306 ලොහකුම්භ ජාතකය - IFBC Organization | Dhamma

තවද තිලෝගුරු සර්ව රාජෝත්තමයානන් වහන්සේ එක් සමයෙක්හි සැවැත් නුවර ගොදුරු ගම් කොට දෙව්රම් වෙහෙර වැඩවසන සේක්. කෝසල රජ්ජුරුවන් අරභයා මේ ජාතකය වදාළ සේක.

එක් දවසක් කෝසල රජ්ජුරුවෝ රාත්‍රී භාගයෙහි තිරිසතුන් සතර දෙනෙකුගේ ශබ්දය ඇසූය. ඉන් එක් තිරිසනෙක් දුකාරයම කීහ. එකෙක් සකාරය කීය. එකෙක් නකාරය කීය. එකෙක් සෝකාරය කීහ. ඔහු සතර දෙන පූර්ව ජන්මයෙහි මෙම සැවැත් නුවර රාජ කුමාරව ඉපිද ඓශචය්‍ර්‍ය මදයෙන් බොහෝ කලක් පරදාර සේවනය පුරුදු කොට අනිකුදු බොහෝ අකුසල් රැස් කෙරෙමින් ජීවත්ව ආයු කෙළවර ඒ පරදාර කර්මය හේතු කොට ගෙන සැවැත් නුවර සමීපයෙහි ලෝකුඹු නරකයෙහි උපන්නාහු. බඳනෙක්හි පැසෙන සාල්මෙන් පැසී තිස් දහසක් අවුරුද්දෙන් මුව විටට පැමිණ උනුන් දැක කවර දවසෙක මේ දුකින් මිදමෝදැයි ක්‍රමයෙන් බැගෑවත්ව ශබ්ද කළාහ. කොසොල් රජ්ජුරුවෝ මධ්‍යම රාත්‍රියෙහි ඒ ශබ්දය අසා භයින් තැති ගෙන යහන් මත්තෙහි නොනිදා ඉඳම අරුණු නැඟී වේලෙහි පුරෝහිත බමුණන් අවුත් රාත්‍රියෙහි සැතපීමෙහි සැපයෙක් කොයින්ද රාත්‍රියෙහි මෙබඳු භයානක වූ ශබ්දයක් ඇසීමි කීය. ඒ ඇසූ බමුණන් විසින් අතුල්සලා කම්පාව සිටි කල්හි කීමෙක් ද? ආචාරීනි විචාරා මහරජ්ජුරුවන් වහන්ස උග්‍රවූ ශබ්දයෝයයි කී කල්හි පිළියමට සමවේදැයි කියා ඒකාන්තයෙන් මේ ශබ්දයෝ ප්‍රතිකාර ක්ෂම නොවෙති. අපි වනාහි යාග විධානයෙහි මොනවට දක්ෂයම්හ. ඉදින් ප්‍රතිකාර නොහැර කරතොත් ගතාධි වශයෙන් පරිත්‍යාග වශයෙන් මහත්වෙයි. ඒ මහත්වූ යාගය අපගේ සාමර්ථයෙන් අසුරුවා සර්ව චතුස්ක නම් නාගයෙන් අසුභ විපාකය වළකම්හයි කීකල්හි එසේ වීනම් ප්‍රමාද නොකොට ඇතුන් සතර දෙනෙකු අසුන් සතර දෙනෙකු ඇලි ගොන් සතර දෙනෙකු මිනිසුන් සතර දෙනෙකු යනාදී වශයෙන් කුරුල්ලන් දක්වා නොහැර සියළු දිපාද චතුෂ්පාද ප්‍රාණීන් සතර දෙනා බැගින් අල්වා ගෙන එවයි අමාත්‍යයන්ට විධාන කළහ.

