Skip to main content

31 කුලාවක ජාතකය

තවද එක් සමයෙක්හි ධර්මාධිපති වූ තිලෝගුරු බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වසන සේක් පැන් නොපෙරා වැලඳු එක් භික්ෂූ කෙනෙකුන් වහන්සේ අරබයා මේ ජාතකය වදාළ සේක.

සැවැත්නුවර වාසී වූ යහළු වූ භික්ෂූහු දෙදෙනෙක් දනව්වකට ගොස් එක් ඵාසුතෙනක අදහස් වූ පරිද්දෙන් වැස සර්වඥයන් වහන්සේ දකුම්හයි නැවත එයින් නික්ම ජේතවනාරාමයට අභිමුඛව ගියසේක. ඒ දෙදෙනා වහන්සේ අතුරින් එක් කෙනෙකුන් වහන්සේගේ අත පෙරහංකඩකින් දියපෙරා වළදනසේක. ඒ දෙදෙනා වහන්සේම එක් දවසක් විවිදකොට පෙරහංකඩ ඇති භික්ෂූන් වහන්සේ අනික් තැනැත්තන් වහන්සේට පෙරහංකඩ නොදී තමන් වහන්සේ පැන් පෙරා වැළදු සේක. අනික් භික්ෂූන් වහන්සේ පෙරහංකඩ නොලැබ පිපාසා ඉවසාගත නොහි නොපෙරා පැන් වැලදූසේක. ඒ දෙදෙනා වහන්සේම ක්‍රමයෙන් ජේතවනාරාමයට ගොස් බුදුන් වැඳ එකත් පස්ව හුන්සේක. සර්වඥයන් වහන්සේම ක්‍රමයෙන් ජේතවනයට ගොස් බුදුන් වැඳ එකත්පස්ව හුන් සේක. සර්වඥයන් වහන්සේ සුවදුක් කථා කොට කොයිසිට අවුදැයි විචාළ සේක. ස්වාමීනි අපි කොසොල් දනව්වෙහි එක් ගමක වැස එයින් නික්ම නුඹවහන්සේ දක්නා පිණිස ආම්හයි කීවෝය. තෙපි දෙදෙනා සමගියා දැයි විචාළ කල්හි පෙරහංකඩ නැති මහණ කියන්නේ ස්වාමීනි. මේ මහණ අතරමගදී මා හා විවාද කොට පෙරහංකඩ නුදුන්නේයයි කියේය. අනික් මහණ කියන්නේ ස්වාමීනි මේ මහණ නොපෙරාම දැන දැන ප්‍රාණීන් සහිත ජලය වැලදූයේ වේදැයි කීය. එවෙලෙහි බුදුහු මහණ සැබෑද තෝ දැන දැන පනුවන් ඇති දිය පරිභෝග කෙළේ දැයි විචාළ සේක. එසේය ස්වාමීනී මා විසින් නොපෙරා දිය වලඳන ලද්දේයයි කීය. එබස් ඇසූ සර්වඥයන් වහන්සේ මහණ පෙර නුවණැත්තෝ දෙදෙව්ලොවට අධිපතිව රාජ්‍ය්‍ය කෙරෙමින් යුද්ධයෙන් පැරද සමුද්‍රමස්තකයෙන් යන්නා වූ ඓශ්චර්යයක් නිසා ප්‍රාණවධයක් නොකරම්හයි ඒ සා මහත් යසස් හැර ගරුඬපෝතකයන්ට ජිවිතදානය දී රථය වැලකුවෝම වේදැයි වදාරා ඉකුත් වත් ගෙණහැර දක්වා වදාළ සේක.
