3. මැද මරඟන රැඟුම් – නිසලය මුනිඳු මනරම් …

රිදී වලා දුහුල් සළු අතරින් පෙරී ගලන වෙසක්‌ සඳ කැන් නේරංජරා නදිය අසබඩ වැලි තලා මත විසිර තිබුණේ සිදුහත් තවුසාණන් යන මඟ අතුල පාවඩයක්‌ සේය. නිහඬ වන පෙත පිස ඇදෙන මඳ නල නේක වර්ණ මල් සුවඳින් යුතු විය. වැලිතලා අතරින් සෙමින් ගලා යන නදියෙහි ශාන්ත රිද්මය සිදුහත්ට ඇසිණි. ඒ සොබා දහමේ විසිතුර ඔහු සිතට සුවදායක විය. සිදුහත් එක්‌වරම නතර වූයේ තමා අබියසට එමින් සිටි මිනිස්‌ ප්‍රාණියකුගේ හඬ ඇසුණු හෙයිනි.

“ඔබ කිසියම් දේවතාවෙක්‌ වී නම් එක්‌වරම මට නොපෙනී යන්නෙහිය. එබඳු දෙයක්‌ සිදු නොවීය. එහෙත් ඔබගේ විලාසය මා තුළ කුහුලක්‌ දනවයි. ඔබගේ ශාන්ත රුව මා නෙත බඳියි. කියනු මැනවි ඔබ කිනම් කෙනෙක්‌දැයි කියා.”

සිදුහත් තවුසාණෝ ඔහුට පිළිතුරු දෙන්නාහු,

පින්වත මම සත්‍යය සොයා යන්නෙක්‌මි. තෙල පෙනෙන නුගරුක මුල හිඳ ඒ සත්‍යය ධර්මය පසක්‌ කර ගැනීමේ තිර අදිටනක්‌ මා තුළ වේ. මම දෙවියකු හෝ අමනුෂ්‍යයකු හෝ නොවන්නෙමි.

වීර්ය පුරුෂයාණනි, ඔබගේ සියලු අභිලාෂයන් ඉෂ්ට සිද්ධ වේවා. මම සොත්ථිය නමි. මෙතනින් ඔබ ගමක සිට කුස තණ කපා ගැනීම සඳහා මේ නදී නිම්නයට එළඹුණෙමි. රාත්‍රිය බෝවන්නට පෙර ආපසු යමින් සිටිමි. මා අත තිබෙන මේ කුස තණවලින් අට මිටක්‌ ඔබට පිරිනැමීමටද මම රිසි වන්නෙමි. එය බාර ගෙන මට ගෞරව කළ මැනවි.

එකල්හි සිදුහත් තවුස්‌ තෙමේ සොත්ථිය බමුණා විසින් දෙන ලද තණ අට මිටද රැගෙන අජපල් නුගරුක වෙත පිය නැගීය. ඉනික්‌බිති ඒ තණ එහි අතුරා ආසනයක්‌ සේ සකස්‌ කරන්නටද විය. එකෙණෙහිම සමාධි ගත වීමට සුදුසු පර්යංකයක්‌ සිදුහත් තවුසා අබියස ඉබේම පහළ විය. හේ සන්සුන්ව එහි එරමිණිය ගොතා හිඳ ගෙන මොහොතක්‌ කිසියම් ආවර්ජනයක නිරත විය. තමන් විසින් දක්‌නා ලද නොයෙක්‌ සුබ නිමිතිද ගෙවී ගිය රැයෙහි දුටු සිහින පහද සිදුහත්ගේ මතකයට නැගුණි.

සිදුහත් විසින් දකිනා ලද්දේ අසාමාන්‍ය ගණයේ සිහින පහක්‌ බවද ඒවා එකින් එක හා බැඳුණු අර්ථවත් කතාවක සංකේත බවද ඔහු ඒකාන්ත ලෙසම දැන ගත්තේය. සිදුහත්ගේ පළමු සිහිනයෙන් මැවුනේ දඹදිව අසමසම හිමාලය කඳුවැටිය නමැති කොට්‌ටයට හිස තබා මුළු දඹදිව්තලයම යහනක්‌ සේ ගෙන තම වමත නැගෙනහිර සාගරයටද සුරත බටහිර සාගරයටද පා සඟල දක්‌ෂිණ සාගරයටද දමා සැතපී සිටි ඉරියව්වකි.