අමාත්‍යයෝ යහපතැයි පිළිගෙන යථෝක්ත වූ සියළු ප්‍රාණීන් හා අනිකුදු යාගයට ගතමනා සියළු උපකරණ සපයා යාගාවට සමීපයෙහි සියළු ප්‍රාණීන් බැඳ සිටුවූහ. බමුණෝද යාගය මූලිකව බොහෝ ඛාද්‍යාභොද්‍ය හා වස්තු ලබම්හයි යන උත්සාහයෙන් යාගයට මෙනම් මෙනම් දෑ උවමැනවැයි කියා ඔබිමොබ කුතුහලයෙන් ඇවිදිනාහුය. මල්ලිකා දේවී ඒ කෝලාහලය අසා රජ්ජුරුවන් කරා එලඹ මහරජ්ජුරුවන් වහන්ස බමුණෝ ඉතා මහත්ව බෙණෙමින් කුතුහලව කුමට ඇවිද්දැයි විචාරා එබසට රජ්ජුරුවෝ දේවීන් තොපට ඉන් ප්‍රයෝජන කිම්ද? තොපි තොපගේ ඓශ්චය්‍ර්‍යයෙන් මත්ව ඉඳුව. දුක් ඇත්තේ අපටම වේදැයි කීකල්හි දෙවනුවත් කීමෙක්ද? මහ රජ්ජුරුවන් වහන්සැයි විචාරා දේවීනි මම මෙබඳුව නෑසිය යුතු අනිෂ්ට ශබ්දයන් ඇසීමි ඒ කාරණය බමුණන් අතින් විචාළෙමි. බමුණෝ රාජ්‍යයට හෝ ඓශචය්‍ර්‍යයට හෝ ජීවිතයට හෝ අන්තරාය පෙණෙයි සර්ව චතුෂ්කයාගයම කොට ඒ අන්තරාය වලකම්හයි කියා යාගයට සුදුසු උපකරණ සපයා මාගේ බසින් ඔබිමොබ ඇවිදිති කීහ. කීමෙක්ද දේවයන් වහන්ස මේ ශබ්දයන්ගේ නිෂ්පත්තිය දෙවියන් සහිත වූ තුන් ලොවට අග්‍ර පුරෝහිතයානන් වහන්සේගෙන් විචාළසේක්දැයි කියා දේවිනී දෙවියන් සහිත වූ තුන්ලෝ වැසි අග්‍රපුරෝහිතයානෝ නම් කවුරුදැයි විචාළෝය. රජ්ජුරුවන්ට නැවත ඒ මල්ලිකා දේවි දේවයන් වහන්ස ඒ අග්‍රපුරෝහිතයෝ නම් අන් කෙනෙක් නොවෙයි. සියලු පදාර්ත නිමවාදත් මහා ගෞතම සර්වඥයන් වහන්සේය. මේ මූඪ බමුණෝ කුමක් දනිද්ද? යුහුවගොස් බුදුන් විචාළ මැනවැයි කීකල්හි කෝසල රජ්ජුරුවෝ මල්ලිකා දේවීන්ගේ වචනය ගිවිස උදය මේ නිමවා සැපවූ රථ යානාවකින් ජේතවන විහාරයට ගොස් බුදුන් වැඳ එකත්පස්ව ආදර දක්වා සිට මහරජ කුමට ආයෙහිදැයි විචාළ කල්හි තිලෝගුරු සර්වඥයන් වහන්ස ඊයේ රාත්‍රියෙහි මම මෙබඳු ශබ්දයක් අසා උදෑසන බමුණන්ගෙන් විචාළෙමි. ඔහු රාජ්‍යයට හෝ ජීවිතයට හෝ සැපතට හෝ අන්තරාය වෙයි සර්වතුෂ්ක යාගය කොට අන්තරා වලක්කම්හයි කියා යාගස්ථානයෙහි කර්මාන්ත කෙරෙති. ඒ ශබ්දයන් සතර දෙනා ඇසීම කරණ කොටගෙන මට කවර උපද්‍රවයෙක් වේදැයි විචාළහ. එබසට ලොව එක මවෙක් වැනි මාගේ ස්වාමි දරුවූ බුදුහු අඬන ප්‍රත්‍රයක්හු ලෙහිලා සනසන්නාක් මෙන් මහරජ තට කිසි උපද්‍රවයෙක් නොවෙයි නරකයෙහි උපන්නාවූ තිරිසත්හු දුක් අනුභව කෙරෙමින් ඒ ඉවසිය නොහී ශබ්ද පැවැත්වූහ. මහ රජ මේ ශබ්දයෝ දැන් තා විසින්ම මතු අසන ලද්දෝ නොවෙති. පුරාතනයෙහි රජදරුවන් විසිනුදු අසන ලද්දෝමය.. ඔහුද මෙපරිද්දෙන්ම බමුණන් විචාරා මෙසේම පශුඝාතක යාග කරුණු කැමතිව යාගෝපකරණ සපයා ප්‍රාණින් බන්ධන ගත කරවූහ. එකල නුවනැත්තෝ ඒ ශබ්දයන්ගේ අභිප්‍රාය ප්‍රකාශ කොට කීහ. භයට පැමිණියාවූ මහජනයා මුදා අරවා ලෝවැඩ කළෝ වේදැයි වදාරා තුෂ්ණිම්භූතව වැඩහිඳ අතීත කථා ශ්‍රවණයෙහි කෞතුහල සිත් ඇති කොසොල් රජ්ජුරුවන් විසින් ආරාධනා කළ කල්හි ඉකුත්වත් ගෙණහැර දක්වා වදාළසේක.

