294 සිරිකාලකණ්ණි ජාතකය

සිරිකාලකන්නි ජාතකය උමන්දයෙහි විස්තර වශයෙන් බස්නේය.

මියුළු නුවර වැසි පිංගුත්තර නම් ළදරුවෙක් තක්සලා නුවරට ගොස් දිසාපාමොක් ආචාරීන් සමීපයෙහි ශිල්ප උගෙන නිමවූයේ, සිරිත් ලෙස ආචාය්‍ර්‍යවරයා තමාගේ දෙවඟනක් බඳු දියණියද කැඳවා ගෙන යවයි ඔහුට පාවා දුන්නාහ. ඔහු නමින් පිංගුත්තර වුවද පින් නැත්තෙක. කාලකණ්ණිය. කුමාරිකාව මහ පිණැත්තීය. ඈ කෙරෙහි සිත නොඇළුන මානවකයා ඈ නුරුස්නේ ආචාරීන්ගේ බස් අකමැත්තෙන් ඉවසා රාත්‍රීයෙහි සකස් කර දුන් මංගල යහනෙහි සැතපීහ. කුමාරිකාව අවුත් ඇඳට නැගෙන්නාහාම මානවකයා ඇඳින් බැස බිම වැදහොත්තේය. කුමාරිකාවද ඇඳින් බැස ඔහු සමීපයට ගිය විට ඔහු එතනින් නැගිට ඇඳට යන්නේය. මෙසේ ඇඳට බිමට යාමෙන් වෙහෙසට පත් කුමාරිය ඇඳෙහිම සැතපුනීය. ඒ කාලකණ්ණියා බිම වැදහොත්තේය. මෙසේ සතියක් ආචාරීන්ගේ නිවසෙහි සතියක් යවා ඈ කෙරෙහි සෙනෙහෙ නැතිවත් ආචාරීන්ගේ බස පැහැර නොහැරිය හැකි බැවින් ඈ තමාගේ නුවරට කැඳවා ගෙන නික්මුණේය. අතර මගදී කිසි කතාබහක් පමණ කුදු නැති මියුළුනුවරට පැමිණියේ පලගත් දිඹුල් ගසක් දැක සාදුකින් පීඩිතවූයේ ගසට නැගීලා දිඹුල් කඩාගෙන කන්නට වන. කුමාරිකාවද සා දුකින් පීඩිත වූයේ මටත් දෙවයි ඇයදීය. ඇයි තිට අත්පා නැද්ද? ගසට නැගී දිඹුල් කඩාගෙන කවයි කීහ. සා දුකට වඩා දුකක් නැති හෙයින් කුමාරිකාවද ගසට නැග දිඹුල් කඩාගෙන කන්නටවන. මානවකයාත් ඈ ගසට නැගී බව දැන වහා ගසින් බැස ගසවට කටු ගසාලා කාලකණ්ණියා කෙරෙන් මිදිනියි කියාලා නුවරටම පැනගියේය. කුමරිය ගසමුල කටු හෙයින් බැසපීයන්ට නොහැකිව උඩම හුන්නීය.

ඉක්බිත්තෙන් රජ්ජුරුවෝ එදවස් උයන්කෙළි කෙළ සවස්වේලේ නුවරටම වදනාහු දිඹුල් ගස උන් කුමාරිකාව දැක ඈ පිළිබඳව සිත් ඇතිව පුරුෂයන් ඇත්ත නැත්ත විචාරා පාවාදුන් ස්වාමියා පලාගිය බව අසා කුමාරිකාව ගඟින් බස්වා ඇතුපිට නංවා ගෙන මාළිගාවට ගෙන ගොස් රුවන් රැසක් පිට සිටුවා අගමෙහෙසුන් කළහ. ඈ රජ්ජුරුවන්ට ප්‍රියය. මන වඩිති. දිඹුල් ගසදී දුටුබැවින් උදුම්බරා දේවිය යි ප්‍රසිද්ධ වූහ.