දෙවැනි සිහිනයෙන් මැවුණේ සුරත අත්ලෙහි සිට ආකාශය තෙක්‌ නැගි කෙළවරක්‌ නොපෙනෙන ශාඛයකි. දෙපයෙහි පතුල සිට බත් කෙණ්‌ඩ වසාගෙන දණ දක්‌වා කළු හිසින් යුත් කෘමීන් අතුරු සිදුරු නොමැතිව සිටිනු තෙවැනි සිහිනයෙන් මැවිණි. සිව්වැනි සිහිනයේ සිව් දෙසින් ඉගිල ආ වර්ණවත් පක්‌ෂීන් පාමුල වැටී සුදු පැහැයෙන් ආපසු ඉහළ යන අයුරු මැවිණි. පස්‌වන සිහිනයෙන් දිස්‌ වූයේ බිඳකුදු පාවල නොගෑවී උස්‌වූ ගොම කන්දක්‌ දිගේ සක්‌මන් කරන ආකාරයයි.

සිදුහත්හු ඒ සිහින මනසින්ම විමසා ඒවාට අරුත්ද සපයා සිහින විස¹ ගත්හ. ඒ වූකලී අතිශයින්ම සුබ පෙරනිමිත්තකි. තමන්ට අද රැය පහන් වන්නට පෙර ඒකාන්ත වශයෙන්ම අතැඹුලක්‌ සේ සියලු ප්‍රාර්ථනයන් ජයගත හැකිය යන ද්‍රෘඪ විශ්වාසයද සිදුහත් තුළ වැඩිණි. සිය දීර්ඝ සංසාර චාරිකාවේ සුපැහැදිලි වූද සුරම්‍ය වූද භූමියක්‌ වෙත තමා එළඹ සිටින අයුරු ඔහුට දැනෙන්නට විය.

මෙවේලෙහි වසවර්ති මාරයාද මහත් සේ කැළඹීමට පත්ව, යම් හෙයකින් සිදුහත් සත්‍යාලෝකය සොයා යන ගමන අවසන් කරන්නෙහිද ඒ මාගේ පරාජයම වන්නේය යන පවිටු සිතිවිල්ලෙන් දැඩි සේ ආතුර විය.
ගෙවී යන හැම නිමේෂයක්‌ම සිදුහත්ට ජයකි. වහාම ඔහුගේ අධිෂ්ඨානය බිඳ දමා ආ යුතුය යන වියරු සිතින්ම ආතුර වූ මරහු විවිධ උපායන් සිතන්නටද වූහ. මරුගේ සිරුරෙහි දහදියද නැගුණි. ආශ්වාස ප්‍රශ්වාසය අසීරු වන්නටද විය. හෙතෙම වහා ගුවනට පැන ගිරිමේඛලා නමැති සිය හස්‌තියා පිට නැගී වාත වේගයෙන් සිදුහත් හිඳිනා නේරංජරා නදිය අසබඩට ආවේය. ඔහු අනුව දසබිම්බරක්‌ මාර සේනාවෝද සන්නද්ධව පරිවාර ලෙස වූහ.
මාරයා සිදුහත් සමීපයටම නොපැමිණ ඔවුන්ට දර්ශනය වන අයුරින් වියරු සිනා නගමින් ඇතු පිටම වීය. තම අතවූ තියුණු අවියකින් ගිරිමේඛලා ඇතුට අනින්නට විය. එකල්හි ඇතු මහා බියකරු හඬක්‌ නගා වැලිතලාව විසුරුවන්නටද විය. නේරංජරා අවට ශාන්ත සමාධිය බිඳ දැමූ මාරයා චණ්‌ඩ සුළඟක්‌ මවා එය වැලිකුණාටුවක්‌ බවට පෙරළීය. දූවිල්ලෙන් වැසී ගිය හස්‌තියාගේ විලාසය මහත් ප්‍රචණ්‌ඩ විය. සුරත් තඹුරු පෙති සේ ඇතු ඇස්‌ දිලුණි. එහෙත් සිදුහත්ගේ සිරුරේ රෝම කූපයකට තබා ඔවුන් හැඳ සිටි කසාවත සෙලවීමට තරම් වත් මරුගේ සුළි කුණාටු සමත් නොවීය. ඝන බොල් පොළව රත් යවටක්‌ සේ කරමින් ගිනිජාලාද විසුරුවා ලු වසවර්තියා කුපිත වූ ඇතා ඉදිරියට මෙහෙයවීමට ගත් සෑම උත්සාහයක්‌ම ව්‍යර්ථ වීද ගියේය.
