Skip to main content

257 කර්‍කටක ජාතකය

තවද මාගේ ස්වාමිදරුවූ සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි එක්තරා ස්ත්‍රියක් අරභයා මේ ජාතකය දක්වන ලදි.

ඒ කෙසේද යත්,

එක්කෙළෙඹි පුත්‍රයෙකු හා උන්ගේ භාර්යාවන්හා දෙන්නා සැවැත්නුවරට එන්නාහූ අතරමග සොරුන් ඇති ස්ථානයට පැමිණියාහූ ඒ වනාන්තරයේ වසන්නාවූ සොරදෙටුවා එකියන ස්ත්‍රියගේ විශිෂටවූ රූපය දැක ඈ කෙරෙහි පිළිබඳ සිතින් මෙකියන පුරුෂයා මරා මෙකියන ස්ත්‍රීය ඇරගණිමියි සිතා පුරුෂයා මරන්ට කොපුවෙන් කඩුව අයාගත, එවිට ස්ත්‍රීය පතිවෘතා ධර්මය රැත තමාගේ ස්වාමි පුත්‍රයා දෙවතාස්ථානයෙහි තබා වාසය කරණ හෙයින් සොරදෙටුවා පය ගෙණ අඬා මා නිසාවේද මාගේ ස්වාමිපුත්‍රයා මරන්ට සිතන්නේ මාගේ ස්වාමි පුත්‍රයා රැකගතනුහුනුවත් මාගේ ප්‍රාණය සිරිගිකාවුවත් ස්වාසය රඳවාවුවත් නසා ගණිමි කීහ. එවිට එකියන සොරා ඒ දෙමහල්ලන් නොමරා අළහ. ඒ දෙමහල්ලොත් සැවැත්නුවරටම එන්නාහූ ජේතවනාරාමයට අවුත් සර්වඥයන් දැක යම්හයි සිතා ජේතවනාරාමයට අවුත් සර්වඥයන් දැක සිටියාහ. සර්වඥයෝත් කොළඹි පුත්‍රය මගසැපසේ පලාආවාදැයි විචාරා වදාරන්නා ස්වාමිනී අපට කුමන සැපයෙක් ඇද්ද අතරමගදී සොරුන් අප අල්වාගත් ගමනේ මාගේ ස්ත්‍රීය නිසා ජිවිතය ලදුයේයයි දැන්විය. සර්වඥයෝ වදාරණ සේක් පෙරත් මේ ස්ත්‍රී නුවනැත්තන්ගේ ජිවිතය රැකදුන්නේයයි වදාරා ඒ කෙසේදැයි ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළසේක.

