28. අහෝ දෙව්දත් නොදිටි මොක්‌පුර … !

බිම්බිසාර රජුන් ඔවුන්ගේම පුත් අජාසත් රජුගේ වධහිංසාවලට ගොදුරුව මිය යැමේ පුවත ලැව්ගින්නක්‌ සේ රජගහ නුවර පුරා පැතිර යමින් තිබිණි. නුවර වැසියෝ මහත් සොවින් රජ මැදුර ඉදිරිපිට අංගනයට රැස්‌වූහ. ඈත ගම් දනව්වල ජනයා ද දුක්‌බරව නුවර වෙත ඇදෙමින් සිටියහ. බොහෝ දෙනෙක්‌ මාලිsගාව තුළ සිදුවූ කිසිවක්‌ නොදත්හ. රජතුමා සිය පුත් අජාසත් කුමරුට සිහසුන පවරා විවේකීව සිටින්ට ඇතැයි සමහරු සිතූහ. එහෙත් ඒ වන විට මාලිsගාව තුළ සිර වූ රහස්‌ ද පිටතට ඇදෙමින් තිබිණි. පුතකුගේ වධයට පියකු පත්වීම බොහෝ දෙනකුගේ සංවේගයට මෙන්ම කෝපයටද හේතු විය. එහෙත් ඒ සා දරුණු විපත් වැලකට බිම්බිසාර රජුන් ගොදුරු වීමේ සැබෑ හේතුව දෙව්දත් හාමුදුරුවන් බව කිසිවෙක්‌ නොදත්හ.

දෙව්දතුන් විසින් නොමග යවන ලද අජාසත් රජතුමා ද ඒ වන විට බෙහෙවින් කනස්‌සල්ලට ද ශෝකයට ද පත්ව සිටියේය. ඔහු තුළ බියක්‌ද විය. තම සමීප නෑයකු වන පසේනදී කොසොල් රජු මෙහිදී කුමන ප්‍රතිචාරයක්‌ දක්‌වනු ඇද්ද යන භීතිය ඔහු තුළ වැඩෙමින් තිබිණි. තම පිය රජුන් නිරන්තරවම අසල්වැසි රාජ්‍ය සමඟ සහයෝගීව කටයුතු කරමින් ඔවුන්ගේ සිත් දිනාගත් අයුරු ද හෙතෙම සිහි කළේය. සිය මෑණියන් වන කෝසල දේවිය මතු දිනෙක සියලු රහස්‌ අනාවරණය කළහොත් තමන් පත්විය හැකි අනතුර පිළිබඳව ද එවේලේ ඔහුට සිහි විය.
මෑණියන්ගේ දුක්‌බර විලාප ඔහුගේ දෙසවන් වටා රැව්දෙන්ට විය.
අහෝ පුතණුවනි, නුඹේ පියා නුඹට මොනතරම් ආදරය කළාද? නුඹ මගේ කුස පිළිසිඳ ගත් දිනවල නිමිතිකරුවන් විසින් කරන ලද සියලු අනතුරු හැඟවීම් නුඹගේ පිය රජු ප්‍රතික්‍ෂේප කළ අයුරු මට මතකයි. අද නුඹ අසලම සිsටින පුරෝහිතයෙක්‌ මට කීවේ ගැබ විනාශ කර නුඹගේ උපත වළක්‌වන ලෙසය. මට එබඳු නපුරු සිතක්‌ නොවීම ස්‌වාභාවිකය. ඒ මා මවක්‌ හෙයිනි. එහෙත් නුඹගේ පිය මහ රජුන් අසිපත රැගෙන එසේ මට යෝජනා කළ අය මරන්ට පැන ආ ම වග නුඹ දන්නෙහිද? තවද නුඹ කුස සිටියදී මට ඇති වු ලේ පවස පිළිබඳ දොළ පසිදලන්ට පියාණන් උරය පලා ලේ දුන් අයුරු නුඹ දන්නෙහිද? වරක්‌ නුඹ ඉතා ළදරු වියෙහි නුඹ අතැඟිල්ලක වූ සැරවා ගෙඩියක්‌ නුඹට වේදනා දෙන අයුරු දුටු නුඹ පියාණන් ඒ
 ඇඟිල්ල මුව තුළ රුවා සැරව උරා බිව් අයුරු නුඹ දන්නෙහිද? අහෝ පුතණුවනි එවන් පිතු සෙනෙහසක්‌ මෙදියත මම නම් නොදුටුවෙමි. ඒ මහඟු ගුණ කිසිවක්‌ නොතකා නුඹ විස බස්‌ ගෙන මෙබඳු විපතක්‌ කරන්ට කෙසේ ළදැඩියකු වූවෙහිද?