දිනක් රජ්ජුරුවෝ උයන් කෙළියට යන පිණිස ගම්වැස්සන් ලවා මාර්‍ගය ඉදිකරවූහ. පින්ගූත්තරයාද රාජසම්මත බැවින් මෙහෙවර කරන්නේ කැසපට කවාගෙන උදැල්ලකින් මග නසින්නටවන. මාර්‍ගය සාදා නිමවන්නට පෙර රජ්ජුරුවෝ උදුම්බරා දේවීන් සමග මංගල රථයෙන් උයන් කෙළියට නික්මුණාහ. උදුම්බරා දේවිය මාර්ගය සසිමින් සිටි ඒ කාලකණ්ණියා දැක මෙබඳු සම්පතක් දරාගත නොහැකි වීයයි ඌ දිසාව බලමින් සිනාසුනාහ. රජ්ජුරුවෝ බිසවුන් සිනාසෙනවා දැක කිපී කුමක් නිසා සිනාසෙන්නෙහිදැයි විචාළහ. බිසව ඊට හේතුව ඇතිසැටියෙන් කීවාය. රජ්ජුරුවෝ තී කියන්නේ බොරුය. අනික් පුරුෂයකු දැක තී සිනාසුනේය. තී මරමියි කඩුව කොපුවෙන් ඇදගත්හ. බිසව භයපත්ව දේවයනි යළි පණ්ඩිතවරුන් විචාළ මැනවයි කීහ. රජ්ජුරුවෝ සේනකයන් අතින් විචාළහ. දේවයන් වහන්ස මැගේ බස් නො අදහමියි කවරෙක් නම් මෙබඳු ගැහැණියක් හැරපියා නැගීයේදැයි කීහ. බිසව සේනකයන්ගේ බස් අසා වඩාත් බියවූහ.

ඉක්බිති රජ්ජුරුවෝ සේනකයා කුමක් දනීද? මහෞෂධ පණ්ඩිතයන් විචාරමියි සිතා පණ්ඩිතයන් අමතා ගාථාවකින් විචාරන්නාහු ස්ත්‍රීයක් තොමෝ අධික රූ ඇත්තීද ආචාරශීලී වූද ඈ පුරුෂයෙක් නොකමැත්තේල. තෙපි ඒ අදහව්දැයි විචාළහ. එබස් අසා දේවයිනි මම අදහමි. පුරුෂයා දෛවය නැත්තේ වී නම් ශ්‍රී කාන්තාවද කාලකණ්ණියාද යන මොහු දෙදෙනා මුහුද එතෙර මෙතෙර සේද අහස හා පොළව සේද එක් නොවෙතියි වදාළහ. රජ්ජුරුවෝ ඒ අසා සතුටට පත්ව පණ්ඩිතයෙනි ඉදින් තෙපි අද මෙතන නැත්තාහු නම් අනුවණ සේනකයාගේ බස් අසා මෙබඳු ගැහැණු රුවණක් නොලද්දේ වෙමියි. මසු දහසක් පූජා කළහ. ඉක්බිති බිසව රජ්ජුරුවන් වැඳ ස්වාමීනී මේ පණ්ඩිතයන් නිසා මාගේ දිවි ලද්දේ වෙමි. එබැවින් මොහු මාගේ මලනු තනතුරෙහි තබා ගැනීමට අවසරය දෙනු මැනවි. මොහු හැර කිසි මිහිරි රසයක් අනුභව නොකරමි. කැමති වේලාවක වාසල් දොර හරවා පණ්ඩිතයන්ට මිහිරි රසයක් යවන්නට ලබන වරයක් ගතිමියි වර ලබාගත්හ.

 

 

 

උපුටා ගැනීම – www.jathakakatha.lk

295 චුල්ලකාලි ජාතකය
293 චිතීයරාධ ජාතකය

Leave a Reply

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.