Skip to main content

350 සවර්ණ මෘග ජාතකය

තවද ශක්‍යකුල තිලකවූ සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි දෑගසව්වන් වහන්ස්ට උප්ථාන කරණ එක්තරා කුලයක් අරභයා මේ ජාතකය දක්වන ලදි.

ඒ කෙසේද යත්,

දෑගසව්වන් වහන්සේට උපස්ථාන කරණ එක්කුලයක දුවනිකෙනෙක් ඇත්තාහ. ඌ තුමු විශිෂ්ට රූ ඇත්තාහ. බැලුවන්ට ප්‍රසාදනියහ. තුණුරුවන්ම මානය කොට වාසය කරන්නාහ. උපාසිකා ව දවසරිනාහ. එකියන කුමාරිකාව තිර්ථක කුලයෙක ඇත්තෝ තමන්ගේ පුතනුකෙනෙකුන්ට විවාහයට යයි කියා විචාළාහ. ඒකිහන කුමාරිකාවගේ දෙමව්පියෝ කියන්නාහු තොපි ඇම නම් පරම මිත්‍යාදෘෂ්ටිය. එසේ වුවන්ට අපගේ දරුවන් පාවා දුන් කල උන් සිතන සේ සංඝයා වහන්සේ වැඳ පුදාගන්ට දන්දි ගන්ට නුපුළුවන. එසේ හෙයින් තොපට පාවා නොදෙම්හය යි කීහ එබස් අසා තිර්තක කුලයේ ඇත්තෝ කියන්නාහූ. තොපගේ දුවනියෝ අපගේ ගෙට ආ කල තමන් සිත සැටියේ දන් දෙත්වයි සිල් රකිත්වයි සංඝයා වහන්සේ වැද පුදා ගණිත්වයි ඊට අපගෙන් වාහකුලයෙක් නැතැයි කීහ. එසේවී නම් පාවා ගණුවයි මහමගුල් කොට සරණ පාවා දුන්හ.එකියන කුමාරිකාවත් සරණ ගිය නොබෝ කලකින් තමාගේ වල්ලභයාට කියන්නී ස්වාමිපුත්‍රයානෙනි. දෑගසව්වන් වහන්ෙස් දැක වැඳ පුදා දන් දෙන්නා කැමැත්තෙමි කීවාය. එකියන පුරුෂයාත් යහපතැයි කීයේය. එකියන උපාසිකා සැරියුත් ස්වාමින් මුගලන් ස්වාමින් වැඩමවා දන් දී දෑගසව්වන් වහන්සේට කියන්නී. යම් දවසක් මේ ගෙයි ඇත්තෝ තමන්ගේ මිත්‍යාදෘෂ්ටිය අරිද්ද. ඒ තාක්කල් මේ ගෙට සිඟන්නට වැඩිය මැනවැයි කිවා, යහපතැයි කියා ඒ ගෙට සිඟා වඩිනාසේක. එසමයෙහි තොමෝ කීප දවසක් පලා යන්නා තමාගේ ස්වාමිපුත්‍රයාට කියන්නී ඇයි දෑගසව්වන් වහන්සේ දවස්පතා වඩිනාකල උන්වහන්සේලා වැඩිකල මට කියාලවයි කීයේය. එකියන ස්ත්‍රින් දෑගසව්වන් වහන්සේට අසුන් පණවා වළදා අන්තයහි තමාගේ ස්වාමිපුරුෂයාට කියේය. එකියන පුරුෂයාත් එතනට අවුත් දෑගසව්වන් වහන්සේ වැඳලා එකත් පස්ව උන්නේය.ඉන් දම්සෙනෙවි සැරියුත් මහසවාමි එකියන කෙළෙඹි පුත්‍රයාට දාන කථා ආදීවූ කථායෙන් ධර්මදේශනා කළසේක.

