Skip to main content

235 වීතිවච්ඡ ජාතකය

තවද සංසාර සාගරපරගත වූ සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවසන සමයෙහි පලාස පරිබ්‍රාජකයන් අරභයා මේ ජාතකය දක්වන ලදි.

ඒ කෙසේද යත්,

පලාසපරිබ්‍රාජක කෙණෙක් මුළුරට තමන්ට වඩිනාකෙණෙකුන් නොදැක සැවැත්නුවරට අවුත් මා හා සමග තර්ක කරන්නට සමර්ථයෝ ඇද්දැයි විචාරා මනුෂ්‍යයන් විසින් සර්වඥයෝ තොපසේ වූ පරවාදීන් හා වාද කරන්ඩ සමර්ථයෝය. එසේ හෙයින් සර්වඥයන් කරා යවයි කීහ. යහපතැයි කියා ඒ කියන පරිබ්‍රාජකයා බුදුන් හා සමඟ තර්කකරන්නට සිතා ජේතවනාරාමයට ගියෝය. සර්වඥයන් හා තර්ක කළේය. සර්වඥයෝත් ඌ කී ප්‍රශ්න විසඳා තොපි කී ප්‍රශ්න අපි විසදුම්ම අප කී ප්‍රශ්න විසඳවයි වදාරා එකෙක්නම් කිම්දැයි විචාළසේක. ඒ තෙම කුමක් බවත් නොදන්නේය. පැරද පලාගියේය. බෙහෝ භික්ෂූන් වහන්සේ මේ කථාව කිය කියා උන්තෙනට සර්වඥයන් වහන්සේ වැඩ වදාරා මහණෙනි මා එන්නට පූර්වභාගයෙහි කිනම් කථාවකින් යුක්තව උනුදැයි විචාරා වදාරා එපවත් අසා දැන්මතුනොවෙයි පෙරත් මා එකබසින් පැරද පලා ගියෝවේදැයි වදාරා ඒ කෙසේදැයි ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළසේක.

ඒ කෙසේද යත්,

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්ජ්‍යය කරන සමයෙහි බෝධිසත්වයන් වහන්සේ බ්‍රාහ්මණව ඉපිද පංචකාමයෙහි ආදීනව දැක වනයට වැද සෘෂිප්‍රවෘජ්‍යවෙන් පැවිදිව වාසය කරණසේක, එසමයෙහි තර්ක කරන්නාවූ එක්තරා පරිබ්‍රාජකයෙක් බෝධිසත්වයන් වසන්නාවූ වනය සමීපයෙහි ගමකට ගියේය. ඒ ගම්වාසීන් ලඟට ගොසින් මා හා සමඟ තර්ක කරන්නට සමර්ථයෝ ඇද්දැයි විචාරා මනුෂ්‍යයන් විසින් තෙල වනයේ ඉඳිනා තාපසයෝ තොපසේ වූ වාදීන් හා වාදකරන්නට සමර්ථයෝහ. එසේ හෙයින් තාපසයන් කරා යවයි කියා ඇරගෙණ බොහෝ මනුෂ්‍යයෝ බෝධිසත්වයන් වසන පන්සල සමීපයට ගියාහ. බෝධිසත්වයෝ පරිබ්‍රාජකය මේ ගාංගාවෙන් ගෙණා සිහිල් පැන් බී ඉඳුවයි කිහ. එවිට පරිබ්‍රාජකය්ෙ පළමුකොට කී බස්ම අල්වාගෙණ තර්ක කෙරෙමි සිතා කියන්නේ ගංගාව නම් එගොඩද මෙගොඩද මැද්දේද දියෙන් යන්නාවූ තුන්ස්ථානයෙන් ගංගාව කියන්නේ කොතැනටදැයි විචාලේය. ඒ අසා බෝධිසත්වයෝ කියන්නාහූ එතරත් ගංගාව නොවනකල මෙතරත් ගංගාව නොවනකල දිය යන්නාවූ ස්ථානයත් ගංගාව නොවනකල ගංගාව නම් කොයිදැයි විචාළාහ. ඒකියන පරිබ්‍රාජකයෝ මා කී බස්ම දෙවනිව මටම කියා මා පැරදුවයි ඉතා ලජ්ජාව පලාගියෝයයි වදාරා විථිවච්ඡ ජාතකය නිමවා වදාළසේක.
එසමයෙහි පරිබ්‍රාජකයෝ නම් මෙසමයෙහි පලාස පරිබ්‍රාජකයෝ ය.
එසමයෙහි තාපසයෝ නම් ලොව්තුරා බුදුවූ මම්ම යයි තමන් වහන්සේ දක්වා වදාළ සේක.

 

 

 

උපුටා ගැනීම – www.jathakakatha.lk

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.