අජාසත් රජතුමා විකල් සිහියෙන් මෙන් ඒ මේ අත සක්‌මන් කරන්ට විය. ඔහුගේ විලාසය දුටු අග බිසව ද මහත් සේ කම්පාවට ද බියට ද පත් වූවාය.
“දැන් සියලු විනාශයන් සිදුවී අහවරයි. ඇතුන් දහසක්‌ යොදා හෝ ඒ කිසිවක්‌ ආපසු ඇද්ද විය නොහැකියි. දේවිය මට කිසිදු අස්‌වැසිල්ලක්‌ නෑ. මගේ මෑණියන් මට කිසිම සමාවක්‌ නොදෙන වග ඒකාන්තයි. සත්තකින්ම මා දවසින් දවස අඳුරින් අඳුරට ගියා. මා ආලෝකය යෑයි සිතා ගත්තේ කදො
පැනියකුගේ එළියටයි. මටම හිතාගන්ට බෑ මේ තරම් මා නපුරු වූයේ කෙසේද කියා. බලය යනු ඒ සා බිහිසුණු දෙයක්‌ බව මට දැන් වැටහෙනවා. එදා මගේ දැස අන්ධ කළ මායා බලය මට පැහැදිලියි. අහෝ පියාණනි මා මෙලොවට රැගෙන ඒමේ ශාපයට නොවේද ඔබ ගෙවූ ජීවිත වන්දිය. මා කුමක්‌ද මගේ මයිලනුවන් වන කොසොල් රජුට කියන්නේ. එතුමන්ගේ නැඟණියට මානසිකව වධ දුන් බවද? කෙසේද මා ජනතාව ඉදිරිපිට යුක්‌තිය ගැන විමසන්නේ. මගේම මාලිගාවේ ඒ යුක්‌තියටඉඩ නොවූ බව මගේ හෘදය සාක්‍ෂිය දන්නවා.”
අජාසත් රජු පාපොච්චාරණය විලාසයෙන් නගන විලාපය අග බිසවගේ මෙන්ම එහි සිටි ඇමැතිවරුන් කීපදෙනාගේද කම්පාවට හේතු විය. දෙව්දතුන්ගේ මෙහෙයීමෙන් සිය රජතුමා දුමගක යන බව දැක දැකත් තමන්ට නිහඬව සිටීමට සිදුවීම පිළිබඳවද ඔව්හු දුක්‌ වූහ. එහෙත් දැඩි අධිෂ්ඨාන සිතින් ඔව්හු මෙසේ රජතුමා අස්‌වසාලීමට වෙර දැරූහ
ඔබතුමන්ගේ දුක, වේදනාව අපට පැහැදිලියි. ඒත් එකල ඔබතුමන්ගේ මනස ක්‍රියා කළේ පිය රජුන් පිළිබඳ දැඩි වෛරයකින්. ඔබතුමාගේ සිතට වද දුන්නේ සිහසුන හා රජ කිරුළ පමණයි. එය උදුරා ගත හැකිය යන අනිසි බියකින් ඔබතුමා පීඩා වින්දා. ඒත් අපට ඒ බව පෙන්වාදීමට තරම් ශක්‌තියක්‌ තිබුණෙත් නෑ. එබඳු යෝජනාවක්‌ කරන කවරකු වුවත් ද්‍රෝහියකු ලෙස සිතීමට ඔබතුමා සාහසික වී සිටියා. දැන් අපිමෙයින් නිදහස්‌ වන මගක්‌ සොයමු. අපට බුදු සරණ විනා අන් සරණක්‌ නෑ. මේ සියලු දේ බුදුන් වහන්සේ දිවැසින්ම දැක ඇතුවාට සැකයක්‌ නෑ.
අජාසත් රජුගේ සිත ඒ වදන් දැඩිව ග්‍රහණය කර ගත්තේය. එහෙත් තමන්ට බුදුන් වහන්සේ වෙතට කෙසේ යා හැකිද යන දෙගිඩියාවක්‌ද ඔහු තුළ විය.
“ඇත්තටම මට බුදුන් වහන්සේ කීපවරක්‌ම පණිවිඩ එවා තිබුණා. ඡේතවනාරාමයට එන ලෙස. දෙව්දතුන්ගේ හිත රිදේවි යන බියෙන් මා නිශ්ශබ්දව සිටියා. වරක්‌ දෙව්දත් හාමුදුරුවන් මට ආයාචනයක්‌ කළා බුදුන් වහන්සේට හා සංඝයා වහන්සේට පිණ්‌ඩපාත දීම තහනම් කරන ලෙසත්, ඒත් මට එබඳු පියවරක්‌ ගැනීමට ශක්‌තියක්‌ නොතිබීම අද වාසනාවක්‌ බවයි මට හිතෙන්නේ.
අජාසත් රජු මැදිවී සිටි මානසික ව්‍යාකූලත්වය පිළිබඳව ඇමැතිවරුන්ට තවත් විස්‌තර වුවමනා නොවීය. මේ සියලු විනාශය දෙව්දතුන්ගේ වරද නිසා සිදුවූ බවද ඔවුන්ට පසක්‌ විය.
බිම්බිසාර රජුගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව මැද සිදු විය. පසේනදි කොසොල් රජු ඒ අවමඟුල් උළෙලෙහි ප්‍රමුඛයා විය. බුදුන් වහන්සේ දහසකට නොඅඩු රහතන් වහන්සේලා ද සමඟ ආදාහන උළෙලට වැඩම කළහ. දහස්‌ ගණන් ජනතාව ද සිය අසාමාන්‍ය නායකයාණන්ට ගෞරව කිරීමට රැස්‌ වූහ. බිම්බිසාර රජුගේ තවත් පුත්‍රයකු වූ අභය කුමරුන්ගේ සිත ඒ සිදුවීම් නිසා මහත් සේ කලකිරී තිබිණි. ඔහු කල්පනා කළේ මේ සියලු බල අරගලවලින් ඈත් වන මගක්‌ පිළිබඳවය.
මේ අතර අජාසත් රජුගේ සිතට ද මඳ හෝ අස්‌වැසිල්ලක්‌ නොවීය. ඔහු රාත්‍රිය ගත කළේ නිදිවර්ජිතවය. ආහාර රුචියද, රාජ සභාවට යාම් ඊම්ද අඩු විය. රජුගේ මේ වෙනස අගබිසවගේ සංවේගයට හේතු විය. ඕ ඇමැති මණ්‌ඩලය සමඟ ඒ පිළිබඳව සාකච්ඡාවක්‌ද කළාය. ඇමැතිවරයෙක්‌ යෝජනා කළේ ජීවක වෛද්‍යවරයා කැඳවා රජුට ප්‍රතිකාරයක්‌ ලබාදිය යුතු බවය. බිසවද එය අනුමත කළාය.
ජීවක වෛද්‍යවරයා අජාසත් රජුගේ ශ්‍රී යහන් ගබඩාවටම ගොස්‌ ඔහු පරීක්‍ෂා කළේය. රජුට කිසිදු කායික ආබාධයක්‌ නැති බවද ඔහු තිරසාරව කීවේය. එහෙත් ඇමැතිවරු ඔහුගේ අදහස නොපිළිගත්හ.
“රජතුමාට තිබෙන්නේ තදබල මානසික ව්‍යාධියක්‌. එය මා වැනි කායික වෛද්‍යවරයකුට සුව කිරීම දුෂ්කරයි. ඒ සඳහා ඔසු නියම කිරීමටත් මට බැහැ. මගේ අදහස නම් එයට පිළියම් දන්නා එකම එක වෛද්‍යවරයායි. මේ විශ්වයේම සිටින්නේ. මා යෝජනා කරන්නේ රෝගියාට ඒ වෛද්‍යවරයාගෙන් ප්‍රතිකාර ලබාදීමටයි.
ඒ ඇසූ ඇමැතිවරු තවත් විස්‌මයට පත් වූහ. ඔව්හු කියා සිටියෝ මේ නුවර හෝ අවට ජීවක වෛද්‍යවරයාණන් අභිබවා යන අයෙක්‌ සිටිත්දැයි නොදත් බවය. එවිට ජීවකයෝ බුදුන් වහන්සේ පිළිබඳ ඔවුන්ට කීහ.