මෙවේලෙහි දෙව් බඹ සහ පිරිවරද අහස්‌ තල මත නැගී මේ බියකරු සටන දෙස විස්‌මිතව බලා සිටියහ. එහෙත් ඔවුන් තුළ සිදුහත්ගේ බලය හා ශක්‌තිය පිළිබඳව නම් අබැටක තරම්වත් දෙගිඩියාවක්‌ නොවීය. ඇතැම් දෙව් පිරිසක්‌ තුළ දැඩි සොවක්‌ නැගුණි. මේ වීර්ය පුරුෂයා පෙළනු ඔවුන්ගේ දොම්නසටද හේතු විය. එහෙත් එවේලෙහි සිදුහත් මෙබඳු සත්‍යක්‍රියාවක නිරත විය.
මම මේ සසර කල්ප ලක්‌ෂ ගණනක්‌ මුළුල්ලෙහි කුසල්ම වැඩීමි. මාගේ ශරීරයද මට අයත් අන් සියලු භෞතික දේවල්ද දුගී මගී ජනතාවට නිර්ලෝභීව දුන්නෙමි. කාමය, රාගය, දුරලීමි. එහි විපත් ඉඳුරා දනිමි. මගේ පසිඳුරන්ගෙන් ලද කිසිදු අරමුණක්‌ සුභයෑ යහපතැයෑ ආදී ලෙස නොගත්තෙමි. මාගේ ආධ්‍යාසය වූයේ ඒකාන්තයෙන්ම සත්ත්වයා පෙළන ජරා, ව්‍යාධි, මරණ යනාදියෙහි හේතු ප්‍රත්‍යයද ඒවා වළක්‌වා ගන්නා විද්‍යා මාර්ගයද ඉඳුරා දැන භව දුකට නිසි ඖෂධ සොයා ගැනීමය. ඒ සත්‍යයේ බලයෙන් මේ මාර සටන මරුගේ ලැඡ්ජාවටද, බියටද හේතු වේවා. ඉන් කිසිදු පීඩාවක්‌ මට තබා මේ මිහිතලයෙහි ක්‍ෂද්‍ර ප්‍රාණියකුට හෝ නොවේවා. මරුගේ සියලු මැවීම් ඉන්ද්‍ර ජාලිකයකුගේ මැවුමක්‌ ලෙසට වේවායි සිතන්නටද වූහ.
වසවත් මාරයාගේ සියලු මැවීම්ද සියලු පීඩාවන්ද හිරු දුටු කදෝපැණියකු සේ නිෂ්ඵල විය. සිදුහත්තේ බල මහිමය දුටු දෙව් බඹහු සාධුකාර දෙන්ටද වූහ. වනපෙත ගිගුම් දුන් විදුලි එළි නිවී ගියේය. වැලි කුණාටු වෙනුවට මුදු මඳ නල ගලා ගියේය. වසවර්ති බෙලහීනව නමා ගත් හිසින් යුතුවිය. එකෙණෙහිම ගිරිමේඛලා ඇතු දණගසා සොඬ පියුමක්‌ සේ සාදා සිදුහත්ට නමස්‌කාර කළේය. මේ සියල් ලකුණු දුටු මාරසේනා බියෙන් තැති ගෙන පසු බසින්නට වූහ. මාරයාද විලියෙන් දුර්වර්ණ වූ වතින් යුතුව කෝපයෙන්ම ආපසු සිය වාස භවන කරා යැමට හැරිණි.