ඒ කෙසේද යත්,

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරු කෙණෙකුන් රාජ්ජය නරන සමයෙහි සසර සැරිසරන්නාවූ බෝධිසත්වතෙම එසමයෙහි කසී රට එක්තරා බමුණු කුලයෙක්හි ඉපිද වැඩිවිය පැමිණ වේදත්‍රය නිමවා දැන පඤකාමය හැර ගිහිගෙන් නික්ම සෘෂිප්‍රව්‍රජ්‍යාවට පැමිණ පඤචාභිඥා අෂ්ට සමාප්තති උපදවා ධ්‍යාන ක්‍රීඩා කෙරෙමින් හිමාලය වනයෙහි සිත්කළු වූ එක් වන ලැහැබෙක්හි වාසය කරන්නේය. ඒ බ්‍රහ්මදත්ත රජතෙමේ එක් දවසක් රාත්‍රියෙහි තිරිසනුන් සතර දෙනෙකුගේ ශබ්දයන් අසා භයින් තැතිගෙන තසේම රාත්‍රියෙහි නොනිදා හිඳ උදය බමුණන් විචාරා උන් විසින් මෙම රාත්‍රී විධානාත්තරයෙන් වේවයි ඒ උපද්‍රවය මෙ යාගයෙන් සන්සිඳුවම්හයි මෛත්‍රී ධ්‍යානයට සමවැද එයින් නැගී ලොව බලන්නේ බරණැස් රජතෙම එකල උපද්‍රවය නසමි. අඥාන මූඪ වූ බමුණන්ගේ බස් ගෙන නොයෙක් ගණන් ප්‍රාණීන් නසා බොහෝ උපද්‍රව පමුණුවා ගන්ට උත්සාහ කරන්නෝය. අද දවස මම එතනට ගොස් සත්වයන්ට පැමිණි මේ උපද්‍රවයද රජහට පැමිණි පරලොව උපද්‍රවයද වලකා ජන රංජන සංග්‍රහ කරන්නට සුදුසුයය් සිතා සෘඬියෙන් අහසට පැන නැගී බරණැස් රජහුගේ උයනට බැස මඟුල් සල්නට මත්තෙහි උන්නේය. එසමයෙහි පුරෝහිත බ්‍රාහ්මණයාගේ ප්‍රධාන අතවැසි වූ එක් බමුණු කුමාරයෙක් ඔහු කරා එළඹ ආචාරීන් වහන්ස අපගේ වේදත්‍රයෙහි එකක්හු මරා අනිකක් හට සැප කිරීමෙකැයි යන දෙයක් නැත. වෙද විරෝධ වූ මෙවැන්නක් කුමට කරණ දෙයෙක්දැයි කියා පුරෝහිතයා විසින් මෙයින් අපට බත් මාංස කන බොන දැ හා බොහෝ වස්තු ලැබෙයි. තෙපි ඒ නොවලකා නිකන් ඉඳුවයි කී කල්හි මම මේ පාපවිධානයට සහාය නොවමැයි සිතා විවේක කැමතිව උයනට ගොස් මඟුල් සල්වට මත්තෙහි උන් තාපසයන් දැක වැඳ කරණ ලද ප්‍රිය කථා ඇතිව එකත්පස්ව හිඳ තාපසයන් විසින් කිමෙක්ද? සගය මෙනුවර රජ්ජුරුවෝ දැහැමෙන් රාජ්‍යය කෙරෙද දැයි විචාළ කල්හි ස්වාමීනි, රජ්ජුරුවෝ දැහැමින් රාජ්ජය කෙරෙති. එතකුදු උවත් රාත්‍රියෙහි ශබ්ද සතරක් අසා බමුණන් විචාරා උන් විසින් ඊට සර්වචතුෂ්ක යාගය සුදුසුයයි යනු අසා දහස් ගණන් ප්‍රාණීන් අල්වා බන්ධාගත කළෝය.