ඇමැතිවරුනි, මෙලොව සියලු සත්ත්වයන්ට පැමිණෙන විවිධ කායික ව්‍යාධීන්ට නිසි ඖෂධ වෙයි. එහෙත් මානසික ව්‍යාධි යනු එබඳු ඖෂධවලින් සුවපත් කළ නොහැකි බිහිසුණු දෙයකි. එයට දුලබ දිව ඔසු සාදා දී සුවපත් කළ හැක්‌කේ තුන් ලෝ නායක බුදුවරයකුට පමණි. ඉදින් අප නුවර එබඳු බුදුවරයෙක්‌ වැඩ සිටියදී කුමක්‌ නිසා මා වෙහෙස කරන්නෙහිද?
අජාසත් රජතුමා එවේලෙහි මෙසේ සිතන්නට විය.
මට කෙසේවත් බුදුන් ඉදිරියට යා නොහැක්‌කේය. දෙව්දතුන් විසින් කරන ලද සියලු කුමන්ත්‍රණ සඳහා මගේ අනුබල, අනුග්‍රහ ලද අයුරු බුදුහු ඉදුරා දනිති. බුදුන් විද මැරීමට දුනුවායන් යවන ලද්දේත් මගේ නියෝගයෙන්ය. පසුව නාලාගිරි මදැ’තා යවන ලද්දේත් මා දැනුවත්ව ය. ඒ සා විපත් වැලක්‌ සැදූ අයෙක්‌ වූ මම උන්වහන්සේ අබියසට කෙසේ යන්නෙම්ද? ගියත් බුදුන්ගේ මුහුණ බලා පිහිටක්‌ අයෑදිය හැකිද?
ජීවකයන්ට අජාසත් රජුගේ සිතැඟි වැටහිණි. හේ යළි ඔහු අමතා සිත දිරිමත් කළේය.
රජතුමනි බුදුහු නම් සියලු මිනිසුන්ට පමණක්‌ නොව දෙව් බඹුන්ටද වඩා උතුම් වූද, අසම සම කාරුණික වූද ශේ්‍රෂ්ඨ උත්තමයෙක්‌ වෙති. තමන් වෙත පැමිණි කිසිවෙකුට බුදුහු සරණ නොවී නොසිටින්නාහුය. එසේම ඔබගේ පිය රජුන් හා බුදුන් වහන්සේ අතර දිගු කාලීන මිත්‍ර ධර්මයක්‌ද විය. ඔබ පියාණෝ බුදු සසුනෙහි අග්‍ර මහා දායකයණෝ වී සිටියහ. ඔබ පියාණන් මියයද්දී හැට අට වන වියෙහි පසු විය. ඉන් වසර පනහකට වැඩි කලක්‌ ඔබ පියාණෝ බෞද්ධ උපාසකයෙක්‌ සේ විසූහ. මේ සියලු තතු නිසාම ඔබට අමුතු විශේෂයක්‌ නොකළත් එයින් තහවුරු වන්නේ ඔබට පියාණන් සදිසිව බුදුන් වහන්සේ දෙසද බැලිය හැකි බවය. සිත එකඟ කර ගෙන නොපමාව බුදුන් වහන්සේ වෙත යනු මැනවි.
ඒ ඇසූ අජාසත් රජු බුදුන් වහන්සේ බැහැ දැකීමට සිත එකඟ කර ගත්තේය. ඉක්‌බිති අජාසත් රජතුමා අගබිසව හා ආරක්‍ෂක පිරිවරද සමඟ බුදුන් වහන්සේ බැහැ දැකීමට පිටත් විය. ජීවක වෛද්‍යවරයා ද ඔවුන් සමග විය. බුදුහු ඒ දිනවල වැඩ සිටියෝ ඡේතවනාරාමයෙන් බාහිර ජීවක අඹවනයෙහිය. ඒ පසළොස්‌වක පොහෝ දිනයකි. සඳඑළිය ගලා යයි. තුරු හිස්‌ මුදුන් රිදී පැහැයෙන් දිලෙයි. රෑහි හඬක්‌ හෝ නොවූ රාත්‍රියෙහි බිම දිගට ඇදුණු තුරු සෙවණැලි මතින් ඔව්හු ගමන් කරමින් සිටියහ. ශාන්තව ගලා බසින දිය දහරාවක හඬ සුළඟින් ගෙන එයි. කිසිවෙක්‌ කතා නොකළහ. ඒ නිශ්චලත්වය බිඳී යා හැකි යෑයි හැඟුණු හෙයින් විය හැකිය. අජාසත් රජු මතක ඇති අවදියක මෙවන් මානසික සුවයක්‌ විඳ නැත.
