(27) පංච සම්පත් ලැබෙන්නේ ඇයි ? - IFBC Organization | Dhamma

මහ නායක හාමුදුරුවනේ,මනසින් උසස් මනුෂ්‍යයෙක් වීම හා මනුෂ්‍යාත්මයක් ලැබීම කොතරම් දුර්ලභ කාරණයක් ද ?

අපේ බුදු හාමුදුරුවෝ ‘ ධම්ම පදයේ – බුද්ධ වග්ගයෙහි’ 182 වෙනි ගාථාවෙන් මේ පිළිබඳව විස්තර කර තිබෙනවා. උන්වහන්සේ බරණැස් නුවරදී ඒරකපත්ත නාරජුන් අරබයා කළ එම පැහැදිලි කිරීම මෙබඳුයි.

“ කිච්ඡෝ මනුස්ස පටිලාභෝ
කිච්චං මච්චාන ජීවිතං ….”

යන්නෙහි අදහස, මෙලෙස මිනිසත් බව ලැබීම, මනුෂ්‍ය ආත්මයක් ලැබීම අපහසුයි, මිනිසුන්ගේ දිවි පැවැත්ම ද අපහසුයි, එමෙන්ම සද්ධර්මය ඇසුරු කිරීමට ලැබීම හා බුදුවරුන්ගේ පහළ වීමද දුර්ලබ වන බවයි.

ඒ වගේම, මෙලෙස පරමාර්ථ මනුෂ්‍ය ජීවිතයක් ලැබීම ( දුල්ලභංච මනුස්සත්තං ) කොයිතරම් දුර්ලභ කාරණයක් ද පිළිබඳව ‘ සංයුක්ත නිකායේ – ඕපම්ම සංයුක්තයේ, නඛසිඛා සූත්‍රයේත්’ පැහැදිලි කර තිබෙනවා.

වරක් බුදු රදුන් නිය මතුපිටට පස් ටිකක් ගෙන ‘ මහණෙනි, මේ නිය පොත්ත උඩ තියෙන පස් ද වැඩි, මහ පොළොවේ තියෙන පස් ද වැඩි’ කියලා අහලා. අන්න ඒ වගේ තමයි මරණින් මතු මනුෂ්‍යයන් වෙලා උපදින ප්‍රමාණය යනුවෙන් දක්වනවා. එනම්, නියපොත්ත උඩ තියෙන පස් ටික වගේ ඉතාම කලාතුරකින් මනුෂ්‍යයන් ලෙස ඉපදෙන විට මහ පොළොවේ පස් තරම් විශාල ප්‍රමාණයක් මනුෂ්‍යයන් වී ඉපදීමට නොහැකිව තිරිසන්, ප්‍රේත ආදී විවිධ ආත්මභාවවල උපත ලබනවා.

විය සිදුරෙන් අහස බැලීම

මිනිසත් බවක් ලැබීම කණ කැස්බෑවා විය සිදුරින් අහස බලනවා වගේ දුෂ්කර දෙයක් කියන්නේ ඇයි ?

‘ විය සිදු’ කියන්නේ, කුඹුරු සීසෑමේදී හරක් දෙදෙනෙක් එකට ගැට ගසා ගෙන යන සවිමත් ලී දණ්ඩේ දෙපැත්තේ ඇති සිදුරටයි. බොහෝ කාලයකට පසු මේක අබලන් වුණොත්, ඉවත් කරලා වෙනත් වැඩකට ගන්නවා. නැත්නම්, දරට ගන්නවා. එහෙමත් නැත්නම් ඒක මඩට යටවී හෝ අව්වට වැස්සට හසුවී දිරාපත් වෙනවා.

මේ ලී දණ්ඩ ( විය ගස ) නිවසේ හෝ කුඹුරේ තිබී වැසි ජලයට හසු වී ඇළ දොළ ගංගාවල නොරැඳී පාවී ගොස් මහ මුහුදට ඉතාම කලාතුරකින් ගසා ගෙන යනවා. එහිදීත් නැවත ගොඩබිමට ගසා ගෙන නෑවිත් මුහුද මැද කලාතුරකින් පාවි පාවී තිබෙන්නට පුළුවන්.

