අලි පැටවා සිටියේ සා පිපාසාවෙනි. ජලාශයක බැස සිටින අලි පැටවාට වතුර බීමට නොහැකිව සිටියේය. සියයට අනූවකටත් වඩා වතුරෙන් සමන්විත ශරීර කූඩුවට වතුර නොමැතිව වැඩි වේලාවක් පවතින්නට නොහැක. අලි පැටවා හොඬය වෙත වතුර ඇද ගන්නේ හෝස් යන හඬෙනි. අලි පැටවුන් මෙන්ම වැඩිහිටි අලින්ද තම හොඬයෙන් වතුර අදිද්දී නැඟෙන මෙම හඬට මම ඇලුම් කරමි. නමුත් මෙම අලි පැටවා ඉදිරියේ මට මෙම හඬ ඇසෙන්නේ ශෝක ගීතයක් ලෙසිනි.
ඒ හුරුබුහුටි හොඬය කරකවමින් හැඩ කරමින් අලි පැටවා ජලය මුඛය වෙත යොමු කරන්නේ මේ තාක් ගෙවුණු ජීවිතයේ සිදු කළාක් මෙන්, සහජයෙන් ලැබුණු පුරුද්දටය. එහෙත් හොඬය පිළිගැනීමට කටක් නොමැත. වෙනදාට යටි තොල සහ දිවටද, උඩු තල්ලටද සිර කර මුඛය වෙත වතුර ඇද ගැනීම සිදු කරන මුඛය අලි පැටවාට අහිමි වී තිබිණි. අලි පැටවාගේ දිව තිබුණේම නැත. දිෙවි මුලේ චූටි මස් වැදැල්ලක් ඉතිරිව තිබේ. එය පණුවකු මෙන් නලියමින් තිබේ. නමුත් වතුර උරා ගැනීමට කළ හැකි දෙයක් නොමැතිව එම මස් වැදැල්ල අසරණව සිටියේය. උඩු තල්ලේ ඉතිරි වුණු කිසිවක් නොමැත. කුඩා කුඩා කෑලිවලට පුපුරා ගොස් තිබූ උඩු තල්ල කුණු වෙමින් යන තුවාලයක් පමණි. හකු සහ දත්ද, පුපුරා විනාශව තිබූ මුඛයේ යටි තොල කුණුව යමින් තිබූ මස් වැදැල්ලක් පමණක්‌ම විය.