(24) සක්වළ අවි සහ සිත්වල සවි බල - IFBC Organization | Dhamma

මහානායක හාමුදුරුවනේ, සිතෙහි ඇති සවිය හැම අවියකටම වඩා බලවත් කියන කථාව ඇත්තක්ද?

ඔව්, හැම අවියක්ම ඉස්සෙල්ලම හැදෙන්නේ සිතෙයි. ඊගාවට ඒවා පරිහරණය කරන්න විධාන දෙන්නෙත් සිතමයි. පණ නැති ආයුධවලට වඩා පණ ඇති සිතක් හැමවිටම බලවත් වෙනවා. ඒකට හොඳම නිදසුනක් තමයි, අපේ පන්සිය පනස් ජාතක කථා පොතේ එන පංචායුධ (52 වෙනි) ජාතක කථාව. දෙව්රම් වෙහෙරේදී පසුබට වීර්ය ඇති භික්‍ෂුවක් අරභයායි බුදුහාමුදුරුවෝ මේ ජාතක කථාව දේශනා කොට වදාළේ.

අපේ බෝධිසත්වයන් වහන්සේ දඹදිව ගන්ධාර දේශයෙහි තක්‍ෂලා නුවර දිසාපාමොක් ආචාරීන් සමීපයෙහි ශිල්ප ඉගෙන නිමාව, හැම දෙන යාමට බිය ඇති මහ වන පෙදෙසක් මැදින් සිය බරණැස් නුවර බලා යන්නට වුණා.එහි වූ “සිලේෂ ලෝම” නම් දුටු දුටුවන් අනුභව කරන මහා යක්‍ෂයා බෝසතුන්ටද මුණ ගැසුණා.

බෝසතුන්ද පළමුව තමන් සන්තකව පැවති සියලු දුනු හී ආයුධවලින් යක්‍ෂයාට පහර දෙන්නට වුණා. ඉන් වැඩක් නොවූ විට වමතින්, දකුණතින් හා පාදයෙන් ආදී ශරීරාංගවලින්ද පහර’ දෙන්නට වීමෙන් බෝසතුන්ගේ ශරීරය යක්‍ෂයාගේ ඇගේ වූ ලොම්වල ඇලී කිසිවක් කරගත නොහැකි වුණා.

බෝසතුන් සිතේ සවියෙන් යක්‍ෂයාට පහර දී දිනනු ලැබුවේ ඉන් පසුවයි. ‘යක්‍ෂය, තෝ මා කෑවේ නම් මගේ කුසෙහි ඇති වජ්රායුධය තට දිරවා ගත නොහැකිව දෙදෙනාම නිසැකවම ජීවිතක්‍ෂයට පත්වන බව නොබියව සවිමත් සිතින් පැවසීමෙන් යක්‍ෂයා බියට පත් වුණා. ආයුධ දහසකට වඩා සිතේ තිබූ ඒ සවිය ඉතා බලවත් වී යක්‍ෂයා පැරදී පංචායුධ කුමරුන් සරණ ගියා.

මේ විදියට සිතේ සවිය කියාපාන ජාතක කථා රැසක් අපට හමුවෙනවා. ඒ අතර වන්නුපත්ත (02) වට්ටක (35) මහාසීලව (69) මීන චිත්ත(111) අලිගචිත්ත (153) කුරග්ග (255) ගජකුම්භ (336) ස්වර්ණමෘග (350) සහ සුප්‍රකට ‘කුස’ (514) ආදී ජාතක කථා කැපී පෙනෙනවා.

එහෙමනම්, සිතින් නිකුත්වන සිතිවිලි සියලු සතුන්ට වගේම සොබා දහමටත් බලපෑමක් කරනවාද?

දැන් වුවත් සොබාවික වියසන බටහිර රටවල වැඩි වශයෙන් දිනපතා සිදුවෙන්නේ ඔවුන්ගේ සිතිවිලිවල බලපෑම නිසයි. ඔවුන් ගත වූ දශක කිහිපය තුළ පමණක් සොබාදහමට කළ විනාශය යළි පෙරළා ඔවුන් කරා ඒමට පටන්ගෙන තිබෙනවා. බෝසතුන් පාරමි පුරණ සමයේදීත් මෙබඳු සොබාවික ආපදා ඇති වූ බව ජාතක කථා පොතේ එන සමුද්ද වාණිජ (455 වෙනි) ජාතකයෙන් කියාපානවා.