දැන් රාත්‍රියෙහි පූර්ව භාගය උදාවී ඇති බව සිදුහත්ට දැනුණි. ඉනික්‌බිතිව සිය වීර චාරිකාව අනුලෝම ප්‍රතිලෝම වශයෙන් මෙනෙහි කරන්නටද විය. තමන් විසින් අලුයම ලූ කෙල පිඩක්‌ සේ අත්හරින ලද සියලු සැප සම්පත්ද ඉනික්‌බිතිව තර්කයද ගවේෂණයද සොය සොයා දිගින් දිගටම වෙහෙස වූ ආකාරයද ඔවුන්ට සිහි විය. තමන්ගේ සිත කිසි මොහොතක රාගයෙහි නො ඇලුණු වගද කෙලෙස්‌ වලින් දුරුවූ වගද එය නිබඳවම සුනිමල දිය දහරක්‌ සේ තමන්ටද අනුන්ටද සුව දායක වූ බවද ඔවුන්ට සිහි විය.
මෙසේ සිතන සිදුහත්ට ක්‍රමයෙන් නව කවුළුවක්‌ හැරී එහි අවට විසිතුරු නරඹමින් යන අයකු සේ තම පූර්ව ජන්මයන් සවිස්‌තරවද විචිත්‍රවද දෘශ්‍යමාන වන්නට විය. ජාතියක්‌ පාසා උපන් අයුරුද මියගිය අයුරුද දැක්‌වෙන සිතුවම් පෙළක්‌ සිදුහත් අබියස දිස්‌විය. හේ පූර්ව ජන්ම නමැති වීදියේ මුලටම ඇවිද ගියේය. මෙසේ පෙර විසුම් දක්‌නා කල්හි තමන් තුළ පෙර විසූ උපත් දැන කීමේ නුවණක්‌ වැඩී ඇති අයුරුද හැඟිණි. සිදුහත් ලැබූ ප්‍රථම ඥනාලෝකයද එය විය. පුබ්බේනිවාසානුස්‌මෘතිය හෙවත් පෙර විසූ කඳ පිළිවෙළ දක්‌නා නුවණ උපදවා ගත් සිදුහත් තවුසාණෝ ඉනික්‌බිතිව සත්ත්වයාගේ පැවැත්ම පිළිබඳ සිත යොමු කළහ.
පියවි මිනිස්‌ ඇස ඉක්‌මවූ දිවැස මගින් සත්ත්ව ඉරණම දුටු සිදුහත් තවුසාණන්ට දෙවන ඥනාලෝකයද පහළ විය. දැන් සිදුහත් සන්තානය සුදු නෙළුමක්‌ සේය. අලුත් උල්පතක දිය බිඳුවක්‌ සේය. පිවිතුරුය. නිර්මලය. ඒ සිත තවත් මෙහෙයවා සත්ත්ව ස්‌වභාවය විමසූ ඔවුන්ට ආසවයන් ගෙවා දැමීමේ ඥනාලෝකයද පහළ විය. පුද්ගල ස්‌වභාවයද මමය මාගේය යන සිතද එයින් දුරුව ලබන විමුක්‌තියද පසක්‌ කළ සිදුහත් තවුසෝ සිය උපත අවසන් වූ බව නිශ්චිතවම දැන ගත්හ.
ආසුව දුරු කරන්නා වූ ඥනය පහළ වීමත් සමගම මෙතෙක්‌ යම් පමණකින් හෝ තමන් තුළ වූ අවිද්‍යා අන්ධකාරය පහවී ගිය වගද ඔවුන්ට තහවුරු විය. චතුරාර්ය සත්‍යය ධර්මය වටහා ගත් සිදුහත් තවුසාණෝ ඒ සඳහා යන මාවත ලෙස ආර්ය අෂ්ඨාංගික මාර්ගයද හැඳින ගත්හ.