යටගිය දවස මගධරට රජගහනුවර මගධ රජ්ජුරු කෙණෙක් රාජ්‍යය කරන්නාහුය. එසමයෙහි පුරණලද බෝධිසම්භාර ඇති අප මහා බෝසතානෝ යම්සේ දැන් ශක්‍රදේවේනද්‍රයෝ පූර්වාත්ම භාවයෙහි මගධරට මචල ග්‍රාමයෙහි උපන්නාහු ද එපරිද්දෙන්ම ඒ මවල ග්‍රාමයෙහි මහාසම්පත් ඇති කුලයක පුත්‍රව උපන්නාහුය. ඔවුන්ට නම් තබන දවස් මඝ කුමාරයෝ යයි කියා නම් තුබූය. බෝධිසත්වයෝ වැඩිවිය පැමිණ මඝ මානවකයෝ යයි මෙනමින් ප්‍රසිද්ධ විය. ඉක්බිත්තෙන් උන්ගේ දෙමව්පියයෝ සමජාති ඇති කුලයකින් කුමාරිකාවක් ගෙණවුත් පාවාදුන්නේය. ඒ බෝධිසත්වයෝ දුදරුවන් හා සමග වර්ධනය වෙමින් දානපති වූහ. නිරන්තරයෙන් පඤචසීලය රක්ෂා කෙරෙති, එකල ඒ ගම ගෙවල් තිසෙක් වන්නේය. ඒ තිසක් පමණ මනුෂයෝ එක්දවසක් ගම මධ්‍යයෙහි සිට කර්මාන්ත කරන්නාහුය. බෝධි සත්වයෝ සිටිතැන පයින් වැලි පීරා කසල ඉවත් කොට ඒ ප්‍රදේශය සිත්කළු කොට සිටියාහුය. එකල අනිකෙක් අවුත් එතැන්හි සිටියේය. බෝධිසත්වයෝ අනික් තෙනක් කසල හැර සිත්කළු කොට සිටියාහුය. එතැන්හී අනිකෙක් අවුත් සිටියේය. බෝධිසත්වයෝ නැවත අන්තෙනක නැවත අන්තෙනකයයි සියල්ලවුන්ම සිටිතැන් සිත්කළු කොට මෑතභාගයෙහි එතන මණ්ඩපයක් කරවූහ. පසුව මණ්ඩපයත් හැර ශාලාවක් කරවූහ. ඒ ශාලාවෙහි සැතපෙන්ට පෝරු අතුට පින් පැන්සලක් තැබ්බවූය. මෑතභාගයෙහි ඒ ගම්වැසියෝ දෙතිස් දෙනෙක් බෝධිසත්වයන් හා එක්වූහ. බෝධිසත්වයෝ ඔවුන් තිස්දෙනා පංචශිලයෙහි පිහිටුවා එතැන් පටන් ඔහුන් හා සමග කුසල් කෙරෙමින් ඇවිදිති. ඔවුන් හැමදෙනත් බෝධිසත්වයන් හා සමග කුසල් කරන්නාහු උදැසනම නැගීසිට වෑ පොරෝ මෝහොල් ගත් අත් ඇතිව සතරමන් සන්ධි ආදීයෙහි මෝලීන් ගල් ඇන උදුර පෙරලත්, රථයක් ආදීයෙහි වැදගත් නාවූ ගල්කපාදමති, විසමතැන් සමකරති. ඒ දඬු ලති, පොකුණු කණ්ති ශාලාවල් කෙරෙති. දන්දෙති, සිල් රක්ෂා කෙරෙති, මෙසේ බොහෝසේ බෝධිසත්වයන්ගේ අවවාදයෙහි පිහිටා ශිලසංරක්ෂණය කලාහුය එකල්හි ඔවුන්ගේ ගම්මුදලි මෙසේ සිතීය. මම පෙර මේ මනුෂ්‍යයන් රා බොන කල්හි ප්‍රාණගාතාදීය කරණ කල්හි රා සැලකට කහවනුවක් නියායෙන් දඩ මුඩු නොමද අයපඬුරු අරගැනීම් වශයෙන් වස්තුලබමි. දැන්වූ කලී මඝමානවකයෝ සිල් රක්වමි කියා ඔවුන් ප්‍රාණගාතාදිය කළ නොදෙති. දැන් වනාහි උන්ලවා පන්සිල් රක්වන්නේමි වේදැයි කියා කිපී රජ්ජුරුවන් කරා ගොස් කියන්නේ ස්වාමීනි බොහෝ හොරු එක්ව ගම් පැහැකිරීම් ආදිය කෙරෙමින් ඇවිදිති කීය. රජ්ජුරුවෝ ඔහුගේ වචනය අසා තෝගොස් ඔවුන් හැමදෙනා ගෙණවයි කීවුය. එතෙම ගොස් සියල්ලවුන්ම බැඳ ගෙණ අවුත් රජ්ජුරුවන් වහන්ස සොරුන් ඇමදෙනාම ගෙණනලදැයි රජ්ජුරුවන්ට දැන්වීය. රජ්ජුරුවෝ ඔවුන් කළ කාරිය නො විචාරා ශුද්ධනොකටම මුන් ඇමදෙනාම ඇතුන්ලවා මඬව වයි කිවුය. ඉක්බිත්තෙන් ඒ සියල්ලවුන්ම රාජාංගණයෙහි වැදහොවා ඇතු ගෙණවාහු, එකල්හි බෝධිසත්වයෝත් තමන්ගේ සියලු පර්ෂිදට අවවාද කරන්නෝ තොපි සියල්ල සීලයෙන් ආවර්ජනා කරව කේලාම් කී තැනැත්තහු කෙරෙහිත් රජ්ජුරුවන් කෙරෙහිත් ඇතුන් කෙරෙහිත් තොපතොපගේ ශරීරයෙහිත් සමකොට මෛත්‍රී කරවයි කිවුය. ඔවුහුත් එපරිද්දෙන්ම කළාහුය. ඉක්බිත්තෙන් ඔවුන් හැමදෙනාම මඩන පිණිස ඇතුන් අකුස්සෙන් කොටලාහට මෙහෙයාලුය. ඒ ඇත් ලඟට නොවදන්නේය, මහහඬින් හඬා පලායන්නේය. ඒ දැක අනික් ඇතෙකු ගෙණාවාහුය. ඔහුත් එපරිද්දෙන්ම ගියේය. රජ්ජුරුවෝ ඒ අතුන් මිනිසුන් නොමඩනා බැව් දැක මොහුන් අත කිසි ඖෂධයක් වන්ට උවමැනවයි පරීක්ෂා කරවයි කිවුය. පරික්ෂා කරන්නාහු නොදැක නැත රජ්ජුරුවන් වහන්සැයි කිවුය. එසේවීනම් කිසි මන්ත්‍රයක් ඇත. පරික්ෂා කරව තොප පිරිවන මන්ත්‍රයෙක් ඇද්දැයි ඔවුන් අතින් විචාරවයි කීවුය. එබස් අසා රාජපුරුෂයෝ විචාළාහුය. බෝධිසත්වයෝ ඇතැයි කිවුය. රාජපුරුෂයෝ ඔවුන් පිරිවන මන්ත්‍ර ඇතැයි රජ්ජුරුවන්ට දැන්වුය. රජ්ජුරුවෝ ඔවුන් හැමදෙනාම සමීපයට කැඳවා තොප දන්නා මන්ත්‍රය කියවයි කිවුය. බෝධිසත්වයෝ කියන්නෝ රජ්ජුරුවන් වහන්ස අනික් අපගේ මන්ත්‍රණයක් නම් නැත්තේය. අපි තිසක් පමණ දෙනා ප්‍රාණවධ නොකරම්හ. සොරකම් නොකරම්හ, කාම මිත්‍යාචාර නොකරම්හ, බොරු නොකියම්හ, රා නොබොම්හ, මෛත්‍රී භාවනා කරම්හ, දන් දෙම්හ, මං සමකරම්හ, පොකුණු කරම්හ, ශාලා කරම්හ, මේ අපට මන්ත්‍රවන්නේය පිරිතුත් වන්නේය වැඩක් වන්නේයයි කිවුය. එබස් ඇසු රජ්ජුරුවෝ ඔවුන් කෙරහි පැහැද කේලාම් කී තැනැත්තහුගේ සියලු වස්තුවත් ඔහු තුමුත් ඔහුන්ටම පාවාදුන්නේයෙ. ඔහු ඇමදෙනාම එතැන් පටන් කැමති පරිද්දෙන් වඩ වඩා කුශල් කරන්නාහුය. සතර මංසන්ධියෙහි මහත් වූ ශාලාවක් කරම්හයි වඩුවකු කැඳවා ශාලාවක් කරන්නට පටන්ගත්තුය. ස්ත්‍රීන් කෙරෙහි ආලය මදබැවින් ඒ ශාලාවකිරීමට ස්ත්‍රීන් සමාදන් නොකරවූහ.

