(21) විශ්වයේ විසිතුරුම – විසිරුණම – විසකරුම දේ සිත ද? - IFBC Organization | Dhamma

මහානායක හාමුදුරුවනේ,අපේ සිතත් මේ විසල් සක්වළ වගේම විසිර පවතින විසිතුරු දෙයක්ද?

‘සිත’ කියන්නෙත්, මේ විසල් සක්වළ තුළම සැරිසරන්නක්, සිත ගැන වරක් බුදුහාමුදුරුවෝ සැවැත්නුවරදී, භාගිනෙය්‍ය සංඝරක්ඛිත තෙරුන් උදෙසා දේශිත විග්‍රහයක් ‘ධම්ම පදයේ – 37 වෙනි ගාථාවේ’ මෙසේ දැක්වෙනවා.

දුරංගමං ඒකචරං – අසරීරං ගුහාසයං
යේ චිත්තං සංයමෙස්සන්ති – මොක්ඛන්ති මාරබන්ධනා

මෙහි අදහස, ‘දුර ගමන් යන – තනිවම හැසිරෙන, ශරීරයක් නැති – ගුහාවක ජීවත්වන මේ සිත, තැන්පත් කර ගත් තැනැත්තා මාර බන්ධනයෙන් මිදෙනවා’ යන්නයි.

මේ අනුව, අපේ සිත නිශ්චිතවම ශරීරයේ අසවල් තැන, අසවල් ස්ථානයේ පවතිනවායි කියන්නට බැහැ. සිත කියන දේ එක තැනක, එක අරමුණක නතර වෙලා තියෙන්නේ නැහැ ශරීරයක් නැති වුණත්, මේ සිත තනිවම එහෙ මෙහෙ ඉතා ක්‍ෂණිකව (විදුලිය පරයන වේගයෙන් දුර ගමන් යනවා. අපි භාවනා කිරීමෙන් උත්සාහ කරන්නේ මේ විසිර යන සිත එක තැනක රඳවා සිත තැන්පත් කර ගැනීමටයි.

එවිට මාර බන්ධනයෙන් වුණත් නිදහස් විය හැකි බව බුදුදහමේ විස්තර කෙරෙනවා.

මෙතරම්ම විසිතුරුම, විසිරුණුම සිත, විටෙක විසකරුම වෙන්නේ කොහොමද?

ඔව් ,අපේ සිත වගේ විසිතුරු- විසිරුණු මෙන්ම විසකරු දෙයක් තවත් මේ මහා විශ්වයේ නැති තරම් . ප්‍රධාන වශයෙන් සිතෙන් සිදුවන අකුසල් තුනක් (03) ගැන බුදු දහමේ මෙසේ දැක්වෙනවා.

1. අභිධ්‍යාව හෙවත් දැඩි ආශාව
2. ව්‍යාපාදය හෙවත් අනුන් නැසීමේ චේතනාව සහ
3. මිථ්‍යා දෘෂ්ටිය හෙවත් වැරදි දැකීම වශයෙන්.

විසිතුරු සිත විසකරු වීමට මෙම අකුසල් හේතු වෙනවා. සිත හරියට දියෙන් උඩට ගෙන බිම තැබූ මාළුවෙකු වගේ හැම අතින්ම සැළෙන දෙයක්. වහා ඇලෙන ගැටෙන සිතේ ස්වභාවය තේරුම් ගෙන සිහිනුවණින් කටයුතු කිරීමයි වැදගත් වෙන්නේ. සිත තරම් ප්‍රබල සිත තරම්ම දුබල දෙයක් මේ මිහි පිට නැහැ. ඒ නිසා ‘ සිතේ සිරිය’ මෙලෙස හඳුනා ගැනීමට අපි උත්සාහ කරමු.

එතකොට , සැබවින්ම අපේ මේ සිත ද? කය ද? (ශරීරය) වඩාත් සවිමත් වන්නේ.

ධම්ම පදයේ චිත්තවග්ගයේ එන මතු පිට දැක්වෙන 40 වෙනි ගාථාවෙන් ඊට කදිම විග්‍රහයක් කර තිබෙනවා. වරක් බුදුරදුන් සැවැත්නුවර පන්සියයක් භික්‍ෂූන් උදෙසා කර ඇති එම දෙසුම මෙසේ යි.

‘අපේ කය (සිරුර) මැටි බඳුනක් (භාජනයක් ) බඳුයි. සිත හරියට නගරයක් වැනියි. මැටි බඳුනක් වූ කය, නගරයක් වූ සිත නිවැරැදිව හඳුනා ගෙන ප්‍රඥාව නමැති අවියෙන් ක්ලේෂ (කෙලෙස්) නමැති මාරයාට වුවද පහර දිය හැකියි.

අස්ථිර වූ ශරීරය මැටි බඳුනක් මෙන් නොයෙක් කැඩීම් බිඳීම්වලට ලක්වේ. එනම්, මැටි බඳුන, කුඹල්කරුවා හදනවිටදී හෝ එය ප්‍රවාහනය කරන විටදී හෝ නැතිනම් ගෘහණිය එය පරිහරණය කරනවිටදී හෝ එවැන්නක් සිදුවීමට ඉඩ තිබේ. උපතේ සිට විපත දක්වා වූ විවිධ අවස්ථාවලදි ශරීරය ද එවැනි කැඩීම්, බිඳීම්, තැලීම්, සීරීම් හා පිළිස්සීම්වලට ලක්විය “ හැකියි.