එකල දෙව්දතුන් වඩු නායකුයෙකුව සිය පිරිස සමඟ අයහපත් සිතිවිලිවලින් යුතුව සොබාදහමට විණ කරමින් ජීවත්වන්න වුණා. ‘ඉක්බිතිව සාගරයෙන් ඉණ දක්වා වූ ජල රලක් ගැලීය. අනතුරුව තනමත්තක්, කරවටක්ද ආදී වශයෙන් ජල රල සතක් ගලා ආ කල වඩුවන් පන්සියකුත් උන්ගේ අඹුදරුවනුත් දියේ ගිලී මියගොස් සමුද්‍රයට ගසා ගෙන ගියාහුය’ යනුවෙන් එහි විස්තර කෙරෙනවා.

ඒ වගේම නිතර පිරිත් නද පැතිරෙන පන්සල්, ගෙවල් අසල තියෙන ගස්වල ඵලදාව වුවත් වැඩි බව අපට පෙනෙන්නට තියෙනවා. සොබාදහමත් සිතින් නිකුත් වන සිතිවිලිත් එක්ක හරිම සංවේදීව පවතිනවා කියලා පරිසරවේදීන් පවා කියනවා.

එතකොට සක්වළ කළඹන්න තරම් සිත සවිමත් දෙයක් කියලා බුදුදහමේ විස්තර වෙනවාද?

සිත තරම් සවිමත් තවත් දෙයක් මේ සඳහා සක්වළේ ඇත්තේ නැහැ. වෙස්සන්තර මහ රජු දාන පාරමිතාව සම්පූර්ණ කරපු අවස්ථාවේදි එතුමන්ගේ සිත චිත්තය කොතරම් ප්‍රබල වීදයත්? එම ප්‍රබල බව වායුගෝලයට දරාගත නොහැකිව කම්පා වුණා. මිනිස් සිතක හටගත් එම මහා ප්‍රබලත්වය දරා ගත නොහැකිව මහා සාගරය පමණක් නොවේ මේ මහා පෘථිවියම කම්පා වූ බව ‘මිලින්ද ප්‍රශ්නයෙහි’ වෙස්සන්තර පඨවි කම්පා ප්‍රශ්නයේ විස්තර කෙරෙනවා.

බුදුරදුන් චාපාල චේතියෙහිදී ආයු සංස්කාරය අත්හැරීමේ අවස්ථාවේදි ඇතිවූ භූමිචලනය පිළිබඳව ආනන්ද තෙරුන් බුදු හිමියන් සමීපයට පැමිණ ඊට හේතු විමසා සිටියා. එවිට බුදු හාමුදුරුවෝ කළ හේතු පැහැදිලිකිරීම් පිළිබඳව අංගුත්තර නිකායේ භූමිචාල සූත්‍රයේ විස්තර වෙනවා. ඊට බලපානු ලබන ප්‍රධාන කරුණූ අට (08) අතර වන දෙවෙනි කරුණ වන්නේ, චිත්ත ශක්තිය (චිත්තවංශීතාවලත්) සත්පුරුෂයෙක් හෝ මහත් ඍද්ධි ඇති දෙවි කෙනෙක් හෝ මේ පොළව කම්පා කරවයි යනුවෙනි.

අප ගෞතම බෝධිසත්වයන් වහන්සේ චිත්ත ශක්තිය මගින් සොබාදහමට බලපෑම් සිදුකළ අවස්ථා දැක්වෙන තවත් ජාතක කථා තියෙනවාද?

මෑතක් වනතුරුම උසස් පෙළ සිසුන්ට නිර්දේශ වී තිබූ ‘මාතංග ජාතකය” ගත්තත් එවැනි අවස්ථාවක් නිරූපණය වෙනවා. එහි එන ‘ජාතිමන්ත’ මානාධික තාපසයා ගඟෙහි නාමින් සිටියදී උඩුගං බලා පිහිනමින් සිටි අප බෝසතාණන් දැක චණ්ඩාල කුල හීනයෙක් බව දැන තමන්ට ඔහුගෙන් අවමානයක් සිදු වූවා යැයි සිතා, සිය සිතිවිලි වාතලයට මුදා හැරියේ මෙලෙසිනියි.

‘නැසීයා, පලායා, කාලකණ්ණියා පිරිහී යව, ඉදින් මෙතැන්හි තෝ විසූයෙහි නම් සත්වෙනි දවස් තාගේ හිස සත්කඩටයට පැලීයන්.” කීය.