ඒ කෙසේද යත්,

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්ජය කරණ සමයෙහි එක්විලෙක මහත්වූ කලවිටක්යා මහත ඇති රන්වන් කකුළුවෙක් ඇත. එකියන කකුළුවා වසන්නාවූ විලටද එකියන කකුළවාගේ නමින් විලටද නම්විය. එකියන කකුළුවාගේ විල සමීපයෙහි ඇත් රජ්ජ්ුරුවකෙණෙක් නිබදම ඇත්මුලක්ගෙණ වාසය කරන්නාහ. ඒ ඇත්මුල විලට බැස පොකුරු මී නෙලඹුදැලි කන්ට බටවේලාවට ඒ විලවසන්නාවූ කකුළුවා එක් ඇතෙකුගේ කකුල ඩෑගෙණගොස් කන්නේය. මේ නියායෙන් ඇතුන්ට බොහෝ ගැහැට කරණහෙයින් ඇත්තූ ඒ විලට නොබසිනාහ. එසමයෙහි ඒ විල සමීපයෙහි වාසය කරන්නාවූ ඇත්රජ්ජුරුවන්ගේ ඇතිනීගේබඩ බෝධි සත්වයෝ පිළිසිද ගත්හ. එකියන ඇතින්නීත් තමාගේ දරුගර්භය රකිනා නිසා ඔබ්බකට ගොස් බෝධිසත්වයන් වැදුහ. බෝධිසත්වයෝ වැඩිවිය පැමිණ අංජන කූටයක්සේ මහත්වූ ශරීරයක් ඇතිව ඇතින්නක් තමන්ට පාදපරිචාරිකාකොට සලස්වාගෙණ බෝධිසත්වයෝ තමන්ගේ මෑනියනුත් ඇතින්නත් ඇරගෙණ පියානන් දකින්ට ඒ විලසමීපයට අවුත් පියානන්දැක ඒ විලට බට ඇතුන් කකුළුවෙකු විසින් අල්වකන නියාව අසා බෝධිසත්වයෝ තමන්ගේ පියානන්ට කියන්නාහූ පියානන් වහන්ස මේ කකුළුවා මරන්ට මට භාරයයි කියන්නා බෝධිසත්වයන්ගේ පියානෝත් කියන්නාහූ පුත ඒ කකුළුවා බොහෝ ඇතුන් කා මරාපිටා එසේහෙයින් තොපි ඒ විලට නොයවයි කීහ. ඒ මාන කියව කියවාත් මා විලට යන්ට උවමැනවයි කියා බොහෝ ඇතුන් පිරිවරා එකියන විලසමීපයට ගොස් ඇතුන්ගෙන් විචාරන්නේ මේ විලවසන කකුළුවා ඇතුන් අල්වන්නේ විලට බසිනාවේලේද ගොදුරු කණවේලේද විලින් ගොඩනගින වේලේදැයි විචාළෝය. එකියන ඇත්තු කියන්නෝ දියට බැස ගොදුරු කා ගොඩනගිනවේලේ ඇමට පස්සේ එන ඇතා පය අල්වන්නේයයි කීහ. එබස් අසා බෝධිසත්වයෝ යහපතැයි කියා ඇතුමුල හා ඇතින්න පිරිවරා දියට බැස ගොදුරුකා ගොඩනගිනවේලේ බෝධිසත්වයෝ හැමඇතුන් පළමුකොට එවා තමන් වහන්සේ පස්සේ එමින් සිටිකලට එකියන කකුළුවත් ලෝකරුවකු අඬුවකින් දිලිහිගිය ලොවටත් අල්වන්නාක්මෙන් ඇතුන්ගේ පය අඬුවෙන් අල්වාගෙණ තමාගේ වාසස්ථානයට අදින්ට වන්කල්හි බෝධිසත්වයෝත් තමන් සිටිතැනින් පා ඇද යානොහි මරණභයින් භයපත්ව මහත්කොට මරණ ප්‍රතිරාවයෙන් ඇඬුහ. ඒ අඬ ඇසූ බොහෝ ඇත්තු තමන්කෙරේ භයින් කුංචනාද කොට ඉල්ලති මුත්‍රවත්කොට ඒ ඒ අත දිවුහ. බෝධිසත්වයන්ට බිරින්ද වන ඇතිනීත් කැටුව භයක්වත් නොදැන දිවන්ටවන බෝධිසත්වයෝ තමන් ඇර නික්මුනු ඇතින්නට කියන්නාහූ පින්වත් වු මා කෙරෙහි ප්‍රියවූ ඇතින්න අඬු ඇත්තාවූ උස්ව විසාරදව තිබෙන්නාවූ ඇස් ඇති මේ විල වසන්නාවූ කකුළුවෙක් මාගේ පස්සපාය ඩෑගත. එසේ හෙයින් තී විසින් මා ඇරපියා යන්නේ ඇයිදැයි කීහ. එබස් අසා එකියන ඇතින්නියෝ නොබවමැනව නුඹවහන්සේ ඇර මම කොයියෙම්ද ඉදින් මේ දසදහසක් යොදුන් දඹදිව මට ලැබෙනමුත් නුඹ වහන්සේ ඇරකොයියෙම්දැයි කියාලඟට අවුත් සිතන්නී කකුළුවාට වාඥාකොට ගලවාගන්ට උවමැනවැයි සිතා කියන්නාහූ රන්වන් පෑයක් ඇති ඉතා මහත්වූ කකූළුවන්ට නායක වූ කර්කටක රාජය නුඹට අයදිමි මාගේ ස්වාමිපුත්‍රවූ හස්තිරාජයා ඇරවයි කියා යාඥාකළහ. එකිය කකුළුවා ස්ත්‍රීයගේ යාඥා අසා නාරින්ට කාරණා නොවෙයි සිතා තමන්ට වන්නාවූ හානිය නොදැන අළුයේය. බෝධිසත්වයෝත් තමන්ගේ පයගෙණ කකූළුවාගේ පිට පය තබා මැණ්ඩහ. ඒ වෙලෙහිම කකුළුවාගේ ප්‍රාණය පලාගියේය. බෝධිසත්වයෝත් සතුටුව කුංච නාද කළහ. ඒ කුංචනාදය ඇසූ ඇත්තු පෙරලා දියට අවුත් කකුළුවා ඇද ගොඩලාගෙණ සුනුවිසුනු කොට මඩවාපුහ. ඒ කකුළුවාගේ කලදෙක වනාහී දියෙන් තිබූවාහ. ගංගංනම් ගඟත් එකියන කකුළුවා වසන්නාවූ විලත් සමීපහෙයින් වතුර ආකල ගගින් ඒ විලට හා මලින් ගගවටා පැන්වදිනා හෙයින් වතුරෙන් ගොසින් ඒ නල දෙක දියෙහි වැටී ගංගානම් ගගට වැටී ඉන් එක් කලයෙක් දියෙන් ගොසින් මූදට වැටින. ඒ අසා අසුරයෝ දැක තමන්ට උත්සවයට මිහිගුබෙරයක් කොට සලස්වාගත්තාහ. ශක්‍රයෝත් අසුරයන් පැරදයන ගමනේ දමාපුවා ශක්‍රයෝත් තමන්ගේ උත්සවයට ගසන්ට සලසාගත්හ. එක් නළයෙක් වනාහී දසබෑරජ්ජුරුවන් ලෝදැල් ඵලනා ගංඟාවේ ආ නළ දෝදැලේ බඳූනා ඇරගෙණ තමන්ගේ උත්සවයට ගසන්ට මිහිඟුබෙරයක් කොට සලස්වා ගත්තාහයි වදාරා මේ කර්කටක ජාතකය නිමවා වදාළසේක.

එසමයෙහි එකියන ඇත්තී නම් මේ කියන ස්ත්‍රීයයි. එසමයෙහි ඇත් රජව උපන්නෙම් බුදුවූ මම්මයයි දක්වා වදාළසේක.

 

 

 

උපුටා ගැනීම – www.jathakakatha.lk

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.