337 කේසව ජාතකය

තවද දේවාතිදේව වූ සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි විශ්වාස භෝජනයක් ඇරභයා මේ ජාතකය දක්වන ලද.
අනේ පිඬු මහ සිටානන්ගේ ගෙයි දවස් පතා පන්සියයක් භික්ෂූන් වහන්සේ වළදන සේක. සෙසු සංඝයා වහන්සේත් අවිච්ඡින්නව එලඹෙන සේක. සියලු සංඝයා වහන්සේට අනේ පිඬු මහ සිටානන්ගේ ගෙය නම් සතර මං සන්ධියෙහි සාරා තිබූ පැන් පොකුණක් විය. මේ නියාවට දවස් යවන කල්හි එක් දවසක් කොසොල් රජ්ජුරුවෝ නුවර ප්‍රදක්‍ෂිණාකොට නික්මෙන කල්හි බොහෝ සංඝයා වහන්සේ අනේ පිඬු මහ සිටානන්ගේ ගෙට වඩනා නියාව දැක උන් වහන්සේලා බොහේව අනේ පිඬු මහ සිටානන්ගේ ගෙට වඩිනේ කුමක් නිසා දැයි විචාරා නිත්‍ය සංඝයා වහන්සේ පන්සියයක් දෙනා වහන්සේ වළඳන්නට උවමැනැවයි සිතා සර්වඥයන් වහන්සේ පන්සියයක් සංඝයා වහන්සේට රසමසවුලෙන් යුක්තවූ භෝජනය වලඳගන්නාහ.මේ නියාවට දන්දෙන්ට සැලසූ පමණක් විනා අසවල් කෙණෙක් සංඝයා වහන්සේට විශ්වාසයෙන් වළඳවයි නො සැලවූහ. ඇසූ මෙවෙහවර නියාවටය පාත්‍රා කටයුතු කොට පිළි ගන්වාපියන්නාහ. තෙනට පාත්‍රා ගෙණගොස් පාත්‍රා වල බත් ඒ උපාසකරුන්ට දි උන්ගෙන් හිත විශ්වාසයෙන් පිළිගැන්වූ යම් ආහාරයක් වළදන සේක.

එක්දවසක් කොසොල් රජ්ජුරුවන්ට බොහෝ කොට වැල වරකා අඹ දඹ ආදීකොට ඇති මධුර ඵල බොහෝ කොට ගෙණාහ. රජ්ජුරුවෝ සංඝයා වහන්සේට මධුර ඵල ජාති යවයි කියා යවුහ. සංඝයා වහන්සේ වළඳන්නට ඒ ඒ තෙනට වැඩපුසේක. එක්කෙණකුන් වහන්සේත් නොදැක රජ්ජුරවන්ට ගොසින් ස්වාමිනි එක්වහන්දැ නමකුත් නුදුටුයෙමි කීහ. රජ්ජුරුවෝ මාගෙන් දිලු භෝජනය මගේ රජගෙයිදී නොවළඳ ඒ ඒ තැනට ගොසින් වළඳන්නට කාරණා කින්දැයි සිතා සර්වඥයන් වහන්සේ අතින් විචාරම් සංඝයා වහන්සේ මාගෙන් දෙන ධානය මාගේ ගෙයිදී නොවඳා නම් ඒ ඒ තැන වළඳනසේක. කවර කාරණයකින් දැයි විචාළාහ. සර්වඥයන් වහන්සේ රජ්ජුරුවෙනි සංඝයා වහන්සේට දන්දීම නම් ආදර විශ්වාස ඇතිව පයට දිය දී පය සෝදවා දැහැට පැන්දී විශ්වාසව දන්දෙතොත් වළදනසේක. ඔවා දියට දන් දුනැයි වළඳන්ට කම් කරණ ගමනේ ව්‍යාධියෙන් නොසිදෙන්නා එතනින් පලාගොස් තමන්ට හිත විශ්වාස වූවන්ගෙන් ගොඩ ඇල් හුරුවි ආදියෙන් උළුකැන් පිසඳූන් ගමනේ ව්‍යාධි සන්සිඳූනේය. එසේහෙයින් රජ්ජුරුවෙනි සංඝයාවහන්සේට නම් ආදර භක්තියෙන් දිලු දානයම වඩිනේයයි වදාරා ඒ කෙසේදැයි ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත් වත් දක්වා වදාළසේක.

