Skip to main content

353 හිරි ජාතකය

තවද එක් සමයෙක් හී සකල ගුණ නිදාන වූ තිලෝගුරු බුදු රජානන් වහනසේ සැවැත් නුවර නිසා ජේතවනාරාමයෙහි වැඩ වසන සේක් පසුබට වීර්ය ඇති භික්ෂූන් වහන්සේ අරබයා මේ ජාතකය දක්වා වදාල සේක.

ඒ කෙසේද යත්,

ඒ පසු බට වීර්ය ඇති භික්ෂුන් වහන්සේ පළමු පරිද්දෙන්ම අව‍ශේෂ භික්ෂූන් වහන්සේ විසින් බුදුන් සමීපයට කැඳවාගෙන අවුත් පෑ කල්හි බුදුහුගේ භික්ෂූන් වහන්සේට ආමන්ත්‍රණය කොට එම්බල තෝ මෙබඳු මාර්ග ඵලදායක ශාසනයෙහි මහණව විර්ය හරණෙහිද. ලක්ෂයක් වටනා ඝන රන් තලියෙන් පිරිහුනා වූ සේරිවාණිජ වෙළෙන්දා මෙන් බොහෝ කාලයක් ශෝක කරන්නේ වේදැයි වදාරා තුෂ්ණිම්භුතව වැඩ උන් සේක. එකල්හි එතැනට රැස් වූ භික්ෂූන් වහන්සේ සකසා හැඳ පෙරව පල භාරයෙන් නැමනා වූ කදැලි වෘක්ෂයක් මෙන් බුදු රජානන් වහන්සේට අභිමුඛව නම් නච බන්ධාඤලීව දොහොත් මුදුනෙහි තබා භක්ති ප්‍රේමාති භාර වනෝත්තම මාංගයෙන් නමස්කාර කොට සිට ඒ අර්ථය ප්‍රකාශ කරන පිණිස සර්වඥයන් වහන්සේට ආරාධනා කළ සේක. එවෙලෙහි බුදුරජානන් වහන්සේ අන්‍යභවයෙන් සැඟවුනාවූ කාරණය ප්‍රකාශ කොට ඉකුත් වත් දක්වා වදාල සේක.

මෙහි වර්ථමාන කථාවත් යට කියන ලද ජාතකවල පෙනෙන්නේය. මෙහි වනාහී බරණැස් නුවර සිටානන්ගේ පිටිසර විශ්වාසවූ සිටානකෙණෙක් ඇත්තාහ. පිටිසර සිටානන් එවු පඬුරු බෝධිසත්වයෝ විකොට මල් යවන්නාහ. බෝධිසත්වයන් එවු බඩුවට නින්දාකොට නොවිකුණන්නාහ. බෝධිසත්වයන්ගේ මනුෂ්‍යයෝත් අපගේ සිටානන් වහන්සේගෙන් ගෙණගිය බඩු නො විකුට නින්දා කියනකල අපිත් උන්ගේ බඩු විකුණන්නේ නැතැයි කියා නො විකුට උන් යවා එපවත් බෝධිසත්වයන්ට කීහ. බෝධිසත්වයෝ එපවත් අසා මිත්‍රධර්මය තරකොට කියන්නාහූ මෙසේ බරණැස් නුවර සිටානෝ තමන් සමීපයට පැමිණියාවූ මනුෂ්‍යයන්ට කළමනා දෙය නොකරන්නාවූ මනුෂ්‍යයෝ ප්‍රත්ත්‍යුපකාර නොසලක්නාවූ යයි කියන්නාහූ ලජ්ජාව ඉක්ම මිත්‍රභාවයට පිළිකුල් කරන්නාවූ මම නුඹ වහන්සේගේ මිත්‍රයෙමි හුදක් වචන මාත්‍රයකින් කියන්නාහු දෙමි කෙරෙමි යන වචනයට සුදුසුවූ උත්තම ක්‍රියා නොකරන්නාවූ මෙබඳූවූ පුද්ගලයා මේ මාගේ මිත්‍රයයි නො දතයුත්තේය. යම් සත්වයෙක් යමක් කෙරේ නම් එම කියාද යමක් නොකරේනම් නොකියාද නොකරන්නාවූ කාරිය කියන්නාවූ සත්වයෝ නුවනැත්තාවූ සත්වයෝ මූ කියන්නේ නැත්තයයි තමන්ගේ විශේෂ වූ ප්‍රඥාවෙන් දැන ගන්නාහ. යම්සත්වයෙක් තෙමේ ඇම කල්හිම අප්‍රමාදව භේද කිරීමෙහි සිතිවිලි ඇත්තේ ද රන්ධ්‍රගවේෂිව නුගුණ සොයන සුළුද එසේවූ සත්ව තෙමේ මිත්‍රයෙක් නොවන්නේය. යම් සත්වයෙක් තෙමේ මෙර මා විසින් කොතෙක් නුගුණ කියාත් බිඳූවාලීය නොහැකිවේද ලොහිලා වැඩු පුත්‍රයෙකුමෙන් යම් මිත්‍රයෙකු සමීපයෙහි සෙනහිවැ වෙසේද?. එසේවූ සත්වතෙම මිත්‍ර වන්නේය. යම් සත්වයෙන් තෙමේ තමා විසින් කෙතෙක් නුගුණ කියාත් බිඳූවාලීය නොහැකිවේද, නුවනැත්තාවූ කළ්‍යාණ මිත්‍රය හා සමඟ මිත්‍රභාවය ප්‍රීති ප්‍රාමෝදයද උපද වන්නේය. ප්‍රශාසාද එලවන්නේය. මෙලෝ පරලෝ දෙකෙහි කායික චෛතසික සැපයද ඵල වන්නේය.
එසේහෙයින් මෙබඳූවූ විපාක නිශංසය දන්නාවූ කුල පුත්‍රතෙමේ ප්‍රඥාවන්ත උත්තමවූ පුරුෂයන් විසින් ඉසිළිය යුතුවූ දානය කුල පුත්‍රතෙමේ ප්‍රඥාවන්ත උත්තමවූ පුරුෂයාන් විසින් ඉසිලිය යුතුවූ දානය ශිලය භාවනාවය සංඛ්‍යාතවූ බලවත් ප්‍රිතියට කාරණාද මෙලොවින් පරලොවින් ප්‍රශංසාද කයට සිතට සැපද වන්නේය. නුවනැත්තන් හා සමග මිත්‍රභාවය බිඳ නොපියන්නේය. කායවිවේක චිත්තවිවේක උපාධිවිවේක සංඛ්‍යාතවූ රසය අනුභව කොට ඒ විවේක නිසා උපන්නාවූ සොම්නස් සාරසැප ආදිය අනුභව කෙරෙමින් නුවනැත්තාවූ සත්වතෙමේ සියළු කෙලෙස් පරිලාභයෙන් හුන් බැවින් කාය චිත්තයද රථරහිත වන්නේයරාගාදී කෙලෙශයන් නැති බැවින් නිෂ්පාපී වන්නේයයි මෙසේ මහබෝසතානෝ පාපමිත්‍ර සංසර්ගයෙන් කළකිරී මට පැමිණියාවූ විවේකාවාස අමෘත්තමහා නිර්වාණයට පමුණුවා දේශනාවෙහි කුළු ගැන්වූවයි වදාරා මේ හිරි ජාතකය නිමවා වදාළසේක.

එසමයෙහි බරණැස් නුවර සිටුව උපන්නෙම් බුදුවූ මම් ම යයි වදාළසේක.

 

 

 
උපුටා ගැනීම – www.jathakakatha.lk

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.