Skip to main content

267 රොම ජාතකය

තවද ආකාශයයේ අප්‍රමාණ ගුණ ඇති සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි දේවදත්ත ස්ථවිරයන් වහන්සේ අරභයා මේ ජාතකය දක්වා වදාළ සේක. මෙහි වර්ථමාන කථාව බොහෝ ජාතක වල පෙණෙන්නේය.

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්ජය කරණ සමයෙහි බෝධිසත්වයන් වහන්සේ බොහෝ පරවියන්ට නායක ව පරවි ව උපන්සේක. ඒ පරවියන් වසන්නාවූ වන සමීපයෙහි තාපස කෙණෙක් වාසය කරන්නාහ. ඒ තාපසයන් කරා බෝධිසත්වයෝ පරවියන් පිරිවරා ගොසින් තාපසයන් දැක වැඳ පුදා යන්නාහ. ඉක්බිති තාපසයෝ ඔබ්බකට ගියාහ. ඒ පන්සල අනික් කූට තාපස කෙණෙක් වාසය කරන්නාහ. බෝධිසත්වයෝත් ඒ තාපසයන් කරා ගොස් තාපසයන් වැඳ පුදා බණ අසා ඒ පන්සල් මලුයෙහි ගොදුරු කා යන්නාහ. මේ නියායෙන් පණස් අවුරුද්දක් ගියේය. එක් දවසක් උපාසක වරු පරවි මස් රසයක් තාපසයන්ට පිළිගැන්වූහ. තාපසයෝ පරවි මසෙහි තෘෂ්ණාව ඇතිව මේ කුමන මස් දැයි විචාරා පරෙවි මසැයි කී පසු එසේ වී නම් තොප ඇම විසින් මට සාල් ලුණු මිරිස් ආදී වූ දෙය ගෙන්වා දෙවයි කියා ගෙන්වා ගෙණ පොල්ලකුත් සැස වල්කලා අස්සේ තබාගෙණ පරවියන් එන පෙරමග බල බලා උන්නාහ. ඒ වෙලාවට බෝධිසත්වයෝ බෙහෝ පරවියන් පිරවරා තාපසයන් කරා ආහ. තාපසයන් උන්නාවූ විලාසයෙන්ම බෝධිසත්වයෝ අද තාපසයන් ඉදිනා නියාව අමුත්තක් ඇත මැනව, කුමක් දෝහයි සිතා යටිසුලගට ගොස් අඝ්‍රානය කොට තාපසයන් පරවිමස් කෑ නියාව දැන තාපසෝ පරවිමස් කා අප මරන්ට උත්සාහ කොට ඉඳිති සිතා පන්සලට දුරුව දුරුව ගොදුරු කන්ට වන්නාහ. තාපසයෝ ඒ දැක මේ පරවියෝ මා කරා නො එති. කටයුතු කාරිය කියාලන් කොට ගෙණ මරමි සිතා කියන්නාහූ ඇයි. තොප ඇම මෙතෙක් දවස් මා කරා අවුත් ලඟම ගොදුරු කන්නාහ. දැන් පණස් අවුරුද්දක් වාසය කරණුවෝද අද කවර සැකයක් තොප ඇමට දැනුදු සඳහා මා ලඟට නො එව්ද?. නැතහොත් මා අනික් තාපස කෙනෙකැයි සිතා නො එව්ද?. නැත තොපි අනික් පරෙවි මොත්තමෙක්දැයි කීහ. එබස් අසා බෝධිසත්වයෝ කියන්නාහූ තොප අනික් තාපසකෙණෙකුන් සන්දාත් නොවෙයි, අනික් පරවි මොත්තමෙක් නිසාත් නොවෙයි, තා ඉඳිනා ආකෘතිය අපට සැක කෙරෙයි, එසේ ගොසින් ලඟට නේන්නේ යයි කියන්නෝ මා ඉදිරි සැලැස්ම මුන් ඇම දැනගත් නියා වේදැයි සිත දුරතබා පොල්ල දමාලා ගැසීය. ඒ දමාලු පොල්ල වැරද ගිය. එවිට තාපස කියන්නේ තෙපි මාගෙන් වැරදුනවා දැයි කීහ. එවිට බෝධිසත්වයෝ කියන්නාහූ තමා ගසාම වැරුද ගියාහූ පමණක් විනා තාපසයෙනි, තෙපි සතර අපායෙන් නොවැරදුන වාදැයි කියා එම්බල තාපසය ඉනිබ්බේ තෝ මෙතන උන්නෙහි නම් උපාසක වරුන්ටත් තාගේ නුගුණ බොහෝ කොට කියමි. තෝ මෙතනින් පලායවයි කියන්නාහූ ඒ තාපසයා එවිට එතනින් පලාගියේ යයි වදාරා මේ රෝම ජාතකය නිමවා වදාළසේක.

එසමයෙහි එකියන තාපසෝ නම් දේවදත්ත ස්ථවිරයෝය. පළමු විසූ සිල්වත් තාපසයෝ නම් සාරිපුත්‍ර ස්ථිවීරය, පරෙවිව උපන්නෙම් බුදුවූ මම්ම වේදැයි වදාළසේක.

 
උපුටා ගැනීම – www.jathakakatha.lk

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.