සිදුහත් සව්නේ ගෙවා බුදුවූ වග දෙව් බඹහුද වෙනත් සම්‍යක්‌ ද්‍රෘෂ්ටි දේවතාවෝද එකෙණෙහිම දැන ගත්හ. එයට හේතු වූයේද මහපොළව පෙරලෙන්නාක්‌ මෙන් එක්‌වරම කම්පා වූ හඬ දෙව් බඹුන්ට ඇසීමය. එයට හේතු වූයේ සිදුහත් තවුසා සම්බෝධිය පසක්‌ කර ගැනීමය. බුද්ධත්වය යනු අනුපමේයය. අසාමාන්‍යයය. යම් අයෙක්‌ එබඳු උතුම් තත්ත්වයට පත්වන්නාහුද එවේලෙහි පොළව සැලෙයි. හාත්පසින් සැලෙයි. සැලුම් වෙව්ලුම් ගනියි. එය මහා භූමිකම්පාවක්‌ සේ දැනෙයි. තුන්ලොවම එකම සාධු නාදයකින් ගිගුම් දෙයි. දිව්‍යාංගනාවෝ පරසතු මල් දම් ගොතා අහස මාලා වියන් බඳින්නාහුය, සතර අපායෙහි ගිනි නිවී යන්නේය. සියලු සාගරයෝද දළ රළ පෙළ අතහැර බෙර ඇසක්‌ මෙන් පෙනෙන්නටද වේ. ගංගා ජලය නිල්වන්ව සුදිලෙයි. එහි වසන සියලු ජලජ සත්ත්ව වෙසෙස්‌ද ප්‍රමුදිත වන්නාහු. සත්ත්ව ලෝකවල මහත් ආශ්චර්ය සිදු වන්නාහුය. උපතින් වෛරී වන සත්තු සුජාත මිත්‍රයෝ සේ වෙති. විෂඝෝර සර්පයෝද සුසුමක්‌ තරම්වත් විස පිට නොකරති.
සිදුහත් තවුසාණන් විසින් වෙසක්‌ පුන් පොහෝදා එළඹි උතුම් බුදු පදවිය තුන් ලොවට වැඩ පිණිස සිදු වූයේ නමුදු තවමත් එය දරා ගත නොහැකි එකම එක පවිටු සමාගමයක්‌ නම් වීය. ඒ මාරයා සහ ඔවුන්ගේ තණ්‌හාය, රතිය, රඟා යන දියණිවරුය. බුද්ධත්වයට පත් සිදුහත් පිළිබඳ සියලු තතු ඒ වනවිට වසවර්ති මාරයා දැන සිටියේය. යළි ඔවුන් මැŽම පහසු නොවන බවද හේ දන්නේය. එහෙත් සිය පියාණන් දුක්‌මුසුව, උඩුකුරුව සිය මැඳුරෙහි කොණක වැද හෝනා අයුරු දුටු දියණියෝ මහත් සේ කම්පා වූහ.
පියාණනි නුඹ කුමක්‌ හෙයින් මෙලෙස පරාජිතව වැද හොත්තෙහිද? ඒ සියලු තතු නොවළහා පවසන්නෙහි නම් නුඹ යම් මනදොළක්‌ රිසිද අපි එය ලබා දෙන්නෙමුයි කීහ. වසර්ති තෙමේ එක්‌වරම සිනා පහළ කර සිය දියණියන් දෙස බලා සිටියේය.
අවසර පියාණනි, අපි කුඩා දැරියෝ නොවන්නෙමු. මනාව වැඩුණු අඟ පසඟින්ද ස්‌ත්‍රී මායමින්ද යුතුවූවා වන්නෙමු. ඉඳින් යම් පුරුෂයෙක්‌ අප කෙරෙහි නොඇලේද හේ ඒකාන්තයෙන්ම මළ අයෙකි. පංචකාම සුවයෙහි ගිලෙන්නට අප කරන ආරාධනා බිහිරන්ට වුවද ඉවසුම් නොදේ. එහෙයින් අපට නුඹගේ පීඩාවට හේතු කියනු මැනවි.
දියණියන්ගේ ආලවඩන තෙපුල් ඇසූ මාරයාට තම පරාජයට නිමිත්ත වූ කාරණය තව දුරටත් සඟවා ගත නොහැකි විය. අනතුරුව සේ සිදුහත් පිළිබඳ සියලු තතු නොවලහා කීවේය. දියණියන්ට ඔවුන් මුහුණ දෙන අභියෝගයෙහි බරපතළ බව පෙන්වා ඔවුන් වළක්‌වා ලන්නට මාරයා ගත් තැතද නිෂ්ඵල විය.
