයක් උපදිනවා. යහපත් ක්‍රියා කර්ම මඟින් සැපතකුත් අයහපත් ක්‍රියා කිරීම මඟින් දුක් කරදර විපත් ආදියත් විඳින්නට සිදු වෙනවා. බුදු, පසේබුදු, මහරහත් ආදි තත්ත්වයන්ට පත් වූ උතුමන්ට පවා මේ ධර්මතාවය බල පැවැත්වෙනවා.

අපේ ගෞතම බුදුරදුන්ට ද බුදු බව ලැබූ පසුවත් විවිධ කරදර සිදුවූයේ මේ නිසායි. ඒ බව ‘අපදාන පාලියෙහි – පිලෝතිකාපදානයෙහි’ විස්තර කර තිබෙනවා. සෘද්ධිමතුන් අතර අගතැන්පත්වූ අග්‍රශ්‍රාවක මුගලන් මහරහතන් වහන්සේටත් හොරු කණ්ඩායමකට හසු වී යතුරු සිදුරෙන් පැන ගියද, කරදර පීඩා විඳීමට සිදුවූයේ පූර්ව ආත්මභාවවල කළ අකුසල කර්මයක් හින්දායි.

ථේරගාථා, ථේරී ගාථා හා ආපදාන පාලියේ, බුද්ධ ශ්‍රාවක ශ්‍රාවිකාවන් ඔවුන්ගේ පූර්ව ආත්මභාවවල කළ කුසල්, අකුසල් ක්‍රියා කාරකම් හේතුවෙන් අත් වුණ යහපත් අයහපත් ප්‍රතිඵලයන් ගැන විස්තර කෙරෙනවා. බුදුරදුන් තමන් වහන්සේට එලෙස මහා පුරුෂ ලක්‍ෂණ බොහොමයක් හිමිවූයේ, පෙරභවවලදී කළ සුචරිතයන් නිසා බව ‘දීඝ නිකායේ – ලක්‍ඛණ සූත්‍රයෙහි’ දේශනා කොට තිබෙනවා. යසෝදරාවන් ගැයූ නරසීහ ගාථාවලත් උන්වහන්සේගේ එම සුවිශේෂී ගුණ-රුව ගැන කියැවෙනවා.

දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණ

බුදුරදුන් එම දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණ ලැබීමට කළ පින් සහ එයින් ලද යහපත ගැන විස්තර වෙන්නේ කොහොමද?

තමාට ලද දේ බෙදා හදා ගෙන වළඳමින්, පිදිය යුත්තන්ට පුද සත්කාර කරමින් හා කුසල් දහම් රැස් කිරීමේ පිනෙන් බුදුරදුන් ‘සුපතිට්ඨිත පාද ලක්‍ෂණයෙන්’ යුක්ත වුණා. එමගින් මුළු යටිපතුලම බිම ස්පර්ශ වීමෙන් ලිස්සීමක් පා පැකිලීමක් හෝ වැටීමක් කිසිවිටක සිදු නොවුණා.

අනුනට රැකවරණය සැලසීම, දන්දීම හා හිතසුව පිණිස ක්‍රියා කිරීම නිසා යටි පතුළ නම්වළලු (චක්‍රාකාර) සටහන් ආදියෙන් යුක්ත වුණා. ඒ පින් බලයෙන් පරිවාර සම්පත්, මහා පිරිස් බලය සහිතව සැරී සැරීමේ මහා ආනුභාවයක් බුදුරජාණන් වහන්සේට හිමි වුණා.

පවින් වැළකී, සත්ව කරුණාව දැක්වීම හා දඬු මුගුරු -අවි ආයුධ පරිහරණ නොකිරීමේ පින නිසා දිගු විලුඹු ඇති, මනා බාහු යුග්මයක් හා මෘදු මොළොක් ඇඟිලිවලියන් සමනවිත වුණා. එපිනෙන් දෙව්, මිනිස් බ්‍රහ්ම මාර හෝ වෙනයම් කෙනෙකුට බුදුරදුන්ට අන්තරාවක් කරන්නට බැරි වුණා.

රස තෘෂ්ණාවේ නොඇලී ප්‍රණීත ආහාර පාන දන්දීමේ පිනෙන් සිරුරේ ඇට නහර පිටතට මතු නොවී මසින් පිරී ‘සත්තුස්සඳ’ (සත් තැනක් පිරිපුන්ව) ලක්‍ෂණයෙන් යුක්තව පිහිටියා. එමඟින් බුදු රදුන්ට ප්‍රණීත ආහාරපාන නොඅඩුව ලැබුණා.