එමෙන්ම මේ කුඩා ලී දණ්ඩේ සිදුර අහස දෙසට හැරී පවතින්නත් එහිදී ඉඩ තිබෙනවා. ඔහොම තියන අවස්ථාවක හරියටම ඒ වේලාවට අවුරුදු සියයකට වරක් ඉතාමත් කලාතුරකින් මුහුදු පතුලේ සිට උඩට එන එක ඇසක් පමණක් පෙනෙන කණ කැස්බෑවෙකු මේ කුඩා විය සිදුරින් අහස බලන්න වාසනාව උදා වෙනවා. හැබැයි, ඒක සඳ පෑයූ පොහෝ දිනක පැහැබර අහසක් තිබෙන අවස්ථාවකුත් වෙන්න ඕනෑ.

දැන් මේ විය ගසේ උපමාවෙන්ම හිතාගන්න පුළුවන් නේද ? ඇත්තටම මිනිසත් බවක් ලැබීම කියන්නේ, කොයි තරම් දුර්ලභ කාරණයක් ද කියලා.

පිරිපුන් මිනිසත්බව

ඒ වුණත්, මිනිසත් බව ලබාගත් පමණින් පරමාර්ථ මනුෂ්‍ය ආත්ම භාවයක් වෙන්නේ නැහැ නේද ? ඒ සඳහා සම්පූර්ණ විය යුත්තේ කුමන කාරණා ද ?

ඔව්, ඊට මූලික වශයෙන් ප්‍රධාන කරුණු තුනක් ( 03 ) ඉවහල් වෙනවා. හොඳ නරක තේරුම් ගත හැකි බුද්ධියක් තිබීම, අත නොපා ස්වශක්තියෙන් ජීවත් විය හැකි ආත්ම ( මානසික ) ශක්තියක් තිබීම හා අංගවිකල බවින් තොර නිරෝගී ( කායික ) ජීවිතයක් ලැබීම ඒ සඳහා මූලිකව බලපානවා. මීට අමතරව, මතු දැක්වෙන කරුණුත් ඊට ඉතාම ඉවහල් වන බව පෙනෙන්නට තිබෙනවා.

1. සද්ධර්මය ඇසුරු කිරීමට හැකි සුදුසු ( පතිරූප ) දේශයක හා කාලයක ජීවත් වීම.
2. එබඳු පසුබිමක වුවද මිසදිටු පවුල්වල හා එම මතවල එල්බ ගෙන අන්ධ වී නොසිටීම සහ
3. දහම් ඇසීමට හා බවුන් වැඩීමට සසර පුරුද්දක් තිබීම යන කරුණු ඒ අතර කැපී පෙනෙනවා.

මාරයාට නොපෙනෙන තැන

එහෙම නැත්නම්, මේ මිනිස් ජීවිතය වැඩකට නැති දර කැබැල්ලක් වගේ දෙයක් ද ?

ඔව්, වරක් බුදු හාමුදුරුවෝ සැවැත්නුවරදී පූතිගත්තතිස්ස තෙරුන් අරබයා එවැනි පැහැදිලි කිරීමක් කළා. ‘ ධම්ම පදයේ – චිත්ත වග්ගයේ’ 41 වෙනි ගාථාවෙන් කෙරෙන එම විවරණයත් ඊටම සමානයි.

එබැවින්, මේ කය ( දර කැබැල්ල ) අසාර වූ පෙණ පිඬක් ලෙසද, මිරිඟුවක් ලෙසද විස්තර කරමින් වඩාත් නුවණට හුරු වන්නේ, මාරයාට නොපෙනෙන තැන වූ නිවනට යාම බවද එහි ‘ පුෂ්ප වග්ගයේ 46 වෙනි ගාථාවෙන්’ පැහැදිලි කරනවා. මේ මිනිසත්බව තුළින් ආයු, වර්ණ, සැප, බල හා ප්‍රඥා ලබා නිර්වාණය ළඟා කරගත් උතුමන් කොතෙකුත් බුද්ධ ශ්‍රාවකයන් අතර සිටිනවා. එලෙස දහම් ආලෝකය නොලැබ සියවසක් ජීවත් වුණත් මළවුන් වගෙයි.

වැඩිම ආයුෂ විඳි ශ්‍රාවකයෝ

එහෙම පරමාර්ථ මිනිසත්කම ලබා වැඩිම කාලයක් ජීවත් වූ ශ්‍රාවකයෝ කවුද?