ඒ බණ අසා එකියන පුරුෂයාත් තමාගේ මිත්‍යාදෘෂ්ටිය ඇර එවක් පටන් දන්දෙමින් සිල්රැක වාසය කරන්නාහ. මේ නියායෙන් කල්යත් එකියන පුරුෂයාගේ දෙමව්පියෝ පටන් නෑ වර්ගයාද යටත් පිරිසෙයින් කෙල්ලන් කොල්ලන් දක්වා මිත්‍යාදෘෂ්ටිය හැර සම්‍යක් දෘෂ්ටියෙහි පිහිටියෝය. එක් දවසක් සැරියුත් ස්වාමින් වදාළ ධර්ම දේශනායෙන් එකියන පුරුෂයාත් ස්ත්‍රියත් දහසක් නයින් ප්‍රතිමණ්ඩිතවූ සෝවාන් ඵලයෙහි පිහිටියේය. පසුව කල්යාමකින් එකියන ස්ත්‍රී කියන්නී ස්වාමිපුත්‍රයානෙනි. මා ගිහිගෙයි ඉන්ට අභිප්‍රාය නැත. මහණ වන්නා කැමැත්තෙමි කීව. එකියන පුරුෂයාත් යහපතැයි තොපිත් මහණවෙව, මමත් මහණවෙමියි මහත්වූ පෙළහරින් තමන්ගේ භාර්යාව මෙහෙණ වරට ගෙණගොස් මහණ කරවා තුමූත් බුදුන් කරා ගොස් මහණවූශ. මහණ වූ නොබෝ කලකින් මෙහෙණිත් එකියන මහණත් සියළු කෙලෙසුන් නසා රහත්වූහ. මේ කියන කථාව දම්සභා මණ්ඩපයෙහි රැස්වූ මාළුවරුන්වහන්සේ අසවල් මෙහෙණින්න නිසා තමාගේ පුරුෂයා ගලවා තමනුත් ගැලවුනේ වේදැයි කිය කියා වැඩ උන් තැනට සර්වඥයන් වහන්සේ වැඩ වදාරා මහණෙනි. මා එන්නාට පූර්වභාගයෙහි කිනම් කථාවකින් යුක්තව උනුදැයි විචාරා එපවත් අසා මහණෙනි දැන්මතු නොවයෙි එකියන ස්ත්‍රි තමනුත් ගැලවි මහත්මයනුත් ගළවා ගත්තෝ වේදැයි වදරා ඒ කෙසේදැයි ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකතුත් වත් දක්වා වදාළ සේක.

ඒ කෙසේද යත්,

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙනෙකුන් රාජ්ජය කරණ සමයෙහි බෝධිසත්වයන් වහන්සේ මෘගව උපන්සේක. ශරීරය රන් වන් වූ පැහැයෙන් යුක්තව. සතර කුකුල ලාක්‍ෂාරෂයෙන් තෙමාළූවාක්මෙන් රක්තය. මුඛය රත්පස්වටක් මෙන් රක්තිය. අත්දෙක රිදීපැහැයෙන් හා සමානය. නේත්‍රහි ඉන්ද්‍ර නීල මාණික්‍යය දෙකක් මෙන් වුයේය. මේ නියායෙන් රුවින් අග්‍රව ඉපිද මේ නියාවට විශිෂ්ටවූ රූපයෙන් යුක්ත මෘගංගනාවකුත් බෝධිසත්වයන්ට බිරින්ද ව ඉන්නාහ. අසූදහසක් මුවෝ සේවාකම් සිටිනාහ. එසමයෙහි එක් වැද්දෙක් වරපටින් මළලාළූයේය. බෝධිසත්වයෝ අසූදහසක් මුවන් පිරිවරා ගොචරග්‍රහණය කරන්නාවු වැද්දා ළූ මළේ පළමු යන්නාවූ බැඳූනාහ. මළ බැඳූනු ගමනේ මළ කඩාගත හැකැයි බෝධිසත්වයෝ පයගසලාා ඇදළූ ගමනේ පය සම කැඩින දෙවනුව ඇදළූ ගමනේ මාංශ කැඩින. තුන්වෙනිව ඇදළූ ගමනේ නහරවල් කැඩි ඇටයේ තරව ඇසිර වැදගත් ගමනේ බෝධිසත්වයෝ මහණ භයින් භයපත්ව බංරාවයෙන් මහත්කොට ඇඬුහ. ඒ අඬ අසා අසුදහසක් මුවෝ භයින් තැතිගෙණ ඒ ඒ අත දිව පුහ. බෝධිසත්වයන්ගේ භාර්යාවූ මාගංගනාවත් එපරිද්දෙන්ම දිව මුවන් අතුරෙන් තමාගේ ස්වාමිපුත්‍රවූ මුවානන් නොදැක මේ භය පැමිණියේ මාගේ ස්වාමිපුත්‍රයානන් වහන්සේටයයි යන සිතින් මළ බැඳූනු බෝධිසත්වයන් ලඟට අවුත් කියන්නාහු රන්වන් පැහැයක් ඇති මුවරජ්ජුරුවෙනි මා හුදකළාකොට මට දුක් නොදි මහත්වූ වේගයෙන් මළකඩා පියවයි කීහ. එවිට මුව රජ්ජුරුවෝ කියන්නාහූ භද්‍රාව මා කරණ යම් උත්සාහයක් කෙළෙමි. පය සම් මස් නහර කැඩි ඇටයේ මන්ද ඇසිරින.