බුදුන් වන්සේ සංඝයා වහන්සේ ද පිරිවරා ගෙන උස්‌ මණ්‌ඩපයක වැඩ සිටින අයුරු පළමුව දුටුවේ ජීවක වෛද්‍යවරයා ය. ඔහු සුරතින් සියුම් සංඥවක්‌ කර අජාසත්ත රජුගේ සිත ඒ දෙසට යොමු කළේය. තවත් සුළු වේලාවක්‌ ගෙවූ ඔව්හු දම් සභා මණ්‌ඩපය අසලටම පැමිණියහ. තමා කලකට පෙර සිය රජුන් සමඟ බුදුන් වහන්සේ බැහැ දැකීමට ගිය අයුරු ඔහුට සිහිපත් විය. ඒ කුමර වියෙහිය. බුදුන් වහන්සේ දෙස මහත් ගෞරවයකින් හා භක්‌තියකින් බලා සිටි රජු එතැන් සිට බිම දණ ගසා උන්වහන්සේට නමස්‌කාර කළේය. සෙසු පිරිසද ඒ අනුව බුදුන් වැන්දාහ.
“අජාසත් රජතුමනි, දිගු කලකින් ඔබ මා අබියසට පැමිණියේ. ඔබට ශාන්තියක්‌ සුවයක්‌ ලබා ගැනීමට ඔබ මා වෙත එන බව මා දැන සිටියා. ඔබගේ සතුට හා මානසික ඒකාග්‍රතාව බිඳී ගිය බව දැන් ඔබටම පෙනී යනවා ඇති. සතුට සුඛයක්‌ වන්නේ එය සිතට දැනෙන විටයි. ඒ සඳහා සිත සකස්‌ කර ගත යුතුයි. ද්වේෂය, රාගය, මෝහය දුරු කළ කෙනෙක්‌ ලබන සතුට අප්‍රමාණ වින්දනයක්‌. සිත එකඟ කර ගත හැකි සරල භාවනා ක්‍රම ගිහිව සිටත් ප්‍රගුණ කළ හැකියි. සිහිය, සමාධිය සිත මුදු මොළොක්‌ බවට පමුණුවනවා.
අජාසත් රජුගේ සිත ඇවිලෙමින් තිබුණු ගිනි නිවී යන්ට විය. ඔවුන්ගේ දෑස්‌ අබියස මැවුණුq නපුරු රූප මැකීයන්ට විය. දෙසවන් තුළ පිළිරැව් දුන් බියකරු හඬ නෑසී යන්ට විය. සියලු කායික හා මානසික ව්‍යාධීන් පහව යන අයුරු ඔහුට දැනෙමින් තිබිණි. හේ මොහොතක්‌ දෑස්‌ පියාගත්තේය. කොපමණ වේලාවක්‌ ඒ අයුරින් සිටියේ දැයි ඔහුට මතක නැත. ජීවකට දැනුණේ ද මහත් සහනයකි. බුදුහු යළි කාරුණිකව ඔවුන් ඇමතූහ. අනතුරුව තෙරුවන් සරණගිය උපාසකයකු බවට පත් වූ අජාසත් රජතුමා යළිත් බුදුන් වහන්සේට නමස්‌කාර කළේය. බිසව හා පිරිසද ඒ අයුරින්ම බුදුන් වැඳ තෙරුවන් සරණ ගියහ. මේ අතර දෙව්දත් හාමුදුරුවන්ටද අජාසත් රජුන් පිළිබඳ සියලු තොරතුරු ආරංචි වි තිබිණි. බිම්බිසාර රජුගේ අභාවයෙන් පසු දෙව්දතුන්ගේ භික්‍ෂුන්ටද මහජනයාගෙන් ලැබුණු ප්‍රතිචාර යහපත් නොවීය. දවසින් දවස දෙව්දතුන්ගේ භික්‍ෂුන්ට ලැබෙන ලාභ සත්කාර ද පිරිහෙමින් තිබුණි. නුවර පිඬු සිඟා ගිය ඇතැම් භික්‍ෂූන්ට මහජනයා දොස්‌ නගන්නටද වූහ. තවත් කෙනෙක්‌ ඔවුන්ට දන්දීම තහනම් කළ යුතු යෑයිද කීහ. සමහරු එසේ කළහ. දෙව්දතුන්ගේ ප්‍රබල අනුගාමිකයන් බවට ප්තව සිටි කෝකාලික, කටමෝරතිස්‌ස, සමුද්දදත්ත යන භික්‍ෂූහු ඒ පිළිබඳව සාකච්ඡා කළහ. එහෙත් ජනමතය ඔවුන්ට විරුද්ධව නැඟෙමින් තිබිණි. දෙව්දතුන්ගේ සමාගමයෙහි සිටි භික්‍ෂුණීන් අතර ද නොයෙක්‌ ආරවුල් වැඩිණි.