තණ්‌හා, රතී, හා රඟා සිය මැඳුරෙහි සිටි සේවකයකු අමතා අස්‌රියක්‌ සූදානම් කරවා ගෙන දුලබ මල්වලින් රිය සරසා වහා රියට නැඟ නෙරංජරා නිම්නය දෙසට සැණකින් ළඟා වූහ. එවේලෙහිද හාත්පස රිදී පැහැ ගැන්වී තිබිණි. වනපෙත සිසාරා මඳ නල හමයි. ශාන්ත රාත්‍රිය අතිශයින්ම චමත්කාර විය.
තණ්‌හා ද රතීද රඟා ද දුහුල් සළු පැළඳ, සුවඳ විලවුන් ගල්වා, නුරා දල්වන මලින් සැරසී පියෙන් පිය සෙමින් ඔසවමින් බුද්ධත්වයට එළඹ සිටි මහා පුරුෂයන් පෙනෙන මානයට ගියහ. එකියක්‌ ගැයුවාය. අනෙක්‌ ලිය වැයුවාය. ඉතිරි ලිය නැටුවාය. ගැයුම්, වැයුම්, නැටුම් යනු සිදුහත්ට ගිහි ගෙය කලකිරවූ ප්‍රථම නිමිත්ත වග මේ පවිටු ලියෝ නොදත්හ. එසේ නොවුවද මේ ස්‌ත්‍රී පාර්ශ්වයෙහි බැඳීමට තරම් ළාමක සිතක්‌ බුද්ධත්වයට පෙර පවා සිදුහත්ට නොවූ වග මොව්හු කෙසේ දනිත්ද?
බුද්ධලීලාව නම් මෙබඳු විසූක දස්‌සන දෙස ඇසකින් තරම්වත් නොබලන ආශ්චර්යවත් දෙයකි. සාරා සැකිකප් සුවහසක්‌ පෙරුම් පුරන ලද්දේ මෙවන් පව් කිළියන්ගේ ස්‌ත්‍රී මායම්වලින් බැඳෙන්ටද? වීතරාගී, වීතමෝහී පරමශාන්තී බුදුබල හමුවෙහි කේඩෑරි වැඳිරියන්ගේ විප්‍රකාරයක්‌ සේ ඔවුන්ගේ නැටුම් ද වැයුම්ද ගැයුම්ද අතොරක්‌ නැතිව සිදු වුවද සිදුහත් බුදුහු ඒ දෙස ඇස හැරවත් නොබැලූහ.
කුමන ආකාරයකින්වත් බුදු බලය සිඳිනු නොහැකි වග නොදත් ඒ මාතුගාමයෝ වෙහෙසට පත්ව මළානිකව හිඳ ගත්හ. විඩාබර සිතින් සිතන්නාහු ඔවුන් තුළ දැඩි ලැඡ්ජාවක්‌ද කෝපයක්‌ද වැඩිණි. එහෙත් ඒ බව සඟවා මෙසේ මායම් වදනින් ඇවිටිලි කරන්නටද වූහ.