කය මෙලෙස බිෙඳන බඳුනක් වුවද,සිත සවිමත් විසිතුරු නගරයක් කර ගැනීමට පුළුවන්. ඉන්දියාවේ ඉපැරැණි නගර බොහොමයක් ‘ඒෂිකා ස්ථම්භ ‘ තිබිණි.ඈතට දිස්වෙන (පෙනෙන) මේ ඒෂිකා කුළුණින් එය නගරයක් බව හැඟවෙයි. සිතේ මතුවන ශ්‍රද්ධාව හා ප්‍රසාදය ද එම නගරයේ නොසැලෙන උස් වු කුළුණ බඳුයි. නගරයට විසිතුරු බව හඟවන නොසැලෙන කුළුණ මෙන් සිත ද සවිමත් කර ගත යුතුයි.

නගර අලංකාරය පිණිස නගරය වටා දිය අගලක් නිමවා තිබේ. සිතේ විසිතුරු බවට ද එබඳු බැම්මක් තනා ගත යුතුයි. එමගින් වැරැදි දේ කිරීමට ඇති ලජ්ජා බය නිසා එහි දිය මෙන් සිත ද පිවිතුරු වෙයි.

නගරයේ ආරක්‍ෂාව සඳහා ඇති ආයුධ මෙන් බහුශ්‍රැතබව සිත ආරක්‍ෂා කරන ආයුධයයි. බොහෝ ඇසු පිරූ දැනුම නමැති ආයුධයෙන් යහපත් දිවිපෙවෙතක් ඇති කරයි. නගරයේ ආරක්‍ෂාව වෙනුවෙන් මෙම ආයුධ දරාගත් බලසේනාවක්ද සිටියි. සිතේ සිටින එම බලසේනාව නම් ‘උට්ඨාන වීර්යය’කුසීත බව හා අලස නිවට බව යන සතුරන් පළවා හරින අධිෂ්ඨානයෙන් ජීවිත පරිහානියද වැලැක්වෙයි.

නගරයක සිටින දොරටු පාලකයන් මෙන් සිතේ තිබිය යුතු වන්නේ, සිහිකල්පනාවයි. සිහිය යනු සතියයි. ‘සිහිය’ නමැති දොරටුපාලකයා මෙන් සිතේ පවතින සතිය (සිහිය) මගින් නගරයට ඇතුළුවන පිටවන හා සැරිසරන අය පිළිබඳ අවබෝධයක් ලැබෙයි. එමගින් ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, හා වෛරය වැනි කෙලෙස් මාරයන් පිළිබඳ අවබෝධයක් සිතට දැනෙයි.

දොරටුපාලකයාට යහපත් පිරිවර පමණක් වුවද නගරයට ඇතුළත් කර ගත හැකිය. එසේම, කරුණාව, දයාව හා මෛත්‍රීය වැනි යහපත් ගුණධර්ම පමණක් සිතෙහි රුවා ගැනීමට පුළුවන්. එයින් සිත සවිමත්ව විසිතුරු වෙයි.

නමුත් අද, සිතේ විපර්යාසයන්ට සාපේක්‍ෂව ශරීරයේත් විවිධ වෙනස්කම් සිදුවන බව පර්යේෂණ මගින් තහවුරු වී තිබෙනවා. නවීන විද්‍යාවේ මෙම සොයා ගැනීම චිරන්තන බුදු දහමට පටහැනියි ද?

නැහැ. ධම්මපදයේ (යමක වග්ගය) එන පළමු හා දෙවන ‘මනෝ පුබ්බංගමා ධම්මා.’ යන ප්‍රකට ගාථාවලින් වුණත් මෙම ධර්මතාවය පැහැදිලි කර තිබෙනවා. අවස්ථා දෙකකදී පිළිවෙලින් දෙව්රම් වෙහෙරදී චක්ඛුපාල තෙරුන් සහ මට්ටකුණ්ඩලී දිව්‍ය පුත්‍රයා අරභයා බුදුරදුන් මෙසේ දේශනා කරන්නට යෙදුණා.

ජීවිතයේ සෑම දේකටම මුල් (ප්‍රධාන) වන්නේ සිතයි. එම සියලු ගති (ස්වභාවයන්) සිතම ශ්‍රේෂ්ඨ කොට පවතී. එය සිතින්ම උපදියි. ඒ නිසා, කෙනෙකු නරක කිළිටි සිතින් යමක් කරයි නම් කරත්තය අදින ගොනා අනුව රෝදය යන්නාක් මෙන් ඔහු පසුපස දුක (ප්‍රතිවිපාකය) ලුහුබඳියි.

එමෙන්ම කෙනෙකු හොඳ යහපත් පහන් සිතින් යමක් කියයි. කරයි නම් සිරුර (ශරීරය) හැර නොයන සෙවණැල්ලක් මෙන් ඔහු පසුපස එහි ප්‍රතිඵලය (සැපය) ලුහුබඳියි.

එබැවින් යමෙකුගේ කායික රූපයේ ස්වභාවය නිර්මාණය වෙන්නේත්, සිතේ ක්‍රියාකාරිත්වය අනුවයි. සිතේ ගති ස්වරූපයන් රූපයෙන් (සිරුරින්) නිරූපණය වෙනවා. ‘හදවතේ කැඩපත මුහුණයි’ කියන විවිධ කියමන් ජනවහරේ එන්නේ මේ නිසායි. විශේෂයෙන් මීළඟ භවයේ ලබන ආත්මවල ස්වරූපයටත් ඍජුවම මේ සිතේ ස්වභාවය බලපානවා.

(22) සිත, කය සහ භවය
(20) නොදිරන සිරුරු

Leave a Reply

Your email address will not be published.

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.