ස්වාමීනි, නුඹවහන්සේ වැනි සිල්වත් තාපස ස්ථවිරයන් විසින් ඒ ශබ්දයන්ගේ නිෂ්පතති කියා ඒ සත්වයෝ මරණින් මුදන්ට නොවටිද්දැයි කීයේය. තාපසයෝ, සගය රජ්ජුරුවෝ අප නොහඳුනති. අපි රජ්ජුරුවන් නොහඳුනම්හ. ඉදින් රජ්ජුරුවෝ අප අතින් විචාළෝ නම් සැක නැති වනසේ ශබ්දයන්ගේ අර්ථ ප්‍රකාශ කොට කියම්හයි කීහ. ඉක්බිති ඒ බමුණු කුමාරතෙම සාමීනි එසේ වීනම් මදක් කල් ඉවත නොගොස් මෙහිම වැඩ උවමැනවයි මම රජ්ජුරුවන් වහන්සේ කැඳවා ගෙණ එමි කියා ගොස් දේවයන් වහන්ස, උයනෙහි මෙවැනි තාපස කෙනෙක් ඇතැයි දන්වා රජ්ජුරුවන් කැඳවා ගෙන ආයේය. රජ්ජුරුවෝත් මඟුල් සල්වට මත්තෙහි ස්වර්ණ ප්‍රතිමාවක් මෙන් තාපසයන් දැක එකත්පස්ව හිඳ තමා ඇසූ ශබ්දයන් පිළිවෙලින් කියා එහි අර්ථනිෂ්පත්තිය කියන්ට යාචඤා කළහ. තාපසයෝ මහරජ, මේ ශබ්ද පැවැත්වූ සතර දෙන පූර්ව ජන්මයෙහි ඔවුන් විසින් වස්ත්‍රාභරණ අන්නපාන මාලාගන්ධවීලේපනාදීන් මමත්වය කොට රක්ෂිත ගෝපිත වූ ස්ත්‍රීන් ඒ ඒ ස්ථානයෙන් ගෙන්ව ගෙන්වා බොහෝ කලක් මුළුල්ලෙහි පරදාර පාපය රැස් කෙරෙමින් අනිකුදු ප්‍රාණඝාතාදිවූ අනේකවිධ පාපයන් සිඬකොට ජීවිතාවසානයෙහි ලොහොකුඹු නරකයෙහි ඉපද කකියා ගිය ලෝදියෙහි පෙනනැගී පැසෙමින් තිස් දහසක් අවුරුද්දකින් මුවවිට පටන් යටතලයට පැමිණ පිටත බලා ගාථා සතරක් සම්පූර්ණ කොට කියනු කැමතිව අකුරු සතරක් කියා ඉතිරිය කියන්නට කල් මදවා යට බලා කරකැවී එහිම ගිලී ගියාහ. ඔවුන් සතර දෙනා අතුරෙන් දුකාරය කියා ගැළුනු සත්වතෙම පූර්ව ජන්මයෙහ් සියලු වස්තුවෙන් සම්පූර්ණව රාජ කුමාරව උපන්නාවූ දාන වස්තු හා දාන ක්‍ෂෙත්‍ර ඇති යම්කිසි වස්තුවක් බරලොව අදහා නුදුනම්හ.

