310 චිතීය දද්දර ජාතකය - IFBC Organization | Dhamma

තවද හුදුනිවන් මවාලූ රුවක් වැනි වූ සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි එක්තරා කෝපී වූ භික්ෂු කෙනෙකුන් අරභයා මේ ජාතකය දක්වන ලදී.

වර්තමාන කථාව යට කියන ලද බොහෝ ජාතක වල දක්වන ලද මෙහි වනාහි ඒ කෝපී භික්ෂූන් වහන්සේ කැඳවා ගෙන ධම් සභා මණ්ඩපයෙහි වැඩ උන් සර්වඥයන් වහන්සේට දැක්වූ කල්හි සර්වඥයන් වහන්සේ වදාරණසේක්. එම්බා මහණෙනි මේ භික්ෂූහු නොකීකරු වූයේ දැන් මතු නොවෙයි පෙරත් දිව්‍ය නාගම ඉපිද තමා නොකීකරු හෙයින් දඬුවම් පිණිස කසල ගොඩක් මත්තෙහි තුන් අවුරුද්දක් වාසය කළාවේදැයි වදාරා ඒ කෙසේදැයි ආරාධිත වූ බුදුරජානන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළසේක.

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරු කෙනෙකුන් රාජ්ජය කරන සමයෙහි දද්දර නම් නාග භවනයෙහි සුරදද්දර නම් නා රජෙකුට පුත්‍රව මහාද්දරයෝයයි චුල්දද්දරයෝයි නා රජහු දෙදෙනෙක් උපන්නාහ. ඉන් චුලදද්දර නම් නා රජ්ජුරුවෝ නා මෙනෙවියන් මරා තලා බොහෝ වේදනා කෙරෙති. පිය නා රජ්ජුරුවෝ ඒ අසා චූලදද්දදරයන් මාගේ නාග භවනයේ වසන්ට බැරියයි වහා නික්මුනු මැනවැයි කියා එබස් අසා දද්දර නා රජ්ජුරුවෝ කියන්නාහු. පියානන් වහන්ස මාගේ මලනුවන් කළ වැරදි ඉවසා වදාල මැනවැයි කියා රැඳවූහ. දෙවන වාරයෙහිත් නාග භවනයෙන් යන්ට කී කල්හි මහාදද්දරයන්ගේ යාඥාවට රැඳවූහ. තුන්වන වාරයෙත් චූලදද්දර නා රජ්ජුරුවන්ට නාග භවනයෙන් යන්ට කී කල්හි මහාදද්දර නාරජ්ජුරුවෝ පියානන්ට කියන්නාහු පියානන් වහන්ස මාගේ මලනුවන් චූලදද්දරයන් මේ මුරයත් රඳවා වදාළ මැනවැයි කන්නලව් කී කල්හි සූරදද්දර නා රජ්ජුරුවෝ කියන්නාහු. දෙවරයෙක තොප කී කන්නලව්වට රැඳවූම්හ. තුන් වෙනි වාරයේත් රඳවන්ට බැරිය තොප කළ වැරැද්දට පාටට පිණිස තුන් අවුරුද්දක් කසල කොඩක විසුවමැනවැයි කියා යවූහ. ඔහු දෙදෙන එපරිද්දෙන්ම ගොස් මහත් වූ කසලක් මුදුනේ වසන්නාහ. ඒ නා රජ දෙන්නා ගොදුරු පිණිස නොයෙක් තැන ඇවිදිනවා කුඩා කොල්ලෝ දැක කියන්නාහු මහත් වූ හිසක් සිහින් වූ වාලගයක් ඇති ගැරඬියන් දියබරණුමෙන් හිස ඇත්තා වූ මේ සර්පයන් දෙන්නා මරම්හයි කැට මුගුරු ඇරගෙන ගසමින් ඇවිදිනාහ. මෙපවත් ඉවසා ගත නොහී චූලදද්දර නා රජ්ජුරුවෝ බෑනන්ට කියන්නාහු බෑනන් වහන්ස අපි දෙන්නම මහත්වූ විෂ තේජස් ඇති නාරජ්ජුරුවම්හ. අපගේ විවර නොදැන මේ කොල්ලෝ කැට මුගුරුත් ගසා අපහස නපුරුත් බැන නිස්සාරව ඇවිදිනාහු. මෝට මම මහත් වූ විෂ ධූම ඇරමෝදැයි බෑනන් අතින් විචාළ කල්හි මහාදද්දර නා රජ්ජුරුවෝ එම්බා මලනුවෙනි අපගේ පිය රජ්ජුරුවන් වහන්සේ අතින් තොප අසා ගෙන දුක විඳින පිණිස මෙතනට ආම්හ. අපගේ විවරක් කවුරුන් බවත් මේ කොල්ලෝ නොදන්නාහ. එසේ හෙයින් මොවු කෙරේ කෝපි නොවයි අවවදා කියා ඒ කසල ගොඩ තුන් අවුරුද්දක් විසූ කල්හි පියනාරජ්ජුරුවෝ තමන් පුත්වූ දරුවන් දෙදෙනා තමන්ගේ නාග වනයට ගෙන්වා ගෙන චූලදද්දරයන්ගේ අතමානය බිඳ දෙබෑයෝම ස්ව ස්ථයෙන් වාසය කළාහයි මේ දද්දර ජාතකය නිමවා වදාළ සේක.

එසමයෙහි චූලදද්දරයෝ නම් ඒ කෝපී භික්ෂුහුමය, මහාදද්දරයෝ නම් බුදුවූ මම්මවේදැයි තමන් වහන්සේ දක්වා වදාළසේක.

 

 

 

උපුටා ගැනීම – www.jathakakatha.lk

311 මතරොදන ජාතකය
309 එකරාජ ජාතකය

Leave a Reply

Your email address will not be published.

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.