මේ අනුව බෝධිසත්වයන් ‘සත්වෙනි දවස් හිරු, නොනැගේවා’ ප්‍රාර්ථනා කොට හිරු උදාවීම වැළැක්කුවේය.

‘මේ කිමෙක්ද? භූ®තාවර්තයක් දෝ…? නැතිනම් ද්වේෂී කෙනෙකුගේ ප්‍රාර්ථනයක් දෝයි බිය වී බොහෝ ජනයා ජාතිමන්ත තවුසා ළඟට ගොස් විමසන්නට වූහ.

‘ නැත, නැත, අප විසින් කළ දෙයක් නොවෙයි, යට ගඟ චණ්ඩාලයෙක් වෙසෙයි මෙය ඔහුගේ ප්‍රයෝගයක් විය හැකියි. ඔහුගෙන් විමසවයි ජාතිමන්ත තවුසා කීය.

එම පිරිස මාතංග තාපසයන් සොයා ආ කල ඔවුන්ට කියා සිටියේ. හිරු උදා කළහොත් ජාතිමන්න තවුසාගේ හිස එකල්හි සත්කඩකට පැලී යන බවයි. එබැවින් ඔහු කරවටක් දියෙහි සිටුවා හිසෙක් මැටි පිඬු තබා හිරු එළිය වැටීමට සැලැස්ස විය යුතු බව දැන්වීමට අනුව ඊට අවැසි සියලු කටයුතු යෙදිණ. එමඟින් ජාතිමන්ත තවුසාගේ හිස වෙනුවට හිසෙහි තැබූ මැටි පිඩු සත්කඩකට පැලී ගියේය.

ඒ වුණාට, සිතේ සවියෙන් අද දවසේදී මෙවැනි දේ සිදුවෙන්න පුළුවන්ද?

මේ ළඟදී දවසක රාත්‍රි ප්‍රවෘත්ති විකාශයකදී (2012.12.01) අහම්බෙන් වගේ මං දැක්කා කුඩා කාලයේදීම දෙමාපියන් අහිමි වූ ළදැරියක් දසසිල් ආරාමයක මෑණිවරුන් සෙවණේ භාවනා යෝගීව ආගමානුකුල පරිසරයක හැදී වැඩී තිබෙනවා. මෙහෙම ඉන්න අතරේ ඇයගේ යටි සිතෙහි හටගත්තු කිසියම් සිතිවිල්ලක් නිසා ඇයට එය දැන් බරපතළ ගැටලුවක් වී තිබෙනවා. ඒ තමයි,

ඇය සිටින යන එන කවර තැනකදී වුවද නොමේරූ පොල්ගෙඩි පවා ඇගේ ඇඟට වැටීම. කෙතෙක් පොල්ගෙඩි ඇඟට වැටුණද කිසිදු කරදරයක් තවමත් සිදු වී නැති වුවද ඇයට දැන් මෙය මානසික හිරිහැරයක් බව ඇය පවසනවා. ඇගේ හිසට, කරට හා ඇඟට මෙලෙස පොල්ගෙඩි 38 කට වැඩි ගණනක් දැනට මත් වැටී තිබෙනවා.

එහිදී ඊට පිළියමක් ලෙස විශේෂඥ මනෝ වෛද්‍ය ඩී.වී. ජේ. හරිස්චන්ද්‍ර මහතා නිර්දේශ කළේ ඇගේ යටි හිත මෝහණයට පත්කොට එම ප්‍රබල සිතිවිල්ල සිතින් ඉවත් කර දමන තුරු මේ තත්වය නොවැළැක්විය හැකි බවයි. ගත වූ වසර ගණනාව තුළ වාසය කරන ස්ථාන, ප්‍රදේශ මාරු කළද, බලිතොවිල් පූජා ආදි දහසකුත්, ශාන්ති කර්ම කළද මෙතෙක් ඒවායින් කිසිදු ප්‍රතිඵලයක් අත් නොවුණ බව එම තැනැත්තිය සහ ඇගේ භාරකාර සිල්මැණියන් කියා සිටියා. ඈත තිබෙන

පොල්ගෙඩි හදිසියේ වැටී ඇය විසිවන අවස්ථා පවා ඇති බව එම ප්‍රවෘත්තියෙන් අනාවරණය කෙරුණා.

(25) සිත නිවන ලෝකය
(23) සක්වළේ ශක්තිමත් ම දේ කුමක්ද?

Leave a Reply

Your email address will not be published.

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.