Skip to main content

238 පාදාංජලී ජාතකය

තවද සංසාරවහුවූ සර්වඥයන් වහන්සේ ජෙතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි ලාලුදායි ස්ථවිරයන් වහන්සේ අරභයා මේ ජාතකය දක්වන ලදි.

ඒ කෙසේද යත්,

එක් දවසක් සැරියුත් මුගලන් දැගසව්වන් වහන්සේ බොහෝ සංඝයා වහන්සේ විසින් විචාළ ප්‍රශ්න විසඳ විසඳා උන්සේක, ඒ වෙලාවට භික්ෂූන් වහන්සේ සතුටුව අසඅසා වැඩඋන්කලට ලාලුදායි ස්ථවිරයන් වහන්සේ ඇයි දෑගසව්වන් වහන්සේ කියෙත් අප දන්නා දෙයෙකැයි කීසේකී. එබස් අසා දැගසව්වන් වහන්සේ එතනින් වැඩපුසේක. සර්වඥයෝ එබස් අසා දැන්මතු නොවෙයි පෙරත් තොල පෙරලා කටට ආදෙයක් කියනපමණක් විනා කුමකුත් නොදෙන්නේ වේදැයි වදාරා ඒ කෙසේදැයි ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත් වත් දක්වා වදාළ සේක.

ඒ කෙසේද යත්,

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්‍යය කරණ සමයෙහි බෝධිසත්වයෝ ඒ රජ්ජුරුවන්ට වැඩ පසස්නා අමාත්‍යව උපන්සේක. රජ්ජුරුවන්ගේ පාදාංජලි නම් රාජ කුමාරකෙණෙක් ඇත්තාහ. රජ්ජුරුවෝ කාලක්‍රියා කළහ. අමාත්‍යයෝ ඒ රජ්ජුරුවන්ට ආදාහණ කෘත්‍යකොට ඒ පාදාංජලි නම් රාජ කුමාරයානන් රාජ්ජයට පමුණුවන්ට සිතා නුවන පරීක්ෂා කරම්හයි සිතා එක් දවසක් ඒ කුමාරයන් අතින් විචාළ යුක්තියද අයුක්තියදැයි විචාළාහ. එවිට කුමාර තොල පමණක් පෙරලාලීය. එවිට අමාත්‍යයෝ අප විචාළ යුක්තිය අයුක්තිය නියාව දැන තොළ පෙරළාපුවමැනැයි සිතා අමාත්‍යයෝ එදවස් රාජ කුමාරයෝ නුවනැත්තෝවනැයි සිතූහ. දෙවන දවසුත් ඒ කුමාරයන් සහායේ ඉඳූවා යුක්තිය ඇතිසැටියේම විචාරා මේ යුක්තිය යහපත්ද නපුරුදැයි විචාළහ. එදවසුත් ඒ කුමාර තොළපෙරළාවත් මේ යුක්තිය නියාවට කියාදීත් තොළ පෙරළන්නේ යුක්තියක් නොදන්නා හෙයිනැයි කියා ඒ කුමාරයා බැහැරකර බෝධිසත්වයන් රාජ්ජයට තබා ගත්හයි වදාරා පාදාංජලි ජාතකය නිමවා වදාළ සේක.
එසමයෙහි රාජ කුමාරයෝ නම් ලාලුදායි ස්ථවිරියෝය. එසමයෙහි අමාත්‍යව උපන්නෙම් බුදුවූ මම්මයයි වදාළසේක.

 
උපුටා ගැනීම – www.jathakakatha.lk

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.