තමන්ට නරක කලක්‌ උදා වෙමින් තිබෙන බව දෙවදත් හාමුqදුරුවන්ට ද හැඟුණි. යළි අජාසත් රජුන් වැනි ප්‍රබල දායකයකු කිසි දිනක හමු නොවන බවද ඔහුට පසක්‌ විය. තමන් විසින් ගන්නා ලද සියලු ක්‍රියාමාර්ග ගඟට ඉනි කැපීමක්‌ බඳු වී ඇති බවද ඔහුට කල්පනා විය. එසේ සිතන දෙව්දතුන් තුළ බියක්‌ද වැඩිණි. ඔවුන්ට දැනුණේ තමන් අසරණව, අනාථව සිටින බවකි.
මෙසේ සති කීපයක්‌ ගෙවී යද්දී තමන් තුළ ශාරීරික දුබලතාවක්‌ වැඩෙන බව දෙව්දත් හාමුදුරුවන්ට පසක්‌ වන්ට ද විය. රාත්‍රි මොහොතක නින්දක්‌ හෝ නොවීය. ඇතැම් දිනක රැය පහන් වනතුරුම සක්‌මන් කරමින් සිටීමටද දෙව්දතුන්ට සිදු විය. තමා සමග සිටි අනුගාමික පිරිස අතුරින් කණ්‌ඩායම් ලෙස ඉවත්ව යන අයුරුද දෙව්දත් හිමියන්ට පෙනුණි. යළි හිස එසැවීමක්‌ නොමැති බව සිතෙන විට ඔවුන්ගේ කයට වඩා සිත දුබල විය. මේ දුබලතාව කොපමණද යත් ඇතැම් දිනක පය පැකිළී හේ බිම වැටුණි. ඔවුන්ට තනිව නැඟී සිටීමට පවා දුෂ්කර විය.
කෝකාලික භික්‍ෂුවට නම් හැඟුණේ දෙව්දතුන්ගේ අවසානය ළඟාවෙමින් තිබෙන බවය. දෙව්දතුන්ගේ විලාසයද කෙමෙන් දුක්‌මුසු විය. ඇතැම් රාත්‍රියක බියට පත්ව අවදිවන දෙව්දත් හාමුදුරුවෝ අසිහියෙන් දොඩවන්ටද වූහ.
දෙව්දතුන් පිළිබඳ ඒ සියලු තොරතුරු ආනන්ද හිමියන්ට ද ලැබිණි. උන්වහන්සේ ඒ තොරතුරු බුදුන් වහන්සේටද සැළ කර සිටියහ. එවිට ආනන්ද හිමියන් ඇමතූ බුදුහු දෙව්දතුන්ගේ ඉරණම පැහැදිලි කළහ දෙව්දතුන්ට ඔවුන් විසින් කරන ලද පාපකර්මයන්ගෙන් ගැලවීමක්‌ නොමැති බවත්, ඒකාන්තයෙන්ම අපාගත වන බවත් බුදහු වදාළහ.