මෙලෙස දානය, පි‍්‍රයවචනය, සමානාත්මතාව හා අර්ථ චර්යාව යන සතර සංග්‍රහ වස්තූන්ගෙන් සසර බොහෝවිට සත්වයාට සංග්‍රහ කළ පින හේතුවෙන් අතුල් (අල්ල) හා පතුල් (පතළ) මෘදු මොළොක්බවින් හා අතේ හා පාදවල ඇඟිලි පුරුක් සමානව පැවතුණා. මේ පින් බලයෙන් සියලු සත්ත්වයන්ගේ නිරතුරු වන්දනාමානයට උන්වහන්සේ පාත්‍ර වුණා.

සසර මඟ දී හමුවුණ බොහෝ සතුනට දෙලොව දියුණුව පිණිස සෙත සැලසූ පිනෙන් විලුඹ් ඇට, පාද මනාසේ හැසිරවීමේ පහසුවද නිල් අඳුන් පැහැයෙන් යුතු ලෝම කුණ්ඩලාභරණයක් සේ වක් වී දකුණට කැර කැවී පිහිටා තිබුණා. ඒ මහා පින් බලයෙන් සියලු ලෝකයා ඉදිරියේ අග්‍ර වී, ශ්‍රේෂ්ඨ වී උත්තම වී වැඩ සිටියා.

පාරමී පුරන සමයේ දී ගුරුවරයකුව ඉපිද සිසු දරුවන් වෙහෙසට පත් නොවන සේ සිප් සතර ඉගැන්වීමේ පිනෙන් හා තවත් භවයකදී පින්පව් ගැන නොදන්නා දේ නිහතමානීව ගුරු බැතින් යුතුව අසා දැන ගැනීමේ පිනෙන් ක්‍රමවත් වටකුරු අක් උඩුකුරු වූ රෝම කොණ්ඩා මත පිහිටියා. එමෙන්ම සම ඉතා සියුම්ව පැහැපත්ව පිහිටා තිබුණා. උපභෝග පරිභෝග ලබන්නට මෙන්ම මහා ප්‍රඥාවන්තයෙකු වීමට භාග්‍යය ලැබීම ඒ පින් හේතු වුණා.

ඔය මං පැහැදිලි කර දුන්නේ, අපේ බුදුහාමුදුරුවෝ සතුව පැවති 32ක් වූ මහා පුරුෂ ලක්‍ෂණවලින් ලක්‍ෂණ 12 පමණයි. මේ වගේ තවත් මහා පුරුෂ ලක්‍ෂ 20ක් පමණ උන්වහන්සේට හිමි වී තිබුණ බව අප අමතක නොකළ යුතු යි.

කළ පිනෙන් ලද අනුහස්

එහෙමනම්, බුදුරදුන් සතු වූ සෙසු මහා පුරුෂ ලක්‍ෂණ විස්ස පිළිබඳව කෙටි හැඳින්වීමක් …. 

උන්වහන්සේ සසරේ දී කළ පින් මහිමය නිසා ලද එම දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණ සියල්ලම ඉතා සුවිශේෂී වෙනවා. ඒ නිසා ඉතිරි 20ත් මෙලෙස සැකෙවින් හෝ විස්තර කිරීම වැදගත් යැයි හැඟෙනවා. ඒ වගේම මේ හරහා සමාජයට හොඳ පණිවුඩයක් සැපයෙනවා.

තරහ කේන්තිය, ද්වේෂය හා ක්‍රෝධය පාලනය කර ගනිමින් සත්වයන් සමඟ මෙත් කරුණා මෘදු ගුණයෙන් සහජීවනයෙන් විසීමේ පින් මහිමයෙන් රන්වන් සමක් හා මහා පි‍්‍රයජනක ස්වරූපයක් උන්වහන්සේට හිමි වුණා. සේද ඇතිරිලි, පලස් ආදිය දන් දෙමින් සියල්ලන්ටම සමානව සොයා බලා සැලකීමේ පිනෙන් උසට සරිලන මහතින් යුක්ත වුණා.

එසේම, වෛරයෙන් හා කෝපයෙන් කිසිවෙකු දෙස රවා, ඔරවා නොබැලූ පිනෙන් නිල් මැණික් වැනි ඉතා කාන්තිමත් දෑසකට හිමිකම ලැබුණා. බිලිපූජා, සත්ව ඝාතන නොකළ පිනෙන් දිවේ සිට උගුර දක්වා සියලු රස දැනෙන හත්සියයක් පමණ රස නහර සමව පිහිටන්නට වුණා.