එසමයෙහි බෝධිසත්වයන්ගේ ගෙයි සුධර්මා, චිත්‍රාය, නන්දාය, සුජාතා යයි ස්ත්‍රී හු සතර දෙනෙක් වෙති. ඔවුන් අතුරෙන් සුධර්මාවෝ වඩුවා හා එක්ව බෑනනි මේ ශාලාවට මා නායක කරවයි කියා අත්ලස් දුන්නුය. වඩුවා යහපතැයි ගිවිස පළමුකොටම කැණිමඩලට දණුඩක් කපා වියලා සැස විත් විද කැණිමඩලකොට නිමවා කඩකින් වසා වෙලා තුබූයේය. ඉක්බිත්තෙන් ශාලාව කොට නිමවා කැණිමඩල උඩනගන අවස්ථාවෙහි අනේ අපි එකක් සිහි නොකළම්හයි කීය, පින්වත කුමක්දැයි කී කල්හි කැණිමඩලක් උවමනා වේදැයි කිය, වන්නාට අපි ගෙණයම්හයි කී කල්හි දැන් කැපුදණ්ඩකින් කරන්ට නොපිළිවන් වන්නේ යයි පළමුකොට කපා සැප විඳ තුබූ කැණිමඩලක් ලදමැැණවයි කීය. දැන් කුමක්කරමෝදැයි කී කල්හි ඉඳින් කිසිකෙණෙකුන්ගේ ගෙයි කර්මාන්තකොට නිමවා තුබූ කැණිමඩලක් ඇත්නම් එසේ වූ කැණිමඩලක් සොයවයි කිවුය. ඔහු ඇමදෙන සොයන්නාහු සුදර්මාවන්ගේ ගෙයි තුබූ කැණිමඩල දැක මිලයට ඉල්වා නොලද්දාහ, එකල සුදර්මාවන් විසින් ඉදින් මා ඒ ශාලාවට එක්කොට ගණුනම් කැණිමඩල දෙන්නෙම්වේදැයි කී කල්හි අපි ස්ත්‍රීන් සමාදන්කොට නොගනුම්හයි කිවුය, එබස් ඇසූ වඩුවා කියන්නෝ ආර්යාවෙනි තොපි ඇම කුමක්කියව්ද, බ්‍රහ්මලෝකය හැර සෙසු ස්ත්‍රීන් නැති තෙනක් නම් නැත කැණිමඩල ඇරගණුව එසේ කල්හි අපගේ කර්මාන්ත වහා සමෘද්ධ වන්නෝයයි කිය ඔහු හැමදෙනා යහපතැයි කියා කැණිමඩල ගෙණ ශාලාවකොට නිමවා ඉන්නා පෝරු අතුට ඒ ඒ තැන පින් පැන්සල් තබ්බවා නිරන්තරයෙන් දුගී මගී යාචකයන්ට දෙන ලෙස කැඳ බත් තැබ්බවුය තවද ඒ ශාලාව වටකොට පවුරක් බඳවා දොරක් ලවා පවුර ඇතුළත වැලි තබ්බවා පවුරේ පිටත තල්පැල පන්තියක් රෝපනය කරවූය. චිත්‍රාවෝත් ඒ ශාලාව සමීපයෙහි උයනක් කරවූය. ඒ උයන මල් පලගන්නාවුත් අසවල්ගසෙක් නැතැයි නොකියහැකි සියලු ගස්ම ඇත්තේය. නන්දාවෝත් එතනම පොකුණක් කරවූය. ඒ පොකුණ පස්වණක් පියුමෙන් සැදින,සිත්කළුය, සුජාතාවෝ වූ කලි කිසි පින්කමක් නොකරවූය. ඉක්බිත්තෙන් මහබෝසතානෝ මවුන්ට උපස්ථාන කිරීමය, පියන්ට උපස්ථාන කිරීමය, කුල දෙටුවන්ට උපස්ථාන කිරීමය, බොරු නොකිම්ය, පරුෂ වචන නොකීමය, කේලාම් නොකීමය, මසුරුමල දුරුකිරීමය යයි යන සප්ත විධ වූ ව්‍රතසමාදානයන් පූරා

මාතාපෙත්ති භරං ජන්තුං කුලෙජෙට්ඨා පචායිනං

සරණං සඛිල සමහාසං පෙසුණෙය්‍යප්පහායිනං

මචේඡරවිනයෙ යුත්තං සච්චං කොධාභිභුං නරං

තං චේ දෙවා තාවතිංසා ආහු සප්පූරිසෝ ඉතිං.මෙසේ ප්‍රසංසා කටයුතු බවට පැමිණ ජීවිතාන්තයෙහි ගොස් තව්තිසා දිව්‍යලෝකයෙහි ශක්‍රදේවේන්ද්‍රව උපන්නාහුය. බෝධිසත්වයනගේ සහාය මනුෂ්‍යයෝද ඒ දිව්‍යලොකයෙහි උපන්නාහුය.බෝධිසත්වයන්ගේ සහාය මනුෂ්‍යයෝද ඒ දිව්‍යලෝකයෙහි උපන්නාහුය. එකල තවුතිසා භවනයෙහි අසුරයෝ වාසය කරති. ශක්ර්‍‍රදේවේන්ද්‍රයෝ අපට අසාධාරණ රාජ්‍යයෙන් ප්‍රයෝජන කිම්දැයි අසුරයන් දිව්‍යසුරාව පොවා මත්වුවවුන් දෙකකුල ගන්වා මහමෙරපත්ලේ එලුය. ඔහු ඇමදෙන අසුරභවනයට පැමිණියෝය. අසුර භවනය නම් මහමෙරයට තව්තිසා දිව්‍යලෝකයෙහි ශක්‍රපුරය මෙන් දසදහසක් යොදුන් පමණ තැන් ඇත්තේය. එහි දෙවියන්ගේ පරසතුරුකමෙන් චිත්‍රපාටලී නම් කල්පස්ථායී වෘක්‍ෂයෙක් ඇත. ඒ අසුරයෝ විචිත්‍රපාටලී වෘක්‍ෂය මල්පිපී ගිය කල්හි මේ අපගේ දිව්‍යලෝකයය නොවෙයි, දිව්‍යලෝකයෙහි පරසතුමල් පිපෙන්නේය.එසේහෙයින් මේ දිව්‍යලෝකය නොවෙයි දනිති. එකල්හි ඔහු ජරා ශක්‍රයා අප සුරාවෙන් මත්කොට මහා සමුද්‍රයට දම්මා අපගේ දිව්‍යලෝකය ගත. එසේ හෙයින් අපි ඔහු හා සමග යුද්ධකොට අපගේ දිව්‍යපුරය ගණුම්හයි ටැඹක් ඔස්සේ නැගෙන්නාවූ කුහුඹුවන් මෙන් මහමෙර ඔස්සේ වටින් වැංගාහුය. එකල්හි ශක්‍රයෝ අසුරයන් විසින් පරද්දවන ලද්දාහූ යෙල සියයක් යොදුන් පමණ ඇති වෛජයන්ත රථයට පැනනැගී ද්ක්ෂිණ සමුද්‍රයාගේ මතු මත්තෙන් යන්ට පටන් ගත්තාහුය.