ඒ කෙසේද යත්,

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්ජය කරණ සමයෙහි බෝධිසත්වයෝ උතුම්වූ බ්‍රාහ්මණ කුලයක ඉපිද කප්ප නම්ව පඤචකාමයෙහි ආදීනව දැක හිමාලය වනයට ගොස් කේසව නම් තාපසයන් පන්දහසක් දෙනාට නායකව වාසය කරන්නවුන් දැක එකියන තාපසයන් ලඟ බෝධිසත්වයෝ කප්ප නම් තාපසව අතවැස්සන්ට ප්‍රධාන අතවැසිව හිත වාසය කරන්නාහ. එසමයෙහි කේසව තාපසයෝ වැසි සාරමස පැමිණි හෙයින් ලුනු ඇඹුල් පිණිස තමන්ගේ පන්සියයක් තාපසවරුන් පිරිවරා බරණැස් නුවරට ගොසින් එනුවර රජ්ජුරුවන්ගේ උද්‍යානයෙහිද සැතපී නිදානැගී පන්සියයක් තාපසවරුන්ගේ උද්‍යානයෙහි රඳවා වස් සාරමස උන්කල්හි වස් සාර මස ඉකුත් ගමනේ කේසව නම් තාපසයෝ අපගේ හිමාලය වනයට නික්මෙමහයි රජ්ජුරුවන්ට කීහ. රජ්ජුරුවෝ නුඹ වහන්සේ වයොවෘද්ධ සේක. වනාන්තරයේ ඉඳ ප්‍රයෝජන කිම්ද නුඹ වහන්සේගේ පන්සියයක් තාපසවරුන් යවා නුඹ වහන්සේ රැඳූන මැනවයි කීහ. කේසව නම් තාපසයෝ යහපතැයි කියා තමන්ගේ පන්සියයක් තාපසවරුන් කප්ප නම් තාපසයන්ට පාවාදී ගෙණ නායක කමට සලස්වා හිමාලය වනයට යවා රජ්ජුරුවන් කී හෙයින් රැඳූනා පමණක් විනා කේසව නම් තාපසයෝ තප්ප නම් තාපසයන්ට අධික ප්‍රේම ඇත්තාහ. ඒ ප්‍රේමයෙන් රෑ නිදිමැරීමෙන් කාපූ ආහාරය නොදිරීමෙන් කේසව නම් තාපසයන්ට රක්ත අතීසාරය ඇතිව ව්‍යාධියෙන් පිඩිතවූ කල්හි රජ්ජුරුවෝ එපවත් දැන තමන්ගේ අංග වෛද්‍යයන් පන්සියයක් ලවා වෙදකම් කරවන්නට පටන්ගත්තාහ. දවසින් දවස කේසව තාපසයෝ රජ්ජුරුවන්ට කියන්නාහූ රජ්ජුරුවෙනි. මා ලෙඩින් ගොඩ නැගෙන්නා කැමැත්තාද මේ ලෙඩින් නැසී යන්නා කැමැත්තා දැයි විචාළ කල්හි රජ්ජුරුවෝ ස්වාමින් වහන්ස සැපසේ ලෙඩින් ගොඩනැගෙන්නා කැමැත්තෙම් කීහ. එසේ වී නම් මාගේ හිමාලයෙහි කප්ප නම් තාපසයන් ලඟට මා ඇරලවා පියව, මේ ලෙඩින් ගොඩ නැගෙමි කීහ. රජ්ජුරුවෝ යහපතැයි කියා තමන්ලඟ සිටිනා නාරද නම් අමාත්‍යයෙකු කැඳවා කේසව නම් තපස්වීන් කැඳවාගෙණ ගොසින් උන් වහන්සේ හිමාලය වනයෙහි ඇරලවා එවයි කීහ. නාරද නම් අමාත්‍යයා යහපති ස්වාමීනි කියා කේසව නම් තාපසයන් හා බොහෝ තාපසවරුන් වාසය කරන්නාවූ උන්වහන්සේ පන්සලට ගෙණගොස් ළූහ.