ඒ විධියට ආයු වැළඳූ බුද්ධ ශ්‍රාවකයෝ ඕන තරම් සිටිනවා. අල්පාබාධ ( නිරෝගී ) ශ්‍රාවකයන් අතර අගතැන්පත් බක්කුල මහ රහතන් වහන්සේ අවුරුදු 160 ක් හා දිබ්බචක්ඛු ඥානලාභීන් අතර අග තැන්පත් අනුරුද්ධ මහරහතන් වහන්සේ අවුරුදු 150 ක් ආදී වශයෙන් එලෙස ජීවත් වී තිබෙනවා.

බක්කුල හාමුදුරුවෝ පිළිබඳව බුදු දහමේ විස්තර වෙන්නේ කොහොමද ?

මීට ඒකා සංඛ්‍ය කල්ප ලක්‍ෂයකට පෙර ( පූර්ව වර කල්පයේ ) වැඩ සිටිය අනෝමදස්සී බුදුරදුන්ගේ උදර වාතාබාධයට ඖෂධ වර්‍ග සොයා පූජා කළේ, එවකට තවුසෙක්ව ඉපිද සිටි බක්කුල හාමුදුරුවෝයි. එයින් මතු, බඹලොව ඉපිද එක් අසංඛ්‍යයක් ඉක්මවූ පසු පියුමතුරා බුදු රදුන්ගේ කාලයේ මිනිසෙකුව ඉපිද නිරෝගී ( අල්පාබාධ ) ශ්‍රාවකයන් අතර අගතැන්පත් ශ්‍රාවකයන් වහන්සේට උපස්ථාන කරනු ලැබුවා.

නිරෝගී වුණ පින

ඉනික්බිතිව, දෙව් – මිනිස් ලොව වරින් වර සැරිසරා විපස්සී බුදුන් දවස ( මීට පෙර පැවති සාර කල්පයේ ) බමුණෙකුව ඉපදී එක්තරා විෂම ( තිණපුෂ්ඵක ) වසංගත රෝගයෙන් පීඩා විඳි පිරිසකට ප්‍රතිකාර කර රෝගය සන්සිඳවූවා. තවද, කාශ්‍යප බුදුන් දවස ආරාමයක්, දන් ශාලාවක්, ආරෝග්‍ය ශාලාවක් හා වැසිකිළියක් ඇතුළු භික්‍ෂු සංඝයාට අවැසි දේ ඉදි කර දී ආහාරපාන, ඖෂධ ආදිය පූජා කරනු ලැබුවා. මෙසේ විවිධ කාලවල නොයෙකුත් ප්‍රතිකාර පූජා කටයුතු සිදු කර අප ගෞතම බුදුන් දවස කොසබෑ නුවර සිටු පවුලක ඉපිද සැප සම්පත් මැද වැඩුණා.

එකළ පැවති මතයකට අනුව එලෙස උපන් පසු නිරෝගී භාවය පතා යමුනා නදියේ ජලස්නානය කර වූවා. එහිදී පාවී ගොස් ළදරුවා විසල් මත්ස්‍යයෙකුගේ කුස තුළට ගියද ඉන් කිසිඳු පීඩාවක් වුණේ නැහැ. මේ මත්ස්‍යයා පසුව මාළු දැලකට හසුවී විකිණීමට තිබියදී රජ බිසව අතට පත් වුණා. මාළුවාගේ එම කුස තුළ සිට පවා දිවි බේරුණු ළදරුවාව රජ පවුලේ හා සිටු පවුලේ වශයෙන් කුල දෙකේම ( බක්කුල ) ඥාතීන් පෝෂණය කළා. මෙලෙස ගිහි ගෙදර අවුරුදු 80 ක් හා පැවිදි දිවියේ අවුරුදු 80 ක් ලෙස අවුරුදු 160 ක් කිසිඳු ආබාධයකින් තොරව නිරෝගීව ජීවත් වුණා. උන්වහන්සේ පැවිදි වී සතියක් පමණ පුහුදුන්ව සිට අටවෙනි දින හිරු නැගෙත්ම රහත් භාවයට පත් වීමට භාග්‍යය ලැබුණා. ඉන් පසුවත්, කොසබෑ නුවර හා බරණැස් නුවර රජ සිටු කුල ඥාතීන් විසින් සියලුම දේ උන්වහන්සේට නොඅඩුව පූජා කරනු ලැබුවා.

(28) දැනුම දියුණු කිරීමෙන් මනස දියුණු වෙයි ද?
(26) සිත ‍ලෙඩවන හැටි

Leave a Reply

Your email address will not be published.

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.