එකල්හී ඒ රථය මුහුදු පිටින් වේගයෙන් යන්නේ කොළ ඉඹුල් වනයට පැමිණියේය. ඒ ශක්‍රයන් යන්නා වූ මාර්ගයෙහි ඉඹුල්වනය, තල් වනයක පතු වැගිරෙන කලක් මෙන් කැඩී කැඩී මුහුදු පිට වැගිරෙන්නේය. ගරුඬපෝතකයෝ මුහුදු පිට පෙරලෙමින් මහහඬින් හැඬුවාහුය. ඒ අසා ශක්‍රයෝ මාතලී නම් රථාචාර්ය වරයා අතින් විචාරන්නේ සබඳ මාතලිය ගරුඬ පැටවුන් අඬන අඬ ඇසෙන්නේය. මේ කුමන ශබ්දයක් දැයි විචාළෝය. ස්වාමීනි නුඹ වහන්සේගේ රථයේ වේගයෙන් ඉඹුල්වනය කැඩි වැගිරෙන හෙයින් ගරුඬ පෝතකයෝ මරණභයින් තැතිගෙණ එකකොළහළ කොට හඬති කීය. එබස් ඇසූ මහ බෝසතානෝ කියන්නෝ සමඳ මාතලීය අප නිසා මොහු පීඩාවට නො පැමිණෙත්වයි අපි ඓශ්චර්යයක් නිසා ප්‍රාණවධයක් නොකරම්හ, මොහුන් නිසා අපි ජිවිතය පරිත්‍යාග කොට අසුරයන්ට ජයදෙම්හ, මාතලිය රථය නවත්වවයි කීවුය. පරිත්‍යාගකොට අසුරයන්ට ජයදෙම්හ, මාතලිය රථය නවත්වවයි කිවුය. එබස් අසා මාතලී නම් දිව්‍යරථාචාර්යයා රථයවලකා අන්‍ය මාර්ගයකින් දිව්‍යලෝකයට අභිමුඛ කළේය. අසුරයෝ වනාහි ඒ රථය කර කැවුනා දැක ඒ කාන්තයෙන් අන් සක්වලකින් ශක්‍රයෝ ආවාහුය. නැවත බලයක් ලදින් රථය වැලැක්කේවනැයි මරණභයින් භයපත්ව පලාගොස් අසුරභවනයට වන්නාහුය. ශක්‍රයෝත් දිව්‍යලෝකයට ගොස් දෙව්ලොව දෙවියන් පිරිවරණ ලදුව නුවර මධ්‍යයෙහි සිටියේය. එකෙණෙහි පොළොව පළාගෙණ දහසක් යොදුන් උස ඇති වෛජයන්ත ප්‍රාසාදය පැනනැංගේය. ජයගෙණ සිටි පසු පැනනැගී බැවින් වෛජ්‍යන්තයයි කියා එම ප්‍රාසාදයට නම් විය. ඉක්බිත්තෙන් ශක්‍රදේවේන්ද්‍රයෝ නැවත අසුරයන් නොඑන පිණිස පස්තෙනක රැකවල් ලැවුය. මහමේරුපර්වතයාගේ ප්‍රථමාලින්දයෙහි නාගරාක්ෂෂයන් සිටවුය. චතුත්ථාලින්දයෙහි යක්ෂයන් සිටවුය. පංචමාලින්දයෙහි සතරවරන් මහරජදරුවන් සිටවුය. මෙසේ පංචස්ථානයක ආරක්ෂාව තබා ශක්‍ර දේවේන්ද්‍රයෝ දිව්‍යසම්පත් අනුභව කරන්නාහුය.