තවත් දින කීපයක්‌ ගත විය. ආනන්ද හිමියන්ට ලැබුණේ අලුත්ම ආරංචියකි. එනම් දෙව්දතුන් ගිලන් ඇඳක තබා ගත් පිරිසක්‌ ඔවුන්ගේ ඉල්ලීම පරිදි බුදුන් වහන්සේ බැහැදැකීමට එන බවය. සැබැවින්ම දෙව්දතුන්ගේ අවසන් ආයාචනය වූයේද බුදුන් වහන්සේ වෙතට ඔවුන් රැගෙන යන ලෙසය. ඒ ඇසූ සියල්ලෝම පළමුව විස්‌මයට පත් වූහ. දෙවනුව එය කිසිසේත් කළ නොහැකි දෙයක්‌ බවද කියා සිටියහ. එහෙත් දෙව්දතුන් එකහඬින්ම කීවේ අන් කිසි පිහිටක්‌ තමාට නොමැති බවය.
බුදුන් වහන්සේ වෙතට යා හැකි මගක්‌ පිළිබඳව දෙව්දත්හු දිවා රෑ මුළුල්ලේම කල්පනා කරන්ට වූහ. අවසානයේදී ඔවුන්ට අජාසත් රජුන් සිහි විය. තමන් නිසා රජුට අත් වූ අපකීර්තිය ගැනද ඔහුට වුයේ දැඩි කනස්‌සල්ලකි. පසුතැවීමෙන් ලැබෙන සැනසීමක්‌ නැත. අන්තිමේදී දෙව්දත් හාමුදුරුවෝ තමන්ට හිතවත් භික්‍ෂුවක්‌ කැඳවා අජාසත් රජුන් හමුවී තමන්ගේ දුක්‌ ගැනවිල්ල පවසා එයට උපකාර කරන ලෙස බැගෑපත් වූහ.
දෙව්දතුන්ගේ විශේෂ නියෝජිත භික්‍ෂුව ද වහාම රජ මැදුරට දිවගොස්‌ දෙව්දතුන් පිළිබඳ සියලු තොරතුරු සැළ කර සිටියේය. ඒ ඇසූ අජාසත් රජු තුළද සංවේගයක්‌ උපන්නේ ය. තමන්ගේ ගෞරවයට පාත්‍රව සිටි දෙව්දතුන්ට යහපතක්‌ සලසා දීමට හැකි නම් එය ඉටු කළ යුතුය යන සිතිවිල්ලද රජුට විය. තමන්
 විසින් අත්පත් කර ගන්නා ලද සහනය දෙව්දතුන්ට ද ලබාගත හැකි යෑයි රජු කල්පනා කළේය. රජු ඒවේලේම තම පුරෝහිත සමගද කතිකා කර දෙව්දතුන්ට ගමන් පහසුව සළසා දෙන ලෙස නියෝගයක්‌ ද කළේය.
ඉක්‌බිති රාජපුරුෂයෝ දෙව්දතුන් සමීපයට ගියහ. එසඳ ඔවුන්ට දැක ගත හැකි වූයේ දැඩිව ගිලන්ව සිටි දෙව්දතුන්ගේ දුක්‌මුසු විලාසයයි. ඔවුන්ගේ සිවුර බෙහෙවින් ඉරී අබලන් වී තිබිණි. මුව දැලි රැවුල වැඩී දෙඇස්‌ ගිලී ගොස්‌ තිබිණි උච්චාරණය ද පැහැදිලි නොවීය. රාජපුරුෂයන්ට පසක්‌ වූයේ දෙව්දතුන් රැගෙන යැමට ගිලන් ඇඳක්‌ වුවමනා බවය. ඔව්හු ආපසු රජ මාළිගාවට ගොස්‌ ඒ සියලු පුවත් ද රජුට දන්වා ගිලන් ඇඳක්‌ද රැගෙන ආපසු පැමිණියහ.
දෙව්දතුන්ට සිරුර වාරු නැති වග දැනුණේ නැඟී සිටීමට වෑයම් කරද්දීය. හේ අමාරුවෙන් නැඟී සිටියත් එකෙනෙහිම බිම ඇද වැටුණි. රාජපුරුෂයෙක්‌ වහා පෙරට පැන ඔවුන්ව අල්ලා ගත්තේය. දෙව්දතුන්ගේ දෑස්‌වල කඳුළු පිරී තිබිණි. මුහුණේ දුක්‌බර විලාසය වඩාත් තීව්‍ර විය. රාජපුරුෂයෝ ඔහු සිSරුවෙන් ගිලන් ඇඳ මත තබාගෙන ගමන ඇරඹූහ.