උපභෝග පරිභෝග වස්තු ඇතිවම පර ලොවට පිහිටක් නොකළම්හයි සියලු වස්තු පරදාරකර්මාදී අක්‍රියාවෙහි යොදා දුෂ්ට ජීවිකාවෙන් ජීවත් වුම්හයි කියනු කැමති විය. සකාරය කී සත්ව තෙම මේ ලොහෝකුඹු නරකයෙහි පැසෙන්නාවූ අපට උඩුයටිව පැසී යාම් ඊම් දෙකින් එක්ව දැන් සැට දහසක් අවුරුදු හැමපරිද්දෙන් පිරී ගියේය. කවර කලෙක්හි කෙළවරක් වේදැයි කියනු කැමති විය. නරකය කීසත්ව තෙම නිදුක්නි, මේ නරකයෙහි පැසී තව දක්වා කෙළවර නැත, කෙළවර අසවල් කලෙකැයි දක්නා කැමතිවූ අපට එවැනි කෙළවරෙක් නොපෙණෙයි. ඒ එසේමය. පූර්ව ජන්මයෙහි තොප හා අප විසින් කෙළවරක් නැතිවම පරදාරාදී වූ බොහෝ අකුසල් කරණ ලද්දේමය. එවැනි අපට කෙළවරෙක් කොයින් නම් වේද කියනු කැමති විය. සෝකාරය කී සත්ව තෙම ඉඳින් මම මේ නරකයෙන් ගොඩ නැගී මනුෂ්‍ය ආත්මභාවයක් ලදින් නම් උදිතව සිටීම් සංඛ්‍යාත බුදු පසේබුදු සව්වන්ගේ ආඥාව දැන දන්නෙමි සරණ සීලාදී සිල් රක්ෂා කෙරෙමින් බොහෝ කුසල් රැස් කරන්නෙම් වේදැයි කියා කැමති විය යනාදී තිරිසතුන් සතර දෙනාගේ පූර්ව කර්මය හා අක්ෂරයන් සතර දෙනා පටන් ගත් අභිප්‍රාය ප්‍රකාශ කොට කියා මහරජ, නරකයෙහි උපන් සත්වයෝ තමන් විඳිනා මහ දුකින් ශබ්ද පැවැත්වූහයි ඒ ශබ්දයන් කරණ කොට ගෙන තොපට කිසි අන්තරායක් නැත. තොප භය නොගනුවයි රජ්ජුරුවන් ගිවිස්සූහ. ඉක්බිති බරණැස් රජ්ජුරුවෝ බෝධිසත්වයන් වහන්සේගේ කථාව නැමැති අමෘතාභිෂෙකයෙන් මහත් අස්වස් ලැබ නුවර බෙරලවා බන්ධගත සත්වයනට අභය දානය දි යාගශාලාදිය පිදහන කරවා ජන සංග්‍රහ කළාහ. බෝධි සත්වයෝ ද ජනයාට හිත සැප එලවා කීප දවසක් උයන්හි වාසය කොට රජහට අවවාද දී පළමු විසූ හිමාලය වනයටම ගොස් වාසය කොට ආයු කෙළවර ධ්‍යානයෙන් නොපිරිහී බඹලොව උපන්නේය.

ලෝක ස්වාමී වූ බුදුරජානන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙණ හැර දක්වා වදාරා එකල්හි පුරෝහිතයාගේ අතවැසි බමුණු කුමාරතෙම දැන් ශාරිපුත්‍ර ස්ථවිරයෝය. තාපසව උපන්නෙම් දැන් බුදුවූ මම්ම වේදැයි තමන් වහන්සේ දක්වා වදාරා මේ ජාතකය පූර්වපරසන්ධි ගලපා නිමවා වදාළ සේක.

 

 

 

උපුටා ගැනීම – www.jathakakatha.lk

307 මාංශ ජාතකය
305 ක්‍ෂාන්තිවාද ජාතකය

Leave a Reply

Your email address will not be published.

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.