එකල සුධර්මාවෝ මනුෂ්‍යලෝකයෙන් චුතව අවුත් ඒ ශක්‍රදේවේන්ද්‍රයන්ටම පාදපරිචාරිකාව උපන්නාහුය. කැණිමඩල දුන් කුශලයෙන් ඒ සුධර්මාවන්ට පන්සියයක් යොදුන් උස ඇති සුධර්මානම් මාණික්‍ය සභාවක් පහළ විය. ඒ දිව්‍යසභාවෙහි ධවලචඡත්‍රයයට යොදුනක් පමණ ස්වර්ණපර්යායකයක හිඳ ශක්‍රදේවේන්ද්‍රයෝ දිව්‍යමනුෂ්‍යායන්ගේ කාර්යකාර්ය විචාරන්නාහුය. චිත්‍රාවෝත් චුතව ඒ ශක්‍රදේවේන්ද්‍රයන්ටම පාදපරිචාරිකාව උපන්නාහුය. උයනකරවූ කුශලයෙන් ඔවුන්ට චිත්‍රානම් උයනෙක් පහළ විය. නන්දාවෝත් චුතව අවුත් ඒ ශක්‍රදේවේන්ද්‍රයන්ටම පාදපරිචාරිකාව උපන්නා හුය. උයනකරවු කුශලයෙන් ඔවුන්ට චිත්‍රා නම් උයනෙක් පහළ විය. නන්දාවෝත් චුතව අවුත් ඒ ශක්‍රදේවේන්ද්‍රයන්ට පාදපරිචාරිකාව උපන්නාහුය. පොකුණ කැණවූ කුශලයෙන් උන්ට නන්දානම් පුෂ්පකරණියෙක් පහළ විය. සුජාතාවෝ වූ කලී කුශලයක් නො කළ බැවින් එක්වනයෙක කඳුරැළියෙක කෙකෙණියෙක්ව උපන්නාහුය. ශක්‍රදේවේන්ද්‍රයෝ සුජාතාවන් …. දැක කොතනැක උපන්නාවූදැයි හෝයි පරික්ෂා කරන්නෝ එහි උපන්නියාහු දැන එතනට ගොස් ඒ කෙකින්න හැරගෙණ දිව්‍යලෝකයට ගොස් සිත්කළු වූ දිව්‍යපුරයත් සුදර්මා නම් දිව්‍යසභාවත් චිත්‍රලතා වනයත් නන්දා නම් පූෂ්පකරණීයත් ඒ කෙකින්නට දක්වා මොහු හැමදෙනාම කුශල්කොට මට පාදපරිචාරිකාව උපන්නාහුය. තෝ වූකලී කුශල්නොකොට තිරිසන් යෝනියෙහි උපන්නෙහිය. මෙතැන් පටන් ශිලසංරක්ෂණය කරවයි අවවාදකොට පංචශිලයෙහි පිහිටුවා ඒ කඳූරැළියට ගෙණගොස් අළුවාහුය. ඒ කෙකිණිත් එතැන් පටන් පන්සිල් රක්නීය. ශක්‍රදේවේන්ද්‍රයෝ කීපදවසක් ගියකල මෝ තොමෝ සිල්රකින්නට සමර්ථදෝහෝයි විවසන පිණිස එතනට ගොස් මත්ස්‍ය රූපයක් මවාගෙණ බඩපෑ ඉදිරියෙහි වැදහොත්තාහුය. ඒ කෙකිණිතොමෝ මළාවූ මත්ස්‍යයෙක් දෝහෝයි සංඥායෙන් ඉඟපටි ඩැහැගතමත්ස්‍යය නගුටසෙලවි, එකල්හි ඒ කෙකිණි මේ මත්ස්‍යයා ජීවත්වන්නේ යයි ඇරපුව, ශක්‍රදේවේන්ද්‍රයෝ ඒ දැක යහපත යහපත ශිල්රක්නට තෝ සමර්ථ යෙහි යයි සාධුකාර දී ගියාහුය. ඒ කෙකණි එයින් චුතව බරණැස්නුවර කුඹල් කුලයක උපන ශක්‍රදේවේන්ද්‍රයෝ කෙකිණි කොයි උපන්දෝහෝයි පරික්ෂා කරන්නාහු කුඹල්කුලයෙහි උපන්නියාව දැන රන්කැකිරෙන් ගැලක් පුරාගෙණ ගම් මධ්‍යයෙහි මහළු වේශයකින් ඉඳ කැකිරිගණුවයි අඬගා කියති. මනුෂ්‍යයෝ අවුත් ස්වාමීනි දුනමැනවයි කීහ. ඒ අසා ශක්‍රයෝ කියන්නෝ මම ශිල