පුළුවන් ඉක්‌මනට මාව අරගෙන යන්න. මට දැනෙනවා මේ මගේ අවස්‌න මොහොත බව. මේ දෑස්‌ පියවෙන්න කලින් මට බුදුන් වඳින්ට ඕනෑ.
බැස යන හිරුගේ රත් පැහැය බටහිර අහසට එක්‌ කර තිබුණේ
 කිසියම් බියකි. හිරුගේ රක්‌ත වර්ණ දත් විලිස්‌සන රකුසෙක්‌ වැන්න. ගහකොල බියපත්ව නිසොල්මන්ව බලා සිටියහ. ඡේතවනාරාමයට එන මග දෙපස තරමක අඳුරු ස්‌වභාවයක්‌ ද ගෙන තිබුණි. තවමත් අවට පන්දම් දල්වා නොතිබීමද එයට හේතු විය. ඡේතවනාරාමයට පෙරළා දෙව්දතුන් පැමිණෙන්නේය යන ආරංචිය ද පැතිර ගොස්‌ තිබුණි. සමහරු දෙව්දතුන් දැක ගැනීමේ සිsතින්ම ඒ දෙසට ඇදෙමින් සිටියහ. රාජපුරුෂයන්ටද කිසියම් අමුතු චකිතයක්‌ විය. ඒ කුමක්‌ නිසාදැයි ඔවුන්ටද සිතා ගත නොහැකි විය.
දෙව්දතුන් රැගත් රාජපුරුෂයෝ ඡේතවනාරාමයට පිවිසෙන විසල් දොරටුව අබියස නතර වූහ. බුදුන් බැහැ දැකීමට යන සියල්ලෝම මෙතැන් සිට පයින්ම යා යුතු වෙති. රජ, සිටු, ප්‍රභූ යන සියල්ලෝ ද ඒ සිරිත අනුගමනය කරති. දෙව්දත්හු හිස ඔසවා වටපිට බැලූහ. ඔහුට කිසිවක්‌ මතක නැත. ගහකොළ හා අවට ඔහු තුළ ජනිත කළේද බිය මුසු හැඟීමකි. සංඥා කර ඇඳෙන් බැසීමට උදව් වන ලෙස අයෑදීය. විස්‌මයකි. දෙව්දතුන්ට ළං වීමට තබා කිසිවකුට තමන් සිටි තැන්වලින් සෙලවීමටද අපහසු විය. රාජපුරුෂයන්ට දැනුණේද තමන් ගල්වී ඇති සෙයකි. දෙව්දතුන් දැඩි පරිශ්‍රමයකින් නැඟිට්‌ටේය. එය විකල් නැඟිටීමක්‌ වැන්න. සියල්ලන්ම මවිතයට පත් කරමින් දෙව්දතුන් වටා වූ පොළව දෙබෑ විය. ගිනි ජාලා මතුවන්නටද විය. දෙව්දතුන්ගේ නොපැහැදිලි විලාප යට කරමින් මහපොළෙවෙන් මතු වූයේ බියකරු හඬකි. දෙව්දත්හු ඉන් බේරීමට මෙන් වෙර යොදා ඉදිරියට පනින්නට වෑයම් කළහ. එහෙත් ඔහුගේ වෑයම නිෂ්පල විය. අවට මහා ගණඳුරක්‌ පැතිර යමින් තිබිණි. දෙව්දතුන් මහ පොළොව තුළම කෙමෙන් කෙමෙන් ගිලී යමින් සිටියේය. ඔහුගේ සිහිය සිඳිණි. එහෙත් ආයාසයෙන් මෙන් දෑත් එක්‌කළ දෙව්දත්හු කුමක්‌ හෝ කියන්ට වෑයම් කළහ.
එකල්හි පෙර පරිදිම මහා හඬක්‌ නැඟුණි. පොළව පෙර පරිදිම හා වී ගියේය. රැස්‌ව සිටි අයට කිසිවක්‌ සිතාගත නොහැකි විය. හාත්පස එකම ගන අඳුරක ගිලී ගියේය.

ගාමිණී සුමනසේකර

29. සුසුමක්‌ තරම් නොනැඟුණි කුසුමක්‌ පරව ගිලිහුණි ... !
27. වියරුව නැගුණු ඇත් රජින්දා වැටී මුනිඳු පාමුළ බැතින් වැන්දා ...
IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.