නොපැකිලිව දාන, සීල, භාවනා යන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා සඳහා පෙරමුණ ගනිමින් හා හැමවිටම සත්‍යවාදී වීමේ පින් මහිමයෙන් සිරස (හිස) නළලත ද පිරිපුන්ව මනාසේ පිහිටමින් ඌර්ණ රෝමයක් ද දිස්වන්නට තරම් භාග්‍යවන්ත වුණා.

මිනිසුන් කෙටවීම, කේලාම්, මුසාබස් කීම හා හිස් වාගාලාප පරුෂවචන කීම ආදියෙන් සපුරා වැළැකීමේ මහා පිනෙන් මුවෙහි දත් අතර කිසිවක් නොරැදෙන පරිදි ළංව උඩු ඇන්දේ හා යටි ඇන්දේ දත් 20 බැගින් සමානව දත් 40කින් යුක්ත වුණා. මහා හිමාලයේ වෙසෙන කුරවී කොවුලෙකුගේ (පක්‍ෂියකුගේ) හඬ මෙන් ඉතා සුමිහිරි මධුර කටහඬක් ද ඒ පිනෙන් හිමි වුණා.

මීට අමතරව, හොරට කිරුම් මිනුම් කිරීම, සුරා සූදුවට උදව් කිරීම, අනුන් තලා පෙලා මුලා කිරීම හා කිසිදු මිථ්‍යා ආජීවයක් කිරීම ආදී සියල්ලෙන්ම වැළකී යහපත්ව ජීවත්වීමේ අනුහසින් සිංහ සෙයියාව (පෙනුම) සුදු බුදුරැස් විහිදෙන සිනාව, ඉතාම මනහර පි‍්‍රයජනක බව ලැබීමට හේතු වාසනා වුණා.

කර්ම විපාක

හොඳයි, එතකොට උන්වහන්සේට බුදුවුණ අවසන් ආත්මභාවයේ දී ඇතැම් කර්ම විපාක පල දුන්නේ කොහොමද?

ඒ ගැන බොහොම පැහැදිලිව ‘අපදාන පාලියෙහි පුබ්බකම්ම පිළෝතිකාපදානයෙහි’ මෙසේ දක්වා තිබෙනවා.

අපේ ගෞතම බෝධිසත්වයන් වහන්සේ කාශ්‍යප බුදුරදුන් දවස ජෝතිපාල නම් මානවයකුව ඉපද සිටියදී මේ මුඩු මහණාට සම්බෝධි ඤාණයක් කොයින්දැයි එය ඉතා දුර්ලභ එකක් යැයි පවසා පඬිවදන් දී (මානාධිකව) කටයුතු කිරීමේ ක්‍රියාවේ කර්ම විපාකය පල දෙමින් උන්වහන්සේට උරුවෙල් දනව්වේ දී පුරා සත්වසක් දුෂ්කර ක්‍රියා කිරීමට සිද්ධ වුණා.

තවත් ඈත භවයකදි මුණාළී නම් ශුද්‍ර කුලයක ඉපද සිටියදී, ‘සරභූ’ නම් පසේ බුදුරදුන්ට නින්දා කළ පවින් මියගොස් නිරයේ බොහෝ කලක් දුක් විඳ එයින් ද නොනැවතී බුදු වූ අවසන් ආත්මයේ දී පවා එම කර්මය මතු වී සුන්දරී පරිබ්‍රාජිකාව නිසා නින්දා අවමන් විඳින්නට සිදුවුණා.

එසේම, චින්චමානවිකාව නිසා අවමන් ලැබුවේද, දේවදත්තයන් හිසට ගල් පෙරළීමට උත්සාහ කළේ ද, දුනු හේවායන් යෙදුවේද, නාලාගිරි හස්තියා ඉදිරියට කඩා වැදුණේ ද වේරංජාවේ වස්තුන් මාසයේම යව අනුභව කිරීමට සිදුවීමද විටින් විට මතු වූ පිට කොන්දේ වේදනාව ද, ලේ අතීසාරය රෝගයෙන් පීඩා විඳීමට සිදු වීමද උන්වහන්සේ ඉතා ඈත අතීත ආත්මභාවවලදී සිදු කළ නොයෙක් කර්ම විපාක හේතුවෙන් සිදු වූ අයුරු එහි විස්තර කෙරෙනවා.

(37) පුද්ගල විවිධත්වයට සහ සමාජ විෂමතාවයට හේතු කවරේ ද ?
(35) සසර සරණ ආදර බැදීම්
IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.