සංරක්ෂණය කරණකෙණෙකුට දෙමි තෙපි ශිල්රකුදැයි විචාළෝය. එබස් ඇසූ මනුෂයෝ අපි ශිල්රැකිම්නම් කෙසේ වූ දෙයකැයි නොදනුම්හ. මිලයට දෙවයි කිවාහුය. මට මිලයෙන් ප්‍රයෝජනයක් නැත. ශිල් රක්ෂාකරණ කෙණෙකුන්ටම දෙමියි ශක්‍රයෝ කීවාය. මනුෂ්‍යයෝ මේ තෙම යම්කිසි නළවන්නෙකැයි කියා ගියෝය. සුජාතාවෝ එපවත් අසා මට ගෙණ එනලද්දේවනැයි ගොස් ස්වාමීනි දුනමැනවයි කීය. මෑනියනි ශිල් රකුදැයි විචාළෝය. එසේය රකිමි කී කල්හි මා විසින් මේ කැකිරි තොපට ම ගෙණ එනලද්දේයයි කියා ගැල හා සමග ඇගේ් ගේ දොරතබා ගියෝය. ඒ ස්ත්‍රී ද දිවිපමණින් ශිල්රක්ෂා කොට එයින් චුතව චෙපචිත්තිය නම් අසුරසුරෙන්ද්‍රයාට දූව උපන. ශිල්රැකි අනුසයින් විශිෂ්ට රූ ඇති උව, ඉක්බිත්තෙන් ඒ චෙපචිත්තිනම් අසුරෙන්ද්‍ර තෙමේ අසුරකන්‍යාව වැඩිවිය පැමිණිකල්හි මාගේ දූ තමාට අභිප්‍රාය පුරුෂයකු ගණුවයි කියා අසුරයයන් රැස්කරන්නට විය. එකල්හි ශක්‍රදේවේන්ද්‍රයෝ ඒ සුජාතා දැන් කොයි උපන්නෝදෝහෝයි පරික්ෂා කරන්නෝ අසුරු භවනෙහි උපන් නියාව දැන සුජාතාවන් අභිප්‍රාය වූ පුරුෂයකු ගනිමියි කියා අල්වන්නීයයි අසුරවේශයක් මවාගෙණ ඒ අසුරයන් රැස්වූ තෙනට ගියෝය. එකල සුජාතාවන් සරහා අසුරයන් සමීපයට ගෙණ වුත් තොපට අභිප්‍රාය වූ වල්ලභයකු අල්වාගනුවයි කීහ. ඕ තොමෝ බලන්නී ශක්‍රයන් දැක පූර්වස්නෙහ වශයෙන් මේ මාගේ වල්ලභයායයි අත් අල්වාගත. ශක්‍රදේවේන්ද්‍රයෝ ඒ සුජාතාවන් ශක්‍රපුරයට ගොණ ගොස් අඬුතුන්කෙළක් නාටකස්ත්‍රීන්ට පුධාන කොට තබා සම්පත් අනුභව කරන්නාහු ආයු පමණින් සිට කම් වූ පරිද්දෙන් මියපරලොව ගියෝය. ශාස්තෘන් වූ බුදුරජානන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙණහැර දක්වා මහණෙනි පෙර නුවනැත්තෝ දිව්‍යරාජ්‍යය කරන්නාහු තමන්ගේ ජිවිතය පරිත්‍යාගකොට ප්‍රාණඝාත නොකොළෝ වේද තෝ වූකලී මෙබඳූ වූ නෛයිර්යානික ශාසනයෙහි මහණව ප්‍රාණීන් සහිත නොපෙරූපැන් අනුභව කෙළෙහිවේදැයි ඒ භික්ෂුහට නින්දාකොට පූර්වාපර සන්ධි ගළපා මේ කුලාවක ජාතකය නිමවා වදාළ සේක.

එසමයෙහි මාතලී සංග්‍රහකනම් මෙසමයෙහි ආනන්ද ස්ථවිරයෝය. එසමයෙහි ශක්‍රදේවේන්ද්‍රව උපන්නෙම් නම් තිලෝගුරු සම්‍යයක් සම්බුදු රජ වූ මම ම වේදැයි තමන් වහන්සේ දක්වා වදාළ සේක.

 

උපුටාගැනීම – www.jathakakatha.lk

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.