කේසව නම් තාපසයෝ කප්ප නම් තාපසයන් දුටු අධිකවූ ප්‍රේමයෙන් ගොඩ ඇල් හුරුවී ආදියෙන් ලුනුලා දුම් නැතිව පිස වත්කළ උළුකැන් ආදර ගෞරවයෙන් වළඳවාලු ගමනේ රක්ත අතීසාරය ගුණව ගියේය. එවිට බරණැස් රජ්ජුරුවෝ නාරද නම් අමාත්‍යයා කැඳවා කියන්නාහූ අපගේ කේසව නම් තාපසයන් වහන්සේගේ ව්‍යාධිය සංසිඳූනිදෝහෝයි නියම දැන පියා එවයි යවුහ. නාරද නමි අමාත්‍යයා තාපසයන් සමීපයට ගොසින් ස්වාමිනි වෙදවරුන් පන්සියයක් ලවා වෙදකම් කරවූ ගමනේ ගුණනුවු රක්ත අතීසාරය දැන් කවර සැටියේ ගුණව ගියේදැයි විචාළේය. කේසව නම් තාපසයෝ නාරද නම් අමාත්‍යය මාගේ ව්‍යාධිය සන්සිඳූනු කාරණා අසවයි කියා කියන සේක් කප්ප නම් තාපසයන් ප්‍රිය සම්පන්නවූ පන්සලයෙහි විශේෂ ගුණ යෙන් හා කප්ප නම් තාපසයන් මා කෙරේ ඇති භක්ති ප්‍රේමයෙන් හා ගොඩ ඇල් හුරුවී ආදීයෙන් ලුනුදුන් ආදිය නැතිව පිස වත්කොට ලු උළුකැනින් මාගේ ව්‍යාධි සන්සිඳූනැයි නාරද නම් අමාත්‍යයාට කිසේක. අමාත්‍යයා කියන්නේ රජ්ජුරුවන් වහන්සේ දෙනලද සුභෝජන වූ ආහාරයෙන් ගුණ නොදී මෙසේවූ කටුක ආහාරයෙන් ගුණ වුයේ කවර කාරණයකින්දැයි විචාළේය. කේසව තාපසයෝ අමාත්‍යය භෝජනය කෙසේ යහපත්වූවත් කටුක වුවත් විශ්ව භෝජනය මාහැඟිය නිකම් තැනින් කෑවාවූ මධුර භෝජන නියා වට හිතවිශ්වාසයෙන් ගෙන් බීපු ඇඹුල් කැඳට අඩුයයි කී සේක. මේ නියාවට බරණැස් රජ්ජුරුවන්ට නාරද නම් අමාත්‍යයා ඇවිත් කීහයි වදාරා මේ කේසව නම් ජාතකය නිමවා වදාළසේක.

එසමයෙහි රජ්ජුරුවෝ නම් ආනන්ද ස්ථවිරය. එසමයෙහි කේසව තාපසයෝ නම් ශාරිපුත්‍ර ස්ථවිරයෝය. නාරද අමාත්‍යයා නම් බකනම් බ්‍රාහ්මණයාය. එසමයෙහි කප්ප නම් තාපසව උපන්නෙම් බුදුවූ මම්ම යයි වදාළසේක.

 

 

 

උපුටා ගැනීම – www.jathakakatha.lk

338 අයකූට ජාතකය
336 ගජකුම්භ ජාතකය

Leave a Reply

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.