එසේ හෙයින් මන්ද කඩාගත නොහෙමැයි කීහ. එවිට මුවදෙන් කියන්නී ස්වාමිනි, නුඹ වහන්සේ නොබව මැනව, මාගේ ප්‍රාණය පරිත්‍යාග කොට වී නමුත් නුඹ වහන්සේ රකිමි. නොබාමැනවැයි කියා ඇඟ වතුරුවාගෙණ සිටි කලට වැදි කල්පාන්ත වහ්නියක්මෙන් තොප් ගත් අත් ඇතිව එන්නාවුන් දැක මුවදෙන් ස්වාමිනි, වැදිපුත්‍ර එන්නේය. නොබව මැනවයි බෝධිසත්වයන්ට කියා වැද්දවු ඉදිරියට ගොසින් නමස්කාර කොටලා සිට කියන්නී කියන්නී වැදිපුත්‍රයානන් වහන්ස. මේ මුවානෝ රන්වන්වූ ශරීර ඇත්තාහ. දස දහසක් මුවන්ට නායකයෝය. විශිෂ්ඨවූ රූ ඇත්තාහ. මාගේ ස්වාමිපුත්‍රයානන් වහන්ස, නොමරා ඇරපියව. ඉදින් මරන්ට සිතව් නම් මෙසේ කොල අතු කඩා අතුට මා මරා මාංශ ඇරගෙණ පසුව මාගේ ස්වාමිපුත්‍රයානන් වහන්සේ මරවයි කීහ. එවිට වැදිපුත්‍රයා මහාසමාධිව නැතත් කාලයක් මුවන් දුටු විරිමි මුවන් මනුෂ්‍යයන්ගේ භාෂාවෙන් කථා කරන්නවුන් ඇසුවිරිමි යි කියා කියන්නේ තොපගේ ස්වාමිපුත්‍ර වූ මුවත් තොපත් නොමරා අරිමි. තොප නොබව යි කියා මුවාලඟට අවුත් පය බැඳූනු මන්ද ගළවා නහරින් නහර හා මසින් මස් හා සමගින් සම හා තබා පිරිමැද ලේ සෝධා ළූ ගමනේ වැද්දන්ගේ මෛත්‍රී බලයෙන් හා බෝධිසත්වයන්ගේ පාරමිතාවෙන් හා මුවදෙනගේ කරුණාවෙන්ද කිසි කැලලක් නැතිව සුවච සැපයෙහි සිටියාහ. එවිට මුවදෙන් වැද්දවුට කියන්නී වැදිපුත්‍රයානෙනි. අපට වූ සමාධියෙන් තොපගේ අඹුදරුවන්ටත් සතුටුවේවයි ආවඩා සිටියහ. බෝධි සත්වයෝත් තමන් ගොචර භුමියෙහි දුටු මාණික්‍යරත්නක් වැද්දවුට දී වැදිපුත්‍රයානෙින, තෙල ඇරගෙණ විකොට කව, ප්‍රාණඝාත නොකරව යි අවවාද වදාරා වනාන්තරයට ගියසේක. බුදුරජානන් වහන්සේ ස්වර්ණමෘග ජාතකය පූර්වාපර සන්ධි ගළපා නිමවා වදාළසේක.

එසමයෙහි වැදිපුත්‍රයා ඡන්න නම් අමාත්‍යයාය. ඒ කියන මුවදෙන් නම් මේ භික්ෂූණිය. එසමයෙහි මුවරජ නම් බුදුවූ මම්ම යයි වදාළසේක.

 

 
උපුටා ගැනීම – www.jathakakatha.lk

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.