අහෝ හිමිසඳුනි මේ සුරලියන් සදිසි කුමරියන් දෙස නෙතඟින්වත් නොබලන උදැඩියකු සේ නුඹ කෙලෙස ඉන්නෙහිද? නුඹ ළය මඬල වසා ගත් වස්‌ත්‍රය උනා දමා අප සමඟ ආලිංගන නැටුමකට රිසි නොවන්නෙහිද? අප සුරතින් සුරා බිඳක්‌ තොල් පෙති මත රඳවා ගන්නට නොරිසියෙහිද? බලව ෘ මේ මනරම් රැයෙහි විසිතුරු අහස යට සුපිපි මල් සුවඳ විඳ විඳ නුඹද අපද ප්‍රමුදිතව සිටින්නාහු නොවෙත්ද? නුඹ පුළුල් ළය මඬලෙහි වැතිර නුඹ මුවට මුව ළං කර එකම නුරා වදනක්‌ මේ සවනින් අසන්නට අපට වරම් අහිමිද? අපගේ සිනිඳු සුමුදු ළය මඬළෙහි හිස ඔබා සිත නිවන්නට නොරිසියෙහිද? මේ වට මඬල නුඹ පහස අයදින්නා සේය. වරෝ හිමි සඳුනි, උමතු රාත්‍රිය අප අඳුරු සළුපටින් වසා රමණයට ඇරයුම් නොකරන්නේද? ඉදින් නුඹ ගලක්‌ සේ නොවන්නේද? මෙළෙක්‌ ගුණ නොදක්‌නේද? නුඹ රුව අප නෙත පහරවයි. අප ගත නුරා ගිනි අවුලවයි. එගිනි නිවා අප සුවපත් කරනු ප්‍රියය.
මේ සියලු යාදිනිද ඇමතුම්ද සිදුහත් ගෞතමයන්ගේ සවන් අසලට තරම්වත් ළං නොවීය. ඒ කාම සිතිවිලි ග්‍රාම්‍ය, ළාමක, නොමනා දෙයක්‌ බව සිදුහත්ට පසක්‌ වූයේ ඇසළ සැණකෙළි මැද රැය ගෙවද්දීය. එකල එහි සිටි ලියෝ මනරම් වූහයි සිතන්නට පවා සිදුහත් නොරිසිවිය. එදා ඔවුන්ට සිතුනේ ඒ නාටිකාංගනාවෝ සසර මැද අටවන ලද බිහිසුණු උගුලක්‌ සේය. නොපමාව අබිනික්‌මන් කළ යුතුයෑයිද එදා ඔවුන්ට සිතිණි. එකල මෙකල වෙනස මෙන්ම සමානකම්ද සිදුහත් ගෞතමයාණෝ මෙනෙහි කළහ. එදා තමන් ලද පිළිකුලටත් වඩා දැඩි පිළිකුලක්‌ මේ මරඟනන් කෙරෙහි ඇතැයිද හැඟිණි.
එකෙණෙහිම තණ්‌හා, රතී, රඟා යන තිදෙනාගේම අත්වල තිබුණු වීණා ඇතුළු වෙනත් සංගීත භාණ්‌ඩද ගිලිහී බිම වැටිණි. අකම්පිතව සෘජු කයෑතිව හිඳ සිටි සිදුහත් ගෞතමයෝ රන්වන් සිවුර අතරින් සුරත පිටතට ගෙන මහ පොළව ස්‌පර්ශ කරන්නට මෙන් කිසියම් අභිනයක්‌ දක්‌වා සුරත ඇඟිලි තුඩු මිහිකත දෙසට යොමු කළහ. මාර දූවරු රළු කුණාටුවකට අසුව ගසා යන පඬරලා පත් සේ යොදුන් ගණනක්‌ ඈතට විසිවී ගියහ.
දෙව් බඹහු නැවත සාදු නද දුන්හ. දැන් ලොවට දහසක්‌ හිරුද තවත් දහසක්‌ සඳුද කෙළ සුව දහසක්‌ තරුද නැඟූ සේ අඳුර පහවී ගිය සේය. අනේ සාධු…. සාධු…. යනාදී වශයෙන් අලුත් අලුත් දේව ගීතිකා ගයන්නටද වූහ. රමණීය අරුතින්ද සුරම්‍ය විරිතින්ද ගැයුණු ඒ ගී මඳ නල හා මුසුව අහස්‌ ගඟ දිගේ ඇදී සියලු සාගර හා ගංගා ජලය සමඟද මුසුවී නා නා ලෝකවලටද විහිද ගියේය. සිදුහත් ගෞතමයන්ගේ සිත පුරාද උදාන ගී නැගෙන්නට විය.

ගාමිණි සුමනසේකර
4. සහම්පති මහා බ්‍රහ්ම රාජයා සුදොවුන් මාළිගාවේ... !
2. අර නිරාහාරව වැටිල හිටිය සෘෂීන්වහන්සේ ද මේ ... !
IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.